ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා 
Posted on February 26th, 2016

හතරවැනි මුද්‍රණයේ පෙරවදන නලින් ද සිල්වා

මේ ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි 2013 ජූලි මස පළ වූ හතරවැනි මුද්‍රණයට ලියූ පෙරවදන ය. එය තරමක් දීර්ඝ නමුත් ඉවසිල්ලෙන් කියවන මෙන් ඉල්ලා සිටිමි. අපට කිරීමට බැරි වූ දේ මෙහි සඳහන් වෙයි. 
 
රාජ්‍ය භාෂාව, ජාතික කොඩිය, ජාතික ගීය, දෙමළ ජනයාගේ ඉතිහාසය ආදිය පිළිබඳ ප්‍රවාද, පොතෙහි පළමු දෙවැනි හා තුන්වැනි මුද්‍රණවල පෙරවදන්වල ද පොතෙහි අන්තර්ගතයේ ද ඇත. ඒ කියවීමට අවශ්‍ය නම් පහත සඳහන් සබැඳියෙන් ඒ සියල්ල බාගැනීමට හැකි ය. 
 
http://www.kalaya.org/nds_books.html
 
නලින් ද සිල්වා
 
     හතරවැනි මුද්‍රණයේ පෙරවදන
 
ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය මුලින් ම පළවූයේ 1995 දෙසැම්බර් මාසයේ ය. 2000 ජූනි මස පළ වූ තුන්වැනි මුද්‍රණයෙන් පසු නැවත මුද්‍රණයක් නිකුත් වී නැත. අපි පසුගිය අවුරුදු දහතුනක කාලයෙහි විවිධ දේශපාලන සිදුවීම් අත්දැක ඇත්තෙමු. එයින් ප්‍රධාන ම කරුණ වනුයේ දෙමළ ත්‍රස්තවාදී කොටි සංවිධානය නන්දිකඩාල් කලපුවේ දී අවසානයේ දී පරාජය කිරීම ය. බටහිරයන්ගේ, ඉන්දියාවේ හා ඇතැම් කතෝලික හා ක්‍රිස්තියානි පූජකවරුන්, ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, (මේ සංවිධාන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන වනුයේ ඒ මූලිකව ම බටහිර රාජ්‍යවලින් මෙහෙයවන බැවිනි. හැටේ දශකයේ බටහිරයන් ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ලෝකයේ විවිධ රටවල පිහිටුවූයේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ මතවාද ප්‍රචාර කරන ආයතන ලෙස ය. මේ සංවිධාන බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි නූතන උපකරණ වෙයි. ඔවුන් අතින් සමාජ සත්කාරක ක්‍රියා කරවනුයේ බටහිරයන්ගේ අරමුණ වසන් කිරීමට ය.) විවිධ කොටි  සංවිධාන, ඊනියා විද්වතුන් හා කලාකරුවන්, බොහෝ සරසවි ඇදුරන්, ඊනියා සාමය සඳහා කැපවුණු සංවිධාන, රෝ සංවිධානය ඇතුළු විදේශීය ඔත්තු සේවා, විවිධ දේශපාලන පක්‍ෂ ආදී සකලවිධ විජාතික හා විදේශීය බලවේග කොටි සංවිධානය පරාජය කිරීමට නොහැකි යැයි ද ප්‍රභාකරන් යනු අති දක්‍ෂ යුද්ධ විශේෂඥයකු යැයි ද ආදී දුර්මත පළකරද්දී මෙරට සිංහලයන්ගේ අතිවිශාල බහුතර මතය සනාථ කරමින් ඔවුන්ගේ ආශිර්වාද මැද අපේ රණවිරුවෝ කොටි සංවිධානය පරාජය කළහ.  එහි දී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දෙන ලද දේශපාලන නායකත්වය නොවන්නට කොටි පරාජය කිරීමට නොහැකි වීමට තිබිණි. එමෙන් ම ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නොසැළෙන අධිෂ්ඨානය ද ඉමහත් කාර්යභාරයක් ඉටු කෙළේ ය.  
 
එහි දී මා විසින් කරන ලද විශේෂ යමක් නොවූ බව ඉතා පැහැදිලි ව කිවයුතු ය. ඇතැමුන් සිතන්නේ කොටි පරාජය කළේ තමන්ගේ ලිපි, ඊනියා උපවාස ආදිය හේතුකොටගෙන බව ය. ඒ එසේ වන්නට ද ඇත. ඔවුන් එහි දී තමන්ට ගෞරවයක් අත්විය යුතු යැයි සිතන්නේ නම් එසේ ලබාගැනීමේ වරදක් නැත. එහෙත් මා නම් කර ඇත්තේ මෙරට සිංහල මහජන මතය වචනවලට නැංවීම පමණ ය. අප ඊනියා යුද්ධයට දේශපාලන නායකත්වයක් තිබිය යුතු යැයි කියන විට (මේ කෘතියෙහි ද දේශපාලන නායකත්වය ගැන සඳහන් වෙයි.) බොහෝ උගත්තු අපට සිනහසුණහ. එහෙත් සාමාන්‍ය ජනතාවට එය ප්‍රශ්නයක් වූ වගක් නො දනිමු. සාමාන්‍ය ජනතාව ද සිතුයේ දේශපාලන නායකත්වයක් නොමැතිව කොටින්ට විරුද්ධව හමුදා මෙහෙයවීම් කළ නොහැකි බව ය. දේශපාලන නායකත්වයක් නොමැතිව කරන යුද්ධය කුමක් ද? මෙරට ව්‍යවස්ථාව අනුව වුව ද යුද්ධ ප්‍රකාශ කළ හැක්කේ ජනාධිපතිවරයාට ය.
 
යුද්ධය, දේශපාලනය, ආගම, රාජ්‍යය ආදිය එකිනෙකින් වෙන්විය යුතු යැයි කියන්නෝ බටහිර පඬියෝ ය. ඒ ඔවුන්ගේ ග්‍රීක යූදෙවු ක්‍රිස්තියානි චින්තනය අනුව ය. එහෙත් බටහිර කිසිම රටක ක්‍රියාත්මක ව එවැනි වෙන්වීමක් දැකිය නො හැකි ය. යුද්ධය යනු ද දේශපාලනය මිස අන්කිසිවක් නො වේ. අප අදහස් කරන අයුරින් නම් ආර්ථිකය, දේශපාලනය හා සංස්කෘතිය එකිනෙක සමග බැඳුණේ වෙයි. ඒ කරුණු තුන හේතුකොටගෙන ඉතිහාසයේ යුද්ධ ඇති වී තිබේ. යුද්ධය යනු අවශ්‍යයෙන් ම දේශපාලන බලය අවියෙන් යෙදීම ය. සංස්කෘතික ප්‍රශ්නවලදී ද ආර්ථික ප්‍රශ්නවලදී ද යුද්ධ ඇතිවිය හැකි ය. එහෙත් එකී අවස්ථාවලදී ද දේශපාලන සංරචකය ඉස්මතු වෙයි. එයට හේතුව යුද්ධ ශක්තිය දේශපාලන ශක්තිය සමග බැඳී තිබිම ය.       
 
එසේ වුවත් මෙහි දී අවධාරණය කළ යුතු කරුණක් වෙයි. ඒ කොටින් සමග යුද්ධයක් නොවූ බව ය. කොටි සංවිධානය රට දෙකඩ කිරීම සඳහා ආයුධ අතට ගත්තේ ය. එය රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක් විය. අවශ්‍යයෙන් ම කළයුතු කාර්යය වූයේ හමුදා බලය යොදා කොටි වැනසීම ය. එය යුද්ධයක් නො වී ය. ඒ යුද්ධයක් නම් 1971 දී හා 1987 -– 90 කාලයේ දී ජ වි පෙරමුණට එරෙහිව කරන ලද හමුදා මෙහෙයුම් ද යුද්ධ විය යුතු ය. ඒ එකක්වත් රටවල් දෙකක් අතර යුද්ධවත් සිවිල් යුද්ධවත් නො වී ය.  කොටින්ට එරෙහිව සිදුකරන ලද හමුදා මෙහෙයුම් යුද්ධ ලෙස හැඳින්වීමටත් ජ වි පෙරමුණට එරෙහිව කරන ලද මෙහෙයුම් යුද්ධ ලෙස නොහැඳින්වීමටත් හේතුව කුමක් ද? 
 
එය බටහිරයන්ගේ අර්ථකථනයක් බව පැහැදිලි ය. යම් සංවිධානයකට එරෙහිව හමුදා මෙහෙයුම් කෙරෙන්නේ අභ්‍යන්තර කාර්යයක් ලෙස ය. එහෙත් යුද්ධ එසේ නො වේ. සිවිල් යුද්ධයක් වේවා රටවල් දෙකක් අතර කෙරෙන යුද්ධයක් වේවා විදේශවලට ද යම් බලපෑම් කිරීමේ අවස්ථාවක් ලැබෙයි. අභ්‍යන්තර හමුදා මෙහෙයුමක දී විදේශ රටක් අදාළ රාජ්‍යයට සහාය ලෙස ඇතැම් ක්‍රියාවල නිරත වනු දැකිය හැකි ය. එවැනි අවස්ථාවක දී විදේශීය රාජ්‍යය අදාළ රාජ්‍යයට එරෙහිව කටයුතු නො කරයි. 
 
එහෙත් යුද්ධයක දී විදේශීය රාජ්‍යයකට අදාළ රාජ්‍යයට එරෙහිව පවා මැදිහත් වීමේ අවස්ථාව ලැබෙයි. ජ වි පෙරමුණට එරෙහිව බටහිර රටවල් මෙන් ම ඉන්දියාව ද ලංකාවට විවිධ අංශවලින් ආධාර කළේ ය. එහි දී කිසිම විදේශීය රාජ්‍යයක් ජ වි පෙරමුණේ සාමාජිකයන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතාකළ බවක් අපි නො දනිමු. එහෙත් කොටින්ට විරුද්ධව කළ හමුදා මෙහෙයුම් යුද්ධ ලෙස හැඳින්වූ බටහිර රටවල් හා ඉන්දියාව කොටින්ගේ ඊනියා මානව අයිතිවාසිකම් පිළිබඳ ව මහා උද්ඝෝෂණයක් කළේ ය. ඔවුහු අදත් ඒ උද්ඝෝෂණය දිගට ම කරගෙන යති. ඔවුන්ට අවශ්‍ය කිසියම් ක්‍රමයකින් හමුදාව ලබාගත් ජයග්‍රහණය ආපසු හැරවීම ය. එයට හරස්වන්නේ බහුතර සිංහල ජනමතය ය.
 
බටහිර රටවල් හා ඉන්දියාව ලංකාවට එරෙහිව කොටි සංවිධානයට විවිධාකාරයෙන් ආධාර කළේ ය. මුදල්, අවි ආයුධ, පුහුණුව ලබාදීම ඉන් සමහරක් පමණකි. බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය හා ආශිර්වාදය ද කොටින්ට ලැබුණේ ය. ඔවුන් එසේ කළේ ලංකාණ්ඩුව කොටින් සමග ඊනියා යුද්ධයක පැටළී ඇත යන අරුතෙන් හා දෙමළ ජනයාට අසාධාරණයක් වී ඇත යන ප්‍රලාපය යොදා ගනිමිනි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් කිසිම අසාධාරණයක් වී නොමැත යන්න මේ කෘතියෙහි තහවුරු කෙරී ඇත.     
 
මේ කෘතිය පිළිබඳ ව කිසිවකු ජනමාධ්‍යයෙහි විචාරයක් පළකළේ නැත. 1995 දී, දේශපාලන පක්‍ෂ විසින් ගසාකෑමට ලක්නොවුණු ජාතික ව්‍යාපාරය අද මෙන් නොව ශක්තිමත් විය. එහෙත් ජාතික ව්‍යාපාරයේ වගකිවයුතු පුද්ගලයෝ කෘතිය සම්පුර්ණයෙන් ම අමතක කළහ.  එකල චින්තන පර්ෂදය විසින් කෘතිය එළිදැක්වීම සම්බන්ධයෙන් පවත්වන ලද සම්මන්ත්‍රණයක දී ජාතික ව්‍යාපාරයේ අයකු කතාකරමින් පැවසුයේ කෘතියෙහි අන්කල් සෑම් (එනම් ඇමරිකාව) ගැන සඳහනක් නැති බව ය. ඔහු කෘතියෙහි දැක්කේ ඒ ඊනියා අඩුව මිස ගුණයක් නො වේ. 
මෙහි විස්තර වන්නේ දහනවවැනි සියවසේ හතරවැනි දශකයේ පමණ (1833 පමණ) සිට 1995 දක්වා මෙරට දෙමළ ජාතිවාදයේ විකාශය ය. මෙරට දෙමළ ජනයාගේ සම්භවය පිළිබඳ ව විස්තර මෙහි සඳහන් නො වේ. එය තුන්වැනි මුද්‍රණයට ලියන ලද පෙරවදනෙහි ඉතා කෙටියෙන් සඳහන් වෙයි. මෙරට දෙමළ ජනයා එළාර කාලයේ සිට පැවත එන්නන් නොවන බව මෙහි සඳහන් වී නැත. එමෙන් ම තවත් බොහෝ කරුණු මෙහි ඇතුළත් නො වේ. එයට හේතුව ඇතැම් විට එකල ඒ පිළිබඳ මා නිශ්චිත අධ්‍යයනයක් කර නො තිබීම විය හැකි ය. එහෙත් මෙහි ඇමරිකාව ගැන සඳහන් නොවන්නේ දෙමළ ජාතිවාදයේ විකාශයට ඇමරිකාවේ සම්බන්ධයක් නැති නිසා ය. ඕනෑම කරුණක දී පුරුද්දට මෙන් අන්කල් සෑම් හා කුමන්ත්‍රණ ගැන සඳහන්කිරීම අවශ්‍ය නො වේ. 
 
මෙරට දෙමළ ජාතිවාදය ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයකි. ලන්දේසීහු දුම්කොළ වගාව සඳහා දෙමළ ජනයා වත්මන් ඉන්දියාවේ කෝරමණ්ඩල වෙරළෙන් ගෙන්වූහ. එසේ ගෙන්වන ලද්දවුනට ව්‍යාජ ඉතිහාසයක් ලිවීමට  ලන්දේසීහු අනුබල දුන්හ. සිංහල රජවරුන්ට නැගෙනහිර වෙරළේ අයිතිය අහිමි කිරීම ලන්දේසීන්ගේ අවශ්‍යතාව විය. මේ ව්‍යාජ ඉතිහාසය කවි පොතකට වඩා වැඩි යමක් නොවූ යාල්පානම් වෛපව මාලෙයි කෘතියෙන් ප්‍රථම වතාවට එළිදැක්විණි. 
 
එසේ ගෙන්වනු ලැබූ දෙමළ ජනයා වෙල්ලාලයෝ වූහ. වෙල්ලාලයෝ කෘෂි කම්කරුවෝ වූහ. භාරතීය කුල ක්‍රමයට අනුව ඔවුහු ශුද්‍රයෝ වරහ. ලන්දේසීහු වෙල්ලායන් දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයට ද ගෙන ගියහ. ඔවුන්ගෙන් පැවත එන්නෝ අද ද එහි ජීවත් වෙති. වෛදික කුල ක්‍රමයෙහි ශුද්‍රයන් වූ වෙල්ලාල හෙවත් කෘෂි කම්කරුවෝ ලංකාවේ දී දෙමළ සමාජයෙහි ඉහළම කුලය වීමෙන් ම පෙන්නුම් කරන්නේ මෙරට භාරතීය ක්‍රමයේ දෙමළ සමාජයක් ලන්දේසීන්ට පෙර හෝ පසුව හෝ තිබී නොමැති බව ය. ලන්දේසීහු මෙරටට බ්‍රාහ්මණයන් රැගෙන නො ආවෝ ය. එබැවින් භාරතයේ (ඉන්දියාවේ) මෙන් නොව මෙරට දෙමළ සමාජයේ පූජකයෝ ද වෙල්ලාලයන්ගෙන් ම පිරිසක් වූහ. භාරතයෙහි ශුද්‍රයන් පූජකයන් නොවන බව අපි දනිමු.
 
ඉංගිරිසිහු වෙල්ලාලයන්ට ඉංගිරිසි අධ්‍යාපනයක් ලබා දී ඔවුන්ට තනතුරු වරප්‍රසාද හා සමාජයීය වැදගත්කමක් ලබා දුන්හ. වෙල්ලාලයන්ට ඉංගිරිසි අධ්‍යාපනය ලැබුණේ යාපනයේ ඇමරිකානු මිෂනාරීන් විසින් පිහිටුවන ලද පාසල් මගින් වීම දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් ඇමරිකන් මැදිහත්වීමක් ලෙස සැලකිය නො හැකි ය. ඉංගිරිසිහු කොළඹ සිටි ඇමරිකානු මිෂනාරීන් අවිශ්වාස කළෝ ඔවුන් යාපනයට යැවූහ. ඇමරිකානුවෝ යාපනයට ගොස් පාසල් ආරම්භ කළහ. යාපනයේ ශාන්ත ජෝන් විදුහල ආරම්භ කර දැනට අවුරුදු එකසිය අනුවක් පමණ වෙයි. එය කොළඹ රාජකීය විදුහලට වඩා අවුරුදු දොළහක් පමණ පැරණි ය. අද යාපනය මධ්‍ය මහා විද්‍යාලය ලෙස හැඳින්වෙන්න ද රාජකීය විදුහලට වඩා පැරණි ය. ඉංගිරිසින් පසුව කොළඹ පිහිටු වූ ඉංගිරිසි පාසල්වල ද දෙමළ සිසුහු වූහ. ඒ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ  දහනවවැනි සියවසේ හතරවැනි  දශකය වන විට මෙරට ඉංගිරිසි උගත් දෙමළ ජනයාගේ සංඛ්‍යාව ඉංගිරිසි උගත් සිංහලයන්ගේ සංඛ්‍යාවට වැඩි වීම ය. ඒ සමස්තයක් ලෙස ගත්කල සිංහලයන්ගේ සංඛ්‍යාව දෙමළ ජනයාගේ සංඛ්‍යාව මෙන් හයගුණයකට වැඩි ව පවතින විට ය. 
 
ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන් රටේ නායකත්වයට පත්කරනු ලැබුයේ ඉංගිරිසින් විසිනි. ඉංගිරිසින්ගේ නිෂ්පාදනයක් වූ ගබ්සා වූ ඊනියා ලාංකික ජාතියේ මුල් නායකයෝ බර්ගර්වරු වූහ. එහෙත් ක්‍රමයෙන් වෙල්ලාලයන් ඉංගිරිසි අධ්‍යාපනයක් ලබත් ම ඉංගිරිසිහු ඊනියා ලාංකික ජාතියේ නායකත්වයට වෙල්ලාලයන් පත්කළහ. ඒ ඉංගිරිසි උගත් සිංහලයන් පහතට දමමිනි. පොන්නම්බලම් රාමනාදන් හා ඔහුගේ සොහොයුරු පොන්නම්බලම් අරුණාශලම් ඊනියා ලාංකික ජාතියේ දේශපාලන නායකත්වයටත් ඔවුන්ගේ ඥාති සොහොයුරකු වූ ආනන්ද කුමාරස්වාමි සංස්කෘතික නායකත්වයටත් පත්කරනු ලැබූහ. පොන්නම්බලම් – කුමාරස්වාමි පවුල මෙරට ප්‍රධාන පවුල බවට පත්කෙරිණි. අද ඇති ප්‍රශ්නයේ ආරම්භය මෙය විය. වෙල්ලාලයන් මෙරටට ගෙන ඒමේ අවුල ඇතිකළෝ ලන්දේසීහු ය. වෙල්ලාලයන්ට ඉංගිරිසි උගත් සිංහලයන් අභිබවා දේශපාලන නායකත්වයක් ලබාදුන්නෝ ඉංගිරිසිහු ය. මෙහි දී හෝ ඉන්පසුව දෙමළ ජාතිවාදය විකාශයෙහි දී හෝ ඇමරිකානු දායකත්වයක් දැකිය නො හැකි ය. දේශපාලනය කුමන්ත්‍රණ ඔස්සේ තේරුම් ගැනීමට උත්සාහ කරන්නෝ දෙමළ ජාතිවාදය පිටුපස ඇමරිකානු කුමන්ත්‍රණ දකිති.
 
දෙමළ ජාතිවාදී දේශපාලනයේ පළමු යුගයේ නායකත්වය ප්‍රභාකරන්ගේ සීයාලා වූ රාමනාදන්ලා විසින් ද ඉන්පසුව දෙවැනි යුගයේ නායකත්වය ප්‍රභාකරන්ගේ බාප්පලා වූ ජී ජී පොන්නම්බලම්ලා හා චෙල්වනායගම්ලා විසින් ද දැරිණි. ඔවුහු සියල්ලෝ ම මෙන් කොළඹ ප්‍රභූ යැයි සම්මත පාසල්වල අධ්‍යාපනය ලැබූහ. තරමක් සංකීර්ණ වූ තුන්වැනි යුගයේ ප්‍රභාකරන්ගේ ද ඔහුගේ මස්සිනාලාගේ ද නායකත්වය විය. ප්‍රභාකරන්ගේ මස්සිනාලාට අවශ්‍ය වූයේ බටහිරයන්ගේ හා විශේෂයෙන් ම ඉන්දියාවේ ආධාරයෙන්, අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙන් පළමුව සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක් පිහිටුවා ඉන්පසු ඊළම ලබාගැනීම ය. ඒ සඳහා ඔවුන්ගෙන් උමා මහේෂ්වරන් වැන්නෝ ආයුධ අතට ගත්හ. ඔවුන්ට පුහුණුව ලබාදුන්නේ මූලික වශයෙන් ඉන්දියාව ය. එහි දී ඊශ්‍රායලය ද බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි මැදිහත් විය.
 
ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේ සන්ධීය රාජ්‍යයක් නොමැතිව කෙළින් ම ඊළම දිනාගැනීමට ය. ඒ සඳහා ඔහුට ද බටහිරයන්ගේ ද ඉන්දියාවේ ද සහාය ලැබිණි. ඔහු අවසානයේ දී අනෙක් සියළු දෙමළ ජාතිවාදී සංවිධාන පරාජය කර කොටි සංවිධානය දෙමළ ජනයාගේ එකම නියෝජිතයා යැයි ප්‍රකාශ කළේ ය. බටහිර රටවල් ද ඉන්දියාව ද නොබෝ කලකින් ම ඒ බව පිළිගත්තේ ය. එහෙත් ප්‍රභාකරන් බටහිරයන්ගේ කෙසේ වෙතත්  ඉන්දියාවේ ආධිපත්‍යය නො පිළිගත්තේ ය. ඉන්දියාවේ ආධිපත්‍යයෙන් පිහිටුවන ඊළමක්  ඔහුට අවශ්‍ය නො වී ය. එසේ වුවත් අනෙක් දෙමළ ජාතිවාදී සංවිධාන ඉන්දියාවේ ආධිපත්‍යය පිළිගත්තේ ය. එය අනෙක් ආයුධ ගත් දෙමළ ජාතිවාදී සංවිධානවලට මෙන් ම ආයුධ නොගත් දෙමළ ජාතිවාදී සංවිධානවලට ද පොදු විය. 
 
ආයුධ නොගත් දෙමළ ජාතිවාදී සංවිධාන කොටි සංවිධානය දෙමළ ජනයාගේ එකම නියෝජිතයා බව පිළිගත්තේ ය. අද දෙමළ ජාතික සංධානය ලෙස පෙනී සිටින පක්‍ෂවලට කොටි සංවිධානය දෙමළ ජනයාගේ එකම නියෝජිතයා ලෙස නොපිළිගෙන පැවැත්මක් නැතිවිය. ඒ පක්‍ෂ කොටි සංවිධානයේ පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස පෙනී සිටියේ ය. එහෙත් දෙමළ ජාතික සංධානයට ප්‍රභාකරන්ට මෙන් නොව ඉන්දියාව ද අවශ්‍ය විය.  දෙමළ ජාතික සංධානයේ නායකයන් අද කියන්නේ ඔවුන්ට එදා කොටි සංවිධානයට යටත් වී නිහඬ වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොවූ බව ය. ඒ එසේ නම් එයින් කියැවෙන්නේ ඊනියා දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයේ නිවට කම ය. ඔවුහු ජීවිත ආශාව නිසා ප්‍රතිපත්ති අත්හළ බව ය. අප මෙය සංසන්දනය කළ යුත්තේ ජ වි පෙරමුණේ තර්ජන හා ගර්ජන මැද ද තම ප්‍රතිපත්ති කුමක් වුවත් නිර්භය ව ඒ වෙනුවෙන් පෙනී සිටි සිංහල නායකයන්ග් ක්‍රියාකාරකම් සමග ය. 
 
1987 දී අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ ප්‍රභාකරන්ගේ සතුටක් නො වී ය. ඉන්දියාවට ඔහු බලයෙන් දිල්ලියට ගෙන යෑමට සිදුවිය. ඉන්දියාවට කලක සිට ම අවශ්‍ය වූයේ දෙමළ ජාතිවාදය යොදා ගනිමින් ඉන්දීය ආධිපත්‍යය යටතේ ක්‍රමයෙන් ඊළමක් පිහිටුවීම ය. ඉන්දියාව තවමත් ඒ අදහස අත්හැර නැත. එස් මහින්ද හිමියන් උපත ලැබූ සීකිම් රාජ්‍යය ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගත් ඉන්දියාව සාක් කලාපයේ භූතානය, නේපාලය, මාලදිවයින ආදී රටවලට බලපෑම් කරයි. පාකිස්ථානය දෙකඩ කර බංග්ලාදේශයක් පිහිටුවූ  ඉන්දියාව ලංකාව දෙකඩකර තම ආධිපත්‍යය යටතේ ඊළමක් නිර්මාණය කිරීමට උත්සාහ කරයි. ප්‍රභාකරන් ඉන්දියාවට අවනත නොවූ නමුත් සම්බන්ධන්, විග්නේශ්වරන් වැන්නෝ අදත් ඉන්දියාවට අවශ්‍ය ආකාරයට කටයුතු කරති. මෙහි දී දෙමළ ජාතික සංධානයෙන් උතුරේ මහඇමති පදවියට තරග කරන විග්නේශ්වරන් ගැන සැලකිලිමත් විය යුතු ය. ඔහු තවත් චෙල්වනායගම් කෙනකු පමණක් නො වේ. ඔහු කෙලින් ම ඉන්දියාවෙන් මෙහෙයවනු ලබන්නෙකි. 
 
ප්‍රභාකරන් ද මුල දී ඉන්දියාවේ පිහිට පැතී ය. කොටි සංවිධානය මුල දී ඉන්දියාවේ පුහුණුව ලැබී ය. දෙමළ ජාතිවාදය ඇතිකළේ බටහිරයන් බැවින් එහි යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික සම්භවයක් ද වෙයි. මෙරට ක්‍රිස්තියානි හා කතෝලික සභාවල ඉහළ පූජකවරු විශාල පිරිසක් ප්‍රභාකරන්ට සහාය දැක්වූහ. ප්‍රභාකරන් හින්දු පවුලක උපත ලදුවත් පසුව බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යට වූ බව පැහැදිලි ය. ප්‍රභාකරන් වැඩිකල් නොගොස් ම ඉන්දියාවට විරුද්ධ වීම ඒ නිසා ම සිදු නොවූවත් එය ද යම් ප්‍රමාණයකට වුවත් ඉවහල් වී ඇතැයි කිව හැකි ය. 
 
කොටි සංවිධානයේ ඊනියා න්‍යායාචාර්යවරයා වූ ඇන්ටන් බාලසිංහම් කතෝලික පවුලක උපත ලැබී ය. ඔහු විවාහ වී සිටියේ ඕස්ටේ‍ර්ලියානු ජාතික කාන්තාවක් සමග ය. ප්‍රභාකරන්ගේ ගජ මිතුරා වූ ද ආරක්‍ෂක අංශයේ ප්‍රධානියා වූ ද ඇන්ටන් කතෝලික විය. ප්‍රභාකරන් තම පුතා නම් කළේ ඇන්ටන් නමිනි. කොටි සංවිධානයට ඉතා විශාල වශයෙන් ආධාර ලැබුණේ එංගලන්තයෙනි. පඬියන් එංගලන්තය හා එහි යටත්විජිත හඳුන්වන්නේ එක්කෝ බිරිතානිය නැත්නම් එක්සත් රාජධානිය ලෙස ය. ඒ එංගලන්තය තමන් එලෙස හඳුන්වාගන්නා බැවිනි. සිතන්නට බැරි මෙරට අනුකාරකයෝ ඉංගිරිසින්ට අවශ්‍ය අන්දමට කටයුතු කරති.                      
 
ප්‍රභාකරන් ඉන්දියාවට විරුද්ධවීමට ප්‍රධාන හේතුව ඉන්දියාව ලංකාවට ආසන්නයේ තිබීමත් ඉන්දියාව සාක් කලාපයේ රටවල් මෙන් ම තිබ්බතය ද තම ආධිපත්‍යය යටතේ තබාගැනීමට උත්සාහ දැරීමත් ය. ඉන්දියාවට අවශ්‍ය වූයේ ඊළම ද තම ආධිපත්‍යය යටතට පත්කර ගැනීම බව ප්‍රභාකරන් දැන සිටියේ ය. ප්‍රභාකරන් බටහිරයන්ගේ ආධිපත්‍යය ප්‍රතික්‍ෂෙප නොකළත් ඉන්දියාවට අවනත නො වී ය. ඔහු ඉන්දු ලංකා ගිවිසුම නො පිළිගත්තේ ය. ඉන්දියාවට ආයුධ භාරදීමෙන් වැළකී සිටියේ ය. ඊනියා සාම සාධක හමුදාවට එරෙහිව සටන් කළේ ය. ඒ ඉන්දු ලංකා ගිවිසුමෙන් ඉන්දියාව පොරොන්දු වූ දැට පටහැණි විය.  ඉන්දියාව එමගින් දින තුනක් ඇතුළත ඉන්දු ලංකා ගිවිසුම කඩ කළේ ය. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම ඒ නිසා ද අහෝසි වී අවුරුදු විසිපහක් පමණ වෙයි. 
 
ඉන්දියාව අප මත ඉන්දු ලංකා ගිවිසුම ද ඒ ඔස්සේ වක්‍රව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ද පළාත් සභා ද පැටවූයේ බලය යෙදීමෙනි. පරිප්පු දේශපාලනය මගින් රජිව් ගාන්ධි හා දික්සිත් ජේ ආර් ජයවර්ධනගේ අත ඈඹරී ය. මෙරට වැසියන් ඉදිරියේ ඒකාධිපතියකු ලෙස හැසිරුණු ජේ ආර් ජයවර්ධන ඉන්දියාව ඉදිරියේ නිවටයෙක් විය. බටහිරයන් ද ඉන්දියාව පිටුපස සිටි බැවින් නිවට ජයවර්ධන ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ මෙරට ජනතාව සතු ස්වෛරීභාවය පාවා දෙමිනිි. ජේ ආර් ජයවර්ධන නිවටයකු වුව ද සිංහලයෝ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව නැගී සිටියහ.  ආචාර පෙළපාලියේ දී රජිව් ගාන්ධිට පහර දුන් රෝහණ විජේමුනි නම් නාවික සෙබළා ඒ විරෝධය සංකේතවත් කළේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණීව  ජනතාවගේ ස්වෛරීභාවය  පාවා දීම නිසා ද ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වී ඇත. එපමණක් නොව ඉන්දු ලංකා ගිවිසුමෙහි එවකට නොතිබූ පළාත් සභා ගැන සඳහන් වන්නේ පළාත් සභාවලට නිර්වචනයක් අර්ථකථනයක් නො දෙමිනි. ඉන්දු ලංකා ගිවිසුමේ ඇති එවැනි විසංවාද නිසා ද එය අර්ථශූන්‍ය අවලංගු වූ ලියවිල්ලක් බවට පත්වෙයි. 
 
මෙහි දී අවධාරණය කළයුතු කරුණක් වෙයි. ඉන්දු ලංකා ගිවිසුම වලංගු යැයි කිසිවකු තර්ක කළ ද දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා එහි ප්‍රතිඵල වුව ද ලංකාව හා ඉන්දියාව අතර දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හෝ පළාත් සභා සම්බන්ධයෙන් වූ ගිවිසුමක් නැත. එබැවින් ඒ ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට, සංශෝධනය කිරීමට හෝ පළාත් සභා පනත අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු නො වේ. 
 
ඉන්දු ලංකා ගිවිසුම වලංගු වුවත් ඉන්දියාවට කළ හැක්කේ ලංකාණ්ඩුව ඒ ගිවිසුමට එකඟ ව ක්‍රියා කරන්නේ ද යන්න සොයා බලා ලංකාණ්ඩුවට ඒ බව දැනුම් දීම පමණ ය. දහතුන් වැනි සංශෝධනය ගැන වුව ද ඉන්දියාවට කළ හැක්කේ එමගින් හෝ එය සංශෝධනය කිරීමෙන් හෝ ඉන්දු ලංකා ගිවිසුම කඩවන්නේ දැයි සොයා බලා ඒ පිලිබඳ ව මෙරට ව්‍යවස්ථාවට පටහැණි නොවන ආකාරයකට කටයුතු කිරීම පමණ ය. ඉන්දු ලංකා ගිවිසුමේ 2.10 වැනි වගන්තියට අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල නීතිය හා සාමය ක්‍රියාත්මක කීරීම සඳහා තිබිය යුත්තේ අනෙක් පළාත්වල ඇති ආයතන ම ය. එබැවින් එක් එක් පළාතට වෙන වෙන ම ප්‍රාන්ත පොලිස් කොමිෂන් සභා පිහිටුවීම ඉන්දු ලංකා ගිවිසුමට පටහැණි වෙයි. එබැවින් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට පොලිස් බලතල දීම ඉන්දු ලංකා ගිවිසුමට වුව ද පටහැණි ය. ඉන්දියාවට අවශ්‍ය නම් ඒ බව ලංකාණ්ඩුවට දැන්විය හැකි ය.
  
කෙසේ වෙතත් ඉන්දියාව උත්සාහ ගත්තේ බටහිරයන් නිර්මාණය කර පෝෂණය කළ දෙමළ ජාතිවාදය යොදා ගනිමින් පළමුව සන්ධීය රාජ්‍යයක් පිහිටුවා පසුව ඊළමක් ඇති කිරීමට ය. එය අනෙක් දෙමළ ජාතිවාදී ප්‍රභාකරන්ගේ මස්සිනාලාගේ දේශපාලනය සමග සංගත වූ නමුත් ප්‍රභාකරන්ගේ දේශපාලනයට පටහැණි විය. රජිව් ගාන්ධිගේ බලපෑම් නොරිස්සූ ප්‍රභාකරන් ඉන්දීය අගමැතිවරයා මරා දැමීමට කටයුතු කළේ ය. ඉන්පසු ඉන්දියාව කොටි සංවිධානයටත් ප්‍රභාකරන්ටත් විරුද්ධ විය. එහෙත් ඉන්දියාව දෙමළ ජාතික සංධානය මගින් පියවර දෙකකින් ඊළම ඇතිකිරීමේ ප්‍රතිපත්තිය දිගට ම ගෙන ගියේ ය. අදත් ඉන්දියාව ඒ ප්‍රතිපත්තියේ ම වෙයි. අන්ත නිවටයන් වූ  දෙමළ ජාතික සංධානයේ නායකයෝ ඉතා සුළු කරුණකට වුවත් දිල්ලියට ගොස් අවවාද අනුශාසනා ලබා ගනිති.
 
ඉන්දියාව ඊළමක් බිහිකළහොත් ඉන්පසු සීකිමය මෙන් මුළු ලංකාව ම ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගෙන අශෝක සිහිනය සැබෑ කරගැනීමට කටයුතු කරනු ඇත. එහෙත් එයට කිසි දිනෙක ඉඩක් ලැබේ යැයි සිතිය නො හැකි ය. අශෝක සිහිනය ද අවසානයේ දී සිහිනයක් පමණක් විය. සිංහලයන්ගේ ඉතිහාසයේ හා සංස්කෘතියේ යක්‍ෂ ගෝත්‍රික සංරචකය එදත් අදත් වෛදිකයන්ගේ හිසරදයට හේතු වෙයි. වත්මන් ඉන්දියාව අශෝක රජුගෙන් වෙන්වන්නේ ඉන්දියාවට තුන්වැනි සංගායනාවේ බුදුදහම ද ලංකාවෙන් තුරන් කිරීමට ඇති අවශ්‍යතාව හේතුවෙනි.
 
මේ කෘතියෙහි කෙටියෙන් දැක්වෙන දෙමළ ජාතිවදී දේශපාලනයේ යුග තුන නන්දිකඩාල් කලපුවේ දී අවසන් විය. දැන් අප එළඹී ඇත්තේ දෙමළ ජාතිවාදී දේශපාලනයේ හතරවැනි යුගයට ය. මේ හතරවැනි යුගයේ නායකත්වය දරන්නේ දෙමළ ජාතිවාදී රොඩු බොඩු ටිකකි. ඔවුහු දෙවර්ගයකට අයත් වෙති. එක් වර්ගයක් ඉන්දියාවේ, විශේෂයෙන් ම රෝ සංවිධානයේ අනුදුනුම අනුග්‍රයහ හා ආශිර්වාදය යටතේ ලංකාවේ සිට ක්‍රියාත්මකවන සම්බන්ධන් හා විග්නේශ්වරන් ගණයේ නායකයෝ ය. ඉන්දියාවට අද අවශ්‍ය කොළඹ ප්‍රභූ යැයි සම්මත පාසල්වල අධ්‍යාපනය ලැබූ බටහිර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන තමන්ට අවභ්‍ය ආකාරයට මෙහෙයවිය හැකි කොළඹ කේන්ද්‍රීය දෙමළ නායකයන් ය. පසුබිම ලෙස ගතහොත් මේ නායකයෝ ප්‍රභාකරන්ගේ සීයලා, බාප්පලා හා නීලන් තිරුචෙල්වම් වැනි මස්සිනාලාට සමාන වෙති. එහෙත් මේ නායකයෙන්ට මධ්‍යයෙහි බලය සඳහා කටයුතු කළ සීයලාට හා බාප්පලාට මෙන් නොව උතුරු හා නැගෙනහිර පළාත්වලට ව්‍යවස්ථාදායක බලය ලැබෙන අයුරෙන් සංධීය රාජ්‍යයක් පළමුවෙන් පිහිටුවා ඉන්පසු චෙල්වනායගම් ක්‍රමය අනුව ඊළම පිහිටුවීමට අවශ්‍ය ය. එහෙත් අද එය ඔවුන්ගේ අවශ්‍යතාවකට ද වඩා ඉන්දියාවේ අරමුණ ය. 
 
ඉන්දියාවට හා මේ දෙමළ ජාතිවාදී නායකයන්ට දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණ ප්‍රශ්නයක් නො වේ. මේ වෙල්ලාල නායකයෝ ප්‍රධාන වශයෙන් ම 1650න් පසුව ලංකාවට ගෙන්වනු ලැබූවන්ගෙන් පැවත එන්නෝ වෙති. ඔවුහු ප්‍රධාන වශයෙන් ම යාපන අර්ධද්වීපයේ පදිංචිකරවෝ වෙති. ඔවුහු එකල උතුරු පළාතේ සීමාව යාපන අර්ධද්විපය ලෙස සැලකූහ. අඩුම තරමෙන් කිලිනොචිචි ප්‍රදේශයේ වැසියන්ගේ සුභ සිද්ධියවත් ඔවුන්ට වැදගත් නො වීය. ඒ බව ආනන්ද සංගරී ද දනියි. ඔහු වරෙක කියා සිටියේ ඒ ප්‍රදේශයට යම් දියුණුවක් අත්වූයේ කිලිනොච්චිය වෙන ම දිස්ත්‍රික්කයක් බවට පත්වීමෙන් පසුව බව ය. නැගෙනහිර පළාතේ දෙමළ ජනයා පදිංචි කෙරුණේ ඉංගිරිසින් විසිනි. ඉංගිරිසින් ඔවුන් ගෙන්වූයේ මාර්ග තැනීම් ආදී කුලී වැඩෙහි යෙදීම සඳහා ය. රාජකාරි ක්‍රමයට හුරුවී සිටි සිංහලයන් කුලී වැඩ නොකිරීම මෙසේ ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වීමට ප්‍රධාන හේතුවක් විය. ඉංගිරිසින්ගේ අධිරාජ්‍යයෙහි සිටි සුවච ම කීකරු සේවකයෝ දෙමළ ජනයා වූහ. ඉංගිරිසිහු තම අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශවලට වත්මන් තමිල් නාඩුවෙන් කුලීකරුවන් ගෙන යෑමට කැමැත්තක් දැක්වූහ.  එකල කුලීවැඩ නොකළ සිංහලයන් කම්මැලියන් ලෙස හැඳින්වූ ඉංගිරිසිහු ඔවුන් තම අධිරාජ්‍යයේ කිසිතැනක වැඩට නො ගෙනගියහ. පසු කලෙක කෝපි හා තේ වගාව සඳහා උඩරට ප්‍රදේශවලට දෙමළ කම්කරුවන් ගෙන ඒමට ද එකී කරුණු ඉවහල් විය. එයට අමතරව 1817 –- 18 සිංහලයන්ගේ නිදහස් සටනෙන් පසු උඩරට පෙදෙස්වල සිංහලයන්ගේ බලය නැතිකිරීමට ජාතික නොවූ ජනවර්ගයක් එහි පදිංචි කිරීමේ අවශ්‍යතාව ද ඉංගිරිසින්ට විය. 
 
කෙසේ වෙතත් මඩකලපුවේ හා නැගෙනහිර වෙනත් ප්‍රදේශවල පදිංචි කෙරුණු දෙමළ ජනයා යාපනයේ වෙල්ලාලයන් විසින් සලකනු ලැබුයේ පහත් කුලවල ජනයා ලෙස ය. අද පවා දෙමළ සමාජයේ මේ කුල භේදය පවතියි. කඳුකරයේ දෙමළ ජනයා වෙල්ලාලයන් විසින් එතරම්වත් සැලකිල්ලකට ලක් නො වූහ. සියළු දෙමළ ජනයාගේ පමණක් නොව දෙමළ කතාකරන මුස්ලිම් ජනයාගේ ද ආධාරය නොමැතිව ඊළමක් පිහිටුවීමට නොහැකි බව තේරුම්ගත් චෙල්වනායගම් ඒ සියල්ලන් එකතුකර අවසානයේ දී 1976 දී වඩුකොඩේ යෝජනා සම්මත කර ගත්තේ ය. 
 
ඉන්දියාවට අවශ්‍ය උතුරු හා නැගෙනහිර පළාත්වලට පළමුව සන්ධීය (හැකිනම් සහසන්ධීය) බලතල ලබා දී පසුව ඊළම බිහිකිරීමට ය. බටහිරයන්ට ද අවශ්‍ය එලෙස වක්‍රව හෝ සෘජුව හෝ ඊළමක් ඇති කිරීමට ය. ඔවුහු දෙගොල්ලෝ ම ඒ සඳහා බටහිරයන් විසින් ඇතිකර පෝෂණය කරනු ලැබූ දෙමළ ජාතිවාදය යොදාගනිති. ඔවුන්ගේ මූලික පූර්වායවය වනුයේ දෙමළ ජනයාට ඊනියා සිංහල ආණ්ඩුවලින් අසාධාරණයක් වී යැයි පැවසීම ය. එහෙත් මේ කෘතියෙහි විස්තර කෙරෙන්නේ එය එසේ නොවන බව ය. ඉංගිරිසින් යටතේ  දෙමළ ජාතිවාදී දේශපාලනයේ ආරම්භය ඔවුන් කියන පරදි නොව 1956න් අවුරුදු එකසිය විසිපහක පමණ කාලයක් ඈතට යයි. දෙමළ ජාතිවාදයේ සම්භවය එයටත් ඈතට විහිදෙයි. 
 
සෝවියට් දේශය වැටීමෙන් පසු ඉන්දියාව ඇමරිකන් එක්සත් ජනපදය යටතේ මෙම කලාපයේ නග්න බලවතා බවට පත්වීමට උත්සාහ දරයි. දැන් නොබැඳි සම්මේලනය ඉතිහාසයට අයත්වූවකි. අද ඇත්තේ ඒකධ්‍රැව ලෝකයකි. ඇමරිකාව එහි ආධිපත්‍යය දරණ අතර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය අධිපතිවාදී චින්තනය ද, යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අධිපතිවාදී සංස්කෘතිය ද වෙයි. ඉන්දියාව වෛදික සංස්කෘතියෙහි ඇත්තේ ඓතිහාසික හේතු මත මිස වත්මන් ආර්ථිකය සම්බන්ධයෙන් නො වේ. එසේ වුවත් ඓතිහාසිකව ඉන්දියාව වෛදික චින්තනයෙන් හා සංස්කෘතියෙන් උරුමකර ගත් දේ බොහෝ වෙයි. ඒ අතර බෞද්ධ විරෝධය ද වෙයි. 
 
බුදුදහම අනාත්මවාදී වෙයි. ඇතැම් පඬියන් කියා ඇත්තේ අනාත්මවාදී යැයි කී විගස ආත්මවාදයක් මතුවන බව ය. බුදුන් වහන්සේ ආත්මයක් නැතැයි හා අනාත්මයක් නැතැයි දේශනාකර නැත. ආත්මයක් නැතැයි කී පමණින් ආත්මයක් ඇතැයි ගම්‍ය වන්නේ නැත.  මනසක් නැතැයි කී පමණින් මනසක් ඇතැයි ගම්‍ය වන්නේ නැත. බෙහෝ විට යමක් නැතැයි කීමට සිදුවන්නේ ඒ ඇතැයි කියන පිරිසක් ඇති විට ය. එවැනි පිරිසක් නැති විට නම් යමක් නැතැයි කීම අවශ්‍ය නොවනවා විය හැකි ය.  
 
යමක් පවතියි යන්න සම්මුතියක් පමණකි. පුටුවක් වෙයි යන්න පුටුව නමැති සංකල්පය යොදා ගෙන ව්‍යවහාර කරන්නකි. එය ඇත්තේ සම්මුතියෙන් පමණකි. සංකල්පයක් යනු මිනිසුන් (මනසක් ඇති සත්ත්වයන්) විසින් නිර්මාණය කෙරෙන්නෙකි. එය මිනිසුන්ගේ අවිද්‍යාවෙන් කෙරෙන සංස්කරණයක් පමණකි.  එය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම ය, ශූන්‍ය ය. පුටුවක් ඇතැයි කියන ලෝකයාට එහි පුටුවක් නැතැයි කීමෙන් පුටුවක් ඇති බවක් නො කියැවෙයි. පුටුවක් ඇතැයි කියන ලෝකයාට අපි පුටුවක් නැතැයි කියමු. ආත්මයක් නැතැයි කීම ද එබඳු ය. නිරවුල් ව කල්පනා කිරීමට නොහැකි වූවන් මේ කරුණු අවුල්කර ඇත. ආත්මයක් ඇතැයි කියන ලෝකයක ආත්මයක් නැතැයි කීමෙන් ආත්මයක් ඇතැයි ගම්‍ය නො වෙයි.
 
කෙටියෙන් නමුත් ඒ දාර්ශනික විවරණය කිරීමට සිදුවුයේ අවුල් ලෝකයක ජීවත්වූවන් අතින් මුළා කෙරුණු බොහෝ දෙනකු අප අතර ඇති බැවින් මිස එය මෙහි දී සෘජුව ම අදාළ වන්නක් නිසා නො වේ. වෛදිකයෝ ආත්මවාදීහු වූහ. ඔවුහු ආත්මයක් නැතැයි කියන බෞද්ධයනට බුදුදහම දැනගත් දා සිට ම වෛර කරති. භාරතයෙන් බුදුදහම නැතිවූයේ මුස්ලිම්වරුන් පමණක් නිසා නො වේ. එහි දී වෛදිකයෝ ප්‍රධාන කාර්යය ඉටුකළහ. බුදුසසුන ආරක්‍ෂා කළෝ සිංහලයෝ ය. වෛදිකයන් අද ආර්ථික සංස්කෘතික හා දේශපාලනික වශයෙන් බටහිරයන්ට ගැති වන අතර ඓතිහාසික ව ඔවුහු බුදුදහමට වෛර කරති. බටහිරයෝ ද ඒ නිසා ම නොවුණත් බුදුදහමට වෛර කරති. එහෙත් ඒ කිසිවෙක් ඒ බව ප්‍රසිද්ධියේ නො කියති.
 
ඉන්දියාව ඒකීය රාජ්‍යයක් ලෙස එක්කරනු ලැබුයේ ඉංගිරිසින් විසිනි. එයට පෙර ඒ ප්‍රදේශයේ වුයේ වාංශික රාජ්‍ය ය. ඒ වාංශික රාජ්‍ය විශාල ප්‍රමාණයක් නැතිකර පළමුවෙන් විශාල රාජ්‍යයක් ගොඩනැගුවෝ මෞර්යයෝ ය. චන්ද්‍රගුප්ත මෞර්යයා දක්‍ෂිණ භාරතයේ සිංහ ගෝත්‍රයට අයත් මුරා පෙළපතින් පැවත ආවෙකි. මෞර්ය රාජ වංශය ගොඩනැගුවේ ඔහු ය. ඔහුට ඒ සඳහා චානක්‍ය හෙවත් කෞටිල්‍ය ගේ සහාය ලැබිණි. අශෝක චනද්‍රගුප්තගේ මුණුබුරා විය. ඔහු අති විශාල රාජ්‍යයක් ගොඩනැගී ය. ඔහුගේ කාලයෙහි දී වෙහෙර විහාර රාශියක් ගොඩනැගුණු නමුදු වැසියන් කොපමණ බෞද්ධ විණි දැයි අපි නො දනිමු. ඔහුගෙන් පසුව කණිෂ්ක රජුගේ කාලයේ දී බුදුදහම (මහායානික) බුදුදහම භාරතයේ ප්‍රචලිත වත ඇත. එහෙත් සමස්තයක්  ලෙස ගත්කල වෛදිකයෝ බුදුදහම ප්‍රතික්‍ෂෙප කළහ. පසු කලෙක අක්බාර් රජු ද විශාල රාජ්‍යයක් ගොඩ නැගී ය. එය හින්දු හෝ බෞද්ධ හෝ නොව මුස්ලිම් විය..
 
බුදුදහම අනාත්මවාදී වීම වෛදික බමුණන් නොරිස්සූ නිසා ම ආත්මවාදී බමුණු මත බුදුදහමට ඇතුල්වීම වැළැක්විය නො හැකි විය. කණගාටුවෙන් නමුත් කිවයුත්තේ අශෝක රජුගේ අනුග්‍රහයෙන් පැවැත් වූ තුන්වැනි සංගායනාවේ දී ඇතැම් ආත්මවාදී මතයක් ථෙරවාදය නමින් හැඳින්වෙන බුදුදහමට ඇතුල් වූ බව ය. මේ සම්බන්ධයෙන් කලකට පෙර මා ප්‍රකාශ කළ අදහස්වලට විරුද්ධවූවෙක් මා බෞද්ධයකු නොවන බව ප්‍රසිද්ධියේ කීවේ ය. ඔහු එසේ කීවේ මහායාන, තන්ත්‍රයාන, වජුයාන වශයෙන් බෞද්ධයන් ඇති බව පිලිගනිමිනි. තුන්වැනි සංගායනාවේ ඇතැම් අදහස් නොපිළිගත් පමණින් මා බෞද්ධයකු නොවන්නේ ඇයි දැයි මට නො තේරෙයි. තම්බයියාලා බුදුදහමට හා බුදුසසුනට එරෙහිව බුදුදහම ලියූ විට ඔවුන්ට විරුද්ධව බුදුසසුන වෙනුවෙන් කතාකිරීමට මේ ථෙරවාදයේ කපටි ආරක්‍ෂක පඬියෝ නො වූහ. 
 
වෛදිකයන් බුදුදහමට වෛර කරන්නේ බුදුදහම අනාත්මවාදී වීම නිසා ම පමණක් නො වේ. බුදුදහම නිර්මාණවාදය ද ප්‍රතික්‍ෂෙප කරයි. වෛදිකයන් ප්‍රධාන වශයෙන් ද මුස්ලිමුන් ද්විතීයික ව ද බුදුදහම භාරතයෙන් අතුගා දැමූ නමුත් සිංහලයෝ අඩුම තරමෙන් තුන්වැනි සංගායනාවේ බුදුදහම ආරක්‍ෂා කළහ. එය මහාවිහාරයේ අද්වීතිය කාර්යයකි. එයට බුද්ධඝෝෂ හිමියන් ඇතුළු ආන්ද්‍ර දේශයේ භික්‍ෂූන් වහන්සේගේ සහාය ද ලැබී තිබෙන බව පැහැදිලි ය. වෛදිකයෝ එදත් අදත් සිංහලයන්ට වෛර කරති. පැරණි වෛදික සංස්කෘතියේ නැතත් එය උරුම කරගෙන ඇති ඉන්දියානුවෝ එකල තිබූ විවිධ වාංශික රාජ්‍යයන් මෙන් ම අදත් ලංකාව යටත්කර ගැනීමට උත්සාහ කරති.    
 
තමන්ට ඉතිහාසයේ කිසිම දිනෙක ලංකාව සම්පුර්ණයෙන් ම යටත්කර ගැනීමට නොහැකිවීමේ අපේක්‍ෂා භංගත්වයත්  සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් විනාශ කිරීමටත් බැරිනම් දුර්වල කිරීමටත් ඇති වුවමනාවත් විසින් ද ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වෙයි. ඉන්දීය කෞටිල්‍යයෝ එහි දී දෙමළ ජාතිවාදය යොදා ගනිති. එහි දී රෝ සංවිධානයේ ක්‍රියාකාරීත්වය අතිමහත් ය. දෙමළ ජාතිවාදී දේශපාලනයේ පළමු හා දෙවැනි යුගවල දී ඔවුන්ගේ මැදිහත් වීමක් නොවූයේ එකල ඉන්දියාව ද එංගලන්තයේ යටත්විජිතයක් වූ බැවිනි. එහෙත් එහි තුන්වැනි යුගයේ දී  ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා ඉන්දියාවේ සහාය විවිධාකාරයෙන් ලැබූහ. ඉන්දියාවට අවශ්‍ය වන්නේ පළමුව උතුරු හා නැගෙනහිර පළාත්වලට සන්ධීය බලතල දීමත් දෙවනුව ඊළමක් ඇතිකිරීමත් තුන්වැනුව ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවටත් පත්කර සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් නැතිකර දැමීම ය. 
 
ඉන්දියාව දෙමළ ප්‍රශ්නයට මැදිහත්වන්නේ දෙමළ ජනයාට සිදු වී ඇති ඊනියා අසාධාරණයක් නිසා නො වේ. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම වූ අසාධාරණයක් නැත. එසේ අසාධාරණයක් සිදු වී ඇත්නම් ඔවුන් අප මත බලයෙන් පටවන පළාත් සභාවලින් ඒ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. එයට හේතුව එම ඊනියා විසඳුම උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා සඳහා පමණක් වීම ය. අද වන විට මෙරට දෙමළ ජනයාගෙන් 60%ක් පමණ ඒ පළාත් දෙකෙන් පිටත ජීවත් වෙති. ඉන්දියාව මැදිහත් වන්නේ කලින් ඡෙදයේ සඳහන් කරුණු ඉටුකර ගැනීමට බව මෙරට දෙමළ ජනයා ද තේරුම් ගනු ඇත්තේ පසුව ය. 
 
අද දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ දී ඉන්දියාවට ඇත්තේ බටහිර රටවල් හා එම රටවල විසුරුණු දෙමළ ජනයා හා දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ය. එයට අමතරව රාජ්‍ය නොවන සංවිධාන, උගත්තු ආදී කලින් සඳහන් කර ඇති විදේශීය හා විජාතික බලවේග වෙති. මෙයින් ඉන්දියාවට වඩාත්ම යොදාගත හැක්කේ දෙමළ ජාතික සංධානයේ නායකයන් ය. මේ නායකයෝ ප්‍රභාකරන් මෙන් නොව ඉන්දියාවට ගැති වෙති. ප්‍රභාකරන් හා ඉහත සඳහන් අනෙක් කොටස් මෙහෙයවනු ලැබුයේ හා ලබන්නේ බටහිරයන් විසිනි. ඉන්දීය ගැති දෙමළ ජාතික සංධානයේ නායකයෝ ඉන්දියාවට අවශ්‍ය ආකාරයට දේශපාලනය කරති. ඔවුන්ට ඉන්දියාවෙන් තොරව දේශපාලනික පැවැත්මක් නැත. 
 
දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගය එක් පැත්තකින් රෝ සංවිධානය හා ඉන්දියාව විසින් ද අනෙක් පැත්තෙන් එංගලන්තය ඇතුළු බටහිර රටවල් විසින් ද මෙහෙයවනු ලැබෙයි. එහෙත් ඔවුහු එකට ක්‍රියා කරති.  ඓතිහාසික හේතු මත දෙමළ ජාතිවාදය උඩ සිට පහතට ක්‍රියාත්මක වෙයි. ඉන්දියාවේ ද එහි ආරම්භකයෝ ඉංගිරිසි උගත් දෙමළ ජනයා වූහ. එහි නායකත්වය කතෝලික පූජකවරුන් සතු විය. චෙල්වනායගම්ට පෙර ලංකාවේ දෙමළ ජාතිවාදයේ නායකයන් හින්දු වුව ද දකුණු ඉන්දියාවේ ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයකු වූ චෙල්වනායගම්ගෙන් පසු දෙමළ ජාතිවාදයෙහි ක්‍රිස්තියානි හා කතෝලික බලපෑම වැඩි විය. ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ කේරළ කතෝලික බලපෑම නේරුගේ විදේශ ඇමතිවරයා වූ ක්‍රිෂ්ණ මෙනන්ගේ කාලයේ සිට ම විශාල ය. ලංකාවේ දෙමළ ජාතිවාදය ඉන්දීය විදේශ අමාත්‍යාංශයෙන් රෝ සංවිධානයෙන් හා කතෝලික හා ක්‍රිස්තියානි සභාවලින් මෙහෙය වෙයි. මේ සියල්ලන්ට ම අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතිය ලංකාවෙන් තුරන්කර බටහිර අනුග්‍රහය යටතේ මෙහි ඉන්දීය ආධිපත්‍යයක් පිහිටුවීම ය. 
 
එංගලන්තය, කැනඩාව, ඕස්ටේ‍ර්ලියාව යන ඇංග්ලො සැක්සන් රටවල් ඇතුළු බටහිර රටවල් මෙරට දෙමළ ජාතිවාදය මෙහෙයවන්නේ බටහිර රටවල සිටින විසුරුණු දෙමළ ජනයා මගිනි. මෙරට යම්තම් අකුරු කියවීමට හැකි එකා ද මොවුන් ඩයස්පෝරාව නමින් හඳුන්වනානේ බටහිරයන් අනුකරණය කරමිනි. එහෙත් මොවුන් නොදන්නා කරුණ නම් වචන භාවිතය හුදු පඬිකම පෙන්වීමේ මගක් නොවන බව ය. ඩයස්පෝරාව යනු බයිබල් වචනයකි. එයින් ධ්වනිත වන අරුත් බොහෝ ය. තම රටින් පිටුවහල් කෙරී අනුකම්පාවට ලක්විය යුතු ජනකායක් යන්න ඩයස්පෝරාව මගින් ජනිත වෙයි. බටහිරයන් තම රටවල සිටින විසිරුණු දෙමළ ජනයා ඩයස්පෝරාව යනුවෙන් හඳුන්වන්නේ තම පඬිබව පෙන්වීමට නො වේ. 
 
අද බටහිර බොහෝ රටවල කොටි සංවිධානය තහනම් කෙරී ඇත්තේ නමට ය. විසුරුණු දෙමල ජනයා අතර කොටි වෙති. ඔවුහු කොටි සංවිධානයේ විවිධ පෙරමුණු සංවිධාන පිහිටුවා ගෙන ක්‍රියාකාරී වෙති. ඔවුහු ලංකාවටත්, ආණ්ඩුවටත්, සිංහලයන්ටත් විරුද්ධව විවිධ ක්‍රිකාරකම්වල නිරත වෙති. ඔවුහු පෙළපාලි යති. මාර්ග අවහිර කරති. ක්‍රීඩා පිටිවලට කඩා වදිති. එහෙත් බටහිර රටවල පවතින ඊනියා නීති යටතේ ඔවුන්ට ඒ සියල්ල සඳහා නිදහස ඇත. මේ සියල්ලෙන් දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ දී ඔවුන් බලාපොරෙත්තුවන්නේ ලංකාවටත්, සිංහලයන්ටත්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ටත්, රණවිරුවන්ටත්, ජනාධිපතිතුමාටත්, ආරක්‍ෂක ලේකම්තුමාටත් එරෙහිව මතයක් ගොඩ නැගීමට, බලපෑම් ඇතිකිරීමට, අප රණවිරුවන් ලත් ජයග්‍රහණ ආපසු හැරවීමට, ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්තුමා ඊනියා ජාත්‍යන්තර යුද්ධාධිකරණයකට ඉදිරිපත්කර ඔවුන් දංගෙඩියට යැවීම ය. 
 
එහි දී ඔවුන් මෙරටින් පිටවී ගොස් බටහිර රටවලින් නඩත්තුකෙරෙන ජඩමාධ්‍යවේදීන්, ඊනියා කලාකරෆැවන් හා විද්වතුන්, ආදීන් ද යොදා ගැනීමට උත්සාහ කරනු ඇත. හමුදාව අගෞරවයට ලක්කෙරෙන චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට කුලියට ගත් ඊනියා කලාකරුවනට තව තවත් ඉඩකඩ සැපයෙනු ඇත. මේ කුලී කලාකරුවනට ඊනියා ජාත්‍යන්තර සම්මාන ද ලැබෙනු ඇත. චැනල් ෆෝ හෙවත් බටහිරයන් වෙනුවෙන් ලෝක ජනමතය සකස්කරන ප්‍රධාන ආයතනයක් වූ එංගලන්තයේ බීබීසියේ හතරවැනි නාලිකාවේ මැක්රේ වැන්නවුනට ව්‍යාජ වාර්තා චිත්‍රපටි නිපදවීමට අවශ්‍ය සහාය ලබාදෙනු ඇත. 
 
කිසිම කලා කෘතියක් හුදු කලා කෘතියක් නො වේ. කලා කෘතියක් යනු සිහිනයක් ද නො වේ. කලාකරුවෝ ද සිත් පිත් ඇති මිනිස්සු වෙති. ඔවුන් ට ද යම් චින්තන ඇත. කලාකරුවකු  කලාකෘතියක් නිර්මාණය කරන්නේ යම් චින්තනයක ය. කලාකෘතිය මගින් කියැවෙන්නේ කලාකරුවාගේ චින්තනය ය. මෙරට බොහෝ කලාකරුවන්ගේ චින්තනය සිංහල බෞද්ධ විරෝධී වෙයි. එය ඔවුන්ගේ අධ්‍යාපනය, පවුල් පසුබිම, සමාජයීය අවශ්‍යතා, ලැබෙන කීර්තිය, පිළිගැනීම, සම්මාන ආදී කරුණු මත තීරණය වෙයි. මෙරට සිටින සම්භාව්‍ය යැයි කියන කලාකරුවන්, විශේෂයෙන් ම සිනමාකරුවන්, තම සිංහල බෞද්ධ විරෝධී චින්තනයෙහි පදනම් වී නිර්මාණය කරන කෘති සිංහල බෞද්ධ විරෝධී වෙයි. මේ කෘති සිංහල බෞද්ධයනට එරෙහිව යොදා ගනු ලැබෙයි. දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ දී එවැනි සිංහල බෞද්ධ විරෝධී කෘති තව තවත් බිහිවෙනු ඇත.    
 
දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ බටහිර ප්‍රධාන කාර්යය වනුයේ අප හමුදා මෙහෙයුම්වලින් ලබාගත් ජයග්‍රහණය ආපසු හැරවීම හා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළීම ය. එහි දී ඔවුන් විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරනු ඇත. මෙතෙක් ඔවුන් සංවිධානය කළ වසන්ත සියල්ල අසාර්ථකවීම හේතුවෙන් ඔවුන් දැන් සිංහල බෞද්ධයන් ම ආණ්ඩුවට විරුද්ධව යොදා ගැනීමේ ක්‍රියාමාර්ගවලට එළඹීමට ඉඩ ඇත. එහි දී බටහිර ඔත්තු සේවා හා රෝ සංවිධානය එකට ක්‍රියාකරනු ඇත. 
 
සිංහල බෞද්ධයන් හා මුස්ලිමුන් අතර ආරවුල් ඇතිකිරීමට මේ සංවිධාන කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි ය. සියළු ජිහාඩ් සංවිධාන මුස්ලිමුන්ගේ සංවිධාන යැයි සිතිය නො යුතු ය. ඇතැම් මුස්ලිම් නායකයන් බෞද්ධ විරෝධී බව සැබෑ ය. එහෙත් එවැනි මුස්ලිම් නායකයෝ ද ඇතැම් අවස්ථාවල බටහිරයන් හා ඉන්දියාව විසින් යොදා ගැනෙති. බටහිරයන් හා රෝ සංවිධානය මෙහෙයවන ජිහාඩ් සංවිධාන ද වෙයි. ජිහාඩ් යන අරාබි වචනයේ තේරුම අරගලය යැයි කියැවෙයි. බටහිර ඔත්තු සේවාවන්ට හා රෝ සංවිධානයට ජිහාඩ් සංවිධාන ඇතිකිරීමට බාධාවක් නැත. එහි දී හැකි නම් භික්‍ෂූන් වහන්සේ පවා යොදා ගැනීමට මේ ඔත්තු සංවිධාන ක්‍රියාකරනු ඇත. ඔවුන්ට අවශ්‍ය වනුයේ බෞද්ධයන් හා මුස්ලිමුන් අතර භේද ඇතිකර සිංහල ඹෞද්ධයන් අපකීර්තියට පත්කර සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් නැති කිරීම ය. ඒ අතර මුස්ලිම් ජනයා ගැන ද විරෝධාකල්පයක් නිර්මාණය කිරීම ය. මේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරාගැනීමේ වෑයමකි. බටහිරයන්ට යුද්ධ හා දේශපාලන ක්‍ෂෙත්‍රවල අභියෝගය මුස්ලිම් සංස්කෘතිය වන අතර ආධ්‍යාත්මික ව අභියෝගය එල්ල වනුයේ සිංහල බෞද්ධ සංස්කෘතියෙනි. අප ඉතා විමසිල්ලෙන් ක්‍රියාත්මක නොවුවහොත් ව්‍යාජ ජාතික ව්‍යාපාරයක් ඔස්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට නොහැකි නම් දුර්වල කිරීමට බටහිර ඔත්තු සේවා හා රෝ සංවිධානය ක්‍රියාකරනු ඇත. එහි දී කලක් තිස්සේ ජාතික ව්‍යාපාරයෙහි යෙදී සිටින අයට ද තර්ජන එල්ල වනු ඇත. 
 
නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීමට පියවර ගැනීමට නොහැකිවීම හේතුවෙන් දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගය පැන නැගී ඇත. මේ ඉතා තීරණාත්මක යුගයකි. අප එයට නිවැරදිව මුහුණ නොදුන්නහෙත් ලංකාව අවසානයේ දී සන්ධීය (සහසන්ධීය) රාජ්‍යයක්, ඊළමක් ඔස්සේ ඉන්දියාවේ ප්‍රාන්තයක් වී බුදුසසුන ද මෙරටින් තුරන් වී යෑමේ අනතුර ඇත. එහෙත් මේ හතරවැනි යුගය අපට ජයගත හැකි ය. කළයුත්තේ සැලසුමක් ඇතිව ප්‍රශ්නයට මුහුණ දීම ය. දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව අපට දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීමට නොහැකි වූයේ ඇයි? එයට ප්‍රධාන හේතුව ඒ වන විට ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් වී තිබීම ය. අද නැවත එකල තිබූ ජාතික ව්‍යාපාරය ගොඩනැගීමට නො හැකි ය. අද කළ යුත්තේ අපට කළ හැකි දේ කුමක් දැයි තේරුම් ගෙන  කල්්පනාකාරීව ක්‍රියාකිරීම ය. දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ නායකයන් වනු ඇත්තේ රොඩු බොඩු වූ ඉන්දීය ගැති දෙමළ දේශපාලනඥයන් ය. ඉන්දියාවට සුළුවෙන්වත් තර්ජනයක් විය හැකි දෙමළ දේශපාලනඥයන් අකර්මණ්‍ය කිරීමට බටහිරයන් හා ඉන්දියාව ක්‍රියාකරනු ඇත. අද උතුරු පළාතේ මහඇමති ධුරය සඳහා සී වී විග්නේස්වරන් ඉදිරිපත් කර ඇත්තේ සේනාධිරාජා කොටින් සමග යම් සම්බන්ධකම් පැවැත්වී යැයි කියැවෙන බැවිනි. බටහිරට කෙසේ වෙතත් ඉන්දියාවට තවත් ප්‍රභාකරන් කෙනකු අවශ්‍ය නො වේ. ඔවුන්ට අද අවශ්‍ය බටහිර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන ඉන්දියාවට අවශ්‍ය ආකාරයට නැටවිය හැකි සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදී නායකයන් ය.  මේ නායකයන් වඩා සමීප වනුයේ ප්‍රභාකරන්ට නොව ඔහුගේ සීයලාට හා බාප්පලාට ය. එහෙත් මේ නිසා ම දෙමළ ජාතික සංධානයේ මතභේද ඇතිවනු ඇත. දෙමළ ජාතික සංධානය දෙකඩ තෙකඩ වීම වැළැක්විය හැකි නො වේ. අප ඉන් ප්‍රයෝජන ගත යුතු ය. 
 
දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ දී බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ඉන්දියාව කටයුතු කරනු ඇත්තේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට ය. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුන්වැනි සංශෝධනය ද ඇතුළු සියළු දේශපාලන ගිවිසුම් අහෝසි විය. එහෙත් ඒ දේශපාලනික ජයග්‍රහණය නෛතිකව තහවුරු කරගැනීමට අපට නොහැකි විය.  අප දෙමළ ජාතිවාදයට හා ඉන්දියාවට කිසිම ඉඩක් නොදී නන්දිකඩාල් ජයග්‍රහණය මගින් දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීමට කටයුතු කළ යුතු ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වුව ද, ඒ පිළිබඳ ව ඉන්දියාව හා ලංකාව අතර ගිවිසුමක් නැත. හැරත් කලින් සඳහන් කර ඇති පරිදි ඉන්දු ලංකා ගිවිසුම විවිධ හේතු නිසා අහෝසි  වී ඇත. එයට මූලික වශයෙන් වගකිව යුත්තේ ඉන්දියාව ය. ඉන්දු ලංකා ගිවිසුම වලංගු යැයි කිසිවකු තර්ක කළත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ පෙර ඉන්දියාව සමග සාකච්ඡා කළයුතු නො වේ. අපේ රටේ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පෙර ඉන්දියාව සමග සාකච්ඡා කිරීමට ඉන්දු ලංකා ගිවිසුමෙන්වත් අප බැඳී නැත
 
දෙමළ ජාතිවාදීන් නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට තැත්කරද්දී අප කළ යුත්තේ පළාත් සභා අහොසි කිරීමට හෝ ඒ බලතල රහිත ආයතන බවට පත්කිරීම ය. නන්දිකඩාල් ජයග්‍රහණය යනු එය වෙයි. අපට දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළ හැක්කේ නන්දිකඩාල් කලපුවේ දී අප ලත් දේශපාලනික ජයග්‍රහණය නීතිය බවට පෙරළීමෙනි. දේශපාලන වශයෙන් නන්දිකඩාල් කලපුවේ දී අපි ජයග්‍රහණය කළෙමු. එහෙත් අපට දියවන්නාවේදී දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීමට නොහැකි විය.  අප හමුදා ජයග්‍රහණයක් මගින් ලැබුයේ දේශපාලන ජයග්‍රහණයකි.  ඒ පිළිබඳ විවාදයක් තිබිය නො හැකි ය. ඕනෑම හමුදා ක්‍රියා මාර්ගයක් දේශපාලනික ක්‍රියා මාර්ගයකි. අපට දෙමළ ජාතිවාදය දේශපාලනිකව පරාජය කිරීමට නොහැකි වූයේ ඒ ලත් දේශපාලන ජයග්‍රහණය නීති පොතට ඇතුල් කිරීමට අප කටයුතු නොකළ බැවිනි. එය නීති පොතට ඇතුල් කළ හැක්කේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කිරීමෙනි. අඩුම තරමෙන් එහි වගන්ති කිහිපයක්වත් මේ පාර්ලිමේන්තුවෙන් බල රහිත කළ යුතු ය. නැත්නම් ජනමත විචාරණයක් ඔස්සේ ඒ සඳහා ජනවරමක් ලබාගත යුතු ය.
 
මේ කෘතියෙහි හතරවැනි මුද්‍රණය එළි දකින්නේ ඉන්දු ලංකා ගිවිසුමට විසිහය වසරක් පිරෙන මොහොතෙහි දී ය. දෙමල ජාතිවාදයේ හතරවැනි යුගය ආරම්භයේ දී ය. මෙවර මේ කෘතිය මුද්‍රණය කළ කේ. එස්. යූ. ග්‍රැෆික් පුද්ගලික සමාගමටත් නන් අයුරෙන් ආධාර කළ සැමටත් මගේ ස්තුතිය පළකරමි.
 
නලින් ද සිල්වා
 
 2557 ඇසළ මස මහරගම දී ය.   

2 Responses to “ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා ”

  1. Senevirath Says:

    පෙරවදනම පොතක් තරමට වැදගත්ය

  2. Dham Says:

    Very timely පෙරවදන of a book everyone should read AND ACT.

    Nation should be 1000 times grateful to Nalin than to any other person. He is the owner of real national thinking. What Nalin did no one could do.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress