පෙරදිගට ගමනක් – 1 ඉන්දියාව! ඒ මොකක් ද?
Posted on March 1st, 2016

වරුණ චන්ද්‍රකීර්ති

මේ ලිපි පෙළ නම් කරලා තියෙන්නේ පෙරදිගට ගමනක්” කියලා. හැබැයි මේ කියන්නේ මගේ පුද්ගලික අත්දැකීම් ගැන විතරක් නම් නෙවෙයි. මේ ගමනට මාව යොමුකරපු හේතු ගණනාවක් තියෙනවා. ඒවා මට විතරක් සීමාවෙච්ච පුද්ගලික හේතු කියලා මම හිතන්නේ නෑ. අපේ දැනුමෙන් සෑහෙන ප‍්‍රමාණයක් අපි උකහාගන්නේ, වඩාගන්නේ සමාජය ඇසුරෙන්. මේ ගමනට මම යොමුවුනේ මේ විදිහට සමාජයෙන් ලබාගත් යම් යම් දැනුම ගැන මා තුළ ඇති වූ  සැකය නිසාවෙන්. අපිට මේ උගන්නලා තියෙන ලෝකය පිළිබඳ දැනුම ඒ විදිහට ම පිළිගන්න පුළුවන් ද? මහ ලොකු බොරුවක් ඇතුළේ අපිව හිරකරලා කියලා මට හිතුනා. මේ සිතුවිල්ල ඉතා ම තදින් මගේ හිතේ පැළපදියම් වුනේ මීට අවුරුදු 13 කට විතර කලින් – ඒ කියන්නේ 2002 අවුරුද්දේ.

ඒ අවුරුද්දේ මම ඉන්දියාව” කියන රටට ගිහින් ඒ රටේ” මාස දහයක් විතර රැඳිලා හිටියා. ඒ ගමනේ දී මට උවමනාවුනා අපේ නෑදෑකම් ගැන යමක් ඉගෙනගන්න. මොකද ඉන්දියාව” කියන්නේ අපේ ළඟ ම නෑයා කියලා කියනවානේ. ඒත් මගේ බලාපොරොත්තු සෑහෙන දුරට බොඳවෙලා ගියා. මුල දී, මම හිටියේ බෙංගාලයට අයිති කොල්කතාවේ. එහෙ දී යම් ආකාරයක නෑදෑකමක් දැක්කේ නෑ කියලා කියනවා නම් ඒක බොරුවක්. අපි අතර මොන මොනවා හරි සම්බන්ධකම් ඇති කියලා මට හිතුනා. කොහොමත් බංගලිදේශයේ තියෙන ඔලිඳ ගෙනැල්ලා හදන්නේ සිංහල දේශයේ කියලා කියනවානේ.

ඒත් ඒ ගමනේ දී සහ ඊට පසු අවස්ථාවල දී දිල්ලි, චන්දිගාර්, මුම්බායි, පූනෙයි, බැංගලෝර්, අග‍්‍රා, වරාණාසි, පැට්නා වගේ තැන්වලට ගිය මට එහෙම නෑදෑකම් දකින්න පුළුවන් වුනේ නෑ. ගැංටොක්, සිම්ලා වගේ තැන් ගැන වෙන ම කතාකරන්න ඕන. ඒ හින්දා ඒක පසුවට කල්දමමු. මෙතන දී මම කියන්න හදන්නේ වෙන ම කාරණයක්. බලාපොරොත්තු වුනු විදිහට නෑදෑයෝ බලාගන්න බැරිවුන නිසා මම ඒ ගැන හිතන්න පටන්ගත්තා. මට ඇතිවෙච්ච පළමුවැනි ගැටලූව තමයි, මොකක් ද මේ ඉන්දියාව” කියන්නේ කියන එක. මම මේ ප‍්‍රශ්නයට උත්තර හෙව්වා.

ඉන්දියාව” කියලා රටක් ක‍්‍රිස්තු වර්ෂ 1858 කලින් කවදාවත් මේ ලෝකයේ තිබිලා නෑ. ඉන්දියාව කියලා ඉස්සර කාලේ කිව්වේ රටකට නෙවෙයි – උප මහාද්වීපයකට. ඒ මහා භූමියේ රටවල් ගොඩාක් තිබුණා. කාලෙන් කාලෙට සමහර පුද්ගලයෝ තමන් ගේ රටේ දේශ සීමාවලින් එහාට ගිහිල්ලා අධිරාජ්‍ය ගොඩනගා ගත්තා. එහෙම කරපු අයගෙන් වැඩි ම බිම් ප‍්‍රමාණයක් අල්ලගත්ත කෙනා විදිහට සළකන්නේ අශෝක. ක‍්‍රිස්තු පූර්ව 269 දී මගධ රටේ රජවුනු අශෝක තමන් ගේ අතපය දිග අරින්න පටන්ගත්තා. එයින් අවුරුදු 8 ක් විතර ගතවුනාට පස්සේ කාලිංගයටත් පහරදුන්නා. හැබැයි අපි එක දෙයක් අමතක කරන්න හොඳ නෑ. කාලිංගය – දැන් කියන විදිහට ඔරිස්සා ප‍්‍රාන්තය; තියෙන්නේ මගධ රටට වැඩි ඈතක නෙවෙයිනේ. අල්ලපු රට කියලා කිව්වාත් වැරැද්දක් නෑ. අපි කවුරුත් දන්න විදිහට මේ යුද්දෙන් පස්සේ අශෝක අධිරාජ්‍යයාට තමන් කරපු දේ ගැන විශාල පසුතැවීමක් ඇතිවුනා. එයින් ටික කාලෙකට පස්සේ බෞද්ධයෙක් බවට පත්වෙලා ක‍්‍රිස්තු පූර්ව 232 වෙන කල් එතුමා තමන් ගේ රට” පාලනය කළා. එතුමා හොඳින් හෝ නරකින් තමන් ගේ රට” පාලනය කළේ අවුරුදු 37ක් විතර කාලයක්. හැබැයි එතුමාට ඉන්දියාව” කියන රට නම් පාලනය කරන්න බැරිවුනා.

අශෝක අධිරාජ්‍යයාගෙන් ටික කාලෙකට පස්සේ ඒ මහා” මෞර්ය අධිරාජ්‍යය බිඳ වැටුනා. ඒ කියන්නේ ඒකට යටත්වෙලා හිටපු රටවලට නිදහස ලැබුණා. මේකෙන් කියන්නේ නෑ ඊට පස්සේ ඒ රටවල්වලට තමන් ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න පුළුවන් වුනා කියලා. මොකද විජිගීෂාව තියෙන අය තව තවත් පහළ වුනා. මගධය ම මුල්කරගෙන හදපු ගුප්ත අධිරාජ්‍යයත් ඒ වගේ එකක්. හැබැයි ඒක හරි හමන් අධිරාජ්‍යයක් බවට පත්වුනේ සමුද්‍රගුප්ත කරපු සංග‍්‍රාම හින්දා. සමුද්‍රගුප්ත රට” පාලනය කරන්න පටන්ගත්තේ අශෝක ගේ මරණයෙන් අවුරුදු 567 කට පස්සේ. ඊට පස්සේ ඔහු ගේ පුත‍්‍රයා – ඒ කියන්නේ දෙවැනි චන්ද්‍රගුප්ත; ක‍්‍රිස්තු වර්ෂ 415 වෙන කල් රට” පාලනය කළා. ෆා-ෂියැන් (අපිට පුරුදු විදිහට, පාහියන්) හාමුදුරුවෝ බෞද්ධ රාජධානිවල දේශාටනයේ යෙදුනේ මේ කාලේ. උන්වහන්සේට පුළුවන් වුනා ඉන්දියානු උප මහාද්වීපයේ තිබුණු රාජධානි ගණනාවක ම තොරතුරු හොයලා බලන්න. උන්වහන්සේ ක‍්‍රිස්තු වර්ෂ 410 දී ලංකාවට වැඩම කරලා අවුරුදු දෙකක් අනුරාධපුරයේ වාසය කළා. උන්වහන්සේ ආපහු චීනයට වැඩම කළාට පස්සේ ලියපු පොත නම් කරලා තියෙන්නේ බෞද්ධ රාජධානි පිළිබඳ වාර්තාව” කියලා.

ගුප්ත පාලනය අවසන් කරලා හර්ෂවර්ධන තමන් ගේ ම අධිරාජ්‍යයක් පිහිටුවාගත්තත් ඒක මේ ඉන්දියාව කියන රටේ” උතුරට විතරක් සීමාවුනා. ඒ විතරක් නෙවෙයි, ඒක හර්ෂවර්ධනගෙන් ම අවසන්වුනා. ෂුවාන්-ත්සාං (අපිට පුරුදු විදිහට, හියුං සියැං) හාමුදුරුවෝ බටහිරට ගමනක් ආවේ හර්ෂවර්ධන රට” පාලනය කරන කාලේ. අද ඉන්දියාවේ ඉතිහාසය” ගැන ලියන මහා ඉතිහාසඥයෝ බොහෝ දුරට යැපෙන මූලාශ‍්‍රයක් තමයි ඒ හාමුදුරුවෝ ලියපු දේශාටන වාර්තාව. උන්වහන්සේ ඉන්දියානු උප මහාද්වීපයේ තිබුණු බොහෝ රාජ්‍යයන් ගැන විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා.

පස්සේ කාලෙක දිල්ලිය මුල් කරගෙන සුල්තාන් පාලනය පටන්ගත්තා. ඒත් ඒ පාලනයත් බොහෝ දුරට උප මහාද්වීපයේ උතුරට සීමාවුනා. මොහොමඞ් සල්මන් ඛාන් තුග්ලූක් වගේ අය වැඩි බිම් ප‍්‍රමාණයක් අල්ලගත්ත බව ඇත්ත. ඒත අපි අමතක නො කළ යුතු කාරණය තමයි ඒ අය මේ බිම් (ඒ කියන්නේ අනිත් රටවල්) අල්ලගත්ත” බව. අනෙක් කාරණය තමයි මොන හේතුවක් හින්දාවත් මේ සල්මන් ඛාන්ලා අපේ නෑදෑයෝ වෙන්න පුළුවන්කමක් නෑ කියන එක.

මේ විදිහට සුල්තාන්ලා ඉන්දියාව කියන රට” පාලනය කරල එක අවසන් වුනේ සහිර් උද්-දින් මොහොමඞ් බාබුල් ඒ වගකීම” භාරගත්තාට පස්සේ. ඒ කියන්නේ, මූගල් අධිරාජ්‍යය ආරම්භ කළාට පස්සේ. ඒ ක‍්‍රිස්තු වර්ෂ 1526 දී. මේ වෙනකොට අපේ රටට පරංගි ඇවිල්ලා අවුරුදු 20 ක් විතර ගතවෙලාත් ඉවරයි. එයින් තව අවුරුදු 30 ගතවෙන කොට අක්බාර් බලයට ආවා. මේ අබ්බුල් ෆාත් ජලාල් උද්-දීන් මොහොමඞ් අක්බාර්ට මහා අක්බාර්” කියලා කිව්වාට ඉන්දියාව කියන රටේ” වැඩි බිම් ප‍්‍රමාණයක් අල්ලගත්තේ එයා ගේ මී මුණුපුරා – ඒ කියන්නේ අපි කවුරුත් දන්න සාජහාන් ගේ පුත‍්‍රයා. හරියට ම කියනවා නම් සාජහාන්ගෙයි මුම්ටාස් මහල්ගෙයි හයවැනි දරුවා – තුන්වැනි පුත‍්‍රයා. ඔහු ගේ නම තමයි අබ්දුල් මුසාෆර් මුහි-උද්-දීන් මොහොමඞ් ඖරංෂෙබ්. මේ අධිරාජ්‍යයා ඉන්දියාව කියන රටෙන්” සැළකිය යුතු ප‍්‍රමාණයක් අවුරුදු 49 ක් පාලනය කළා.

කලින් කියපු අනිත් අධිරාජ්‍යයන් ගේ වගේ ම, ඖරංෂෙබ් ගේ ජනරංජනය නිසාත් ඉන්දියානු උප මහාද්වීපයේ තිබුණු බොහෝ රටවලට නිදහස අහිමිවුනා. හැබැයි අපි අමතකකරන්න හොඳ නෑ මේ විදිහේ සූර වීර අධිරාජ්‍යයන් කාලෙන් කාලෙට පහළ වෙද්දී පවා තවත් රජවරු තමන් ගේ රටවල් තම තමන්ට පුළුවන් විදිහට පාලනය කරගෙන හිටිය බව. මුළු මහත් ඉන්දීය උප මහාද්වීපය ම එක රටක්” බවට පත්කරගන්න ඉන්දියාවේ” ඉපැදුනු හෝ ඉන්දියාවට” පැමිණි කිසිම ජගතෙකුට හෝ පුළුවන් වුනේ නෑ.

ඒ විතරක් නෙවෙයි. මේ විදිහට රට” අල්ලපු කට්ටිය ගේ සම්පූර්ණ පාලන කාල ඔක්කොම එකතුකරලා ගත්තත් (අශෝක – 40, සමුද්‍රගුප්ත – 40, දෙවැනි චන්ද්‍රගුප්ත – 40, ඖරංෂෙබ් – 49) අවුරුදු 169 යි ලැබෙන්නේ. ඒත් මේ කිසිම කෙනෙක් තමන් ගේ සම්පූර්ණ පාලන කාලය තුළ දී රටේ” එක ම ප‍්‍රමාණයක අණසක පැතුරුවේ නෑ. උදාහරණයක් විදිහට, අශෝක තමන් ගේ රටට – ඒ කියන්නේ, මගධ රටට; යාබදව තිබුණු කාලිංගයට පහරදුන්නේ රජවෙලා අවුරුදු 8 කට පස්සේ. මෙතෙන් දී මේ කතාකරන්නේ අවුරුදු හාර-පන්දාහක ඉතිහාසයක් තියෙනවා කියන රටක්” ගැන කියන එක අපි අමතක කරන්න හොඳ නෑ.

ඒ වගේ ම අපි දන්නවා ඉතිහාසය පුරා ම ඉන්දියානු උප මහාද්වීපය තුළ බොහෝ රටවල් තිබුණු බව. රටවල් විතරක් නෙවෙයි. අධිරජ්‍යයන් පවා තිබුණා. චෝල අධිරාජ්‍යය, විජයනගර් අධිරාජ්‍යය තමයි හොඳ ම උදාහරණ. ඊට අමතර ව, බෙංගාලය මුල් කරගෙන ගොඩනැගුණු පාල අධිරාජ්‍යය, වර්තමාන ආන්ද්‍ර ප‍්‍රදේශය මුල් කරගෙන ගොඩ නැගුණු පල්ලව පාලනය වගේ ඒවත් අමතක කරන්න බෑ. මේ විදිහට තවත් රාජධානි ලැයිස්තුවක් ම ලියන්න පුළුවන්. මේ හැම දෙයකින් ම පැහැදිළිවන වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි, ඉන්දියාව කියලා රටක්” මේ මෑතක් වෙනකල් තිබුණේ නෑ. මෙහෙම රටක් හදන්න පදනම වැටුණේ 1858 දී එංගලන්ත පාර්ලිමේන්තුවේ ගවර්මන්ට් ඔෆ් ඉන්දියා ඇක්ට් – 1858” කියන පනත සම්මත කළාට පස්සේ.

1857 සැප්තැම්බර් මාසයේ දී නැගෙනහිර ඉන්දියානු වෙළෙඳ සමාගමේ හමුදා විසින් මිර්ෂා අබු සෆාර් සිරාජුද්දීන් මොහොමඞ් බහදූර් ෂා සෆාර් අධිරාජ්‍යයාව අල්ලගෙන බුරුමයේ රුංගුන් නුවරට පිටුවහල් කරන කල් ම මූගල් පාලනයත් තිබුණා. කොම්පැනි රාජ්” කියලා ඉතිහාස පොත්වල සඳහන් කරලා තිබුණට නැගෙනහිර ඉන්දියානු වෙළෙඳ සමාගම විසින් පුද්ගලික හමුදා යොදාගෙන කරගෙන ගියේ බිස්නස් එකක් – රාජ්‍ය පාලනයක් නෙවෙයි. කොහොම වුනත්, 1858 පනත සම්මත කරගත්තට පස්සේ පිහිටුවපු බි‍්‍රටිෂ් රාජ්” පාලනයත් එක්ක ලෝක ඉතිහාසයේ පළමු වතාවට ඉන්දියාව” කියලා රටක් හදන්න පදනමක් ලැබුණා.

ඉතින් ඉන්දියාව කියන්නේ මොකක් ද? අලූත් රටක්!

වරුණ චන්ද්‍රකීර්ති෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress