පෙරදිගට ගමනක් – 3-සාර්ලිස් මාස්ටර් ඇඳපු සාරිය …
Posted on March 3rd, 2016

වරුණ චන්ද්‍රකීර්ති

ඉන්දියාව කියන අලූත් රට” හැදීම නිසා බොහෝ ජාතීන්ට තමන් ගේ රටවල් අහිමි වූ ආකාරය අපි පසුගිය ලිපි දෙකෙන් විමසා බැලූවා. ඒත් දුර ඉඳලා මේ රට” දිහා බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ විදිහට විවිධ ජාතීන් එකලස් කරලා තියෙන්නේ පොදු සංස්කෘතික පදනමක් උඩ නේ ද කියලා. අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉදිරියට වර්ධනය වෙමින් ගලාගෙන ආ පොදු ඉන්දියානු” සංස්කෘතියක්, මහා සංස්කෘතියක් ගැන කතා පතුරුවලා තියෙන සංදර්භයක් ඇතුළේ එහෙම හිතෙන එක ගැන පුදුමවෙන්න ඕන නෑ. අනිත් කාරණේ තමයි අපිටත් පෙන්නලා තියෙනවානේ ඒ වගේ පොදු” දේවල් – පොදු” සංස්කෘතික අංගවල දීර්ඝ” ඉතිහාසය.

මේ පොදු” අංග අතර ඉදිරියෙන් ම තියෙන්නේ අවුරුදු දහස් ගණනක්” තිස්සේ පැවැත එන හින්දු ආගම. මේ කතාව ඇත්තක් ද? හින්දු ආගම කියන්නේ අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවැත ආ ආගමක් ද? බුදුන් දවස පැවැති බ‍්‍රාහ්මණ ආගමත්” දැන් පවතින හින්දු ආගමත් එක ම ද? බුදුන් දවස තිබුණේ දහස් ගණනින් ගව මහීෂාදීන් ගිනි දෙවියන්ට පුදන, බිලිදෙන බ‍්‍රාහ්මණයන් ගේ ආගමක්. දැන් ඇත්තේ ගවයින්ට වඳින පුදන, ගව ඝාතනයට විරුද්ධ ආගමක්. වේදාන්ත සූත‍්‍ර, උපනිෂද් සහ භගවත් ගීතාව ඉස්සර ඉඳලා ම තිබිච්ච බවට සාක්ෂි තියෙනවා. ඒත්, මේ සූත‍්‍ර ඉගැන්වීම් අද පිළිගන්න විදිහට අර්ථදක්වලා තියෙන්නේ, අටුවා ලියලා තියෙන්නේ ඒ තරම් ඈත කාලයක නෙවෙයි. ඒ ඉතිහාසය නිර්ගුණ බ‍්‍රාහ්මණ් ගැන කියපු ආදී සංකරගෙන් ඔබ්බට යන්නේ නෑ. ආදී සංකර ජීවත්වුනා කියලා සළකන්නේ මීට අවුරුදු 1300 කට විතර කලින්. ඒ, ඉපැරැණි චේර රටේ. දැන් ඒ රට කේරල කියන ප‍්‍රාන්තය විදිහට මේ ඉන්දියාව කියන අලූත් රටට අමුණලා. අනික් අතට, පානිනී වැනි ඉපැරැණි රචකයන් (බොහෝ දුරට ක‍්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේ ජීවත්වෙන්න ඇති කියලා හිතන) ගැන විතරක් නෙවෙයි පතංජලී වැනි පසු කාලීන රචකයන් ගැන පවා හරි හමන් විස්තරයක් හොයාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. තියෙන තරමක් තියෙන්නේ අනුමාන. ඊට අමතර ව, මේ වගේ පුද්ගලයින් ගේ චරිත කතා පවා බොහෝ දුරට තියෙන්නේ ප‍්‍රබන්ධ විදිහට. එහෙම වෙලා තියෙන්නේ ඇයි?

අනෙක් වැදගත් කාරණය තමයි එක ආගමක් ඇදැහීම සමාන ජාතිකත්වයක් උරුමකර දෙන හේතුවක් විදිහට සළකන්න බැරිකම. ඒකට උදාහරණයක් විදිහට පෙන්නන්න පුළුවන් ඉන්දියාව කඩලා හදපු” නැගෙනහිර පකිස්ථානයේ (දැන් බංග්ලාදේශයේ) සහ බටහිර පකිස්ථානයේ (දැන් පකිස්ථානයේ) ඉන්න ඉස්ලාම් ආගම අදහන ජනයා ගේ වෙනස. ඒ විතරක් නෙවෙයි. අද පවා මේ ඉන්දියාව කියන රට” පුරා ම හින්දු ආගම එක ම විදිහට අදහන්නේ නෑ. දකුණට වෙන්න – ඒ කියන්නේ ඉපැරැණි චෝල හා පාණ්ඩ්‍ය රාජ්‍ය නැතිකරලා හදපු තමිළ්නාඩු ප‍්‍රාන්තය ආශ‍්‍රිතව; හනුමන් දෙවියන්ට ලොකු තැනක් දීලා තියෙනවා. ඒත් ඉපැරැණි වංග දේශයේ කොටසක හදපු බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ හනුමන් දෙවියන් දකින්න නෑ. එහෙ මුල් තැන දීලා තියෙන්නේ කාලී දෙවියන්ට.

භාෂාවේ තියෙන වෙනස්කම් ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒක අපි කවුරුත් දන්න එකක්. මේ ඉන්දියාව” කියලා හදලා තියෙන රටේ එක ප‍්‍රාන්තයක ඉඳලා තව ප‍්‍රාන්තයකට යනකොට ඒක හරියට එක රටක ඉඳලා තව රටකට යනවා වගේ. ඉතිහාසයට ගරුකරනවා නම්, ඒ ඒ ප‍්‍රාන්තවල” ජීවත්වෙන අයට තමන් ගේ රටවල් හදාගන්න ඉඩදෙන්න ඕන. ඒත් එහෙම කටයුත්තකට මොන විදිහකින්වත් ඉඩක් දෙන්නේ නෑ. ඒ හින්දා – ඒ කියන්නේ භාෂා විසමතාව” හින්දා ඇතිවෙලා තියෙන ගැටලූ මගහරවා ගන්න පොදු භාෂා” විදිහට හින්දි සහ ඉංග‍්‍රීසි යොදාගන්න බලකරලා තියෙනවා. ඒත් හැමෝ ම හින්දි දන්නෙත් නෑ, ඉංග‍්‍රීසි දන්නෙත් නෑ. සාක්ෂරතාව සියයට පනහක් විතර වෙච්ච රටක අති බහුතරයක් ඉංග‍්‍රීසි දන්නවා කියලා හිතන්න පුළුවන් නම් ඒ විදිහට හිතන අය ගැන අමුතුවෙන් කතාකරන්න ඕන නෑ. සාක්ෂරතාව නෑ කියන්නේ තමන් ගේ භාෂාවවත් හරියට ලියන්න, කියවන්න බෑ කියන එක. ඉතින් කොහොම ද අනුන් ගේ හින්දි හරි ඉංග‍්‍රීසි හරි පුළුවන් වෙන්නේ? ඉතින් මුම්බායිවල ඉන්න බොලිවුඞ් කට්ටිය රෑ දවල් මහන්සිවෙනවා හින්දි භාෂාව ප‍්‍රචලිත කරන්න. බොලිවුඞ් කට්ටිය පතුරවන්නේ බොම්බේ (බම්බයියා) හින්දි බව ඇත්ත. ඒත් අපි සෑහෙන දෙනෙක් දන්නවා මේ ඉන්දියාව” කියන රටේ ඉන්න දෙමළ ජනතාව හින්දි භාෂාව භාවිතාකරන්න දක්වන අකමැත්ත. හින්දි භාෂාවෙන් මාර්ග පුවරුවක්වත් දානවට ඒ අය කැමැති නෑ. ඒ වගේ ම, තමන් ගේ අතීත උරුමය මත පදනම්වෙලා, තමන් ගේ ම කියලා සිනමා කර්මාන්තයක් පවා ගොඩනගාගන්න ඒ අයට පුළුවන්වෙලා තියෙනවා. මලයාලම් භාෂාව කතාකරන කේරළේ අයට, කන්නඩ භාෂාව කතාකරන කර්නාටක ප‍්‍රාන්තයේ අයට, තෙළිඟු භාෂාව කතාකරන ආන්ද්‍රා ප‍්‍රදේශයේ අයටත් යම් ප‍්‍රමාණයකට තමන් ගේ සිනමා කර්මාන්ත ගොඩනගාගන්න පුළුවන්වෙලා තියෙනවා. ඒත්, ඒ අය ගේ සිනමා නිර්මාණ දෙමළ සිනමාව තරම් ශක්තිමත්” නෑ. ඒ අය බොහෝ දුරට බොලිවුඞ් ආක‍්‍රමණයට යටවෙලා ඉන්නේ. ඔරියා, මරාටි, ගුජරාටි, මනිපූරි වගේ වෙනත් භාෂාවලින් පවත්වාගෙන යන සිනමා කර්මාන්ත ගැන කතාකරන්න ඕන නෑ.

තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි, හින්දි භාෂාවේ සැබෑ ඉතිහාසය දේවනාගරි අක්ෂර භාවිතයෙන් වහලා තියෙන්නේ කියන එක ගැන අපි වැඩි දෙනෙක්ට අවබෝධයක් නැතිකම. හින්දි සහ උර්දු භාෂා දෙකට ම” කියන්නේ හින්දුස්ථානි කියලා. හින්දුස්ථාන් කියන්නේ ම පර්සියානු වචනයක්. ඉන්දීය උපමහාද්වීපයේ වයඹ සහ උතුරු ප‍්‍රදේශ පර්සියානුවන් හඳුන්වලා තියෙන්නේ ඒ විදිහට. දිල්ලි සුල්තාන්ලා, මූගල් අධිරාජ්‍යයේ කට්ටිය මේ හැඳින්වීම දිගින් දිගට ම යොදාගත්තා. ඇත්තට ම හින්දුස්ථානි (හින්දි සහ” උර්දු) කියන්නේ දිල්ලිය අවට භාවිතාවෙච්ච කරිබෝලි භාෂාවේ වර්ධනයක්. හැබැයි ඒක පානිනී කියපු අපභ‍්‍රංශ භාෂාවේ පරිණාමිත අවස්ථාවක් විදිහට සළකන්න අමාරුයි. මොකද කරිබෝලි භාෂාව පර්සියානු, අරාබි, තුර්කි වදන් සහ යෙදුම්වලින් සෑහෙන්න පෝෂණය වෙලා තියෙන හින්දා. මේක දැන් අමුතු ම භාෂාවක්.

මේ විදිහට වර්ධනය වෙච්ච මේ කලවම් භාෂාව මූගල් පාලකයෝ උර්දු කියලා නම්කළා. ඒ වචනයේ තේරුම තමයි රාජ්‍ය සභාවේ භාෂාව” කියන එක. ඉතින් ඒ නම්කිරීම ගැන කාටවත් ගැටලූවක් තිබුණේ නෑ. හැබැයි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් උර්දු අකුරුවලින් ලියන හින්දුස්ථානි භාෂාව නිල භාෂාව (කොම්පැනි රාජ් කාලයේ නිල වශයෙන් පිළිගත්ත භාෂාවකට රාජ්‍ය භාෂාවක් කියන්න පුළුවන් ද?) විදිහට පිළිගැනීමත් එක්ක ගැටලූවක් මතුවුනා. ඉංග‍්‍රීසින් කරපු මේ වැඩේට හින්දු ආගම අදහන ඇතැම් පිරිස් කැමැති වුනේ නෑ. ඉතින් දේවනාගරි අකුරුවලින් ලියන හින්දුස්ථානි භාෂාවට තැනක් ඉල්ලලා ඒ අය නැගී හිටියා. අන්තිමට ඒ අවස්ථාව පිරිනැමුනේ 1900 අවුරුද්දේ දී. උර්දු අකුරින් ලියන උර්දු භාෂාවටත්, දේවනාගරී භාෂාවෙන් ලියන හින්දි භාෂාවටත් සමතැන ලැබුණා. හැබැයි ඒ දෙක ම” ඒ වන විටත් එක ම එක භාෂාවක්.

මේ භාෂා දෙක” නිල වශයෙන් පාරවල් දෙකක යන්න පටන්ගත්තේ ඉන්දියාව” සහ පකිස්ථානය කියන රටවල් දෙක පිහිටුවලා බි‍්‍රතාන්‍ය පාලකයෝ ආපහු ගියාට පස්සේ. මේ වෙන්කිරීමෙන්” පස්සේ ඉන්දියාවේ කට්ටිය අධ්‍යාපන, විද්‍යාත්මක, ආර්ථික සහ පරිපාලන වැඩවලට උවමනා කරන අලූත් පාරිභාෂික වචන සංස්කෘත භාෂාවේ ආභාෂයෙන් නිපදවලා ජනතාවට බෙදලා දෙනවා. (අපි ඒ වචන අපේ සිංහල පාරිභාෂික වචන හදාගන්න කොපි කරගන්නවා). පකිස්ථානයේ කට්ටිය පරණ කරපු විදිහට ම අරාබි, පර්සියානු භාෂාවල ආභාෂයෙන් අලූත් පාරිභාෂික වචන හදනවා. ඒත් තවමත් එදිනෙදා වහරන භාෂාවේ වෙනසක් නෑ. උර්දු දන්න අයට හින්දි තේරෙනවා. හින්දි දන්න අයට උර්දු තේරෙනවා. ඒත් අපිට?

මට මේ අපභ‍්‍රංශ තේරෙන්නේ නැති හින්දා හින්දි ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට කියලා බොහොම ජනප‍්‍රිය හින්දි සිංදුවක කොටසක් සිංහල අකුරින් ලියවාගත්තා.

දිවානා හුවා බාදල්

සාවන් කි ඝටා චායි

යේ දේඛ්කේ දිල් ජූමා

ලි ප්යාර් නෙ අංඩායී

දිවානා හුවා බාදල්

මේ පදවල සංස්කෘත සම්බන්ධයක් ගෑවිලාවත් තියෙනවා ද? මේවා දේවනාගරි අකුරුවලින් ලියන හින්දා අපිට මේ වචනවල පර්සියානු, අරාබි සහ තුර්කි සම්බන්ධය පේන්නේ නැතිවෙන්න පුළුවන්. ඒත් ඇත්ත ඒක නෙවෙයි.

ඉන්දියාව” කියන රටේ ඉන්න ජනතාව ගේ පොදු සංස්කෘතික උරුමය” ගැන කියන මේ කතාව පැහැදිළි කරගන්න සාරිය ගැනත් යමක් නොකියා බෑ. දැන් සාරිය මේ ඉන්දියාව” කියන රටේ විතරක් නෙවෙයි, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය සහ අපේ රටෙත් සංස්කෘතික උරුමයක් බවට පත්වෙලා. සාරියේ ඉතිහාසය කොච්චර නම් ඈතට හොයාගන්න පුළුවන් ද? මේ ගැන තියෙන පොත පත කියෙව්වා ම නම් අපිට ඒත්තු යයි මේ ඇඳුම මහා භාරතය කාලයේ ඉඳලා පැවත එන එකක් කියලා. මෙහෙම කියන අය අපිට අජන්තා බිතු සිතුවම්වලත් සාරි පෙන්නනවා. රාජා රවි වර්මා ගේ චිත‍්‍රවල නම් අපිට සාරි දකින්න පුළුවන්. ඒත් ඈත ඉතිහාසයේ සිතුවම්වල, කැටයම්වල, මූර්තිවල මේ විදිහේ ඇඳුමක් දකින්න තියෙනවා ද? අපි දැකලා තියෙනවා ඉන්දිරා ගාන්ධි වගේ අය ඔළුව පවා වැහෙන්න සාරි පොට දාගෙන ඉන්නවා. මේක ඉන්දිරා ගාන්ධිට විතරක් සීමාවෙච්ච දෙයක් නෙවෙයි. රාජස්ථාන්, උත්තර් ප‍්‍රදේශ්, හර්යානා, මහාරාෂ්ඨ‍්‍ර, ගුජරාට් වගේ ප‍්‍රාන්තවල” කාන්තාවෝ සාරිය අඳින්නේ ඒ විදිහට. මේ මොන විදිහේ සංස්කෘතික අභාෂයක් ද?

මේ වගේ ඇඳුමක ඉතිහාසය අජන්තා සිතුවම්වල හොයනවාට වඩා පර්සියානු, අරාබි සහ තුර්කි සංස්කෘතික බලපෑම් ඇතුළේ හොයාගන්න එක පහසු නැති ද? ඒක-දේව සංස්කෘතික පසුබිමක් ඇතුළේ නිර්මාණය කරගත්ත ඒකාකාරි හිජාබය බහු-දේව සංස්කෘතික පසුබිමක් තුළ විචිත‍්‍ර වූ සාරියක් බවට පරිවර්තනය වුනා කියලා හිතන්න බැරි ද? මේ වගේ ඇඳුමක් ගැන ඉතිහාසය දිල්ලි සුල්තාන්-මූගල් යුගයට පෙර සිතුවම්, කැටයම්වලින් හොයන එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ ගැන හිතන්න, හොයලා බලන්න අපේ පර්යේෂකයන්ට පුළුවන්. කොහොම වුනත් අපි හැමෝ ම එක දෙයක් පැහැදිළි ව දන්නවා. ඒ තමයි සාර්ලිස් මාස්ටර්ට කලින් හිටිය අපේ චිත‍්‍ර ශිල්පියෝ මහාමායා දේවියට, යසෝදරාවට සාරි අන්දවපු නැති බව. සාර්ලිස් මාස්ටර් මේ විදිහේ චිත‍්‍ර අඳින්න ආභාෂය ලබාගන්න ඇත්තේ ග‍්‍රෑන්ඞ්පාස්වල තියෙන ජයතිලකාරාමයේ චිත‍්‍ර ඇඳපු රිචඞ් හෙන්රිකස්ගෙන් වෙන්න ඇති. මොන විදිහෙන් හරි අලූත් බෞද්ධ චිත‍්‍ර කලාවක් අපේ රටට ලැබුණා. සාර්ලිස් මාස්ටර් ඇඳපු චිත‍්‍ර ජර්මනියේ මුද්‍රණයකරලා ගෙන්න ගන්න පුළුවන් වෙච්ච හින්දා ඒවා රාමුකරලා අපේ ගෙවල්වල පවා ඒවා ප‍්‍රදර්ශනය කරගන්න අවස්ථාවක් අපිට හිමිවුනා.

ඒත් මේ සාරිය කියන ඇඳුම අපේ රටට, බෞද්ධ සංස්කෘතියට අලූත් එකක් නෙවෙයි ද? මේ හැම දෙයක් ම මේ විදිහට පැතිරෙන්න ගත්තේ දිල්ලි සුල්තාන් – මූගල් උරුමය පදනම් කරගෙන බි‍්‍රටිෂ් රාජ් යුගයේ දී බෙදා හදාගත්ත පොදු සංස්කෘතිය” කියන ලේබලය අලවලා හදපු ඉන්දියාව කියන රට” නිසා නෙවෙයි ද? මේ කාරණය තවදුරටත් පැහැදිළි කරගන්න පුළුවන් කාරණයක් මී ළඟ ලිපියෙන් පෙන්නලා දෙන්නම්.

වරුණ චන්ද්‍රකීර්ති෴

2 Responses to “පෙරදිගට ගමනක් – 3-සාර්ලිස් මාස්ටර් ඇඳපු සාරිය …”

  1. Dham Says:

    A very good and timely writing. Thank you. Can’t wait for the next one.
    අපභ‍්‍රංශ is a an old language. Some say it has a connection to Sinhala too.
    How about Pali , Magadhi ? Please touch on them too.

  2. Christie Says:

    Sari is part of the Indian imperialism and colonialism or the Indian hegemony.

    Look at our old paintings, writings, and carvings.

    Our history is much older than the so called Sinhala-Buddhist culture which in fact is Hindu-Budhdhist Sinhala culture.

    The only way we can get out of this non violent oppression is by burning them and wearing a wrap around and bra.

    I know those the so called Sinhala Buddhists will be outraged by this.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress