ඔපරේෂන් ‘බිංකුන්ඩෝ’
Posted on March 4th, 2016

 ධර්මන් වික‍්‍රමරත්න

බිංකුන්ඩෝ බොල තෝත් නටාපිය, මාත් නටන්නම් කීවේ එදාය. බිංකුන්ඩෝ ඉන්න වලකට පොඩි ඉරටුවක් දාලා කරකවලා බිංකුන්ඩා එළියට ගෙන ඌව නැටවීම අතීතයේ ඇතැම් ළමුන්ගේ සෙල්ලමකි. බිංකුණ්ඩා අල්ලා ගැනීම ලෙහෙසි වන්නට කූහුඹියෙක් දමන අවස්ථාද විය. වර්තමානයේ වැසිකිලි වලවල් සුද්ධ කරගැනීමට අවශ්‍යනම්, බතල හෝ මංඤොක්කා සිටුවා ගැනීමට බිම හාරාගැනීමට අවශ්‍යනම්, පොල් වත්තක පොල් පැල ඉන්දීමට වලවල් කැපීමට අවශ්‍ය නම්, නාන තටාකයක වුවද වැලි ගොඩදැමීමට අවශ්‍යනම්, ‘අරයාගේ’ රත්‍රන් හෝ වස්තුව එහි සඟවා ඇති බවට අර මොකද්දෝ අපරාධ ඒකකය වෙත දැනුම්දිය යුතුය. එය බැකෝ යන්ත්‍ර පවා නොමිලේම දෙන ක්ලීනින් සර්විස් එකක් වගේ රාජකාරියකි.

dharman04031605විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ දෙකම පූට්ටු කිරීමේ ප්‍රතිඵල දැන් ඇස් පනාපිටම ඇත. එහි ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල බක බක ගා සිනාසෙමින් කට ඇරිය ගමන් මොළේට රාජකාරි නිවාඩුය. ජේ.ආර්ගේ එජාප ආණ්ඩු කාලයේ ජේ.ආර්ම උසස් අධ්‍යාපන ඇමතිවරයාවූ අතර එහි නියෝජ්‍ය ඇමතිවරයා වූයේ උඩුදුම්බර ආර්.එම්.බී අත්තනායකය. උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති අත්තනායක වරෙක කියා සිටියේ කාල් මාක්ස් උගත්කමක් නැති යාචක තත්ත්වයෙන් සිටි අයෙකු බවය. ඇත්ත පත්‍රයේ කර්තෘ බී. ඒ සිරිවර්ධනයන් එයට කතුවැකියකින් කියා සිටියේ ගොනා වුණාට උම්බෑ කියන්න එපා යනුවෙනි. නීතිපති විසින් අපහාසයක් සිදුකල බවට නඩු පැවරිණි. දඬුවම රුපියල් 50ක දඩයකි. රුපියල් 50ක ‘බරපතල’ දඬුවමට ඇත්ත පත්තරය කළේ රුපියල් 50 සොයාගැනීම සඳහා පාඨකයින්ගෙන් සතය සතය ලබාගැනීමේ අරමුදලක් ඇරඹීමය. ඇත්ත පාඨකයින් පමණක් දන්නා කථාව මුළු රටම දැන ගත්තේය. වර්තමානයේ කියන්නට සිදුවන්නේ ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වන්නාසේ කිඹුලා නැති විලට දිය ගැරඩියාද කෙරුමෙක් යන්නය. අවසානයේදී උසස් අධ්‍යාපනය වෙනුවෙන් එකඟවූ සියයට 6ත් නැත. ෆූටාවත්(සරසවි ආචාර්යවරුන්ගේ සම්මේලනය) අද උපන් ඇදුමෙනි.

dharman04031602

රටපුරා ගොවීන්ගේ විදි සටන්ය. කෘෂි ඇමති දුමින්ද දිසානායකගේ නිවසද ඔවුන් වටලෑවේය. එදා වී කිලෝව රුපියල් 48කි. අද වී කිලෝව 19කි. හාල් මිළ ඉහලටය. වී මිල පහලටය. ගොවියා වලපල්ලටය. ඇමරිකානු තිරිඟු පිටිවලට ජයශ්‍රීය. ජවිපෙ විසින් ගොවීන්ට අමුඩ ගස්සවා පුරහලේ සිට අරලියගහ මන්දිරය තෙත් පෙළපාලියක ගොස් පෙත්සමක් ගිණි තැබූ පලියට පොහොර සහනාධාරය ලැබෙන්නේ නැත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රුපියල් 350ට තිබුණු පොහොර මිටිය යහපාලන ආණ්ඩුව රුපියල් 3,500ක් කළේය. දැන් එම මිල 3,500 සිට 2,500ට අඩුකර ඇතැයි රජය නිවේදනය කළේය. මේවා පනා පුත්‍රයින්ගේ ගණිත සූත්‍රයන්ය. එජාප ජාතික ලැයිස්තුවෙන් පත්වූ අතුරලියේ රතන හිමියන් ගෙන්ද දැන් අමුතු බණක්ය. ඒ අනුව වස විස නැති යටි මඩි නැති පොහොර සහනාධාරය මුදල ගොවි ජනතාවට පැහැබර අනාගතයකි. රතන හාමුදුරුවෝ මේ බණ කියන්නේ මොන කටින් දැයි සැකයකි. පොහොර සහනාධාරය කප්පාදු කොට ගොවියන් මත බර පටවා වස විස නැති ආහාර සෑදීමේ සිහිනය දේශීය කෘෂිකර්මාන්තය විනාශ කිරීමේ බහුජාතික කූට උපායක් බව අනාගතය සාක්ෂි දරණු ඇත.

මැතිවරණ කොමිසම හොර නින්දකය. හොර ඡන්ද දමන අයට වෙඩි තැබීමට බලය ඇති බව එදා කියු මැකෝ පළාත් පාලන ඡන්ද කල්දමන විට මෙදා නිහඬය. මේ ගොරකා දඩමස් කරන යුගයකි. ඒබ්‍රහම් ලින්කන් වරක පැවසූ පරිදි ඔබට යමෙකුගේ සැබෑ ස්වරූපය දැනගැනීමට අවැසි නම් ඔහුට බලය ලබාදිය යුතුය.

dharman04031603

වංචා දූෂණ සම්බන්ධයෙන් ටොම් පචයා චිත්‍රපටියේ නව නිෂ්පාදනයේ  ප්‍රධාන නළුවාගේද අතේ රෝල් නිමක් නැත. සිනමා නළුවන්වන වන්ෂොට්ලා මාධ්‍ය සංදර්ශන වලට සහභාගිවී සිය හුඹස් කටවල් ප්‍රදර්ශනය කරණු නිරතුරුව දක්නට ලැබේ. දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් විසින් පන්සලේ ඉඩමක් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවට උකස් තියා රුපියල් කෝටි ගණනක ණයක් ගත් බවට චෝදනා කලද එම බැංකුවේ කිසිදු ශාඛාවකින් කිසිදු ණය මුදලක් පළාත් ඇමති උපුල් ලබානොගත් බව ලංකාපුත්‍ර බැංකුවේ සමාන්‍යාධිකාරිවරයා පෙබරවාරි 23වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම රජගෙදර හිටපු කැරපොත්තා ලෙසට ‘යහපාලනය’ නම්කල නැකත් බැලූ බව කියන  කට්ටඩියාද කියා සිටියේ එදා දුරකථන දෙබස  නළුවා සමඟ කලින් කථා බස් කර සෙට්වෙලා කල ඇක්ටින් පාරක් බවය. මෙකල දේශපාලන බිමේ කොතෙකුත් හමුවන්නේ මෙවැනි අඳ ඇතුන්ය. ඔවුහු බොහෝ දේ කියති. කරති. එහෙත් එහි සම්මත නීති රීති නොදනිති. එබැවින් රඟපෑම ඉවරයක් නැත. උගත් බුද්ධිමතුන්ගේ හාස්‍යයට ලක්වන ඔවුහු මෝඩයන් ගෙන් ඔල්වරසන් ලබති. වෙනස එයයි. හොරු අල්ලන නාට්‍යය වේදිකාවේ තිරගත වූවද තිරය පිටුපස ඇත්තේ රට බෙදන නාඩගමය.

ශ්‍රිලනිප සංවිධායකවරුන් ගණනාවක් ඉවත්කර පරාජිත මැතිවරණ අපේක්ෂකයින් ඇතුළු 17 දෙනෙකු  නව සංවිධායකයින් ලෙස පත්කර ඇත. පක්ෂය කඩාගෙන එජාප සරණ ගිය ශ්‍රිලනිප හිටපු මහලේකම්වරයාට අභයදානය වුවද සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින් වෙනුවෙන් හඬනැගූ සංවිධායකවරුන් දඬුකදේ ගැසීමට තැත් කරයි. පළිගැනීම් උග්‍ර අතටය. දඩයම ත්‍රීව්ය. අහෝ ඛේදයකි. පත්කල ඇතැම් සංවිධායකවරුන්ට චෝදනා එමටය. මීරිගම පළාත් සභා මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධනගේ වැඩිමහල් සොහොයුරාවූ පළාත් සභා මන්ත්‍රී නාමල් ඝාතන චෝදනා සම්බන්ධයෙන් සංජය සිරිවර්ධන කලක් රිමාන්ඩ් බන්ධනාගාරයේය. හෙක්ටර් බෙත්මගේ මිනිස් සංක්‍රමික ජාවාරම් වැනිදෑට හවුල් බවට චෝදනා කළේ වෙනින් කවුරුත් නොව කඩුවෙල සොදුරු ආඥාදායකයා ලෙස තමාවම හදුන්වාගන්නා හිටපු නගරාධිපති බුද්ධදාසය. ගල්කිස්සේ කීර්ති උඩවත්තලා පළාත් සභාවෙන්ද, මහින්ද සමරසිංහලා, රුවන් රණතුංගලා, චන්දිම රාසපුත්‍රලා, ප්‍රසංග සෝලංගආරච්චිලාද මහ මැතිවරණවලින්ද පරාජිත අපේක්ෂකයින්ය. අලුතින් පත්වූ බොහෝ දෙනා වැඩබැරි ටාසන්ලාය. ශ්‍රිලනිප කෙසේ වෙතත් ඔවුන්ගේ (නො)හැකියාවෙන් එජාපය උපරිම ඵල නෙලාගනු ඇත.

dharman04031604

කොට්ටෝරුවාට දැනටමත් වැඩ වැරදී ඇත. දැන්වත් සිදුකල යුත්තේ කෙසෙල් ගසේ බෙනය සෑදීම නොව නම්බුකාර ලෙස හොට බේරා ගැනීමය. දේශපාලනය තුළ දෙවිවරුන් සොයා ගැනීම අසීරු බව සත්‍යයකි. සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින් තෝරාගෙන ඇත්තේ අඩු නපුරය. ඒ මව්බිමේ අනාගතය වෙනුවෙනි. මිනිසුන්, ගහ කොළ, සතා සීපාවා සහ පරිසරය වෙනුවෙනි. ශ්‍රිලනිපයේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵලයද දැන් ලැබී ඇත. ලේක්හවුස් පුවත්පත් සමාගමේ ශ්‍රිලනිප වෘත්තීය සමිතියේ නිලවරණයේදී ඩාර්ලි පාරේ නෛතික ශ්‍රිලනිප පරදවා සැබෑ ශ්‍රිලනිප වාදීහු වැඩි ඡන්ද 284කින් විශිෂ්ඨ ජයක් ලැබීය. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලංය.

සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල කළුරිය කිරීම පිළිබඳව සැමටම ඇත්තේ ශෝකයකි. ශ්‍රිලනිප හෝ සන්ධානයේ හිටපු ලේකම්වරු වශයෙන් ඔහු සමකල හැක්කේ සෝමසාර දසනායක වැනි මල්දෙන සමිතියක ලේකම්වරයෙකුට පමණි. අතීතයේ හෝ වර්තමානයේ රට විනාශ කරන එජාප ආණ්ඩු හවුලකට ශ්‍රිලනිප කොටස්කාරයෙක් කිරීමේ පාපයට කිසිවෙකුට සමාව දිය නොහැක. මහාචාර්ය විශ්වා වර්ණපාල ගෙන් අවසානයේ රටට ඉතිරිවූයේ කිසිදා මිය නොයන න්‍යායක් ලෙස පේරාදෙණිය සරසවියෙන් ‘මල් කැඩීම’ සඳහා ඔහු එක්කල වර්ණපාල තියරිය පමණි.

ශ්‍රිලනිප ඇමතිකම් ගත්තේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් අනුව බව ඇමති වරදාන ගත් ශ්‍රිලනිප පිරිස පැවසුවද මධ්‍යම කාරක සභාවේ 13ක් පැරෆුට් මගින් පත්කල පසු එහෙයියන්ගේ සමන්විත මධ්‍යම කාරක සභාවක ඇති සදාචාරය කුමක්ද? ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයකි, කකුළුව දිය කෙලියේ යැයි කියමනක් ඇත. බලය සදාකාලික නැත. සන්ධානයේ බයියෝද යහපාලන ටොයියෝද දේශපාලනයෙන් දෙපිලකට බෙදී ඩේටා කැපි අතින් කයිට් කර ගත්තද ඇමති වරදාන ලැබූ එජාප සහ ශ්‍රිලනිප බහුතරයකගේ දේශපාලන යනු පරම්පරා හත අටක් ගොඩයන එකකි.

චෞර රැජින හදන්නේ ඉතිහාසය අළුතින් ලියා දෙස බස රැස වනසන්නටය. ඒ ඇයගේ නවතම ප්‍රහසනයයි. රටක් ඇත. හෙටක් නැත. එදා මැර නායක බැද්දෙගානේ සංජීව බොඩිගාඩ් කරගෙන, රූකාන්ත සහ චන්ද්‍රලේඛාගේ කොණ්ඩය කපා දස වධදී, අනෝජා වීරසිංහගේ ගේ ගිණිබත් කල අය වර්තමානයේ සහජීවනය ගැන කථා කිරීම ගිනස් පොතට යන තාලේ විහිළුවකි. උතුරා යනවායැයි කියන ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ලංකාවෙන්ම ඡන්ද 28,587ක් ගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් එහි නායකයාට කැබිනට් ඇමතිකමක්ය. සරලය. සුන්දරය.

කොටස් වෙළෙඳ පොළේ දැවැන්ත කඩා වැටීමකි. බොරතෙල් මිල බොහෝ අඩුවූවද ඉන්ධන මිල අඩුවී නැත. තෙල් මිලේ වාසිය ජයකොඩි උසවන්නට චන්දිම වීරක්කොඩිට තවමත් ගට්ස් නැත.  සුරාබදු ආදායම වසර 2014දී රුපියල් බිලියන 42කි. එය ඉකුත් 2015දී බිලියන 105කි. රජයේ ඉලක්කය වසර 2016කදී සුරාබදු ආදායම රුපියල් මිලියන 200කි. මතට තිත මරේ මරුය.

දැන් බෙහෙත්, සබන්, ක්‍රීම්, දුරකථන සමාගම්, ඉන්ධන පිරහුම්හල්, ටෙලිනාට්‍ය ඇතුළු බොහෝ දෑ මේඩ් ඉන් ඉන්දියාය. ඉන්දියානු ව්‍යාප්තවාදයේ ඊළඟ දිගුව සේවා අවස්ථාය. රටේ ආර්ථිකය ඉන්දියාවට බිලිදෙන එට්කා ගිවිසුමට එරෙහිව විරෝධය අල කිරීම සඳහා ජුන්ටා උද්ඝෝෂණ බදුල්ලේ මෙන්ම කුරුණෑගල පාදෙනිය ගමේද පැවැත්විණි. එට්කා ගිවිසුම යනු නූපන් දරුවෙකු බව ඇතමුන් කීවද උපදින දරුවා, උපදින විගස අංගවිකලව හෝ රෝගීව උපදිනවාට කිසිවෙකු කැමති නැත. ඇවැස්ස නෑනා මස්සිනා විවාහ අකැපද එබැවිනි. දරුවාගේ උපත නිසා මවගේ ජීවිතයට අවදානමක් තිබේනම් හෝ දුෂණයට ලක්වූ ස්ත්‍රීයක් ගැබ්ගත් විට උපදින දරුවා පවා ගබ්සා කිරීමට නීතියෙන් වැට බැඳ නැත.

මුළුමනින්ම වාගේ කටුගෙට යවා තිබූ පාතාලයද දැන් යළි හිස ඔසවමින් පවතී. භාරත ඝාතන සැකකරුවන් ගෙන යන ලද බන්ධනාගාර බස් රථයකට වෙඩි පිට වෙඩිය. රාජගිරිය ඔබේසේකරපුරදී ඊයේද වෙඩි තැබීමකි. අතීතයේදී මෙන් ගෝනවල සුනිල්ලා, නාවල නිහාල්ලා සොත්ති උපාලිලා, තට්ට සෝමේ, මාළු නිහාල්, මොරටු සමන් වැනි පාතාලය දැන් ක්‍රියාත්මකය. නීතිය හා සාමය ගැන එදා කෑ ගැසූ අය  අද නිහඬය. පතාලය විසින් යහපාලනය හැඩකරනු ලබයි. රට ආපස්සට ගෙන යන ගමනට එරෙහිව දේශප්‍රේමී සහ ප්‍රගතිශීලි සැවොම එක්විය යුතු කාලය එළඹ ඇත. අන්තවාදය යනු ම්ලේච්චත්වයයි. එහි සිංහල අන්තවාදයද, දෙමළ අන්තවාදය, මුස්ලීම් අන්තවාදය කියා කිසිදු වෙනසක් නැත.

කලකදී ක්‍රිකට් ලෝක ශූරයින්වූ ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් යන්තං ජාම බේරා ගත්තේය. බංගලාදේශයෙන් මදි නොකියන්නට කෑවේය. ඉන්දියාවෙන් හතේ හත වැදුනේය. මේවා කියනුයේ අපහාසයකට හෝ උපහාසයකට නොවේ. මෙවැනි තත්ත්වයකට ඇද වැටී ඇත්තේ කාගේ වරදින්ද? නමුත් රටක් වශයෙන් බලාපොරොත්තු වන්නේ ඊයේ පෙරේදා ටෙස්ට් තත්ත්වය ලැබූ බංගලාදේශයටද පරදින මෙවැනි තරඟනම් නොවේ. ඩොට්වල සැර බලමින් ටී.එන්.එල් වලින් මැච් බැලුවද තරඟය මරාලේය.

සිදුවෙමින් පවත්නා මෙම ව්‍යසනයට එරෙහිව සිය න්‍යායික පදනම් වෙනුවෙන් කරන සටන් මධ්‍යයේම වාමාංශික පක්ෂ, කණ්ඩායම් සහ කල්ලිද පොදු සතුරා පැරදවීම සඳහා නාභිගත විය යුතුය. ස්ටැලින්වාදීන්, ට්‍රොට්ස්කිවාදීන්, පශ්චාත් නූතනවාදීන් සහ මාක්ස්වාදීන්, මාවෝවාදීන්, ස්ත්‍රීවාදීන්, පරිසරවාදීන් ඇතුළු මෙකී නොකී ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් පුළුල් ලෙස එක්විය යුතුය. සන්ධානගත විය යුතුය. සිය අන්‍යනතාවයන් රැක ගන්නා ගමන් ජනතාවාදී සටන් වෙනුවෙන් පෙනී සිටීම කිසිවෙකු බාධා කරගත යුතු නොවේ.

තැල්ල බදින්නත් බෙල්ල තිබිය යුතුය. අවශ්‍ය වන්නේ කිසිවෙකු රජ කිරීම නොව රටත් රටවැසියාත් දිනනවා දැකීමය. ‘යහපාලනය’ පෙරලන ජන සටන තවත් මඟකට මුල පුරන්නේ මාර්තු 17වැනිදාය. එය රට නඟන නැවුම් බලාපොරොත්තුවක පෙර ගමන්කරුවෙකු බවට පත්වන නැකත නුදුරේය.

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

3 Responses to “ඔපරේෂන් ‘බිංකුන්ඩෝ’”

  1. NeelaMahaYoda Says:

    ‍යහපල්ලෝ අද ගල උඩ පහ කල බළලා වාගේ ‘අරයාගේ’ රත්‍රන් වස්තු හොයමින් නාන තටාකයක පොල්වතු හාරයි.කියූ බොරුවලින් බලය අරගෙන වැඩේ කරහන්නත් බැරුව බොරුව ඔප්පුකරනත් බැරුව දෑන් අපේ ඉතිහාසයට දෙස් තියයි. රොබර්ට් සමෙස්කිස්ගේ බැක් ටු ද ෆියුචර් එකේ ක්‍රමයට චෞර රැජින හදන්නේ ඉතිහාසයට ගිහින් ඒක වෙනස් කරල එන්නයි

  2. Leela Says:

    මහින්දගෙ මුල් කාලෙ බටහිරයො ලංකාවට අසමත් රාජ්ජයක් (failed state) බවට සාධක දැක්වුවා. කොලෙම්බියන්ල එ්ව පිළිඅරගෙන ලංකාවට අපහාස කරල R2P (රයිට් ටු ප්‍රොරොටෙක්ට්) කොරන්න සුද්දො ගෙනෙන්න ඔිනා කියල ලිපි ලිව්වා. මහින්ද යුද්දෙ කොරන ගමන් චීන අායෝජකයො ගෙන්වගෙන මං මාවක් හදල අධිි වේගී පාර හදල වරාය හදල විදුලි බලාගාර හදල නිශ්පාදන අාර්තිකයත් නංවල හැම අතින්ම රට දියුනු කොලා. යුද්දෙන් පස්සෙ රට වේගයෙන් ඉදිරියට ගියා. රටේ ණය බර අඩු උනා උද්ධමනය අඩු උනා විරැකියාව අඩු උනා. මිනිස්සුන්ගෙ හොඳම කාලෙ උදා උනා. හැම මිනිහටම මොටර් බයිසිකලයක් ගත හැකි යගයක් උදා උනා. යන එන මං නැති වෙච්ච රතු කොල විපක්‍ෂය හංස පූට්ටුවක් හදාගෙන රට ගොඩ දමපු මහින්දට දූෂිතය, හොරා හොරා, කොමිස් ගහනව කියල බොරැ කියල, පච කෙලල කොරන්න බැරි පොරොන්දු ගොන්නක් දීල මිනිස්සු රවට්ටල මහින්ද පන්න ගන අට පාස් එකෙක් ජනාධිපති කොරගන කැඳ හැලි අාණ්ඩුවක් හදා ගත්ත. මෝඩ තකතීරැ අගමැතිය චීන ජනාධිපති මුල් ගල තියපු පෝට් සිටිය නැවැත්තුවා. ජඩපාලනයෙ කෙනෙහිලි කම් නිසා චීන කොම්පැනි රට දාල ගියා. වොක්ස්වාගන් ලංකාවෙ හදන්න පටන් ගන්නව කියල බොරැ පොරැොන්දු දුන්න අගමැති බොරැවෙන්ම රට කරන්න සූත්තර දැම්මා. අැමරිකාව අායෝජකයො එනව කිව්වා. නමුත් අාපු අායෝජකයෙක් නැහැ. කොටස් වෙළඳ පොල කඩා වැටුන. අද කැඳහැලි රනිල/සිරා රෙජිමය රටට බත දුන්න ගොවියත් අතරමං කොරල ඉවරය්. දැන් කියනවා වරද මහින්දගෙලු.

  3. NAK Says:

    The other idiot ‘Sajith’ said at a recent meeting “that you had to be in the dark because Mahinda’s low quality power plant in Norochcholai”
    The Idiot completely forgets or his idiotic brain doesn’t realize that if not for that power plant we would have to be in the dark for much much longer.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress