ඉතිහාසය මකමු. විදේශයට ආ වඩමු.
Posted on March 8th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

සුද්දන් පැමිණ අපව ශිෂ්ඨ සම්පන්න නොකලා නම් අප තවමත් නොදියුණු අඩියක සිටිනු ඇතැයි එක් සමාජ වෙබ් අඩවියකට තම අදහස් පලකල තරුණයෙක් කියා තිබිණි. මොහු සමහර විට අදහස් කරන්නට ඇත්තේ වතු වැවිලි සංස්කෘතියත් සමගම සුද්දන් විසින් ඇතිකල මහා මාර්ග හා දුම්රිය මාර්ග පිලිබඳව වන්නට ඇත. අනික ජාත්‍යන්තරයට මෙතරම් බය පක්ෂපාත හා කීකරු බවක් පෙන්වන යුගයක වත්මන් තරුණ පරපුරට මෙවන් අදහස් ඇතිවීම අරුමයක් නොවේ. 1505 දී පෘතුගීසින් ඇරඹූ යටත් විජිත යුගයේ 500 වන සංවත්සරය සමරන්නට ඔවුන් හා එක්ව කේක් කැපූ පුද්ගලයකු අද අගමැති තනතුර දරත්දී මෙවන් අදහස් වෙනස්කර දේශාභිමානය ඇති කිරීමට නැඹුරුවක් වේ යැයි සිතිය නොහැකිය.

‘ශිෂ්ඨ’ යන වචනය කෙසේ අර්ථ දැක්වේද? අප පාසල් වියේදී සමාජ අධ්‍යයනය ඉගෙන ගන්නා විට, මිහිමත මුල්ම ශිෂ්ඨාචාර ඇතිවූ හැටි උගෙන ඇත්තෙමු. ඒ නයිල් ශිෂ්ඨාචාරය, යුප්‍රටීස්-ටයිග්‍රීස්, යැංසිකියැන්-හොවැංහෝ, මොහෙන්ජෝදාරෝ-හරප්පා ආදී වශයෙනි. ඒවා හැදුවේ සුද්දන් නම් නොවේ. ඒ යුගයන් ශිෂ්ඨ ලෙස අප සලකන්නේ ක්‍රමවත් ජන සමාජ පැවැත්මක් වූ බවට සාධක හමුවන නිසාය.

ශ්‍රී ලංකාවට විජය කුමාරයා සහ පිරිස ගොඩ බසින විට මෙහි ශිෂ්ඨ සම්පන්න, රෙදි අඳින ජනතාවක් සිටි බව පැහැදිලි වනුයේ ඔහුට කුවේණිය හමුවූයේ කපු කටිමින් සිටියදී යයි සඳහන්ව ඇති නිසාය. පඬුවස්දෙව් රජුගේ දියණිය, චිත්‍රා කුමරිය සිටි එක්ටැම් ගෙයට ඇතුලු වන්නට දීඝ ගාමිණී කුමරුට කර්කටක යන්ත්‍රය තනා දුන්නේද අප රටේ මුල් පදිංචිකරුවන් වන යක්ෂ ගෝත්‍රිකයින්ගෙන් කෙනෙකු බව කියවේ. මේ සිදුවීම් සිදුවුනේ ක්‍රි.පූ. 5 වන සියවසදී පමණය. මේ යුගයේ විසූ සාමාන්‍ය මිනිසුන්ගේ සුසාන භූමිවල නටඹුන් අද ද දඹුල්ල ප්‍රදේශයේ බෙහෙවින් දක්නට ඇත. යමෙකු මියගිය විට සොහොනක් තැනීම යනු ශිෂ්ඨ සම්පන්න බවේ ඉහල මිණුමකි.

අද ද, එදා අප මුතුන් මිත්තන් තැනූ මහා වැව් අමුණු වලින් බෙදාහරින දියවර රටට බත සපයයි. ඔවුන් එදා මේ වාරි කර්මාන්තයන් කලේ ඇඟේ අමාරුවට නොවේ. අප රටට කෙතරම් පැරණි කෘෂිකාර්මික ශිෂ්ඨාචාරයක් උරුම වී තිබිනිදැයි මේ මහා වැව් අමුණු දෙස් දෙයි. ඒ තුලින් කෙතරම් දියුණු වාරි ඉංජිනේරු රට තුල භාවිතා වී තිබිනිද යන්න පැහැදිලිය. කෘෂි කර්මාන්තයට ඔවුන් එතරම් බරක් යෙදුවේ රටේ දේශගුණික රටාව පිලිබඳව අවබෝධ කරගැනීමට මනා ප්‍රඥාවක් ඔවුන්ට තිබූ නිසාය. පැරකුම් රජ සමයේ දකුණේ සිටින කුකුළෙකුට වහලෙන් බසින්නේ නැතිව පොලොන්නරුව තෙක් එන්නට හැකිව තිබිනි යැයි කතාවක් පවතී.  එමෙන්ම සූ සැට බරණින් සැදි ස්ත්‍රියකට කිසිදු උපද්‍රවයක් නැතිව රෑ මැදියමේ පවාරටේ එක කොනක සිට අනිත් කොනට ගමන් කල හැකි වීයැයි ද කියති. මේ මනා වූ භෟෙතික මෙන්ම හික්මුණු මානව ශිෂ්ඨාචාරයක සලකුණුය.

මේවා සුද්දන් පැමිණ කල කොන්ත්‍රාත් ලෙස ඉතිහාසයේ කොතැනවත් සඳහන්ව නැත. ඒ හැර අද තරුණ පරපුර නිතර විනෝද ගමන් යන නිසා අප පැරණි රාජධානි නගර පිළිබඳව ඔවුන්ගේ දෑසටවත් පෙනී නොගියා නොවන්නට පුලුවන. ඉතිහාසය පැහැදිලිව දැනගැනීමේ අවස්ථාව වත්මන් පරපුරට අහිමිව ගියේ කලින් කලට රට කල දේශපාලකයින්ගේ මති මතාන්තර අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකල වෙනස්කම් තුල ඉතිහාසය වෙනම විෂයයක් ලෙස පොත පතින් මැකී ගිය නිසාය.                                                                                                                                                                                                                                 අර තරුණයා කියන ආකාරයට, මෙලෙස කියන්නේ ඔහු පමණක් නොවේ, සුද්දන් අප රටේ දුම්රිය මාර්ග හා මහා මාර්ග ඉදිකල බව සැබෑය. නමුත් ඒ අපට ආදරයට නොවේ. ඒ ඔවුන් කඳුකරයේ තිබූ කැලෑ එලි පෙහෙලිකර ඇරඹූ වතු වගාවන්වල අස්වැන්න කොළඹට, ගාල්ලට ප්‍රවාහනය කරගැනීම සඳහාය. එකල ප්‍රධාන වරාය වූ ගාල්ලේ සිට තම තමන්ගේ අයට කොළඹට පැමින ගිම්නිවාගෙන වතු යායවල් කරා ඉක්මනින් යා ගැනීමටය. කෙටියෙන් කිවහොත් අප රට ඔවුන්ට රටක් නොව ඉඩමක් බඳු විය. ශ්‍රී ලංකාවට ලිප්ටන්ගේ තේ වත්ත යන නම වැටෙන්නේ එලෙස වන්නට ඇති. මේ කාලයේදී සිංහල ජනතාව කිහිප වරක්යටත් විජිතවාදීන්ට එරෙහිව නැගී සිටිමුත් ඉතා දරුණු අන්දමින් එම කැරලි මැඩ පවත්වනු ලැබීය. වෙල්ලස්සේ කැරැල්ල ඊට එක් උදාහරණයකි. අද ද පානම ප්‍රදේශයේ වෙසෙන ජනතාව එදා ඒ සටනේදී ජීවිතය බේරාගෙන පලා ගියවුන්ගෙන් පැවත එන්නන්ය. සුද්දන් තම ඉදිකිරීම් හා වතු කම්කරු වැඩ සඳහා මිනිසුන් ගෙන්වාගත්තේ දකුණු ඉන්දියාවනෙි. සිංහල මිනිසුන් තම ආත්ම ගෟෙරවය ඉහලින් සැලකූ බවත්, යටත් විජිතවාදීන්ට කම්කරු වැඩෙහි යෙදෙනු වෙනුවට වැඩි දෙනෙක් පසුබැස ඈත්ව ජීවත් වූ බවත් රොබට් නොක්ස් පවා තම ලියවිලිවල සඳහන් කර ඇත. ලොකුම දේ නම් අපට එවන් ආත්ම අභිමානයක් තිබී ඇත !

අපට ස්වදේශිකයන් විසින් තනාගත් මාර්ග පද්ධතියක්ද තිබුණි. එකල ඔවුන් තම ගමනාගමනය සඳහා තවලම්, ගැල් ක්‍රම යොදා ගත්හ. මේ තවලමක් දිනකට ගමන් කරන දුර සැතපුම් 22 ක් පමණ වේ යැයි කියති. ඒ ගැල් බැඳි ගොනුන් පිලිඳවද කරුණාවක් තිබූ හෙයිනි. උදාහරණයක් ලෙස ගතහොත් අරූගම ( අද අරුගම්බේ ) කලපු ප්‍රද්ශයේ සිට සියඹලාණ්ඩුවට පොතුවිල හරහා සැතපුම් 22 කි. එතැන් සිට මොණරාගල, වැල්ලවාය ආදී වශයෙන් සැතපුම් 22 න් 22 ට නගර ඇත.මෙසේ නගර බිහි වූයේ මුලින්ම ඒ ගැල් ලිහා දමා විවේක ගන්නා අයට ආහාර පාන සපයන හා වෙළඳ ගණුදෙණු කරන පුංචි කඩමණ්ඩි බිහිවීමෙන්, දියුණු වීමෙන්ද බව සිතිය හැක. මේ අයුරින්ම රටේ වෙනත් ප්‍රධාන නගරවල සිට නිශ්චිත දුරවල් වලින් මෙසේ බිහි වූ උප නගර පිලිබඳ උදාහරනයන් ඕනෑ තරම් දක්නට තිබේ. ඒ අනුව දියුණු වෙළඳ භාණ්ඩ හුවමාරු ක්‍රමයක්ද අප රටේ පැවති බවට මේ තුලින් සාක්ෂි දරයි.

සුද්දා වාෂ්ප ඇන්ජිම සොයා ගත්තේය. එය සැබෑවකි. එකල මිනිසුන් නව සොයා ගැනීම් සඳහා පෙලඹුනේ තම අවශ්‍යතා සහ පවතින සම්පත් අනුවය. මේ යුරෝපා රටවල ගල් අඟුරු සම්පත තිබේ. අනික සමකය ආසන්නයේ ඇති රටක් මෙන් නොව මේ රටවල් වලට සීත ඍතුවක් පැමිණේ. ඉතින් ඔවුන් ගල් අඟුරු භාවිතා කර බලශක්තිය නිපදවා ගන්නට ඇත. ඒ රටවල විශාලත්වය නිසා එය ලොවටම බලපෑ සොයා ගැනීමක් විය. ඒ අතර ජලයේ බලය යොදාගෙන නොයෙක් අවශ්‍යතා සම්පූර්ණ කර ගන්නට හෙළදිව මිනිසුන් සමත් වූහ. පැරණි රජ මාළිගා වල වායු සමීකරණය කර තිබූ අන්දම ඉතා කදිමය. පසුගිය සතියක ‘ට්‍රැවල් විත් චතුර’ වාර්තා වැඩ සටහනේදී යඨාල වෙහෙර ආශ්‍රිත කෟෙතුකාගාරයේ තිබුණු වතුරමල් (ෂවර්) , වැසිකිලි පද්ධති පිළිබඳ තොරතුරු ගෙන ආවේය. ඒවා ක්‍රි. පූ. 4 වන සියවසට අයත්ය. ඉතින් අපව ශිෂ්ඨ සම්පන්න කිරීමට දෙයක් සුද්දාට තිබිනිද? නානු යනුවෙන් භාවිත වූ, අද නම් ෂැම්පු නමින් හඳුන්වන දියර යොදා හිස සේදීමද තවත් රසවත් අතීත තොරතුරකි.

වරක් යාල කැලයේ දඩයම් ගමන්වල යෙදුනු සැමුවෙල් බේකර්ස්, තම ලිපියක සඳහන් කර තිබුණේ ඔහු සෑම තැනකම ඉතා විශිෂ්ඨ ගනයේ නටඹුන් දුටු බවත්, පුරාණ ශ්‍රී ලංකාවේ වෙනමම මිනිසුන් වර්ගයක් සිට ඇතැයි තමාට හැඟුන බවත්ය. ඔහුට නොවැටහුන දෙය නම් එදා ඒ විශිෂ්ඨ කර්මාන්ත කල මිනිසුන් තමා අද දකින මිනිසුන්ගේ තත්වයට ඇද දැමුවේ තම යටත් විජිතවාදී පාලනය විසින්ම බවයි. 1815 දී ඇහැලේපොල අදිකාරම් ඇතුලු පිරිස විසින් සිදුකල කුමන්ත්‍රණකාරී පාවා දීම්  ( ඔහු එසේ කලේ තමාට සිංහලේ රජු වීම අරමුණු කරගෙනය.)  හමුවේ අපේක්ෂා භංගත්වයට පත් ජනතාව, කිහිප වරක් සිදුකල කැරලි ගැසීම්ද අසාර්ථක වූ තැන තම හිස පාත් කරගෙන වන්නක් වේවායි සිතන උදාසීන ජන කොටසක් බවට පත්වන්නට ඇත. පුරාණ ජනතාව අලි ඇත්තුන්ට සැලකූ ආකාරයත්, සුද්දන් විනෝදයට අලි ඇතුන් මරා දැමූ ආකාරයත් (සැමුවෙල් බේකර්ස් ඊට නම් දැරුවෙකි) දෙසම පමණක් බලා එදා ඒ ජනතාව පත්ව සිටියේ යයි කියන මානසික තත්වය අපට වටහා ගත හැකිය.

1948 දී සුදදන් යන්නම ගියෝය. නමුත් යන විට අප රට තුල ජාති, ආගම් භේද අවුලුවා තබා යන්නට අමතක නොකලහ. නමුත් අද ඔවුන්ම ඒ ගිනි නිවන්නට සැරසෙන ආකාරය දුටු විට තවමත් සිංහල ජනයා කෙරෙහි ඔවුන් තුල වූ වෙෙරය නම් නැතිවී යයි කිව නොහැක.

ඒ මොනවා වුනත් අප ඉතිහාසය දැන සිටිය යුතුය. නමුත් එය, ‘මේ තමයි මහා වංශය, අහවල් රජු මේ වසර සිට මේ වසර දක්වා රජවුනා. ඊලඟට ආවේ අසවල් රජ. ඒ රජුව මරා අසවල් රජු රජවුනා’ ආදී වශයෙන් කට පාඩමින් දැන සිටීම නොවේ. ඒ ඒ යුගයන්හි තිබූ සමාජ ක්‍රමයන් දෙස විශ්ලේෂණාත්මක ඇසකින් බැලීමක් විය යුතුය.

වැඩවසම් යුගය අවසන්ව නව පාලන ක්‍රමයන් ඇතිවිය. ජනතාවට ස්වභාෂාවෙන් ඉගෙන ගන්නට ලැබුනු අවස්ථාවන් සමගම ඉංග්‍රීසි දන්නා පරපුර වෙනුවට සාමාන්‍ය පන්තියේ දක්ෂතා ඇති පිරිස්වලට ඉදිරියට එන්නට ඉඩ සැලසුනි. විවිධ දේශපාලන පෙරලි තුල දිගින් දිගට සිදුව ඇති වෙනස් කම් තුල අවසන මුදල් රජ කරන සමාජයක් ඇතිවීම දක්වා සමාජ පරිසරය වෙනස් වී තිබේ. මේ පුබිම තුල හැදීවැඩුන පරපුර අපට සියලු දේ ඉගැන්වූයේ යුරෝපීයයන් යයි සිතීම අරුමයක් නොවේ.

ඉතිහාසය උගන්වනවා නම් ඊට මේ සියලු යුගයන් ඇතුලත් විය යුතුය. එදෙස විශ්ලේෂණාත්මක ඇසකින් බලන්නට හුරු කල යුතුය. සිදුවූ දේශපාලන පෙරලි, ගොවි ජනපද බිහිවීම්, 70 හා 80 දශකයන්හි සිදුවූ තරුණ නැගිටීම්, සිංහළ දෙමළ වර්ගවාදී ප්‍රශ්ණය හා හේතු කාරණා, ව්‍යවස්ථා වෙනස්වීම් ආදිය තාර්කිකව හා සවිස්තරාත්මකව වත්මන් පරපුරට අවබෝධ කර දිය හැකිනම් නියම දේපාලන අවබෝධයක් ඇති බුද්ධිමත් ජනතාවක් අප රටේ යලිත් බිහිවනු ඇත.

මන්ද නිවැරදි දැක්මක් තිබේ නම්, ලෝකය වටේ ආධාර හිඟා කමින් යනවා වෙනුවට, ජාත්‍යන්තරයේ අත් වලින් ඇදෙන නූලෙන් නැටවෙන රූකඩ බවට පත්වනු වෙනුවට ස්වශක්තියෙන් නැගී සිටීමට තරම් සම්පත් වලින් පිරි රටක් අපට තිබේ.

3 Responses to “ඉතිහාසය මකමු. විදේශයට ආ වඩමු.”

  1. Christie Says:

    1948 දී සුදදන් යන්නම ගියෝය. නමුත් යන විට අප රට තුල ජාති, ආගම් භේද අවුලුවා තබා යන්නට අමතක නොකලහ. නමුත් අද ඔවුන්ම ඒ ගිනි නිවන්නට සැරසෙන ආකාරය දුටු විට තවමත් සිංහල ජනයා කෙරෙහි ඔවුන් තුල වූ වෙෙරය නම් නැතිවී යයි කිව නොහැක.”

    සුද්දන්ගේ හෙවත් බිරිතානින්ගේ කරපිටින් ආ ඉන්දියානු පරපෝසිතයන් ආපසු ගියේ නැත. අපේ රටේද නිවර්තන කලාපිය අනිත් බිරිතානි යටත් විජිතයන්වල මෙන් සුද්දෝ සිටියේ කීප දෙනෙකි. ලක්ෂ ගනන් සිටියේ ඉන්දියාන්යු පරපෝසිතයන්ය.

    මෙම ඉතිහාස කරුන වටගන්නාතුරු අපිට ගැලවීමක් නැත.

    ඉන්දියානු ජඩයෝ මා ඇසුරු කල ඇති ඉතාමත්ම නරක මිනිසුන්ය. ඉන්දියාවෙන් පිටත සිටින්නේ උසස්කුල ඉන්දියානුවන්ය. උන්ට අනිත් අපි අඩුකුලයින්ය.

  2. Dham Says:

    ජනතාවට අපහාස නොකරන්න​.
    බුද්ධිමත් ජනතාවක් බිහිකිරීමට පෙර බුද්ධිමත් දේශපාලකයින් බිහිකිරීමට ඔබේ ලිපිය අදහස් යොමු වුනානම් හොඳයි. ඇයි ? මිලියන විස්සක් බුද්ධිමතුන් බිහිකරන්වාට වඩා 200 ක් බුද්ධිමතුන් බිහිකිරීම ඉතාම පහසු බැවිනි. ඒ කෙසේවෙතත් තමාගේ බුද්ධිය මෙහෙයවීමට ඉගෙන ගත යුතුය​.
    මේ ලිපිය ලිවූ ඔබතුමා ඉගෙනගත යුතු කරුණක් ඇත​. සුද්දාටම දොස්පවරමින් 66 වසරක් අපි කලේ මොකක්ද ?
    එකිනෙකා කුලල්කා ගැනීම පමණකි. ඉතිහාසය ඉගෙනගත් බුද්ධිමත් නායකයෝ වෙනුවට​, ඉතිහාස පොත අපට කියවන්න කියා සුද්දාගේ කුපාඩිකම් කොට බඩකට පුරවාගෙන පිම්බී, අපේ දරුවන් බිල්ලට දී ඉතිහාසයේ සිටි ධාර්මික රජවරුන් ගේ නම් පමනක් කුලියට ගන්නා කට්ට කයිරාටිකයින් අප සුද්දාගේ චන්ද ක්‍රමයට පත්කර ගතිමු.

    ශිෂ්ඨාචාරකම සුද්දාගෙන් ඉගෙන් ගන්නට තරම් අපි නිහතමානී වෙමු.
    අද බස් රථයක ලස්සන ගැහැනු ලමයකු නගින විට සුද්දා කන්නවගේ බලන් ඉන්නේ නැත​. ඔවුන් කෙල්ලන්ට ජැක් ගහන්නේ නැත​. ගූගලයෙන් අපේ එවුන් තරමට​ SEX ස්‍ර්ච් කරන්නේ නැත​.වැඩනොකොට පුලුවන් තරම් නිකං ඉන්න බලන්නේ නැත​. පඩියට පමණක් වැඩ කරන්නේ නැත​. මෙහෙම විලිලැජ්ජා නැතිව බොරු කියන්නේ නැත​. අපේ ජනාධිපතිපවා ප්‍රසිද්ධියේ බොරු කියයි. එය අසු වුනවිට සමාව ගෙන නිවැරදි කිරීමට තරම් හැදියාවක් අපේ මහලොකු ශිෂ්ඨාචාරය මොවුන්ට ලබාදී නැත​.

    අපේ වැරදි පිලිගැන ඒවා හදාගෙන් රට ද හදා දියුණු වෙමු.
    සුද්දාට බැනීමට සුදුසුකම් ලබාගනිමු.

  3. aloy Says:

    I agree with you that history should be taught as a subject in schools. Why was it stopped?. Our society is made of different ethnic groups and different segments in each ethnic group also. They may have different ideas perceptions etc. So what we read in the internet is not something to be alarmed about. We have to take what is good from Suddas also. I remember once you wrote from Leeds. If you are still there please write how you find that place and any thing good that we can take from there.
    I too have some connection with that place and I am very happy the way they treat our children and grand children.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress