පෙරදිගට ගමනක් – 4 උස්තාද් ගේ තබ්ලාව සහ හින්දුත්ව හොරණෑව
Posted on March 8th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

 ඒ, 2013 අවුරුද්දේ පෙබරවාරි මාසේ 4 වැනි දා. පෙයි-චිං නුවර තියෙන අපේ තානාපති කාර්යාලයේ පැවැත්වුනු නිදහස් සමරු උත්සවයට සහභාගී වෙලා නැවතී සිටි තැනට මම ආපහු ආවේ විශ්වවිද්‍යාල කිහිපයක උපාධි හදාරමින් සිටි ලාංකික ශීෂ්‍යයන් කීප දෙනෙකුත් එක්ක. ඒ අය අතරින් දෙන්නෙක් ඇඳලා හිටියේ ආර්ය සිංහල” ජාතික ඇඳුම. අපි කට්ටිය මම නැවැතී සිටි ගොඩනැගිල්ලට ඇතුල්වෙන වෙලාවේ අපිට මුණගැහුණා ටැන්සානියාවට අයිති සැන්සිබාර් දූපතේ ඉඳලා ඇවිල්ලා හිටිය ශිෂ්‍යයෙක් (සැන්සිබාර් දූපතේ ඉන්න සියලූ දෙනා ම වගේ – සියයට 99 කට වඩා; මුස්ලිම්). මේ හාදයා අපේ ජාතික ඇඳුම” ඇඳලා හිටපු ශීෂ්‍යයන් දෙන්නාට අස්-සලාමු ආලෙයිකුම්” කියලා ආමන්ත‍්‍රණය කළා. අපි ඔහුත් එකක් ටිකක් වෙලා කතාකළා. අපේ ජාතික ඇඳුම” ඇඳලා හිටපු දෙන්නා දැක්කා ම ඔහුට හිතිලා තියෙන්නේ ඒ දෙන්නා මුස්ලිම් කියලා. මොකද අපේ මේ ජාතික” ඇඳුමෙයි, අරාබි ජාතිකයින් අඳින තෝබ් (දිස්දාසා) ඇඳුමෙයි ලොකු වෙනසක් ඒ පුද්ගලයා දැකලා නෑ.

නිදහස ලබාගන්න ටික කාලයකට කලින් කලබලයට ඉන්දියාව කියන රටෙන්” (ඇත්තෙන් ම බි‍්‍රටිෂ් රාජ් ඉන්දියාවෙන්) කොපිකරගත්ත මේ ඇඳුම දැන් අඳින්නේ දේශපාලනඥයෝ කීපදෙනෙක් විතරයි. අපේ මිනිස්සු සුදු පාට ඇඳුම් අඳින්නේ ඉලව් ගෙවල්වල යන්න. ඊට අමතර ව, පන්සල් යද්දි සුදු ඇඳුම් අඳින්නේ සරල, චාම් බව පෙන්වන්න. ජාතික ඇඳුමකින් නිරූපණය වෙන්න ඕන ජාතිකත්වය, අනන්‍යතාව. ඒ වගේ ම ඒ ඇඳුම මිනිස්සු කැමැති එකක් වෙන්න ඕන. ඒත් මේ රටේ අති බහුතරයක් මිනිස්සු මේ ඇඳුමට කැමැති නෑ. මේ විදිහේ නුහුරු නුපුරුදු ඇඳුමක් අපේ ජාතික ඇඳුම බවට පත්වුනේ කොහොම ද? මේ ඇඳුමට මුල් වූ ඇඳුම (ඇඳුම්) අඳින්න මේ ඉන්දියාව කියන රටේ” ඉන්න මිනිස්සු පුරුදුවුනේ කොහොම ද? මෙහෙම ඇඳුමක් ගැන හෝඩුවාවක්වත් මේ කලාපයෙන් හමුවෙලා තියෙන කිසිම පැරැණි බිතුසිතුවමකින්, කැටයමකින්, ප‍්‍රතිමාවකින් අපිට හොයාගන්න බෑ. එහෙම නම් මේ ආභාෂය ලැබුණේ කාගෙන් ද, කිනම් කාලයක ද?

හින්දුස්ථානි රාගධාරී සංගීතය ගැනත් යමක් කියන්න ඕන. අපිට කියලා දීලා තියෙන විදිහට මේ සංගීත සම්ප‍්‍රදාය අයිති වෙන්නෙත් ඉන්දියානු මහා සංස්කෘතියට.” මේ සංගීත සම්ප‍්‍රදායේ කෙළ පැමිණෙන හින්දු ආගම අදහන්නෙක්ට පණ්ඩිත් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ විදිහට කෙළ පැමිණෙන්නේ ඉස්ලාම් ආගම අදහන්නෙක් නම් එයාට කියන්නේ උස්තාද් කෙනෙක් කියලා. එතකොට බෞද්ධයෙක්? ඒ ප‍්‍රශ්නයට නම් උත්තරයක් හිතාගන්න අමාරුයි. මේ සම්ප‍්‍රදාය ඉතා ඈත අතීතයේ බ‍්‍රාහ්මණ ආගමේ වත්පිළිවෙත් මැදින් ඉස්මතු වුනා කියලා තමයි කියන්නේ. ඒත් ඒ කතාව ඇත්තක් ද? අද මේ තියෙන්නේ ඒ කියන විදිහට ඉස්මතුවෙලා වර්ධනය වෙච්ච සංගීත සම්ප‍්‍රදායක් ද?

ඇත්තෙන් ම දිල්ලි සුල්තාන් කාලේ ජීවත්වුනු අබ්දුල් හසන් යාමින් උද්-දීන් කුස්රොව් තමයි දැන් තියෙන හින්දුස්ථානි රාගධාරී සංගීතයේ පියා විදිහට සැළකෙන්නේ. ඔහු ජීවත්වෙලා තියෙන්නේ මීට අවුරුදු 750කට විතර කලින්. මේ සංගීතඥයා තමයි තබ්ලාව, සිතාරය වගේ උපකරණ පවා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි යමන් කල්‍යාන් වගේ බොහොම ප‍්‍රචලිත රාග ගණනාවක් ම නිර්මාණය කරලත් තියෙන්නෙත් ඔහු. ඊට අමතර ව නියාමත් ඛාන් (සාදරංග්), කබීර් වගේ අයත් මේ සංගීත සම්ප‍්‍රදායේ පතාක යෝධයෝ විදිහට තමයි සැළැකෙන්නේ. ඉතින් අපි තේරුම්ගන්න ඕන මේ සම්ප‍්‍රදාය හැදී වැඩුනේ දිල්ලි සුල්තාන්, මූගල් උරුමය තුළ මිසක් ඈත අතීතයේ සිට පැවැත එන බ‍්‍රාහ්මණ ආගමික වත්පිළිවෙත් මැද නෙවෙයි කියන එක.

විසිවැනි සියවසේ උදාවෙන විට පවා මේ තත්ත්වය වෙනස්වෙලා තිබුණේ නෑ. උස්තාද් අබ්දුල් වහීද් ඛාන් වගේ අය මහා සංගීත පරපුරක් ම බිහිකළා. අපි බොහෝ දෙනෙක් දන්න මොහොමඞ් රාෆී පවා ඔහු ගේ ගෝලයෙක්. සුරේෂ් බාබු – ඒ කියන්නේ, අබ්දුල් රහ්මාන් ඛාන්, ඔහු ගේ සොහොයුරිය හීරා බායි, බේගම් අක්තාර් වගේ සෑහෙන පිරිසක් අබ්දුල් වහීද් ඛාන්ගෙන් ඉගෙනගෙන ඒ සංගීත සම්ප‍්‍රදාය ඉදිරියට ගෙනියන්න මුල්වුනා. ඒ විතරක් නෙවෙයි. උස්තාද් අලා-උද්-දීන් ඛාන් වගේ අයත් මේ සංගීත උරුමය වර්ධනය කරන්න, පෝෂණය කරන්න මූලික වුනා. විසිවැනි සියවසේ දී මේ සංගීත සම්ප‍්‍රදාය තුළින් බිහිවුනු විශිෂ්ටතම සංගීතඥයන් දෙදෙනා විදිහට සැළැකෙන්නේ අලි අක්බාර් ඛාන් සහ රවි ශංකර්. උස්තාද් අලි අක්බාර් ඛාන් කියන්නේ අලා-උද්-දීන් ඛාන් ගේ පුත‍්‍රයා. පණ්ඩිත් රවි ශංකර් කියන්නේ අලා-උද්-දීන් ඛාන් ගේ බෑනා. වෙන විදිහකට කියනවා නම් උස්තාද් අලි අක්බාර් ඛාන් ගේ සහෝදරිය ගේ – ඒ කියන්නේ, අන්නාපූර්ණා දේවි ගේ; ස්වාමිපුරුෂයා. මේ දෙන්නා ගේ ම – ඇත්තෙන් ම තුන්දෙනා ගේ ම; ගුරුවරයා තමයි උස්තාද් අලා-උද්-දීන් ඛාන්.

ඉතින් හින්දුස්ථානි රාගධාරි සංගීතය කියන්නේ දිල්ලි සුල්තාන්, මූගල් උරුමය මත බිහිවුනු සම්ප‍්‍රදායක් කියන එක අපි තේරුම්ගන්න ඕන. එහෙම නැතුව මේ සම්ප‍්‍රදායේ මුල් බ‍්‍රාහ්මණ ආගමේ ස්තෝත‍්‍ර ගායනා ඇතුළේ හොයන එකේ තෙරුමක් නෑ. මේ සම්ප‍්‍රදාය අපේ රටට ආනයනය කරලා වැඩි කාලයක් නැති බව අපි හැමෝ ම දන්නවා. ඇත්තට ම ගණන් බැලූවොත් අවුරුදු හැටක් හැත්තෑවක් විතර ඇති. ලක්නව් නගරයේ තියෙන භාත්ඛණ්ඬේ සංගීත ආයතනයෙන් මේ සම්ප‍්‍රදාය ගේන්න කලින් ආනන්ද සමරකොන්, සුනිල් ශාන්ත වගේ අය උත්සාහ කළේ බෙංගාලයේ ශාන්ති නිකේතනයෙන් උරුම කරගත්ත සංගීත සම්ප‍්‍රදායක් මේ රටට අඳුන්නලා දෙන්න. බෙංගාල සංගීතයටත්, ඒ මත ගොඩනගාගත් රවීන්ද්‍ර සංගීතයටත් මූගල් උරුමය යම් පමණකින් බලපා ඇති බව ඇත්ත. ඒත් ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්ත මේ රටට අඳුන්නලා දුන්නේ ලක්නව්වලින් ආනයනය කළ ආකාරයේ සංගීත සම්ප‍්‍රදායක් නෙවෙයි. අපේ ම අපේ සංගීත සම්ප‍්‍රදායක් බිහිකරගැනීමේ උවමනාව ඒ දෙදෙනාට තිබුණා. ඒත් ඒ උත්සාහයට ඉඩක් ලැබුණේ නෑ. සුනිල් ශාන්තයන් ව ගුවන් විදිලියෙන් එළවා දැම්මා. ආනන්ද සමරකෝන්ට සියදිවි නසාගන්න සිද්දවුනා. අන්තිමේ දී අපේ රටේ අති මහත් බහුතරයකට නො තේරෙන, දිරවාගන්න අමාරු සංගීත සම්ප‍්‍රදායක් මේ රටේ බලය ඇති සංගීත සම්ප‍්‍රදාය – පාසල්වල පවා උගන්වන සංගීත සම්ප‍්‍රදාය; බවට පත්කෙරුනා. මේක දිරවාගන්න බැරි අපේ තරුණ පිරිස් දැන් සන්ෆලවර්ස් වගේ කණ්ඩායම් පස්සේ යනවා.

ඉන්දියාව කියන රටේ” පවතිනවා කියලා කියන අවුරුදු දහස් ගණනක් තිස්සේ අවිච්චින්නව පැවැති එන” මේ පොදු ඉන්දියානු සංස්කෘතිය” ගැන කතාව අවසන් කරන්න කලින් විමසිය යුතු තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි හින්දුත්වය ගැන තියෙන ඝෝෂාව. ඇත්තෙන් ම අපිට පෙනෙන්නේ හින්දුත්වය ගැන නැගෙන එක ඝෝෂාවක් විතරයි. ඒ තමයි, රාෂ්ඨ‍්‍රීය ස්වයං සේවක් සංගමය, විශ්ව හින්දු පර්ෂදය, ශිව සේනා, සමස්ත ඉන්දියානු රාම රාජ්‍ය පර්ෂදය, භාරතීය ජනතා පක්ෂය වැනි සංවිධාන, දේශපාලන පක්ෂ හරහා එළිමහනේ නැගෙන ඝෝෂාව. මේ වගේ සංවිධානවලට හින්දු අන්තවාදී හංවඩුවකුත් අලවලා තිබෙනවා. බොහෝ විට මුස්ලිම් සමාජ, සංස්ථා එක්ක ගැටෙන්න හදන මේ සංවිධාන රකින්න උත්සාහකරන්නේ කාගෙන් ලැබුණු උරුමයක් ද කියන එක දැන් අපිට පැහැදිළියි. දිල්ලි සුල්තාන්ලා, මූගල් පාලකයෝ හරහා ලබාගත් ඒ සාඩම්බර උරුමය ඔසවා තියන්න, ඒ වෙනුවෙන් දිවි පුදන්න මේ කට්ටිය තරගකරනවා.

 මේ එළිමහනේ කොඩි උස්සගෙන යන හින්දුත්වයට අමතරව තවත් හින්දුත්වයක් අනාගමික, ලිබරල් ස්වරූපයෙන් රජකරනවා. මේක මූලිකව ම භූමිය මුල්කරගෙන අර්ථ දක්වලා, ඒ මත ගොඩනගන්න උත්සාහකරන හින්දුත්වයක්. ශිව සේනා වැනි සංවිධාන උස්සලා පෙන්වන හින්දුත්වයට භූමිය විතරක් නෙවෙයි ආගමත් මූලික වෙනවා. ඒත් මේ සැඟවුනු හින්දුත්වය ඒ විදිහට එළිමහනේ ආගම ගැන කතාකරන්නේ නෑ. ගාන්ධි යෝජනා කරපු රාම රාජ්‍යය බොහෝ දුරට ලිබරල් අදහස් සහ ඉන්දියාව කියන භූමිය” උඩ සකසාගත යුතු එකක්. නේරු පවා හිටියේ ඒ ගොඬේ. ඒ හින්දා මේ ඉන්දියාව කියන රටේ” ව්‍යවස්ථාව පවා අනාගමික ප‍්‍රතිපත්තියකට මුල්තැන දීලා සකස්කරගෙන තියෙනවා. ඒ අය කියන විදිහට ඉන්දියානු ආණ්ඩුව” ආගමික කටයුතුවලට මැදිහත්වෙන්නේ නෑ. ඒත් හින්දුත්වය කියන්නේ ආගමික අදහසක් විතරක් නෙවෙයි. ඒක මූලිකව ම භූමිය මත අර්ථ දක්වපු එකක්. හින්දු ආගමේ අනන්‍යතාව පවා අර්ථදක්වලා තියෙන්නේ භූමිය මත.

ස්වාමි විවේකානන්ද වගේ අය විසින් අධ්‍යාත්මික බලවේගයක් විදිහට පණ පොවපු හින්දුත්වය ඖරොවින්දු ඝෝෂ් වගේ අය විසින් දේශපාලන බලවේගයක් විදිහට ඉදිරියට ගෙන ආවා. ගාන්ධිලා, නේරුලා වගේ අය එකතුවෙලා ඒ හින්දුත්වය ලිබරල් අදහස්වලිනුත් පෝෂණය කළා. ඉතින් ඒ අය නායකත්වය දීපු දේශපාලන ව්‍යාපාරය ඉන්දුත්වයක්” විදිහට ඉදිරියට ආවා. ඒ අය ගේ ඉන්දුත්වය” අන්තවාදී හංවඩුව ගහපු ශිව සේනා වගේ කට්ටිය ගේ ”හින්දුත්වයෙන්” වෙනස්වෙන්නේ ඉතාමත් සරල කාරණාවක් උඩ විතරයි. මේ දෙපාර්ශ්වය ම රකින්නේ, පතුරුවා හරින්න උත්සාහකරන්නේ මේ දක්වා අපි විස්තර කරපු දිල්ලි සුල්තාන්ලාගෙන්, මූගල් ආක‍්‍රමණවලින් ලැබුණු උරුමය. ඒත් මේ සංස්කෘතික උරුමය මේ අය කියන විදිහට අවුරුදු දහස් ගණනක් තිස්සේ අවිච්චින්ව ගලා එන්නක් නෙවෙයි. ඉතින් එහෙම උරුමයක් ඇතුළේ අපේ නෑදෑකම් හොයාගන්න අපිට පුළුවන් ද?

මගේ පෙරදිග ගමනට හේතුවුනේ මේ ප‍්‍රශ්නය. ඉන්දියාව” කියන්නේ අපේ ළඟ ම නෑදෑයා කියන කතාව තවදුරටත් පිළිගන්න පුළුවන්කමක් මට තිබුණේ නෑ. අපි දෙපාර්ශ්වය” අතර ඒ විදිහේ ඉතාමත් කිට්ටු සංස්කෘතික බැම්මක් තියෙන බවක් තහවුරු කරගන්න මට බැරි වුනා. මේකෙන් මම අදහස් කරන්නේ නෑ අපි අතර කිසිම සම්බන්ධයක් නැති බවක්. අසල්වැසි රටවල මිනිස්සු අතර ඕන තරම් ගනුදෙනු සිද්දවෙන්න පුළුවන්. මුලින් ම කියපු විදිහට බංගලිදේශයයි, සිංහල දේශයයි අතර සම්බන්ධකම් තියෙන්න ඇති. නිතර නිතර සිද්දවුනු ආක‍්‍රමණ නිසා – විශේෂයෙන් ම චෝල අධිරාජ්‍යය බලවත් වුනු සමයේ සිදුවුනු ගනුදෙනු නිසා; පවා චෝල සංස්කෘතික ආභාෂයත් අපිට අඩුවක් නැතිව ලැබෙන්න ඇති. පාණ්ඩ්‍ය රාජධානියත් එක්ක අපි බොහොම කිට්ටු සම්බන්ධතා පවත්වපු බව අපේ ඉතිහාස වංශ කතා පවා කියනවා. චේර රටෙනුත් අපිට යම් යම් දේ ලැබෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි. අපෙනුත් මේ අසල්වැසියන්ට බොහෝ දේ උරුමවෙන්න ඇති. සංස්කෘතික ප‍්‍රවාහ ගලාගෙන යන්නේ එක පැත්තකට විතරක් නෙවෙයිනේ.

ඒත් අපේ සංස්කෘතිය මේ චෝල, පාණ්ඩ්‍ය, චේර සංස්කෘතීන්ගෙන් වෙනස් බව අපි දන්නවා. අපේ භාෂාව ඉන්දු-ආර්ය භාෂා පවුලට අයත් කියලා පෙන්නුවාට සංස්කෘතික වශයෙන් අපි උතුරු ඉන්දියාවේ” අයට වඩා වෙනස් බව අපි දැන් දන්නවා.

එහෙම නම් අපි කවුද?

මේ ගැන හොයා බලද්දි දුටු දෙයක් මී ළඟ ලිපියෙන් කියන්නම්.

වරුණ චන්ද්‍රකීර්ති෴

2 Responses to “පෙරදිගට ගමනක් – 4 උස්තාද් ගේ තබ්ලාව සහ හින්දුත්ව හොරණෑව”

  1. Naram Says:

    Thanks, VAruna, I enjoyed reading this article. Let me add few bits I have observed which you can expand.

    Our proximity to India has led to many cultural and scientific links. I recall in my young days in the Irrigation dept. most people in the higher levels of management were graduates of Indian Universities, mostly from Madras University. Of course that introduced many unpleasant facts of deeply ingrained caste attitudes too which were most apparent in Jaffna but had permeated to all parts of our society.

    Mughal kingdom disintegrated to many parts with many princes ruling small city states receiving protection from the British army thus forming a bulwark against the independence movement of the congress party led by Nehru, Gandhi etc. In the thirties Nizham of Hyderabad was the richest man in the world, his wealth coming from the diamond mines in Deccan hills. Aligar University University was his gift to the locals of that state, and some of the princes in Culcutta were active in growing Opium for sale in China. Nehru spent many years in prison of one of those city states and that may have had a hand in his cutting off the special stipends a dacade later. That used to be paid to provincial ruler princes as a part of the Independence agreement.

    India annexed Goa too not with a popular mandate of the inhabitants there and today one will see most folks running the thriving tourist industry there are part of the from the influx from Northern states of India. A fate that awaits Sri Lanka after the much acclaimed Ranil’s ECTA ‘Raja Yoga’.

  2. Christie Says:

    මෙය කියවන මට මතක් වූයේ චිත්‍රසේන ඉඟි නලුවාත් දන්නෝ බුදුන්ගේ ඔපෙරාවත්ය.

    චිත්‍රසේනත් අඹුවත් රෙදිකෑල්ලක් දවටගෙන දහ අට බෙරත් සමග සින්හල නැටුම් ගැයුම් වලින් ලොවට අපේ දේ රසවිඳින්න දුන්නේය.

    වසර හතලිස් පහකට පමන පෙරබටහිර මහනගරයක ඔහුගේ දහ අට බෙරවාදනය ඇසූ සුද්දෝ නැගිට ඔල්වරසන් දුන් හැටි මම ආඩම්බරයෙන් බලා සිටියෙමි.

    අද මෙම සින්හල නැටුම් ගැයුම් කලානම් කියාවි මේව දැකල අහල බලල්ලු සන්වාසයේ යෙදෙනව අහල ගඩොල්කැට ගහන්න ඔනෑ කියල.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress