සමාජවාදී ජනතා ව්‍යාපාරයේ කිසිදා නොඇසූ කතාව මෙන්න!
Posted on March 13th, 2016

ධර්මන් වික්‍රමරත්න

අසූව දශකයේ ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) වර්ධනය වූයේ පවතින සමාජ ක්‍රමය විසින් බිහිකරන සහ උත්සන්න කරන ලද සමාජ අසාධාරණයට එරෙහිව වේගවත් ප්‍රකාශනයක් ලෙස එය මතුවූ නිසාය. සාම්ප්‍රදායික වම අ‍භාවයට යද්දී සහ ජවිපෙ ශක්තිමත් වෙමින්  ජාතික ගැටළුව පිළිබඳව පක්ෂය තුළවූ අපැහැදිලි මතවාදයන් අහෝසි කරමින් මතවාදී හා න්‍යායික ඒකමතියක් ස්ථාපිත කරමින් සිටියදී ජනතා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වන විප්ලවීය අරගලය ජාතික අයිතීන් පතා දෙමළ ජනයා ගෙනයන අරගලය සමඟ එක් ප්‍රවාහයකට මුසුකල යුතු බවට තීරණය කල වාම කණ්ඩායම් කිහිපයක්ද 80 දශකය ආරම්භයේදී ඉස්මතු විය. 

Dharman Wickremaratneධර්මන් වික්‍රමරත්න විසිනි.

එම වාම කණ්ඩායම් අතර සමාජවාදී ජනතා ව්‍යාපාරය සහ විකල්ප කණ්ඩායමද විය. මෙම කණ්ඩායම් දෙකම දෙමළ බෙදුම්වාදය ‘ජාතික අරගලයක්’ ලෙස මුළුමනින්ම ව්‍යුක්ත ලෙස පිළිගනිමින් ඒ සමඟ සම්බන්ධවීමටත් දකුණේ අරගලයෙහි වර්ධනයේ මට්ටම නොසලකා ‘දෙමළ ජාතික අරගලය’ නොහොත් දෙමළ බෙදුම්වාදයට සමාන්තර මට්ටමකින් දකුණේ අරගලය වර්ධනය කිරීමටත් අපේක්ෂා කළහ. එහෙත් එහිදී විකල්ප කණ්ඩායමට වඩා දේශපාලනය යථාර්ථය ගැඹුරින් වටහාගත් කණ්ඩායමක් ලෙස සමාජවාදී ජනතා ව්‍යාපාරය හැදින්විය හැකිය.

dharman12031602

සමාජවාදී ජනතා ව්‍යාපාරය ආරම්භ කල පුරෝගාමී දේශපාලන මණ්ඩල සභිකයින් අතර සිටි කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ වසර 11ක් හිටපු ප්‍රධාන ලේකම් සහ සභාපති ජයතිලක ද සිල්වා, ලංකාවේ මාක්ස්වාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධනගේ පුත්‍රයාවන ඉන්දික ගුණවර්ධන, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ නායක පෝලියර් ගුණවර්ධන, ලංකා බැංකු‍ සේවක සංගමයේ සභාපති පී. බණ්ඩාර, කොමියුනිස්ට් පක්ෂයේ මාතර හිටපු දිසා සංවිධායක තිහගොඩ සරත් රත්නායක ‍නොහොත් මොස්කව් සරත්, වයඹ පළාත් සභාවේ හිටපු සභාපති ඩී.එම් චන්ද්‍රතිලක(චන්ද්‍රතිලකගේ ඡායාරූපය අනුග්‍රහය සුනිල් පොරමඩල ගෙනි), පේරාදෙණිය සරසවියේ මහාචාර්ය නවරත්න බණ්ඩාර සහ 44දෙනාගේ කණ්ඩායමට අයත්වූ ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභික වාස් තිලකරත්න.

සමාජවාදී ජනතා ව්‍යාපාරය ආරම්භ වූයේ සමස්ථ ලංකා රජයේ ලිපිකරු සංගමයේ සභාපතිවරයාව සිටි නිවාස අමාත්‍යාංශයේ සහකාර ලේකම්ද වශයෙන් කටයුතුකල සිවිල් සේවකයෙකුවූ අකුරැටියේ මා ජයසේනගේ නුගේගොඩ නිවසේදී  1981 පෙබරවාරි 8වැනිදාය. එහි පුරෝගාමීන් අතර  ජයතිලක ද සිල්වා, ඉන්දික ගුණවර්ධන, පී බණ්ඩාර, ඩී.එම් චන්ද්‍රතිලක, පෝලියර් ගුණවර්ධන, සරත් රත්නායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක පාලේන්ද්‍ර රත්නවීර, පේරාදෙණිය සරසවියේ එවකට කථිකාචාර්යවරයෙකු සහ වර්තමානයේ කලා පීඨාධිපතිවරයාවන දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඒ.එම්. නවරත්න බණ්ඩාර, මා ජයසේන ඇතුළු කිහිප දෙනෙකු විය.

dharman12031603සමාජවාදී ජනතා ව්‍යාපාරයේ නායකයෙකු වන ජයතිලක ද සිල්වා මහජන පුස්තකාලයේ 1984දී පැවති සම්මන්ත්‍රණයකදී සභාව අමතන අයුරු. මුලසුනේ සිටින්නේ මහාචාර්ය ඔස්මන් ජයරත්නය(ඉහළ) සහ තවත් නායකයෙකුවූ ලංකා බැංකු සේවක සංගමයේ සභාපති බී. බණ්ඩාර වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් වසර 1983දී දැනුවත් කරමින්(පහළ)

එහි නායකයා සහ න්‍යායචාර්යවරයා වූයේ කාරියවසම් කැල්ලපොත විතාරණගේ ජයතිලක ද සිල්වා අම්බලන්ගොඩ බටපොලදී 1938 ජුනි 14වැනිදා උපන්නෙකි. හික්කඩුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු ලංකා විශ්ව විද්‍යාලයේ(1957 සිට 1961) උපාධිධාරියෙකි. තිදරු පියෙකුවූ ජයතිලකගේ පියා ඩේවිඩ් වෘත්තීයෙන් වඩු කාර්මිකයෙකි. දෙණියාය මධ්‍ය විද්‍යාලයේ උප ගුරුවරයෙකු වශයෙන් 1962දී සේවයට බැදුණු ජයතිලක 1964 දේශපාලන පළිගැනීම්වලට ලක්වීමෙන් පසු කොමියුනිස්ට් පක්‍ෂයේ තරුණ අංශයේ පූර්ණකාලීනයෙකු වශයෙන් 1965දී බැදුණේය. කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ ප්‍රධාන‍ ‍ලේකම් වශයෙන් වසර 10ක්ද සභාපති වශයෙන් වසරක්ද කටයුතු කල ජයතිලක කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකුද විය. වසර තුනකට ආසන්න කාලයක් බන්ධනාගාරගතවී 1988 අප්‍රේල්  නිදහස් වීමෙන් පසු ප්‍රවීණ පරිවර්තකයෙකු සහ ගත්කතුවරයෙකු බවට පත්වූ ඔහු පොදුජන එක්සත් පෙරමුණ රජය 1994 බලයට පත්වීමෙන් පසු ලේක්හවුස් ආයතනයේ ඩේලිනිවුස් සහ සන්ඩේ ඔබ්සවර් පුවත්පත්වල ප්‍රධාන කතුවරයා වශයෙන් කටයුතු කළේය. තිදරු පියෙකුවූ ජයතිලකගේ බිරිඳ සුනිලාද රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ සේවය කල අතර පසුව දේශපාලන පළිගැනීමකට ලක්විය.

dharman12031604Aසමාජවාදී ජනතා ව්‍යාපාරය මගින් ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවීමේදී අනුගමනය කල යුතු විධික්‍රමය පිළිබඳව 1983 මාර්තු මස නිකුත් කරන ලද පිටු 40කට ආසන්න ග්‍රන්ථය.

නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ වූයේ හදිසියේ නොව දිගු කාලයක් කොමියුනිස්ට් පක්ෂ අභ්‍යන්තර අරගලයක් නිෂ්ඵලවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙය 1960 ගණන් අවසානයේ සිට මෝරමින් වැඩුනක් වන අතර 1970දී සමගි පෙරමුණ ආණ්ඩුවට කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධ වීම හේතුවෙන් වඩාත් තීව්‍ර සහ ව්‍යාප්ත වූවකි. සමාජවාදී ජනතා ව්‍යාපාරය ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් 300ක් පමණ ක්‍රියාධරයින් පිරිසක් ඉවත්ව සිටි අතර දේශපාලන මණ්ඩල සහ මධ්‍යම කාරක සභිකයෝ, වෘත්තීය සමිති, තරුණ, ශිෂ්‍ය ව්‍යාපාර නායකයින් රැසක්ම ඒ අතර වූහ. එම පිරිසෙන් බහුතරයක සහාය සහ දිරිගැන්වීම සමාජවාදී ජනතා ව්‍යාපාරයට හිමිවිය.

එජාප ආණ්ඩුව හයෙන් පහක බලයක් 1977 දිනා මර්ධනකාරි පාලනයක් ගෙන යමින් සිටි අතර දෙමළ ජනයාගේ බෙදුම්වාදී අරගලයද 1981වන විට තියුණුව වැඩෙමින් පැවතිනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි භයානක අණ පනත් ජනතාව මර්ධනයට යොදා ගත් අතර 80 ජුලි කම්කරු වර්ජනය බිහිසුනු ලෙස මර්ධනය කරන ලදී. සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් බැහැරව කොමියුනිස්ට් පක්ෂය කටයුතු කරන හෙයින් පක්ෂයෙන් ඉවත්වන බව සාමාජිකයින් වෙන් වෙන්ව දැනුම් දුන්නහ. මාධ්‍ය මගින් ප්‍රචාරයක් ඒ සඳහා නොදීමට ගත් තීරණය අනුව පක්ෂ බෙදෙන විට ඇතිවන සාම්ප්‍රදායික ඝෝෂාවක්ද ඇති නොවීය.

dharman12031605සමාජවාදී ජනතා ව්‍යාපාරය දිරිමත් කල පිරිසෙන් කිහිප දෙනෙක්. වමේ සිට ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ‍ලේකම් එච්.ඒ. ප්‍රනාන්දු සහ දේශ විමුක්ති කණ්ඩායමේ ලේකම් නිහාල් පෙරේරා.

සමාජවාදී ජනතා ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් නොවූවද එය නිර්ධන පන්ති දේශපාලන පක්ෂයක් ගොඩනැගීම සදහා පූර්ණ අවශ්‍යතා සපුරාලීමට බිහිකල සංවිධානයක් බවට ප්‍රකාශ විය. ව්‍යාපාරයේ සිටි පූර්ණකාලීනයින් වූයේ ජයතිලක, ඉන්දික, මොස්කව් සරත් ඇතුළු 5 දෙනෙකි. සාමාජිකයින් සංඛ්‍යාව 325ක් පමණ විය. හිතවතුන් සංඛ්‍යාව 200කට ආසන්නය. එම හිතවතුන් අතර ව්‍යාපාරික විල්ෆඩ් වික්‍රමසිංහ, පසුකාලයේ ලේක්හවුස් තිනකරන් කර්තෘවූ යාපනයේ සිවසුබ්‍රමනියම්, සූරියා වික්‍රමසිංහ, චාල්ස් අබේසේකර, නීතිඥවරුන්වන චරිත නානායක්කාර, විමල් පටබැදිගේ, ඩබ්ලිව් ඒ අබේකෝන්, කුමාර් පොන්නම්බලම්, සුරංජිත් හේවාමාන්න, මනෝරි මුත්තෙට්ටුගම, ඒන්ස්ලි සමරජීව ඇතුළු පිරිසක් විය. දේශපාලන මණ්ඩලය සතිපතා රැස්වූ අතර එම රැස්වීම් පැවැත්වූයේ නාරාහේන්පිට ඉන්දික ගුණවර්ධනගේ නිවස, බාන්ස් පෙදෙසේ ඉන්දිකගේ බිරිඳවූ නැවතී සිටි වෛද්‍ය නිල නිවස, නාවල ජයතිලක ද සිල්වාගේ නිවස, ගුරු මැදුර ඇතුළු ස්ථානයන්ය. ව්‍යාපාරය කම්කරු විමුක්ති නමින් පුවත්පතක්ද කලාප 5ක් ප්‍රකාශයට පත්කල අතර එක් කලාපයකින් පිටපත් 2000ක් මුද්‍රණය කළේය.

dharman12031606සමාජවාදී ජනතා ව්‍යාපාරයේ 44 කණ්ඩායමට අයත්වූ වාස් තිලකරත්න ජවිපෙ මුල්පෙළේ නායකයෙකු වශයෙන් සිටියදී 1981 මැයි දිනයේදී පක්ෂ නායකයින් සමඟ ගමන් ගන්නා අයුරු. වමේ සිට ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් වන උපතිස්ස ගමනායක, බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ විජේවීර, සෝමරත්න කළුආරච්චි, වාස් තිලකරත්න, ලයනල් බෝපගේ සහ දයා වන්නිආරච්චි. මෙහි රවුම් කර ඇත්තේ වාස්ය.

නව දේශපාලන ව්‍යාපාරයේ ක්‍රියාකාරි දේශපාලන මණ්ඩල සභිකයින් කිහිප දෙනෙකු පිළිබඳව සැකවින් මෙසේය. ලංකාවේ මාක්ස්වාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධනගේ ජේෂ්ඨ පුත්‍රයාවූ අමාර් ඉන්දික රූපසිංහ ගුණවර්ධන ඉන්දියාවේදී 1943 පෙබරවාරි 8 උපන් අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට 1976 එක්වූ ඉන්දික ජර්මනියේ ලයිෆ්සිග් සරසවියේ කෘෂි විද්‍යා උපාධිධාරියෙකි. ජවිපෙ අපේක්ෂකයා වෙනුවෙන් 1982 ගාලු අතුරු මැතිවරණයට උදව් කිරීමේ හේතුවෙන් ඔහුගේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වයද කෙටි කලකට තහනම් විය. සමාජවාදී ජනතා ව්‍යාපාරය 1990 වාෂ්පවීමෙන් පසු යළිත් කොමියුනිස්ට් පක්ෂයට එක්වූ ඉන්දික, ‍පොදුජන එක්සත් පෙරමුණ යටතේ 1993දී බස්නාහිර පළාත් සභා අමාත්‍යවරයෙක් වශයෙන් පත්විය. පසුව 1994දී පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ ධීවර හා ජලජ සම්පත්, නිවාස ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා, තැපැල් විදුලි සංදේශ සහ උසස් අධ්‍යාපන යන ඇමතිකම්ද දැරූ ඉන්දික 2005 මහ මැතිවරණයේදී පරාජයට පත්විය. විශේෂඥ වෛද්‍ය පද්මිණී සමඟ විවාහවී සිටි දෙදරු පියෙකුවූ ඉන්දික 2015 සැප්තැම්බර් 14දා මිය ගියේය.

dharman12031607මොරටු සරසවියේ 1979 පැවති ඓතිහාසික මාරාන්තික උපවාසයේ අවස්ථාවක්. මෙය මෙහෙයවන ලද්දේ ජනතා සංගමයට හිතවත් සී.ජේ අමරතුංග සහ ජේ. වී වන්නිආරච්චි ඇතුළු පිරිසකි. පසුව මොරටු සරසවිය 1979 සිට 1983 කාලයේදී ජවිපෙ වෙත මුළුමනින් දිනා දුන්නේ බී. ලක්ෂ්මන් පෙරේරා විසිනි.

අකුරැස්ස තලහගමදී 1945 ජුලි 19වැනිදා උපන් පෝලියර් ගුණවර්ධන දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලක බාලයාය. ඉඩම් හිමි වැවිලිකරුවෙකුවූ ඔහුගේ පියාවන සියදෝරිස් මලආරච්චි 1900 සිට 1940 දක්වා ගම්මුලාදෑනියෙකි. ගොඩපිටිය විද්‍යාලයෙන් සහ කොළඹ ස්ටැෆඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ පෝලියර් සිසු ගුරුවරයෙකු වශයෙන් කළුතර කටුකුරුන්දේ ගුරු අභ්‍යාස ආයතයෙන් සමත්ව 1972දී අම්පාර කාවන්තිස්ස විදුහලේදී උප ගුරුවරයෙකු වශයෙන් සේවයට බැදිණි. වසර 1962 ආරම්භවූ කොමියුනිස්ට් පක්ෂයට හිතවත් ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ලේකම්වරයා වශයෙන් 1979දී පත්වූ පෝලියර් වර්තමානයේද එහි ලේකම්වරයා වේ. අසූවේ ජුලි වැඩවර්ජනය වන විට ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය ශාඛා 91කින් සමන්විතවූ අතර එහි සාමාජිකත්වය 23,214ක් විය. එකල ජවිපෙට හිතවත් එච්.එන්. ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් ලංකා ගරු සංගමයේ සාමාජිකත්වයද 27,208ක් විය. ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගෙන් 80 ජුලි වර්ජනයට 5,000කට ආසන්න පිරිසක් සහභාගිවූ අතර ඉන් 2,120ක්  ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ සාමාජිකයන් විය. ශ්‍රී ලංකාවේ සිටි කීර්තිධර ගුරු සංගම් නායකයින් අතර දේ.පි සිල්වා, එල්. ආරියවංශ, එච්.එන් ප්‍රනාන්දු, ඒ.බී.සී ද සිල්වා, පෝලියර් ගුණවර්ධන වැනි අය මුල්තැනක් ගනී. ජවිපෙ මගින් 1989 නාරහේන්පිට සද්ධර්මෝදය විදුහල අසළදී පෝලියර්ට වෙඩි තැබූවද ජිවිතය බේරාගැනීමට ඔහු සමත් විය.

අම්පාර දෙහිඅත්තකණ්ඩියේදී 1943දී උපන් පුස්සැල්ලාවේ බණ්ඩාර නොහොත් පී. බණ්ඩාර පේරාදෙණිය සරසවියේ උපාධිධාරියෙකි. මහජන බැංකුවේ මැදවච්චිය ශාඛාවේ ලිපිකරුවෙකු වශයෙන් සිය වෘත්තීය ආරම්භ කල බණ්ඩාර මහජන බැංකු‍ ශාඛා සංගමයේ ප්‍රගති පෙරමු‍ණේ නායකයෙකු වශයෙන් මව් සංගමයවු ලංකා බැංකු සේවක සංගමයේ 1981 සිට 2001 කාලය තුළදී වසර 6කට ආසන්න කාලයක් සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය. බැංකු සේවකයින් 21,000ක් නියෝජනය කරන ලංකා බැංකු සේවක සංගමයේ සභාපතිවරයා වශයෙන් ජාතික සම්පත්වූ එප්පාවල පොස්පේට් නිධිය සහ ‍කොළඹ වරාය රැකගැනිමට 1996දී ඔහු නායකත්වය දුන්නේය. මහජන බැංකුවේ පාලකයින්ගේ ජුන්ටා ක්‍රියාදාමයන්, ඇමති සිරිල් මැතිව්ගේ මැර බලය සහ කළමණාකාරිත්වයේ නිවට පක්ෂපාතිත්වයට එරෙහිව අසූව දශකය මුල්භාගයේදී ඔහු නොබියව නායකත්වය දුන්නෙකි. දෙදරු පියෙකුවූ ඔහුගේ බිරිඳ ගම්පොල විද්‍යාලයක හිටපු විදුහල්පතිනියක් සහ ලේඛිකාවකද වූවාය. ‍සිය වෛද්‍ය දියණියගේ දරු පවුල සමඟ වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වේ.

dharman12031608ජවිපෙ විසින් 1988 අගොස්තු 30වැනිදා ඝාතනය කරන ලද මාතර කඹුරුපිටියේ කොමියුනිස්ට් තරුණ නායකයෙකුවූ ගාමිණී රණවීරගේ දේහය අසල හඬා වැලපෙන ඔහුගේ සයමස් ගැබිණි බිරිඳ ශ්‍රියා සහ දරුවන්වූ ගයත්‍රි, අභිමාන් සහ ප්‍රසාදි.

කුරුණෑගලදී 1943 ජුලි 21 උපන් ඩී.එම්. චන්ද්‍රතිලක දේශපාලනය සමසමාජ පක්ෂයෙන් ආරම්භ කල අතර පසුව ජවිපෙටද සම්බන්ධ විය. අනතුරුව කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධවූ චන්ද්‍රතිලක 1966 හමුදා කුමන්ත්‍රණයකින් ආණ්ඩු‍ව පෙරළීමේ සිද්ධිය යටතේ දොඩම්පේ මුදලාලිද ඇතුළුව අත්අඩංගුවට ගත් පිරිසේ 13වැනි සැකකරුවී පසුව නිදොස් විය. කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ උපසභාපති වශයෙන් සිට සමාජවාදී ජනතා ව්‍යාපාරයේ සමාරම්භයෙකුවූ චන්ද්‍රතිලක යළිත් 1986දී කොමියුනිස්ට් පක්ෂයට එක්වී පළාත් සභා ක්‍රමය ආරම්භ කරමින් 1988 පැවති පළාත් සභා මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කටය එක්සත් සමාජවාදී පෙරමුණ යටතේ තරඟකර ජය ලැබ අඛණ්ඩව වසර 15ක් වයඹ පළාත් සභාව නියෝජනය කළේය. රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ තරුණ පාසැලේ එක් වසරක ඩි‍ප්ලෝමාධාරි සිව්දරු පියෙකුවූ ඔහුගේ බිරිඳ කේ. එච්. සීලවතීය. වයඹ පළාත් සභාවේ 1997 සිට 2002 දක්වාද මන්ත්‍රීවරයෙකුවූ ඔහු කෙටි කලක් එජාපයට එක්වී සභාපතිවරයාද විය. ඉකුත් 2014 දෙසැම්බර් 9 චන්ද්‍රතිලක මියගිය අතර ඔහුගේ පුතෙකුවූ තුසිත චන්ද්‍රතිලක පන්නල ප්‍රාදේශීය සභාවේ ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකි. ‍

මාතර තිහගොඩ පදිංචි කොමියුනිස්ට් පක්ෂයේ දිසා ‍සංවිධායකවරයෙකුවූ 1954 නොවැම්බර් 4වැනිදා උපන් රත්නායක පතිරණගේ සරත් නොහොත් මොස්කව් සරත් රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ පක්ෂ තරුණ පාසැලේ එක් වසරක ඩිප්ලෝමාධාරියෙකි. දෙදරු පියෙකුවූ ඔහුගේ පියා ගොවියෙකි. එකල කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණකාලීනයින් 61දෙනා අතර සිටි සරත් සමාජවාදී ජනතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කල අතර එහි මූල කඳවුරක් ලෙස මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක් ක්‍රියාත්මක කිරීමටද ඔහු සමත් විය. වර්තමානයේ ව්‍යාපෘති නිලධාරියෙකු ලෙස කටයුතු කරන සරත් දෙදරු පියෙකි.

dharman12031609Aමාතර තිහගොඩ ප්‍රදේශයේදී ආරක්ෂක අංශ මගින් ඝාතනයට පත්කරන ලද ජවිපෙ කැරළිකරුවන් දෙදෙනෙකුගේ සිරුරු අසළ වැලපෙන මවක් සහ ප්‍රදේශවාසීන් පිරිසක්.

ජනාධිපතිවරණය පැවැත්වූ 1982දී සමාජවාදී ජනතා ව්‍යාපාරය ඉල්ලා සිටියේ පිළිවෙලින් රෝහණ විජේවීර, කොල්වින් ආර් ද සිල්වා සහ වාසුදේව නානායක්කාරට ප්‍රමුඛතා මත ඡන්දය දෙන මෙන්ය. පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කිරීමට 1982දී එජාප ආණ්ඩුව පැවැත්වූ ජනමත විචාරණයට එරෙහිව ඔවුහු කටයුතු කලහ. වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් සමඟද ප්‍රගතිශීලි බහුජන සංවිධාන සමඟද පොදු සතුරාට එරෙහිව දේශපාලන කටයුතු ගෙන යෑම පිළිබඳ සාකච්ඡාවන්ටද ඔවුන් එක්විය. රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක 1980 අගභාගයේදී ජයතිලක ද සිල්වා සහ ඉන්දික හමුවී කියාසිටියේ කොමියුනිස්ට් පක්ෂ‍යෙන් ඉවත්නොවී පක්ෂය තුළ සිටමින් එම අරගලය කරගෙන යන ලෙසය.

මර්ධනකාරී නව යටත්විජිතවාදී පරාධීන ධනපති ක්‍රමය පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පාලනයක් බිහිකිරීම සදහාවූ සටනේදි ජාතික පීඩනයට එරෙහිවූ අරගලය වැදගත් තැනක් ගන්නා බැවින් ජාතීන්ගේ ප්‍රශ්නයට ප්‍රජාතාන්ත්‍රික විසදුමක් සැපයීමෙන් තොරව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් දිනා ගත නොහැකි බව සමාජවාදී ජනතා ව්‍යාපාරය 1983 මාර්තු මස නිකුත් කරන ලද ප්‍රකාශනයකින් අවධාරණය කළේය. ජවිපෙ පක්ෂ තහනම 1983 ජුලි 30 මස ක්‍රියාත්මකවීමත් සමඟම ඇතිවූ රික්තය තුළ නව දේශපාලන ව්‍යාපාරයන්ටද යම් ඉඩකඩක්ද ඇතිවිය.

මේ කාලය වනවිට සමාජවාදී ජනතා ව්‍යාපාරය මොරටුව සහ රුහුණු සරසවිවල යම් බලවේගයක් ගොඩනැගීමට සමත්වු අතර කොළඹ සරසවියේ දයා පතිරණගේ ස්වාධීන ශිෂ්‍ය සංගමය සමඟ මිත්‍රශීලි සබදතාවයකට මුල පිරුවේය. නව දේශපාලන රිද්මයක් යුද්ධය සහ අසූ තුනේ කළු ජූලියෙන් පසු බිහිව ඇති බවත් බාහිර ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක මතුවීමකින් තොරව ශිෂ්‍ය ව්‍යාපාරය පවත්වාගෙන යෑමට නොහැකිබවත් සියළුම ශිෂ්‍ය ප්‍රවණතාවයන් හදුනා ගත්හ. මොරටු සරසවිය මූලික කරගනිමින් මතුවූ ජවිපෙන් වෙන්වූ ස්වයං නිර්ණ අයිතිය සහ සන්නද්ධ අරගලය පිළිගත් කැමිලස් සිල්වාගේ බලවේගය ජවිපෙන් ඉවත්වූ අසේල හරහා දිනාගැනීමට සමාජවාදී ජනතා ව්‍යාපාරය සමත් විය. මොරටු සරසවියේ දේශපාලන බලය 1977 සිට 1980 වකවානුව තුළ 1979 පැවති ඓතිහාසික මාරාන්තික උපවාසය හරහා හිමිකරගනු ලැබුවේ ජනතා සංගමයට හිතවත් සී.ජේ. අමරතුංග සහ ජේ.පී වන්නිආරච්චි වැනි නායකයින් විසිනි. මෙය ජවිපෙ වෙත මුළුමනින්ම 1980 සිට 1983 කාලයේ දිනා දුන්නේ බී. ලක්ෂ්මන් පෙරේරාය. ජවි‍පෙ තහනමත් සමඟම ලක්ෂ්මන් පෙ‍රේරා අත්අඩංගුවට පත්වන විට ජවිපෙ සඳහා අතිශය ශක්තිමත් පදනමක් මොරටු සරසවිය තුළ සැකසී තිබිණි.

dharman12031610හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයක ආරක්ෂක අංශ මගින් ඝාතනය කල කැරළිකරුවන් යැයි සැකකරන තිදෙනෙකුගේ මළසිරුරු මහමග දමා ගොස් තිබූ අන්දම.

තිලකසිරි ගාල්ලගේ, අමරලාල් ඉන්ද්‍රදේව, ප්‍රියන්ත රත්නායක, ජේ. ඩබ්ලිව් ඇඩම්ස් සහ කැමිලස් සිල්වා තීරක බලවේගයන් විය. ඇඩම්ස් හැර සෙසු අය ජවිපෙන් තීරකව වෙන්වූ අතර කැමිලස් සමාජවාදී ජනතා ව්‍යාපාරය සරසවි සිසුන් අතර ප්‍රචලිත කිරීමට නායකත්වය ගත්තේය. කැමිලස් විසින් චිරත්ත වීරවර්ධන දිනාගත් අතර පොදුවේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටු මෙහෙයවන්නට විය. චිරත්ත වීරවර්ධනද නව දේශපාලන ව්‍යාපාරයට ඉන්දික ගුණවර්ධන හරහා කැමිලස් විසින් බඳවාගත් අතර 1984 අවසානයේදී ඇඩම්ස්ද ඒ සඳහා දිනා ගැනීමට සමත් විය. මොරටු සරසවිය සමාජවාදී ජනතා ව්‍යාපාරයේ අදිසි බලකොටුවක්වූ අතර රුහුණු සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක ප්‍රියංකර ගුණවික්‍රම ඇතුළු කණ්ඩායම දිනාගැනීමෙන් එහි බලයද යම් මට්ටමක විය. අනතුරුව පුරෝගාමී ශිෂ්‍යයෝ නමින් සමාජවාදී ජනතා ව්‍යාපාරය සිය ශිෂ්‍ය අංශය බිහිකල අතර එයට කොළඹ සරසවියේ නීති පීඨයේ සෞම්‍යද කොස්තා, උපාලි උපවංශ ඇතුළු පිරිසකගේද නොමසුරු සහාය හිමිවිය. එහි ශිෂ්‍ය අංශයේ දකුණු පළාත් නායකයෙකු වූයේ මාස 5ක් අත්අඩංගුවේ පසුවූ රෝහණ දේශප්‍රිය නොහොත් ගාල්ලේ කල්‍යාණ ප්‍රිය රාමනායකය. ගාල්ලේ ප්‍රියන්ජිත් සහ අනිල් හීනැටිගල, මාතර ලාල් විමලසිංහ සහ වෛද්‍යරත්න ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් රැසක් එයට එක්වී සිටියහ.

මොරටු සරසවියේ ෆ්‍රැන්සිස්කු හෙට්ටිගේ කැමිලස් සිල්වා ජවිපෙ ඝාතන තර්ජන හේතුවෙන් 1986 අවසානයේදී උතුරට ගොස් සැඟවුණු අතර පසුව බෙදුම්වාදී සංවිධාන සමඟ එක්ව කටයුතු කල බව කියති. උතුරු නැගෙනහිර යුද්ධයේ අවසාන කාලය වන 2009දී සරණාගතයින් ලෙස ද්‍රවිඩ ජාතික බිරිඳ සහ දරුවන් සමඟ දකුණට ඔහු පළා ආවේය. මොරටු සරසවියේ උපාධිය නිමකිරීමට නොහැකිවු කැමිලස් වර්තමානයේ මධ්‍යම පළාතේ ජීවත්වන බවට සහ විදේශගතව සිටින බවට මත දෙකකි. රත්ගම උපන් මොරටු සරසවියේ සිසු නායකයෙකුවූ චිරන්ත ඉන්ද්‍රජිත් වීරවර්ධන ත්‍රස්තවාදී මර්ධන පනත යටතේ 1986 අගෝස්තු 18වැනිදා අත්අඩංගුවට ගත් අතර නිදහසින් පසු මොරටු සරසවියෙන් උපාධිය ලබා කහටගහ මිනිරන් පතලේ ඉංජිනේරුවෙකු විය. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දෙදරු පියෙකි. සමාජවාදී ජනතා ව්‍යාපාරයේ 44 දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවේදී කැමිලස් සහ චිරත්නද චූදිතයන් විය. සමාජවාදී ජනතා ව්‍යාපාරය රාජ්‍ය මර්ධනය සමඟ ඇනහිටි අවස්ථාවේදී ඔවුන් සමඟ සිටි සරසවි ශිෂ්‍ය කොටස් අවිශිබම නොහොත් අන්තරේ තුළට යළි අනුගත විය.

සමාජවාදී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකුවූ ඇඩම්ස්ද ජවිපෙ තර්ජන හේතුවෙන් උපාධිය අතහැර 1988 අවසාන භාගයේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අතර ඕස්ට්‍රේලියාවේදී ලියුම්කරුට 2000 අගෝස්තු මසදී හමුවිය. වර්තමානයේදී ඔහු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙස්ට්රයිට්හි ජීවත්වන දෙදරු පියෙකි. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ 1986 දෙසැම්බර් 15වැනිදා ජවිපෙන් ඝාතනය වීමෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් නව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයක්(අන්තරේ) 1987 ජනවාරි 2වැනිදා ප්‍රකාශයට පත්කල අතර එහි කැඳවුම්කරු වූයේ ඇඩම්ස්ය. එම නව අන්තරය දෙසතියක නාමමාත්‍ර සංගමයක් පමණක් බවට පත්විය.

රාජ්‍ය මර්ධනයට සහ ජවිපෙ තර්ජනයට සමාජවාදී ජනතා ව්‍යාපාරය ගොදුරු වූයේ ජවිපෙ නව ප්‍රවණතාවය සමඟ එය අත්වැල් බැදගැනීමත් සමඟය. ජවිපෙ නව ප්‍රවණතා සාමාජිකයින් පැමිණීම සමාජවාදී ජනතා ව්‍යාපාරයට ආකර්ශනයක් සහ උත්තේජනයක් සපයනු ඇතැයි එම ව්‍යාපාරය උපකල්පනය කලද එය නිවැරදි නොවීය. ඔවුන් බොහෝ දෙනෙකු පැමිණියේ එම ආවරණයට මුවාවී සිය පූර්ණකාලීන දිවි පැවැත්ම රැක ගැනීම සඳහාය. ඉන් බොහෝ දෙනෙකු ජවිපෙන් ඉවත්වීමෙන් පසු ප්ලොට් සංවිධානය යටතේ අවි පුහුණුවද ලබා තිබිණි. ජවිපෙ විසින් එම ව්‍යාපාරය තුළට ඔත්තුකරුවන් රඳවා සිටි අතර ඔවුන් මගින් ඇතැම් තොරතුරු ලබාගැනීමට සමත්විය. රෝහණ විජේවීර දෙමළ ඊළාම් අරගලයට විසදුම කුමක්ද යැයි ග්‍රන්ථයේ 241 පිටුවේ සඳහන් කළේද කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩී ගිය ජයතිලක ද සිල්වාගේ කණ්ඩායම සහ ජනතා සංගමයත් එකතුවී ජවිපෙ නැතිකල යුතු බවට විකල්ප කණ්ඩායම ලිපි මගින් ප්‍රකාශ කරන බවය. සමාජවාදී ජනතා ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබාගත් වාස් තිලකරත්න වැනි අය පවා අවසානයේ නඩත්තු කිරීමට සහ රැකවරණය සිදුකිරීමට සිදුවූයේ සමාජවාදී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකුවූ තිහගොඩ සිරිසේනගේ නිවසේදීය.

මාතර තිහගොඩ සිරිසේනගේ නිවසේ 1985 අප්‍රේල් මස පැවති සමාජවාදී ජනතා ව්‍යාපාරයේ සමුළුවේදී ජවිපෙ නව ප්‍රවණතාවයේ සාමාජික කණ්ඩායම ඇතුල් කරගන්නා ලද අතර එහිදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනය යටතේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමට සන්නද්ධ මාවත හැර අන් මගක් නැතැයි ඒකමතිකව තීරණය කළෝහ. එම සන්නද්ධ අරගලය ආරම්භයේදී නාගරික ගරිල්ලා සටනක ස්වරූපය ගනු ඇතැයිද තිහගොඩ සමුළුව තවදුරටත් නිගමනය කළහ. ජනතා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වන විප්ලවීය අරගලය ජාතික අයිතීන් පතා දෙමළ ජනයා ගෙන යන ජාතික අරගලය සමඟ එක් ප්‍රවාහයකට මුසුකළයුතු බවද එහිදී සමාජවාදී ජනතා ව්‍යාපාරය වැඩිදුරටත් තීරණය කළේය. රජය එය ආණ්ඩුවට එරෙහි යුධ ප්‍රකාශ කිරීමක් සේ පිළිගත් අතර ජවිපෙ විසින් එය පක්ෂය පාවාදුන් දෝහීන් සමඟ එක්වී දෙමළ බෙදුම්වාදීන් සමඟ අවි අමෝරාගෙන ජවිපෙ විනාශ කිරීමට කල කුමන්ත්‍රණයක් බවට යුධ ප්‍රකාශ කළේය. සමාජවාදී ජනතා ව්‍යාපාරය ළඳරු අවස්ථාවේ පසුවූ හෙයින් රාජ්‍ය මර්ධනයට සහ ජවිපෙ ප්‍රතිප්‍රහාර වලින් ආරක්ෂාවීම අසීරු විය.

ජවිපෙ නව ප්‍රවණතාවයේ අදිසි නායකයා වූයේ ගීගන‍ගේ චන්ද්‍ර නොහොත් අසේල නොහොත් සමන්ත නොහොත් සමරසිංහය. ගම්පහ පදිංචිකරුවෙකුවූ ඔහු ජවිපෙ හිටපු ‍ලේකම් ලයනල් බෝපගේ දැරූ මතවාදයට පක්ෂව ජවිපෙන් ඉවත්වූ ප්‍රබල ක්‍රියාකාරිකයෙකි. වැලිගම උපන් අසේල කලක් තුල්හිරියේ සේවය කල අතර කෙලී සේනානායකගේද සමීපතමයෙකි.  ජවිපෙන් ඉවත්වූ කණ්ඩායම් සහ පුද්ගලයින් පිළිබඳව හොද අවබෝධයකින් පසුවූ ඔවුන් සම්බන්ධීකරණය කලහැකි සැලසුම්කරුවෙකි. ජවිපෙන් ඉවත්වූ වාස් ඇතුළු 30ක පමණ පිරිසක් වෙන්වෙන්ව ඉන්දිකට සහ ජයතිලකට හදුන්වාදී ව්‍යාපාරයට බඳවා දුන්නේ අසේලය. ඉන් 19 දෙනෙකු රාජ්‍ය විරෝධී නඩුවේ චූදිතයින් 44 දෙනා අතර විය. අසේල සමඟ කිට්ටුවෙන් වැඩකල කැළණියේ 8ක පමණ පිරිසක්ද විය. ජවිපෙ නව ප්‍රවණතාවය සමඟ එක්වූ නුවර නිශ්ශංක හේරත් යළි ජවිපෙට එක්වූ අතර පසුව ආරක්ෂක හමුදා මගින් ඝාතනයට ලක්විය. ජවිපෙ නව ප්‍රවණතාවයේ බොහෝ දෙනා 1983 අගෝස්තු මස සමාජවාදී ජනතා ව්‍යාපාරයට බැදුණු අතර  වාස් බැදුණේ 1983 ඔක්තෝබර් මසදීය. අසේල වර්තමා‍නයේ  වසන්ත දිසානායක ඇතුළු වෙනස කණ්ඩායම සමඟ එක්වී සිටින බව කියති.

සමාජවාදී ජනතා ව්‍යාපාරයට ජවිපෙ නව ප්‍රවණතාවය සාමාජිකයෙකු ලෙසින් අසේල විසින් හඳුන්වාදුන්  අර්ඩ්ලි ප්‍රැන්සිස් ද වාස් තිලකරත්න හැටේ දශකයේ අවසාන භාගයේදී පේරාදෙණිය සරසවියේ උපාධිය හදාරමින් සිටියදී පූර්ණකාලීනව ජවිපෙට එක්වි 71 අප්‍රේල් සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දිගුකාලීනව සිරදඬුවම් විදි අයෙකි. සමාජවාදී තරුණ සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් සහ 1981දී ගම්පහ සංවර්ධන සභාවට තරඟකර ජවිපෙ කණ්ඩායම මෙහෙයවා එහි සභිකයෙකු වශයෙන්ද කටයුතු කරන ලදී. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු ලෙස සිටියදී ජවිපෙන් 1982 ඉවත්කල පසු ජවිපෙට එරෙහිව කටයුතු කල වාස් තිලකරත්න බදුල්ලේ සහ රත්නපුරයේදී  ජවිපෙ ඝාතන වලින් බේරී බරපතල තුවාල ලැබූ අයෙකි. තිහගොඩ සිරිසේනගේ නිවසේ සිටියදී අත්අඩංගුවට පත්විය. ජවිපෙ මුළුනුපුටා දැමීමේ ක්‍රියාමාර්ගයකට 1988 අප්‍රේල් 22වැනිදා නිදහස් වීමෙන් පසු කෑගල්ලේ විල්ෆඩ් රංජිත් පීරිස්ගේද සහාය ඇතිව ආරක්ෂක හමුදා සමඟ පසු කලෙක එක්විය. පසුව වාස් අවසානයේ මියගියේ හෘදයාබාධයකිනි.

ජවිපෙන් ඉවත්කල සහ ඉවත්වූ ජවිපෙ නව ප්‍රවණතාවටය අයත් මෙම කණ්ඩායමේ ඇතැම් සාමාජිකයින් ජවිපෙ තුළ සිටියේ එහි මතුපිටින් පෙනෙන දේශපාලන අංශය නොව මුදල් රැස්කිරීමේ අංශයේය. එබැවින් වැටුප් මංකොල්ලකෑම්, සිගරට් වෑන් රථවලින් මුදල් පැහැරගැනීම්, ඉන්ධන පිරවුම්හල් මුදල් මංකොල්ලකෑම්, වාහන පැහැරගෙන ගොස් කොටස්වලට ගලවා(මස් කිරීම) විකුණන ස්ථානයන්ට භාරදී මුදල් ලබාගැනීම් ඇතුළු මංකොල්ලකෑම් සඳහාද දක්ෂතා ඇති පිරිසක් වූහ. නුවර තැන්නෙකුඹුර, පිලියන්දල ඉන්ධන පිරවුම්හල් වලින් මුදල් කොල්ලකෑම් පිළිබඳව පොලිසිය ඔවුන් පසුපස ලුහුබැන්දේය. එහි ප්‍රතිඵලයක් ලෙස මංකොල්ලකෑම් පිළිබඳව පරික්ෂණ පවත්වද්දී සමාජවාදී ජනතා ව්‍යාපාරයේ සියළු කටයුතු ‍පොලිසියට හෙළිදරව් වූයේ කැළණියේ මහින්ද වික්‍රමසිංහ 1985 අගෝස්තු 11වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසුව නිවසේ තිබී සොයාගත් තිහගොඩ සමුළුවේ ලේඛන ඔස්සේය.

ඉන් පසු තෙමසක් ඇතුළත සමාජවාදී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ 58 දෙනෙකුගේ තොරතුරු නිශ්චිතව තහවුරු කරගත් අතර ඉන් නඩු පැවරීමට සාක්ෂි තිබු‍ණේ 44 දෙනෙකුට පමණි. නඩු පැවරූ 44 දෙනාගෙන් 25 දෙනෙකු අවසානය දක්වාම අත්අඩංගුවට ගැනීමට නොහැකිවූයේ ඔවුන් සැඟව සිටි නිසාය. නඩු පැවරූ 44 දෙනාගෙන් අත්අඩංගුවට ගෙන සිටි 19 දෙනෙකු වසර තුනකට ආසන්න කාලයක් පොලිස් සිර මැදිරි සහ බන්ධනාගාරයේ රඳවා තිබිණි.

සමාජවාදී ජනතා ව්‍යාපාරය තුළ ගොනුවී සිටි 44 දෙනෙකුට රජයට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමක් සේ පිළිගෙන අධිචෝදනා භාරදීම 1987 ජුලි 15වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු විමල් වික්‍රමසූරිය ඉදිරියේදී සිදුවිය. මෙම කණ්ඩායම 44 කණ්ඩායම ලෙසද හැදින්වූ අතර එම 44 දෙනාට කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත්වූ 25ක් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ජවිපෙ නව ප්‍රවණතාවය ලෙස හැදින්වූ කණ්ඩායමේ 19 දෙනෙක්ද ඇතුළත් විය. මෙම 44 කණ්ඩායමෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ 19 පමණක් අතර සෙසු 25දෙනා සැඟවී සිටි නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවූ 19දෙනා ගෙන් 11ක් කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සාමාජිකයින්වූ ජයතිලක ද සිල්වා, ඉන්දික ගුණවර්ධන, තිහගොඩ සිරිසේන, ගුණසේන ඩයස්, පියදාස, හේමසිරි අබේවර්ධන, සෝමරත්න, ඥාණසිරි, නිමල් සමරසිංහ, කරුණාදාස, පියදාස ජයලත්ද ඉතිරි 08දෙනා ජවිපෙ නව ප්‍රවණතාවයේ සාමාජිකයන් වන වාස් තිලකරත්න, කුමාරසිංහ, චිරන්ත, ජයරත්න, වික්‍රමසිංහ, උදයකුමාර, රම්බණ්ඩා, ආනන්ද ජයසිංහද වේ. 

විත්තිකරුවෝ තිදෙනෙක් නඩු විභාගයේදී සියළු චෝදනාවට වරද පිළිගෙන සියලු චෝදනාවලට එකවර ගෙවී යන පරිදිවූ තෙමසක සිරදඬුවමකට ලක්විය. වරද පිළිගත් එම තිදෙනා නම් හේවාමාස්මුල්ලගේ හේමසිරි අබේවර්ධන(මාතර දෙවුන්දර උපන් රාජගිරියේ පදිංචිකරුවෙකි. මහජන බැංකු කළමණාකාරුවෙකුවූ ඔහු කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ක්‍රියාකාරිකයෙකි), දොන් මහින්ද වික්‍රමසිංහ(කිරිබත්ගොඩ පදිංචිකරුවෙකි. ජවිපෙ සිට කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධවී ව්‍යාපාරයට බැදුනේය. ගොඩනැගිලි සංස්ථාවේ හිටපු වෘත්තීය සමිති නායකයෙකි.) අත්තායක මුදියන්සෙලාගේ ජයරත්න බණ්ඩා( කුරුණෑගල පදිංචි ගුරුවරයෙකි.) අත්අඩංගුවට පත් තවත් චූදිතයන් දෙදෙනෙක්වූ හේරත් සහ රුවන් රජයේ සාක්කිකාරයෝ වූහ. පොලිස් අධිකාරිවරුන් 4 දෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 9 දෙනක් ඇතුළු 49 දෙනෙක් පැමිණිලි පාර්ශවයෙන් ඉදිරිපත් කරන ලදී.

ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි 29 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දිය අගමැති රජිව් ගාන්ධි අතර කොළඹදී අත්සන් තැබූ අතර එය ක්‍රියාත්මක වීමත් සමඟම එහි කොන්දේසියක් වශයෙන් මෙම සියළු චූදිතයින් 44 දෙනා 1988 අප්‍රේල් 22වැනිදා නිදොස් කොට නිදහස් කරන ලදී. සැඟවී වරෙන්තු පිට සිටි චූදිතයින් 25දෙනාද පසුව අධිකරණයට ඉදිරිපත් කර නිදහස් කර ගන්නා ලදී. නීතිඥ ජේ.ඒ.කේ. කොතලාවල, ආචාර්ය කුමාරි ජයවර්ධන ඇතුළු කිහිප දෙනෙකු ගෙන්ම මෙහිදී සහාය හිමිවිය. 

කොළඹ මහාධිකරණයේදී 1987 ජුලි 15වැනිදා අධි චෝදනා භාරදී ‍නඩුවාර 5ක් විභාගයට ගැනීමෙන් පසු ඉන්දු ලංකා ගිවිසුමේ කොන්දේසියක් යට‍තේ 1988 අප්‍රේල් 20වැනිදා නිදොස් කොට නිදහස් කරන ලද සමාජවාදී ජනතා ව්‍යාපාරයේ 44 කණ්ඩායමේ චූදිතයන් මෙසේය. කොමියුනිස්ට් පක්ෂයෙන් සමාජවාදී ජනතා ව්‍යාපාරයට එක්වූ ජයතිලක ද සිල්වා, අමාර් ඉන්දික රූපසිංහ ගුණවර්ධන නොහොත් අමාර් ඉන්දික ගුරුසාමි, පෝලියර් ගුණවර්ධන, පී බණ්ඩාර, රත්නායක පතිරණගේ සරත් නොහොත් මොස්කව් සරත්, හත්මුන කට්ටුගේ සිරිසේන(හක්මන තිහගොඩ උපාධිධාරි ගුරුවරයෙකි. ව්‍යාපාරයේ කටයුතු සඳහා ඔහු‍ගේ අනුග්‍රහයන් නොමසුරුව ලැබිණි. වාස් තිලකරත්න ඔහු‍ගේ කුඹුරු වැඩට උදව් වෙමින් සැගවී සිටියදී 1986 අත්අඩංගුවට ගනු ලැබුවේ සිරිසේනගේ නිවසේදීය. සිරිසේන 1986 බන්ධනාගාරගතවු අතර 1988 අප්‍රේල්වලින් නිදහස් වීමෙන් පසුව ජවිපෙ මගින් සිය නිවසේදී ඝාතනය කරන ලදී), ගුණසේන ඩයස් දහනායක(පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු වශයෙන් කැළණිය වරාගොඩ විදුහලේ සේවය කළේය), මිදිපොලවත්ත කංකාණම්ගේ පියදාස(ගාල්ලේ පදිංචි ඔහු පළමු පන්තියේ ලිපිකරුවෙකි), හේවාමාස්මුල්ලගේ හේමසිරි අබේවර්ධන(මාතර දෙවුන්දර පදිංචිකරුවෙකි. මහජන බැංකු කළමණාකාරුවෙකි), විදානපතිරගේ සෝමරත්න පතිරණ(මොරවක පදිංචි තැපැල් සේවකයෙකි), මෙන්මැන්ද ආරච්චිගේ ඥාණසිරි(මාතර සුල්තානාගොඩ පදිංචි ලිපිකරුවෙකි. රුහුණු සරසවියේ අන්‍යධන කාර්ය මණ්ඩලයේ සේවය කළේය) වේ.

එමෙන්ම කොමියුනිස්ට් පක්ෂයෙන් සමාජවාදී ජනතා ව්‍යාපාරයට එක්වූ පහත අයද එම 44 කණ්ඩායමට අයත් විය. දොන් මහින්ද වික්‍රමසිංහ(කිරිබත්ගොඩ පදිංචි ගොඩනැගිලි සංස්ථාවේ හිටපු වෘත්තීය සමිති නායකයෙකි), පියදාස ජයලත්(මාතර සුල්තාන්ගොඩ පදිංචි පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි. කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මධ්‍යම කාරක සභිකයෙකි), නිමල් සමරසිංහ( ගාල්ලේ කනංකේ පදිංචිකරුවෙකි. ව්‍යාපාරයේ ශිෂ්‍ය අංශයවූ පුරෝගාමි ශිෂ්‍යයෝ සංවිධානයේ නායකයෙකි. නිදහසින් පසු ලංකාදිප පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමින් සිටියදි රෝගාතුරව මියගියේය), සිරිපාල(අක්මීමන පදිංචි පළමු ශ්‍රේණියේ උපාධිධාරි ගුරුවරයෙකි), පී. එස් ප්‍රනාන්දු(කිරුළපන පදිංචි පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි),පී රූබසිංහ(ගොතටුව පදිංචි ආර්ථික විද්‍යා උපාධිධාරියෙකි. රූපවාහිනී සංස්ථාවේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස කලක් සේවය කළේය), චානක වෛද්‍යරත්න(මාතර තල්පාවිල පදිංචි සැලසුම් ශිල්පියෙකි. මොරටු සරසවියේ චිරන්තගේ ඥාතියෙකි. ව්‍යාපාරය වාෂ්ප වූ පසු නැවත කොමියුනිස්ට් පක්ෂයට එක්වී පොදු පෙරමුණෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විය. පැලවත්තේ උස් ගොඩනැගිල්ලකින් ඇදවැටී මරමුවට පත්විය), වී.පී කරුණාදාස(මොරවක තැපැල් සේවකයෙකි), සෙදිල්ලගේ දොන් බන්දුල විමලසිංහ(මාතර පඹුරණ පදිංචි රාහුල විදුහලෙන් 1982 උසස් පෙළ සඳහා පෙනී සිටි ශිෂ්‍යයෙකි. දරුවන් 6 දෙනෙකු සිටින ඔහුගේ පියා ප්‍රකට කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරිකයෙකි. මොරටුවේ ජර්මන් ටෙක් ආයතනයේ සිසුවෙකුව සිටියදී කොමියුනිස්ට් ශිෂ්‍ය සංගමයෙන් ඉවත්ව ව්‍යාපාරයට සම්බන්ධ විය. නිදහසින් පසුව ලේක්හවුස් ඉංජි‍නේරු අංශයේ සේවය කල අතර වර්තමානයේ ධීවර අමාත්‍යාංශයේ නිලධාරියෙකි), කල්යානන්ද(කලක් ගොඩනැගිලි සංස්ථාවේ සේවයකල අතර පසු කාලයේදී එක්ස් කණ්ඩායමටද එක්වී සිටියෙකි), කොමියුනිස්ට් පක්ෂයේ යාපනයේ හිටපු ප්‍රාදේශීය නායකයින්වු  රාජරත්නම් ශ්‍රී ස්කන්ධරාජා, සිවඥානම් නොහොත් සිවා, ගවුරි කාන්තන් නොහොත් සුප්පයියා, සෙත්තිල්, රාමයියා යන අයද වේ.

සමාජවාදී ජනතා ව්‍යාපාරයට එක්වූ චූදිතයින් 44දෙනා අතර සිටි ජවිපෙ නව ප්‍රවණතාවයේ නායකයින් සහ ක්‍රියාකාරිකයින් මෙසේය. ගීගන‍ගේ චන්ද්‍ර නොහොත් අසේල නොහොත් සමන්ත නොහොත් සමරසිංහ, ජවිපෙ දේශපාලන මණ්ඩල හිටපු සභික අර්ඩ්ලි ප්‍රැන්සිස් ද වාස් තිලකරත්න, මොරටු සරසවියේ සිසු නායකයින්වූ ෆ්‍රැන්සිස්කු හෙට්ටිගේ කැමිලස් සිල්වා සහ චිරන්ත ඉන්ද්‍රජිත් වීරවර්ධන, චතුදුර යසරත්න ද සිල්වා(අම්බලන්ගොඩ උපන් සිල්වා රත්මලානේ පදිංචිකරුවෙකි. ජවිපෙ සංවර්ධන සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් කලක් කටයුතු කළේය), සුබසිංහ මුදියන්සෙලාගේ කුමාරසිංහ නොහොත් කිරිමහත්තයා(වව්නියාවේ ක්‍රියාකාරිකයෙකුවූ අතර සිංහල තරුණයින් ගණනාවකට අධ්‍යාපන පන්තිද සංවිධානය කළේය), මාලිගරත්නගේ අබේකෝන් හෙවත් රුවන්( රත්මලානේ පදිංචි විශේෂ දක්ෂතාවලින් හෙබි අයෙකි), වඩුමෙස්තිගේ තිස්ස උදයකුමාර නොහොත් තිස්ස(ගම්පහ පදිංචිය. විසිතුරු මල් ‍අපනයනය කල සුළු ව්‍යාපාරිකයෙකි.වර්තමානයේ පොළොන්නරුවේ සමූහ ගොවිපොලක හවුල්කරුවෙකි), අත්තායක මුදියන්සෙලාගේ ජයරත්න බණ්ඩා(කුරුණෑගල පදිංචි ගුරුවරයෙකි), කැළණියේ වල්ගම්පොලගේ යවීන්ද්‍ර පද්මසිරි පෙරේරා, ගම්පහ ප්‍රේමසිංහ ආනන්ද ජයසිංහ නොහෙත් ආනන්ද, කුරුණෑගල ඉනුහාමි මුදියන්සෙලාගේ රම්බණ්ඩා, තන්ත්‍රි අච්චි පින්නවලතේ සුසිල් කරුණාරත්න, ලන්සුවාහැන්දි සැම්සන් ද සිල්වා ගුණසේකර නොහොත් ගුනේ, කොන්ගානිගේ සුසිල් ගාමිණී, හෙන්ද්‍රාදුරගේ චන්ද්‍රසිරි, හීනටිගල පතිරණගේ ගාමිණී නොහොත් කළුමල්ලි, විජේසිංහ ආරච්චිගේ රැල්ෆ් නොහොත් සරත් වේ. ජවිපෙ නව ප්‍රවණතාවයේ සාමාජිකයින් වශයෙන් මෙම 19 දෙනාට අමතරව එහි නිශ්ශංක හේරත්, කැළණියේ නෙවිල් ජයසේකර ඇතුළු 10 දෙනෙකුගෙන් පමණවූ  පිරිසක්ද සමාජවාදී ජනතා ව්‍යාපාරය තුළ ක්‍රියාකාරී වූහ.

ජවිපෙට එරෙහිව බිහිවූ සැම කණ්ඩායමක්ම බහුජන ක්‍රියාකාරිත්වය නොසලකා හැරි අතර දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය කෙරෙහි ඉහළ බලාපොරොත්තු තැබූහ. ජවිපෙ සමඟ එක පෙළට දිවීමට තැත්කිරීම ඔවුන්ට කිසිසේත් පහසු කටයුත්තක් නොවන බව තේරුම් නොගත්හ. අවසාන ප්‍රතිඵලය වූයේ 1981 පෙබරවාරි 8වැනිදා බිහිවූ සමාජවාදී ජනතා ව්‍යාපාරය වසර 4කට පසු මුළුමනින් බිඳ වැටී 1988 අප්‍රේල් වනවිට වාෂ්පවීමය. වමේ ව්‍යාපාරයෙහි කිසියම් ක්‍රියාශීලිත්වයක් විදහාපාමින් එහි සටන්කාමි සම්ප්‍රදායන්ට අනාගතයේදී පණපෙවීමට ප්‍රයත්න දරන පක්ෂ, කණ්ඩායම් සහ ‍පුද්ගලයින්ට ඉතිහාසයෙන් ගතහැකි පාඩම් බොහෝය.(සමාජවාදී ජනතා ව්‍යාපාරය, එහි සාමාජිකයින් සහ 1981 සිට 1990 දක්වා ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔබ දන්නා ඡායාරූප සහ තොරතුරු පහත ආකාරයට යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්නතැපෙ 26ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල[email protected]The writer is a senior journalist who could be reached at [email protected] OR 011-5234384. 

4 Responses to “සමාජවාදී ජනතා ව්‍යාපාරයේ කිසිදා නොඇසූ කතාව මෙන්න!”

  1. Christie Says:

    JVP the Indian terrorist arm of Sinhala terrorists funded by Indian colonial parasites and India.

  2. Christie Says:

    ජා වි පෙ යනු අනිත් සින්හලයේ සමාජවාදීන් (සමජවඩයන්) මෙන් ඉන්දියානු පරපෝසිතයන් හා ඉන්දියානු අදිරදයන්ගේ මොල කෑමෙන් හා මුදලින් පෝසිතවූවන්ය.

    වෙනස වූයේ මුන් සින්හලයින් මරාදැමීමත් සින්හල මුන් මරනයට පත්වීමත්ය.

    අදත් උන් කරන්නේ එයමය.

    හෙටත් එසේමද?

  3. Ancient Sinhalaya Says:

    Catholic-run UNPatrioic party call MR white van man. Can you belive? He is a saint compared to this
    UNPatriotic party YAMA PALLAN!

    Sinhalese youth were massacred by alugosu thambi mudiyanse, alugosu lk porisada,
    alugosu pol pot ponil. Gruesome evidence everywhere to see. But still some traitor Sinhalese vote for
    this Buddhist killing party. Traitor Sinhalese who vote for this traitor deshapaluwo, thope as potta welada,
    kan beeri welada? Are you totally deaf and blind you traitor Sinhalese who vote for this YAMA PALLAN?
    SHAME ON YOU TRAITORS!

  4. Senevirath Says:

    AS——– UNPකාරයෝ තවම කියන්නේ මහින්දගේ හොරකම් ලබන වසරේ හරි එළිවෙය් කියලය් උන් ස්වාමින්ට හරි කීකරුය් ලොක්කෝ කියන ඕනෑම දෙයක් විශ්වාස කරනවා . වල්බල්ලෝ පැදුරු උඩ තියන්න බහ . යන්නෙම අලුගොඩේ බුදී යන් න . උන් නිසා රටම පරදෙශීන්ට ගොදුරුවෙන දිනය ලං ලං වෙනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress