‘77 තරුණයින්ට‘ පෙළපාලි යන්නට ආරක්ෂාව සලසන පොලීසිය අද සැබෑ තරුණයින් උද්ඝෝෂණය කරන කොට ඔළු පළනවා
Posted on March 16th, 2016

– ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්

එජාපයේ ‘77 තරුණයින්ට‘ පෙළපාලි යන්නට ආරක්ෂාව සලසන පොලීසිය අද සැබෑ තරුණයින් උද්ඝෝෂණය කරන කොට ඔළු පළමින් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ සරසවි සිසු උද්ඝෝෂණයට එල්ලවු පොලිස් ප්‍රහාරයට විරෝධය පළකරමින් සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් අද කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය. අද (16) මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.

එහිදී අදහස් දැක්වු  කීර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන කේෂ්ත්‍රයේ බලාපෙරොත්තුවුණු කිසිම ප්‍ර‍තිසංස්කරණයක් සිදු කරන්නට අසමත් වූණු රජය දැන් ශිෂ්‍ය පෙළපාලිවලට පහරදෙමින් කඩාකප්පල් කරනවා. සැබෑ තරුණයින්ට පහර දෙන ගමන් ‘77 තරුණයින් වෙළා හිටපු ආචිචිලා – සීයලා‘ පාරවල් වහලා ටවුල් හෝල් එකේ පෙළපාලි ගෙනියනවා යැයි ද පැවසීය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වු කීර්ති තෙන්නකෝන් මහතා

මේ වන විට විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල අර්බුද ගණනාවක් මතුවෙලා තියෙනවා. මේ අර්බුධ  යට ගහන්න හංගන්න විවිධ උපක්‍රම රජය විසින්  භාවිත කරමින් තිබෙනවා. රටේ ජනතාවට ඡන්දයට කලින් දුන්න පොරොන්දු ඉෂ්ට නොකිරීම තුළ  ඊට විරුද්ධව තරුණයෝ ශිෂ්‍යයෝ අරගල කිරීමේ ස්වභාවයක් මතුවෙලා තියෙනවා. මේ අරගල කිරීමේ ස්වභාවය වර්ධනය වුණාම රජය ඊට පිලිතුරු දෙන්නේ මර්ධනයෙන්.

අපි ඊයේ දැක්කා කොළඹ කණ්ඩායම් දෙකක් එකම වෙලාවේ පෙළපාලි ගියා.ඒ පෙළපාලිවලට පොලිස් ආරක්ෂාව, රාජ්‍ය අනුග්‍රහය සැපයීම සහ විවිධ සම්පත් සැපයීම සිදුවුණා. ලංකාවේ ඉතිහාසයේ  පළමු වතාවට  අපිට ආණ්ඩුකරන්න දෙන්න කියලා, අපිට රැකියා දෙන්න ඉඩදෙන්න කියලා පිරිසක් පෙළපාලියේ ගියා.මේ සඳහා ආවරණය විදිහට යොදාගත්තේ මේක ශිෂ්‍යයින්ගේ ඉල්ලීමක් , තරුණයින්ගේ ඉල්ලීමක්, කාන්තාවන්ගේ ඉල්ලීමක් කියන සටන් පාඨය.හැබැයි එක්සත් ජාතික පක්ෂේ මේ පෙළපාලියේ ගිය බොහෝ දෙනා තරුණයෝ වෙලා හිටියේ 1977 හෝ ඊට එහා කාලේ මිසක් අද ඉන්න නියම තරුණයෝ නෙවෙයි. අද ඉන්න තරුණයින්ට ඉතාම පැහැදිලිව පේනවා අර කිව්ව ප්‍රතිපත්ති වෙනස සිද්දවෙන්නේ නෑ කියන කාරණාව ඒ වගේම රැකියා උත්පාදනය සිදුවෙන්නේ නෑ කියන කාරණාව. මෙහෙම පීඩාවට පත්වෙලා ඉන්න ශිෂ්‍ය උද්ඝෝෂන වලට කඳුළු ගෑස් ගහලා බැටන් ප්‍රහාර දීලා විසිරුවා හැරියා මිසක් සැබෑ ප්‍රශ්නය සොයා බලා විසඳුම් දීමක් සිදුවෙලා නෑ. අනික් සෑම ක්ෂේත්‍රයකම ප්‍රශ්න වලට සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා හැබැයි මේ උසස් අධ්‍යාපනයේ ප්‍රශ්නය විසඳන්න  සාකච්ඡා කරන්න කවුරුතු ඉදිරිපත් වෙන්නේ නෑ.  මේකට විරෝධය දැක්වීම පුරවැසි අයිතිවාසිකමක්. මේකට විරෝධය දැක්වුයේ නැතිනම් මේ විදිහට කොරගගහා මේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙනියන්න බෑ.

අනිත් අතට මේ ප්‍රශ්ණය මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය නැත්තං ඒකාබද්ධ විපක්ෂය බවට පත්වෙලා ඉන්න කණ්ඩායම් සාකච්ඡා කරන්නේ නෑ. ඔවුන්  මාද්‍ය සාකච්ඡා තියලා, විරෝධතා කරලා උත්සහ දරමින් ඉන්නේ  ඔවුන්ගේ හොර නඩය ආරක්ෂා කර ගැනීමේ දේශපාලන උත්සාහයක නිරත වෙමින් ඉන්නවා.

ඔවුන් නිකම්ම නිකං මාධ්‍ය සංදර්ශන තබමින් ඉන්නවා මිසක් සැබෑ ප්‍රශ්ණවලට මැදිහත් වීමක් සිදුකරලා නෑ.

මේච්චර කල් පෙළපාලියනකොට පාදක කරගත්ත කාරණාව වුනේ පාරේ මිනිස්සුන්ට යන්න ඉඩ නෑ. බාධා වෙනවා මාර්ග අවහිර වෙනවා කියන කාරණාව.නමුත් ඊයේ එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම සඳහා හයිඩ් පිටිය වෙන් කරගෙන තිබුණට ඔවුන්ගේ රැළිය ඔවුන් තියන්නේ මහපාරේ. මේ කණ්ඩායම් වලට සැබෑ තරුණ සහභාගිත්වයක් නැති නිසා ඔවුන් පාරවල් වහගෙන රාජ්‍ය අනුග්‍රහය යටතේ පෙළපාලි ගියා. හැබැයි අර දැවෙන ප්‍රශ්ණවලට පිළිතුරු ඉල්ලලා පාරට බහින ශිෂ්‍යයින්ට පහර දෙනවා.  රජය තමන්ගේ නොහැකියාව වහගන්න අවුරුදු 75 තරුණයෝ පෙළපාලි යවලා තේරුමක් නෑ. මේ රජය ඉතා ඉක්මනින් මහින්ද රාජපක්ෂ පාලනයේ තිබු මර්ධනකාරී ස්වරූපයට ගමන්කරමින් ඉන්නවා.

මේ විදිහට මේ අධ්‍යාපන ප්‍රශ්න විසඳන්න නිසි පියවරගන්නේ නැති වුනොත් මේ තරුණයෝ මේ විදිහට පෙළපාලි යන එක නවත්තන්න කිසිවෙකුටත් බැරි වෙනවා. ඒ නිසා මේ රජයට කියන්න තියෙන්නේ හැකි ඉක්මනින් මේ  ප්‍රශ්ණවලට ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් කරලා මේ තත්වයට විසඳුමක් ලබාදෙන්න කියලයි.

මෙම මාධ්‍ය හමුව සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් වන අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, කෞෂල්‍ය කුමාරසිංහ සහ දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

2016 මාර්තු මස 16 වැනිදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress