ලෙයින්, යකඩින් සහ ගිරින්දන් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 90 කොටස -නාගරික ගරිල්ලා සිහින මැවූ විකල්ප කණ්ඩා‍යමේ ඉරණම
Posted on March 19th, 2016

ධර්මන් වික්‍රමරත්න

මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 වේ. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන ධර්මන් වික්‍රමරත්න එම බොහෝ සිද්ධීන් සියසින් දුටු  අදාළ කථා නායකයින් සමීපව ඇසුරුකල සහ වාර්තාකල කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. මෙම ලිපි මාලාව ඉදිරිපත් කරනුයේ ඉතිහාසය කිසිවෙකුට වැලලිය නොහැකි බවට පසක් කරමින් පමණක් නොව දත්ත සහ  ඓතිහාසික කරුණු රැසකින්ද එය පොහොසත් බැවිනි. එමෙන්ම වර්තමානයේ වයස 40 අඩු සියළු පුරවැසියන්ට කිසිදා නොදුටු එහෙත් අසන්නට ලැබුණු අසම්පුර්ණ ඒ අතීත සිදුවීම් මාලාව පිළිබදව පැහැදිලි චිත්‍රයක් මවාගැනීම සඳහාය.

නාගරික ගරිල්ලා සිහින මැවූ විකල්ප කණ්ඩා‍යමේ ඉරණම

හැත්තෑව දශකයේ අගභාගය වනවිට උතුරේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් වර්ධනය වෙමින් පැවැතිණි. තංගදුරෙයි, කුට්ටමනී සහ ශ්‍රී සබාරත්නම්ගේ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ), පද්මනාභගේ ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්), ප්‍රභාකරන්ගේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ), බාලකුමාර්ගේ ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංවිධානය(ඊරෝස්) මේ කණ්ඩායම් විය. අසූව දශකය මුල් භාගයේදී එයට උමා මහේෂ්වරන්ගේ දෙමළ ඊළාම් ජනතා විමුක්‌ති සංවිධානය(ප්ලොට්)ඇතුළු මුල් සංවිධාන වලින් කැඩී වෙන්වී ගොඩනැගුණු සංවිධාන කිහිපයක්ද එක්විය. ප්‍රථමයෙන්ම ඉන්දීය ආණ්ඩුවේ වැඩි සහයෝගයක් ප්‍රථමයෙන් ටෙලෝ සංවිධානයටද, දෙවනුව ‍ප්ලොට් සංවිධානයටද, තෙවනුව 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු පළාත් සභා පිහිටුවීමේදී ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයටද හිමිවය.

එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් 1986 අප්‍රේල් 29 ටෙලෝ කඳවුරු 24කට පහරදුන් අතර ඔවුන් ඝාතනයකර නායක සබාරත්නම් 1986 මැයි 7වැනිදා මරා දැමීය. ප්ලොට් සහ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානද 1986 දෙසැම්බර් 14වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් තහනම් කරන ලදී. ඊරෝස් කණ්ඩායම එල්.ටී.ටී.ඊය සමඟ එක්විය. කාලයාගේ ඇවෑමෙන් අවි ගත්තවුන් අතර ප්‍රබලයා බවට එල්.ටී.ටී.ඊ සංවිධානය පත්වූයේ සෙසු කණ්ඩායම් මර්ධනයෙන් සහ ජනතා සහයෝගය දිනාගැනිම තුළිනි. ගරිල්ලා සටන්වල පමණක් නොව සාම්ප්‍රදායික සාංග්‍රාමවේදයේද එය නිපුණත්වයක් ලබා ගත්තේය. ඊ.පී.ආර්.එල්.එෆ් නායක පද්මනාභ 1990 ජුනි 19 මදුරාසියේදී මරා දැමූ එල්.ටී.ටී.ඊ සංවිධානය ප්ලොට් නායක උමා මහේෂ්වරන්ද 1989 ජුලි 16 නාරහේන්පිට පොල්හේන්ගොඩදී ඝාතනය කරන ලදී.

Dharman19031602විකල්ප කණ්ඩායමේ නායකයින් සහ ක්‍රියාකාරින් අතරින් කිහිපදෙනෙක්. ඉහළ වමේ සිට ආචාර්ය දයාන් ජයතිලක, උතුරු නැගෙනහිර පළාත් සභාවේ ඇමතිවරයෙකු බවට පත්වූ මර්ජ් ආයතනයේ ජෝ සෙනෙවිරත්න, යුක්තිය පුවත්පතේ අවසාන කර්තෘ සහ වරලත් ඉංජිනේරු සී.ජේ. අමරතුංග, ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ මහලේකම් කන්දසාමි පද්මනාභ, දයාපාල තිරාණගම, කැළණි සරසවියේ ආචාර්ය පුල්සරා නයනි ලියන‍ගේ, ආචාර්ය මනුජාම් මානික්‍යලිංගම්, සහාය මහාචාර්ය කොඩ්රි ස්මයිල් සහ 1988 අප්‍රේල් 20වැනිදා නිදහස් වීමෙන් පසු විකල්ප කණ්ඩායමෙන් ඉවත්ව ප්‍රා සංවිධානය 1988 මැයි 18 වැනිදා පිහිටුවා ගත් සරත් ද සිල්වා නොහොත් පොඩි සිල්වා.

විකල්ප කණ්ඩායම යනු විශාල කණ්ඩායමක් නොව සමාජයේ විවිධ ස්ථරවල පුළුල් බලපෑමක් කලහැකි පුද්ගලයින් ගණනාවක් සහ ඔවුන්ගේ අනුගාමිකයින් සමග එක්ව ගොඩනගන ලද කණ්ඩායමකි.ජවිපෙ ඇතුළු වමේ සංවිධානවලට විකල්පයක් ලෙස උපත ලැබූ විකල්ප කණ්ඩායම උතුරේ ඊ.පී.ආර්.එල්.එෆ් සහ ප්ලොට් යන බෙදුම්වාදී සංවිධාන සමග ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වන ලදී. විකල්ප කණ්ඩායමට පැහැදිලි නායකත්වයක්, මඟ පෙන්වීමක්, සංවිධාන සහ මූල්‍ය ශක්තියක්, සන්නද්ධ බලයක් හෝ ආරක්ෂාවක් නොතිබිණි. නමුත් උතුරේ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් සතුව මේ සියල්ල තිබිණි. ජවිපෙ පක්ෂ තහනමින් පසු 1983 අවසානයේදී බිහිවූ ජවිපෙ නව ප්‍රවණතාවය ප්ලොට් සංවිධානය සමඟ ප්‍රථමයෙන්ම සාකච්ඡා කල අතර මූල්‍ය සහ සන්නද්ධ ශක්තිය ලබාදීමට ප්ලොට් සංවිධානය තීරණය කලද ඒ වෙනුවෙන් දකුණේ කඩාකප්පල් ක්‍රියා සහ බෝම්බ පිපිරවීමේ ක්‍රියාදාමයන් ඉටුකල යුතුබව දැනුම් දුන්හ. ජවිපෙ නව ප්‍රවණතාවයේ නායකයෙකුවූ ගීගන‍ගේ චන්ද්‍ර නොහොත් අසේල නොහොත් සමන්ත නොහොත් සමරසිංහ ඇතුළු පිරිස එයට එකඟ නොවීය.

Dharman19031603

විකල්ප කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකුට ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේ නැගෙනහිරදී අවි පුහුණුව ලබාදුන් ප්ලොට් නායක උමා මහේෂ්වරන්, ප්ලොට් සන්නද්ධ අංශයේ නායකයෙකු වන එන්. මානික්‍යතාසන්, ප්ලොට් ශිෂ්‍ය අංශයේ සම්බන්ධීකාරකව සිටිමින් විකල්ප කණ්ඩායමේ කටයුතුවලට දායකවූ ධර්මරත්නම් සිවරාම්, උතුරු නැගෙනහිර ප්‍රථම මහ ඇමතිවූ වර්තරාජා පෙරුමාල්, විකල්ප කණ්ඩායමේ සාමාජිකයින්ට පොලිස් අත්අඩංගුවෙන් බේරී රහසිගතව සැඟවීම සඳහා උදව්කල විජය කුමාරතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ, මතවාදය පෝෂණය කල ආචාර්ය නිව්ටන් ගුණසිංහ, මතවාදය ප්‍රකාශයට පත්කල ලංකා ගාඩියන් සඟරාවේ කර්තෘ මර්වින්ද ද සිල්වා, අනුග්‍රහය ලබාදෙමින් දිරිමත්කල මර්ජ් ආයතනයේ සභාපති චාල්ස් අබේසේකර(ඉහළ වමේ සිට).

එයට පෙර ප්ලොට් සංවිධානය මගින් රාජගිරියේ උඩුවගේ හෙන්රි පෙරේරාගේ රතු භටයෝ කණ්ඩායම සහ වත්තේගම අබ්දුල් කාදර් නායකත්වය දරණ කඳුරට විමුක්ති පෙරමුණ සමඟද දකුණේ සහ කඳුකරයේ ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට අනුග්‍රහය සහ දිරිගැන්වීම් ලබාදුන්නද එය අසාර්ථක විය. හෙන්රි සහ කාදර් දෙදෙනාම ප්ලොට් සාමාජිකයන් වූහ. ඔවුන් වරෙක ද්‍රවිඩ ඊළාම් මිත්‍රත්ව කොංග්‍රසයේ මහජන විමුක්ති ව්‍යාපාරය නමින් කණ්ඩායමක්ද පිහිටුවා ගැනීමට මුල් විය. උඩුවගේ හෙන්රි සහ අබ්දුල් කාදර් ඇතුළු එම පිරිසේ කිහිපදෙනෙකුට උතුරේ ප්ලොට් කඳවුරු කිහිපයක අවි පුහුණුවද ලබාදී තිබිණි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ප්‍රථම සිංහල ජාතිකයාවූ උඩුවගේ හෙන්රි පෙරේරා, ආණ්ඩුව නීති විරෝධීව පෙරළීම සඳහා දෙමළ බෙදුම්වාදී සංවිධාන සමඟ එක්ව කටයුතු කල බවට චෝදනා කරමින් 1984 අප්‍රේල් 1වැනිදා සිට සැප්තැම්බර් 3දා අතර කාලය තුළ වත්තේගමදී බෝම්බ සහිතව සිටියේයැයි නඩුද පවරා තිබිණි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ නිහාල් කිත්සිරි ත්‍රස්තවාදී මර්ධන පනත යටතේ මාස 11ක් රඳවා තිබිණි. මහර බන්ධනාගාරයේදී හෙන්රි පෙරේරා 1988 මුල් භාගයේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වීය. එමෙන්ම කඳුරට විමුක්ති පෙරමුණේ බාවා අබ්දුල් කාදර් අත්අඩංගුවට ගෙන රජ‍ය පෙරළීමට තැත්කිරීමේ චෝදන තුනක් යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු එච්. ඩබ්ලිව් සේනානායක ඉදිරියේ නඩු පවරා 1986 නොවැම්බර් 14දා බරපතල වැඩ සහිතව වසර 20ක සිර දඬුවමක්ද පනවන ලදී. ඉන්දු ලංකා ගිවිසුම යටතේ 1988 අප්‍රේල් මස ඔහුද නිදහස් කරන ලදී.

Dharman19031604

විකල්ප කණ්ඩායමේ මතවාදය සරසවි තුළ අසූව දශකය මුල් භාගයේ පරාජය කල කැලණි සරසවි‍ ශිෂ්‍ය සභාවේ සභාපති උපාලි ජයවීර, ජයවර්ධනපුර සරසවි ශිෂ්‍ය සභාවේ සභාපති මහින්ද පුෂ්පකුමාර, කොළඹ සරසවියේ ශිෂ්‍ය සභාවේ සභාපති මහින්ද ආරියතිලක රත්නායක, කිත්සිරි ධර්මප්‍රියද, අසූව දශකය මැද භාගයේදී විකල්ප කණ්ඩායමේ මතවාදය සරසවි තුළ පරාජයකල මොරටුවේ ඉංජිනේරු පීඨයේ චම්පික රණවක, පේරාදෙණි ඉංජිනේරු පීඨයේ ගුණපාල ගජනායක, රුහුණේ ශ්‍රාස්ත්‍ර පීඨයේ ඩී. ආර්. නිශ්ශංක, කැලණිය ශ්‍රාස්ත්‍ර පීඨයේ බලහරුවේ සෝම හිමිද, විකල්ප කණ්ඩායම ආරම්භයේදී එහි අනුගාමිකයින්ව සිට පසුව ඉවත්වූ කොළඹ සරසවි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපති දයා පතිරණ, ලේකම් කේ.එල් ධර්මසිරි, කලක් එහි සාමාජිකයන්ව සිටි ඉස්ක්‍රා පුවත්පතේ සංස්කාරක නිර්මාල් රංජිත් සහ සී. ඒ චන්ද්‍රප්‍රේම(ඉහළ වමේ සිට).

විකල්ප කණ්ඩායමේ උපත සිදුවූයේ නාගරික ගරිල්ලා අරගලය පිළිබඳව අදහස අසූව දශකයේ මුල්භාගයේදී මතුවීමත් සමඟය. හැත්තෑව දශකය අගභාගයේදී සමාජ අධ්‍යයන කවය ලෙසින් වැඩකල එහි අභ්‍යන්තර අර්බුද හේතුවෙන් විසුරුවා හරිනු ලැබූ කණ්ඩායමට අයත්වූ කිහිපදෙනෙක් මෙහි නායකත්වය ගත්හ. පසුව ඔවුහු 1983ට ආසන්න කාල වකවානුවේ ස්ටැලින්වාදී අධ්‍යයන කවය ලෙස සංවිධානයක් පිහිටුවා ගත්තේය. වාමාංශික දෘෂ්ඨිවාදයන් සිය පදනම් වශයෙන් යොදා ගනිමින් දෙමළ බෙදුම්වාදී සංවිධාන සමඟ ඒකාබද්ධවූ ස්ටැලින්වාදී අධ්‍යයන කවය කොළඹ සහ නුවරදී වැඩ කළහ. ලංකා ගාඩියන් ඉංග්‍රීසි සඟරාවෙන් සහ එමගින් සිංහලයෙන් පලකල විකල්ප සඟරාව මගින් මෙම මතවාදය ඉදිරියට ගෙනයන ලදී. නිකරුගුවානු අරගලය, ඉරාන විප්ලවය සම්බන්ධයෙන් ඉතා ආකර්ෂණීය ලෙස කථාකල අතර නාගරික ගරිල්ලා ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු බවට විකල්ප කණ්ඩායම අවධාරණය කළහ. එහි සමස්ථ සරල අදහස වූයේ කුඩා නාගරික ගරිල්ලා කණ්ඩායමක් මගින් රාජ්‍ය බලයේ සංකේත වැනි දූෂිත පුද්ගලයින් කිහිප දෙනෙකු ‘ඉවත් කිරීම’, බස් ඇතුළු රාජ්‍ය දේපල ගිනි තැබීම වැනි ගින්දර මැදින් පෙරට යන නාගරික ගරිල්ලා යුද්ධයකි. ලාංකීය විප්ලවයේ ප්‍රධාන බලවේගය තරුණයින් ලෙස විග්‍රහ කිරීමට න්‍යායික පදනමක්ද තම මතවාදයට ගැලපෙන සේ විකල්ප කණ්ඩායම සකසා ගත්හ.

කිර්තිධර මාධ්‍යවේදියෙකුවූ මර්වින් ද සිල්වා විසින් 1978 මැයි මස ආරම්භ කරන ලද ලංකා ගාඩියන් සඟරාව දෙසතියකට වරක් සෑම මසකම 1වැනිදා සහ 15වැනිදා ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත්වූ සඟරාවකි. කලක් ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා වශයෙන්ද කටයුතු කල මර්වින්ගේ ලංකා ගාඩියන් සඟරාව ඉහළ සහ මධ්‍යම ඉංග්‍රීසි උගත් පන්තිය සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර ජනප්‍රිය විය. ලංකා ගාඩියන් සඳහා කලක් අනුග්‍රහය දක්වන ලද්දේ බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් ඩබ්ලිව්.ඒ.සී.සී ‍නොහොත් ලෝක ක්‍රිස්තියානි සන්නිවේදන ආයතනයයි.

Dharman19031605

කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල් ධර්මසිරි ඇතුළු විකල්ප කණ්ඩායමේ පිරිසක් ඊ.පී.එල්.එෆ් නායක පද්මනාභ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

විකල්ප කණ්ඩායමේ නායකයින් සහ ක්‍රියාකාරින් අතර කොළඹ සරසවියේ බාහිර කථිකාචාර්ය සහ විකල්ප සඟරාවේ කර්තෘ දයාන් ජයතිලක, රාජ්‍ය නොවන සංවිධානයක්වූ ජාතින් අතර යුක්තිය සහ සමානාත්මතාව ඇතිකිරීමේ ව්‍යාපාරයේ(මර්ජ්) නිලධාරින්වූ ජෝ සෙනෙවිරත්න සහ මොරටු සරසවියේ හිටපු සිසු නායක වරලත් ඉංජිනේරු සී.ජේ. අමරතුංග, ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ මහලේකම් කන්දසාමි පද්මනාභ, කැලණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් දයාපාල තිරාණගම,  කැළණි සරසවියේ සහාය කථිකාචාර්ය පුල්සරා නයනි ලියන‍ගේ, මනුජාම් මානික්‍යලිංගම්, පොඩි සිල්වා, පුවත්පත් කලාවේදී කොඩ්රි ස්මයිල්, ලොකු සිල්වා ඇතුළු පිරිසක් විය. විකල්ප කණ්ඩායමේ කිහිප දෙනෙකු පිළිබඳව සැකවින් මෙසේය.

Dharman19031606A

කොළඹ සරසවි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකත්වයෙන් සිසුන් පිරිසක් 1984 ජුනි 22 සිසු උද්ඝෝෂණයේදී විකල්ප කණ්ඩායමේ නාගරික ගරිල්ලාවාදය හැව්ලොක් පාරේ බස් ගිනි තබමින් අත්හදා බැලූ මුල්ම අවස්ථාව.

විකල්ප කණ්ඩායමට එරෙහි නඩුවේ 1වැනි විත්තිකරුවූ දයාන් ජයතිලක කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ඇක්වයිනාස් විදුහලෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය සරසවියෙන් ප්‍රථමපෙළ පන්ති සාමාර්ථයක් සහිතව 1981දී උපාධිය ලබා ගත්තේය. පේරාදෙණිය  සරසවියෙන් පිරිනැමෙන සී.එල් වික්‍රමසිංහ සම්මානය වසර 40කට පසු හිමිකර ගැනීමට සමත්වූ දයාන් එක්සත් ජනපදයේ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වධාරියෙකි. දයාන්ගේ පියා ජගත් කීර්තිධර පුවත්පත් කලාවේදී මර්වින් ද සිල්වාය. බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් 1983දී කොළඹ සරසවියේ ඉතිහාස පීඨයට ඇතුළත්වූ දයාන් 1984 සිදුවූ රෝහණ රත්නායක ඝාතනය වීමෙන් පසු එයට ‍එරෙහිව ශිෂ්‍යයින් උසිගන්වන ලදැයි චෝදනාව මත සේවයෙන් නෙරපන ලදී.

පොලිස් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ විකල්ප කණ්ඩායමේ චූදිතයන් අතර සිටි දයාන්ට කලක් යටිබිම්ගත ආරක්ෂාව ලබාදෙන ලද්දේ විජය කුමාරතුංග විසිනි. මතවාදීමය අතින් කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමය සමඟ 1986දී විරසකවු දයාන් ප්‍රා සංවිධානයේ ඝාතන වැඩවලට සහයෝගය නොදුන් අයෙකි. උතුරු නැගෙනහිර පළාත් සභාවේ තීන්දු වලට එකඟ නොවූ දයාන් පසුව සිය ක්‍රමසම්පාදන සහ තරුණ කටයුතු පළාත් ඇමති ධූරයෙන්ද ඉල්ලා අස්විය. විජය චින්තනය ස්ථාපිත කරමින් මහජන පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකුවූ ඔහු පසුව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුවේ උපදේශකයෙකු වශයෙන්ද කටයුතු කළේය. පසු කාලයේ ශ්‍රී ලංකා රජයේ විදේශ දූත සේවයේ සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිලතල කිහිපයක්ම දැරීය. වර්තමානයේ ප්‍රකට මාක්වාදී පසුබිමක් සහිත දේශපාලන විචාරකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක දාර්ශනික මතවාදයන් ගොඩනැගීමට උපන් හපනෙකි.

Dharman19031607A

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නායකයෙකු වන සිසිර සරත්චන්ද්‍ර ආරක්ෂක හමුදා මගින් ඝාතනයට ලක්වීමෙන් පසු ඔහුගේ අවමඟුල් උත්සවයේදී දේහය රැගත් අවමඟුල් පෙරහැර දහස් සංඛ්‍යාතික පිරිසකගේ සහභාගිත්වයෙන් ගමන්ගත් අයුරු.

උතුරු නැගෙනහිර පිහිටවූ ප්‍රථම පළාත් සභාවේ දෙවනවරට පත්වූ ක‍්‍රමසම්පාදන, තරුණ කටයුතු, නිවාස ඉදිකිරීම්, වාරිමාර්ග ඇමතිවරයාවූ සුනිල් ජෝර්ජ් සෙනෙවිරත්න නොහොත් ජෝ සෙනෙවිරත්න උපන්නේ 1946දීය. ඔහුගේ දෙමාපියන්ට දරුවන් 7දෙනෙකුවූ අතර පොලිසියේ සේවය කල පියා ඉන්දීය කේරළ සම්භවයකින් යුක්තය. දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහලේ උසස් පෙළ හැදෑරීමෙන් පසු වයස 19දී කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය අංශයට බැදුණු ජෝ පසුව කොමියුනිස්ට් තරුණ සමිතියේ පූර්ණකාලීනයෙකු විය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රසායනාගාරයේ සේවයකල සුසිලා සමග 1974 අවාහවූ ජෝ තිදරු පියෙකි. සමාජ අධ්‍යයන කවයේ ක්‍රියාකාරිකයෙකුවූ ජෝට දයාන් ජයතිලක හමුවන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරය හරහා වන අතර එකල දයාන් ඇක්වයිනාස් විදුහලේ උසස්පෙළ ශිෂ්‍යයෙකි. කලක් බොරැල්ලේ කේරි විදුහලේද ගුරුවරයෙකු වශයෙන් සිටියදී බර්මින් ලයිලිගේ වාලම්පූරි චිත්‍රපටියට සම්බන්ධ වීමෙන් විජය කුමාරතුංග දැනහැදින ගත්තේය. අසුව දශකයේ මුල් භාගයේදී මර්ජ් සංවිධානයේ පූර්ණකාලීන නිලධාරියෙකුවූ ‍ජෝ එජාප ආණ්ඩුවේ ජනමත විචාරණය, කළු ජූලිය ඇතුළු සිද්ධීන් වලට එරෙහිව විවිධ වැඩසටහන් දියත් කළේය.

අනුරාධපුරයේ උපන් සී.ජේ. අමරතුංගගේ පියා පොලිසියේ සේවයකල අයෙකි. ‍මොරටු සරසවියේ ඉගෙනුම ලබමින් සිටියදී 1979 පැවති සී.ජේ ඓතිහාසික මාරාන්තික උපවාසය හරහා ජේ.පී වන්නිආරච්චි වැනි නායකයින් සමඟ සරසවි සිසු නායකයෙකු ලෙස ඉස්මතු විය. කලක් ජනතා සංගමයට හිතවත්ව සිටියේය. වරලත් ඉංජිනේරුවෙකි. එක්දරු පියෙකි. සමාජ අධ්‍යයන කවයේ ක්‍රියාකාරිකයෙකුව සිට පසුව මර්ජ් ආයතනයට එක්විය. මර්ජ් ආයතනයේ අනුග්‍රහයෙන් ප්‍රකාශයට පත්වූ යුක්තිය පුවත්පතේ කළමනාකරණ කර්තෘ, නියෝජ්‍ය කර්තෘ වශයෙන් සේවයකර පුවත්පතේ අවසාන කාලයේ එහි ප්‍රධාන කතුවරයා විය. වර්තමානයේ ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘය. ලංකාදීප පුවත්පතේ අඟහරුවාදා පලවන විමසුම දේශපාලන තීරු ලිපියේද රචකයාය.

Dharman19031608

විකල්ප කණ්ඩායමේ ආරම්භක ක්‍රියාකාරි සිසු නායකයෙකුවූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල්. ධර්මසිරිගේ දේහයට ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් බර්නාඩ් සොයිසා විසින් රජයේ ලිපිකරු සේවා සංගම් ශාලාවේදී 1989 ඔක්‍තෝබර් 22වැනිදා අවසන් ගෞරව දැක්වූ අයුරු.

පේරාදෙණිය සරසවියේ උපාධිධාරිනියකවූ  පුල්සරා නයනි ලියනගේ කැලණි සරසවියේ සහාය කථිකාචාර්යවරියක වශයෙන් සේවය කරමින් සිටියදී විකල්ප කණ්ඩායමට එක්විය.ත්‍රස්තවාදී මර්ධන පනත යටතේ පුල්සරාද 1986 නොවැම්බර් 1වැනිදා අත්අඩංගුවට  ගනු ලැබිණි. කැලණි සරසවියේ 1984 සිට වර්තමානය දක්වා දශක 3ක් ආචාර්යවරියක් වශයෙන් කටයුතු කරන පුල්සරා සිය ආචාර්ය උපාධියද නිමකළේද පේරාදෙණිය සරසවියෙනි. විවියන් ගුණවර්ධනයන්ගේ චරිතාප්‍රදානයද 1998දී ප්‍රකාශයට පත්කල ආචාර්ය පුල්සරා ලියනගේ වර්තමානයේ කැලණි සරසවියේ මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ බටහිර සම්භාව්‍ය සංස්කෘති සහ ක්‍රිස්තියානි සංස්කෘති අධ්‍යයන අංශයේ පළමු ශ්‍රේණියේ ජේෂ්ඨ කථිකාචාර්යවරියකි.

විකල්ප කණ්ඩායමට එරෙහිව ආණ්ඩුව පැවරූ රාජ්‍ය විරෝධී නඩුවේ 8වැනි විත්තිකරු වූයේ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක කන්දසාමි පද්මනාභය. ඉන්දියාවේ මදුරාසි නුවරදී 1952 නොවැම්බර් 10වැනිදා උපන් පද්මනාභගේ දෙමාපියන්ගේ ගම වූයේ කන්කසන්තුරෙයිය. විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණ නිතිවලට විරෝධය දක්වමින් 1972දී පිහිටවූ දෙමළ ශිෂ්‍ය සංමේලනයේ ක්‍රියාකාරිකයෙකුවූ පද්මනාභ බෙදුම්වාදී සටන්කාමියෙකු බවට  පත්වූයේ 1974 ජනවාරි 3 සිට 9 දක්වා යාපනයේ පැවති ජාත්‍යන්තර ද්‍රවිඩ සම්මේලනය අවසානයේදී පොලිසිය මගින් කල වෙඩි තැබීමකින් 9 දෙනකු මරණයට පත්වීමත් සමඟය. දෙමළ ඊ.එල්.ඕ සංවිධානය තවත් කිහිප දෙනෙකු සමඟ 1974දී පිහිටවූ පද්මනාභ බ්‍රිතාන්‍ය‍යේදී 1976දී ගණකාධිකරණය හැදෑරීය. පලස්තීනයේදී අවි පුහුණුව ලැබූ ඔහු 1978දී යළි ඉන්දියාවට ගියේය. ඊරෝස් සංවිධානයෙන් ඉවත්ව ඩග්ලස් දේවානන්ද, වර්තරාජා පෙරුමාල්, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිප දෙනෙකු සමඟ එක්ව 1981දී ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය පිහිටුවා ගන්නා ලදී.

Dharman19031609Aජයවර්ධනපුර සරසවියේදී 1992 ජුලි 15වැනිදා සිට 17 දක්වා පැවති විරු සිසු සමරු ප්‍රදර්ශනයේදී එය නැරඹීමට ආ මවක් මියගිය සිය සරසවි පුතුගේ ඡායාරූපය සහ සටහනින් කම්පිතව සිහිවිසඥව ඇද වැටුණු අයුරු සහ ඇය ඔසවන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් දෙදෙනෙක්.

ශ්‍රී ලංකාවටද පැමිණි පද්මනාභ මදුරාසිය කේන්ද්‍රකරගෙන සිය සංවිධානය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කල අතර 1986 දෙසැම්බර් මස එම සංවිධානයට එල්.ටී.ටී.ඊ. දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාරයක් ‍එල්ලකර ඊ.පී.ආර්.එල්.එෆ් සන්නද්ධ නායකයා ඇතුළු සාමාජිකයින් ගණනාවක් ඝාතනය කරන ලදී. උතුරු නැගෙනහිර පළාත් සභාවට 1988දී ප්‍රධාන කණ්ඩායම් නොමැතිව තරඟකර ඊ.පී.ආර්.එල්.එෆ් ආසන 71න් 41ක් දිනාගනු ලැබීය. මහ ඇමති ලෙස එම සංවිධානයේ වර්තරාජා පෙරුමාල් දියුරුම් දුන්හ. උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ඉන්දීය හමුදාවේ නොව ශ්‍රී ලංකා ආණ්ඩුවේ නීතිය 1990 මාර්තු 25වැනිදා සිට ක්‍රියාත්මකවන බව ජනපති රණසිංහ ප්‍රේමදාස ප්‍රකාශ කිරීමෙන් පසු ඉන්දීය යුධ ගුවන්යානයකින් පද්මනාභ ත්‍රිකුණාමලයේ සිට 1990 මාර්තු 11වැනිදා ඉන්දියාවට ගෙන යන ලදී. එල්.ටී.ටී.ඊ‍ දෙමළ බෙදුම්වාදීන් විසින් පද්මනාභ ඝාතනය කරන ලද්දේ 1990 ජුනි 19වැනිදා ඉන්දියාවේ මදුරාසි ප්‍රාන්තයේදීය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. යෝගසංගරී, පළාත් මන්ත්‍රී පී. කිරුබාකරන් ඇතුළු 8 දෙනෙක්ද මරමුවට පත්වූහ.

Dharman19031610

  1. විකල්ප කණ්ඩායමේ මතවාදය 1980 ආරම්භයේ සිට 1990 දක්වා පෝෂණය කල ලංකා ගාඩියන් සඟරාවේ කලාප කිහිපයක්. ලංකා ගාඩියන් මගින් විකල්ප නමින් සිංහල මාසික සඟරාවක්ද විකල්ප කණ්ඩායමේ ප්‍රවර්ධනය සඳහා කලාප කිහිපයක්ම ප්‍රකාශයට පත්කරන ලදී.

හබරාදූව හප්පවාන හරුමල්ගොඩ උපන් දයාපාල තිරාණගම කැළණි සරසවියට 1967 ඇතුල්වූ අතර පසුව එහි මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා විය. පොලිසිය මගින් 1971 කැරැල්ල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව අදාල නඩුවෙන් 1975දී නිදහස් ක‍ළේය. විකල්ප කණ්ඩායමට එක්වීමෙන් පසු පූර්ණකාලීනව දේශපාලනය සඳහා සරසවි රැකියාව අත්හැර දමමින් සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ව්‍යාපාරය හරහා ක්‍රියාකාරිකයෙකුවූ දයාපාල, රාජ්‍ය සහ ජවිපෙ මර්ධනයෙන් ගැලවීම සඳහා 1988දී මාස 6ක් පමණ සැඟවී සිටියේ වර්තමානයේ අතුරුදහන්කර ඇති ප්‍රගීත් එක්නැලිගොඩට සම්බන්ධයක් ඇති දඹුල්ලේ ගොවිපොලකය. දයාපාලගේ බිරිඳ වූයේ දෙමළ බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් 1989 සැප්තැම්බර් 21 යාපනේදී මරා දමන ලද යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් සහ යාපනය සරසවියේ මානව හිමිකම් සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සමාරම්භක සාමාජිකාවක්වූ 35 හැවිරිදි ආචාර්ය රාජිනී රාජසිංහම්ය. බිඳුණු තල්රුක රාජිනී ඇතුළු විද්වතුන්ගේ සංවාදාත්මක කෘතියකි. යාපනයේ ඉපදී කොළඹ වෛද්‍ය පීඨය අධ්‍යාපනය ලැබූ රාජිනීගේ ඝාතනයෙන් පසු දයාපාල සිය කුඩා දියණියන් දෙදෙනාද රැගෙන 1989 දෙසැම්බර් 27 බ්‍රිතාන්‍යයට සංක්‍රමණය විය.

ජිනීවා නුවර මානව හිමිකම් කේන්ද්‍රයේ ජේෂ්ඨ උපදේශකවරයෙකුවූ ආචාර්ය මනුජාම් මානික්‍යලිංගම් කලක් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සිටියදී සාම කථිකාවේ ජේෂ්ඨ උපදේශකයෙක් වශයෙන්ද කටයුතු කළේය.  පේරාදෙණිය සරසවියේ උපාධිධාරියෙකුවූ කොඩ්රි ස්මයිල් කලක් දි අයිලන්ඩ් පුවත්පතේ සේවය කළේය. ඔහු ලියුම්කරු ඇතුළු සහෝදර දිවයින පුවත්පතේ මාධ්‍යවේදීන්ගේද සමීප හිතවතෙකි. පසුව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකුවූ කොඩ්රි ඉන්දීය ගුවන් හමුදා යානයකින් යාපනයට මාධ්‍ය වාර්තාකරණයකට ගොස් එමින් සිටියදී එල්ලවූ කොටි ත්‍රස්ත්‍ර ප්‍රහාරයකින් ජීවිතය බේරාගැනීමටද වාසනාව ලැබීය. වර්තමානයේ එක්සත් ජනපදයේ මිනසෝටා සරසවියේ සහාය මහාචාර්යවරයෙකි.

කොළඹ සරසවියේ උපාධිධාරිනියක්වූ තිසරණී ගුණසේකර විකල්ප කණ්ඩායම සමඟ එක්වූයේ දයා පතිරණගේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මුල්පෙලේ ක්‍රියාකාරිනියක් වශයෙන් සිටියදිය. රණසිංහ ප්‍රේමදාස 1988 දෙසැම්බර් 15වැනිදා ජනාධිපතිවරණයෙන් ජයගත් පසු 1989දී මහජන බැංකුවේ උපදේශිකාවක් සහ ආර්ථික විමසුම සඟරාවේ සංස්කාරකවරියක් ලෙස පත් වූවාය. වර්තමානයේ ඉංග්‍රීසි දේශපාලන තීරු ලිපි රචකයෙකි. ඇයගේ එම තීරු ලිපිවල සිංහල පරිවර්තනයද ලංකාදීප පුවත්පතේ උතුර දකුණ මැයින් පළවන අතර එහි පරිවර්තන අනුග්‍රහය සපයනු ලබන්නේ රාජ්‍ය නොවන සංවිධානයක වැඩසටහනක් වන ‘යහපාලනය ලංකා’ මගිනි. විකල්ප කන්ඩායමට එරෙහි නඩුවේ චූදිතයෙකුදවූ සරත් ද සිල්වා නොහොත් පොඩි සිල්වා 1988 අප්‍රේල් 20වැනිදා නිදහස් වීමෙන් පසු විකල්ප කණ්ඩායමෙන් ඉවත්ව ප්‍රා සංවිධානය 1988 මැයි 18 වැනිදා පිහිටුවා ගත්තේය. ප්‍රජාතන්ත්‍රීය විභවයක් නොවුන ප්‍රා සංවිධානයට අවශ්‍ය වූයේ ජවිපෙට එරෙහිව සන්නද්ධ බලයක් ගොඩනඟා එය විනාශ කිරීම පමණි.

කොළඹ සරසවියේ දයා පතිරණගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය 1983 කළු ජූලියෙන් පසු දැඩිලෙස දේශපාලනීකරණය වෙමින් තිබුණ යුධවාදී දේශපාලන ප්‍රවණතාවය පිළිගනු ලැබීය. අනතුරුව ඔවුහු තීරණාත්මක ලෙස සම්ප්‍රදායික වාමාංශික පක්ෂවලින්ද ටී. අන්ද්‍රාදි සහ තිලක් ප්‍රනාන්දුගේ ස්පාටසිස්ට් කණ්ඩායමෙන් වෙන්වී රැඩිකල් ස්වයං දේශපාලනයකට ගමන්කල අතර විකල්ප කණ්ඩායමට ඔවුන් දිනාගැනීමට දයාන් ජයතිලක සමත්විය. විකල්ප කණ්ඩා‍යමේ ක්‍රියාකාරීන් බවට දයා පතිරණ, කේ.එල් ධර්මසිරි, නිර්මාල් රංජිත් දේවසිරි, සී.ඒ. චන්ද්‍රප්‍රේම ඇතුළු කිහිප දෙනෙක්ම පත්විය. උතුරු නැගෙනහිර ද්‍රවිඩ ස්වයංනිර්ණ අයිතිය සහ නාගරික ගරිල්ලාවාදය හරහා ස්වාධීන ශිෂ්‍ය සංගමය  දේශපාලනීකරණය වන්නට විය. ශ්‍රී ජයවර්ධනපුර, කැළණිය සහ මොරටුව යන සරසවියන්හි යම් පමණක සබදතා ඇතිකර ගැනීමටද විකල්ප කණ්ඩායම සමත්විය. එහෙත් දයා පතිරණ ඇතුළු ස්වාධීන ශිෂ්‍ය සංගමයට, විකල්ප කණ්ඩායමෙන් පෝෂණයක් නොලැබුණා පමණක් නොව විකල්ප කණ්ඩායමටද ඔවුන් බලාපොරොත්තුවූ තරම් තල්ලුවක් ‍නොලැබිණි. ස්වාධීන ශිෂ්‍ය සංගමය තුළ අන්‍යතාවය සහ ස්වාධීනත්වය පිළිබඳව අර්බුද ඇතිකල හෙයින් එම සබැදියාව ශක්තිමත්වීම කෙටි කලෙකින් ඇනහිටියේය. ස්වාධීන ශිෂ්‍ය සංගමය, ප්ලොට් සංවිධානය සමඟ එහි ශිෂ්‍ය අංශයේ සිවරාම් සමඟද ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ විගූ සහ රමේෂ් සමඟද සබදතා දිගටම පවත්වාගෙන ගියේය.

විකල්ප කණ්ඩායමේ ක්‍රියාවලිය ඔවුන් සිතූ අන්දමින් උණුසුම් නොවීය. ජාතින් අතර යුක්තිය සහ සමානාත්මතාව ඇතිකිරීමේ ව්‍යාපාරයේ(මර්ජ්) සහ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය(ක්‍රොප්), ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය, වැනි රාජ්‍ය නොවන සංවිධාන ජාලයක මූල්‍ය සහාය මත අර්ධ සහ පූර්ණකාලීන මට්ටමින් ගොඩනැගුණු විකල්ප කණ්ඩායම විනයකින් තොර සන්නද්ධ න්‍යෂ්ඨියක් වන ඊ.පී.ආර්.එල්.එෆ් දෙමළ බෙදුම්වාදී සංවිධානය සමඟද සබඳතා ක්‍රියාත්මක ක‍ළේය. මේවන විට එනම් 1985 ජවිපෙට සන්නද්ධ වියයුතුද නැද්ද යන ගැටළුව මතුවූ අතර විකල්ප කණ්ඩායමේ සහ සමාජවාදී ජනතා ව්‍යාපාරය සන්නද්ධවීම එම ක්‍රියාවලිය සාධාරණීයකරණය කරනු ලැබීය. එහෙයින් සන්නද්ධවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම  සඳහා ජවිපෙ මගින් පර්යේෂණ ඇරඹිණි.

ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය වාමාංශික අදහස් දරපු ද්‍රවිඩ බෙදුම්වාදී සංවිධානයකි. විකල්ප කණ්ඩායම ක්‍රියාත්මක වූයේ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නිල නොවන මට්ටමින් දකුණු දිග ශාඛාව වශයෙනි. විකල්ප කණ්ඩායමේ පිරිසකට ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය මගින් තමිල්නාඩුවේදී අවි පුහුණුවක්ද ලබාදුන්නේය.

රෝහණ විජේවීර 1985 මාර්තු මසදී ජවිපෙ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කල දෙමළ ඊලම් අරගලයට විසදුම කුමක්ද යන වාර්තාවේ විකල්ප කණ්ඩායම සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳ සහ දැඩි විවේචනයක් එල්ල කර තිබිණි. ජවිපෙ දෙවන කැරැල්ලේදී පැරණි වාමාංශික පක්ෂද, ජවිපෙන් කැඩි ගිය කණ්ඩායම් සහ කල්ලිද, ජනතා සංගමය, සමාජවාදී ජනතා ව්‍යාපාරය මෙන්ම විකල්ප කණ්ඩායමද නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසය. එම සංවිධාන සියල්ල 1988 ජනවාරි 25දා තහනම් කිරීමේ නියෝගයක් ජවිපෙ මගින් පැනවූ අතර ඔවුන් අතුගා දමන ලෙස ජනතාවගෙන් ඉල්ලමින් 1988 පෙබරවාරි 10වැනිදා නිවේදනයක්ද ප්‍රකාශයට පත්කරන ලදී.

ඊළම් ජනතා විප්ලවකාරී විමුක්‌ති පෙරමුණ(ඊ.පී.ආර්.එල්.එෆ්) සංවිධානය සහ ප්ලොට් සංවිධානය මංකොල්ලකෑම් මගින් මුදල් ඉපයීම අතින් සූර සංවිධානයකි. පද්මනාභ ඊ.එල්.ඕ දෙමළ බෙදුම්වාදී සංවිධානයේ සිටියදී ප්‍රථමයෙන් 1976 මැයි 10වැනිදා උතුරේ පුලෝයිහි විවිධ සේවා සමූපකාර බැංකුව කොල්ලකා තිබිණි. එම මංකොල්ලය සදහා සහභාගිවූ අන් අය අතර පසුකළෙක උතුරු නැගෙනහිර මහ ඇමතිවූ වර්තරාජා පෙරුමාල් සහ ඊරෝස් සංවිධානයේ නායකයෙකු බවට පත්වූ වි. බාලකුමාර් ඇතුළු කිහිප දෙනෙක්ද විය.

එමෙන්ම පුද්ගලයින් පැහැරගෙන ‍ගොස් කප්පන් ඉල්ලීම සම්බන්ධයෙන්ද ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය නම් දරා තිබිණි. යාපනය ප්‍රදේශයේ ජල සම්පාදන ව්‍යාපෘතියක ඉංජීනේරු උපදේශකයෙකුවූ ඇමරිකන් ජාතික ස්ටැන්ලි බ්‍රයිසන් ඇලන් සහ ඔහුගේ ගැබිනි බිරිඳ වන මේරි එලිසබෙත් මේසන් 1984 මැයි 11 පැහැරගෙන යන ලද්දේ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය මගිනි. ඔවුන් නිදහස් කරගැනීමට රුපියල් කෝටි පහක් වටිනා රන් තොගයක් සහ බන්ධනාගාර ගතවූ දෙමළ බෙදුම්වාදීන් වන සිංගරායර් පියතුමා සහ නිර්මලා සත්‍යනාදන් ඇතුළු 20 දෙනෙකු නිදහස් කරන ලෙස කප්පමක් ලෙස ඉල්ලා සිටියහ. එවකට ඇමරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන් කියා සිටියේ කිසිදු කප්පමක් ගෙවීමට තමා සූදානම් නැති බවත් ඔවුන් නිදහස් කරන ලෙසය. පසුව ඔවුන් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය මගින් දින 5කට පසු නිදහස් කරමින් කියා සිටියේ ඉන්දිය අගමැතිනි සහ තමිල්නාඩු මහ ඇමතිගේ ආයාචනාවට ගරු කිරීමක් ලෙස ඇලන් යුවළ නිදහස් කල බවකි.

Dharman19031611

ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය මගින් කප්පන් ලබාගැනිම සදහා 1984 මැයි 11 පැහැරගෙන ගිය ඇමරිකන් ජාතික ඉංජිනේරු බ්‍රයිසන් ඇලන් සහ ඔහුගේ ගැබිණි බිරිඳ මේරි කප්පන්කරුවන්ගේ අත්අඩංගුවේ සිටියදී.

ප්ලොට් සංවිධානය මගින් 1985 අප්‍රේල් 26 වැනිදා නිකවැරටිය ලංකා බැංකුවට ප්‍රහාරයක් එල්ලකර රුපියල් කෝටියකට අධික මුදල් සහ රන්බඩු කොල්ලකෑ අතර එම කණ්ඩායමට එක්වූ සිංහල ජාතිකයින් දෙදෙනා අතර විකල්ප කණ්ඩායමේ සාමාජිකයන්ද සිටි බවට පොලිස් පරික්ෂණ වලදී හෙලිවිය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් 05දෙනෙක් ප්ලොට් සංවිධානයේ වව්නියා සන්නද්ධ නායක තාසන් යටතේ නැගෙනහිරදී අවි පුහුණුවද ලබාගෙන තිබිණි. ලියුම්කරු 1988 අප්‍රේල් 16 ප්ලොට් නායක උමා මහේෂ්වරන්ගේ වැල්ලවත්තේ රොක්සි සිනමාහලට යාබද ස්ථානයේදී හමුවූ අතර ජවිපෙට මුදල්වලට සහ දකුණේ ඇතැම් කණ්ඩායම්වල පිරිසකට නොමිලේද අවි පුහුණුව දුන් බව පිළිගත්තේය. ප්‍රභාකරන්ගේ කොටි සංවිධානයට එරෙහි ඕනෑම අයෙකු සමඟ ප්ලොට් සංවිධානය කොන්දේසි විරහිතව සහාය දෙන බව ඔහු එහිදී අවධාරණය කළේය. සිවරාම් සහ ෂර්ලිද එම අවස්ථාවට එක්වී සිටියහ.

විකල්ප කණ්ඩායමේ පිරිසක්ද මුදල් සෙවීම සදහා උතුරේ මෙන්ම දකුණේද මංකොල්ලකෑම් කිහිපයක් කර තිබිණි. මින් කිහිපයක් පොලිසිය මගින් හෙළිකර අතර දෙමළ බෙදුම්වාදී නායක මට්ටමේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු හසුවීමත් සමගම ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණය පොලිසියට අනාවරණය විය. ජවිපෙ මගින් විකල්ප කණ්ඩායමට යොමුකර සිටි ඔත්තුකරුවන් මගින්ද තොරතුරු ලබාගත් අතර ඔවුන්ට ‘දඬුවම් කිරීම’ සඳහා ජවිපෙද දැල් එලා තිබිණි. අත්අඩංගුවට ගත් විකල්ප කණ්ඩායමේ නායකයින් සහ ක්‍රියාකාරීන් 13 දෙනා ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනත සහ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ දීර්ඝ කාලයක් රඳවා සිටීමෙන් අනතුරුව හදිසි අවස්ථා විශේෂ විධිවිධාන සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ(තාවකාලික විධිවිධාන) පනත යටතේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සහ වෙනත් අධි චෝදනා 14ක් මත කොළඹ මහාධිකරණය හමුවට යොමු කරන ලදහ. නඩු පැවරීමට පෙර චූදිතයෝ පොලිස් ස්ථාන, පැජට් පාර, සී.එස්.ඩී කාර්යාලය, 4වැනි තට්ටුව, රොක් හවුස් නාවික කඳවුර ඇතුළු ස්ථාන කිහිපයක රඳවා තබන ලදී.

විකල්ප කණ්ඩායමේ නායකයින් සහ ක්‍රියාකාරිකයින් 23 දෙනෙකුට එරෙහිව රජය පෙරළීමට තැත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩුවේ අධි චෝදනා භාරදීම 1987 ජුලි 8දා කොළඹ මහාධිකරණ විනිසුරු ටී. සුන්දරලිංගම් ඉදිරියේ සිදුවිය. එම චූදිතයින් 23 දෙනාගෙන් 13 දෙනෙකු ඒ වන විට අත්අඩංගුවේ පසුවිය. ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි 29 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දිය අගමැති රජිව් ගාන්ධි අතර කොළඹදී අත්සන් තැබූ අතර එය ක්‍රියාත්මකවීමත් සමඟම එහි කොන්දේසියක් වශයෙන් මෙම සියළු චූදිතයින් 23 දෙනාම 1988 අප්‍රේල් 22වැනිදා නිදොස් කොට නිදහස් කරන ලදී. සැඟවී වරෙන්තු පිට සිටි චූදිතයින් 10දෙනාද පසුව අධිකරණයට ඉදිරිපත්කර නිදහස් කර ගන්නා ලදී.

එජාප ආණ්ඩුව මගින් උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය 1988  නොවැම්බර් 10වැනිදා පැවති අතර ඉන් සෙසු ප්‍රධාන කණ්ඩායම් තරඟ නොකල හෙයින් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය ජය ලැබිය. උතුරු නැගෙනහිර මහඇමති වරයා වශයෙන් වර්තරාජා පෙරුමාල් පත්වූ අතර එහි සිංහල සහ මුස්ලීම් නියෝජනයක් තිබීම සදහා ඔවුන් වෙනුවෙන් ඇමතිවරයෙක් පත්කිරීමටද ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය තීරණය කළේය. ඒ අනුව ප්‍රථමයෙන් දයාන් ජයතිලක පත්විය. ප්‍රතිපත්තිමය හේතුන් මත දයාන් පළාත් ඇමති තනතුරෙන් ඉවත්වූ පසු එම පුරප්පාඩුවට වර්තරාජා පෙරුමාල් පත්කළේ ජෝ සෙනෙවිරත්නය. උතුරු නැගෙනහිර මහා ඇමති වර්තරාජා සිවිල් ආරක්ෂක හමුදාවක් නීති විරෝධීව බඳවා ගන්නා විට ජෝ සිය ධූරය අතහැරියේය. එවිට එම අමාත්‍යධුරයට මහ ඇමති වර්තරාජා 1990 පෙබරවාරි පත්කළේ කොමියුනිස්ට් පක්ෂයේ එම්.කේ අබුයුසුෆ්ය. කොමියුනිස්ට් පක්ෂය අබුයුසුෆ්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර 1990 මාර්තු 2 කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් කරන ලදී. උතුරු නැගෙනහිර පළාත් සභාව 1990 මාර්තු 1වැනිදා ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මන්ත්‍රණ සභාව නමින් නම්කර මහ ඇමති වර්තරාජා පෙරුමාල් ඊළමක්ද ප්‍රකාශයට පත්කලහ. ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය රජයට ඉල්ලීම් 19ක් ඉටුකිරීමට වසරක් කල්දුන් බවද ඒවා ඉටුකලහොත් නැවත පළාත් සභාව පිහිටුවන බවද මහ ඇමතිවරයා නිවේදනය කළේය. ජනාධිපති ප්‍රේමදාස රජයේ ආශිර්වාදය යටතේ මුදල් සහ අවි ආයුධ ලබාගත් එල්.ටී.ටී.ඊ සංවිධානය ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය වෙත ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු මහඇමති වර්තරාජා ඉන්දියාවට පළාගොස් ඉන්දීය ආණ්ඩුවේ ප්‍රභූ ආරක්ෂාව යටතේ දේශපාලන රැකවරණය ලැබීය.

මුලදී දියුණුවක් පෙන්නුම් කරමින් දකුණේ තරුණ බුද්ධිමතුන් සහ සමාජ ක්‍රියාකරුවන් ආධාර කරගෙන ගොඩනැගුණු විකල්ප කණ්ඩායම තම අභිලාශයන්ට ගැලපෙන සේ න්‍යායන් සහ වැඩකටයුතු සකස්කලා විනා ගැඹුරු අධ්‍යයනයක් මගින් සංයුක්ති වැඩපිලිවෙලක් සකස්කර ගැනිමට උත්සාහය දරුවේ නැත. එබැවින් විකල්ප කණ්ඩායම ඉතාම කෙටි කාලයකින් ජවිපෙ සමඟ එක පෙළට දිවීමට තැත්කිරීම සහ රාජ්‍ය මර්ධනය හමු‍වේ 1988 අවසාන භාගය වනවිට හිරු දුටු පිණි මෙන් වියැකී ගියේය.

විකල්ප කණ්ඩායම, එහි සාමාජිකයින් සහ 1982 සිට 1990 දක්වා විකල්ප කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔබ දන්නා ඡායාරූප සහ තොරතුරු පහත ආකාරයට යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected]

තව කොටසක් ලබන සතියේ…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress