21′ සියවසේ විප්ලවය ශ්‍රී ලංකාවෙන් 
Posted on March 19th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

පොහොර ඉල්ලා වීදි බසින ගොවීන් ප්‍රධානව, විවිධ වෘත්තීන් හා කර්මාන්තයන්හි නියැලි ජන කොටස්ද, විශ්ව විද්‍යාල සිසුන් හා නොයෙකුත් සමාජ කණ්ඩායම් වලට අයිති ජන කොටස්ද තමන් පෙලන විවිධාකාර වූ ප්‍රශ්ණ වලට පිලිතුරු ඉල්ලා උද්ඝෝෂණය කිරීම මේ වන විට රටපුරා රැල්ලක් සේ පැතිර ගොස් තිබේ. ඊට පිලිතුරු වශයෙන් තම ජනතාවද පාරට බස්සන බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ මීට සති කිහිපයකට පෙරය.

ඒ අනුව මාර්තු 15 වනදා ‘ රට කරන්න ඉඩ දෙන්න ‘ යන තේමාවෙන්, තම පාක්ෂිකයන් කොළඹට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනු ලැබීය.

මෙම රැස්වීමේ කතා වාර වලදී සුපුරුදු පරිදි පසුගිය රජය පතුරු ඇරීම සිදුවූ අතර, අද සිදුව ඇති සියලුම දුක් කරදරවලට වගකිව යුතු මහින්ද රාජපක්ෂ බව නැවත නැවතත් කියවුනි. ඒ කථා අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් කීවේ තමන් පසුගිය ජනවාරියේ ‘ විප්ලවයක් ‘ තුලින් බලය ලබාගත් බවත්, තමන්ව එලවන්නට කිසිවකුට ලෙහෙසි නොවන බවත්ය.

‘විප්ලවය’ ! මොවුන් මේ විප්ලවය යයි කියන්නේ කුමකටද? විප්ලවය යන වචනයත් සමගම, එහි අරමුණ හා ඉන් අපේක්ෂා කරන වෙනස කුමක්ද වැනි ප්‍රශ්ණ අප වැනි හුදී ජනයාගේ සිතට නැගෙනු වලක්වන්නට නොහැකිය. ඊ ලඟට විප්ලවයේ නිර්මාතෘවරු කවුද, ඔවුන්ගේ අරමුණු හා අපේක්ෂාවන් ගැන අවධානය යොමුවේ. ඉතින් මේ අකිල විරාජ්ගේ කථාව තුල නම් ඔය කියන ‘ විප්ලවයට ‘ සහභාගි වූ සියලුම පාර්ශ්වයන් අපේක්ෂා කල යහපත් වෙනස සිදුවී ඇත්දැයි කථිකයා සහ ශ්‍රාවක දෙපිරිසේම හදවතට තට්ටු කර විමසා බැලිය යුතුය. අකිල විරාජ් ඇතුලු මැති ඇමති පිරිසට නම් වෙනසක් සිදු නොවුනා යයි කියන්නට නොහැකිය. මන්ද ඔවුන්ට ඇමතිකම් ලැබුනි. ජනතාව මේ සා අසීරුවෙන් ජීවන සටනේ යෙදෙද්දී අලුත් වාහන සඳහා තීරු බදු රහිත බලපත්‍ර ලැබුනි. වැටුප් වලට අමතරව මහා දීමනා මල්ලක් අනුමත වී ඇත. නමුත් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වීමේ සහනය ජනතාවට නොදීමට හේතුව ලෙස කියන්නේ පසුගිය රජයේ වැරදිය. තම  තමන්ට ලාභ ප්‍රයෝජන සලසා ගැනීමේදී මේ න්‍යාය අදාල නොවීම මේ නව විප්ලවයේ සුවිශේෂ ලක්ෂණයක්ද? වරක් වෙෙද්‍යවරු තම වාහන බලපත්‍ර දීමේ ක්‍රමය සම්බන්ධව ගෙනගිය අරගලයේදී රජය ජනතාවගේ කෝපය වෙෙද්‍යවරු වෙතට යොමුවන අන්දමින් ඉතා සූක්ෂමව ක්‍රියාකල අතර, ඉන් සති කිහිපයකට පසු වැඩි දෙනෙකුගේ අවධානයට යොමු නොවන පරිදි හොර රහසේම තම වාහන බලපත්‍ර අනුමත කර ගත්හ. මෙයට පාර්ලිමේන්තුවේ සිටින 225 න් එක් අයකු හෝ විරුද්ධ වූ වගක් දැනගන්නට නැත. රජයේ සේවකයන්ට දීමට පොරොන්දු වූ වැටුප් වර්ධක දීමනා බවට පත්ව ඒකත් කෑල්ලෙන් කෑල්ල වශයෙන් දෙන්නේ ඉතා ලෝභ කමිනි. ඊට හේතු කාරණා පසුගිය රජය පිට පටවති. මුලින් ඇමරිකාව, යුරෝපීය රටවල් තමන්ට උදව් කරන බවට කයිවාරු ගැසුවත් දැන් හොර රහසේම කලින් සිටි අය වගේම චීනය දෙසට හැරී ඇත. පසුගිය දිනක ඇමති සරත් අමුණුගම, චීනයෙන් අප රටේ කම්හල් 100 ක් ඉදිකරන්නට යන බව කීවේය. නමුත් ඉන්දියාව සමග එලඹෙන්නට නියමිත එක්ටා ගිවිසුමට විවිධ පාර්ශ්වයන් විරුද්ධ වන විට, ඊට කාරණාවක් ලෙස පසුගිය රජය මෙරටට ශ්‍රමිකයන් ගෙන එ්මට චීනයට ඉඩ දුන් බව කීය. බලන විට මෙතැන සිදුවන්නේ චීනය වෙනුවට ඉන්දියාව ආදේශ වීම හෝ ඉන්දියාව සහ චීනය යන දෙකම ඒමය. පසුගිය රජය කල දේම කරන්නට නම් ජනතාව අලුත් රජයක් පත්කර ගත්තේ ඇයි?

ඊලඟට මේ විප්ලවයේ නියමුවන් වන වත්මන් අගමැති සහ ජනාධිපති සම්බන්ධව මඳක් ආපස්සට සොයා බැලිය යුතුය. 1993 දී එවකට සිටි ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ ඝාතනයෙන් පසු ඩී. බී. විජේතුංග මහතා ඒ තනතුරට පත්වූ විට, රනිල් නිකම්ම අගමැති තනතුරට පත්විය. නමුත් 1994 ජනාධිපතිවරණය පැමිණිවිට, එවකට එජාපයෙන් ඉවත්ව ගොස් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකයාව සිටි ගාමිණී දිසානායක යලි එජාපයට එක්ව එහි ජනපති අපේක්ෂකත්වය ලබා ගත්තේය. නමුත් මැතිවරණයට දින කිහිපයක් තිබියදී එල්ටීටීඊ ප්‍රහාරයකින් ඔහු මරණයට පත්වූ විට, ඔහුගේ මස්සිනා වූ වික්‍රම වීරසූරිය, ගාමිණී ගේ වැන්දඹු බිරිඳ සමග සිරිකොතට පැමිණ රනිල් වික්‍රමසිංහට ඇතුලු වන්නටවත් නොදී මහා කලබගෑනියක් කර එවෙලේ රනිල්ට ලැබෙන්නට තිබූ ජනාධිපති අපේක්ෂකත්වය බලෙන් ඩැහැ ගත්තේය. ඊට එරෙහි වීමට රනිල්ට ශක්තියක් නොතිබිනි.

ඒ වන විට චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග සිටියේ ජනප්‍රියත්වයේ හිණි පෙත්තේය. ඈ පළමුව බස්නාහිර පලාත් සභාවේ මහ ඇමතිනිය වූවාය. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූවාය. ඒ කාලයේ රනිල් නියෝජනය කලේද ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයයි. නමුත් මෙවේලේ හදිසියේම කොළඹට මාරු වීමට තීරණය කලේය. ඒ දිනවල එජාප තරුණ බල මණ්ඩලය ‘රනිල්, ඔබගේ කොළඹට පැමිණීම අපට මහත් ධෙෙර්යයකි.’ යි පෝස්ටරයක් ඇලවූහ. නමුත් මේ පෝස්ටරය් ‘පැමිණීම’ යන වචනයේ ‘මි’ අකුර ඉරා දමා තිබෙනු බොහෝ තැන්වල දක්නට ලැබිනි. ඉතින් ඒ පැනීමේ රහස, චන්ද්‍රිකා සමග සටනක් දීමට වූ පසුබාන ගතිය බව ජනතාව අනුමාන කලහ. එයද පෙර සිරිකොත සිද්ධියටම සමාන වූවකි.

2005 දී රනිල්, මහින්ද රාජපක්ෂ සමග ජනපති පුටුවට තරග වැදී ඉතා සුලු ගණනකින් පරාජය විය. එදා මහින්ද ප්‍රභාකරන්ට රු. මිලියන 200 ක් දී චන්දය දිනුවායැයි අද සරත් ෆොන්සේකා පවසයි. කෙසේ වුවද එදා මහින්දට චන්ද්‍රිකා සහ ඇගේ සුවච කීකරු ගෝල බාලයන් වෙතින් එල්ල වූ ප්‍රහාර ගැන ජනතාවට රහසක් නොවීය. එදා ඒ වැඩි වන්ද 51 000 වටින්නේ එහෙයිනි.

2010 වන විට මහින්ද රාජපක්ෂ රජය යුද්ධයත් දිනාගෙන සිටි නිසා තමා තරග කලහොත් නිසැකවම පරදින බව දත් රනිල්, ඒ වන විට යුධ ජයග්‍රහණය තනි අයිතියට භුක්ති විඳීමට කටයුතු කරමින්, මාන්නයෙන් පිම්බී සිටි සරත් ෆොන්සේකාව ඉදිරියට දමා ඇඟ බේරා ගත්තේය.

දෙෙවඥයින්ගේ ලණු කමින්ද, වට කරගෙන සිටි වන්දි භට්ටයින් විසින්අනවශ්‍ය ලෙස පුම්බනු ලැබූ මහින්ද රාජපක්ෂ තම නිළ කාලය නිම වීමට වසර දෙකකට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කලේය. මෙහිදී ද රනිල්ට ඉදිරිපත් වන්නට හිතේ හයියක් නොතිබුනා වන්නට පිලිවන. නොඑසේ නම් ඡන්දය දිනාගත හැක්කේ ශ්‍රිලනිපය කඩා දමා බව ඔහුගේ ‘විප්ලවකාරී’ මොළයට වැටහෙන්නට ඇත.

ඒ අනුව ඒ සියල්ලටම හරියන අයෙකු තෝරාගත් අතර, පසු ගිය රජයේ වංචා දූෂණ අතිශයෝක්තියෙන් යුතුව ජනතාවගේ සිත්වලට කා වද්දන්නට වග බලා ගත්හ. යුද්ධය නිමවූ විට ජීවන වියදම අඩුවී මඳ සහනයක් ලැබ් යයි බලාසිටි ජනතාව ඒ දෙසට හැරෙ න්නට ඇත. ද්‍රවිඪ දේශපාලකයන්ද තම අරමුණු පෙරදැරිව වැඩකල නිසා උතුරේ චන්ද ටිකද ලබාගෙන, රනිල්ලා තෝරාගත් ‘විප්ලවයේ අනිත් නියමුවා’ වන මෙෙත්‍රීපාල සිරිසේන මැතිවරණය ජය ගනිමින් ජනාධිපති බවට පත්විය.

චන්ද්‍රිකාගේ සිට මෙතෙක් ජනාධිපතිවරණයක් පවත්වන සෑම විටෙකම ඡන්ද පොරොන්දුවක් වූයේ ‘විධායක ජනාධිපතිකම අහෝසි කරමු’ යන්නයි. එහෙත් චන්ද්‍රිකා හෝ මහින්ද එය ඉටු කලේ නැත. අද මෙන්ම එදාත් ව්‍යවස්ථා වෙනසකට එක්වන ලෙස ඇරයුම් කලේ නම් සමහර විට එය ඉටු කර ගන්නට හැකියාවක් නොතිබිනැයි කාට කිව හැකිද? නමුත් අර පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ ඊට බල පෑවායයි කිව හැක. නමුත් මෙතැනදී රනිල් ප්‍රමුඛ පිරිස ජනපති අපේක්ෂකත්වයට මෙෙත්‍රීපාල තෝරා ගැන්මට සූක්ෂම වූයේ 2015 ජනවාරි 9 වනදා තම ඔඩොක්කුවට කඩා වැටුනු අගමැතිකම හා මැති ඇමතිකම් බලවත්ව ස්ථිර කර ගැන්මටය.

ඊලඟට මේ ඊනියා විප්ලවයේ කොටසක් ලෙස තම රූකඩ ජනපති ලවා වරප්‍රසාද කෙරෙහි නම්මා ගත හැකි වූ ශ්‍රීලනිපයේ කොටසක් සමග සම්මුතිවාදී රජයක් පිහිටුවා තම බලය තහවුරු කර ගැන්මට එජාපය සමත් විය.

ඉතින් මේ විප්ලවයේ රඟ පෙනෙන්නේ සෑම තැනම ඇති අවුල් ජාලාව දුටු විටය.ඇමතිවරු ලාහෙන් මනින්නට තරම් සිටියද, ඇමති කෙනෙක් කියා දන්නවා විනා කවුරු, කොයි ඇමතිද කියා හරි හැටි කියන්නට ජනතාව නොදනිති. තමන්ට බලපාන ගැටලු විසඳා ගැන්මට එම විෂය අයත් වන්නේ මොන අමාත්‍යංශයටද කියා ප්‍රශ්ණයකි. ඉතින් ජනතාව සැමදා මහ පාරේය. එක කොටසක් තම ප්‍රශ්ණ විසඳා දෙන ලෙස ඉල්ලද්දී, තව කොටසක් රට හදන්න ඉඩ දෙන්නැයි ඉල්ලමින් මහ පාරේ ලගිති.

මෙවන් ගති ලක්ෂණ ඇති දේශපාලකයින්ට විප්ලවවාදීන් යැයි කිව හැකිද?

ජනපතිවරයා ඉතා මෑතකදී කියූ කතාවක්ද මෙහිදී මතක් කල යුතු වන්නේ එයද මේ ‘විප්ලවයේ’ ප්‍රතිඵලයක් නිසාය. ‘ඉස්සර උතුරෙ ජනතාවට කෝටි ගණන් බඩු බෙදනකොට මමත් ගිහින් තියනව. ඒ මොනව දුන්නත් ඒ අයගෙ මුහුණෙ කවදාවත් හිනාවක් දැක්කෙ නැහැ. මම ජනාධිපති වුනාට පස්සෙ තුන් හතර වතාවක් මෙහේ ආව. මොනවත්ම දුන්නෙ නැහැ. ඒත් මිනිස්සු මගේ ලඟට දූ….වගෙන එන්නෙ හිනාවෙවී. එතැනින් තේරෙනව ඒ අය බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල.’ එසේ නම් යුද්ධය ඉවර කලා හැර උතුරට කරපු දෙයක් නැතැයි කිව්වත් මහින්ද රාජපක්ෂත් වරින් වර උතුරට කෝටි ගණන් වටිනා දේ දී තිබේ !

ජාතික ගීය සිංහලෙන් හා දෙමලෙන් ගැයීමත් මේ ජනතාව සතුටු කරන්නට බලපා ඇති බව ජනාධිපතිවරයාගේ අදහසයි. එමෙන්ම තව නොකියන සැඟවුනු කාරණාද තිබෙන්නට පුලුවන. ඒකීය රටක් ලෙස අපට ඔලුව උස්සන්නට උදව් නොකලත්, බටහිර රටවල් මේ රජයට පෙන්වන ලීලය ගැන සිතු විට මේ කාරණා ගලපා ගත හැක.

ජාතික ගීය දෙමල භාෂාවෙන් කියූ විට ඒ ජනාවගේ ප්‍රශ්ණ විසඳෙනවා ද? එසේ නම් 1948 සිට ජාතික ගීය සිංහළෙන් කියන නිසා සිංහළ ජනතාවට කිසිම ප්‍රශ්ණයක් තිබීමට නොහැකිය.

අවසානයට ඔහු කීවේ යහපාලනය හා සංහිඳියාව යන වචන දෙක මත රටේ අනාගතය හා පැවැත්ම රැඳී ඇති බවයි. වචන නම් ඕනෑ තරම් කිව හැක. රටේ අනාගතය හා පැවැත්ම රඳා පවතින්නේ වචන මත නොව එම වචන ක්‍රියාවට නංවන ආකාරය මත බව මේ ඊනියා විප්ලවවාදීන් සිහියේ තබා ගත යුතුය. මන්ද ඔය දේශපාලකයින් කිහිප දෙනෙකු මාර්තු 12 ප්‍රකාශයට අත්සන් කල පමනින් මැති ඇමති ගොල්ල තම හැව අරීවි යයි සිතන්නට බැරිය. අනික අත්සනක් ගසන කෙනා අවංක යැයි අපට කිවහැකිද?

මේවා දේශපාලන සන්දර්ශන වේ. ඔය නිර්ණායක ක්‍රියාවට නැංවෙ?යි නම් අර ජනපති කියූ වචනද ක්‍රියාවට නංවන්නට අසීරු නොවේ. අන්න ඒ දෙය වෙයි නම් එය සැබෑ විප්ලවයක් වනු ඇත. මෙතෙක් ලද අත්දැකීම් අනුව එය සිහිනයකි ??

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress