ප්‍රභාකරන්ගේ බාප්පලා 2
Posted on March 21st, 2016

නලින් ද සිල්වා

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.
 
මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 
 
x 1949 න් පසු ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වූවා නොවේ ද ? දෙමළ ජනයාට ඉන් පසු නොයෙකුත් අසාධාරණකම් සිදු වූවා නොවේ ද ? ජාතික කොඩිය, රාජ්‍ය භාෂාව, ජනපදකරණය, ප‍්‍රමිතිකරණය ආදිය හරහා දෙමළ ජනයා දෙවැනි පන්තියේ පුරවැසියන් බවට පත් වූයේ නැද්ද ?
 
මේවා මවා පෑ අසාධාරණකම් බව දැන් සනාථ වී අවසානයි. මේ ඊනියා අසාධාරණකම් ගැන කපිල පීරිස් මහතා ”කාලය” සඟරාවේ තුන් වැනි වෙළුමේ කලාප කිහිපයක ලිපි පළ කර තිබෙනවා. එබැවින් ඒවා ගැන තව දුරටත් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. 
 
ඔබ අලූතෙන් සඳහන් කරන්නේ ජාතික කොඩිය පිළිබඳ ප‍්‍රශ්නයයි. දැන් තිබෙන ජාතික කොඩිය තෝරා ගත්තේ ඒ සඳහා පත් කරන ලද කමිටුවක් මගිනුයි. දෙමළ ජාතිවාදීන් කියන්නේ කොඩියේ සිංහයා සලකුණු කිරීම වැරදි ය කියායි. තවත් සමහර දෙනෙකු කියන්නේ තීරු එකතු කිරීම වැරදි ය කියායි. 
 
ජාතික කොඩියක ඒ රටේ ඉතිහාසය හා වර්තමානය නිරූපණය විය යුතුයි. ඉන්දියාව නිදහස ලබා ගැනීමෙන් පසු එහි සංකේතය ලෙස තෝරා ගත්තේ අශෝක කුළුණේ ලාංඡුනය යි. භාරත ඉතිහාසයේ පහළ වූ වැදගත් ම රජු හැටියට අශෝක රජු පිළිගැනෙනවා. බිරිතානියේ ජාතික කොඩිය යූනියන් ජැක්. ඉන් නිරූපණය වන්නේ විවිධ රදළවරුන් එකතු වී ඉතිහාසයේ බිරිතානි ජාතිකත්වය ගොඩනැගුණු ආකාරයයි. ඇමරිකා එක්සත් ජනපදයේ කොඩියේ තීරුවලින් මුල් ජනපද සංකේතවත් වෙනවා. අනෙක් ජනපද සංකේතවත් වන්නේ තරුවලින්. ඔවුන් තීරු ඉල්ලා සිටින්නේ නැහැ. 
 
ලංකාවේ වැසියන්ගෙන් 74% ක් සිංහල ලංකාවේ අඛණ්ඩ ලිඛිත ඉතිහාසය යනු සිංහලයන් ගේ ඉතිහාසයයි. එවැනි ඉතිහාසයක් හා වර්තමානයක් නිරූපණය කෙරෙන්නක් ලෙස සිංහ ලකුණ තෝරා ගැනීම ඉතා ම සාධාරණයි. මෙහි දී සිංහ ලකුණට විරුද්ධ වන්නේ නැවතත් සිංහලයන් බහුතරය ලෙස පිළිගැනීමට ඇති අකැමැත්ත හේතුවෙනුයි. දෙමළ ජාතිවාදීන්ට සැම දා මත් ප‍්‍රශ්නය වූයේ, සිංහලයන් බහුතරය වීම නිසා, තමන් ඉංගිරිසින් යටතේ භුක්ති විඳි වරප‍්‍රසාද හා බලය නැති වී යෑමයි. ජාතික කොඩියේ තීරු එකතු වීම මගින් දෙමළ හා මුස්ලිම් ජනතාව නියෝජනය වෙනවා. 
 
x සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වීම නිසා දෙමළ ජනයාට අසාධාරණයක් වී නැති බව ”කාලය” සඟරාවේ 1995 ඔක්තෝබර් කලාපයෙන් කියැවෙනවා. එහෙත් චෙල්වනායගම් මහතා ප‍්‍රමුඛ පිරිස සත්‍යග‍්‍රහයක් ඇරඹුයේ ඇයි ? එමෙන් ම බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අත්සන් කෙරීම මගින් බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම වැරදි බව පිළිගත්තා නොවේ ද ? 
 
ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයේ සත්‍යග‍්‍රහය සිංහලය රාජ්‍ය භාෂාව කෙරීමට එරෙහි ව ඇති කළ එකක් බව අපට කියනවා. එහෙත් එහි වූයේ එයට වඩා දුර දිග යන දෙයක් බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුමේ සඳහන් වන්නේ භාෂාව ගැන පමණක් නොවෙයි. ඉඩම් අධ්‍යාපනය ආදී දේ ගැනත් එහි සඳහන් වෙනවා. කෙටියෙන් කිවහොත් පෙඩරල් රාජ්‍යයක් ඇති කෙරීමේ දිශාවට බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම මගින් දෙමළ ජාතිවාදය ගමන් කර තිබෙනවා. 
 
බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමෙන් ඉතා හොඳින් ම පෙන්වන්නේ පවත්නා දේශපාලන තත්ත්වය තම අරමුණු ඉටු කරගැනීම සඳහා දෙමළ ජාතිවාදය විසින් යොදාගැනෙන්නේ කෙසේ ද යන්නයි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඉඩම් හා වෙනත් බලතල; භාෂා ප‍්‍රශ්නයට ඒවාහි ඇති සම්බන්ධයක් නැහැ. රාජ්‍ය භාෂා ප‍්‍රශ්නය පිළිබඳ සත්‍යග‍්‍රහයක් නැවැත්වීමට ඉඩම් ගැන කතා කළ යුත්තේ ඇයි ? 
 
බණ්ඩාරනායක මහතා ඉතා පැහැදිලි ව ම ගිවිසුමේ පූර්විකාවේ සඳහන් කරන කරුණු දෙකක් තිබෙනවා. එකක් සිංහල රාජ්‍ය භාෂා පනත වෙනස් කිරීම ගැන සාකච්ඡුා කෙරීමට වත් තමන් එකඟ නොවන බව. දෙවැන්න පෙඩරල් ක‍්‍රමයක් ගැනත් සාකච්ඡුා කෙරීමටවත් තමන් එකඟ නොවන බව. මෙයින් ඉතා පැහැදිලියි බණ්ඩාරනායක මහතා ගේ අදහස් මොනවා ද යන්න. අද ඇතැමුන් ඒ මහතා ගේ 1926 ප‍්‍රකාශයක් අල්ලාගෙන ඒ මහතා පෙඩරල් ක‍්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයකු ලෙස හුවා දැක්වීම කණගාටුවට කරුණක්. 
 
අනෙක් අතින් පූර්විකාවේ ම ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය කියා සිටියේ තමන් ගේ අරමුණු වෙනස් කර නො ගෙන සාකච්ඡුාවලට එකතු වුණු බවයි. ඔවුන් ගේ ප‍්‍රකාශිත අරමුණ වූයේ පෙඩරල් රාජ්‍යයක් ලබා ගැනීම; අප‍්‍රකාශිත අරමුණ වූයේ දෙමළ රාජ්‍යයක් දිනා ගැනීම; බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අත්සන් කෙළේ පෙඩරල් රාජ්‍යයක් දිනාගැනීමේ දිශාවට ගමන් කෙරීමට බව ඉතා පැහැදිලියි. 
 
x බණ්ඩාරනායක මහතා ගිවිසුම අවලංගු කෙරීම මගින් සිංහල ජාතිවාදයට යට වුණේ නැද්ද ? 
 
නැහැ, යට වීමට සිංහල ජාතිවාදයත් එදත් තිබුණේ නැහැ. ඒ ගිවිසුමේ රට සභා පිහිටුවීමක් ගැන තිබුණා. ඒ අනුව උතුරු පළාතට ගිවිසුමේ රට සභාවක්, නැගෙනහිර පළාතට රට සභා දෙකක් හෝ තුනක් ඇති කෙරීමට පුළුවන්කමක් තිබුණා. එමෙන් ම රට සභා දෙකකට හෝ වැඩි ගණනකට අවශ්‍ය නම් එක් වීමට ඉඩ තිබුණා. මහා සංඝයා වහන්සේ ප‍්‍රමුඛ සිංහල ජනතාව ඉඩම් හා වෙනත් බලතල රට සභාවලට පැවරීමටත්, රට සභාවලට එකතු වීමට ඉඩ හැරියා නම් උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය ආකාරයට එක් කෙරීමට ඉඩ ලැබෙන්න තිබුණා. අදත් දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය ඒ කරුණයි. උතුරු හා නැගෙනහිර එක් කර පෙඩරල් ලබාගැනීම ඔවුන් ගේ ප‍්‍රධාන ම ඉල්ලීමක්. එය 1957 දීත් තිබුණා. භික්ෂූන් වහන්සේලා ප‍්‍රමුඛ සිංහල ජනතාව බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධ විය යුතු ව තිබුණා. වරද එසේ නොකළා නම් පමණයි.   
 
කොහොමටත් බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අවලංගු කෙරුණේ චෙල්වනායගම් මහතා නිසා මයි. ගිවිසුම අත්සන් කෙරීමෙන් පසු ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය උතුරේ ශ‍්‍රී විරෝධී ව්‍යාපාරය ඇරඹුවා. ඔවුන්ට අවශ්‍ය වූයේ බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම මත පදනම් වෙමින් ඒ මගින් ලබා ගත් දේ ආරක්ෂා කරගනිමින් තව තවත් දේ ලබා ගැනීමයි. දෙමළ ජාතිවාදයේ උපක‍්‍රමය එයයි. එනම් පවත්නා දේශපාලන තත්ත්වය උපයෝගී කර ගනිමින් තමන් එතෙක් ලබාගෙන ඇති දැයින් ඔබ්බට යෑමට උත්සාහ කෙරීමයි. 
 
බණ්ඩාරනායක මහතා ඒ ගැටයට හසු වුණේ නැහැ. එපමණක් නොවෙයි. බණ්ඩාරනායක මහතා කියා හිටියා ශ‍්‍රී විරෝධී ව්‍යාපාරය ඇරඹීම මගින් ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අවලංගු කර ඇති බව, ගිවිසුම අවලංගු කෙරුවේ චෙල්වනායගම් මහතා බවට බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයක් කර තිබෙනවා. මහා සංඝයා වහන්සේ ගිවිසුමට විරුද්ධ වූවාට ගිවිසුම අවලංගු කෙරුණේ උන්වහන්සේලා ගේ විරුද්ධත්වය නිසා ම නොවෙයි. ගිවිසුම අවලංගු කෙරුවේ භික්ෂූන් වහන්සේලා නොවන බවත් එය සිදු කෙළේ චෙල්වනායගම් මහතා බවත් බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කර තිබෙනවා. 
 
x දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් නොකර එයට ඊනියා නිසි තැනක් දීම මගින් බණ්ඩාරනායක මහතා ප‍්‍රශ්නය අවුල් නොකෙළේ ද ?
 
මේ රටේ අවුරුදු දහස් ගණනාවක් තුළ රාජ්‍ය භාෂාව වූයේ සිංහලයි. කවුරු හරි උගතෙකු එදා රාජ්‍ය භාෂාව කියන සංකල්පය තිබුණේ නැති යැයි කියාවි. සංකල්පයක් තිබුණත් නැතත් රජයේ වැඩ කටයුතු කෙරුණේ සිංහල භාෂාවෙනුයි. යාපනයේ සිට දෙවුන්දර දක්වා රට පුරා ම විසිරී තිබෙන සෙල් ලිපිවලින් කියැවෙන්නේ ඒ කාරණයයි. පිටරැුටියන් සමග ගිවිසුම ඇතිකරගෙන තිබෙන්නේ පෘතුගීසි ආදී ඔවුන් ගේ බසින් හා සිංහලයෙනුයි. 1619 දී යාපනය රාජධානිය පෘතුගීසීන්ට යටත් වන විට අත්සන් කරන ලද ගිවිසුම පවා ඇත්තේ පෘතුගීසි භාෂාවෙන් හා සිංහල භාෂාවෙන්. 
 
එදා ද දෙමළ භාෂාවට නිසි තැන දී ඇති බවත් ඒ සමග පැහැදිලි ය. සෙල්ලිපිවලින් අති විශාල බහුතරය සිංහලයෙන් තිබීමෙනුත් අතරින් පතර දෙමළ සෙල් ලිපි කිහිපයක් තිබීමෙනුත් එය පැහැදිලි වෙනවා. දෙමළ වෙළෙන්දන්ට, ආගම්පඩි හමුදාවට ආදී වශයෙන් දෙමළෙන් සෙල් ලිපි තිබෙන්නේ ඒ නිසි තැන ඒ දිනවලත් දී තිබුණු බැවිනුයි. 
 
සිංහලයට රාජ්‍ය භාෂා තත්ත්වය නැති වූයේ අධිරාජ්‍යවාදී සමයේ දී යි. එබැවින් නිදහස ලැබීමෙන් පසු නැවතත් සිංහලය රජයේ බස බවට පත් කෙරීම මේ රටේ ඉතිහාසයට එකඟ වූ ක‍්‍රියාවක්. සිංහලයන් ගේ ඉල්ලීම වූයේ සිංහල භාෂාවට ඉතිහාසයේ හිමි විය යුතු ව තිබූ එහෙත් අධිරාජ්‍යවාදය නිසා අහිමි වූ රාජ්‍ය භාෂා තත්ත්වය ලබාගැනීමයි. එම ඉල්ලීමට විරුද්ධ වීම ඉතිහාස විරෝධීයි. 
 
බණ්ඩාරනායක මහතා ක‍්‍රියා කර ඇත්තේ ඉතිහාසයට එකඟ වයි. රජයේ වැඩ කටයුතු සිංහලෙන් කෙරීමට රාජ්‍ය භාෂා පනතත්, දෙමළ ජනයාට ආණ්ඩුව සමග ගණුදෙනු කෙරීමට අවශ්‍ය රෙගුලාසි සම්පාදනය කෙරීම සඳහා දෙමළ භාෂාවට නිසි තැන දෙන පනත සම්මත කරගෙන තිබෙනවා. 
 
x 1815 උඩරට ගිවිසුමේ සිංහල නායකයන් දෙමළෙන් අත්සන් කර තිබෙනවා නේද ? එමෙන් ම පැරණි පොත්වල දෙමළ, සංස්කෘත හා පාලි ආදී භාෂා නොදත් අය නූගතුන් ලෙස හඳුන්වා දී තිබෙනවා නේ ද ?
 
ඒ කරුණු හා සිංහලය රාජ්‍ය භාෂාව වීම අතර සම්බන්ධයක් නැහැ. උඩරට ගිවිසුම යනුවෙන් හඳුන්වන ගිවිසුමේ ඇතැම් සිංහල නායකයන් දෙමළෙන් අත්සන් කර ඇති බව ඇත්තයි. එකල රජ වූයේ වඩුග රජ කෙනෙකුයි. එමෙන් ම වඩුග ගෝත‍්‍රයට අයත් පිරිස බෙහෙවින් රජවාසල හා අවට වාසය කළා. අද මෙන් ම එදා ද අනුකාරකයන් සිංහලයන් අතර සිටියා. ඇතැම් අය දෙමළෙන් අත්සන් කෙරීම පුදුමයට කරුණක් නොවෙයි.
 
දෙමළ, සංස්කෘත හා පාලි භාෂා නොදත් අය නූගතුන් ලෙස ඇතැමුන් හඳුන්වා දී තිබෙනවා. එය ඒ අය ගේ මතයයි. අති මහත් සිංහල බහුතරය නූගතුන් ලෙස සැලකීමට එදත් ඇතැම් පණ්ඩිතයන් පුරුදු වී සිටියා. වෑත්තෑවේ හිමියන්, වීදාගම මෛත‍්‍රිය හිමියන් ආදීන් එවැනි උගතුන්ට පිළිතුරු දී තිබෙන බව පැහැදිලියි. 
 
 
නලින් ද සිල්වා
 
2016 මාර්තු 21
 

One Response to “ප්‍රභාකරන්ගේ බාප්පලා 2”

  1. Senevirath Says:

    නලින් ඔබ ඉරිදා දිවයිනට ලිවීමත් නැවැත්තුවා දැන් විදුසරට ලිවීමත් නවත් වන්න යනවා .පත්තර කාරයෝ කලින් කලට වෙස් පෙරළෙනවා තමය අනේ එඩ්මන්ඩ් රණසිංහ පටන් ගත ව්ශිෂ්ට පුවත් පත දිවයිනට ගිය කලක් . මේක නම් මරණ බයටම වෙච්ච දෙයක් වගෙය් . ප්‍රේමදාසටත් වඩා රනිල්ට මේ ය බය වෙන්නේ විශේෂ හේතු නිසා ම විය හාකිය් අපිට වඩා රනිල් ගැන දන්නේ පත්තර කාරයෝ නේ
    කොහොම වුනත් විදුසර නම් ආයෙත් කියවන්නේ නැහැ ඔබේ ”’ප්‍රවාද .. නැත නම් . පාඩුව රටටය් .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress