ජවිපෙ හැව ඇරිය යුතුය
Posted on March 25th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන පිටියම දැන් අවුල් ජාලයක් බවට පත්ව ඇත. රජයේ ප්‍රතිපත්තිය  සිදුවන සෑම දෙයටම , වරද පසුගිය රජය මත පැටවීමයි.  මේ න්‍යාය අනූව බලතොත්, මහින්ද රාජපක්ෂ රජයටද, තම වැරදි , චන්ද්‍රිකා කුමාරතුංග රජය පිට පැටවිය හැකිය. ඊලඟට චන්ද්‍රිකාට තම වැරදි පසුගිය 17 වසරේ එජාප රජය පිට පැටවිය හැකිය. මෙහි කෙලවර කොහිද?

මේ කලබැගෑනි තුල ජනතා විමුක්ති පෙරමුන අනුගමනය කරන ප්‍රතිපත්තිය මදක් විචිකිච්ඡා සහගතය. 2015 ජනවාරියේදී සිදුවූ දේශපාලන පෙරලියේදී , ඔවුහු පාර්ශවයක් ගත්තේ නැත. නමුත් තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුල හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ප්‍රහාර එල්ල කරමින් නොකියා කියුවේ මෙෙත්‍රීපාල සිරිසේනට තම චන්දය දෙන ලෙසය.

80දශකය අගභාගයේදී , තමන් මුහුණදුන් දරුණු ප්‍රහාරයට හා පසුබෑමට පසුව ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී මාවතට අවතීර්න වෙමින් 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අසුනක් දිනාගත්තේය. ඊලඟට ඔවුන් 2001 දී ශ්‍රීලනිපය සමග සන්ධාන ගතව තරඟ කලවිට බොහෝ දිස්ත්‍රික්ක වල මනාප ලැයිස්තුවල ඉහලම තැන් හිමි කරගනිමින් තම නියෝජිතයින් සැලකිය යුතු සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට යවන්නට සමත්වූහ. එතැනදී සම්ප්‍රදායික දේශපාලනඥයින්ට වඩා . මේ නව තරුණපෙල ගැන ජනතාව තැබූ විශ්වාසය පැහැදිලිවුනි. එමෙන්ම 2002 දී පැවැති පලාත් පාලන මැතිවරණයේදී ප්‍රථම වතාවට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ජයගන්නට තරම් හැකියාවක් හා ජනප්‍රියත්වයක් ඔවුන්ට ලැබුනි. පාර්ලිමේන්තු මැති ඇමතිවරු ලෙස අනිකුත් අය සමග සසඳත්දී ඔවුන් භාවිතා කල යාන වාහන, ඔවුන් ලද වැටුප් ආයෝජනය වූ ආකාරය සහ ඔවුන් විසින් කරන ලද සමහර ව්‍යාපෘතීන් කෙරෙහි ජනතාව අතර පැහැදීමක් ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබුනද, මේ වන විට 77 ආණ්ඩු පෙරලියෙන් පසු ඇතිව තිබූ විවිධ සමාජ ආර්ථික පෙරලි තුල යම් යම් ප්‍රශ්ණ වලට ඔවුන් ඉදිරිපත් කල විසඳුම් ජාතික මට්ටමේදී එතරම් ප්‍රායෝගික ලෙස දකින්නට ජනතාව අසතුටු වූ බව ප්‍රත්‍යක්ෂය.

සියල්ලටම වඩා මිනිසුන් ජවිපෙ රජයකට බිය වූහ. අන්න ඒ භයට හේතුව විෂ්ලේෂණය කර බැලීම අත්‍යවශ්‍යය.

1982 ජනාධිපතිවරණයේදී ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර තෙවන තැනට පත්වූයේ, එතෙක් තිබූ වමේ පක්ෂ පසෙකට තල්ලුකර දමමිනි. නමුත් මේ නව බලවේගයට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හිස ඔසවන්නට ජයවර්ධන රජය ඉඩ තැබුවේ නැත. තමන් විසින්ම නිර්මාණය කල 1983 ජුලි කලබල හා ම්ලේච්ඡ ඝාතන වල වගකීම ජවිපෙ මත පටවමින් එය තහනම් කරන්නට ඔවුහු පියවර ගත්හ. මේ ආතතීන් වරින් වර පුපුරා යාම ඇරඹුනේ, ජවිපෙ විසින් ශ්‍රී ලකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුලට තම මතවාදයන් ගෙන ඒමත් සමගය. එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය  සංගමයේ නායක දයා පතිරණගේ ඝාතනයත් සමගම සිසු පිරිස් අතර නොසන්සුන්තාව වර්ධනය වන්නට විය. මේ හා සමගාමීව රජයද නිදහස් අධ්‍යාපනයට හානිකර වූ නොයෙක් අණපනත් බලයට ගෙන ඒමත්, ඊට එරෙහි උද්ඝෝෂණ රැල්ලක් පැතිර යාමත්, එතුල විශ්ව වි්‍ද්‍යාල අධ්‍යාපනය කඩා කප්පල් වීමත් සිදු වූයේ එක විටමය.

1987 දී එජාප රජය, ඉන්දියානු රජය සමග එළඹුනු සාම ගිවිසුම සහ එහි කොටසක් ලෙස ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ස්ථාපිත කිරීමද, පලාත් සභා පිහිටුවීම සඳහා කටයුතු සකස් කිරීමද තුල ජවිපෙ විරෝධය පුපුරා ගොස් දකුණේ තවත් ගරිල්ලා යුද්ධයක ඇරඹුම සනිටුහන් කරන ලදී. එකල මම රුහුණ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වීමි. මා ජීවත් වූයේ මාතර නගරයේය. ඉතින් මේ සිද්ධීන් පිලිබඳව බොහෝ විඳවීම් හා අත්දැකීම් වලට ප්‍රායෝගිකවම මුහුණ දී ඇත්තෙමි. කෙසේ වුවද මේ පිලිබඳව කතා කල යුත්තේ පොදු දැක්මක් තුලිනි.

එකල බහුලව ජනතාව අතර භාවිතා වූ වචන අතරට ‘දේශ ද්‍රෝහියා ‘ ‘ගල්කටස් එක’ ‘ඇඳිරි නීතිය’ ‘ඝාතන ලැයිස්තුව’ ‘සන්නද්ධ බලකාය’ වැනි දේ එක් වූයේ නිරායාසයෙනි. මුලින් මුලින් එක දෙක වශයෙන් සිදු වූ මිනීමැරුම් පිලිබඳ වාර්තා දිනෙන් දින ඉහල ගියේය. මුලදී ශීලාචාර සමාජයට හිසරදයක්ව සිටි නොමිනිසුන් මෙසේ මරා දැමෙන විට සාමාන්‍ය ජනතාව පිටතට හෙලි නොකල රහසිගත සැනසීමක් ලැබූ බව අවංකව කිව යුතුය. ඊලඟට තාප්ප වල ඇලවුනු අනතුරු ඇඟවීම් නිවේදන ‘ගස් කපන්නන්ට දඬුවම මරණයයි’ ‘කසිප්පු පෙරන්නන්ට දඬුවම මරණයයි’ ආදී වශයෙන් දක්නට ලැබුන අතර, විශේෂයෙන් රජය සහ වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කිරීමද, ඊට ආධාර අනුබල දීමද මරණ වරෙන්තුව ලියවීමට හේතුවක් බවට පත් වන්නට විය. පොලිසියේ හෝ හමුදාවේ ද සමහර රජයේ රැකියාවන්හි නිරත වීමද මරණයට අත වැනීමක් විය. නිල නොවන ඇඳිරි නීතිය මගින් අත් පත්‍රිකාවකින් කල කෙටි දැනුම්  දීමකින් කඩ සාප්පු, බැංකු හා රජයේ ආයතන වසා දමන්නට යෙදුනි.රෑට විදුලි පහන් දැල්වීම තහනම් විය. ට්‍රාන්ස්ෆෝමර කඩා දමන ලදින් බොහෝ පෙදෙස්වල විදුලිය ඇනහිටි අතර ජල පොම්පාගාරවල කටයුතු අඩාල වීමෙන් නාගරික පෙදෙස්වල ජල සැපයුම්ද අඩාලවිය. පොදු ප්‍රවාහන සේවාවන්ට බාධා පැමිණවූ අතර ලංගම බස්රථ කඩා බිඳ පුලුස්සා දැමින. මෙසේ ජවිපෙ එනම් එකල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් ගෙන ගිය ව්‍යාපාරය තුල පොදු ජන ජීවිතය අඩාලව ගොස් මහත් දුක්ඛිත තත්වයකට ඇද වැටින.

මෙම මැරකම් හමුවේ රජය නිහඬට අතපය හකුලාගෙන සිටියේ නැත. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සමගාමීව නිල නොවන හමුදා කණ්ඩායම් රජය පාර්ශ්වයෙන් බිහිවිය. කලු කොටි, කලු බලල්ලු ආදී විවිධ නම් වලින්, සුදු වෑන් හෝ වෙනත් පාට වෑන් වලින් පැමිණෙන පිරිස් තරුණ ජීවිත බිලි ගත්තේ පොකුරු පිටින්ය. මේ වන විට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ඝාතන ලැයිස්තු අනුමත වන ක්‍රමවේදයද ගිලිහී යමින් පැවතුනි. ඒ අනුව කවුරුන් විසින්, කාගේ ජීවිතය බිලි ගනීවිද යන අවිනිශ්චිත භාවය ඉතිරි වූයේ මේ එකකටවත් නොගෑවුනු මහජනතාවටය. එක පසෙකින් බලෙන් පෙලපාලි ගෙනයති. ඊට සහභාගි නොවුනොත් මරණයයි. අනිත් පසින් පෙලපාලි යාමට දඬුවම මරණයයි. එදා තිබුනේ මෙවන් තත්වයකි. ලයිට් කණුවල ගැටගසා වෙඩිතබා ඇති මලකඳන්, ටයර් සෑය වල දැවෙන, ගංගාවල පාවෙන මලකඳන්, අප සුන්දර මව්බිම විසාලා මහනුවරක් බවට හැරවීය.

අද ජනතා විමුක්ති පෙරමුණ මේ අතීතය වල දමා ඇති සේය. වත්මන් ජවිපෙ දේශපානඥයන් කැල අද යම් තැනක සිටී නම්, ඔවුන්ව ඒ තැනට ගෙන ඒමට සිය පණනල කැපකල 60 000 ක් පමණ වූ පිරිස පිලිබඳව අමතක නොකල යුතුය. මෑතකදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවට පැමිනියේ උතුරේ යුද්ධයේදී ජීවිත අහිමි වූ  සිවිල් ජනතාව පිලිබඳ විමර්ශනයක් කිරීමේ වැඩ පිලිවෙලද තම න්‍යාය පත්‍රයේ තබාගෙනයි. ජවිපෙ ට ඍජු ප්‍රතිපත්තියක් තිබේ නම් ඔවුන්ට එදා 80 දශකය අග භාගයේදී මියගිය පිරිස විශේෂයෙන් ඉතා කෲර ලෙස මරා දැමූ තම පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර පිලිබඳව පරීක්ෂණයක් ඉල්ලීමේ හැකියාව තිබිනි. ඒ ගැන වචනයක්වත් නොකියන ඔවුහු මෙම මානව හිමිකම් පිලිබඳ ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයකටද විරුද්ධ වෙති. සිංහල වුවත්,දෙමළ වුවත් ජීවත් වීමේ අයිතිය කාටත් තිබේ. ජවිපෙ එය නොදන්නවා නොවේ. අද ප්‍රජාතන්ත්‍රවාදී මගක සිටින ඔවුන්ට එම ජීවත් වීමේ අයිතිය, ජන වර්ගය අනුව පමණක් නොව තමන් දරන දේශපාලන මතවාදය දක්වාත් පුලුල් විය යුතු බව වැටහී ඇතුවාට සැක නැත.

එදා භීෂණ සමයේදී සිදු වූ දේ ගැන ඔවුන් කට අරින්නේ නැත්තේ එහෙයිනි.

80 දශකයේදී ජවිපෙ සමග අත්වැල් බැඳගත් තරුණ කොටස් ඒ දරුණු ඝාතන සංස්කෘති රැල්ලට තල්ලු කලේ එවකට සිටි රජය බව සැබෑය.ඔවුන්ව මර්ධනය කරන්නට බිහිවූ වධකාගාර සමග ඈඳුනු දේශපාලන ප්‍රබලයින් අදටත් බලයේ ඉන්නා බව සැබෑය.  නමුත් එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් පිලියෙල කල ‘ඝාතන ලැයිස්තු’ සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පාලනය එහි ප්‍රබලයන් අතින් ගිලිහී ගිය පසුව, බිම් මට්ටමේ සිටි කොටස්ද තම හිතු මතයේ පටු ආකාරයේ පලි ගැනීම් සිදු කල හැටි ඕනෑ තරම් උදාහරණ දිය හැක. එමෙන්ම ජන ජීවිතයට බාධා කරමින් එදා ඔවුන් ගෙනගිය අත්තනෝමතික ක්‍රියා කලාපයේ පල විපාක වින්දේ ඔවුන් ද නියෝජනය කල පීඩිත පන්තියේ ජනතාවමය.

මගේ අදහසට අනුව මිනිසුන් අදද ජවිපෙ කෙරෙහි බියක් දක්වන්නේ එහෙයිනි. එදා තරහ කාරයෙකුගේ තුණ්ඩු කැබැල්ලකින් හෝ ගෝනි බිල්ලකුගේ හිස සෙලවීමකින් බිහිසුණු මරණයකට ඇද දැමුවන් මෙන්ම දේශප්‍රේමී ව්‍යාපාරයේ බිම් මට්ටමේ පුද්ගලයකුගේ පුද්ගලික මති මතාන්තර අනුව ඉතා සුලු වරදකට එනම් ඡන්ද ම්‍ධ්‍යස්ථානයක වාඩිවී සිටීම හෝ තම අයිතියක් වන ඡන්දය ප්‍රකාශ කිරීමේ වරදට තම ජීවිතය අත හරින්නට සිදුවූ පිරිස් ද ඇත.

එදා තමන් මුහුණ දුන් අත්දැකීම් තුල, තමන් අනුගමනය කල ක්‍රියාකලාපයේ අඩු ලුහුඬුකම් ඔවුන් විවෘතව පිලිගත යුතුය. ඔවුන් එදා රඟපෑවේ හරියට තමන්ට අවශ්‍ය දෙයක් ලබා ගන්නට ගෙදර බඩු මුට්ටු කඩා බිඳ දමන මැරෑටි ළමයකුගේ භූමිකාවයි. නමුත් යම් රිදවීමක් නොකර එදා සිටි ඒකාධිපති වියරු ආණ්ඩුවට දන්නන්නටද ක්‍රමයක් තිබුනේ නැත. වරද නම් පාලනයෙන් තොර අසංවිධිත ක්‍රමවේදයක් තුල වැඩිපුරම විඳවූයේ පොදු ජනතාව වීමයි.

ජවිජෙ තම අප්‍රේල් සහ ඉල් මස විරු සැමරුම් පවත්වන විට එහි වගකිව යුතු පිරිස පෙරට විත් එදා තම ව්‍යාපාරය තුල සිදුවූ වැරදි  නිහතමානීව පිලිගෙන ජනතාව වෙතින් සමාව ඉල්ලනවානම්, ඒ පිලිබඳ විවෘත විශ්ලේෂණයක යෙදෙනවා නම් ජනතාව මීට වඩා ඔවුන් පිලිබඳව සලකා බලනු ඇත. 

ඔවුන් එසේ නොකරන තාක් කල් එදා සුප්‍රසිද්ධ බටලන්ද සහ එලියකන්ද වැනිවද කඳවුරු පවත්වාගෙන ගිය වත්මන් අගමැති ඇතුලු දේශපාලන ප්‍රබලයින්ට සුදනන් සේ, මහින්ද රාජපක්ෂට පමනක් දොස් පවරමින් සුවසේ පසුවන්නට අවස්ථාව ලැබෙනු ඇත.

ඊලඟට ඔවුන් වරින් වර මේ ධනවාදී පක්ෂ සමග පවත්වන ගනුදෙනුද ප්‍රශ්ණ සහගතය. අද ඔවුන් එජාපය සමග එක පෙලට සිට ගනිද්දී අතීතයේ එජාප පක්ෂ ආසන බලමණ්ඩලයක සාමාජිකත්වය දැරූ බවට චෝදනා කොට මරා දැමූ පුද්ගලයකුගේ පවුලේ සාමාජිකයින්ට ඒ පිලිබඳව දෙන සාධාරණ හේතුව කුමක්ද? මේ දීග කෑම අතරතුර යම් ප්‍රශ්ණ උදෙසා ගිරිය පුම්බාගෙන කෑ ගැසීම සම්ප්‍රදායික දේශපාලන සංදර්ශනයකම කොටසක් ලෙස ජනතාව දකිනු අරුම නැත.

උනුත් එකයි, මුනුත් එකයි කියා ජනතාව දැන සිටියත් උන් සහ මුන් හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නැත්තේ, මේ ගොලුවත රැකීම තුල විකල්පය පිලිබඳව ඇති අපැහැදිලිතාවයි.

One Response to “ජවිපෙ හැව ඇරිය යුතුය”

  1. Christie Says:

    ජා වි පෙ යනු අනිත් සින්හලයේ සමාජවාදීන් (සමජවඩයන්) මෙන් ඉන්දියානු පරපෝසිතයන් හා ඉන්දියානු අදිරදයන්ගේ මොල කෑමෙන් හා මුදලින් පෝසිතවූවන්ය.
    වෙනස වූයේ මුන් සින්හලයින් මරාදැමීමත් සින්හල මුන් මරනයට පත්වීමත්ය.
    අදත් උන් කරන්නේ එයමය. හෙටත් එසේමද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress