ප්‍රභාකරන්ගේ බාප්පලා 3
Posted on March 27th, 2016

නලින් ද සිල්වා

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 

x              මහනුවර රජවරුන් වඩුග වීමෙන් පෙන්නුම් කරන්නේ ඒ රාජ්‍යය දෙමළ බව නොවේ ද?

නැහැ. වඩුග රජුන් ඉන්දියාවේ ආන්ද්‍ර ප‍්‍රදේශයේ සිට දකුණු ඉන්දියාවට පැමිණි පරම්පරාවකින් පැවත එන්නන්. ඔවුන්ගේ බස දෙමළ නොවෙයි. ඔවුන් කතා කර ඇත්තේ තෙළිඟු බසයි. කෙසේ වෙතත් ඔවුන් මදුරා පුරයේ දී දෙමළ කතා කරන්නටත් ඒ සංස්කෘතියට හුරු වීමටත් පුරුදු වී තිබෙනවා. මොවුන් ලංකාවට පැමිණි පසු බුදු සසුන රකින බවට පොරොන්දු වී රජකමට පත් වුණා. ඔවුන් සමහර විට නෑදෑයන් සමග දෙමළෙන් කතා කළත් රජයේ වැඩ කටයුතු කෙළේ සිංහලෙනුයි. ඔවුන්ට බෞද්ධයන් නොවී සිංහල සංස්කෘතිය නොපිළිගෙන මේ රටේ රජ වීමට බැහැ. මෙරටට පැමිණි පසු වඩුග අය සිංහල සංස්කෘතියට හුරු වූයේ ඔවුන් ආන්ද්‍ර ප‍්‍රදේශයෙන් මදුරා පුරයට පැමිණි පසු දෙමළ සංස්කෘතියට හුරු වූවාට වඩා නිල රාජකාරී මට්ටමකිනුයි.

                මහනුවර රාජ්‍ය සිංහල රාජ්‍යයක් මිස වඩුග රාජ්‍යයක් නොවෙයි. රාජ්‍යය කුමක් දැයි තීරණය වන්නේ සිංහාසනයේ සිටින පුද්ගලයා මත නොවෙයි. එංගලන්තයේ රජවරු ජර්මනියෙන් හා වෙනත් පළාත්වලින් පැමිණි අය. එහෙත් ඔවුන් ඉංගිරිසි රජවරුන් මිස ජර්මන් රජවරුන් වූයේ නැහැ. වඩුග රජවරුන් සිංහලයේ රජවරුන් බවට පත් වූවා මිස සිංහලයා වඩුග රජුන්ට යටත් වූයේ නැහැ. වඩුග රජවරුන් සිංහලයේ රජුන් බවට පත් වූයේ සිංහල සංස්කෘතිය හා ජීවන රටාව පිළිගැනීමෙන් පසුවයි.

x              කෙසේ වෙතත් බණ්ඩාරනායක මහතා බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අවලංගු කෙරීම මගින් ප‍්‍රශ්නය විසඳීමට තිබූ අවස්ථාවක් මග හැරියා නොවේ ද ?

මේ විසඳීමට තිබූ ප‍්‍රශ්නය කුමක් ද ? නැවත නැවතත් අසන්නට ඇති ප‍්‍රශ්නය නම් මේ විසඳීමට ඇති ප‍්‍රශ්නය කුමක් ද යන්නයි. දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණ මිථ්‍යා බව පෙන්වා දී ඇති බව මා කීවා. දෙමළ ජනයාට ඇතැයි කියන ප‍්‍රශ්නයක් උතුරට හා නැගෙනහිරට රට සභා දීමෙන් විසඳන්න බැහැ. එයට හේතුව දෙමළ ජනයා ගෙන් 50% කට ආසන්න ප‍්‍රමාණයක් ජීවත් වන්නේ උතුරේ හා නැගෙනහිරේ නොවන බැවින්.

මා කලින් කී අයුරින් ම දෙමළ ජනයාට තිබුණේ බි‍්‍රතාන්‍යයන් යටතේ තමන් ලත් වරප‍්‍රසාද හා බලය රැුකගැනීමේ ප‍්‍රශ්නයයි. එයට සිංහලයන් බහුතරයක් වීමත් රටේ ඉතිහාසයත් හරස් වුණා. ඔවුන් පසු ගිය සියවසේ අග සිට එක්දහස් නවසිය හතලිස් ගණන් දක්වා සිංහලයන් බහුතරය බව නොපිළිගනිමින් මධ්‍යයෙහි බලය ලබා ගැනීමට කටයුතු කළා. හතලිස් ගණන්වලින් පසු ව, විශේෂයෙන් ම 1949 දී තමිල් අරසු කච්චිය පිහිටුවීමෙන් පසු තමන්ට ලබාගත නොහැකි වූ මධ්‍යයෙහි බලය හීන කර එම බලය උතුරට හා නැගෙනහිරට ලබාගෙන වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට කටයුතු කෙරුවා. බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ඔවුන් ගේ එම අරමුණ ඉටු කරගැනීම සඳහා ගත් වැදගත් පියවරක් වූවා. එය ක‍්‍රියාත්මක වූවා නම් පෙඩරල් රාජ්‍යයක් ඇති වෙන්නේ මීට බොහෝ කලකට පෙරයි. ඒ ගිවිසුම පදනම් කරගනිමින් දෙමළ ජාතිවාදය ඉදිරියට පියවර කිහිපයක් ගෙන තම අරමුණ සාක්ෂාත් කරගන්නා දිශාවට යෑමට නියමිත ව තිබුණා. එබැවින් බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අවලංගු කෙරීමෙන් බණ්ඩාරනායක මහතා කර ඇත්තේ රටට යහපත් ක‍්‍රියාවක් එමගින් දෙමළ ජාතිවාදය තාවකාලික ව හෝ පරාජයක් ලැබුවා. ඔවුන් ගේ පෙඩරල් සටනත් ඊළාම් සටනත් එමගින් පසු බෑවා.

x              ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුමත් ඔබ දකින්නේ ඒ ආකාරයට ද ?                     

                බොහෝ දුරට ඒ අයුරින් මයි. දෙමළ ජාතිවාදය 1949 සිට ක‍්‍රියාත්මක වන්නේ සීමිත උපක‍්‍රමයක පිහිටායි. ඔවුන්ට දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අවශ්‍යයි. එයට හේතු මා කලින් පැහැදිලි කර ඇති. ඔවුන් ගේ අරමුණ දෙමළ රාජ්‍යයක්. බලය බෙදා හදාගැනීම යනුවෙන් ඔවුන් හතලිස් ගණන්වලට පෙර කීවේ තම ජන අනුපාතයට නොසරිලන ආකාරයකින්,සිංහලයන් බහුතරය බව නොපිළිගනිමින්, රටේ ඉතිහාසයට පිටුපාමින් මධ්‍යයෙහි බලය තමන් අතට ගැනීමයි. හතලිස් ගණන්වලින් පසු ඔවුන් බලය බෙදා හදා ගැනීම යනුවෙන් අදහස් කරන්නේ මධ්‍යයෙහි බලය හීන කර එම බලය උතුරට හා නැගෙනහිරට ගෙන පෙඩරල් රාජ්‍යයක් බිහි කර පසු ව ඊළමක් ඇති කෙරීමයි. දෙමළ ජාතිවාදීන් පවත්නා දේශපාලන තත්ත්වය උපයෝගී කරගෙන මෙම අරමුණ කරා ළඟාවීම සඳහා පියවර ගන්නවා. දෙමළ ජාතිවාදයෙහි මූලික උපක‍්‍රමය එයයි. බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම මගින් භාෂා ප‍්‍රශ්නය හරහා තම අරමුණට ළඟාවීමට ඔවුන් උත්සාහ කළා. ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුමේ දී සිදු වූයේ ආණ්ඩුවේ අස්ථාවරත්වය උපයෝගී කරගෙන තම අරමුණ කරා යෑමට ඩඞ්ලි සේනානායක මහතා කොන්දේසි කිහිපයකට එකඟ කරවාගැනීමයි. 

x              ආණ්ඩුවේ අස්ථාවරත්වය ප‍්‍රයෝජනයට ගැනීම යනු කුමක් ද ?

                1965 මැතිවරණයේ දී ඩඞ්ලි සේනානායක මහතාට ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ආසන සංඛ්‍යාවක් ලැබුණේ නැහැ. එබැවින් හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට චෙල්වනායගම් මහතා ගේ ද ආධාරය ඔහු පැතුවා. එතැන දී ආණ්ඩුවට සහයෝගය දීමට චෙල්වනායගම් මහතා කොන්දේසි ඉදිරිපත් කළා. ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුම මගින් තහවුරු කෙරුණේ මේ කොන්දේසියි. ඒ කොන්දේසි අතර දිස්ත‍්‍රික් සභා ඇති කෙරීම තිබුණා. ඒ වගේ ම ඉඩම් ප‍්‍රශ්නයක් තිබුණා. ඒ ඒ ප‍්‍රදේශයේ රජයේ ඉඩම්වල අයිතිය දිස්ත‍්‍රික් සභාවලට පැවරිමටත් උතුරු හා නැගෙනහිර පළාත්වල දිස්ත‍්‍රික් සභාවලට පැවරෙන ඒ ඉඩම් බෙදා දීමේ දී පළමු ව දිස්ත‍්‍රික්කයේ අයටත් දෙවනු ව පළාතේ වැසියන්ටත් තුන් වනු ව එම පළාත්වලින් පිට සිටින දෙමළ ජනයාටත් ප‍්‍රමුඛත්වය ලැබෙන සේ කටයුතු කළ යුතු බවට වගන්තියක් ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුමේ සඳහන් වෙනවා. ඉතා පැහැදිලි ව ම උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයා ගේ නිජභූමි යන සංකල්පය මත පදනම් වී ඒ වගන්තිය සකස් කර තිබෙනවා. ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුමත් උතුරු හා නැගෙනහිර පළාත්වල පෙඩරල් ප‍්‍රාන්තයක් ඇති කෙරීමට හා පසු ව ඊළමක් බිහි කෙරීමට ගත් පියවරක් වූ බව පැහැදිලි ය.

                ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුම මේ රටේ ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් නිරූපණය කරනවා. ආණ්ඩු පිහිටුවීමේ දී දෙමළ ජාතිවාදය තම කොන්දේසි ඉදිරිපත් කළ ප‍්‍රථම අවස්ථාව එයයි. ඒ කොන්දේසි ක‍්‍රියාත්මක නොවූ බැවින් එය සාර්ථක වූයේ නැහැ. එහෙත් ඉන් පසු ව, 1977 හා ඉන් පසු ව පැවැත්වූ මැතිවරණවල දී ඔවුන් ආණ්ඩු පිහිටුවීමට සහාය දීම මගින් ඔවුන් ගේ අරමුණට ළඟා වීම සඳහා පියවර රාශියක් ගෙන තිබෙනවා. වර්තමාන රට බෙදීමේ යෝජනාවලිය එහි ඉතා ම වැදගත් පියවරක්.

x              බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම මෙන් ම ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුම ද අසාර්ථක වූ නිසාත් පෙඩරල් පක්ෂයේ සාමකාමී විරෝධතා රාජ්‍ය හස්තය ලවා මර්දනය කළ නිසාත් දෙමළ තරුණයන් ආයුධ ගත්තා නේ ද ? 1977 න් පසු දෙමළ ජනතාව යම් යම් දේ දිනා ගත්තේ ඔවුන් ඒ වන විට සන්නද්ධ ව සිටි නිසා නොවේ ද ?

බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමත් ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුමත් අසාර්ථක වූයේ සිංහලයන් ගේ ඡුන්දවලට එකල වටිනාකමක් තිබූ නිසයි. ඒ ගිිවිසුම් දෙක ම මා කලින් කී ආකාරයට මධ්‍යයේ බලය හීන කර පළමු ව පෙඩරල් රාජ්‍යයක් හා පසු ව උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු වූ දෙමළ රාජ්‍යයක් බිහි කෙරීම සඳහා ගන්නා ලද පියවර. ඒ දෙක ම අසාර්ථක වූයේ රටේ බහුතරය සිංහල බව නොපිළිගන්නා දෙමළ ජාතිවාදයට සිංහල බහුතරය හමුවේ තම මතය පිළිගැන්වීමට නොහැකි වූ නිසා.

ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුමට ශ‍්‍රී. ල. නි. ප. පමණක් නොව සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ද විරුද්ධ වුණා. මේ රටේ සිංහලයන් බහුතරය බව නොපිළිගන්නා විසඳුම් ක‍්‍රියාත්මක කෙරීමට සිංහල බහුතරයේ කැමැත්ත ලබාගත නොහැකියි. ගිවිසුම් අසාර්ථක වූයේ එබැවිනුයි. කෙසේ වෙතත් ඒ ගිවිසුම් අසාර්ථක වීම නිසා ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය වෙන ම රාජ්‍යයක් පිහිටුවීම සඳහා ගෙන ගිය අරගලය අත්හැරියේ නැහැ. ඔවුන් මුල සිට ම දෙමළ තරුණයන් උසිගැන්වූවා. රටේ ඉතිහාසය නොපිළිගෙන විකෘති ඉතිහාසයක් මවා පාමින් තමන්ට එකල අයත් වූ දෙමළ රාජ්‍යය සිංහලයන් ගෙන් නිදහස් කරගත යුතු බවත් ඔවුන් කීවා. දෙමළ තරුණයන් ඇතිදැඩි වූයේ මේ විකෘති ඉතිහාසයෙන් පෝෂණය වෙමින්. එතරම් විශාල ප‍්‍රශ්නයක් තිබිය දීත් තම රට, එනම් තමිල් ඊළම්, නිදහස් කර ගැනීම සඳහා දෙමළ නායකයන් එතරම් යමක් නොකරන්නේ යැයි සිතූ දෙමළ තරුණයන් ආයුධ අතට ගත්තා. 

මතු සම්බන්ධයි

මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා

2016 මාර්තු 27

2 Responses to “ප්‍රභාකරන්ගේ බාප්පලා 3”

  1. Senevirath Says:

    වදුගයන් රජ කරවුයේද සිංහල සංස්කෘතිය පිළිගත් පසුවය ඉංග්‍රීසින් ලවාද ගිවිසුමේ 5 වගන්තියෙන් එසේම කරවන ලදී

  2. Senevirath Says:

    ශ්‍රී වික්‍රම මෙන්ම ඉන්ග්රීසින්ද පොරොන්දු කඩකර අ පට ද්‍රෝහී වුහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress