පෙරදිගට ගමනක් – 7 -ධර්මද්වීපයේ ගෙදර බුදුන්
Posted on March 28th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

අපි විමසමින් හිටියේ මේ රට බුද්ධභුමියක් වුනේ කොහොම ද කියන කාරණය. ඒ, අපේ ගෞතම බුදුහාමුදුරුවෝ මේ රටේ උපන්නා කියන අදහස මුල් කරගෙන නම් නෙවෙයි. මේ විමසීමට පදනම් වුනේ බුදුදහම පිළිගැනීමට සහ බුද්ධ ශාසනය පිහිටුවීමට බල පෑ සංස්කෘතික කාරණා. මෙයට පෙර ලිපි දෙකෙන් ම පෙන්වාදුන් විදිහට බුද්ධාගම ප්‍රධාන වශයෙන් ම මුල් ඇදගෙන තියෙන්නේ කහ මිනිස්සු – ඒ කියන්නේ, මොංගොලොයිඩ් මිනිස්සු; ඉන්න රටවල. ඒ මිනිස්සුන් ගේ බිමක් නො වී තිබිය දී පවා බුද්ධාගම පැළපදියම් වුනු එක ම බිම තමයි මේ රට. මේ කාරණය අවුරුද්දකට දෙකකට – එහෙම නැත්නම් අවුරුදු සීයකට දෙසීයකට සීමාවෙච්ච එකක් නෙවෙයි. අඩු ම ගණනේ අවුරුදු දෙදහස් දෙසියකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ බුද්ධාගම පැළපදියම් වෙලා තියෙනවා. මේ විදිහට මෙච්චර කාලයක් අඛණ්ඩ ව බුද්ධාගම සුරක්‍ෂිත කරගෙන, ඒ වෙනුවෙන් දිවිදෙන්න හදන ජාතියක් ලෝකයේ වෙන තැනක නෑ.

මෙන්න මේ සත්‍යයට පදනම් වුනු සංස්කෘතික කාරණා තමයි අපි විමසමින් හිටියේ. මෙයට පෙර ලිපිය අවසානයේ දී අපි කතා කළේ අම්මාට අපේ සංස්කෘතිය තුළ ලබා දී ඇති තැන ගැන. මේ කාරණය සංස්කෘතික ස්නායුවේදයේ හඳුනාගැනීම් එක්කත් සළකා බලන්න පුළුවන්. 2007 අවුරුද්දේ ස්නායුවේද විශේෂඥයෝ හතර දෙනකු එක්වෙලා කරපු පර්යේෂණයක දී තමන් සහ අනුන් ගැන හිතන විට අපේ මොළයේ ක්‍රියාකාරී වන ස්ථාන ගැන හොයලා බැලුවා. මේ පර්යේෂණයට යොදා ගත්තේ බටහිර අය සහ චීන ජාතිකයන්. සාමාන්‍යයෙන් අපි අප ගැන හිතන විට සහ පිටස්තර අය ගැන හිතන විට මොළයේ ස්ථාන දෙකක් තමයි ක්‍රියාකාරී වෙන්නේ. ඒ කාරණයේ දී බටහිර, චීන කියලා වෙනසක් නෑ. ඒත් මේ පර්යේෂකයෝ හරි අමුතු දෙයක් හොයාගත්තා. බටහිර අය අම්මා ගැන හිතන විට ක්‍රියාකාරි වෙන්නේ අර පිටස්තර අය ගැන හිතන විට ක්‍රියාකාරී වෙන තැනමයි. ඒත්, චීන ජාතිකයන් අම්මා ගැන හිතන කොට ක්‍රියාකාරී වෙන්නේ ඒ අය ගේ මොළයේ තමන් ගැන හිතන විට ක්‍රියාකරී වෙන ස්ථානය ම යි. ඒ කියන්නේ, බටහිර අයට අම්මා කියන්නේ අනුන් ගේ ගොඩට දාලා සළකන කෙනෙක්. චීන ජාතිකයන්ට අම්මා කියන්නේ තමන්ගෙන් වෙන්කරන්න බැරි කෙනෙක්.

මේ විදිහේ පර්යේෂණයක් අපේ අය සම්බන්ධයෙන් කරලා නෑ. ඒත් අපිට ඒ ගැන කිසියම් ආකාරයක උපකල්පනයක් කරන්න පුළුවන්. අපිට අපේ අම්මා කියන්නේ අපේ ජීවිතවලින් වෙන්කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.

බෝධිසත්වයාණන්වහන්සේ පස් මහ බැලුම් බලන අවස්ථාවේ දී මූලික සමාජ සංස්කෘතික කාරණා හතරට අමතර ව සළකා බැලූ අනෙක් එක ම කාරණය තමයි අම්මා. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේ ගේ පාරමිතා පිරීම් මෑණියන් ගේ ප්‍රාර්ථනයකින් – මගේ පුතා බුදුවේවා” කියන ප්‍රාර්ථනයෙන්; ආරම්භ වූ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්. බෝසත් චරිතය මව හා බැඳී තිබුණු ආකාරය අපේ අයට අමුතුවෙන් විස්තර කළ යුතු නෑ. ඒ කතා අපි කවුරුත් දන්නවා. මෙවැනි කතා බෞද්ධ සාහිත්‍යයෙන් අපේ සමාජයට ලැබෙනවාට අමතර ව අපේ සමාජය විසිනුත් බෞද්ධ සාහිත්‍යයට එක් කළා කියලා කියන්න පුළුවන්. මේ සඳහා ගෙන හැර දක්වන්න පුළුවන් හොඳ ම උදාහරණය තමයි වෙස්සන්තර ජාතක කාව්‍යය ය. තමන් ව ජූජක බමුණාට දන් දුන් පසු ජාලිය හා ක්‍රිෂ්ණජිනා දෙදෙනා ගේ මුවට නගා ඇති අදහස් ඉපැදී ඇත්තේ කොතැනින් ද? ඒ තරම් හැඟුම්බර ආකාරයට මවු ගුණය වැනූ වෙනත් තැනැක් බෞද්ධ සාහිත්‍යයෙන් හොයාගන්න බෑ. වෙසෙතුරු පිය රජුනි ඔබට බාරයි අපෙ අම්මා” කියා ඇරඹෙන ඒ මව්ගුණ ගායනය අපේ සමාජයේ මුල් බැස පවත්නා අදහසක් ඉතා තීව්‍ර විදිහට ප්‍රකාශ කළ අවස්ථාවක් බවට සැකයක් නෑ.

සැට දහසක් රජුන් මැදේ ඉපිද සො‍ඳේ                                         අම්මා

රට දහසක් වල බැලුවත් නුඹසේ                                            නුදුයිම්මා

කට දහසක් ඇතුව කීවත් නුඹෙ ගුණ නැත                              නිම්මා

වට දහසක් ගව් හිමසේ ගියදෝ අපෙ                                         අම්මා

 

දුක් විඳ දසමස උසුලා වැදු දැඩි අ‍පෙ                                             අම්මා

අඳුන් තෙලින් නිති සරසා ඇති කළ දැයි                                      අම්මා

රස පලවැල නෙලා දිදී රක්ෂා කළ                                                 අම්මා

සතර අපාවල නො ඉපිද නිවන් දකින්                                         අම්මා

අද පවා අපේ කවිය – ගීතය අම්මා පිළිබඳ සංකල්පනාවලින් පිරිලා – පෝෂණය වෙලා. අපේ බොහෝමයක් ගායක ගායිකාවෝ අම්මා ගැන ගීතයක් ගායනාකිරීම තමන් ගේ සංගීත ජීවිතයේ අනිවාර්යය අවශ්‍යතාවක් බවට පත් කරගෙන ඉන්නවා. ඒ, ඒ අයට මේ සමාජයේ සංස්කෘතික ආභාෂය තුළින් නිරායාශයෙන් ම ලැබී ඇති දෙයක්. පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී” කියන ආගන්තුක නිරීක්‍ෂණයේ පදනමත් ඒක. මේ නිරීක්‍ෂණය කරලා තියෙන්නෙත් කාන්තාවක් විසින්. ඒ විතරක් නෙවෙයි, අපේ අය පොතක් පළකරන කොට පවා බොහෝ විට ඒක පිරිනමන්නේ තමන් ගේ අම්මා ගේ නාමයට.

අම්මා මුල් කරගෙන නිපදවෙන කලා නිර්මාණයකින් ඒ උතුම් වූ චරිතය” ඉහළින් ඔසවා තබයි කියලා අපේ අය බලාපොරොත්තු වෙනවා. අශෝක හඳගම ගේ අක්‍ෂරය” චිත්‍රපටය සම්බන්ධයෙන් මේ රටේ මහා ගාලගෝට්ටියක් ඇතිවුනේ ඒ සංස්කෘතික අවශ්‍යතාවට පටහැනි දෙයක් ඒ චිත්‍රපටයෙන් සිදුවෙනවා කියලා මතයක් ඉදිරියට ආපු හින්දා. ඒක තමයි අපේ සමාජ පිළිවෙළේ – සංස්කෘතියේ; හැටි. ගෙදරින් පිටවෙලා, කසාදයක් කරගෙන, ළමයි ලොකු මහත්කරලා, උන් දීගදුන්නට පස්සෙත් අපිට අපේ අම්මාගෙන් ඈත්වෙන්න බෑ. අපේ ජීවිතේ මල් – අම්මා ඉන්න කල්” කියලා හුඟක් අය කියන්නේ ඒ හින්දා. කවුරු හරි වැරැද්දක් කළා ම බැනුම් අහන්නෙත් ඒ වැරැද්ද කරපු කෙනා ගේ අම්මා. අම්මා මතක්කරලා බනින එක තමයි මිනිහෙක්ට කරන්න පුළුවන් ලොකු ම අවමානය. මේ විදිහට හැම පැත්තකින් ම අම්මා අපේ ජීවිතවලට සම්බන්ධ වෙලා ඉන්නේ.

තව කාරණයක් තියෙනවා. අපි දන් දෙන්නේ මහා සංඝයාවහන්සේට විතරක් නෙවෙයි. අපි කිරි අම්මලාටත් දන්දෙනවා. ඇයි තාත්තලාට දන් දෙන්නේ නැත්තේ” කියලා කවුරුවත් අහන්නේ නෑ. ඒ විදිහට පිදුම් ලැබිය යුත්තේ කවුද කියලා තීරණය කරලා තියෙන්නේ අපේ සංස්කෘතිය විසින්. හැම කාන්තාවකට ම කිරි අම්මා කෙනෙක් වෙන්න බැරි බව ඇත්ත. අම්මලාට විතරයි කිරි අම්මලා වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියැවෙන්නේ නෑ මේ රටේ – මේ සංස්කෘතිය ඇතුළේ; අම්මලා නොවන කාන්තාවන්ට පිළිගැනීමක් නෑ කියලා. මේ සංස්කෘතිය ඇතුළේ පවුලකට දුවකු ලැබෙනවා කියන්නේ අභාග්‍යමත් සිදුවීමක් නෙවෙයි. බොහෝ දෙනා කියන විදිහට පවුලකට හා හා පුරා දුවකු ලැබීම ඒ පවුලේ වාසනාවක්. ඒ හින්දා ආර්ය” සංස්කෘතික ප්‍රවාහවලින් පෝෂණය වුනු සමාජවල වගේ මේ රටේ කාන්තාවන් ගේ හිඟයක් නෑ. අද මේ රටේ ජනගහනය බෙදිලා තියෙන්නේ පිරිමි සිය දෙනකුට කාන්තාවන් එකසිය හතක් කියන අනුපාතයට. මේක සංස්කෘතික පිළිගැනීමක් ඇතුළේ සිද්දවෙන දෙයක් කියලා අපි තේරුම්ගත යුතුයි. අපිට හාත්පසින් ම වෙනස් සංස්කෘතියක් තියෙන සවුදි අරාබිය වගේ රටක ගැහැණු – පිරිමි ජනගහන අනුපාතය තීරණය වෙලා තියෙන්නේ පිරිමි සිය දෙනකුට කාන්තාවන් අසූතුනක් කියන විදිහට.

අපේ අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය මේ රටේ මුල් ඇදගන්න මෙවැනි සංස්කෘතික කාරණා බලපෑවා කියලා හිතන්න බැරි ද? අශෝක අධිරාජ්‍යයා අයත් මෞර්ය වංශය බලයෙන් නෙරපා හැරලා බලයට ආපු සුංගා කියන බ්‍රාහ්මණ වංශයේ පාලන කාලය තුළ පවා බුද්ධ ශාසනයට වෙනුවෙන් කළ දන්දීම්, පිදීම් ගැන යම් යම් වාර්තා තියෙනවා. ඒත් අභිලේඛනවලින් පැහැදිළි වෙන විදිහට ඒ හැම පූජාවක් ම කරලා තියෙන්නේ ඒ රජවරුන් ගේ මෑණියන්වහන්සේලා, බිසෝවරුන් එහෙම නැති නම් දූවරුන් විසින්. මේ කාන්තාවන් මගධයේ, කෝසලයේ බෞද්ධ සම්ප්‍රදායයන් උරුම කරගත් අය ද? ඇත්තෙන් ම, අවසාන මෞර්ය අධිරාජ්‍යයා ඝාතනය කරලා බලයට ආපු පුෂ්‍යමිත්‍ර ගේ පරපුර මෞර්ය පාලනය තුළ බලවත් තනතුරු දරපු අය. ඔහු ගේ ගෝත්‍රය මොකක් ද කියන එක ගැන තියෙන අවුල විමසා බලන විට පවා පැහැදිළිවෙනවා ඔහු බ්‍රාහ්මණ හා මෞර්ය උරුමය බෙදා හදාගත් කෙනකු බව. මේ ගැන වැඩි විස්තර මෙතැනට අදාළ නෑ. කොහොම වුනත් අපි දන්නවා, විශාඛා මහ උපාසිකාවගෙන් ආරම්භ වෙන උපාසිකා දායකත්වය අදට පවා බුද්ධ ශාසනයේ චිරස්ථියට මහා පිටුවහලක් වෙලා තියෙනවා කියන කාරණය.

මේ රටේ සමාජ පිළිවෙල ඇතුළේ හැම දෙයක් ම මේ විදිහට වෙන්නේ නැති බව ඇත්ත. මේ දක්වා කියපු දේවල්වලට හාත්පසින් ම පටහැනි දේවලුත් මේ සමාජයේ සිද්ධවෙනවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතියට උරදෙන සිවුවනක් පිරිසෙන් භික්‍ෂුණි දායකත්වයට තිබුණු ඉඩකඩ දැන් බොහෝ දුරට අවහිර වෙලා. චීන ඉතිහාසයේ කියැවෙන විදිහට ඒ රටට භික්‍ෂුණි සම්ප්‍රදාය හඳුන්වා දීලා තියෙන්නේ ලංකාවෙන් වැඩම කළ භික්‍ෂුණින්වහන්සේලා දස නමක් විසින්. ක්‍රිස්තු වර්ෂ 433 දී සිදුවුන බව කියන තිසාරා මහා භික්‍ෂුණිය ප්‍රමුඛ ඒ භික්‍ෂුණින්වහන්සේ දස නම ගේ ගමන චීනයේ පිළිගැනෙන්නේ අපේ සංඝමිත්තාගමනයට සමාන සිදුවීමක් විදිහට. ඒත් අද අපේ රටේ භික්‍ෂුණි ශාසනය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නෑ. උනන්දු වෙන අය පවා භික්‍ෂුණි ශාසනය නැවත ඇතිකරන්න හදන්නේ පවතින සමාජ පිළිවෙලත් එක්ක ගැටෙන විදිහට.

ක්‍රිස්තු වර්ෂ 993 දී විතර සිදුවුන චෝල ආක්‍රමණයෙන් පස්සේ මේ රටේ භික්‍ෂුණි ශාසනයට සිදුවුනේ මොකක් ද කියලා හොයාගන්න අමාරුයි. චෝල ආක්‍රමණය කියන්නේ අපේ සංස්කෘතියේ හැඩරුව සෑහෙන පමණකින් වෙනස් කළ ඓතිහාසික කාරණයක්. එයට පෙර චෝල රටින්, පාණ්ඩ්‍ය දේශයෙන් පැමිණි ආක්‍රමණවලින් අපේ සමාජයට ඒ තරම් බලපෑමක් සිදුවුනේ නෑ. අපේ මහා සමාජ සංස්කෘතික සම්ප්‍රදාය අනුරාධපුර යුගයේ සිට (හෝ එයට පෙර සිට හෝ) ගලාගෙන එන මහා ගංගාවක් විදිහට සැළකුවොත් ඒ මහා සංස්කෘතික ධාරාවට එක් වූ පළමු බාහිර සංස්කෘතික සැඩ ප්‍රවාහය තමයි චෝල බලපෑම. ඒ බලපෑම නිසා අපිට අනුරාධපුර අගනුවර පවා අහිමිවුනා. අවුරුදු අසූවක් ඇතුළත අපි නැවත නිදහස දිනාගත්තත්, විජයබාහු සහ පරාක්‍රමබාහු වගේ මහා රජවරු බිහිවුනත් ඒ ආක්‍රමණය විසින් අපේ සංස්කෘතියේ රසයට කළ බලපෑම ආපහු හරවන්න පුළුවන් වුනේ නෑ. මේ ගැන පසුව කතාකරන්න පුළුවන්.

හයවැනි පැරකුම්බා රාජ යුගය වන විට යම් පමණකින් අපේ ම වූ සමාජ පිළිවෙලක් නැවතත් ඇති කරගන්න අපි උත්සාහකරමින් හිටියා. ඒත් ඒ උත්සාහයට වැඩි අවසරයක් ලැබුණේ නෑ. නැවතත් මහා ආගන්තුක සංස්කෘතික ප්‍රවාහයක් මේ රටට ගලා එන්න පටන්ගත්තා. ඒ, පෘතුගීසින් ගේ ආගමනයත් එක්ක. ඒ ගැන අපි කවුරුත් දන්නවා. අද අපි අප ව හඳුනාගත යුත්තේ මේ තුන්-මුහුන් සංස්කෘතික මිශ්‍රණය තුළ. අපිට ම ආවේනික වූ මහා සංස්කෘතික ප්‍රවාහයට තවත් ප්‍රබල සංස්කෘතික ධාරා දෙකක් එකතුවෙලා. ඊට අමතර ව මෑතක දී ඇති කරපු ඉන්දියාව කියන රටෙන්” ආනයනය කරපු – ඇත්තෙන් ම, තවමත් ආනයනය කරන; දිල්ලි සුල්තාන්, මූගල් ආභාෂය මත සැකැසී ඇති සංස්කෘතික පැළඳුම්වලිනුත් අපි සැරැසිලා. මේ සංස්කෘතික මිශ්‍රණය ගැන තවදුරටත් විස්තරාත්මක ව කතාකරන්න පුළුවන්.

මී ළඟ ලිපියෙන් ඒ ගැන යමක් කියන්නම්.

වරුණ චන්ද්‍රකීර්ති෴

One Response to “පෙරදිගට ගමනක් – 7 -ධර්මද්වීපයේ ගෙදර බුදුන්”

  1. Senevirath Says:

    චීන හා සිංහල සංස්කෘතීන්වල අම් මා ඉතා වැදගත් බටහිර සංස්ක්රුති ව ලට වඩා ඒ කියන්නේ හැම මිනිහම එකවගේ නොවෙය් හැදි යාව වෙනස් ”’. මිනිස් ජාතියේ ””’ වුනාටවැදගත් . නැති අයත් ඉන්නවා සිතුම් පැතුම් තමා වැදගත්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress