දේශපාලනය තුල සඟවන රටේ ආරක්ෂාව
Posted on April 2nd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

චාවාකච්චේරි ප්‍රදේශයෙන් පසුගිය දා හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සහ පැති බෝම්බ ආදිය පිලිබඳව මේ දිනවල රට තුල පැතිර පවත්නේ මහත් ආන්දෝලනයකි.

රජය පාර්ශ්වයෙන් මුලදී පැවසුවේ යම් බඩු මුට්ටු වගයක් හමුවූ බවත්, මෙය සාමාන්‍ය දෙයක් බවත්, මෙවැනි දේ පසුගිය කාලය පුරාම ඕනෑ තරම් හමුවී ඇති නිසා එමගින් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්ය.ඒ අගමැති රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න සහ ආරක්ෂක ලේකම් වරයා ඇතුලු පිරිසගෙන් සිද්ධිය වූ විගස පලවූ මතයයි. මේ පිලිබඳව ඒකාබද්ධ විපක්ෂයෙන් මීට ප්‍රතිවිරුද්ධ අදහස් පලවූ අතර ඉන් කියැවෙන්නේ ජාතික ආරක්ෂාව අනතුරේ බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ලිහිල් කර ඇති තත්වය සහ ඔහුගේ වෙඩි නොවදින රථය පවා අලුත්වැඩියා කර නොදෙන තත්වය මත මෙම සැක කිරීම් ද සාධාරණය.

ඊලඟට විපක්ෂ නායක සම්බන්ධන් සහ උතුරු පලාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් පවසන්නේ උතුරේ ජනතාවට දැන් මෙවැනි දේවල් කිරීමට වුවමනා නැති බවත්, මෙය දකුණේ සිටින ජාතිවාදීන් ඇටවූ උගුලක් බවත්ය. ඒ ජාතිවාදීන්ගේ අරමුණ වී ඇත්තේ උතුරේ හමුදා ඉවත් කිරීමේ වැඩ පිලිවෙල නවතාලීම බවත් ඔවුන්ගේ අදහසයි.

සියල්ලටම පසුව උතුරු පලාත් ආණ්ඩුකාර වරයා වන රෙජිනෝල්ඩ් කුරේ පවසන්නේ මෙය ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන ඉලක්ක කරගෙන තනන ලද්දක් බවය.

රජයේ ස්ථාවරය නම් මේ පිලිබඳ චෝදනාව මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස පිට පැටවීමය. 2008 මුද්‍රිත සිංහල පුවත්පතක පිටුවක මෙම ජැකට්ටුව ඔතා තිබීම තුල එය තහවුරුවන බව අගමැතිවරයා පවසයි. ඔහුට නම් මෙය හැමදාම මෙන්ම විහිලුවක් බවට පත්ව ඇති බව පෙනේ. දෙවන ලෝක යුද සමයේ වලදැමූ බෝම්බ තවම හමුවන බව පවසමින් ඔහුගේ සුපුරුදු විනෝද සමය පර්‍දර්ශනය කරයි.

කවුරු මොනවා කිව්වත් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ අදහස මෙය සුලුවෙන් තැකිය යුතු දෙයක් නොවන බවය. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ නිවසක තිබීය. නිවසේ ගෘහ මූලිකයා පලා ගියේය. මේ දිනවලම අර ආරක්ෂක ලේකම්වරයා පැවසුවාක් මෙන්ම මන්නාරම ප්‍රදේශයේ වලලා තිබූ තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද ගොඩගෙන ඇත. නමුත් ඒවා ගොඩ ගත්තේ පරීක්ෂණ වල නිරත වූ ආරක්ෂක අංශ විසිනි.

ප්‍රශ්ණය නම් මේ කතාබහට ලක්ව ඇති බෝම්බ ජැකට් එක සහ අනිකුත් ‘බඩු මුට්ටු’ ආදිය ගොඩගෙන ඇත්තේ සිවිල් පුද්ගලයෙකු වීමය. ඔහු පුනරුත්ථාපනය නොවූ එල්ටීටීඊ සාමාජිකයෙකු බව මුලදී කියවුනත් මේ පිලිබඳ තොරතුරු විස්තර කිරීමෙන් වැලකී සිටින තත්වයක් පෙනෙන්නට තිබේ. මෙම වසන් කිරීම කුමන අරමුණකින් සිදුවන්නේදැයි දන්නේ ඔය ආරක්ෂක ලේකම්වරයා සහ රජයේ මැති ඇමතිවරුන්ගේ හෘද සාක්ෂිය ( එහෙම එකක් තිබෙනවානම් ) පමණි.

මේ තත්වය තුල රෙජිනෝල්ඩ් කුරේගේ සැකයද ඉවත ලන්නට නොහැකිය. 1993 දී එවකට සිටි ජනාධිපති ආර්. ප්‍රේමදාස එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය විට එවකට සිටි අගමැති නිතැතින්ම ජනාධිපති බවට පත්විය. එදා ජනතාවගේ මොකක්දෝ පිනකට ඩී. බී. විජේතුංග යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකු වූයේය. ඔහුට බල තණ්හාවක් නොතිබුන අතර, වාසනාවට පාර්ලිමේන්තුව හා පලාත් සභා විසිරුවාලීමේ කාලය ද ඉතා ලංව තිබිනි. එබැවින් ඒ කෙටි කාලය තුල සාමකාමී අහිංසක පුද්ගලකු වූ විජේතුංග මහතාට ජනාධිපති බලතල පාවිච්චිය පිලිබඳව බලපෑම් කරන්නට කිසිවෙකුට ඉඩක් ලැබුනේ නැති නිසා එවකට තිබූ එජාප රජයේ කාලය අවසන් වීමට කරුණු යෙදුනි.

නමුත් අදද, 1993 මැයි මස 1 දා සිදුවූ දෙයම යම් යෙහෙකින් සිදු වුවොත් රටට අත්වන ඉරණම සිතාගන්නටවත් නොහැක. අද වන විට දේශපාලන පිටියම 1994 දී තිබුනාට වඩා තවත් දහස් ගුණයකින් ජරාජීර්ණ වී ගොසිනි. ඊට හොඳම උදාහරණය නම් 2015 ජනවාරියේ සිදුවුනායැයි කියන ‘විප්ලවයත් ‘ එහි අතුරු ඵලයක් ලෙස 2015 අගෝස්තුවේදී ජනාධිපති සහ ශ්‍රීලනිප මහ ලේකම් ඇතුලු පිරිස එජාපය දිනවන්නට, සතුටුකරන්නට ක්‍රියා කල අන්දමත්ය. ඒ අනුව දැන් රට තුල මතුවී ඇති අවුල් ජාලාවකි. මේ ක්‍රියාදාමය තුල මෙෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එජාපයේ අතකොලුවක් වී ඇති අයුරු පැහැදිලිය.

ඉතින් බැරි වෙලාවත් එවන් අභාග්‍ය සම්පන්න සිදුවීමක් සිදු වුවොත්, රනිල් වික්‍රමසිංහ ඉබේම ජනාධිපති පදවියට තල්ලු වී යනු ඇත. ඔහු අගමැතිව සිටි 2001-2004 කාලය තුල සිදුවූ දේ දෙස නැවත හැරී බැලූවිට, හමුදා බුද්ධි අංශ පාවා දීම, එල්ටීටීඊ සංවිධානය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම, යලි පිබිදෙමු ශ්‍රී ලංකා වැනි පරිණත භාවයෙන් තොර ක්‍රියා මාර්ග තුලින් රටට අත්වන්නට ගිය ඉරණම සිහියට නැගෙනු වැලැක්විය නොහැක.

රනිල් ගේ මාමා වූ ජේ ආර් ට කුමරුවකු සහ ඒ කුමරුගේ පුත් කුමරුවන් සිටියද, අද සිටින දේශපාලකයින් බහුතරයකගේ දරුවන්ට මෙන් ඔවුන්ට එම ඔටුන්න හිමි කර ගැනීමේ ව්‍යාධියක් නොතිබිනි. එබැවින් තමන්ගෙන් එහාට සිතීමේ වුවමනාවක් ජේ ආර් ට නොතිබුනා විය හැක. මේ රනිල්ට නම් එහෙමවත් තමා නැති කලෙක රටට අත්වන ඉරණම ගැන කරදර වීමට වුවමනාවක් නැත. ඔහුගේ වටේ සිටින පිරිස වැඩ කරන්නේත් හරියට ‘ කාගෙ අම්ම කවුරු ගත්තත් මොකද පල්ලියෙ මහත්තයගෙ පතා පහ හම්බ වෙනව නම් ‘ යන න්‍යාය ඔස්සේ මෙනි.

රජය මේ පැත්තෙන් තම මතය මෙසේ කියාපාන විට, එම කතාවටම මුක්කු ගසමින් යන යන කුණු බේරුවල් බොක්කටයැයි කියන්නාක් මෙන් මෙම ආයුධ පිලිබඳ වගකීමත් දකුණේ මහින්දවාදීන්ටම පටවා ‘ තම මිනිසුන්’ නිදහස් කරගැනීමට උතුරේ ද්‍රවිඪ මන්ත්‍රීවරුන්හට ඒ ඔස්සේම පොටක් පෑදී ඇත.

මේ සියලු කරුණු සලකා බැලූ විට සිවිල් වැසියෙකු ලඟ තිබී පුපුරණ ද්‍රව්‍ය හමුවීම, එම කරුණ මෙසේ ලඝුකොට සලකමින් කල ආරක්ෂක ලේකම් වරයා, අගමැති සහ රජයේ වගකිවයුතු මැති ඇමතිවරුන්ගේ කතාවන් ආදිය සලකා බලන කල්හි, උතුරු පලාත් ආණ්ඩුකාරවරයාගේ චෝදනාවේ ඇඟිල්ල ඔවුන් වෙතටම දිගු වීමටත් ඉඩ තිබේ. එමෙන්ම මීට සති කිහිපයකට උඩදී අනුරාධපුර ප්‍රදේශයේදී මෝටර් රථයක ගෙන යමින් තිබුනු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අල්ලාගත් කතාවක්ද පුවත්පත්වල පලවී තිබෙනු දුටිමි. මෙම පුවත ඉක්මනින් මැකී ගිය අතර, වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වූයේද නැත. මෙවන් පුවත් සැඟවීම සිදුවුනේ තොරතුරු දැනගැනීමේ පනතේ වගන්ති වලට අනුකූලවදැයි සැකයක් අප වැනි සාමාන්‍ය ජනයාගේ සිතෙහි මතුවීම වැලකිය හැකිද?

අද වන විට සියලුම පාර්ශ්වයන් අමු කැවුනා සේ එකිනෙකාට චෝදනා කර ගනිති. මේ පිලිබඳව ආරක්ෂක අංශයන්හි මතය නොවැදගත් තැනකට වැටී ඇති බව පෙනේ. නමුත් මෙවන් දෑ සම්බන්ධව වඩාත් ප්‍රවීනයෝ ඔවුහුය. බොරුවට බෝම්බ ජැකට් අල්ලා දී උතුරේම පැලපදියම් වී සිටීමට ඔවුන්ට ආශාවක් තිබෙනවා යැයි සිතිය නොහැකිය. යමක් සිදු වුනොත් පළමුවෙන්ම අවදානමට වැටෙන්නේ ඔවුන්ගේ ජීවිතයි.

තමා ජනාධිපති වීමෙන් පසුව, 2008 දී තමා ඉලක්ක කරගෙන බොරලැස්ගමුවේදී පිපුරූ බෝම්බය පිලිබඳ සිද්ධියේ වරදකරු වූ තරුණයා නිදහස් කිරීමට මෙෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කලේ නමේ අර්ථයටම සරිලන පරිදි මෙෙත්‍රීය පෙරදැරි කරගෙන විය යුතුය. සරත් ෆොන්සේකා ඇමති තනතුරට පත්වූ පසුව තමා ද ජනාධිපති ගිය මග යමින් තමන් මරන්නට බෝම්බකාරිය එවන්නට කටයුතු කල පුද්ගලයා නිදහස් කිරීමට කැමති බව ඔහු පැවසීය.

මේ මිනිසුන් අත්අඩංගුවට ගන්නට හමුදා, පොලිස් බුද්ධි අංශයන් කෙතරම් වෙහෙසෙන්නට ඇත්ද? ඊලඟට ඔවුන් මෙසේ මෙෙත්‍රීය, කරුණාව පතුරවන්නේ තමන් මිය නොගිය නිසාය. මේ බෝම්බ පිපිරීම් වලදී මියගිය පිරිසක්ද ඇත. ජනාධිපතිලා අගමැතිලා නොවුනත් ඒ මියගිය මිනිසුන්ගේ ජීවිතයේ, හුස්ම පොදේ වටිනාකම මිනිසත්කමේ මිම්මෙන් එක හා සමානය. මේ අපරාධවලට වගකිව යුතු උන් නිදහස් කරන විට නිදහස් කරනවිට මේ සිද්ධීන් වලින් මියගිය වුන්ගේ ජීවිත වලට තැබෙන අඩු ලංසුව තබා, එසේ මිනිසුන් මිය ගියාද කියාවත් ඔවුන්ට මතක් වූවාද යන්න සැක සහිතය. ඒ තබා, මේ වන විට, පසුගිය වසර 30 ක යුද සමයේ ඊට ගොදුරු වී වැනසුනු අසරණ මිනිසුන් පිලිබඳ යන්තමින් හෝ හැඟීමක් වත්මන් රජයේ වගකිවයුත්තන්ට තිබේ නම් මේ තරම් නරුම ආකාරයට රාජපක්ෂ රජයට ගරහන්නේ නැත. ඒ ගැරහීම තුල පැහැදිලිව පිලිබිඹු වන්නේ රට දෙකඩ කරදීමේ වුවමනාවය.

වරක් උතුරේදී විදේශ ඇමති මංගල සමරවීර සහ ආරක්ෂක ලේකම්වරයා, යුද ජයග්‍රහණයේ බල කණුවක් වූ මේජර් ජෙනරල් චාගි ගාල්ලගේට සැලකූ ආකාරයෙන්ම මෙය හොඳටම පැහැදිලිය.

එබැවින් අද මේ රජය, ඊනියා ජාත්‍යන්තරය සතුටු කිරීම තම ප්‍රධාන අරමුණ කරගෙන යන ගමන දෙස බලා සිටිනු විනා ජනතාවට කල හැකි දෙයක් නැත්තේ, මැතිවරණ බලහත්කාරයෙන් කල් දැමීමේ එජාප පරණ පුරුද්ද ද යලි මතුව ඇති හෙයිනි.

ඉතින අප කල යුතු වන්නේ කුමක්ද? වරක් ජේ ආර් ම පැවසූ පරිදි තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගැනීමයි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress