පළමුව මව්බිම – දෙවනුව ඉගෙනුමයැ’යි කියූ ‘රතු ගැටව්’ගේ ශෝකාන්තය
Posted on April 3rd, 2016

ධර්මන් වික්‍රමරත්න

එජාප ආණ්ඩුව 1977 ජුලි පත්වීමෙන් පසුව බුද්ධිමතුන්ට, වැඩකරන ජනතාවට, සරසවි සිසුන්ට, සිවිල් සමාජයට සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදිව ස්වකීය අයිතීන් දිනා ගැනීමට සහ ඒවා ආරක්ෂාකර ගැනීමට සඳහා අරගල කිරීමට තිබූ අයිතීන් මර්ධනකාරීව පැහැරගනු ලැබීය. එජාප ආණ්ඩුව තම ක්‍රියාකාරිත්වයට එරෙහිව නැගුණු සෑම ජනතා අරගලයක්ම මර්ධනය කලා පමණක් නොව ස්වකීය බලය සදාකාලිකව පවත්වා ගැනීම සඳහා ක්‍රම සහ විධි ක්‍රියාවට නගනු ලැබීය. මහා මැතිවරණයකින් ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ අවස්ථාද අහිමි කළේය. මෙහිදී වෘත්තීය සමිති ව්‍යාපාරය පසුබෑමකට ලක්වූවද අධ්‍යාපන කප්පාදුවට සහ ශිෂ්‍ය මර්ධනයට එරෙහිව සිසුහු නොබියව සටන් වැදුනාහ. සරසවි සිසුන් එහි ගාමක බලවේගය වූ අතර පාසල් සිසුන් එහි සටන් සගයන් බවට පත් විය.

ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) සමාජවාදී ශිෂ්‍ය සංගමයට අමතරව ශිෂ්‍ය සටන්කාමීන් ග්‍රහණය කරගැනීම සඳහා රතු ගැටව් සංවිධානය ආරම්භ කරන ලද්දේ 1980 දෙසැම්බර් 31 සහ 1981 ජනවාරි 1වැනිදා යන දිනයන්හි පැවති සමුළුවකදීය. රතු ගැටව් සංවිධානයේ ලේකම්වරයා වාස් තිලකරත්න වූ අතර නියෝජ්‍ය ලේකම්වරයා වූයේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1981 ප්‍රධාන ලේකම්වරයාද වූ ශාන්ත බණ්ඩාරය. සමාජවාදි ශිෂ්‍ය සංගමය 60 දශකය අවසාන භාගයේදී ආරම්භ කලද එහි ප්‍රථම මංගල මහා සමුළුව පැවතියේද 1981 පෙබරවාරි 25 සහ 26 යන දිනයන්හි කොළඹ නගරශාලාවේදීය. ජවිපෙ  1983 ජුලි තහනමින් පසු රතු ගැටව් සංවිධානය වාෂ්පවූ අතර එය යළිත් කරලියට ආවේ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය ලෙසින් 1986 ජුනි 20වැනිදා පිහිටුවීමත් සමඟය. දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ නිල නායකයා ආනන්ද ඉඩමෙගමවූ අතර අදිසි නායකයා වූයේ කැළණි සරසවියේ උපාධිධාරියෙකුවූ රංජිත් වීරවංශය. එහි නාමික නායකයින් වූයේ සභාපතිවූ ජයවර්ධනපුර සරසවියේ රනිල්(රෝයල්) කාරියප්පෙරුම  අතුකෝරාලගේ සහ ලේකම්වූ ‍කැළණි සරසවියේ තාරපේරියේ රතනජෝතිය. වර්තමානයේ රනිල් ගම්පහ නීතිඥයෙකුවන අතර  රත්නජෝති හිමි උපැවිදිවී සිරිවර්ධන නමින් බ්‍රිතාන්‍යයේ ජීවත්වන දෙදරු පියෙකි.

Dharman03041602Aජවිපෙ රතු ගැටව් සංවිධානය 1980 දෙසැම්බර් 31 සහ 1981 ජනවාරි 1 පිහිටුවා ගැනීමේදී එහි නියෝජ්‍ය ලේකම්වරයාවූ ශාන්ත බණ්ඩාර, 1988 ජුනි 14 ආරම්භවූ ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පුරෝගාමී සමාරම්භකයින් 12 අතරවූ ජවිපෙ මධ්‍යම කාරක සභිකයින්වූ උපාලි ජයවීර සහ ආනන්ද ඉඩමෙගම, දේශපාලන මණ්ඩල සභික ලලිත් විජේරත්න, පේරාදෙණිය ඉංජිනේරු සිසු රත්නපුරේ එස්.එම්. නිෂ්මි, අන්තරේ කැඳවුම්කරුවූ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු මාරවිල වෙනුර එදිරිසිංහ, කැලණි සරසවි මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ 1983/84 කණ්ඩායමේ කුරුණෑගල හුණුපොල ගාමිණී නවරත්න සහ ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ 1985/86 සභාපති ලෙස කටයුතු කල ව්‍යාහාරික විද්‍යා පීඨයේ 1982/83 කණ්ඩායමේ සිසු කන්තලේ සුනිල් ජයරත්න(ඉහළ වමේ සිට).

2වැනි කැරැල්ල ව්‍යාප්ත වනවිට සමස්ථ කැරැල්ලේ දිශානතිය වෙනස්වන විට දේ‍ශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය මගින් උද්ඝෝෂණ මෙහෙයවීම වඩාත් පුළුල් පදනමකින් පවත්වා‍ ගැනීමට සහ පොදුවේ සිසුන් වැඩි පිරිසකට එකඟවිය හැකිවන පරිදි ජවිපෙ දේශපාලන මණ්ඩලයේ තීරණයක් අනුව දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය අහෝසිකර ඒ වෙනුවට ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය 1988 ජුනි 14වැනිදා පිහිටුවන ලදී. ‘පළමුව මව්බිම – දෙවනුව ඉගෙනුම’ යන සටන් තේමාව යටතේ දේශප්‍රේමි අරගලයේ ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා කේඩර්වරුන් පුහුණු කිරීම ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයේ අරමුණ විය. ඒ අනුව අන්තර් කාර්මික විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් පිරිවෙන් ශිෂ්‍ය බල මණ්ඩලය, සමාජවාදී ශිෂ්‍ය සංගමය යටතේ සියළුම පාසැල්වල ක්‍රියාත්මකවූ ද්විතීක අංශයේ ශිෂ්‍ය කමිටු එක්කර ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී. පුළුල් අන්දමින් සිසු අරගල මෙහෙයවීම සඳහා බහුතර සිසුන්ට එකඟවිය හැකිවන ලෙසට ජාතික ශිෂ්‍ය මධස්ථානයේ ව්‍යූහය සකස් කර තිබිණි. එතෙක් දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරය මගින් 1986 ජුනි සිට මෙහෙයවූ සියළු උද්ඝෝෂණ මෙහෙයවීමේ බලයද එයට පැවරිණි.

Dharman03041603Aශිෂ්‍ය ප්‍රජාවගේ අරගලයට කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ආශිර්වාදය පුදකරමින් සිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කල ක්‍රිස්පීන් ලියෝ පියතුමා, ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රා‍දේශීය නායකයින්වූ කොළඹ සරසවියේ උපාධිධාරි කොබෙයිගනේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරු පූජ්‍ය රුක්අත්තනේ ගුණරත්න හිමි(කොබෙයිගනේ විහාරස්ථානයේදී 1989 දෙසැම්බර් 11දා පැහැරගෙන යෑමෙන් පසු ඝාතනයට ලක්විය), කෝට්ටේගොඩ හුන්නදෙනියේදී 1967 පෙබරවාරි උපන් ගාල්ලේ මහින්ද විදුහලේ ආදි ශිෂ්‍ය මොරටුව සරසවියේ ඉංජිනේරු සිසු එස්.එච්.පී. වසන්ත ද සිල්වා(1989 සැප්තැම්බර් 7 මාතලේ නාඋලදී පැහැරගෙන යාමෙන් පසු ඝාතනය විය), නාත්තණ්ඩිය බෝතලේගම පදිංචි පේරාදෙණිය ‍වෛද්‍ය සිසු චම්පා සෝමරත්න නොහොත් මයුරි(වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරියකි), පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ භාණ්ඩාගාරික සහ විද්‍යා පීඨයේ සිසු නුවර අංකුඹුර පදිංචි යූ.එච්. කිංස්ලි ජයන්ත(කඩුගන්නාවේදී 1990 පෙබරවාරි 15වැනිදා පැහැරගැනිමෙන් පසු ඝාතනයට ලක්විය), පේරාදෙණිය ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසු මුල්කිරිගල උපන් නුවර මුල්ගම්පොල සේනක වනිගසේකර(කලින් පැවිදි නම මුල්කිරිගල ධර්මරතන හිමිවන අතර 1990 ජනවාරි මස අවිස්සාවේල්ලේදී පැහැරගෙන යාමෙන් පසු ඝාතනයට ලක්විය), ජාඇල ගුරුවරයෙකුවූ නිව්ටන් ජයලත් ප්‍රනාන්දු නොහොත් අයිවන්ද, වර්තමානයේ ජවිපෙ ඉතාලි මිලානෝ කමිටුවේ නායකයා වශයෙන් නිව්ටන් 2012 ජවිපෙ සමුළුව කොළඹදී ඇමතූ අවස්ථාව(ඉහළ වමේ සිට).

ලාංකීය අධ්‍යාපන ක්‍රමය  ප්‍රාථමික(1 සිට 5 වසර), කනිෂ්ඨ(6 සිට 9වසර), ජේෂ්ඨ(10 සිට 13වසර) සහ උසස් අධ්‍යාපන ආයතන වශයෙන් හැදින්වේ. වසර 15 සිට වසර 19 දක්වා වයසැති සිසුන් ජවිපෙ විසින් හඳුන්වනු ලැබුවේ ‘රතු ගැටව්’ ලෙසය. මෙම රතු ගැටව් ගෙන් බහුතරයක් කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ඉහළ අණ පිළිගනු ලැබීය. මෙම පාසැල් සිසුවෝ 9වැනි ශ්‍රේණියේ සිට මිතුරන් මගින් හෝ මගදී කොක්කකට අසුවී හෝ ජවිපෙට බැදී තිබිණි. පන්ති 5 නිම කිරීමෙන් පසු අධ්‍යාපන ධවල පත්‍රිකාවටද, රාගම වෛද්‍ය විද්‍යාලයටද, පළාත් සභාවලට එරෙහිවද උද්ඝෝෂණයන්හි නියැලුනේය. පාසැල් වර්ජන සංවිධානය කලහ.

ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය පිහිටුවීමේ සමාරම්භකයින් 12 දෙනෙකි. ඒ අතර ජවිපෙ මධ්‍යම කාරක සභිකයින්වූ උපාලි ජයවීර සහ ආනන්ද ඉඩමෙගම, දේශපාලන මණ්ඩල සභික ලලිත් විජේරත්න, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ එස්.එම්. නිස්මි, අන්තරේ කැඳවුම්කරුවූ කොළඹ වෛද්‍ය පීඨයේ වෙනුර එදිරිසිංහ, මරදාන කාර්මික විද්‍යාලයේ ජනිතා සිරිදේව, කැලණි සරසවි මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ 1983/84 කණ්ඩායමේ කුරුණෑගල හුණුපොල ගාමිණී නවරත්න, පිරිවෙන් ශිෂ්‍ය ගොඩකන්දේ මංගල හිමි සහ ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ 1985/86 සභාපති ලෙස කටයුතු කල ව්‍යාහාරික විද්‍යා පීඨයේ 1982/83 කණ්ඩායමේ සිසු කන්තලේ සුනිල් ජයරත්න සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් පාසැල් ශිෂ්‍යයින් තිදෙනෙක්ද එක්ව සිටියහ.

Dharman03041604Aජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම්වලදී ඝාතනයට ලක්වූ සිසුන්වන 1989 අගෝස්තු 12වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයවූ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ එම්.එස්.කේ මුතුකුමාරණ, 1990 ජනවාරි 06 ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන්වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ විරාජ් විරෝෂ සෝනාදර, ගාල්ල පොලිස් පරික්ෂක චාල්ස් වන්නිආරච්චි ඇතුළු කණ්ඩායමක් විසින් පැහැරගෙන යාමෙන් පසු අතුරුදහන්වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ ගනේෂ ගමගේ, 1989 අගෝස්තු 13 පැහැරගෙන යාමෙන් පසු ඝාතනයට ලක්වූ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ බී. අනුර, 1989 නොවැම්බර් 10දා හොරණ පොලිසිය මගින් පැහැරගෙන ගොස් පුළුස්සා මරාදැමූ හොරණ රාජකීය විද්‍යාලයේ පෝරගේ ජනිත් කුමාර, 1990 ජනවාරි 24වැනිදා යෝධකණ්ඩිය රණකෙලියේදී තිස්ස පොලිස් ස්ථානාධිපති බණ්ඩාර හීන්තැන්න ඇතුළු කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන්වු යෝධකණ්ඩිය විද්‍යාලයේ කලා අංශයේ කේ.එච්. ගාමිණී, ඝාතනයට ලක්වූ දොන් පුෂ්පකුමාර, පැහැරගෙන යාමෙන් පසු ඝාතනයට ලක්වූ පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයේ රම්‍ය ප්‍රේමතිලක, 1989 දෙසැම්බර් 19වැනිදා තංගල්ල යුධ හමුදා කඳවුරේ සාජන් මේජර් සොයිසා විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදහන්වූ තංගල්ල මහා විද්‍යාලයේ නීල් රොෂාන් වර්ණකුලසූරිය, ඝාතනයට ලක්වූ කේ.එල්.සී ඉනේෂ් පෙරේරා, 1988 මාර්තු 23වැනිදා පැහැරගෙන යාමෙන් පසු ඝාතනයවූ තංගල්ල මහා විද්‍යාලයේ වසන්ත වීරසිංහ, ඝාතනයවූ ආර්.එම්. රාජකරුණා රත්නායක(ඉහළ වමේ සිට)

ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ව්‍යූහය සකස් කිරීමේ ප්‍රථම රැස්වීම මොරටු සරසවියේද දෙවැන්න මරදාන කාර්මික විද්‍යාලයේද පැවැත්වීමෙන් අනතුරුව 1988 ජුනි 14වැනිදා ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය ආරම්භ වූයේ රටපුරා පාසැල් 2,500කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පැවති දැවැන්ත එක්දින උද්ඝෝෂණයකිනි. ජාතික ශිෂ්‍ය විරු දිනය එමගින් ප්‍රකාශයට පත්කල අතර 1988 ජුනි 20 සිට වාර්ෂිකව එය ඉහළින්ම සැමරිණි. ශිෂ්‍ය මධ්‍යස්ථානයේ අදිසි නායකයා උපාලි ජයවීර වූ අතර ප්‍රථම කැඳවුම්කරු වූයේ පේරාදෙණිය සරසවියේ එස්.එම්. නිස්මිය. එහි දෙවන කැඳවුම්කරු ලෙස වෛද්‍ය පීඨයේ වෙනුර එදිරිසිංහද කටයුතු කරනු ලැබීය. ආරම්භයේ සිට අවසානයේ දක්වාම සෑම කැඳවුම්කරුවෙකුගේම නම ලෙස  ප්‍රකාශයට පත්වූයේ ‘කමල් දේශප්‍රිය’ නම්වූ අන්වර්ථ නාමයකි.

ජවිපෙ අනුබද්ධ සංවිධානයක් හරහා පක්ෂයට එක්වීමටනම් පළමුව මූලිකව සාකච්ඡා ‍කර ඊළඟට පන්තිවලට සහභාගි විය යුතුය. පසුව ජනතාව අතරට ගොස් කටයුතු කිරීම, උද්ඝෝෂණ පෙළපාලිවලට ආදිය සහභාගිවීම ආදී බොහෝ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදී අර්ධකාලීනව හෝ පූර්ණකාලීනව ජවිපෙ සාමාජිකයෙකු විය හැකිය. එසේ ‍නොවන අයෙක් ජවිපෙ හිතවතෙකු පමණි. එහෙත් ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානය වැනි සංවිධානවලට එවැනි සබඳතා අතවශ්‍ය නොවන අතර උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ඒවාට එක්විය හැක. එහෙත් එහි නෂ්ටිය මෙහෙය වූයේ ජවිපෙ දේශපාලන මණ්ඩලය මගින් වගකීම් පැවරූ  මෙහෙයුම් කමිටුවකිනි. 

ජය අපිටයි, හීසර වැනි පත්‍රිකාද ශිෂ්‍ය මධ්‍යස්ථානය මගින් නිකුත්කල අතර ජවිපෙ මගින් විකාශනය කල රණහඬ ගුවන්විදුලිය යටතේ සතියට දෙවරක් ශිෂ්‍ය අංශයේ කටයුතු පිළිබදව විනාඩි 15ක වැඩසටහනක්ද ප්‍රචාරය විය. ශිෂ්‍ය මධ්‍යස්ථානයේ මූලස්ථානය ජයවර්ධනපුර සරසවියවු අතර එය වසාදමන අවස්ථාවලදි මරදාන කාර්මික විද්‍යාලය ඒ සඳහා යොදා ගැනිණි. ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයට සිසුන් දහස් ගණනක් රටපුරා පූර්ණකාලිනව කටයුතු කිරීමට බඳවා ගනු ලැබීය. පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම යටතේ සිසු සිසුවියන් තමන් මව්බිම බේරාගැනීමට සටන් කිරීමට යන බව ලිපි ලියා නිවෙස්‍ අතහැර පූර්ණකාලීනව රටපුරා වැඩකටයුතු වලට එක්වූහ. එසේ එක්වූ ශිෂ්‍ය සංඛ්‍යාව 2,500කට ආසන්නය. කොළඹ රාජකීය, තර්ස්ටන්, ආනන්ද, නාලන්ද, ඉසිපතන, වේල්ස් කුමාර, විශාකා, ගෝතමී, දේවි බාලිකා, යශෝධරා, ආනන්ද බාලිකා, අනුලා වැනි ප්‍රධාන පෙළේ පාසැල් වලින්  පාසැල් අධ්‍යාපනය සහ නිවස අතහැර ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයට පූර්ණකාලිනව එක්වූ සිසු සිසුවියන් සංඛ්‍යාව 63ක් පමණ වන අතර ඉන් කිහිප දෙනෙක් වනුයේ සනත් ගමගේ, ධම්මික(වර්තමානයේද ජවිපෙ මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකි), රණවක, ප්‍රමිතා, හේමමාලි, නිරෝමි, මල්කාන්තිය. මින් රාජකීය විද්‍යාලයේ ශාන්ත උදයකුමාර, මහේන්ද්‍ර කුමානායක ඇතුළු කිහිප දෙනෙක්ම ඝාතනයට පත්වූහ.

පාසැල් අරගල අඛණ්ඩව පැවැත්වූ අතර දහස් ගණන් සිසුන් ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයේ නායකත්වය යටතේ රටපුරා වීදි පෙළපාලි පැවැත්වූ අතර ආරක්ෂක හමුදා ඒවාට ඇතැම් ස්ථානවලදී වෙඩි තැබූ අතර එහිදී සිසුන් සිය ගණනක් මරණයට පත්විය. දෙවැනි කැරැල්ලේ නායකයින්ගේ ඉහළ අණින් පාසැල් සිසුන් විරෝධතා ව්‍යාපාරවලට කැඳවීම ශිෂ්‍ය මධ්‍යස්ථානය මගින් නිරතුරුව සිදුකල අතර ඇතැම් පාසැල් සිසු නායකයින්ගේ අති ධාවනකාරි ක්‍රියාමාර්ග නිසා සිසු නායකයින් මර්ධනයට පත්වීමද වේගවත් විය.

Dharman03041605Aඝාතනයට ලක්වූ ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිකයින්වූ දික්වැල්ල විජිත විදුහලේ නිශාන්ත ජයවර්ධන 1988 ජුනි 20 උදේ 10ට සිසු උද්ඝෝෂණයකදී ආරක්ෂක අංශ මගින් වෙඩිතබා ඝාතනයකර තිබූ අන්දම, ආරක්ෂක අංශ මගින් ඝාතනය කල නුගවෙල මහා විද්‍යාලයේ නන්දන බණ්ඩාර අබේකෝන්ගේ දේහය ඔහුගේ නිවසේදී තැන්පත් කර තිබූ අයුරු සහ ගාල්ලේ අක්මීමන ඝාතනය ලක්වූ සිසුවෙකුට විප්ලවීය ආචාරය පුදකරමින්(වමේ සිට)

පළමුව මව්බිම – දෙවනුව ඉගෙනුම යනුවෙන් එහි තේමාව වූ අතර රට පුරා ගිවිසුමට එරෙහි සහ ආණ්ඩු විරෝධී සිසු විරෝධතා ඇරඹිණි. මුළු මහත් පාසල් පද්ධතිය මාස කිහිපයක්ම එමගින් අකර්මන්‍ය විය. රටේ ගෞරවනීය සාමයක් ප්‍රතිෂ්ඨාපනය කරන තුරු පන්ති වර්ජනය කරන්නැයි එමගින් සිසුන්ට කියා සිටියහ. කොළඹට කිරි – ගමට කැකිරි,  ජේ.ආර්. මරමු දේශදෝහී ආණ්ඩුව පන්නමු, පළා බබා අපිට එපා යනුවෙන් පුවරු ඔසවා ගත් පාසල් සිසුන් දහස් ගණන් ප්‍රධාන නගරයන් ගණනාවක වීදි පෙළපාලි පැවැත්වූහ. පාසල් ඇතුළත සහ ඒ අවට පෝස්ටර්ද සටන් වැකිද ප්‍රදර්ශනය කර තිබිණි.

පාසල් සිසුන් බහුතරයම වාගේ 2වැනි කැරැල්ලේදී යොදා ගෙන තිබුණේ උද්ඝෝෂණ සංවිධානය කිරීම, පෝස්ටර් ඇලවීම, තුවක්කු සහ පතරොම් නිවෙස්වලින් එකතු කිරීම, ඔත්තු බැලීම, පක්ෂයේ දෝහින් ලෙස හැදින්වූ පුද්ගලයින්ට දඬුවම් පැණවීම සම්බන්ධීකරණය කිරීම, කීර්ති විජයබාහුගේ නියෝග බෙදා හැරීම, තහනම් ප්‍රකාශන කියවන සහ රූපවාහිනී නරඹන අය පිළිබඳ තොරතුරු ලබාදීම, රාජ්‍ය දේපල ගිනි තැබීම, ජවිපෙ ඇඳිරි නීතිය ඇති ජාතික විරෝධතා දිනවල ඒවා ක්‍රියාත්මක කිරීමට සක්‍රීයව දායකවීම ඇතුළු කටයුතුවලටය.

ජවිපෙ ‍2වැනි කැරැල්ලට එක්වූ රතු ගැටව් දේශපාලන දැක්ම අතින් දුර්වල වූවද දක්ෂතාවයන් සහ හැකියාවන් සහිත නව බලවේගයක් විය. එහෙත් එහි වාසිදායක තත්ත්වයට වඩා දිගුකාලීනව තහවුරු වූයේ පිරිහීමේ ලක්ෂණයි. අත්දැකීම් සහ දේශපාලන පරිනතභාවය සහිත තරුණ සහ වැඩිහිටි බලවේග වල තිබූ වගකීම් රතු ගැටව් ගෙන් දැකිය නොහැකි විය. ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වීමෙන් පසු බොහෝ රතු ගැටව් විප්ලවවාදීන්ට උචිත නොවන දුර්වල පෞරුෂයකින් වූ අතර බිල්ලන් සහ පාවාදෙන්නන් බවට ඉක්මනින් පත්විය. පුද්ගල ත්‍රස්තවාදයේ ප්‍රාදේශීය ක්‍රියාකාරකම් වලදී ව්‍යාපාරය මගින් පෙරමුණට යැවුවේද ඔවුන්ය.

Dharman03041606Aජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම්වලදී ඝාතනයට ලක්වූ සිසුවියන්වන (ඉහළ වමේ සිට) ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ මාලා මල්කාන්ති, සිසු උද්ඝෝෂණයකදී ඝාතනයවූ මාතර විලයාය මහා විද්‍යාලයේ වී.ජී. සුමනසීලී, මාතර සුජාතා බාලිකා විදුහලේ මානෙල් විජේවීර, මොණරාගල ගල්ලබ විද්‍යාලයේ එච්.එම් ධනවතී, ජම්බුගහපිටිය බෝගහකුඹුර දමයන්ති ස්වර්ණලතා සහ 1988 ඔක්තෝබර් 10වැනිදා සිසු උද්ඝෝෂණයකදී වෙඩිවැදී ඝාතනයවූ රම්‍යා ප්‍රියදර්ශනී.

පාසැල් වැසුනු අතර ජාතික විමුක්ති අරගලය හරහා බලය ලබාගැනීමට ආරම්භ කල ජවිපෙ 2වැනි කැරැල්ල 1989 තීරණාත්මක කඩඉමකට යොමුවූ අතර එයට සහාය දැක්වීමක් ලෙසින් ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයේ න්‍යය පත්‍රයේ මුලට දේශපාලන බලය ලබාගැනීමේ අදහස ස්ථාපිත විය. ආණ්ඩුවට එරෙහිව ශිෂ්‍ය මධ්‍යස්ථානය 1989 මැයි 19වැනිදා යුධ ප්‍රකාශ කිරීමත් සමඟම ශිෂ්‍ය මධ්‍යස්ථානය වටා එක්රොක්වූ සිසු සිසුවියන්ට ඛේදජනක ඉරණම අත්වීම ආරම්භ විය. ජවිපෙට එරෙහිව දියත්වූ බරපතල මර්ධනයට මුහුණදීම සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් නිරතුරුව වෙනස් කිරීමට ඔවුනට තිබූ සම්බන්ධකම් ප්‍රමාණයද ඉතා සීමිත විය. සම්බන්ධකම් ගිලිහීයාමත් සමඟම රතු ගැටව් හුදකලාවූ අතර මතුවූ අරාජික තත්ත්වය තුළ බරපතල පාවාදීම්වලට ගොදුරු විය. එහෙත් ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිකයින් අතර සදාචාරමය සහ විනයේ බිඳ වැටීම් අවසාන කාලය දක්නට නොලැබිණි.

ඇතැම් පාසැල් සිසුනට පවුල් සමාජය තුළින් නිසි සමාජ ඇසුරක් නොලැබුණ බැවින් එවන් අය තිරස්චින වධකයින් බවට පත්වූ අවස්ථා නැත්තේද නොවේ. ජවිපෙ මෙහෙයවීමෙන් මසක් පුරා පැවති මහා බස් වැඩ වර්ජනයේදී වර්ජනයේ අණ කඩකල බස් රියදුරෙකු ගිරිඋල්ලේදී ඝාතනය කළේ වයස අවුරුදු 15ක් පමණ වන පාසැලේ 9වැනි ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකි. මෙවැනි හද කකියන මේලේච්ඡ සිදුවීම් කිහිපයක්ද වාර්තා විය. වසර 1971 අප්‍රේල් කැරැල්ලේදී පබිලිස් නැමැත්තා මරාදැමූ තෝලංගමුව විද්‍යාලයේ 16 හැවිරිදි පාසැල් සිසුවෙකුවූ කෑගල්ලේ ජයතිලක ගැනද, කඩුගන්නාව පොලිසියට පහර දී නිලධාරියෙක්ද මරා දැමූ පාසැල් සිසුවෙකුවූ ජයතිස්ස කුමාර ගැනද 1971 කැරැල්ලේද අසන්නට ලැබිණි.

Dharman03041607Aජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම්වලදී ඝාතනයට ලක්වූ සිසුන්වන ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහ විදුහලේ සමන් ප්‍රියන්ත ඒකනායක, ගාල්ල ඇලෝසියස් විදුහලේ සමන් කුමාර, නුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සිසු මාතලේ කුඹියන්ගොඩ පදිංචි කුමාර, 1989 සැප්තැම්බර් මස 3වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයවූ මොණරාගල බඩල්කුඹුර නිශ්ශංක මහ විදුහලේ ආර්.එම්. අනුර, හුංගම පොලිසිය මගින් 1989 පෙබරවාරි 25 අත්අඩංගුවට ගැනිමෙන් පසු අතුරුදහන්වූ ප්‍රියන්ත අමරකෝන් දිසානායක, ගාල්ල ඇලෝසියස් විදුහලේ සිසු අහංගම පදිංචි තිලක් ගුණරත්න, බදුල්ල මහා විද්‍යාලයේ ඝාතනයවූ සිසු ප්‍රදීප් කරුණාරත්න සහ තවත් සිසුන් 5 දෙනෙක්(ඉහළ වමේ සිට)

අත්අඩංගුවට ගත් ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිකයින්වූ රතු ගැටව්ට අනේක වධබන්ධනවලට මුහුණපෑමට සිදුවිය. පැන්සල් පෑන් වලින් ඇණ කණ් අඩි පසාරු කරන ලදී. අත්පා වල නියපොතු උගුල්ලුවේය. පුරුෂ ලිඟුව මේස ලාච්චුවලට දමා වසා අධෝමුඛයට එස්ලෝන් බටයක් යවා පසුව කටු කමිබියක් බස්සා බටය ඉවතට අදින අවස්ථාද වාර්තා විය. මිරිස් ගෝනි, වතුර ටැංකිවල හිස ඔබා හුස්ම හිරවෙන්ට හරින ලදී. නිරුවතින් එල්ලා යටි පතුල්වලට පහරදී අත්පා බැද ධර්ම චක්‍රයේ ගැසීම සිදුවිය. සිසුවියෝ සිය ගණනක්ද ඝාතනයට ලක්වූ අතර ඉන්පෙර ඔවුහු දූෂණයටද නිරතුරුව ලක්විය. එස්ලෝන් බට සහ මහත වයර් පටි වලින් පහර දෙනු ලැබීය. පොතක් හිස මත රදවා තබා සිටියදී එය අල්ලා ගැනීමට නියමකර හිසට බැටන් පොල්ලකින් පහර දෙනු ලැබීය. මේ වධකාගාරවල ඔවුනට අත්විදීමට සිදුවූ ඉරණමේ එක් පැතිකඩක් පමණි.

ජවිපෙ දෙවැනි කැරැල්ල 1989 ‍නොවැම්බර් ඇද වැටීමෙන් පසු ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයට අනුගතවී සිටි රතු ගැටව් 1990 මුල්භාගය වනවිට නන්නත්තාර වූහ. පාසැල් අධ්‍යාපනයෙන් පිටමන්වී පැමිණි ඔවුනට පාසැල තහංචි විය. එහෙත් ජවිපෙ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය(අන්තරය) ඇතුළු අනෙකුත් දෙවැනි කැරැල්ලට සම්බන්ධව සිටි ඝාතනය නොවූ සරසවි උපාධි අපේක්ෂකයෝ දහස් ගණනක් පෙරළා සරසවියට ගොස් නිදහසේ කල්ගෙවමින් ඉගෙනුම ලබා උපාධියද සමත්ව විවිධ කේෂේත්‍රවල රැකියාවලට ගියහ. එපමණක් නොව ඉන් කිහිපදෙනෙකු ජවිපෙ 1994 මහ මැතිවරණයෙන් පසු සාර්ථකව ඉදිරියට යන බව ඇඟට දැනුණු පසු යළිත් ජවිපෙට එක්වී පාර්ලිමේන්තුව වැනි කඩඉම්ද පසුකර ඉහළටම ගියෝය. රතු ගැටව් වු පාසැල් සිසුන් ගෙන් බහුතරයක්ම අවම වශයෙන් අපොස උසස්පෙළටවත් ඉදිරිපත්ව නොසිටි හෙයින් අධ්‍යාපන ඩිප්ලෝමාවක් හෝ හැදෑරීමට නොහැකි විය. අන්ත අසරණ තත්ත්වයට පත්වු සිසු සිසුවියන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත්වූයේ බිල්ලන් සිය නිවෙස්වලටම ආරක්ෂක අංශ සමඟ පැමිණ කොටුකර දීමෙනි. 

Dharman03041608Aපළමුව මව්බිම දෙවනුව ඉගෙනුම යැ’යි කියමින් කොළඹ රාජකීය සහ තර්ස්ටන් විදුහල්වල සිසුන්ගේ නායකත්වයෙන් කොළඹ පාසැල්වල සිසු සිසුවියන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන්  1989 මැයි මස කොළඹ නගරය පුරා විදී පෙළපාලි පැවැත්වූ අවස්ථාවක්(ඉහළ), ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ කොළඹ ක්‍රියාකාරිකයෙකුවු 1969 ජාඇල උපන් රාජකීය විදුහලේ 13 විද්‍යා අංශයේ රොෂාන් ප්‍රනාන්දු සිය පියාවූ ඩැනී, මව ලලිතා සහ නැගණිය රෝෂනී සමඟින් කුඩා කාලයේ ගත් ඡායාරූපයක්. රතු පාටින් රවුම්කර ඇති රාජකීය විදුහලේ සිසු රොෂාන් බටලන්ද වධකාගාරයේදී තිරස්චින ලෙස ඝාතනයට ලක්වූ අතර ඔහුගේ පියාවූ ඩැනීද අත්අඩංගුවට ගැනීමෙන් පසු මරණීය තුවාල ලබා දිවි බේරාගැනීමට සමත්විය(පහළ).

වධකාගාරවලදී දරුණු තාඩන පීඩන වලට ලක්ව ජීවිතය බේරාගැනීමට වාසනාව ලැබූ රතු ගැටව් වරින් වර හැදෙන හිසේ කැක්කුම් වලින් පෙළිණි. කායික ශක්තිය දුර්වල විය. ලිංගික ආකර්ශනයට නිසි ප්‍රතිචාරයක් නොවීය. අධ්‍යාපනය කඩාකප්පල්වීම රැකියාවක් කිරීමට සුදුසුකම් නොලැබීම නිසා ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානවල සාමාජිකයින් අවසානයේදී දරුණු විශාද අවපාතයන්ට ගොදුරු විය. තමාගේ දිවිය දේශපාලනය නිසා විනාශවූවා යන අදහසක් ඔවුන් තුළ වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉච්ඡා භංගත්වයට පත්වූ අතර කිහිප දෙනෙක් සියදිවි නසාගත් බවටද වාර්තා විය. ජවිපෙ 2වැනි කැරැල්ලේදී රජයට භාරවු සහ අත්අඩංගුවට ගැනීමෙන් පසු 1990 පුනරුත්ථාපනයට යොමුකල 11,658ක් අතරින් වයස අවුරුදු 15ට අඩු සංඛ්‍යාව 171වූ අතර වයස අවුරුදු 15 සිට 25ත් අතර වු සංඛ්‍යාව 5,508කි.

ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයේ සිටි පාසැල් සිසුන් ජවිපෙ 2වැනි කැරැල්ලට මහා ජවයක් සපයනු ලැබීය. ජවිපෙ 2වැනි කැරැල්ල අවසාන වනවිට ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයේ ඇතැම් නොමේරූ සහ හදිසි අතිධාවනකාරී තීරණවල ප්‍රතිඵලයක් ලෙස අවසානයේ පාසල් සිසුන්  2,327කටද ජීවිතයෙන් වන්දි ගෙවිමට සිදුවිය. මින් බහුතරයක් ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරින් වූහ. මෙම සිසු විරුවන් සියළුදෙනා පටු පෞද්ගලීකත්වය තුළ සිරවූ මිනිසුන් නොවේ. ඔවුන්ගේ කෙටි දිවිය තුළ තබාගොස් ඇති මතකය යනු යෝධ ධෛර්යකින් සහ විනයකින් පිරි ජීව ගුණයකි. ඔවුහු ඉගෙනුමෙන් ලැබෙන සුඛ විහරණ වෙනුවට ජනයාගේ අභිලාෂයන් දිනවීමේ සටනට පිවිසුන අය වේ. ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ වැඩ කටයුතු අතර දෝලනය වෙමින් නිවැරදිව බොහෝ දුෂ්කර කර්තව්‍යයන්ට උරදුන් අභියෝග ජයගත් සටන් සගයන්ය. මෙම සිසු සටන් සගයන් ඇතැම් විට යම් යම් වැරදි සිදුකලද මව්බිමේ ඉරණම වෙනස් කල පිරිසකි. උපන් බිමට ණය නැති සුවහසක් සිසු සිසුවියන්ට අත්පොත් තැබූ පිරිසකි. දිදුලන හදවතින් පරමාදර්ශී සටහන් ඔවුහු තබාගොස් තිබේ.(ජවිපෙ 2වැනි කැරළි සමයේ එනම් 1986 සිට 1990 දක්වා ඝාතනයට සහ අතුරුදහන්වූ  පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳව ඔබ සතුව ඇති ඡායාරූප සහ තොරතුරු පහත ආකාරයට යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])  (The writer is a senior journalist who could be reached at [email protected] OR 011-5234384)

2 Responses to “පළමුව මව්බිම – දෙවනුව ඉගෙනුමයැ’යි කියූ ‘රතු ගැටව්’ගේ ශෝකාන්තය”

  1. Ancient Sinhalaya Says:

    UNPatriotic pary supporting traitor Sinhalese, look at your party’s handy work. UNPatriotic party
    never wanted to rehabilitate them and release to the society, like Sirima B did. What rehabilitation?
    That was a good chance to get rid of lot of Sinhalese Buddhists. Golden chance for them!
    Canon fodder! Buddhist Sri Lanka we call it!

    Against the real terrorists, ltte, they couldn’t find the gun. Why pira(mala)paharan, anton balasinyo,
    tamil selvan, soosei etc were all catholics. So catholic tigers of tamil drealam was treated with respect
    of course by the UNPatriotic party!

    Haven’t you got any shame, any Sinhalese blood in your veins to support this murderous (Sinhalese only)
    gang? Useful links for the traitors. Watch and ‘enjoy’ your treachery.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

  2. samurai Says:

    පෙර කල ජර්මනියේ හැමලින් නගරයේ විසු බටනලා ඉතා දක්ෂ බටනලා වාදකයකු ගැන කතාවක් මා අසා ඇත. එම නගරයේ වැසියන් ඔහුට කල අසාධාරණයකට ඔහු පලිගත්තේ එනුවර තරුණ පිරිස සිය බටනලා වාදනයෙන් තම වසඟයට ගෙන කොහෙද දක්කාගෙන ගොස් අතුරුදහන් කිරීමයි. ඉන්පසු එම නගරයේ වැඩිහිටියන්ට එම තරුණ තරුණියන් කිසිදාක දක්නට ලැබුනේ නැත.

    ජනතා විමුක්ති පෙරමුණද මෙරටේ සිංහල තරුණ පරම්පරා දෙකක් 1971 දී සහ 1987-90 වකවානුවේදී සිය මනස්ගාත සංකල්ප වලින් මුලා කොට මරු කටට යැව්වේ ඒ බටනලා වාදකගේ ක්රියාව සිහි ගන්වමිනි. අද ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමීන්ද එවැන්නක ‘ආස්වාදය’ ඉතිහාසය නොදත් නොපැසුණු අලුත් පරම්පරාවකට යලි ලබා දෙන්නට තැත් කරනු පෙනේ.

    මොවුන් කවදා ලෝක යථාර්ථය තේරුම් ගනීදැයි අපි නොදනිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress