‘කඩවුුනු පොරොන්දු’
Posted on April 9th, 2016

සේනක සේරසිංහ

සියලු බලාපොරොත්තු සුන්වෙමින් පවතී. යථාර්තය නම් එවැනි බලාපොරොත්තු නොතැබිය යුතු බවය. මෙය රෝහන විජේවීරයන් 70 දශකයේදී කිරි ගහට ඇන්නා සේ කීවේය. ඔහුගේ නිගමනයන් ඉර හඳ සේ සත්‍යය බව නැවත නැවතත් පසක් වෙමින් පවතී. කනගාටුව නම් එවැනි දුර දක්නා විචක්ෂන බුද්ධියක් සහිත පුද්ගලයන් දැන් නැති වීමය.

බේරේ වැවේ දුර්ගන්ධය පාර්ලිමේන්තුවෙන් වහනය වීමට පටන් ගත්තේ දශක හතරකට පමණ කලින්ය.  එහෙත් එය අවබෝධ කර තුන්කල් දැක්මෙන් එයට පිලියම් සෙවීමට සමතෙක් හෝ අවශ්‍යතාවයක් කිසිවකුට නොවීය. දැන් අප ගිලී සිටින්නේ කරවටක් නොව මුලු ශරීරයෙන්මය. බහුතරයකගේ බලාපොරොත්තුව ගිලෙන නැවේ ඉතිරිව තිබෙන කුමක් හෝ ජරාවක් අනිකාට  පෙර අනුභව කර නැවේදීම සියදිවි නසා ගැනීමය.

ක්‍රි. ව. 67 වැනි ඈත අතීතයකදී   රජ පැමිණි වසභ රජු විසින් ආරම්භ කර පසුව වැඩි දියුනු වී ලෝකය විස්මිත කල වාරි කර්මාන්තයන්ද විශිෂ්ඨ නිර්මානයන්ද බිහිකල ජාතියක් අද වන විට අග මුල අමතකවූ නපුන්සක ජාතියක් බවට පත් කිරීමේ වගකීම විශේෂයෙන් 1978 පසු පහල වූ සියලුම දේශපාලුවන් බාර ගත යුතුය. එහෙත් උන්ට වගේ වගක් නැත. හුදී ජනතාවද  හැසිරෙන්නේ අම්බරුවන් ලෙසය. දේශපාලකයින් ජනතාවගේ ධනය සුරාකමින් ඌරන්  සේ තරවී සුදු රෙද්දෙන් සියලු පව් වසාගෙන මාධ්‍ය සාකච්ඡාවලදී දත් විරිත්තමින් නන් දොඩවද්දී ඒවාට හූමිටි තලන ජාතියක් ලෝකයේ කිිසියම්ම කොනකින් තවත් සොයා ගන්නට හැකිනම් එය කලුනික සොයා ගන්නවාටත් වඩා දුෂ්කර විය හැක.

පාර්ලිමේන්තුවේ ඇමතිවරුන්ගේ සංඛ්‍යාව විමසීමේදී එය 92 වේ යැයිද  තව ඇමතිකම් අවශ්‍ය නම් ඉඩ තිබේ යැයි ආඩම්බරයෙන් කීමට තරම් ශක්තියක් ඇති දේශපාලකයන් අප රටේ සිටින්නේ රටේ ජනයා මුග්දයින් සේ හැසිරෙන නිසාය. මේ රට එජාපයේ , ශ්‍රීලනිපයේ හෝ ජවිපෙ හෝ බූදලයක් නොවේ. මේ නොමසුරු ලෙස වීසිකරන්නේ රටේ ජනතාවගේ මුදල්ය. දහසකුත් ප්‍රශ්න මැද්දේ එදිනෙදා ජීවිතය සරිකර ගැනීමට ජීවිතයත් මරණයත් අතර දෝලනය වන සටනක යෙදෙන බහුතර ජනතාවකගේ අනන්තවූ දුක් කන්දරාවන් සමනය කිරීම සඳහා වෙන්වූ මුදල්ය. රටකට ඔරොත්තු නොදෙන අධි සුඛෝපභෝගී වාහනත් විවිධ නම් වලින් ඇති දීමනාත් සඳහා කිසිදු හිරිකිතයකින් තොරව මුදල් වෙන් කර ගන්නේත් ඉන් පසු ඒවා සාධාරනීය කරන්නේත් උන්ට අභියෝග කිරීමට සමතෙක් ධරනීතලයේ නැති බව ඉත්තේරුවෙන්ම දන්නා නිසාය. රටේ සංවර්ධනය නොව තමුන්ගේ ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් කිසියම් සරල කටයුත්තක් වත් විද්‍යාත්මක පසුබිමකින් සැලසුම් කර ගත නොහැකි දේශපාලකයින් තොග ගණනේ විවිධ නම් වලින් හැඳින්වෙමින්  ජනතාවගේ මුදලින් නඩත්තු වෙයි. බලය පාවිච්චි කරමින් විවිධ ව්‍යාපාර කටයුතු වල යෙදේ. පවුල් පිටින් පිටරට සවාරි යයි. විද්වතුන් විසින් සැලසුම් කර ක්‍රියාත්මක කල යුතු ජාතියේ තීරනාත්මක ප්‍රවේශයන් හුදෙක් පහලම මට්ටමේ කලමනාකරණ දැනුමෙන් විිවිධ නම් වලින් ක්‍රියාත්මක වන්නේ මේ පසුබිම තුලය. මෙවැනි බාලාංශ මට්ටමේ වැඩ සඳහා කෝටි ගණන් මුදල් නිකරුනේ වියදම් කරන්නේත් පම්පෝරි ගසන්නේත් රැස්වීම් පවත්වා ඒවා සාධාරනීය කිරීමට ගොස් ජනතාවට විහිලු සපයන්නේත් මේ අනූවය. අවාසනාවක මහත!

මැතිවරණය ආසන්න වෙද්දී විිවිධ නම් නම් වලින් සංවිධාන බිහිවිය. එකක් දූෂනය පිටු දැකීමටය. තවකෙක් නැතිවී ගිය ප්‍රජාතන්ත්‍රවාදයරට තුල ස්ථාපිත කිරීමටය. අනෙකෙක් නාස්තිය අවම කිරීමටය. ඒ  සමගම පිරිවර පිරිවරා ගිවිසුම් අත්සන් කිරීම ආරම්භ විය. මැතිවරනය අවසාන වී සෑහෙන කලක් ගතවී ඇත. දැන් මේ සංවිධාන වල කිසි හාවක් හූවක් නැත. පැහැදිලි ලෙසම පෙනෙන්නේ මේ සියලුම පෙරලි කිහිප දෙනෙකුගේ පෞද්ගලික අයිතිවාසිකම් නැතිවී ගිය නිසාය. පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොවේ. සමහරවිට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුවී  ඇති නිසා සියලු ජනතාවටම එම අයිිවාසිකම් ලැබී රටම කිරියෙන් පැනියෙන් ඉතිරී ගොස් ඇතැයි මොවුන් දැන් සිතනවා විය හැක. මහා බැංකු වංචාව සිදුවන විට මොවුන් නිහඬය. පැරදුන දේශපාලකයන් නැවත පාර්ලිමේන්තුවට ගෙන ඇමති වරදාන වලින් පුද දෙද්දීත්, එක් තෝරාගත් කොටසක් පසුපස හඹාගොස් නීතිය ක්‍රියාත්මක වෙත්දී අනිකෙකුට නීතිය ක්‍රියාත්මක නොවදේදීත්, මැතිවරණ කල් දමද්දීත් මොවුන් මර නින්දේය. අනුගමනය කලයුතු රජයේ රැකියා බඳවා ගැනීමේ ප්‍රතිපත්ති අමු අමුවේ උල්ලංගනය කරමින් මට ඡන්දය දුන් පාක්ෂිකයන්ට සලකන්නට මට අයිතියක් නැත්දැයි මාධ්‍ය රැස්වීම් වලදී වහසි බස් දොඩන ඇමතිවරුන් සිටිත්දීත් මේ සිවිල් සංවිධාන වලට වගේ වගක් නැත.

අවබෝධ කරගත යුතු සත්‍ය නම් ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් හෝ  කොමිෂන් සභා ඇති කිරීමෙන් හෝ තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කිරීමෙන් හෝ සාමාන්‍ය ජනයාට ඇතිවන සුගතියක් නැති බවය. මෙය තවත් භයානක දේශපාලන ක්‍රීඩාවකි. බලය රැක ගැනීම සහ පවත්වා ගැනීම සඳහා ජනතාව ගොනාට ඇන්දීමේ ක්‍රියාදාමයකි. මෙහි අවසානය වනුයේ පසුගිය දශක හතරක පහක කාලයක  සිදුවූ පරිද්දෙන්ම තිබෙන ප්‍රශ්න වලට අමතරව තවත් ප්‍රශ්න ගණනාවකට විසඳුම් සෙවීමේ පසුබිමක් නිර්මානය වීමෙන්ය. එහි කරුමයද ජනතාව පිට පැටවීමෙන්ය.

ආණ්ඩු වෙනසින් ජනතාවට ලැබුනු කිසිම දෙයක් නැත. එකම වෙනස යම් පමනකට නම් මාරු වීමය. ජනතාව කබලෙන් ලිපට වැටීමය. ඒත් කම් නැත. ශ්‍රී ලාංකික ජනතාවට කබලත් එකය ලිපත් එකය.

 

One Response to “‘කඩවුුනු පොරොන්දු’”

  1. Christie Says:

    What is happening to Fijians in Fiji?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress