නව යුගයේ දේශපාලන කුලය
Posted on April 9th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

මන්ත්‍රණ සභාව හෝ පාර්ලිමේන්තුව මෙරට පාලන තන්ත්‍රයට එකතු වන්නට පෙර 1815 දක්වා ශ්‍රී ලංකාවේ පාලනය තිබුනේ රජෙකු හෝ රජවරුන් කිහිප දෙනෙකුගේ පාලනය යටතේය. එදා සමාජ රටාව, රජ වාසල කේන්ද්‍ර කරගෙන එහි ඇති අවශ්‍යතාවන් අනුව කාර්යභාරයන් බෙදී යාම ඔස්සේ සැදී තිබිනි. ඒ ඒ කාර්යයන්හි නියැලි ජන කොටස්, තමන්ට පැවරුන කාර්යයන් අනුව කුල වලට බෙදී සිටි අතර අද මෙන් පාසල් අධ්‍යාපන ක්‍රමයක් නොවීය. කුල පරම්පරාව අනුව තමන්ට උරුම වන කාර්යභාරය ඊලඟ පරපුර භාරගත යුතු විය. ඒ වැඩවසම් යුගයයි.

වසරේ අප්‍රේල් 5 වනදාට යෙදෙන ජවිපෙ 71 අප්‍රේල් නැගිටීම අනුස්මරණ උත්සවයේදී,  71 කණ්ඩායමේ ප්‍රබල කොටස් කරුවකු වූ ලයනල් බෝපගේ මහතා එදා තම විප්ලවයේ අරමුණු පිලිබඳව පැහැදිලි කිරීමක් සිදු කලේය.

ඔවුන්ගේ මූලික අරමුණ වී තිබුනේ, සෑම මිනිසෙකුටම මිනිසෙකු ලෙස නිදහසේ ජීවත් විය හැකි සමාජ හා ආර්ථික සාධාරණත්වය රජයන සමාජ ක්‍රමයක් ගොඩ නැගීමයි. එහිදී ඔවුන්ගේ එක් ඉලක්කයක් වූයේ ‘ශ්‍රී ලාංකික සමාජයේ ධනේශ්වර පන්තියේ ආධිපත්‍යය සහ ධනේශ්වර ක්‍රමය තහවුරු කර ගැනීම සඳහා වැඩවසම් නශ්ඨාවශේෂ යොදා ගන්නා ආකාරය හෙලිදරව් කිරීම සහ ඒවා අහෝසි කර දැමීමේ ක්‍රියාවලියට දායක වීමය.

වැඩවසම් ක්‍රමය තුල වූ විවිධ ලක්ෂණ අතර රජ වාසල කේන්ද්‍ර කරගෙන බිහි වූ වෘත්තීන් පරපුරකින් ඊලඟ පරපුරට ගෙන යාමේ ලක්ෂණය අද වඩාත් පැහැදිලිව දක්නට ඇත්තේ දේශපාලන ක්ෂේත්‍රය තුලය. දේශපාලන පියවරු තම දරුවන් පුහුණු කරන්නේ මේ අරමුණ සිතේ දරාගෙනය. වරක් හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන කලාවැව ආසනය තුල යම් සමාජ සත්කාරක කටයුත්තක නිරත වූ විට එවකට එහි සංවිධායකව සිටි අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක ඊට එරෙහි විය. ඒ ගැන විමසූ මාධ්‍යවේදීන්ට ඔහු පවසා තිබුනේ ‘ මගෙන් පස්සෙ කලාවැව ආසනය මගේ පුතාට. නැතුව වෙන කාටද?’ කියාය.

මෙසේ තම දේශපාලන බල ප්‍රදේශය, තම දරුවනට නිල නොවන ඔප්පුකින් පවරා දෙන්නට ක්‍රියා නොකරන දේශපාලකයන් ඇත්නම් ඒ ඉතා අතලොස්සකි. ඒ හැර රටේ දේශපාලන ව්‍යූහයන් තුල තම පවුලේ සාමාජිකයන් බලයට රැගෙන ඒම තුල මෙම දේශපාලන බල ප්‍රදේශ වඩාත් සවිමත්ව, පරවේණිගත නින්දගම් ලෙස තබා ගන්නා ආකාරය දෙස බලන විට එදා වැඩවසම් යුගයේ ලක්ෂණ ඉතා පැහැදිලිව විද්‍යමාන වේ. දැන් බලන විට එම කුල ක්‍රමය තුල ‘දේශපාලන කුලය’ පමණක් ඉතිරිව තිබෙන්නේ වෙනත් ඕනෑම වෘත්තියක් සඳහා යම් අධ්‍යාපන සුදුසුකම් සැපිරිය යුතු වුවද, දේශපාලනයට එවැන්නක් නුවුවමනා බැවිනි. සමහර විට පුතාට හෝ දුවට එවන් පලපුරුද්දක් නැතිවා වෙන්නත් පුලුවන. ‘අපේ ගෙදර මම පොඩිකාලෙ ඉඳන් දේශපාලන වටපිටාවක් තිබුනා.’ යි සමහරු පවසනු ඔබ අසා ඇත. ප්‍රශ්ණය වනුයේ ඒ ‘දේශපාලන වටපිටාවේ’ ප්‍රමිතියයි.

1948 දී නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී. එස්. සේනානායක මහතාගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා ද , ගිරුවාපත්තුවේ රාජපක්ෂ පවුල ද මෙසේ පරම්පරාගත දේශපාලනයේ අත්පොත් තැබූවන්ය.

අතීතයේ සිටි දේශපාලකයින් පිලිබඳ විවිධ තොරතුරු අපි අසා ඇත්තෙමු. අපේ වැඩිහිටියන් කියූ, අප විසින් කියවූ පුවත් වලට අනුව එකල දේශපාලකයින් දේශපාලනය කලේ තම දේපොල, වස්තු සම්පත් විකුණමිනි. 1956 දී බණ්ඩාරනායක මහතා තම මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කරනු පිනිස රොස්මීඩ් පෙදෙසේ තම නිවස රු. ලක්ෂ අටකට උගස් කල බව පැවසේ. එනම් ඔහු වෙනුවෙන් වියදම් කරන්නට, මුදල් විසිකරන්නට පිරිසක් සිට නැත. යමෙකු තම මුදල් එසේ තවෙකෙකු වෙනුවෙන් වැය කරන්නේ නිකම් ඇඟේ අමාරුවට නොවේ. එහෙයින් එදා දේශපාලනයේ ස්වභාවය වටහා ගන්නට එයම ප්‍රමාණවත්ය. ඊලඟට ඔවුන්ගේ ගමන් බිමන් ගැන කිවහොත් 1977 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොදු ප්‍රවාහන සේවාවල ගමනා ගමන අවසර පතක් දී තිබුනි.

අද මේවා කල හැකිදැයි යමෙකුට විමසිය හැක. නමුත් දේශපාලකයෙකුට පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන්නට නොහැකි වී නම් සමාජය ඒ තත්වයට වෙනස් වීමට බල පෑ හේතු සාධක මොනවාද යන්නත් සිතුව හොත් අපට කතාව යලි මුල සිට අරඹන්නට සිදුවනු ඇත. 1977 න් පසු ශ්‍රී ලාංකික දේශපාලන ක්ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් දූෂිතව ගිය අයුරු අප ඕනෑ තරම් කතාකර ඇත. එදා රොස්මිඩ් පෙදෙසේ නිවහන උගස් කර චන්දය කල බණ්ඩාරනායක මහතාගේ දියණිය ‘චෞර රැජිණ ‘ වීම ඊට හොඳම උදාහරණයයි.

එම දූෂිත පරපුරේ දූ පුතුන් ද මේ වන විට ක්‍රම ක්‍රමයෙන් දේශපාලනයට පිවිසෙමින් සිටිති. මුලින් මුලින් පටන් ගන්නේ තම පියවරුන්ගේ බලපුලුවන්කාර කමේ හයිය, සමාජ ශාලාවල හෝ වෙනත් සමාජ රාශි ගතවන තැන්වල පෙන්වීමෙනි. ඊලඟට තම පියවරු හම්බ කරගත් මුදලින් ඉතා පහසුවෙන් පිටරටකට ගොස් වසර කිහිපයක් ගතකර, යමක් ඉගෙන ගෙන හෝ නොගෙන ආපසු ශ්‍රී ලංකාවටම ගොඩ බසිති. ඊලඟට පියාගේ ආශීර්වාදය ඇතිව මේ දූෂිත දේශපාලන පිටියට බසින්නේ මේ තමාගේ උරුමයයි යන පණිවුඩය සමාජයට දෙමිනි. වැඩිහිටියන් ධනය උපයාගන්නට කල හරියවත් කිරීමට ඔවුන්ට කරදරයක් නැත. ඒ අනුව තම හෘද සාක්ෂිය පිලිබඳ කුමන බියක්ද? මේ තමාගේ උරුමයයි. ඒ තමයි ක්‍රමය. ඔවුන් කල යුත්තේ තම පියවරු නැවතුන තැන සිට ඉදිරියට යාම පමණි.

දැන් තිබෙන දේශපාලන න්‍යායයන් ගැන සිතුවහොත්, රජය පාර්ශ්වයේ සිටින අයෙකුගෙන් තමන් අතින් සිදුවන නොකටයුත්තක් හෝ අතපසුවීමක් ගැන ඇසුවහොත් ලැබෙන්නේ  පසුගිය රජයේ වැරදි සම්බන්ධ පිලිතුරකි. මේ අනුව අපට සිතාගත හැක්කේ කුමක්ද?

දේශපාලන දැනුම තිබෙන බවට පම්පෝරි ගසමින් අපේක්ෂකත්වය ලබාගන්නා මොවුන් අරමුණු කරගෙන ඇත්තේ තම ජයග්‍රහණය පමනක්ම නොව්ද? ඒ ඉටුකර ගැන්මට යොදාගන්නේ පසුගිය රජයේ වැරදිම සොය සොයා මිනිසුන්ගේ ඉස් මොල පිරවීමේ ක්‍රමවේදයයි. ඉතින් ඔවුන්ට තම ජයග්‍රහණයෙන් පසු, ජනතාව වෙනුවෙන් මේ කාර්යභාරය ඉටු කරනවායයි කීමට පැහැදිලි න්‍යාය පත්‍රයක් නැත.කවුරුන් හෝ විසින් සකසා දුන් ප්‍රතිපත්ති ප්‍රකාශන තිබුනද, ඒවා නිකමට ඒ වෙලාව අනුව පාවිච්චි කර ඇතැයි පැහැදිලි වන්නේ ජනතාව වෙතින් නැගෙන වත්මන් ප්‍රශ්ණ වලට ඔවුන් ලඟ තිබෙන්නේ පසුගිය රජයේ වැරදි සම්බන්ධ පිලිතුරු පමනක් වීම නිසාය. මෙයින් ගම්‍ය වන්නේ මේ පුද්ගලයින් ක්‍රියා කරනුයේ තම ‘දේශපාලන කුලයේ’ ප්‍රතිරූපය ගොඩනගා ගැන්මේ ආත්මාර්ථකාමී අරමුණෙන්ම පමනක් බවයි.

මේවා මෙසේ නම් ජවිපෙ හි වත්මන් නිද්‍රාශීලී ප්‍රතිපත්තිය මත, 71 දී පක්ෂයේ නිර්මාතෘවරුන්ගේ කාලෝචිත අරමුණක් වූ වැඩවසම් යුගයේ නශ්ඨාවශේෂ අහෝසි කිරීම ඉතාම අසීරු වනු ඇත. ඇත්තෙන්ම මේවාට ‘නශ්ඨාවශේෂ’ කියන්නට නම් නොහැකිය. මේවා යලි ඉදිකිරීම් හෝ ප්‍රතිසංස්කරණය කිරීම් වේ.

සාමාන්‍ය පුද්ගලයෙකු තම කැමැත්ත අනුව දේශපාලනයට පිවිසේ නම්, එම තැනැත්තාගේ අපේක්ෂාව වන්නේ ද යා හැකි උපරිම දුර යාමයි. ඊට එම තැනැත්තා නොසෑහෙන වෙහෙසක් දැරිය යුතුය. ඒ අතරම බලයේ සිටින තවත් අයෙකු තම දූ පුතුන් කරලියට ගෙන එන විට ඒ අයට කිසිම කරදරයක් නැතිව මග විවෘතව තිබේ. එවිට මේ තැනට කට්ට කාගෙන පැමිනෙන තැනැත්තාගේ සිතේ අර උරුම කම් මත නිකම්ම කඩා පාත්වෙන අය කෙරෙහි කෝපයක්, ඉරිසියාවක් ඇතිවීම ස්වභාවිකය. ඉතා බරපතල දේශපාලන ගැටුම් ඇති වන්නේ මේ හේතුවෙනි.අනික මේ ඒකාධිකරය තිබෙන තුරු එම පවුල් දාමයන්ගෙන් පිටතින් කෙනෙකුට යහපත් චේතනාවෙන් දේශපාලනයට අවතීර්ණ වී මේ කුණුවුන සමාජ ක්‍රමය පිටු දකින්නට ඇති හැකියාව සිහිනයක්ම වනු ඇත.

එදා 71 දී රෝහණ විජේවීරලා වෙනස් කරන්නට පැතූ  සමාජ ක්‍රමය අද වන විට ඒ යුගයටත් වඩා දස දහස් ගුණයකින් දූෂිත වී ගොසිනි. ඉතින් මේ තත්වය තුල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී බිම්කඩක සිටියත්, සෑම මිනිසෙකුටම මිනිසෙකු ලෙස නිදහසේ ජීවත් විය හැකි සමාජ ආර්ථික වටපිටාවක් ගොඩ නගන්නේ කෙලෙසද ???

ධනේශ්වර ක්‍රමය තහවුරු කරන, පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් ‘දේශපාලන කුලයේ ‘ වැඩවසම් ක්‍රමය තුල ජනතාවගේ ප්‍රශ්ණ දිනෙන් දිනම සංකීර්ණ වනවා විනා විසඳුමක් අත පොවන මානයක නැති කල එවන් සමාජ ක්‍රමයක් සිහිනයක්ම පමනි.

One Response to “නව යුගයේ දේශපාලන කුලය”

  1. Christie Says:

    “1956 දී බණ්ඩාරනායක මහතා තම මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කරනු පිනිස රොස්මීඩ් පෙදෙසේ තම නිවස රු. ලක්ෂ අටකට උගස් කල බව පැවසේ. එනම් ඔහු වෙනුවෙන් වියදම් කරන්නට, මුදල් විසිකරන්නට පිරිසක් සිට නැත”.

    Who paid back the loan and the interest. Definitely not Banda with his small PM salary with three children and a wife. The truth of the matter is SLFP and its elections were financed by the Indian colonial parasites and India. Parasites had a mortgage over Banda to hold him by the balls and that is why he did not give Budhdharakkitha the tender to transport rice from Burma which was a monopoly of the Indian colonial parasites.

    The problem Sinhala politicians have is they are poor and have to rely on Indian colonial parasites and India for funds. This a problem for all locals of the Indian Empire.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress