බලය යොදවා ජයගැනුමට සරසවි ඇඳුරන් 21ක් ප්‍රාණඇපයට
Posted on April 10th, 2016

ධර්මන් වික්රමරත්න

කම්කරු දිනය පැවති 1987 මැයි 1දා නාරහේන්පිට අභයාරාමයේදී පොලිසිය වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මරණයට පත්වූ අතර ඉන් එක් අයෙකු වූයේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාවහාරික විද්‍යා පීඨයේ තෙ‍වන වසරේ සිසු පානදුර පදිංචි කිත්සිරි ‍මෙවන් රණවකය. මෙම ඝාතනයන්ට විරෝධය දක්වමින් රටපුරා සරසවි සිසුහු මැයි 3 සහ 4 විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ, දැනුවත් කිරීම් සහ ප්‍රචාරක කටයුතු සිදුකල අතර මෙහිදී ආරක්ෂක අංශ මගින් එම දින දෙක තුළදී සිසුන් 73දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අතර පේරාදෙණිය 52ක්ද ‍කොළඹ 12ද ජයවර්ධනපුර 9ක්ද වශයෙන් සරසවි සිසුන් පොලිසි මගින් රඳවාගෙන සිටි අතර එම සිසුන් නිදහස්කර ගැනීමට 1987 මැයි 5දා සරසවි ඇඳුරන් 21ක් සහ කාර්ය මණ්ඩල නිලධාරින් 13ක් ප්‍රාණඇපකරුවන් කරගනිමින් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 73 නිදහස් කරගැනීම සඳහා මහා මෙහෙයුමක් ක්‍රියාවට නැගිණි. මෙසේ සිසුන් රඳවාගෙන සිටි පොලිසිය වූයේ කොහුවල, මිරිහාන, කුරුදුවත්ත, මරදාන, බොරැල්ල, මහනුවර, ගලගෙදර සහ හඟුරන්කෙත ඇතුළු පොලිසි කිහිපයකය.

Dharman Wickremaratneධර්මන් වික්‍රමරත්න විසිනි.

ඉරානයේ ටෙහෙරානයේ ඇමරිකානු මහ කොමසාරිස් කාර්යාලය 1979 නොවැම්බර් 4වැනිදා අත්පත්කර ගනිමින් ඇමරිකානුවන් 52ක් දින 444ක් ප්‍රාණඇපකරුවන් ලෙස රඳවා ගනිමින් ඉස්ලාම්වාදී ශිෂ්‍යයින් දියත්කල මෙහෙයුම සහ පේරාදෙණිය උපකුලපති ලෙස්ලි පණ්ඩිතරත්න විසින් පත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගම කොමිසමේ තීරණයක් අනුව මහා ශිෂ්‍ය සභා‍වේ ක්‍රියාකාරික‍යින් 6 දෙනෙකුගේ ශිෂ්‍යභාවය 1983 මුල්භාගයේදී සදාකාලිකව අහෝසි කිරීමට එරෙහිව සිසුන් පේරාදෙණිය සනාතන මන්දිරය අසල සිසුන් 7ක් කල මාරාන්තික උපවාසය මෙයට පෙර ජාත්‍යන්තර සහ ජාතික මට්ටමින් සිදුවූ නිදසුන් ඔවුනට පූර්වාදර්ශයක් වූවාට සැකයක් නැත.

dharman10041602පේරාදෙණිය උපකුලපති ලෙස්ලි පණ්ඩිතරත්න විසින් පත්කල ශ්‍රේෂ්ධාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගම කොමිසමේ තීරණයක් අනුව මහා ශිෂ්‍ය සභා‍වේ ක්‍රියාකාරික‍යින් 7 දෙනෙකුගේ ශිෂ්‍යභාවය 1983 සදාකාලිකව අහෝසි කිරීමට එරෙහිව සිසුන් පේරාදෙණිය සනාතන මන්දිරය අසල මාරාන්තික උපවාසය කළ කොන්ක්‍රීට් වහල(වමේ), උපවාසයේ 5වන දින සිසුන් විසින් ප්‍රාණඇපකරුවෙකු බවට පත්කරගත් විද්‍යා පීඨාධිපති මහාචාර්ය ඩයස් විද්‍යා පීඨයෙන් සනාතන මන්දිරයට ගෙන එන අවස්ථාව(දකුණේ). ඡායාරූපය හෙන්රි වර්ණකුලසූරිය ගෙනි

පේරාදෙණිය සරසවියේ 1983 ආචාර්යව‍රයෙක් ප්‍රාණඇපකරුවෙක් කිරීමේ සිද්ධියට පාදක වනුයේ 1982 පේරාදෙණිය ශිෂ්‍ය සභා නිලවරණයෙන් ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජයගත් පසු උපකුලපති ලෙස්ලි පණ්ඩිතරත්න එජාප අනුබද්ධ සමවාදී ශිෂ්‍ය පෙරමුණට වක්‍රව සහාය දෙමින් ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය මැඩලීමට ගත් උත්සාහය වේ. නිලවරණයෙන් පසු ජයග්‍රාහි පෙළපාලියට එජාපයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විසින් පහර දෙන අතර උපකුලපති කැකිල්ලේ තීන්දුවක් දෙමින් ශිෂ්‍ය සභා සාමාජිකයින් 7කගේ ශිෂ්‍යභාවය අහෝසි කළේය. එයට එරෙහි ශිෂ්‍ය උද්ඝෝෂණයේදී ඒ පිළිබඳව සොයා බැලීමට නිශ්ශංක උදලාගම කොමිසම පත්කල අතර එහි නිර්දේශයක් අනුව 6දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි විය. එයට එරෙහිව සිසුන් විසින් 1983 මාරාන්තික උපවාසයක් එයට එරෙහිව සිදුකල අතර උපවාසයේ 5වන දින වැඩබලන උප කුලපති වශයෙන් කටයුතු කල විද්‍යා පීඨාධිපති මහාචාර්ය ඩයස් ප්‍රාණඇපකරුවෙකු ලෙස පත්කර ගනිමින් සිය ඉල්ලීම් ඉදිරිපත් කලහ.  ඉල්ලීම් දෙන බවට ලිඛිත පොරොන්දුවකින් පසු පැය 3කින් මහාචාර්ය ඩයස් නිදහස් කරගන්නා අතර සරසවිය වසා දැමේ. වසා දැමූ සරසවිය නැවත ඇරඹුවේ ලිඛිත පොරොන්දුව කඩකිරීමෙන් පමණක් නොව සිසුන් 117ක් පන්ති තහනමකටද ලක්කරමිනි. පසුව ලොව ප්‍රථම සරසවි පොලිසිය 1983 දෙසැම්බර් 27වැනිදා පේරාදෙණිය සරසවි භූමියේ ආණ්ඩුව මගින් ස්ථාපිතකල අතර එතෙක් නීත්‍යානුකූල පැවති ශිෂ්‍යසභාද තහනම් කරන ලදී. එහිදී ශිෂ්‍යභාවය අහෝසිවූ 6 දෙනාගෙන් ලලිත් විජේරත්න, ආනන්ද ඉඩමේගම, රංජිතම් ගුණරත්නම් පසුව ජවිපෙ පූර්ණකාලීන දේශපාලනය තෝරාගත්හ.  

dharman10041603සිසුන්ගේ ප්‍රාණඇපකරුවන් බවට 1987 මැයි 5වැනිදා පත්වූ ජයවර්ධනපුර සරසවියේ ආචාර්යවරුන් 13 දෙනා සුමංගල ශාලාවේ කාමරයක පැය 14ක් සිරකරගෙන සිටි අවස්ථාව(ඉහළ), ප්‍රාණඇපකරුවන් බවට පත්වු සරසවි ඇදුරන් 3දෙනෙකු එදින රාත්‍රී බත් පාර්සල් ආහාරයට ගන්නා අවස්ථාව(පහළ). කොළඹ සහ ජ’පුර සරසවිවල මෙම සිද්ධීන්ද ලියුම්කරු එදින මාධ්‍යයට ආවරණය කළේය.

ජවිපෙ 2වැනි කැරැල්‍ලේදී 1987 මැයි 5වැනිදා ප්‍රාණඇපකරුවන් සේ සිසු අඩස්සියට ගත් ආචාර්යවරුන් බේරා ගැනීමට පොලිසිය සහ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ බලහත්කාරයෙන් සරසවි බිමට ඇතුල්වී ප්‍රාණඇපකරුවන් බේරාගෙන යනු ඇතැයි ඇතිවූ සැකය නිසා ජයවර්ධනපුර සහ කොළඹ සරසවි තුළ අදාල ස්ථානයන්ට අවතීරණ විය හැකි සියළු මාර්ග අවහිර කොට බාධක යොදා  සිය අණසකට ගැනීමට සිසුන් සමත්ව සිටි අතර ගේට්ටු වසා මුර දමාගෙන පිටස්තර කිසිවෙකුටත් ඇතුල්වීමට සහ එළියට යැමට ඉඩ නොදිණි. සෑම සරසවියකම එයට නායකත්වය දුන් සිසු කණ්ඩායම් පැමිණ තිබුණේ පිටස්තර සරසවි වලිනි. ඒ ඔවුන් එම සරසවියේම නම් අදාල ආචාර්යවරුන් හඳුනාගන්නා බැවිනි. එබැවින් සරසවි පාලකයින්ට ‘බණ්ඩක්කා න්‍යායෙන්’ ප්‍රශ්නවලින් මඟහැර යාමේ ඉඩ ප්‍රස්ථාද අඩුවන බව සිසුන්ගේ ආකල්පය විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මෙසේ අත්අඩංගුවට ගෙන සුමංගල ශාලාවේ කාමරයක රඳවාගෙන සිටි සරසවි ආචාර්යවරුන් සහ සේවක මණ්ඩලයේ 17දෙනා අතර පහත සඳහන් අය විය. රාජ්‍ය පරිපාලන පීඨාධිපති එච්.ඒ. චාර්ල්ස් ප්‍රනාන්දු, පරිපාලන පීඨාධිපති ඒ. ඒකනායක, පුස්තකාලයාධිපති ඩබ්ලිව් බී. දොරකුඹුර, සත්ව විද්‍යා අංශයේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඊ. රත්නායක, භූගෝල විද්‍යා අංශයේ අධිපති මහාචාර්ය එම්. කරුණානායක, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අධිපති ආචාර්ය චන්ද්‍ර වික්‍රම ගමගේ, ආර්ථික විද්‍යා අංශයේ අධිපති එස්. එම්. සත්කුමාර, සමාජ විද්‍යා අංශයේ අධිපති එඩ්වින් ගනිහිගම, රාජ්‍ය පරිපාලන අංශයේ අධිපති චාල්ස් ප්‍රනාන්දු, ව්‍යාපාර පරිපාලන අංශයේ අධිපති ආනන්ද ගුණවර්ධන, ශිෂ්‍ය උපදේශක අබේරත්න බණ්ඩාර, ශිෂ්‍ය සහකාර ලේඛකාධිකාරි(ශිෂ්‍ය සුබසාධන) ඒ.කේ. රුවනි හේවරත්න, උප කුලපතිගේ පෞද්ගලික සහායක එස්. වී. සී නිලමේ හා ලිපිකාර සේවයේ ඩබ්ලිව් එම්. හේරත් බණ්ඩා ඇතුළු පිරිසකි. ජ’පුර සරසවියේ සිසුන් 9දෙනාගෙන් 8දෙනෙකු නිදහස් කිරීමෙන් පසු රඳවාගෙන සිටි ආචාර්යවරුන් නිදහස් වූයේ ඉන් පැය 14කට පසුවය.

dharman10041604

ප්‍රාණඇපකරුවන් බවට පත්වූ කොළඹ සරසවි ආචාර්යවරුන් බේරාගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ 300ක පමණ පිරිසක් කොළඹ සරසවිය 1985 මැයි 5 වටකල අතර එම කඩාපැනීමේ ප්‍රයත්නයට එරෙහිව සිසුහු සරසවි පිටිය වටා විරෝධය පළකරන අන්දම(ඉහළ) සහ සරසවි බිමට ඇතුළුවන සහ පිටවූවන් පරික්ෂා කරන පොලිස් නිලධාරින්(පහළ)

කොළඹ සරසවියේදී ප්‍රාණඇපකරුවන් සේ රඳවා ගත් ආචාර්වරුන් සංඛ්‍යාව 7කි. ඒ අතර ජේෂ්ඨ ශිෂ්‍ය අනුශාසක අනුර වික්‍රමසිංහ, නීති පීඨයේ වැඩබලන පීඨාධිපතිනිය ඇතුළු කිහිප දෙනෙක් විය. ඔවුහු සිසුන් විසින් ප්‍රාණඇපකරුවන් සේ රඳවා තැබුවේ විද්‍යා පීඨයේ ඉහළ මාලයේ කාමරයක් තුළය. අත්අඩංගුවට ගත් සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලා 1987 මැයි 5 උදෑසන උද්ඝෝෂණයක්ද පැවති අතර පසුව අන්තරේ මෙහෙයවීමෙන් සහ රොනී කුමාරගේ නායකත්වයෙන් සරසවි ආචාර්යවරුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් සිරකරන ලදී. මෙහිදී පැය කිහිපයකට පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ 300ක පමණ පිරිසක් කොළඹ සරසවි භූමිය වටලා එක්වර කඩාවැදී ප්‍රහාරයක් මගින් ඔවුන් බේරා ගැනිමට සැලසුම් සකස් කලහ. එහෙත් සිය ජීවිත ආරක්ෂාව සඳහා එසේ නොකරන්නැයි අත්අඩංගුවට ගත් ආචාර්යවරු කොළඹ සරසවි උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරට දුරකථනයෙන් දැනුම් දෙනු ලැබීය. ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන සිටි කොළඹ සරසවියේ සිසුන් 12දෙනා නිදහස් කිරීමෙන් පසු රඳවාගෙන සිටි ආචාර්යවරුන් නිදහස් වූයේ ඉන් පැය 8කට පසුවය.

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර උපකුලපතිවරයා වශයෙන් සිටියදී ජවිපෙ කැරළිකරුවන් විසින් 1989 මාර්තු 8වැනිදා පෙරවරු 10.10ට කොළඹ සරසවි කොලේජ් හවුස්හි සිය කාර්යාලය තුළදී  වෙඩිතබා ඝාතනයකර තිබිණි. අධ්‍යාපන ධවල පත්‍රිකාව 1981 ආරම්භ කල අවස්ථාවේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාද ස්ටැන්ලි වි‍ජේසුන්දර වූ අතර ඒ පිළිබඳව අන්තරේ සමඟ කල සාකච්ඡාවකදී ‍කේන්ති ගොස් ශාන්ත බණ්ඩාරද වරෙක එළියට දමන ලදී. එදා 1981 ධවල පත්‍රිකාව පිළිබදව එම සාකච්ඡාවට අන්තරේ වෙනුවෙන් මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සමඟ සාකච්ඡා කළේ ජ’පුර එච්.බී. හේරත් සහ පියසේන සමරතුංග, පේරාදෙණියේ ඩී.එම්.ආනන්ද සහ ධර්මවර්ධන මුණසිංහ, කොළඹ වයි.පී. සිරිසේන, රුහුණේ රණසිරි, කැළණිය වීරසිංහ සහ පොල්ගොල්ලේ ධර්මදාසය.

dharman10041605සරසවි ඇඳුරන් 21ක් සහ කාර්ය මණ්ඩල නිලධාරින් 13ක් ප්‍රාණඇපකරුවන් කර ගනිමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 67ක් නිදහස් කරගත් 1987 මැයි 05 සැලසුම ක්‍රියාවට නැගූ අන්තරේ කැඳවුම්කරු කැලණි සරසවියේ බණ්ඩාගේ මච්චාගම සේනාරත්න, ජ’පුර සරසවියේ ආචාර්යවරුන් ප්‍රාණඇපකරුවන්සේ රඳවාගත් මෙහෙයුමේ නායකයාවූ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු නිමල් බාලසූරිය, කොළඹ සරසවියේ ආචාර්යවරුන් ප්‍රාණඇපකරුවන්සේ රඳවාගත් මෙහෙයුමේ නායකයාවූ කැළණි සරසවියේ 83/84 කණ්ඩායමේ විද්‍යා සිසු රොනී කුමාර, පේරාදෙණි සරසවියේ අත්අඩංගුවට ගෙන ඇති සිසුන් සාකච්ඡා මගින් නිදහස්කර ගැනීමට නායකත්වය දුන් එම සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ අතුරලියේ රතන හිමි සහ පශු වෛද්‍ය පීඨයේ එම්.පී. කීර්ති කුමාර, කොළඹ සරසවි සිසුන් නිදහස්කර ගැනීමට පුරෝගාමී සේවයක් කල විද්‍යා පීඨයේ හේමන්ත අජිත් චන්ද්‍රසිරි සහ වානිජ පීඨ‍යේ සමන් කපුගමආරච්චි, ජයවර්ධනපුර සරසවියේ සිසුන් නිදහස් කරගැනීමට පුරෝගාමී සේවයක් කල ජ’පුර සරසවියේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ප්‍රියංකර විජේමුණි සහ උපුල් කිත්සිරි නොහොත් ලෙනෝරා(ඉහළ වමේ සිට)

පේරාදෙණිය සරසවියේ සිසුන් 52 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර සිසුන් 1,500ක පමණ පිරිසක් විරෝධය  පලකරමින් ඔවුන් නිදහස් කරන ලෙසට ඉල්ලා සනාතන මන්දිරියේ ලේඛාධිකාරිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 9 දෙනෙක්ද ඇදුරන් තිදෙනෙක්ද සිරකර ගත්හ. පැය 6කට ආසන්න කාලයක් ඔවුහු සිසු අඩස්සියේ සිටියදී නුවර සහ ඒ අවට පොලිසිවල අත්අඩංගුවට ගෙන සිටි සිසුන් 52දෙනාගෙන් 47 දෙනෙකු නිදහස් කරන ලදී. එම වකවානුව වන විට ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයට අයත් සිසූහු පේරාදෙණිය සරසවියේ සිටියේ රහසිගත අන්දමින්ය. එයට හේතුව පල්ලකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15වැනිදා ආයුධ ලබාගැනීමට ජවිපෙ කල මෙහෙයුමේදී පේරාදෙණිය සිසුන් රැසක් සම්බන්ධ වී සිටීමය. ඔවුන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිස් නිලධාරින් සරසවි‍යේ අවට රැදී සිටියහ. පසු කාලයේදී පල්ලකැලේ ප්‍රහාරය සම්බන්ධයෙන් පේරාදෙණියේ ඉංජිනේරු සිසු ප්‍රේමකුමාර ගුණරත්නම්, වෛද්‍ය සිසුන් වන සිසිර කුමාර සහ බී කොස්තා ඇතුළු කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගත් අතර ඔවුහු පසුව 1988 දෙසැම්බර් 12 මැගසින් බන්ධනාගාරයෙන් තවත් ජවිපෙ සාමාජිකයින් 221ක් මුදවා ගැනිමටද ජවිපෙ සමත් විය.

එවකට පේරාදෙණිය සරසවියේ උපකුලපති වශයෙන් කටයුතු කල එම්.පී පානබොක්කේ විසිනි 1987 මැයි 5 දින විශ්ව විද්‍යාල සනාතන ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් සහ නීති විරෝධී ලෙස ඇතුළුවී එහි කාර්යාලවල තම රාජකාරි කටයුතු වල නිරතවී සිටි නිලධාරින්ට සහ කාර්ය මණ්ඩලයේ අනිකුත් සේවකයින්ට අඩන්තේට්ටම් කරමින් කාර්යාලය තුල  අඩස්සියේ තබාගැනීම, රාජකාරි කටයුතු වලට බාධා කිරීම, නීතිවිරෝධී ඉල්ලීම් කිරීම, විශ්ව විද්‍යාලයේ සාමය, ආරක්ෂාව සහ ක්‍රියාකාරිත්වය කඩා කප්පල්වන සේ ක්‍රියා කිරීම සහ විශ්ව විද්‍යාලයේ විනය නීති උල්ලංඝනය වන පරිදි නොයෙකුත් ක්‍රියාවන්හි යෙදී ඇති බව පවසමින් සිසුන් 17දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටවු බවට 1987 මැයි 21වැනිදා ලිඛිතව දැනුම් දෙන ලදී. එහෙත් පසුව පේරාදෙණිය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ උද්ඝෝෂණයක් මත පාලනාධිකාරිය විසින් ඒකපාර්ශිකව සමාවදීමක් සිදුකර එම ශිෂ්‍යභාවයන් අත්හිටුවීම ඉවත්කර ගන්නා ලදී.

dharman10041606ඇඳුරන් 21 ප්‍රාණඇපකරුවන් කරගත් සිද්ධිය වන විට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වශයෙන් සිටි මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ, කොළඹ සරසවියේ උපකුලපතිව සිටි මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, ජ’පුර උපකුලපතිව සිටි ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, සරසවි ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිව සිටි විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එච්. ශ්‍රියානන්ද, එහි ලේකම්ව සිටි කොළඹ සරසවියේ ආචාර්ය නලින්ද සිල්වා, සිසුන් විසින් කොළඹ සරසවියේ ප්‍රාණඇපකරුවන් ලෙස පත්කරගත් ‍එම සරසවියේ ආචාර්යවරුන් 5 දෙනා අතර සිටි ජේෂ්ඨ ශිෂ්‍ය අනුශාසක ආචාර්ය අනුර වික්‍රමසිංහ(ඉහළ වමේ සිට)

සිසු අඩස්සියෙන් නිදහස්වූ ‍කොළඹ, ජයවර්ධනපුර සහ පේරාදෙණිය සරසවි වල ආචාර්යවරු 1987 මැයි 7 කියා සිටියේ සුදුසු වටපිටාවක් ඇතිවී සිසුන් තමන්ගෙන් සමාව ගන්නා තුරු දේශන නොපවත්වන බවත්, ශිෂ්‍ය උපදේශක හෝ ශිෂ්‍ය කටයුතු වලට අදාළ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වීමටත් වහාම තීරණය කල බවය. සරසවි භූමිවලට අනවසර පුද්ගලයින් ඇතුළුවීම වැලැක්වීමට උපකුලපතිවරුන් පියවර ගතයුතු බවද ඔවුහු කියා සිටියහ. සරසවි ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියේ ශිෂ්‍යයින් විසින් ආචාර්යවරුන් හට මෙවැනි නොමිනිස් සැලකිලි දැක්වීම කෙසේවත් අනුමත ‍කල නොහැකි බවය. එවකට ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිවරයා ඔස්මන් ජයරත්නවූ අතර ප්‍රධාන ලේකම්වරයා වූයේ කොළඹ සරසවි ගණිත අංශයේ ප්‍රධානියාවූ ආචාර්ය නලින්ද සිල්වාය. රජය ප්‍රකාශ කළේ එවැනි ප්‍රචණ්ඩ බවට වාර්තා ලැබී ඇති සිසුන් 1,600කට පමණ මහපොල ශිෂ්‍යාධාර අහෝසි කිරීමට කටයුතු කරන බවය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ එවකට සභාපති මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ උත්ගතවී ඇති තත්ත්වයට විසදුමක් අපේක්ෂාවෙන් රජය සමඟ සාකච්ඡා පැවැත්වීමේ  ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන සිටි සිසුන් 73දෙනාගෙන් සිසුන් 67 දෙනෙකු එදිනම රාත්‍රී වන විට නිදහස්කර තිබිණි. ඉතිරි සිසුන් 06 දෙනා චෝදනා විමර්ෂණය කිරීමෙන් අනතුරුව තීරණයක් දෙන බව දැනුම් දුන්නේය. මෙම සිදුවීමෙන් මාස 7කට පසු මහාචාර්ය කල්පගේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම‍යේ විශේෂ සැසියක් 1987 දෙසැම්බර් 12වැනිදා කොළඹ සරසවි නව කලාගාරයේ පැවති අවස්ථාවේදී ප්‍රධාන අමුත්තෙකු වශයෙන් සහභාගිවූ අතර එය නිමවීමෙන් පසු කොළඹ සරසවි සිසුන් ප්‍රධාන ශාලාවට කඩා වැදී ඔහුව පැය 2කට අධික කාලයක් රඳවා තබා ගන්නා ලදී. එහිදී එම දිනයන්හි පොලිස් අත්අඩංගුවට ගෙන සිටි කලා පීඨයේ සිසුන් 6 දෙනෙකු නිදහස් කරන තෙක් එම විභාගය කල් දැමීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති කල්පගේ එකඟවිය.  පසුව 1989දී මහාචාර්ය කල්පගේ ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්ව ගිය අතර 1991දී එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය ‍නියෝජිතයා වශයෙන්ද කටයුතු කල අතර 2000දි මිය ගියේය.

dharman10041607ඇඳුරන් සිරකර සිටි සුමංගල ශාලාවේ දොරටුව අභියස විරෝධතා වැකි ලියමින් සිටින ජ’පුර සිසුන් පිරිසක්(ඉහළ) අත්අඩංගුවට ගත් සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් රැස්ව සිටින සරසවි සිසුවියන් පිරිසක් 1987 මැයි 05වැනිදා(පහළ)

ආචාර්යවරුන් ප්‍රාණඇපකරුවන් සේ රඳවා ගැනීමේ සැලසුම ක්‍රියාවට නැගූවේ  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය(අන්තරේ) කැඳවුම්කරු වශයෙන් 1987 ජුනි සිට 1988 පෙබරවාරි දක්වා කටයුතුකල කැලණි සරසවියේ මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ 83/84 කණ්ඩායමේ බණ්ඩාගේ මච්චාගම සේනාරත්නය. අනුරාධපුරයේ මැකිච්චාවල සිප්පුකුලම ග්‍රාමයේ උපන් සේනාරත්න හබරණදී 1989 ජුලි මස අත්අඩංගුවට ගත් අතර ඔහුගේ සිරුර 1989 අගෝස්තු මස මොරටුව ගඟේ දක්නට ලැබුණු බව කියති. ඔහුගේ පෙම්වතිය වූයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ මරදන්කඩවල වලගම්බාහු පදිංචි චන්දිය.

ජයවර්ධනපුර සරසවියේ ආචාර්යවරුන් ප්‍රාණඇපකරුවන්සේ රඳවාගත් මෙහෙයුමේ නායකයා වූයේ මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිසුවෙකුවූ නිමල් බාලසූරියය. පසුකලෙක අන්තරේ කැඳවුම්කරු ලෙසද 1988 මාර්තු 01දා ඔහු පත්විය. බෝම්බයක් රැගෙන අදාල ඉලක්කයක් පෙන්වීමට තවත් කැරළිකරුවෙකු සමඟ යෑමේදී එය පිපිරීමෙන් 1988 මැයි 8 වැල්ලවත්ත කුරේ මාවතේදී එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත්වූ බාලසූරියගේ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී 1988 මැයි 10 සිදු කරන ලදී. කොළඹ සරසවියේ ආචාර්යවරුන් ප්‍රාණඇපකරුවන්සේ රඳවාගත් මෙහෙයුමේ නායකයාවූ කැළණි සරසවියේ 83/84 කණ්ඩායමේ විද්‍යා සිසු රොනී කුමාර කැලණිය විද්‍යා පිඨයේ 83/84 කණ්ඩායමේ සාමාජිකයෙකි. මාරවිල කටුනේරියේදී 1962 නොවැම්බර් 17වැනිදා උපන් රොනී සිංහල කතෝලිකයෙකුවු අතර ගරාජ් හිමියෙකුවූ පියා වර්ණකුලසූරියගේ ජෝෂප් ප්‍රනාන්දුය. ගුරුවරියකවූ මවවන පල්ලියරාලලාගේ දෝන රීටා මියගි‍යේ 2014දීය. රොනීට නැගණියක් සහ සොයුරන් තිදෙනෙකුවූ අතර වැඩිමහලාවූ විරාජ් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරියෙකි. රොනීගේ සමීපතම සරසවි සගයන් අතර අශෝක හදගම, සේන නානායක්කාර ඇතුළු කිහිප දෙනෙක්මවූ බව මතකය. රොනී කුමාර මියගියේ කටුනායක ගුවන් හමුදා කඳවුරින් අවි පැහැර ගැනීමට 1988 අප්‍රේල් 22වැනිදා ජවිපෙ කල මෙහෙයුමේදී ගරිල්ලා භටයෙකු ලෙසය.

dharman10041608දුම්බර මණ්ඩපයේ සිසුන්ද පේරාදෙණිය සිසු උද්ඝෝෂණයට සහභාගිකරවා ගැනීම සඳහා ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව වෙනුවෙන් එහි ගොස් සාකච්ඡාවක නිරතවූ තිදෙනෙක් දුම්බර මණ්ඩපයේ සිසු නායකයින් සමඟ. රතු රවුමකින් දක්වා ඇත්තේ පේරාදේණිය පශු වෛද්‍ය පීඨයේ 83/84 කණ්ඩායමේ අම්පාර ඉඟිනියාගල ලක්ෂ්මන් රංජිත් අබේරත්න(ටොමා) වන අතර ඔහු 1987 අප්‍රේල් 15 පල්ලකැලේ හමුදා කඳවුරට කඩාවැදී අවි පැහැරගැනීම සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් 1988 දෙසැම්බර් 12 වැනිදා ජවිපෙන් මුදවාගත් රැඳවියන් 224දෙනා අතර විය. ලක්ෂ්මන් 1989 මැයි 21 කුලියාපිටියේදී ඇත්අඩංගුවට ගත් අතර පසුව ඝාතනයට පත්විය.

පේරාදෙණි සරසවියේ අත්අඩංගුවට ගෙන ඇති සිසුන් සාකච්ඡා මගින් නිදහස්කර ගැනීමට නායකත්වය දුන්නේ එම සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ අතුරලියේ රතන හිමි, පශු වෛද්‍ය පීඨයේ එම්.පී. කීර්ති කුමාර සහ කෘෂි පීඨයේ නන්දන ගුණතිලක ඇතුළු පිරිසකි. කොළඹ සරසවි සිසුන් නිදහස්කර ගැනීමට පුරෝගාමී සේවයක් කල විද්‍යා පීඨයේ හේමන්ත අජිත් චන්ද්‍රසිරි  1989 ඔක්තෝබර් 13දා මිනුවන්ගොඩ නිවසින් පැහැරගෙන ගොස් කොළඹ සරසවි නීති පීඨ වධකාගාරයේදී බෙල්ල කපා මරාදැමූයේද වානිජ පීඨ‍යේ සමන් කපුගමආරච්චි 1989 ඔක්තෝබර් 19දා වෙඩිතබා පිහියෙන් ඇන ඝාතනය කළේද කොළඹ සරසවි‍යේ ස්වාධින ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල්. ධර්මසිරි ඇතුළු පිරිසක් විසිනි.

ජයවර්ධනපුර සරසවියේ සිසුන් නිදහස් කරගැනීමට පුරෝගාමී සේවයක් කලේ ජ’පුර සරසවියේ කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨයේ 84/85 කණ්ඩායමේ එන්.බී. උපුල් කිත්සිරි නානායක්කාර නොහොත් ලෙනෝරා සහ එම පීඨයේම 84/85 කණ්ඩායමේ මතුගම පදිංචි ප්‍රියංකර විජේමුණිය. මහරගමදී 1989 නොවැම්බර් 2 පැහැරගෙන ගිය ප්‍රියංකර පසුව ඝාතනයට ලක්විය. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1989 ඔක්තෝබර් සිට 1990 ජනවාරි දක්වා ප්‍රධාන ලේකම් තනතුර දැරූ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් උපුල් කිත්සිරි රාජගිරිය නිවසකදී 1990 ජනවාරි අවසානයේදී අත්අඩංගුවට ගත් අතර පසුව නීති පීඨ වධකාගාරය, තිඹිරිගස්යායේ මෙහෙයුම් මධ්‍යස්ථානය, හෙන්ද්‍රි ප්‍රේදිරිස් උද්‍යානයේ පිහිටි වධ කඳවුරටද ගෙනයනු ලැබීමෙන් පසු 1990 පෙබරවාරි 16වැනිදා ඝාතනයට ලක්විය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු බී. සේනාරත්න 1987 මැයි 9වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සරසවි කිහිපයක ඇදුරන් එකම තැනකට එකතුකරන ලද්දේ පරිපාලනයට බලපෑම් කිරීමට මිස ආචාර්යවරු ප්‍රාණඇපකරුවන් ලෙස රඳවා ගැනීමට නොවන බවය. හඑදා ගත් එම තීරණය අදාළ සරසවිවල ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවල පෞද්ගලික තීරණයක් බවය.

අනේක විධි  ක්‍රියාකාරකම් හා දේශපාලන නොමේරුකම්ද, සීමාන්තික හැසිරීම්ද දිස්කළ මේ දේශපාලන භූමිකා අවසානයේ කෙලවර වූයේ විනාශයෙන්ය. ඒ උපායමාර්ගයන්හි නොගැලපීම් හේතුවෙනි. එබැවින් ජීවිතවලින් ගෙවීමට සිදුවූ වන්දියද අපමණය. බලය ලබාගැනීමට ප්‍රචණ්ඩභාවය යෙදිය යුතුය යන නිගමනය මර්ධනයේ බීජයවන අතර දිගුකාලීන සංස්කෘතියෙන් හික්මුණු සමාජයක් ප්‍රචණ්ඩභාවයට එකඟ නොවේ. ඉතිහාසයේ සිදුවූයේ එයයි. සංවිධානය සහ නිවැරදි එල්ලයේ මැදිහත්වීමේ භූමිකාවක් නොමැතිව අරගල සම්ප්‍රදායන් ගැන හැදෑරීම පමණක් ප්‍රායෝගික නොවන බව එය පසක් කළේය.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress