පෙරදිගට ගමනක් – 9 කොළඹ හැදුවේ කවුද?
Posted on April 11th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

දහතුන්වැනි සියවසේ ලියැවුණු සිදත් සඟරාව” කියන විදිහට කොළඹ” කියන්නේ සිංහල අපේ ම වචනයක්. ඒ කියන්නේ ඉන්දු-ආර්ය භාෂාවකින් හරි ද්‍රවිඩ භාෂාවකින් හරි යුරෝපීය භාෂාවකින් හරි ලබාගත්ත චවනයක් නෙවෙයි. අපි ම හදාගත්ත වචනයක්. කොළඹ” කියන වචනයේ තේරුම තමයි තොටුපොළ” කියන එක – වරාය” කියන එක. ඒත් පෘතුගීසි එන්න කලින් කොළඹ කොළඹක්” විදිහට ප්‍රසිද්ධ වෙලා තිබුණේ නෑ. ඉතිහාසයේ අපේ රටේ වරායවල් විදිහට නිතර ම සඳහන්කරලා තියෙන්නේ ගෝකණ්ණ, මාංතොට, ගාල්ල, වැලිගම වගේ තැන්. ඒත් දැන් කොළඹ තමයි මේ රටේ ප්‍රධාන වරාය තියෙන්නේ. ඒ කියන්නේ කොළඹ දැන් සැබෑවට ම කොළඹක් වෙලා. කොළඹ” කියන වචනය හැදුවේ අපි වුනාට කොළඹ හැදුවේ අපි නෙවෙයි.

අපේ කොළඹ ප්‍රධාන පෙළේ වරායක් බවට පත්කරන්න මුල්වුනේ පෘතුගීසින්. පස්සේ මේ වරාය ලන්දේසි සහ ඉංග්‍රීසි පාලකයෝ වැඩි දියුණුකළා. කොළඹ නගරය කියන එකේ තේරුම තමයි වරාය නගරය කියන එක. කොහොම වුනත්, දැන් තියෙන කොළඹ නගරය හදන්න මුල්වුනේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලකයෝ. මේ නගරය කොහොමටත් සැලසුම්කරලා තියෙන්නේ වරාය මුල් කරගෙන. රටේ හැම පැත්තෙන් ම කොළඹට එන පාරවල් යොමුකරලා තියෙන්නේ වරාය පැත්තට. වරායට අල්ලපු වත්තේ තමයි රජගෙදර – ඒ, කියන්නේ දැන් ජනාධිපති මන්දිරය විදිහට නම්කරලා තියෙන ගොඩනැගිල්ල; හදලා තියෙන්නේ. අනිත් හැම දෙයක්මත් තියෙන්නේ මේ වරාය වටේ. තොග වෙළෙඳපොළ, සිල්ලර වෙළෙඳපොළ, රජයේ කාර්යාල, රෝහල්, පාසල් වගේ හැම දෙයක් ම. මේ නගරයේ නැත්තේ පන්සල් විතරයි. ගංගාරාමයයි, රිසවේෂන් ඉඩම් ටිකක් අල්ලගෙන හදපු පන්සල් ගණනාවකුයි තියෙනවා තමයි. මේ නගරයෙන් අපේ සිංහල සංස්කෘතිය නීරූපණය වෙන්නේ නැති බවට චෝදනාවක් තියෙනවා. ඇත්තෙන් ම එහෙම දෙයක් මේ නගරයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මේ නගරය හදලා තියෙන්නේ අපි නෙවෙයි.

මේ නගරයේ දැනට ජීවත්වෙන බහුතරය සිංහලයන් නෙවෙයි. ඒක අපි කවුරුත් දන්නවා. ඒත් මේ නගරයෙන් අපේ සංස්කෘතියේ එක පැත්තක් නිරූපණය වෙනවා. ඒ තමයි, අපි පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි පාලකයන්ගෙන් අත්පත් කරගත්ත දේවල්. කොළඹ කියන්නේ බටහිර යටත්විජිත පාලනයට එක දිගට ම නතුවෙච්ච නගරයක්. ඒ විදිහේ යටත්විජිත පාලනයට නතුවෙලා තිබිලා රටේ අගනගරය බවට පත්වුනු තැන් කීයක් තියෙනවා ද කියලා අපේ අයට හොයලා බලන්න පුළුවන්. සමහරු කරුණු හොයලා බලන්නේ නැතිව කියනවා ඉන්දියාව කොච්චර නම් යටත්විජිත පාලනයෙන් දුක් වින්දා ද” කියලා. ඒත් දිල්ලිය ඉංග්‍රීසි යටත්විජිත පාලනයේ අගනගරය විදිහට තිබුණේ අවුරුදු 36 ක කාලයක් විතරයි. ඒ, 1911 ඉඳලා 1947 වෙනකල්. ඊට කලින් කොල්කතාව මුල් කරගෙන රට” පාලනය කළත්, 1793 වෙනකල් ම බෙංගාලය තිබුණේ මූගල් අධිරාජ්‍යය යටතේ. ඒ ප්‍රදේශය පාලනය කළේ මූගල් අධිරාජ්‍යයේ බෙංගාල සහ මුර්සිදාබාද් කලාප භරදීලා තිබුණු නවාබ්ලා විසින්. පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමේ හමුදා ප්‍රහාරවලින් මේ නවාබ්ලා පැරදුනා. කොල්කතාව කොම්පැනි රාජ් පාලනයට නතුවුනා. ඒත් ඒ වෙනකොට, කොළඹ නගරය පෘතුගීසි පාලනය යටතේ අවුරුදු 150 ක් විතර කාලයකුත් ලන්දේසි පාලනය යටතේ තවත් අවුරුදු 150 කට ආසන්න කාලයකුත් පාලනය වෙලා අවසන්.  ඒ කියන්නේ අවුරුදු 300 කට ආසන්න කාලයක්. ඊට අවුරුදු තුනකට පස්සේ 1796 පෙබරවාරි 14 වැනි දා – ඒ කියන්නේ වැලන්ටයින් දවසේ; කොළඹ නගරය ඉංග්‍රීසි පාලනයට නතුවුනා. එදා ඉඳලා තවත් අවුරුදු 152 ක් කොළඹ නගරය ඉංග්‍රීසි පාලනය යටතේ ලොකු මහත්වුනා. ඉතින් කොළඹ කියන්නේ එක දිගට ම අවුරුදු 450 කට වැඩි කාලයක් යුරෝපීය පාලනය යටතේ හැදිච්ච වැඩිච්ච නගරයක්.

මේ විදිහට හැදුණු වැඩුණු නගරයක් ඉන්දියාව කියන රටේ” තියෙනවා ද? ඇයි, ගෝව?” කියලා කාට හරි අහන්න පුළුවන්. ඇත්තෙන් ම ගෝව කියන්නේ 1510 ඉඳලා 1961 වෙනකම් එක දිගට ම අවුරුදු 451 ක් පෘතුගීසි පාලනය යටතේ තිබුණු ප්‍රදේශයක් තමයි. ඒත් ඉතින් ගෝව කියලා කියන්නේ ඉන්දියාව කියන රටේ” අගනුවර නෙවෙයිනේ. ඉන්දියාව කියන රට” පාලනය කරන්නේ ගෝවේ දී – එහෙම නැතිනම්, ගෝව ප්‍රදේශයට අයිති වස්කෝ ද ගාමා නගරයේ දී; ගන්න තීරණවලින් නෙවෙයිනේ. ඉන්දියාව කියන රට” පාලනය කරන්නේ 1543 දී ගොඩනගපු ඒ වස්කෝ ද ගාමා නගරයේ සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච මිනිස්සු නෙවෙයිනේ.

කොළඹ කියන්නේ එහෙම තැනැක් නෙවෙයි. කොළඹ තමයි මේ රටේ ප්‍රධාන නගරය. කොළඹ ඉඳලා තමයි මේ රට පාලනය කරන ක්‍රමය තීරණය කරන්නේ. පාර්ලිමේන්තුව දියවන්නාවට ගෙනියලා තිබුණාට ඒකට යන මිනිස්සු ඉන්නේ කොළඹ. ඇත්තෙන් ම, දියවන්නාව කියන්නෙත් කොළඹ ම තමයි. මේ රට පාලනය කරන අය අතර – එහෙම නැතිනම් මේ රටේ උගතුන් අතර, නිලධාරීන් අතර; ඉන්න බලවත් අය හැදිලා වැඩිලා තියෙන්නේ කොළඹ. එහෙම නැතිව ඒ අය පිටින් ආපු අය නම්, අඩු ගණනේ ඒ අය ගේ දරුවෝ ඉගෙනගන්නේ කොළඹ. මොකද කොළඹ කියන්නේ දැන් මේ රටේ තියෙන වැදගත් ම තැන. කොළඹට වැඩි තැනැක් මේ රටේ වෙන කොතැනකවත් නෑ. කොළඹ ඉඳලා රට පාලනය කරන රජවරු” අර රජ කාලේ රජවරු වගේ වෙහෙර විහාර හදන්න මහන්සි වෙන්නේ නෑ. මොකද එහෙම වෙහෙර විහාර හදන සංස්කෘතියක් කොළඹ නෑ. එහෙම එකක් බලාපොරොත්තු වෙන්නත් බෑ. මොකද කොළඹ කියන්නේ සිංහල අපේ වෙනත් සංස්කෘතික පැත්තක් නියෝජනය කරන නගරයක්.

මොකක්ද මේ වෙන පැත්ත? ඒ තමයි, අපි යූරෝපීයයන්ගෙන් උරුමකරගත්ත ලිබරල් සංස්කෘතිය. මේ තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තියෙන ලිබරල් සංස්කෘතිය නෙවෙයි. යුරෝපයේ තියෙන ලිබරල් සංස්කෘතියත් නෙවෙයි. කාට හරි කියන්න පුළුවන් මේ තියෙන්නේ ඒ සංස්කෘතියේ එක්තරා ආකාරයක විකෘතියක් කියලා. එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ. හොෆ්ස්ටඩ්, ට්‍රොම්පනාස්, ඉංග්ල්හාට් සහ ස්වාර්ට්ස් කරලා තියෙන සංස්කෘතික අගයයන් පිළිබඳ අධ්‍යයනවලින් හඳුනාගෙන තියෙන කරුණුවලට අනුව පුද්ගලාන්තික අගයයන් සහ සමූහාන්තික අගයයන් මුල් කරගෙනත් සමාජ සංස්කෘතීන් වෙන්කරලා හඳුනාගන්න පුළුවන්. ඊට අමතරව තව තවත් අගය මානයන් ගේ වෙනස්කම් පවා ඒ අය පෙන්නලා දීලා තියෙනවා. මේ අධ්‍යයනවල යම් යම් අඩුපාඩු තියෙන බව ඇත්ත. ඒත්, මේ හැම දෙනෙක් ම වගේ අඩු වැඩි වශයෙන් පුද්ගලාන්තික සහ සමූහාන්තික අගයයන් සහිත සමාජ ගැන කරුණු කියනවා. මේ දැනුම සහ ඒ සම්බන්ධයෙන් අපේ තියෙන නිරීක්‍ෂණ පදනම් කරගෙන සළකා බැලුවා ම අපිට පේනවා අපේ සහ අපිට සමාන සංස්කෘතීන් තියෙන සමාජවල මිනිස්සු සමූහාන්තික අගයයන් මත පදනම් වූ හැසිරීම් පෙන්නුම්කරනවා. ඒත්, බටහිර – විශේෂයෙන් ම, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ; සමාජවල මිනිස්සු පුද්ගලාන්තික අගයයන් මත තීන්දු තීරණගන්නවා.

ලිබරල් අදහස් ගොඩනැගිලා තියෙන්නේ එක්තරා ආකාරයකින් පුද්ගලාන්තික අගයයන්ට මුල් තැනැක් දීලා. ඒත් අපේ සිංහල සමාජය මූලිකව ම සමූහාන්තික අගයයන් උඩ සැකසිලා තියෙනවා. බටහිර යටත්විජිත පාලනය, දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය, ජනමාධ්‍ය, බටහිර චිත්‍රපට වගේ දේවල් හරහා අපේ සමාජයට පුද්ගලාන්තික අගයයන් මත පදනම් වූ ලිබරල් අදහස් එකතුවෙලා තියෙනවා. තව තවත් එකතුවෙමින් තියෙනවා.

බටහිර ආභාෂය නිසා අපි දැන් සෑහෙන්න ලිබරල් අදහස් වැළැඳගෙන ඉන්නේ. ඒ එක්කම පුද්ලාන්තික අගයයන් සෑහෙන ප්‍රමාණයකුත් අපේ සංස්කෘතියට එකතුවෙලා. හැබැයි මේවා එකතුවෙන්නේ අපේ සංස්කෘතික අගයයන් ඒ විදිහට ම තියෙද්දි. සංස්කෘතික අගයයන් සදාකාලික ව ඒ විදිහට ම තියෙන්න බැරි බව ඇත්ත. ඒත් ඒවා කෙටි කාලයක දී වෙනස්වෙන්නේ නෑ. ඒ හින්දා, අපේ සමූහාන්තික අගයයන් බරපතල විදිහට ලිබරල් අදහස්වල බලපෑම හින්දා වෙනස්වෙලා නෑ. අපි තවමත් පවුල් විදිහට – පවුල් මුල් කරගෙන හිතනවා. තීරණගන්නවා. ඒ අනුව හැසිරෙනවා. පවුල්වාදය ගැන චෝදනාවක් අපේ දේශපාලන ලෝකයේ හැම වෙලාවේ ම නැගෙන්නේ මේ හින්දා. බටහිරින් අපිට ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පුද්ගලාන්තික අගයයන් උඩ ගොඩනගපු දෙයක්. ඒ ඇතුළේ පවුල්වාදයකට ඉඩක් තියෙන්න බෑ. ඒත් එහෙම කියලා, අපේ සමූහාන්තික අගයයන් අමතකකරන්න අපිට බෑ.

අපි අතර ඉන්න පුද්ගලාන්තික අගයයන් උස්ස උස්ස පෙන්වන අය තුළ පවා සමූහාන්තික හැසිරීම් ඉතිරිවෙලා තියෙනවා. රෝයලිස්ට්ලා රෝයලිස්ට්ලාට සළකනවා. විසාකියන්ස්ලා විසාකියන්ස්ලාට සළකනවා. ආනන්දියන්ස්ලා ආනන්දියන්ස්ලාටත් සළකනවා. ඒ විතරක් නෙවෙයි. රෝයලිස්ට්ලා විසාකියන්ස්ලාටත් සළකනවා. සිංහල මිනිහෙක් තව සිංහල මිනිහෙක්ට උදව්කරන්නේ නෑ කියලා චෝදනාවක් තිබුණාට යම් යම් සීමාවන් ඇතුළේ ගමේ, කොළඹ කියලා වෙනසක් නැතිව අපේ අය එකිනෙකාට සළකගන්නවා. ඉතින් ඒ නෑදෑකම්” මුල්කරගෙන හොඳ හොඳ රැකි රස්සා, තානාන්තර, මැති ඇමැතිකම් පවා බෙදා හදාගන්නවා. ඉතින් හොඳ යමක්” බලාපොරොත්තුවෙන් අපේ ගම්වල අයත් තමන් ගේ දරුවන් ව කොළඹ පාසල්වලට යවන්න දඟලනවා.

මෙහෙම දේවල් වෙන්නේ සාමූහිකත්වය අගයකරන සංස්කෘතියක පුද්ගලිකත්වයත් අගයකරන්න යෑම තුළ බව පැහැදිළියි. අපි අපේ පුද්ලිකත්වය ඉස්සරහට ගෙනියන්නේ පවුල්වාදය, ඉස්කෝලවාදය, ක්ලාස්-මේට්”වාදය විදිහට. රාජ්‍ය පාලන කටයුතුවල දි මෙහෙම වෙන එක වළක්වන්න ඕන කියලා දැන් දැන් නිතර ම කියනවා. ලිබරල් උපක්‍රමවලින්, ඒ ඇගැයීම් උඩ පිහිටුවන ස්වාධීන” ආයතනවලින් මේවා වළක්වන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. මේවා වළක්වන උපක්‍රම අපේ සාමූහික ඇගැයීම්වලට ගැලැපෙන විදිහට හදාගන්න ඕන. සාමූහිකත්වය ඇතුළේ හෑල්ලුවට පත්වෙන්න අපි කවුරුවත් කැමැති නෑ. ඒ, අපි සාමූහිකත්වය අගයකරන හින්දා.

පුද්ගලාන්තික අගයයන් කොළඹින් ඔබ්බටත් පැතිරිලා තියෙනවා. ඒත් ඒ පැතිරෙන්නෙත් සමූහාන්තික අගයයන් අස්සේ ම යි. ඉතින් ඒ හින්දා යම් යම් ගැටුම් පවුල් ඇතුළේ පවා ඇතිවෙනවා. අපි තරුණ කාලේ ඇතිකරගන්න ප්‍රේම සම්බන්ධතා සහ විවාහ ආවාහ සම්බන්ධ කාරණාවල දී මේ වගේ ගැටුම් නිතර ම ඉස්සරහට එනවා. අපි ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නේ පුද්ගලාන්තික අගයයන්, නිර්ණායක පදනම් කරගෙන. ඒත්, කසාදයක් කරගන්න ගියා ම සමූහාන්තික අගයයන් ඉස්සරහට එනවා. සිංහල අපේ කසාද සිද්ද වෙන්නේ ස්ත්‍රියක සහ පුරුෂයකු අතර විතරක් ම නම් නෙවෙයි. දෙපාර්ශ්වයක පවුල් අතර. ඉතින් අපි කරගන්න කසාදය පවුල්වලට ගැලපෙන්න ඕන. එහෙම නොවුනා ම සෑහෙන්න ප්‍රශ්න, ගැටුම් ඉස්මතු වෙනවා. දික්කසාදයක් කරගන්න ගියත් හතර වටේ ම හිතන්න ඕන. ළමයි ඉන්නවා නම් තමන් අතර මොන ප්‍රශ්න තිබුණත් ඒ තීන්දුව ගන්න අදිමදිකරනවා.

අද තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් සහ මාධ්‍ය ඔස්සේ – එහෙම නැතිනම් අපි කියමු අර ගෝලියකරණය කියලා හඳුන්වන කාරණය හින්දා; ලෝකය පුරා ම පුද්ගලාන්තික අගයයන් මත පදනම් වෙච්ච ලිබරල් අදහස් පැතිරෙමින් තියෙනවා. අවුරුදු 450 ක විතර කාලයක් එක දිගට ම බටහිර බලපෑමට නතුවෙලා හිටපු හින්දා ඒ අදහස් වැළැඳගැනීමට වැඩි නැඹුරුවක් අපි ගාව තියෙනවා. ඒත් අපි අපේ සමූහාන්තික අගයයන් මත පදනම් වෙච්ච හැසිරීම් වෙනස්කරන්නත් සූදානම් නෑ. ඉතින් දැන් අපේ සමාජයේ හැම තැනැක ම වගේ දකින්න පුළුවන් එක්තරා ආකාරයක සංස්කෘතික ආරවුලක්.

මී ළඟ ලිපියෙන් මේ ආරවුල ගැන යමක් කියන්නම්.

වරුණ චන්ද්‍රකීර්ති෴

2 Responses to “පෙරදිගට ගමනක් – 9 කොළඹ හැදුවේ කවුද?”

  1. Christie Says:

    We are a majority with a minority complex like other subjects of the Indian imperialists.

  2. aravinda Says:

    My understanding is that kaleni river was known as kolon river. Kolonthota was the original name of Colombo. I cant remember where I read it.

    In Piyadasa Sirisena’s 1913 novel, Jayatissa saha Roselyn, at one point Rossalyn asks Jayatissa, “Jayatissa, umba rateda thoteda”, where she meant, “Are you from a villege or from Colombo?”. Which means, even hundred years ago, Colombo was known as Kolonthota.

    There are many misconceptions about origin of Colombo. Only few years ago, an old Italian told me COLOMBO was named after Christopus Colombo, later anglicised as Christopher Colombus. I had to explained to him, Christopher Colombus never came to Sri Lanka, aand we know nothing about him.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress