චූන් පාන් වලින් චූන් වන දේශපාලනය
Posted on April 15th, 2016

මතුගම සෙනෙවිරුවන්

රට පුරා අස්සක් මුල්ලක් නෑර ගම් දනව් ඔස්සේ විසිල් ගසමින් පැමිණෙන පාන්බේකරි රථයට වශීකෘත ව සිටින සමාජයකට රටේ ස්වාධීනත්වය මෙන්ම ජාතික ආරක්ෂාවට තිබෙන අනතුර ගැනද පවසන්නට නොහැකිය. කීවත් එය නෑසුනා මෙන් සිටිති. නමුත් හෙක්ටයාර් සියයක් ලක්ෂයක් මෙදා යල්කන්නයේ වී ගොවිතැන තහනම් කරන බවට රජය කියන කල්හි මේ පාන් කන ගොවීන් ගේ බඩ පපුව දාගෙන යති. නගර බද චූන් පාන් කන ඇත්තන් ගේද ඇඟ මයිල් කෙලින් වෙති. ඒ බඩට වදින බැවිනි.

චූන් පාන් හදන්නට ලංකාවට තිරිඟු පිටි මෙට්රික් ටොන් දහතුන් ලක්ෂයක් පමණ වාර්ෂිකව ගෙන්වති.මේවා ගෙන්වීමට රුපියල් මිලියන හතළිස්දාහක් පමණ  වැය වන්නේ යැයි ගණන් බලා තිබේ. සැබවින්ම ලංකාවේ තිරිගු පිටි පරිභෝජනය සියයට හැත්තෑවක් පමණ වේ.මිලියන දෙසිය පණහක ජනගහනයක් තිබෙන ඉන්දුනීසියාවේ ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය කිලෝ 23 කි. තායිලන්තයේ විසිදෙකකි. වියට්නාමයේ 20කි. මියන්මාරයේ 6.5 කි නමුත් ලංකාවේ එය 56 අගයක් ගනී. එය මේ අසියාකරයේ වී වගා කරන රටවලට සාපේක්ෂව පමණක් නොව බොහෝ රටවලට සාපේක්ෂය ඉහළ අගයකි. සැබවින්ම එස් වන්නේ ඇයි.

ලංකාවේ කෘෂි වගා බිම් අතරින් විශාල ප්‍රමාණයක් වී ගොවිතැන් කළ හැකි කුඹුරුය. ඒවා ගණනින් හෙක්ටයාර් 772626 කි.(2014 ) ඒ මාස් කන්නයටයි.යල කන්නයේදී එය හෙක්ටයාර් 429091 (2015 ) බවට පත් වේ. වසර තිහක් පමණ ඇදී ගිය යුද්ධ සමයේ දී මෙම සමස්ත වගා බිම් ප්‍රමාණය විශාල ප්‍රමාණයක් අහිමිව තිබුණද සාමය උදා වීමෙන් පසු සමස්ත කුඹුරු ප්‍රමාණයම වගා කෙරෙමින් ඇත. ඒ අනුව මාස්කන්නයට වී මෙට්රික් ටොන් 2876987 ක දළ අස්වනු ප්‍රමාණයක්( 2014 ) ද යල කන්නයට වී මෙට්රික් ටොන් 2000000 කට ආසන්න ප්‍රමාණයක්ද නිපදවා ඇත. එයට අමතරව ගණනයට බඳුන් නොවන ගෘහස්ථ වී ප්‍රමාණයක්ද තිබෙන බව මෙහිදී පෙන්වා දිය යුතුය.ඒ අනුව වාර්ෂිකව වී මෙට්රික් ටොන් ලක්ෂ පණහක් පමණ ලංකාවේ නිෂ්පාදනය වේ.  ලංකාවේ ප්‍රධාන ආහාරය බත් බැවින් මෙම අස්වනු ප්‍රමාණයට සාපේක්ෂ වශයෙන් දෛනික ආහාරයට මෙයින් ලැබෙන සහල් ප්‍රමාණවත් බව කෙනෙකුට පෙන්වා දිය හැකිය.ඒක පුද්ගල සහල් පරිභෝජනය පසුගිය කාලයේදී නිලෝ 155 දක්වා වර්ධනයව තිබුණි.මෑතකදී නැවතත් තිරිඟු පිටි පරිභෝජනය ඉහළ යෑම නිසා එය  කිලෝ 104 දක්වා පල්ලම් බැස ඇත.

සාමාන්‍යයෙන් බත් වෙනුවට ධාන්‍ය  වලින් සැකසූ ආහාර සහ තිරිඟු පිටි වලින් සැකසූ ආහාර පරිභෝජනයක් ලංකාවේ සිදු වේ. විශේෂයෙන් තිරිඟු පිටි මගින් සාදන පාන් බනිස් සහ කෙටි කෑම විශාල වශයෙන් නාගරිකව සහ ගම්බදව අලෙවි වේ. එයට එක් හේතුවක් වන්නේ තිරිඟු පිටි වල පවතින ග්ලූටන් නම් ඇදෙන සුළු ද්‍රව්‍ය නිසා පහසුවෙන් ඒ මගින් සැකසූ ආහාර  නිෂ්පාදනය කරගැනීමට හැකි වීමයි.අතීතයේදී මෙන් නොව වර්තමානය වන විට ආහාර සකස් කරලීමට තිරිඟු පිටි ලැබෙන්නේ එහි තිබෙන බොහෝ පෝෂණීය ද්‍රව්‍ය ඉවත් කිරිමෙනි. කහ පැහැයට හුරු තිරිඟු පිටි සුදු පැහැ වර්ණයට හැරීම සිදු වන්නේ මෙලෙස එහි තිබෙන බොහෝ ද්‍රව්‍ය ඉවත් කිරීමෙනි. ඒ නිසා මෙයින් සැකසූ ආහාරයන්ද පෝෂණීය අගයෙන්  පහළ ස්ථානයක පවතී. නමුත් තිරිඟු පිටි පරිභෝජනය දිනෙන් දින ඉහළ යයි.

ලංකාවට වාර්ෂිකව ආනයනය කරන  තිරිඟු   සඳහා බද්දක් අයකෙරේ. මෙම තිරිඟු වල වාර්ෂික වටිනාකම රුපියල් මිලියන හතළිස්දාහක් පමණ වේ. එනම් ඇමරිකන් ඩොලර් 323.2 ක ප්‍රමාණයකි. ( 2014 ) නමුත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ විචල්‍යතාවය අනුව මෙම වටිනාකම වෙනස් වන බව වටහා ගත යුතුය. කෙසේ වෙතත් වාර්ෂිකව ලංකාවේ නිපදවන  වී ප්‍රමාණයේ සහල් අස්වැන්නේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 211125000 ක් පමණ වේ.. නමුත් වී මිළ වරින් වර පහළ දැමීමෙන් සහ සහල් වල මිළ අඩු කිරීමෙන් එම වටිනාකම සම්පූර්ණයෙන්ම ජාතික ආදායමට නොලැබේ. ලංකාවේ සමස්ත මුළු ආනයන වියදම ඇමරිකන් ඩොලර් 19416.8 කි. මෙම ප්‍රමාණයෙන් සියයට 2ක් ප්‍රමාණයක් තිරිගු පිට වලට අයත් වේ. මෙම තත්ත්වය තුළ ලංකාවේ නිපදවන  වී වලට සාපේක්ෂව පහෙන් එකකට මදක් වැඩි තිරිඟු පිටි ප්‍රමාණයක් ලංකාවේ පරිභොජනයට ගැනේ. වී වලින් ස්වයංපෝෂණය වෙමින් තිබෙන රටකට මේ ආනයනය බරකි.

විස්කෝතු වැනි ආහාර  වලට අමතරව ආප්ප රොටි සහ ඉදි ආප්ප සෑදීමටද තිරිඟු පිටි යොදා ගැනේ. මෑතකදී හෙල්තිෆ්ලා යන නමින් සහල් පිටි වර්ගයක් වෙළෙඳ පළට පැමිණියේය. ඒ මගින් යටකී ආහාර සියල්ල පහසුවෙන් සකස් කර ගත හැකි බව අනාවරණය විය. ඒවා ස.තො.ස. මගින් ලංකාව පුරා බෙදා හැරීමට සැපයුම් කරුවන් සූදානම් වුවද මුදල් නොගෙවීමෙන් සහ වෙනත් බාධක දැමීමෙන් එම සැපයීම අඩාල කර ඇත.රජයේ වී සංචිත ලබාගෙන සහල් පිටි නිපදවීමට මෙම සැපයුම් කරුවන්ට කැබිනට් අවසරය ලැබී  තිබුණද එයටද බාධා එල්ල කොට ඇත.මෙවැනි තත්ත්වයන් නිර්මාණය වන්නේ සහල් පිටි වලින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සියල්ල නිපදවීමට අවශ්‍ය තාක්ෂණය දැනට ලංකාවේ රාජ්‍ය ආයතන තුළ මෙන්ම පෞද්ගලික නිෂ්පාදකයන් අතද තිබියදීය. එම තාක්ෂණික පහසුකම් තවත් වර්ධනය කොට සහල් පිටි පරිභෝජනය වැඩිකළහොත් සියයට හැත්තෑවක් පමණ වන ලංකාවේ තිරිඟු පිටි පරිභොජනය සියයට විස්ස දක්වා අඩු කල හැකි වන බව විද්වතුන් ගේ අදහසයි.

ලංකාවේ නිෂ්පාදනය වන වී රජයේ සංචිත වශයෙන් පවතින්නේ මෙට්රික් ටොන් ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවකි. වී මිළ රුපියල් විසි හතරට පමණ අඩුකර ගැනීමෙන් පසු මෙම සංචිත සෑම වර්ෂයකම සත්ත්ව ආහාර වශයෙන් සහ බීර නිෂ්පාදනයට රජය මගින් ලබා දෙන බව දැන් පැහැදිලි වී තිබේ.එයට හේතුව වී අතිරික්තයක් තිබෙන බවට නිළධාරීන් විසින් ඒත්තු ගැන්වීමයි. තිරිඟු පිටි ආනයනය සලකා බලන කල්හි මේ අතිරික්ත කතාව බොරුවකි. සිදුව ඇත්තේ විවිධ ආනයනික සමාගම් වී මොල් හිමියන් සහ දේශපාලකයන් සිය ජාවාරම් තර කර ගැනීම උදෙසා මේ රටේ පාරිභොගිකයන් දඩමීමා කර ගැනීමයි.ඇතැම් විට සිය කළු සල්ලි පිට කරගැනීම උදෙසාද ආනයනික දත්ත වෙනස් කොට පෙන්වා දෙනු ලබන්නේ යැයි අසන්නට ලැබේ. මේ නිසා මේ රටේ ජාතික ආර්ථිකයට වැදී ඇති පහරද සුලු පටු නොවේ. ආනයනය වැඩි වන විට රුපියලේ අගය පහළ බැසීමට හේතු වන සාධකද එයින් නිර්මාණය වේ. එ නිසා විශාල ණය උගුලක ශ්‍රී ලංකාව අසු ව තිබේ. මේ අතර වී හෙක්ටයාර් ලක්ෂයක් වගාවෙන් ඉවත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණය ගන්නා ගොන් තකතීරුවෙකු මිසක් බුද්ධිමතෙකු නොවේ. සෝයා සහ බඩ ඉරිඟු බීජ ගෙන්වන එක්තර බහුජාතික සමාගමක වුවමනාවට මෙලෙස වී නිෂ්පාදනය අඩාල කරන බව අපට පැහැදිලිය. දැනටමත් එම සමාගම මේ බීජ ගබඩා කිරීමට විශාල ගබඩා සංකීර්ණයක් රජරට ප්‍රදේශයේ ඉදි කරමින් ඇත. මේ තත්ත්වය තවත් වර්ධනය වුවහොත් තිරිඟු පිටි ආනයනය තවත් වැඩි වනවා නිසැකය. කුඹුරු ගොඩකර ඒවායේ වෙළෙඳ පළවල් ගොඩනන්වනවා කියූ නායකයෙකු සිටින රටකට මේකතාව බෙහෙවන්ම සාධාරණ විය හැකිය.

මතුගම සෙනෙවිරුවන්

3 Responses to “චූන් පාන් වලින් චූන් වන දේශපාලනය”

  1. Christie Says:

    Please note Koththu Roti and other Indian Rotis use wheat flour.

  2. Kumari Says:

    The bakery owners and the wheat flour importers must be extremely thankful to the President (Son of a farmer) for this windfall.

    Yahapalanaya Bhangawewa!!

  3. Senevirath Says:

    kumari———- son of a farmer or a son of a ………

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress