ජවිපෙ කැරළිකරුවෙකුගේ එක් සත්‍ය කථා‍වක්
Posted on April 16th, 2016

ධර්මන් වික්‍රමරත්න

ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 94කොටස

මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 වේ. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන ධර්මන් වික්‍රමරත්න එම බොහෝ සිද්ධීන් සියසින් දුටු  අදාළ කථා නායකයින් සමීපව ඇසුරුකල සහ වාර්තාකල කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. මෙම ලිපි මාලාව ඉදිරිපත් කරනුයේ ඉතිහාසය කිසිවෙකුට වැලලිය නොහැකි බවට පසක් කරමින් පමණක් නොව දත්ත සහ  ඓතිහාසික කරුණු රැසකින්ද එය පොහොසත් බැවිනි. එමෙන්ම වර්තමානයේ වයස 40 අඩු සියළු පුරවැසියන්ට කිසිදා නොදුටු එහෙත් අසන්නට ලැබුණු අසම්පුර්ණ ඒ අතීත සිදුවීම් මාලාව පිළිබදව පැහැදිලි චිත්‍රයක් මවාගැනීම සඳහාය.

 සමාජය විසින් කුමන නිර්වචනයන් ලබාදුන්නද ජවිපෙ 2වැනි කැරැල්ලේ කැරළිකරුවන් පවසන පරිදි ඔවුන් සටන්කළේ යහපත් අරමුණක් වෙනුවෙන් අනේක විධි මර්ධනයන්ට මුහුණ දෙමින් ජීවිතයද කැප කරමිනි. ඇතැම් නායකයින්ගේ අරමුණු කුමක්වුවද කැරළිකරුවන්‍ ගේ සටන්කාමි හැසිරීම්වල භාවිතය පිළිබඳ ඉතිහාසයේ වැලලීගිය දත්ත සම්භාරයක් වසර 25කට පසු දැන් යළි කථාබහට ලක්වෙමින් තිබේ. මලගිය ඇත්තන් පිළිබඳව සැමරුම් පැවතියද කැරළිකරුවන්ගේ චරිත කථා බොහෝමයක් කාලයේ වැලිතලාවලට සැඟවගොස් ඇත. මේ එක් කැරළිකරුවෙකුගේ සැබෑ කතාන්දරයයි. එය බොහෝ කැරළිකරුවන්ගේද කථාව වනු ඇත. 

”බසවක්කුලම වැවෙන් හමාඑන සිසිල් සුලං රැල්ලේ පහස විඳිමින් තිසා වැව ඉස්මත්තෙන් පියමන් කරන විට රුවන්වැලි සෑකොත් වහන්සේ දිස්වේ. පෙර රජ දවස වැව් දාගැබ් සැදූ රජුන්ගේ පුරය, අනුරාධපුරයට පිවිසෙන්නෙකුට තමන් ඈත අතීතයකට ගමන් කරන්නේනැයි හැ‍ඟෙනු ඇත. විජයාගමනයෙන් ඇරඹි ලංකා රාජවංශයේ ස්වර්ණමය යුගය සනිටුවහන්වී ඇත්තේ අනුරාධපුර යුගයේය. මා උපන්නේ එවැනි පෞඬ ඉතිහාසයක් ඇති අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ග්‍රාමයේදීය.

dharman16041602A

ජවිපෙ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක, සන්නද්ධ අංශයේ ප්‍රධානි සමන් පියසිරි ප්‍රනාන්දු, අවි පුහුණු කඳවුරේ විසිරයෑමේ අවස්ථාවට එක්වු දේශපාලන මණ්ඩල සභික එච්.බී හේරත්, අධ්‍යාපන පන්ති පැවැත්වූ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර, සන්නද්ධ පුහුණුව ලබාදුන් මධ්‍යම කාරක සභික ඊස්ව‍රගේ ආරියසේන, ‘අංශයේ  වැඩකාරයින්’ වූ ගුණසේන වර්ණපටබැදි සහ දිලිප් ප්‍රනාන්දු නොහොත් පතී, ජාතික අධ්‍යාපන කඳවුරේදී හමුවු පසුව ගාල්ල දිස්ත්‍රික් කාන්තා ක්‍රියාකාරිනියක්වූ සමන්මලී නොහොත් දීපිකා මුතුහෙට්ටි නොහොත් අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා.(ඉහළ වමේ සිට).

අප පවුලේ 6 දෙනෙකි. මා තෙවැන්නාය. අක්කා සහ අයියාද, නැඟණියන් තිදෙනෙක්ද විය. පියා ගොවියෙකි. මව කුඹුරු වැඩට උදව් කළාය. අයියා වඩු කාර්මිකයෙකි. අක්කා විවාහ වී සිටියේ දඹුල්ලේ එළවළු සිල්ලර වෙළෙඳසැල් හිමියෙකු සමඟය. පහේ ශිෂ්‍යත්වයෙන් ඉහළින් සමත්වීමෙන් පසු මා ගියේ අනුරාධපුරයේ ප්‍රධාන පාසැලකටය. අපොස උසස් පෙළ වානිජ අංශයෙන් 1981දී අධ්‍යාපනය හැදෑරූ මා එම පාසැලෙන් සරසවියට තේරුණු තිදෙනා ගෙන් එක් අයෙකි. පවුලේ අයට ඉහේ මලක් පිපුණා වැනිය. අම්මා අසළ ගම් හතටම වාගේ ජයග්‍රහණය පැවසුවේ සොම්නසිනි. රජයේ ඉහළ රැකියාවකට යෑම මාගේ පැතුම විය.

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨයේ 83/84 කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත්විය. සෑම සරසවියකම මෙන්ම නවක සිසුන් සඳහා නවකවධය එහිද ක්‍රියාත්මක විය. එහෙත් මසකට ආසන්න කාලයක් තුළදී අපි මුහුණු දුන් නවකවධය ඉතා දරුණුය. නවකවධය දීමේදී ජෙප්පෝ(ජනතා විමුක්ති පෙරමුණ) සහ ජුන්ටෝ(එක්සත් ජාතික පක්ෂය) අත්වැල් බැඳ ගනිති. ඇතැම් අවස්ථාවල උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා නවකවධය ලැබූ අවස්ථාද විය. දන්තාලේප ටියුබයක් ලුණු වතුරට දමා දියකර එය බොන්නට දුන් අතර පැයක් පමණ ගියවිට මරුවා සමග වාසේය. සරසවිය එපා වීමෙන් එය අතහැර යන්නට සිතූ අවස්ථාද බොහෝමය. එහෙත් හදිස්සියේම මාවෙත ආ අයෙක් මා බේරා ගත්තේය. එසේ බේරාගත් ජේෂ්ඨ උත්තමයා රාජපුර බව පසුව හඳුනා ගත්තේය(ජ’පුර සරසවියේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1985/86 සභාපති වූයේ රාජපුරය). ඔහු මට ජ’පුර ආදි ශිෂ්‍යයෙකුවු මයිකල් නැමති පුද්ගලයෙකු හදුන්වා දුන්නේය(මයිකල් යනු ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු බවට පසුව පත්වූ එච්.බී. හේරත් බව දැනගතිමි). හේරත් මගේ අතින් අල්ලාගෙන පුටුවක වාඩිවී ආගිය තොරතුරු කථාකළේය. සියල්ල විෂම සමාජ ක්‍රමයේ ප්‍රතිඵල යැයි කියූ හේරත් ජවිපෙ වෙනුවෙන් මට කොක්ක ගැසු‍වේය.

dharman16041603Aඅත්අඩංගුවට ගෙන ඇති සරසවි සිසුන් නිදහස් කරන තුරු විභාග වර්ජන විරෝධතා ව්‍යාපාරයකට සහභාගිවන්නැයි අන්තරේ නියෝජිතයෙක් 1988 මැයි සරසවි සිසුන් පිරිසක් දැනුවත් කරන අයුරු. මේ අනුව විභාග පැවැත්වු කොළඹ, රුහුණ, පේරාදෙණිය සරසවි තුනේම සිසුහු විභාග වර්ජනය කළහ.

මාස කිහිපයකට පසු මා ඇතුළු නවක සිසුන් 7 දෙනෙකුට ජවිපෙ පන්ති 5 පැවැත්වූයේ උපාලි ජයවීර(පසු කාලයේ මානෙල් මහත්තයා ලෙසින් හැදින්වූ) විසිනි. ඔහු දක්ෂ කථිකයෙකි. ධනපති ක්‍රමයේ අර්බුද, පැරණි වමේ ව්‍යාපාරය, විප්ලවීය ව්‍යාපාරය ගත යුතු මග ආදිය එම පන්තිවලට ඇතුලත් විය. ජවිපෙ වෙනුවෙන් සරසවියෙන් බාහිරව අප සම්බන්ධවූ පළමු වැඩේ තිබුණේ කැලණි සරසවියේය. උපාලි‍ගේ ඉල්ලීමක් අනුව කැලණි සරසවියට ගිය අපි කිහිප දෙනෙකුට පැවරී තිබුණේ එජාප ආණ්ඩුවේ මහපොල උත්සවයක් කැලණි සරසවියේ පැවැත්වීම සදහා පරිපාලනය සමඟ සාකච්ඡා කිරීමට එන ලලිත් ඇතුළත්මුදලි ඇමතිවරයාගේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් පලවා හැරීමේ ‘රාජකාරියකි’. ඒ සඳහා කැලණි සිසුන් කිහිප දෙනෙකු සමඟ එක්වී ඔවුන් පැමිණි වාහනයෙන් බස්සවා වාහනය කුඩුකර පල්ලමට තල්ලු කර ගිනි තබන ලදි. කැලණි සරසවි මහපොල උත්සවය පැවැත්වීම එතැනින්ම ඇණහිටි අතර අප කණ්ඩායමේ ප්‍රථම ප්‍රහාරයද සාර්ථක විය.

අන්තරේ නායකයා ලෙස 81/82 වසරවල කටයුතු කළේ ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහින්ද පුෂ්පකුමාරය. ජයවර්ධනපුර සරසවි ශිෂ්‍ය අංශය ජවිපෙ වෙනුවෙන් භාරව සිටියේ 1983/84 දක්වා ලලිත් විජේරත්න සහ 1985/86 දක්වා ආනන්ද ඉඩමෙගමය. ජ’පුර සරසවියේ දරදඬු සහ හිතුවක්කාරි පාලනයක් ගෙනගිය උපකුලපති කරුණාසේන‍ කොඩිතුවක්කුට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග සංවිධානය කළෙමු. අර්ධකාලීනව ජවිපෙ කටයුතු වලටද එක්විය. මාගේ 83/84 කණ්ඩායමේ ජවිපෙ මිතුරන් අතර විද්‍යා පීඨයේ බන්දුල, තංගල්ලේ මහින්ද, කමල් ප්‍රනාන්දු ඇතුළු පිරිසක්ද දෙවැනි කැරැල්ලේදී ඝාතනයට පත්වූ ජ’පුර සරසවියේ උපාධි අපේක්ෂකයින්වු නිකවැරටිය මුදියන්සේ, බණ්ඩාරගම චන්ද්‍රසිරි, ජයසිංහ රාජු, පස්සර ධනපාල ඇතුළු කිහිප දෙනෙක්ම විය. ජවිපෙ සාමාජිකයන් වශයෙන් බොහෝ ක්‍රියාකාරකම්වලට සරසවිය තුළදී සහ බාහිරව දායක විය.

dharman16041604අන්තරේ 81/82 කැඳවුම්කරු වශයෙන් කටයුතු කල ජ’පුර සරසවියේ මහින්ද පුෂ්පකුමාර, 1985 මාර්තු නුවර අධ්‍යාපන කඳවුරට එක්වූ පේරාදෙණිය සරසවි වෛද්‍ය පීඨයේ ගිණිගත්හේනේ උපන් ජයශ්‍රී ගුණසේකර, 1986 ජුලි අවි පුහුණු කඳවුරට එක්වූ ජ’පුර සරසවියේ අනුරාධපුර උපන් උපුල් නානායක්කාර නොහොත් ලෙනෝරා සහ කැලණි සරසවියේ කෝට්ටේගොඩ උපන් උපාලි සමන්කුමාර නොහොත් ගිනි උපාලි(වමේ සිට).

ජවිපෙ 1983 ජුලි පක්ෂ තහනම නිසා ප්‍රථම විධිමත් අධ්‍යාපන කඳවුරකට සහභාගි වූයේ 1985 මාර්තු 11 සිට 18 දක්වා දින 7ක් නුවර දුම්රිය නිවාස සංකීර්ණයේ නිවසක කඳවුරකටය. 19 දෙනෙකු එයට එක්වි සිටියහ. දේශන පැවැත්වූයේ අධ්‍යාපන ‍ලේකම් ගුණරත්න වනසිංහ(සේන), එච්.බී. හේරත්, කුසුමා බුද්ධිකෝරාල(මධ්‍යම කාරක සභික ප්‍රේමචන්ද්‍ර මුණසිංහගේ බිරිඳ), උපාලි ජයවීර ඇතුළු කිහිප දෙනෙකි. සහභාගිවුවන් අතර මා කලින් හඳුනන අය සිටියේ තිදෙනෙකි. ඒ ජ’පුරේ මට වඩා ජේෂ්ඨ කණ්ඩායමක සිටි කෑගල්ලේ රත්නසිරි, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජයශ්‍රී ගුණසේකර සහ නුවර විදුහලක සිසුවෙකුවූ රුවන්ය. උපාලි ජයවීර 1985 මාර්තු 24 වැනිදා කැලණිය දළුගමදී රහස් පොලිසිය මගින් අත්අඩංගුවටගත් අතර ඒ පිළිබඳව කඳවුරට සහභාගිවූ කැලණි සරසවියේ සිසුවෙක් පිළිබඳව සැක ‍කෙරිණි.

ජාතික අධ්‍යාපන කඳවුරකටද මට සහභාගිවීමට හැකිවූයේ 1985 නොවැම්බර් 3වැනිදාය. එය දින 15ක් පුරා පැවැත්වූ අතර කළුතර ප්‍රදේශයෙන් කිලෝමීටර් 8ක් පමණ පයින් යෑමෙන් පසු සිංහරාජ කැලේ එය පැවැත්විණි. සරම සහ කමිසය යනවිට ඇදගෙන සිටි අතර කුඩා බෑගයක කොට කලිසමක් සහ කමිසයක් විය. යන විට සෑම අයෙක්ම හාල් කිලෝ 2ක්, පරිප්පු ග්‍රෑම් 500, කවුපි කිලෝ 1, සීනි 500, ටවුමේදී මිලදී ගෙන උපදෙස් අනුව කඳවුර කරා ගෙන යන ලදී. කඳවුරේ ආහාර පිසීම සහ සම්බන්ධීකරණය සඳහා තරුණයින් තිදෙනෙකු පමණ දැකගන්නට හැකිවිය. එයට 31 දෙනෙකු සහභාගිවූ අතර එක් අයෙකු කාන්තාවක් විය. ඇය රුහුණු සරසවියේ ශිෂ්‍යාවක් බව කියූ අතර හැදින්වූයේ සමන්මලී යන නමිනි.(පසු කාලයේදී ඇය සමඟ එක්ව වැඩකිරීමට සිදුවූ අතර රුහුණු සරසවියේ ශිෂ්‍යාවක් නොව ජවිපෙ පූර්ණකාලින ක්‍රියාකාරිකාවක්වූ ස්වර්ණලතා නොහොත් දීපිකා මුතුහෙට්ටි බව දැන ගතිමි. රූමත් තරුණියකවූ ඇය කොටිගල වධකාගාරයේ 1988 අවසානයේ අතවර කර මරාදා තිබිණි). මෙවැනි කඳවුරු වලදී පෞද්ගලික වතගොත ඇසීම තහනම්ය. එමෙන්ම පක්ෂය මගින් දී ඇති ආවරණ නාමය භාවිතා කල යුතුය. එබැවින් ඕනෑම අවස්ථාවක අවස්ථානුකූලව මුහුණදිය හැකි පිළිවෙලක් අප සැවොම සතු විය. කිනිතුල්ලන්, කූඩැල්ලන් සහ මදුරුවන් ගෙන් බේරීම සඳහා අත්බෙහෙත් උපකාරි විය. ජාතික අධ්‍යාපන කඳවුරේ දේශන පැවැත්වූයේ ගමනායක, පියදාස රණසිංහ, සුමිත් අතුකෝරාල ඇතුළු කිහිප දෙනෙකි. දවසකට පැය 18ක් දේශන පැවැත්වූ අතර සමාජවාදී භික්ෂු සංගමයේ සාමාජිකයින් 2 දෙනෙක්ද සිවිල් ඇදුමින් සැරසී සහභාගි වූවන් අතර විය.

dharman16041605ජවිපෙ කැරළිකරුවන් පිරිසක් ප්‍රහාරයකින් පසු අත්හැර දමාගොස් තිබුණු නිල ඇදුම් සහ උපකරණ කිහිපයක් පොලිස් නිලධාරින්ගේ විමර්ශනයට ලක්වන අයුරු.

ජවිපෙ 2වැනි කැරැල්ල සඳහා සන්නද්ධ පුහුණුව ලබාදෙන අවි පුහුණු කඳවුරු පැවැත්වීම ආරම්භ කළේ 1986 ජනවාරි සිටය. එවන් පුහුණු කඳවුරක් සඳහා 1986 ජුලි මස විල්පත්තුවේ කලාඔයට යෑමට සිදුවිය. තඹුත්තේගමින් බැස කිලෝමීටර් 9ක් පයින් ගියවිට එම කඳවුර පිහිටා තිබු අතර එය දින 15ක අවි පුහුණු කඳවුරකි. කඳවුරට 38ක් සහභාගිවූ අතර ජලය තිබුණේ මූලික අවශ්‍යතාවයන් සඳහා පමණි. එබැවින් එම කාලයේදී ස්නානය සිදුකිරීමට කිසිවෙකුට නොහැකි විය. අවි පුහුණුව ලබාදුන්නේ හමුදාවේ කලක් සේවය කල රාලහාමි නොහොත් ඊස්වරගේ ආරියසේන, මහින්ද(දක්ෂ සටන් නායකයෙකුවූ ඔහු ත්‍රි’මලේ කල්ලාර් හමුදා කඳවුරෙන් ආයුධ පැහැරගැනීමේදී 1987 අවසානයේදී ඝාතනය විය) ඇතුළු පිරිසකි. ටී. 56 සහ ෂොට් ගන් පරිහරණය එම අවියකින්ම පහදා දෙන ලදී. කඳවුරට කිලෝමීටර් 15ක් එපිටින් ආරක්ෂක හමුදා කඳවුරක් ඇති බැවින් සියළු කටයුතු සැලසුම්ගතව සිදුවිය. අවි පුහුණු කඳවුරට සහභාගිවූ 6 දෙනෙකු මා කලින් දන්නා හඳුනන අය අතර ඉන් ජ’පුර සරසවියේ උපුල් නානායක්කාර, කැලණි සරසවියේ විද්‍යා පීඨයේ ගිනි උපාලි ඇතුළු කිහිප දෙනෙක්ම පසු කාලයේදී ඝාතනයට පත්වී තිබිණි.

dharman16041606කැරැල්ල අවසාන භාගයේ 1989දී සැඟවී සිටින ජවිපෙ කැරළිකරුවන් සොයා වැලිමඩ-නුවරඑළිය ප්‍රදේශයන්හි රාත්‍රියේදී කැලෑ පීරන ආරක්ෂක භටයින් පිරිසක්.

කඳවුරේ කටයුතු උදෑසන 5ට අවදිවීමෙන් පසු ආරම්භ වන අතර 8 දක්වා ව්‍යායෑමය. උදෑසන ආහාරයෙන් පසු දහවල් 1 දක්වා තාප්ප වැනි වැට ඉනිවලින් පැනිම. බිම කපපු උමං  දිගේ යෑම, කඹ දිගේ ඉහළට පහලට ඒම වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වේ. දිවා ආහාරයෙන් පසු පස්වරු 6 දක්වා විවිධ සටන් ක්‍රම, කරාටේ, අවි පුහුණුව උගන්වනු ලබයි. රාත්‍රී 6 සිට 8 දක්වා මහන්සි ඇරීම සහ රාත්‍රී ආහාරය වේ. රාත්‍රී 8 සිට 9 දක්වා විමුක්ති ගී සාමූහිකව ගායනා කරනු ලබයි. උදෑසන ආහාරය මං‍ඤාක්කා හෝ කුරක්කන්ය. ඇතැම් අවස්ථාවල රොටි හෝ කවුපිද ඇත. දිවා සහ රාත්‍රී ආහාරය බත් සමඟ මස් සහ වට්ටක්කාය. මස් දඩයමින් ලැබුණු මුව මස් කීවද ඒවා රිලා මස්ය. ටවුමෙන් ආදා මාළු ගෙනවිත් ‍පිසූ බව කීවද ඒවා ගැරඬි මස් බව දැන ගත්තේ ආපසු එන දිනයේ හමුවූ කැලෑ රොදක ගැරඩි හමවල් රැසක් දක්නට ලැබුන බැවිණි.

කඳවුර මුරකිරීම සඳහා රාත්‍රී කාලයට පවා සතර දෙසට මුරකාවල් යොදවා තිබිණි. එක් වැඩ මුරයක් පැය 4ක් වූ අතර සියල්ලටම එය මාරුවෙන් මාරුවට කිරීමට සිදුවිය. ගස්වල නැගී එම ආරක්ෂාව සිදුකල අතර එයට බාහිරව වෙනම සංනිවේදන ජාලයක්ද කිලෝමීටර් 3ක දුර ප්‍රමාණයේ සිට තහවුරු විය. මහන්සිය නිසා කොතරම් මදුරුවන් කෑවද නින්දට එය බාධාවක් නොවීය. කඹේ යන්නට ගොස් බිම වැටී එක් අයෙකුගේ කකුල බිදිණි. ඔහුගේ බරපතල තත්ත්වය නිසා ගොනි දෙකක් ලී වලින් ගැටගසා ගෙන පුත්තලමේ නිවසක ප්‍රතිකාර කල බවට වාර්තා විය. කඳවුරේ අවසානයට පෙරදින විසිරයෑමේ අවස්ථාවේද සාමාප්ති දේශනය දිමට පසුව දේශපාලන මණ්ඩල සභිකයෙකුවූ එච්.බි. හේරත්ද පැමිණ තිබිණි. කඳවුර අවසාන දින උදෑසන පිටවුයේ 5 පමණ උදෑසන ආහාර ගැනීමෙන් පසුවය. උදෙන්ම පිටවීමට හේතුව වූයේ විල්පත්තු කැලේ හොරෙන් ලී ඉරන අය උදෑසන කාලයේ කැලෑවේ ගැවසෙන බැවිණි. තිදෙනාගේ කණ්ඩායම බැගින් පුත්තලම් පැත්තෙන් පාරට ඒමට පැය 7ක් පමණ ගිය අතර එය සැතපුම් 12ක පමණ දුරක් විය. දිවා ආහාරය සඳහා මං‍ඤාක්කා සහ සම්බල් පාර්සල් දුන් අතර ඒවා විල්පත්තුව මැදින් එනවිට හමුවන මල්වතුඔයෙන් නෑමෙන් පසු ආහාරයට ගන්නා ලදී. කඳවුරට ගිය සියළු දෙනාම නෑමට හැකිවූයේ දින 15කට පසුවය. අනුරාධපුර හලාවත පාරට පැමිණ බස් රථයෙන් කණ්ඩායම් වශයෙන් කොළඹ සහ වෙනත් ස්ථානයන්ට වෙන්ව යන ලදී.

dharman16041607කැරැල්ල හේතුවෙන් 1989 අවසාන භාගය වනවිට ඝාතනයකර පුළුස්සා දැමූ අයෙක්, ගංගාවල පාවූ මිනිස් හිස් කිහිපයක්, ලයිට් කනුවක බැඳ ඝාතනයකර හිස වෙන්කර එය වෙනම රඳවා තිබූ අවස්ථාවක්, ඝාතනයකල කැරළිකරුවෙකුගේ වගකීම භාරගනිමින් නිවේදනයක්ද සමඟ මිනිස් පාදයක් නගරයක එල්ලා තිබූ අවස්ථාවක්.(ඉහළ වමේ සිට).

වසර 1986 අගෝස්තු මුලදී පැපිලියාන සුනේත්‍රාදේවි පන්සලට උදේ 9ට එන ලෙසට අප තිදෙනෙකුට පණිවිඩයක් කලින් දින ලැබිණි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සහ සන්නද්ධ අංශයේ නායක සමන් පියසිරි සමඟ ගුණසේන වර්ණපටබැදි එහි විය. ඉදිරිපස කඩයකට ‍‍ගොස් වඩේ එකක් කා පේන්ටියක් බී කථා කෙළෙමු. පුහුණුවට විශාල කැපකිරීමක් පක්ෂය කර ඇති බැවින් ජාතික තලයේ වැඩ කොටසක් සඳහා පුර්ණකාලීනව පක්ෂයට ලබන සතියේ සිට එක්වන ලෙසට ඉල්ලීමක් ක‍ළේය. ජාතික විමුක්ති අරගලයක් තුළින් සමාජවාදය ගොඩනැගීමේ සිහිනය සැබෑ කිරීම අරමුණවූ බැවින් එය පිළිගතිමු. පැමිණෙන  බ්‍රහස්පතින්දා විදුසර පුවත්පතක්ද අතැතිව ගාල්ලේ සිඩ්නි හෝටලය අසලට උදේ 9ට එන මෙන් දන්වන ලදී. සෙසු දෙදෙනාද කෑගල්ල සහ ‍පුත්තලමේ ‘අංශයේ’ පූර්ණකාලීන වැඩවලට යොමුකර තිබිණි. පසුව ගාල්ලේදී අයෙකු පැමිණ මා ගෙන ගියේ එදින 10ට මාගල්ලේ නිවසක රැස්ව සිටි ගාල්ල දිස්ත්‍රික් කමිටුවේ සාකච්ඡාවකට වන අතර පසුව එහි එක් කලාපයක නායකයා වශයෙන් වගකීම් භාරගතිමි. පසුව එහි සාමාජිකයෙකු සමඟ නෙළුව ප්‍රදේශයේ නිවසකට ගොස් ක්‍රියාකාරිකයින් හමුවී ඉදිරි වැඩ සැලසුම් කෙරිණි. පන්ති පැවැත්වීම වේගවත් කල අතර අංශය සඳහා පුහුණුවීම්වලට කේඩර්වරුන් බඳවා ගැනීමද, ප්‍රචාරක කටයුතුද සැලසුම් කළේය.

ගාලු දිස්ත්‍රික්කයේ එක් කලාපයක සංවිධානය කරන අතරතුර පක්ෂය විසින් කැදවීමක් කල විට ලොකු වැඩවලට ගිය අතර 1987 සිට රටපුරා විවිධ වැඩවලට එක්විය. අපගේ එකම පැතුම වූයේ මෙම අරගලය තුළින් මිනිසෙකුට මිනිසෙක් ලෙසින් නිදහසේ ජීවත් විය හැකි සමාජ සහ ආර්ථික සාධාරනත්වය රජයන ආර්ථික ක්‍රමයක් ගොඩනැගීමය. ඒ සඳහා උපක්‍රමික ප්‍රවේශයක් ලෙස විවිධ ක්‍රියාමාර්ග වලට අවතීරණය විය. විමුක්ති අරගලයට අරමුදල් රැස්කිරීමටද විවිධ කටයුතු වලටද දායක විය. මරදගහමුල  බැංකුවෙන් ලක්ෂ 40ක පමණ මුදලක් කොල්ලකෑවේ 1987 මැයි මාසයේදීය. එයට ව්‍යාපාරය වෙනුවෙන් නායකත්වය දුන්නේ චන්ද්‍රරේය. සියල්ල නිමවූ පසු කොල්ලකන ලද මුදල් සහ රත්තරං සමඟ වාහනය එලවන ලද්දේ කැස්බෑවේ මහීපාලය. මහිපාල 1989 අවසානයේදී ඝාතනයවූ අතර එයට පෙර ඉසුරුපායේ වධකාගාරයක බිල්ලෙකුද විය. මරඳගහමුල ‘රාජකාරිය’ නිමකර  එක් අයෙකු ති‍යා ගත්තේ රුපියල් 1000ක් පමණ වන අතර සියළු මුදල් ‘අංශයේ’ ආදාල අංශයන්ට යොමු කෙරිණි. නානායක්කාර ලෙසින්ද හැදින්වූ චන්ද්‍රරේ 71 කැරැල්ලටද සහභාගිවූ අවංක ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකි. අවසාන වරට ඔහු හමුවූයේ කොළඹ සන්නද්ධ නායකයාව සිටි වව්නියාවේ තිලක්, සමන් පියසිරි, පතී නොහොත් සොයිසා, රාගම ‍සෝමේ  සමඟ 1989 නොවැම්බර‍යේ විජේවීර ඝාතනයට පසු හෝමාගම නිවසකදීය. චන්ද්‍රරේ අත්අඩංගුවට පත් පුවත දැනුම් දුන්නේ ඔහුගේ බිරිඳ ස්වර්ණා නොහොත් විනීතාය. ඉහත සියළුම සන්නද්ධ නායකයින් අවසානයේදී ඝාතනයට පත්විය.

කටුනායක ගුවන් හමුදා කඳවුරට 1987 ජුනි 6 පහරදීමට පෙර කණ්ඩායම් වශයෙන් එක්වු අතර එක්වූයේ මීගමුව සිරගෙදර අසළ ක්‍රීඩාපිටියට දින දෙකකට පමණ පෙරය. ගුවන් හමුදා කඳවුරට කඩාවැදී එය යටත්කර ආයුධ පැහැරගැනීම චිත්‍රපටියක් මෙන් සිදුවිය. 4ක් පමණ කැරළිකරුවන් එහිදී ඝාතනයවූ අතර කඳවුරට කඩා වැදුණේ ලණු කැරළි සහ කිනිසි රැගෙනය. පතී ඇතුළු කිහිප දෙනෙක් එහිදී අත්අඩංගුවට පත්විය. වත්තල නිවසකදී සතියකට පසු අත්අඩංගුවට පත්වූ අතර තිරස්චින වධ බන්ධනවලට ලක්විය. පසුව දීර්ඝ කාලයක් අත්අඩංගු‍වේ පසුවූ අතර අගමැති ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් 1988 දෙසැම්බර් 15වැනිදා ජය ගැනිමෙන් පසු 1989 ජනවාරි මස ජවිපෙ මැදිහත්වීමෙන් 1,800ක් පමණ රිමාන්ඩ් සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කල අතර එහිදී නිදහස ලැබුවෙමි. හදිසි නීතිය කෙටි කලකට ලිහිල් විණි.

රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 1989 ජනවාරි මස නිදහස ලැබීමෙන් පසු එක් දිනක් නිවසේ සිටි අතර කොළඹට පැමිණ යළි සම්බන්ධකම් ගොඩනගාගෙන සමන් පියසිරි නොහොත් කීර්ති විජයබාහුගේ උපදෙස් අනුව කොළඹ දිස්ත්‍රික් ‘අංශයේ’ නායකයා වශයෙන් අලුතින් පත්වූ පතී සමඟ එක්ව වැඩ ‍කලෙමි. ඒ වන විට පතී 1988 දෙසැම්බර් මස තවත් සිරකරුවන් 200ක් පමණ සමඟ මැගසින් බන්ධනාගාරය කඩා පැනවිත් තිබිණි. කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ කටයුතුවලට සම්බන්ධ වූයෙමි. මේ වන එනම් 1989 ඔක්තෝබර් වන විට හද කකියන පුවතක් මවෙත ලැබිණි. අනුරාධපුරයේ නිවසට පැමිණ මට භාරවන ලෙස කල ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණෙන් මාගේ පියා සහ වැඩිමහල් සොහොයුරා පැහැරගෙන ගොස් නිවස මුළුමනින් ගිනිතබා තිබිණි. එයට කලින් මව ඇතුළු සෙසු සියළු දෙනා ආරක්ෂාව පතා ඥාති නිවෙස්වල සැඟවි සිටියහ. පියාට පහරදී පසුව නිදහස් කලද සොහොයුරා පසුව මරාදැමූ බව වාර්තා විය. පවුල සීසීකඩ විය.

මර්ධනය ඉතා උග්‍ර අතට 1989 ඔක්තෝබර් අවසාන වනවිට පත්වූ අතර මා ඒ වන විට ක්‍රියාකාරි වූයේ ගම්පහය. විජේවීර ඇතුළු පක්ෂ නායකයින් ඝාතනයෙන් පසු පසුබැසිය යුතු බව බොහෝ දෙනාගේ අදහසවූ අතර සන්නද්ධ නායකයාවූ සමන් පියසිරිට අවශ්‍යවූයේ 1989 දෙසැම්බර් මස 13වැනිදා විජේවීර ඝාතනයෙන් මසකට පසු රටපුරා මහා ප්‍රහාරයක් එල්ල කිරීමය. අප කිහිප දෙනෙක්ම ඒ මතයට එකඟනොවූ අතර පසුබැස ගොස් නිහඬ විය. එහෙත් 1989 දෙසැම්බර් 13 ප්‍රහාරය ස්ථාන කිහිපයක පමණක් සිදුවූ අතර රණකාමයෙන් මත්වූ එම අනුචිත තීරණය නිසා අත්අඩංගුවේ සිටි දහස් ගණනකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

අවසානයේ ඉන්නට තැනක් නොමැති වීමෙන් 1989 දෙසැම්බර් අවසානයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේ පොල්වත්තක වැඩකිරීමට යාළුවෙක්ගේ මග පෙන්වීමකින් එක්වූවෙමි. එය අක්කර 150ක පමණ පොල් වත්තක්වූ අතර පොල් ගෙඩි 1000ක් ලෙලි  ගැසුවොත් රුපියල් 100ක් දෙනු ලැබේ. දිනකට පොල්ගොඩි 1,600ක් පමණ ලෙලි ගැසු අතර අතේ දිය පට්ටා රැසක් විය. පොල් වලක් කැපුවොත් රුපියල් 15ක්ද හනසු පැටවුහොත් සහ පොල් පැටවුහොත් වෙනම ගානක්ද ලබා දුන්නේය.

ඒ දවස්වල හුරුල්ලෝ හෝ දැල්ලෝ මාළු කූඩයක් රුපියල් 150ක්වූ අතර ඉන් කුඩයක් ගත්තාම සතියකට ප්‍රමාණවත්ය. එයට ලුණුදා තම්බා තබා පසුව ඇඹුලට හෝ බැද බත් සමඟ කෑමට ගනු ලබයි. ඒ වත්ත අයිතිව තිබුණේ හෝමාගම පවුලකටය. ඒ පවුලේ දුව ජපුර කැම්පස් එ‍කේ කණිෂ්ඨ සිසුවියෙකි. මාස 2කට පසු වත්තට පැමිණි ඇය මා ගැන සැකයෙන් බැලූ අතර පසුව මා කැරළිකරුවෙක්දැයි විහිළුවට මෙන් ඇසුවාය. වත්තේ හිමිකරුගේ දියණිය මා පිළිබඳව කල්පනාවෙන් සිටින ලෙස මුරකරුට පවසා ඇත. එම වත්තේ මුරකරු අවුරුදු 60ක පමණ වයසැති දෙදරු පියෙකි. ඔහුගේ බිරිඳ වයස 35ක පමණ කාන්තාවකි. පලාතේ ග්‍රාමසේවක ඇය සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගියේය.  මුරකරු විසින් එය සිය බිරිඳට පවසා තිබේ. ඇය සිය අනියම් සැමියාවූ ග්‍රාමසේවකට ඒ පිළිබඳව දන්වන අතර ග්‍රාමසේවක මුරකරු ගෙන් ඒ පිළිබඳ විමසීමක් කර ඇත. කන බොන හිත හොඳ මිනිසෙකුවු මුරකරු ඒ බව මට දැනුම්දී කල්පනාවෙන් සිටින ලෙස පියෙකු මෙන් අවවාද කළේය.

‍වත්තේ මුල්ලේ ඇති මාර ගහක අඩි 12ක පමණ උඩින් පැලක් සාදා තිබූ අතර ඉන්පසු රාත්‍රියන්හිදී මා එහි නිදා ගත්තේය. වත්තේ ගේට්ටුව සහ පැල අතර දුර මීටර් 400ක පමණ වේ. තෙදිනකට පමණ පසු රාත්‍රී 10ට පමණ බල්ලෝ බුරන හඩක් සහ ආරක්ෂක අංශ ජිප් රථයක් වත්තට ඇතුළුවන ගේට්ටුව අබියස විය. හොර පාරකින් වත්තෙන් පැන ගොසින් කැලේ හැංගිලා සිට පසුදා උදේ 6ට පැමිණි බස් එකෙන් කුරුණෑගලට පැමිණියේය. ඒ 1990 පෙබරවාරි මසය. කුරුණෑගලින් දඹුල්ලට ගොස් ඥාතියෙකුගේ කුඹුරු වැඩට උදව්වූ අතර පසුව 1990 මාර්තු අවසානයේදී සරසවියට දෙදිනක් පමණ ගිය අතර බිල්ලන් සහ පාවාදෙන්නන් ගෙන් බේරිසිටීම අතිශය දුෂ්කර විය. පසුව සරසවි ගමන නවතා දෙමාපියන් ගේ ඉඩමක් ඇපයට තබා වෙනත් නමකින් ගුවන් බලපත්‍රයක් ගෙන මැදපෙරදිග රටක ගොඩනැගිල්ලක් පිරිසිදු කිරීමේ කම්කරුවෙකු ලෙස සේවයට ගියෙමි. පසුව 1990 අවසානයේදී දුෂ්කර ප්‍රයත්නයකින් පසු වෙනත් යුරෝපීය රටකට පලාගොස් වර්තමානයේ ඉතාලියේ සාර්ථක ජීවිතයක් ගතකරන දෙදරු පියෙකි. ඉකුත් වසර 25 තුළ ලංකාවට තෙවරක් පැමිණියේය.

ජවිපෙ 2වැනි කැරැල්ලේ කැරළිකරුවන් බහුතරයම වාගේ සටන්කළේ ප්‍රභාෂ්වරවූ සමාජවාදි දේශයක් පතාගෙනය. උත්තරීතර පන්ති හැඟුමෙන් සැදී පැහැදී යුක්තිය සාධාරණත්වය වෙනුවෙනි. කුරිරු වධයන්ට ලක්ව දහස් ගණන් කැරළිකරුවන්ගේ රුධිර ධාරාවන් ධරණීතලය සිපගත්තේය. ඔවුන් ජවිපෙට එක්වූයේ ප්‍රභාමත් හෙට දවසක් බිහිකරන්නට ස්ථීර අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙනි. වර්තමානයේ ඒ සියල්ල උඩු යටිකුරු වී ඇත.”

ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected]

තව කොටසක් ලබන සතියේ…       

4 Responses to “ජවිපෙ කැරළිකරුවෙකුගේ එක් සත්‍ය කථා‍වක්”

  1. Dham Says:

    Beautiful writing Thank you.
    Just a minor correction “අනුරාධපුර හලාවත පාරට පැමිණ බස් රථයෙන් කණ්ඩායම් වශයෙන් කොළඹ සහ වෙනත් ස්ථානයන්ට වෙන්ව යන ලදී.” I think it should be Puttalam-Anuradhapura Road. I know the area well.

    It is better if edited to make sure correct Sinhala Grammar is used. ” ඉකුත් වසර 25 තුළ ලංකාවට තෙවරක් පැමිණියේය. ” should read “….ඉකුත් වසර 25 තුළ ලංකාවට තෙවරක් පැමිණියෙමි. Otherwise Sinhala language will be destroyed in 10 years.

    I wonder why can’t people get together and take legal action against those people responsible in UNP for war crimes ( for example බටලන් ද වෘකයා still living)?

  2. SenaD Says:

    Dham,

    You said, “Sinhala language will be destroyed in 10 years.”

    This is a grave concern I also have.

    All the media propagate a standard of Sinhala that only a child of the fourth or fifth year of schooling had in the past. Most of the articles and news items that appear in the leading Sinhala news papers and sometimes even the Editorials of the leading news papers display inability to observe the 9 cases and the correct use of active voice and passive voice. Even something as basic as singular plural verb endings and matching the verb endings to the relevant first, second or third person subject are ignored.

    On the other hand if the reader understands what the writer intended to convey, then the purpose of the writing is achieved and one could argue ‘so, where is the problem?

    Contrast that with the quality of the written language in the English language news papers! This is so in a country where English is not the main language of the people.

    My concern here is: why is it impossible for the leading Sinhala new papers to maintain the quality of the language as the English news papers do?

    The way things are happening at the moment, it is not only the country but the language is also under threat latter is entirely home grown.

  3. Dham Says:

    SenaD,

    Good that there is another man on this earth concerned about our mother tongue.

    A lot of languages are primitive. Most do not even have a script. We not only have a script but a comprehensive grammar rules.
    I don’t know whether you noticed, some even speak in a strange accent. These are the people who lived in Sir Lanka for 30 years. There are a lot of people who can’t pronounce, for example, “මහත්වරුණි” and pronounce it as “මාත්වරුණි”. They don’t pronounce “හ​”,”යටහත් පහත්” will be spoken like “යටාත් පාත්”. Whole speech sounds like a Tamil man speaking Sinhala. There were some journalist covering the terrorist war spoke like that.
    I think journalist like Dharman are the best people to fight this rape of language, that is why I thought of mentioning.

  4. Dham Says:

    මේ දරුවන් නොමග යැවීම නිසා රටටත් ජාතියටත් උනේ කෙතරම් පාඩුවක් ඇයි හැඟේ. ඒ පමණක් නොවේ ඔවුන් සටන් කල “නිර්මල​” අභිප්‍රාය මල්පලගැන්වෙනු වෙනුවට ගස් පිටින් ග්ලයිපසයිට ගසා වඳකිරීමක් සිදුවිය​. දරුබවන් ඉදිරියට දමා වෙස්වලාගෙන සිටි නායකයෝ බලාසිටියේ තම ජීවිත පූජාවෙන් යම් හෙයකින් බලය අල්ලාගත්තානම් සැඟවී සිටි ගෙවලින් එලියට ඇවිත් සටනේ ගෞරවය ඩැහැගැනීමටය​. අදටත් ජවිප නලුවෝ ප්‍රදර්ශනය කරන්නේ විජේවීර ගේ රූපයයි. මියගිය දරුවන්ගේ නොවේ.

    මෙවැනි ජාතික අපරාධ වැලැක්වීම අපේ යුතුකමයි. හොඳම උදාහරණයක් නම් ‘Jassim City” ලිපියයි. මහින් ද රාජපක්‍ෂ කල වරදක් දැන් ඉන්නවුන් කලා සේ හුවා දක්වමින් මේවා ලියන්නන් ජනතාවගේ සිත් තුල ක්‍රෝධය ඇතිකිරීම වැරදි ක්‍රියාවකි. ඒ සමගම සත්‍ය සිද්ධීන් මගහැරී යන අතර වැරදි කරුවා නිවැරදි කරු කිරීමෙන් ඔහුට ඒ වැරැද්ද දිගටම කරගෙන යෑමට දිරි දෙනවා පමණක් නොව​, වැරැද්ද නිවැරදි කිරීමේ අවස්ථාවද නැතිවී යයි.
    වහබියන් රට ඇල්ලීම ජනතාවගේ ක්‍රෝධයෙන් නැවත්විය නොහැක​. රාජ්‍ය මටටමෙනුත් , අවංකව වැඩකිරීමට දේසපාලුවාට බලකිරීමෙනුත් කල යුතුය​.
    සිංහලයා බලුවැඩ නොකලයුතුය​. සත්‍ය කරුණු සාධාරණ ලෙස ලස්සනට ඉදිරිපත් කරන පුවත් කලාවේදීන් පසසමු. සත්‍යය ජය ගනු ඇත​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress