පෙරදිගට ගමනක් – 10 – හයිබ්‍රිඩ් ජාතියක ප්‍රතිපත්ති ආරවුල
Posted on April 17th, 2016

වරුණ චන්ද්‍රකීර්ති෴

මෙම ලිපි මාලාවේ අටවැනි ලිපියෙන් – ඒ කියන්නේ ෆෝ-ඉන්-වන් සිංහලයෝ …” කියා නම් කළ ලිපියෙන්, සිංහල අපේ සංස්කෘතික දේහය සැකැසී ඇති ආකාරය ගැන කරුණු කිව්වා. ඒ කී ආකාරයට අපේ සංස්කෘතික දේහය සැකැසිලා තියෙන්නේ අප විසින් ම ගොඩනගාගත් දෙයින්, චෝල සහ බටහිර ආක්‍රමණ හරහා ලබාගත් දෙයින් සහ මෑත කාලයක සිට ඉන්දියාව කියන රට” ඔස්සේ අපි ලබෙබාගත් දෙයින්. බටහිර සහ ඉන්දියානු” සංස්කෘතික දායාද තවමත් අපට විවිධ ආකාරයෙන් ලැමින් තියෙනවා. තව තවත් සංස්කෘතික ආභාෂයන් අපිට ලැබෙන්නේ නෑ කියන්න බෑ. ඒත් ප්‍රධාන වශයෙන් අපේ සංස්කෘතික දේහය හැදිලා තියෙන්නේ මේ කියපු සංරචක හතරින්.

මෙයට පෙර ලිපියෙන් කිව්වේ අපේ සංස්කෘතික මනසට බටහිර ලිබරල් පුද්ගලාන්තික අදහස්, ඇගැයීම් කාවැදිලා තියෙන විදිහ. ඉන්දියාව කියන රට” හරහා දිල්ලි සුල්තාන් – මූගල් සංස්කෘතික ඇගැයීම් යම් ප්‍රමාණයක් අපට ලැබිලා තියෙන බව ඇත්ත. උදාහරණයක් විදිහට දැන් අපි කාන්තාවන් ගේ ඇඳුම්වල හරි වැරැදි කියන්නේ ඒ ආකාරයෙන් ලබාගත්ත ඉස්ලාම් ඇගැයීම්වලින් මැනලා බලලා. අපි මහාමායා දේවියට, යසෝදරාවට සාරි අන්දන්නෙත් ඒ ආභාෂයෙන් හිත් පුරවාගෙන. ඒත් අපේ සංස්කෘතික මනස වැඩියෙන් ම පෝෂණය වෙලා තියෙන්නේ අපේ ම සමූහාන්තික ඇගැයීම්වලින් සහ බටහිරින් ලබාගත් ලිබරල් පුද්ගලාන්තික ඇගැයීම්වලින්. බටහිර ලිබරල් ඇගැයීම් පිළිගත්තාට අපි අපේ සමූහාන්තික ඇගැයීම් අහක දාලා නෑ.

ඇත්තෙන් ම, අපි ඉතාමත් ම ශක්තිමත් අනන්‍ය වූ සංස්කෘතික මනසක් තියෙන ජාතියක්. අවුරුදු 450 කට ආසන්න කාලයක් එක දිගට ම බටහිර බලපෑමට ලක්වුනාට අපේ රටේ ජනගහනයෙන් සියයට 7 ක් විතර ප්‍රමාණයක් තමයි කතෝලික, ක්‍රිස්තියානි ආගම් වැළැඳගත්තේ. අවසාන සංගණන දත්තවලින් පැහැදිළි වෙන විදිහට සිංහලයින්ගෙන් සියයට 93.6 ක් ම බෞද්ධ. මේ කාරණයක කෙන්යාව වගේ රටක් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතේ කෙන්යාව පාලනය වුනේ අවුරුදු 74 ක් විතරයි. ඒත් කෙන්යාවේ ජනගහනයෙන් සියයට 83 ක් ම ක්‍රිස්තියානි, කතෝලික ආගම්වලට හරවන්න ඔවුන්ට පුළුවන් වුනා. කෙන්යාවේ ජනගහනය අපේ වගේ දෙගුණයකටත් වැඩියි. මේ රටේ යම් තරමකට හරි මුල් බැහැගත්තේ කතෝලික ආගම. ඒ ආගමේ තියෙන සාමූහික බව තමයි ඒකට හේතුවෙන්න ඇත්තේ. කැතලික් කියන වචනයේ තේරුම සමස්තය, සියල්ල කියන එකනේ.

අවුරුදු 150 කට වැඩි කාලයක් කොළඹ, බටහිර හා නිරිතදිග වෙරළබඩ ප්‍රදේශ එක දිගට ම බ්‍රිතාන්‍ය පාලනයට යටත්වෙලා තිබුණාට අපේ මිනිස්සුන්ව ක්‍රිස්තියානි ආගමට (ඒ කියන්නේ එංගලන්ත සභා ආගමට) හරවගන්න බැරිවුනා. සොලමන් ඩයස් බණ්ඩාරනායකලා වගේ ටික දෙනෙක් තමයි ඒ ආගම වැළැඳගත්තේ. ඒ ආගම වැළැඳගත් අයගෙන් සෑහෙන ප්‍රමාණයක් පස්සේ කාලයක ඒක අතහැරියා. ආයෙත් බෞද්ධ වුනා.

1838 අවුරුද්දේ දී ඔටුණු පැළැඳගෙන අවුරුදු 62 ක් බලයේ හිටපු වික්ටෝරියා මහා රාජිනිය ගේ කාලයේ දී තමයි බ්‍රිතාන්‍ය හිරු නො බසින අධිරාජ්‍යයේ බලය හිණිපෙත්තට ම නැගලා තිබුණේ. මේ මහා අධිරාජිනිය බලයට ඇවිල්ලා අවුරුදු 24 ක් විතර ගතවුනා ම, ඒ විතරක් නෙවෙයි, ගවර්මන්ට් ඔෆ් ඉන්ඩියා පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන අවුරුදු පහක් ගතවෙන්නත් කලින් බලාපොරොත්තු නොවුණු අභියෝගයක් අපේ රටෙන් මතුවුනා. ඒ තමයි, අපි කවුරුත් දන්න ආගමික වාද. 1862 අවුරුද්දේ ලිඛිත විදිහට පටන්ගත්ත මේ බෞද්ධ – ක්‍රිස්තියානි වාද 1973 අවුරුද්දේ පැවැත්වුනු පානදුරාවාදයෙන් අවසන් වුනු විදිහ අපි කවුරුත් දන්නවා. එයින් අවුරුදු තුනක් ගතවුනා ම, වික්ටෝරියා මහා රාජිනියට ඉන්දියාවේ අධිරාජිනිය කියන පට්ටමත් ලැබුණා. ඒ කියන්නේ මේ වාද ඇතිවුනේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලය ඉතාමත් හොඳින් ස්ථාවර වෙලා තියෙන වෙලාවක කියන එක අපි අමතක කරන්න හොඳ නෑ. ඒ හින්දා මේ ඇතිවෙච්ච ආගමික වාද සුළුපටු විදිහට සළකන්නත් බෑ. ඇත්තෙන් ම, බෞද්ධයන් වාද කළේ කතෝලික පූජකවරුන් එක්ක නෙවෙයි. ක්‍රිස්තියානි පූජකවරුන් එක්ක. මේක එක විදිහකට ගත්තම ඒ මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත් එක්ක මුහුණට මුහුණ හැප්පෙනවා වගේ වැඩක්. අන්තිමට මේ වාද විවාද හින්දා වුනේ දුක් මහන්සි වෙලා ක්‍රිස්තියානියට හරවගත්ත අපේ මිනිස්සු ආපහු බෞද්ධ වෙච්ච එක.

මේ කාරණයෙන් පැහැදිළිවෙන්නේ අපි උරුම කරෙගන තියෙන අපිට ම ආවේනික සංස්කෘතික මනසේ ශක්තිය. මේ කාරණය තහවුරුකරන්න තව උදාහරණ දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ගැන පාඨකයන්ට වුනත් හිතලා බලන්න පුළුවන්. හැබැයි මේ කාරණයෙන් අපේ සංස්කෘතික මනස සම්පූර්ණයෙන් ම නිරූපණය වෙන්නේ නෑ. අපේ සංස්කෘතික මනසේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි ඉතා දීර්ඝ කාලයක් යූරෝපීය රාජ්‍යයන් තුනක යටත්විජිතයක් වී සිටීම නිසා උරුම කරගත් සංස්කෘතික දායාද. බොහෝ දෙනෙක් මෙය යටත්විජිත මානසිකත්වයක් කියලා හඳුන්වනවා. ඒත් එහෙම කියන එක සාධාරණ නෑ. මොකද ලිබරල් අදහස්වලට මුල් තැනැක් දෙන අය අතර මේ රටට ආදරය කරන අය නෑ කියලා කියන්න බෑ. ඒ අය හිතන්නේ මේ රට දියුණුකරන්න පුළුවන්, අද අපේ තියෙන මේ අවුල් ලිහන්න පුළුවන් ලිබරල් උපක්‍රමවලින් කියලා. ඒ අය තුළත් එක්තරා ආකාරයක අපේකමක් තියෙනවා. අනිත් කාරණය මේ ලිබරල්, පුද්ගලාන්තික අගයන් පිළිගන්නේ ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනීසිටින අය විතරක් නෙවෙයි. අපි හැම දෙනෙක් ළඟ ම ඒ අදහස් අඩු වැඩි වශයෙන් තියෙනවා.

අපිට මෙහෙම උරුමයක් තියෙන හින්දා තමයි මේ රටේ දොන් ස්ටීවන්ලා, ජෝන් ලයනල්ලා, සොලමන් වෙස්ට් රිච්වේ ඩයස්ලා, ඩඩ්ලි සෙල්ටන්ලා, ජූනියස් රිචඩ්ලා රජවුනේ. මෙහෙම දෙයක් උරුම කරගන්න තරම් අවකාශයක් ඉන්දියාව කියන රටේ” මිනිස්සුන්ට ලැබුණේ නෑ. ඒක ඒ අය ගේ අමුතු හපන්කමක්වත් අපේ අය ගේ දුර්වලකමක්වත් නෙවෙයි. අපි ඒ අයට වඩා ඉතාමත් දීර්ඝ කාලයක් බටහිර යටත්විජිත උරුමය භුක්ති වින්දා. අපි දන්නවා කෝල්බෲක්-කැමරන් කොමිසමේ නිර්දේශ මත පදනම් වෙලා මේ රටේ සිදු කරපු වෙනස්කම් ගැන. රාජකාරි ක්‍රමය, ගම් සභා ක්‍රමය අහෝසි කළ ආකාරය ගැන. අපේ මුතුන් මිත්තන්ගෙන් උරුම කරගත්ත පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය වෙනුවට ස්කූල් ඔෆ් අවර් ෆාදර්ස්” උරුම කරගත්ත විදිහ. ඊට පස්සේ ඒ ආකෘතිය තුළ ම රට පුරා බෞද්ධ පාසල් ඇති කරපු ආකාරය. ඒ විතරක් නෙවෙයි. අපි හැමෝ ම දන්නවා මේ විදිහට ලැබුණු විධිමත් හා අවිධිමත් අධ්‍යාපන උරුමය නිසා 1931 වෙද්දී අපි සර්වජන ඡන්ද බලය උරුම කරගන්න පවා සුදුසුකම් ලබා තිබුණු බව. අපේ මේ ශ්‍රී ලංකාව තමයි බ්‍රිතාන්‍යය හිරු නොබසින අධිරාජ්‍යයේ වපසරිය ඇතුළේ එහෙම දෙයක් උරුම කරගත්ත සුදු නොවන මුල් ම රට.

මේ ජාතික – ලිබරල් සංයෝගය හෙළිකරන අපූරු දෙයක් අපි අතර තියෙනවා. ඒ තමයි, අපි දැන් අපේ නම් හදාගෙන තියෙන විදිහ. පාරම්පරික ව උරුම කරගත්ත විදිහට අපි අපේ නම් පාවිච්චිකරනවා නම් ඒක කරන්න ඕන මුලින් වාසගම – ඒ කියන්නේ පවුලේ නම; ලියලා, ඊට පස්සේ අපේ පුද්ගලික නම ලියන එක. උදාහරණයක් විදිහට, රත්නායක මුදියන්සේලා ගේ සමන් ප්‍රියන්ත” කියන නම ගනිමු. මේ නමේ රත්නායක මුදියන්සේලා ගේ” කියන එක තමයි පවුලේ නම – වාසගම. සමන් ප්‍රියන්ත” කියන්නේ පුද්ගලික නම. ඒත් අපි දැන් කරන්නේ මොකක්ද? අපි නම හදාගන්නවා රත්නායක මුදියන්සේලා ගේ සමන් ප්‍රියන්ත රත්නායක” විදිහට. ඒ කියන්නේ දැන් අපිට සර්-නේම් එකකුත් තියෙනවා. අපි ළඟ අපේ අනන්‍ය වූ උරුමයත් තියෙනවා. අපි බටහිරින් ලබාගත්ත දේත් තියෙනවා. මේ කාරණය පැහැදිළිකරන්න තව සෑහෙන්න උදාහරණ දෙන්න පුළුවන්. ඒත් අපි හිතන්න පුළුවන් මිනිස්සු කොට්ඨාශයක් හින්දා ඒ හැම දෙයක් ම පැහැදිළිකරන්න ඕන නෑ. මේ කියන දෙයින් තහවුරු කෙරෙන කාරණය තමයි යම් යම් ප්‍රමාණවලින් අපි හැම කෙනෙක් ළඟ ම ජාතික මානසිකත්වයකුත්, ලිබරල් මානසිකත්වයකුත් තියෙනවා කියන එක.

මේ මිශ්‍රණය ඇතුළේ වැඩියෙන් ජාතිකත්වයට බර පිරිසකුත්, වැඩියෙන් ලිබරල් අදහස්වලට බර පිරිසකුත් ඉන්නවා. ඒ ඒ අය විසින් අනෙක් පාර්ශ්වය අන්තවාදීන් විදිහට සළකනවා දකින්නත් පුළුවන්. ජාතිකත්වයට බර අය ලිබරල් අදහස් වෙනුවෙන් පෙනී ඉන්න අය ව දකින්නේ විජාතික මනසක් තියෙන, පරගැති පිරිසක් විදිහට. ලිබරල් අදහස් වෙනුවෙන් පෙනී ඉන්න අය ජාතිකත්වයට බර අය ව දකින්නේ ජාතිවාදී, ඒ වගේ ම හණමිටි අදහස් කරපින්න ගෙන ඉන්න පිරිසක් විදිහට. මේ කියන්නේ ඒ දෙපාර්ශ්වය ම වැරැදියි කියලාවත්, කොහෙටවත් නැතිව ඉන්න පිරිස නිවැරැදියි කියලාවත් නෙවෙයි. මේ කියන්නේ අද අපේ මිනිස්සු බෙදිලා ඉන්න විදිහ. හැබැයි බහුතරයක් අගක් මුලක් හිතාගන්න බැරිව අතරමංවෙලා වගේ ඉන්න බවකුත් අපි තේරුම්ගන්න ඕන. මේ බහුතරය එක වෙලාවකට ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. එහෙම පෙනී ඉඳලා මොහොතක් ගතවෙන්න කලින් ලිබරල් අදහස් වෙනුවෙන් අත් උස්සනවා. 1947 ඉඳලා මේ දක්වා පැවැත්වුණු හැම මැතිවරණයක දී ම මේ කාරණයත් තීරක සාධකයක් වෙලා තියෙනවා. ඒ වගේ ම අවස්ථාවාදී දේශපාලනඥයෝ, දේශපාලන බලවේග මේ මානසිකත්වයට ගැලපෙන විදිහට වෙස් මාරුකරලා මැතිවරණවලට ඉදිරිපත්වෙලා බලයට ඇවිල්ලාත් තියෙනවා.

කවුරු මොන විදිහට බලයට ආවත් ඒ අය මේ රටේ තියෙන සංස්කෘතික මානසික වියවුල ඇතුළේ අතරමංවෙනවා. සමූහාන්තික අනන්‍ය ජාතික අගයයන්ට ගැලපෙන විදිහටත්, පුද්ගලාන්තික ලිබරල් අගයයන්ට ගැලපෙන විදිහටත් ප්‍රතිපත්ති හදාගන්න ඒ අයටවත්, ඒ අයට උපදෙස් දෙන උගතුන් කියන අයටවත් බැරිවෙලා තියෙනවා. ඒත් අපේ අය දවල් රෑ නැතිව ජාතික ප්‍රතිපත්තිවල අවශ්‍යතාව ගැන කිය කියා කෑ මොරදෙනවා. බොහෝ දෙනෙක් කියනවා – බලන්න, ඉන්දියාව කොච්චර නම් හොඳට ජාතික ප්‍රතිපත්ති හදාගෙන ඉන්නවා ද? මැලේසියාව කොච්චර නම් හොඳට ජාතික ප්‍රතිපත්ති හදාගෙන ඉන්නවා ද? ඒත් අපේ රටේ කිසි ම දේකට ජාතික ප්‍රතිපත්තියක් නෑ. එක එකා බලයට එන වෙලාවට ප්‍රතිපත්ති වෙනස්කරනවා. අද එකක්. හෙට එකක්.” ඒත් ඇත්ත ඒක නෙවෙයි. මේ රටේ ප්‍රතිපත්ති හැදෙන්නේ අපේ සංස්කෘතික මනස ඉල්ලන විදිහට. ඒවා හදන්නෙත් ඒ විදිහට පෝෂණය වෙච්ච අය. ඉතින් ඒ ප්‍රතිපත්ති එහෙටත් නෑ. මෙහෙටත් නෑ.

බ්‍රිටිෂ් රාජ් පාලනය යටතේ ඉන්දියාව කියන රටේ” හිටපු අයට අපිට තරම් බටහිර අගයයන් වැළැඳගන්න අවස්ථා ලැබුණේ නෑ. ඒ අය ගේ බොහෝ අභ්‍යන්තරික දේශපාලන ආකෘති පවා අඩු වැඩි වශයෙන් ඒ අය කැමැති විදිහට පවත්වාගෙන ගියා. 1947 දී නිදහස” දිනාගන්න විටත් 1950 දී ඉන්දියානු ජනරජය” පිහිටුවන විටත් ඒ උප මහාද්වීපයේ තමන් ගේ බිම් පාලනය කරපු බොහෝ රජවරු තවදුරටත් හරි අපූරුවට ඔටුණු පැළැඳගෙන හිටිය එක මේ සම්බන්ධයෙන් පෙන්නලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ අය ගේ දේශපාලනික පැවැත්ම ඉන්දියානු ජනරජය” පිහිටුවීමෙනුත් මුළුමනින් ම අහෝසිවුනේ නෑ. උදාහරණයක් විදිහට තිරුවාළුකෝට්ටේ – ඒ කියන්නේ දැන් හදලා තියෙන කේරළ ප්‍රාන්තයේ වැඩි ප්‍රදේශයක්; පාලනය කරපු ශ්‍රී බාලරාමා වර්මා රජතුමාට ඉන්දියාව කියන රටට නිදහස ලැබුණාට” පස්සෙත් – හරියට ම කියනවා නම්, 1949 ජූලි පළමුවැනි දා ඉඳලා 1956 නොවැම්බර් පළමුවැනි දා වෙන කල් ම; තමන් ගේ බල ප්‍රදේශයේ රාජ ප්‍රමුඛයා කියන තනතුරු භුක්ති විඳින්න අවස්ථාව හිමිවුනා. ඊට පස්සේ තමයි කේරළ ප්‍රාන්තය හදලා ඒ වෙනුවෙන් ආණ්ඩුකාරයෙක් ඉන්දියාව කියන රටේ” ජනාධිපති විසින් පත්කළේ.

මැලේසියාවේ අදටත් රජ කෙනෙක් ඉන්නවා. ඒ, රාජ-රාජ සභාව විසින් ඡන්දය දීලා පත්කරගන්න රජ කෙනෙක් බව ඇත්ත. ඒක මැලේසියාවට ම ආවේනික ක්‍රමයක්. ලෝකයේ වෙනත් කිසි ම රටක එහෙම ක්‍රමයක් නෑ. ඒත් අපේ රටේ පැවැත්ම තීරණය කෙරුණේ, අදටත් තීරණය කෙරෙන්නේ ඒ විදිහට නෙවෙයි කියන කාරණය අපි කවුරුත් දන්නවා. අපි අද ඉන්නේ පුදුමාකාර අවුලක. මේ අවුලේ මුල ම තියෙන්නේ අපේ හයිබ්‍රිඩ් සංස්කෘතික මානසිකත්වය බව අපි තේරුම්ගත යුතුයි.

වරුණ චන්ද්‍රකීර්ති෴

2 Responses to “පෙරදිගට ගමනක් – 10 – හයිබ්‍රිඩ් ජාතියක ප්‍රතිපත්ති ආරවුල”

  1. Dham Says:

    “අපිට මෙහෙම උරුමයක් තියෙන හින්දා තමයි මේ රටේ දොන් ස්ටීවන්ලා, ජෝන් ලයනල්ලා, සොලමන් වෙස්ට් රිච්වේ ඩයස්ලා, ඩඩ්ලි සෙල්ටන්ලා, ජූනියස් රිචඩ්ලා රජවුනේ.”

    දැන් ඔබ වැරදි පාරට වැතී ඇතිබව පෙනේ.
    නම් වලින් වැඩක් නැත​. ක්‍රියාව වැදගත්‍ ය​. “නජච්චා වසලෝ හෝති” සිංහලයා ගේ උරුමයකි.
    සිංහල නමක් තිබුනාට ඉඳියාවෙන් කොපිකල ආරිය සූට් එක ඇන් දාට සිංහලයෙක් නොවේ.

    ඔය කියන එකෙක්වත් රජුන් උනේ නැත​. රජුන් කියා මිනිස්සු කිවුවේත් නැත​. ඔවුහු ඉංගිරිසි ඉගෙන ගත්තත් ඉතාම නිහතමානී අල්පේශාක්‍ය ජීවිත ගතකොට මිය ගියහ​. අපේ සංස්කෘතිය දියුනුවට බුදුදහමේ දියුනුවට වැඩ නොකළා විහහැකි උනත් අපේ සංස්කෘතිය දදමීමා කරගෙන එයට සුවකල නොහැකි අලුත්මරෝග ඇතිකලේත් නැත​. හයි බ්‍රිඩ් රජවරු පහලවෙන්නටත් රජකරන්නත් පටන් ගත්තේ ඊට පසුවය​.

  2. Christie Says:

    සුද්දාගේ කරපිටින් බිරිතානු-ඉන්දීය යටත් විජිතයනට ගිය ඉන්දියානු පරපෝසිතයෝ වරප්‍රසාද ලත් ජඩයන්ය.

    උන් මුරුසියේ, ගුයාන, ෆීජී, මැලයා, බුරුමය, සින්හලය, අප්‍රිකානු යටත් විජිත වෙන්න පුලුවන්.

    මුන් අපිට කෙලින්න හැමවිටකම එකතුවෙනවා. දනගන්න ඕනිනම් පොලිස් කොමිසමේ ආචාර්ය ලොක්කගෙන් අහල බලන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress