ලෙනින් ගේ සිරුර දුටුවෙමි
Posted on April 17th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

1987  ග්‍රීෂ්ම කාලයේදී මම මොස්කව් නගරයට ගියෙමි. මොස්කව් හි සුප්‍රකට බල්ශෝයි තියාතරය නැරඹීමෙන් පසුව  ලෙනින් ගේ සිරුර හෙවත් ලෙනින් මවුසලේනියම බැලීමට මම රතු චතුරශ්‍රය වෙත ගියෙමි. රතු චතුරශ්‍රය උතුරා සෙනග සිටි අතර ලෙනින් මවුසලේනියම බැලීම සඳහා දිග පෝලිමක් විය​. මමද මේ පෝලිමේ අගට සම්බන්ධ වූයෙමි. මෙම පෝලිම ඉතා දිග මෙන්ම සෙමෙන් ගමන් කලේය​. සවස් වන තෙක්වත් පෝලිම ඇදී යනු ඇතැයි මට සිතුනි. ලෙනින් ගේ දේහය බැලීම පසෙක තබා ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලය වෙත ගොස් මිතුරන් හමු වීමට සිතුනද මම පෝලිමේ රැඳී සිටියෙමි.

ලෙනින් ගේ මරණින් පසු ලෙනින් ගේ සිරුර මිහිදන් කිරීමට ඔහුගේ බිරිඳ වූ කෘප්ස්කයාට අවශ්‍ය වූවාය​. එහෙත් කල්ට් වන්දනාව ස්ථාපිත කිරීමට අවශ්‍ය වූ ස්ටාලින්  ලෙනින් ගේ සිරුර බෙහෙත් ගල්වා රතු චතුරශ්‍රයේ ප්‍රදර්ශනය කිරීමට නියෝගය දුන්නේය​. ලෙනින්  සමග තමාවද දේවත්වයට එසවීම ස්ටාලින් ගේ අරමුණ වූ බව කියවේ.

lenin

මා රතු චතුරශ්‍රය වෙත ගිය දින ඉන්දියානු නියෝජිත පිරිසක් ද පැමිණි අතර ඔවුන් අප සිටි පෝලිම අසලින් ගියහ​. මේ සමගම මමද ඉන්දියානු පෝලිමට එක් වූයෙමි. ඉන්දියානු නියෝජිත පිරිස රැගෙන ගියේ රුසියානු යුද නිලධාරියෙකි. ඔහු වී අයි පී පෝලිම වෙත අපව රැගෙන ගියේය​. මමද මඳක් ඉන්දියානුවන් ගේ පැහැය නිසා ඔහු මාව එකවර හඳුනා ගත්තේ නැත​. එහෙත් මවුසලේනියම ආසන්නයේදීම ඔහු මාව නවතා කක් වී පපාලි සුදා (ඔබ මෙතනට ආවේ කෙසේද ? ) කියා විමසීය. මම ඉන්දියානුවන් සමග පෝලිමේ ආ බව කීවෙමි. මාව යලි හරවා යැවීමටද දැන් ප්‍රමාදය​. එසේ ගියහොත් මුර කපොළු කීපයක් පසුකොට මා ආවේ කෙසේද යන්න ඔහුට ප්‍රශ්නයක් වේ. මේ නිසා අනෙකුත් ඉන්දියානුවන් සමග මට මවුසලේනියම තුලට යන්නට දුන්නේය​. මම ඔහුට නමස්තේ කියා ආචාර කොට මවුසලේනියම තුලට ගියෙමි.

මවුසලේනියම තුලදී මම ලෙනින් ගේ සිරුර දුටුවෙමි. ඔහුගේ ශරීරය මිටිය​. ඔහු එක් අතක් මඳක් මිට මොලවාගෙන සිටියි. ලෙනින්ට අන්දවා තිබුනේ දුඹුරු පැහැති කමිසයක් සහ කබායකි.

ලෝකයේ ගරුත්වයට මෙන්ම වෛරයට පාත්‍ර වූ මිනිසා මා ඉදිරියේය​. ඔහු සංකීර්ණ චරිතයකි. සමහර කොටසකට විමුක්තිය මෙන්ම සමහරෙකුට ඔහු ත්‍රස්තය ගෙන ආවේය​. රොමනෝව් රජ පවුල මරා දැමීමට නියෝග දුන්නේද ලෙනින් ය​. ෆීලික්ස් දෙර්ශීන්ස්කි හරහා චෙකා සංවිධානය ගොඩ නගා ඝාතන කිරීම සඳහා අඩිතාලම දැමුවේය​. එසේම වැඩවසම් යුගයේ තිබූ රුසියාව කාර්මීකරණයට යොමු කලේ ලෙනින් ගේ මග පෙන්වීම මතයි. ඔහු රුසියාවේ සාක්ශරතාවය ඉහල දැමීමට ක්‍රියා කලේය​. ඉතිහාසය විසින් ලෙනින් හට විනිශ්චයක් දෙනු ඇත.

වර්තමානයේ ලෙනින් ගේ බොහෝ රහස් ලියකියවිලි ක්‍රම්ලිනය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම නිසා ලෙනින් ගැන වර්තමාන රුසියානු පරපුර දරන්නේ මිශ්‍ර්‍ර අදහස් වෙති. එහෙත් ගුරු ගීතය පමණක් කියවා ලෙනින්ව අදහන  ලංකාවේ වෙන්ඩ ලෙනින්ලා ලෙනින් ගේ කෘති කියවා නැත​. එසේම ලෙනින් ගැන තුලනාත්මක අධ්‍යනයක් ද කොට නැත​. මේ නිසා මෙම ලියවිල්ලට ඔවුන් සමහරක් විට කෝප වනු ඇත​.

ලෙනින් ගේ සිරුර බැලීමෙන් පසුව මම ඉවතට ආවෙමි.  රතු චතුරශ්‍රයට තව තවත් නන් දෙසින් මිනිසුන් එති. ඔවුන් සියළු දෙනා එන්නේ මේ ලෙනින් නම් අපූරු මිනිසා ගේ නිසල සිරුර දැක බලා ගැනීමටය​. අපගේ වෛද්‍ය පීඨයේ ඉතිහාසය දෙපාර්තමේන්තුවේ බිත්තියක ලෙනින් ෂිල් ලෙනින් ෂීත් ලෙනින් බූදිත් ෂීත්  කියා ලියා තිබුනි එහි තේරුම නම් ලෙනින් ජීවත් විය , ලෙනින් ජීවත් වේ සහ ලෙනින් අනාගතයේද ජීවත් වනු ඇතැයි යන්නයි. එහෙත් වර්තමාන රුසියාවේ ලෙනින් අනාගතයේද ජීවත් වනු ඇතැයි යන්න ප්‍රශ්නාර්ථයකි. ලෙනින්  ගේ  රහස් ලියකියවිලි ක්‍රම්ලිනය මගින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු ලෙනින්  ගැන රුසියාවේ තුලනාත්මකව අධ්‍යනයන් කෙරෙන අතර ලෙනින්  ගේ හොඳ මෙන්ම නරක පාර්ශවයන් ද ඉන් හෙලි කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress