දම්පල් සිරිත නොදැන දඹදිව අතරමංකරවන වන්දනාව
Posted on April 18th, 2016

මතුගම සෙනෙවිරුවන්

වර්ෂයකට ලක්ෂ හතරක් පමණ පිරිසක් දඹදිව වන්දනාවේ යනෙන බවට සංඛ්‍යා ලේඛන සාක්ෂි සපයයි. ඉන්දීය රජය මේ නිසා උපයන විදේශ විනිමය ප්‍රමාණය අති විශාලය. මේ නිසාම බරණැස බුද්ධගයාව වැනි ප්‍රදේශ වලද ගුවන්තොටුපළවල් පිහිටුවා තිබේ.   වර්තමාන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය වන්නේ අශෝක ධර්ම චක්‍රයයි. එහෙත් එයින් ප්‍රකාශ වන්නේ ඉන්දීය ප්‍රතිපත්තිය බෞද්ධ වීම නොවේ. මායාවතී මහ ඇමතිනිය ලක්නව් නගරය ආශ්‍රිතව බෞද්ධ නගරයක් නිර්මාණය කර ඇත.ලංකාවේ නගර නිර්මාණය අලුත් අවදියකට එළඹ ඇති මේ වකවානුවේ එවැනි කල්පනාවක් ඔවුනට පවා ඇති වී නැති අවෂ්ථාවක මේ වෑයම අගයකරන්නට උත්සාහ දරන්නේ නැත. මේ මගින්ද කියවෙන්නේ ඉන්දියාව බෞද්ධ ගමන් මාර්ගයකට අවතීර්ණ වී ඇති බව නොවේ. ඉන්දියාවට මේ බෞද්ධ කම ආභරණයක් පමණකි. එය සංචාරක කර්මාන්තය සඳහා වඩා සරු ලෙස භාවිතා කිරීම ඔවුන්ගේ උපක්‍රමයයි. චෙන්නායි වලදී සිංහල බෞද්ධයින්ට පහර දුන්නද ඉන්දියාව අපගේ දේශපාලනඥයින්ට වඩා සකසුරුවම් ලෙස ඒ ප්‍රශ්ණය විසඳා ගැනීමට උත්සාහ ගෙන ඇත. එයට හේතුව ඔවුන් ගේ    නිලධාරි පන්තිය වඩාත් රටට ආදරය කිරීමයි .මේ තත්වය එසේ වුවද ඉන්දියාවට පය තබන සිංහල බෞද්ධයින්ගේ සිතුවිලි ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳවද ඉන්දීය රජයට හොඳාකාර අවබෝධයක් තිබෙන බව පෙනේ. ඒ නිසාම මේ ගැටුම් වලට හේතුව සොයා පිලියම් යෙදීමක් ද සිදු නොවනු ඇත.

        ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා 1891 වර්ෂයේදී ඉන්දියාවට සැපත් ව බුද්ධගයාව වන්දනා මානයට යනවිට එය හින්දූන් සතුව තිබූ ආයතනයක් විය. ඇතැම් විට බෞද්ධයෙකුට එහි ඇතුල් වීමටත් තහනම් කර තිබුණි. එහි ආධිපත්‍ය ඉසිලූ මහන්තා නම් හින්දු ආගමික නායකයා ශිව ලිංගය වන්දනා කරන්නට සපැමිණෙන හින්දු භක්තිකයින්ට රිසිසේ එම ස්ථානයේ නිදහස ලබා දී තිබුණි. මේ දර්ශන වලින් අතිශය ශෝකයට පත් ධර්මපාල තුමා බුදුන් වහන්සේ බුද්ධත්වය පත්  ස්ථානයේ ශ්‍රී මහා බොධියේ ඉදිරිපිට වජ්‍රාසනය අසලට වී සතිපට්ඨාන සූත්‍රය සඡ්ඡයනා කරමින් බලවත් අධිෂ්ඨානයක් කලේය. ඉන් පසු බරණැස ඉසිපතනයට ගොස් එහි බෞද්ධ නටබුන් වල ගල් ගලවා ගෙන යන හින්දුන් ගේ නොමනා ක්‍රියාවන් නැවැත්වීමට සටන් කලේය. අනතුරුව තම මවට තැපැල් පතක් යවා මුදල් ගෙන්වා ගෙන රුපියල් 600 කට ඉසිපතනය ආසන්නයේ ඉඩමක් මිලදී ගෙන මහාබෝධි සමාගම ආරම්භ කොට සිය අධ්‍යාත්මික හා ආගමික මෙහෙයවීම් සදහා පදනමක් ඇති කළේය..

           බුද්ධගයාවේ මහන්තා ට විරුද්ධව ධර්මපාල තුමා නඩු මගට බැස්සේ වෙන කළ හැකි කිසිම දෙයක් ඉතිරිව නොතිබූ බැවිනි. බෞද්ධයින් ගේ අයිතිය ප්‍රකාශ කරලීමට තිබූ එකම සිහිවටනය වූයේ බුදධගයාවේ ස්ථූපාකාර හැඩයයි. ඒ තත්වය නීතිමය මාර්ගයෙන් හෙළි කරවා එතුමා ගේ අප්‍රතිහත ධෛර්යයෙන් මුල් වතාවේ නඩුවෙන් ජය ලබන්නට හැකි වුවද ඇපෑලේදී එතුමා පරාජයට පත් විය.නමුත්  මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ඉල්ලීම පරිදි මහත්මා ගාන්ධි තුමා මෙයට මැදිහත්වීමට පෙරොන්දු වූවද එයද ඉටු නොවීය. අනතුරුව බුද්ධගයාවේ තත්වය සමනය කලේ ඉන්දියාවේ ප්‍රථම ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් මැතිතුමා ගේ  ක්‍රියා පිළිවෙතිනි. මෙම ස්ථානය බෞද්ධයින් ගේ වන්දනා මාන ස්ථානයක් බවට පත් කරලීමට ඉන්දීය රජය එකඟ වූවද ඒ සඳහා පාලක කොමිටියට හින්දූන්ද ඇතුලත් විය යුතු යයි තීරණය වුණි. ඉන්දීය මහා බෝධි සමාගම පිහිටුවා බුද්ධගයාව හින්දූන්ට හා බෞද්ධයින්ට බාර දුන්නේ වඩා උපක්‍රමශිළි ව යයි සිතේ. මෙහි බෞද්ධයින්ට වැඳුම් පිදුම් කරන්නට  ද ශීල සාමාදානයට  ද අවස්ථාව ඇතත් එහිදී සිංහල බෞදධයින් කළ හැකි කිසිවක් නැත. සිංහල නාම පුවරුවක් පවා දක්නට ඇත්තේ කලාතුරකිනි.  නමුත් බුද්ධගයා නගරයේ වෙළෙන්දෝ බොහෝ පිරිසක් සිංහල කතා කරන්නට දනිති. එහි කෞතුකාගාරයේ ඉතා වැදගත් ඉතිහාසයක් පෙන්වන ස්ථානයකි. බුද්ධත්වයට පත් විම නිරූපණය කරන අගනා කැටයමක් එහි තැන්පත්ව ඇත. නමුත් වන්දනා නඩ සංවිධානය කරන බලගතු පිරිස් පවා මෙ ස්ථාන ගැන ප්‍රමුඛත්වයක් ඇතිකර ගන්නේ නැත.හුදකලාවේ වුවද මා එහි නොයන්නට එහි වටිනාකම දැක ගන්නට ඉඩ නොතිබුණි.  බුද්ධගයාවට ආ දා සිටම හවස් වරුව ගෙවෙන්නේ සාරි හා ඇදුම් පැළඳුම් ගැන සොයන්නටයි. වන්දනා නඩ හසුරුවන අයට මේවායින් වාසි අත්වනවා විය හැකි නුමුත් ඉන්දීය රජයේ වුවමනාවන්ට මෙහිදී බෞද්ධයින් බිලි දී ඇතැයි කල්පනා කළ හැකිය. මේ ළඟදී ද්‍රවිඩ තරුණියක් බුද්ධගයාවේ දී පූජා භාණ්ඩ වීසි කර බෞද්ධයින්ට අපහාස වන අන්දමට හැසිරී තිබේ. එහෙත් බුද්ධගයා පාලනය හෝ රජය එයට විරුද්ධව කිසිවකට අත නොතබයි.

      ජේතවනාරාමය සංකස්ස ඉසිපතන මිගදාය කපිල වස්තුව වැනි ස්ථාන වල අපගේ ස්වාමීන් වහන්සේලා වැඩ සිටින බව ඇත්තකි. එහෙත් මේ සැම තැනකම ප්‍රථමයෙන්ම සිහිපත් කරවීමට අවශ්‍ය ධර්මපාල නාමය අද වියැකී ගොසිනි. ඒ වෙනුවට වන්දනා නඩ හසුරුවන්නන්ගේ අවශ්‍යතාවය අනුව සැකසුනු න්‍යාය පත්‍රයක් ඔස්සේ සියල්ලම ක්‍රියාත්මක වේ. රෝස මල් පූජාව එක් උදාහරණයකි.විශාල මුදලක් වියදම් කරවා නව දිල්ලියෙන් ඒ මල් ගෙන්වා ගන්නා අතර වන්දනා නඩ වලින් ඒ සඳහා වෙනම මුදල් එකතු කෙරේ. ජේතවනාරාමයට ඇතුලත් වන්නට අප ඉන්දීය රජයයෙන් ටිකට් පතක් ලබා ගත යුතුය. එහෙත් එහිදී කළ හැකි දේ සීමිතය. රිසිසේ පහනක්  දැල්වීමට අවකාශ නැත.ආනන්ද බෝධිය අසලදී පමණක් එයට සීමිත ඉඩක් ලබා දී තිබේ. එසේම පත්තු කරන්නට ලැබෙන්නේ ඉටි පන්දම් පමණකි.එම ක්‍රමය අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට වෙනස් බව කිව යුතු නොවේ. ධර්මපාලතුමා ගේ යුග කාර්ය භාරය සිහිපත් කරවීම වෙනුවට   බුද්ධානුස්මෘතිය වැඩවීම වෙනුවට වන්දනා කරුවන් ගේ ශ්‍රද්ධා භක්තිය යොදවා ගන්නේ වෙළෙඳ අරමුණු උදෙසාය.

         සංකස්ස නුවර ට යන ගමන් මාර්ගය ඉතා අබලන්ය. මේවා පිළිසකර කරවීමට ඉන්දීය රජයට අවශ්‍යතාවයක් ඇතැයි නොසිතේ. සංකස්ස පූජ්‍ය ස්ථානය ද තවමත් හින්දූන් ගේ ආධිපත්‍යට යටත් වී ඇත. එය වසර කීපයකට පමණ ඉහතදී  කඩා වැටීකැලෑවට යට වී ඇත. එය බෞද්ධයින්ගේ ස්ථානයක් වට පත් කර ගැනීමට කතා කිරීමට දැන් නොහැකිය. ධර්මපාල තුමා ගත් මග ගැන්මට වර්තමාන සිංහලයින් බිය වෙති. වර්ෂයකට ලක්ෂ හතරක වන්දනා කරුවන් එන රටක ඔවුන්ගේ සුව පහසුව සොයා බැලීමට ඉන්දීය රජය ගෙන ඇති පියවරයන්ද ඉතා සීමිතය. කි.මී. 800 ක්  එක දිගට අධිවේගී මාර්ග වල හා ග්‍රාමීය පාරවල් වල යනෙන විය ගිමන් නිවා ගන්නට ස්ථානයක් වැසිකිලි පද්ධතියක් සකස් කරලීමට අවශ්‍ය තාවයක් තවමත් බිහිව නොමැත. අපගේ කාන්තාවන්ට පවා එම ගමන් වලදී වැසිකිලි යාමට සිදු වී ඇත්තේ පාරවල් අයිනේ ළඳු කැලෑවලය. සමහරක් විට ඉන්දියාවේ අතිශය දිළිඳු පීඩිත පන්තියට මෙන් අපට සලකා මුදල් පමණක් ලබා ගැනීමේ චේතනාව ඔවුන්ට ඇතැයි මොහොතකට සිතේ.

       කපිල වස්තු  ප්‍රදේශයේ  යම් කිසි වපසරියක් ඉන්දියාවටද අයත්ය. එම ස්ථානයෙන් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින්නේ නවදිල්ලියේ කෞතුකාගාරයේය. එහෙත් ඒවා නැරඹීම හා වන්දනාවට ඉඩ හසර ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය. නමුත් ජේතවනාරාම විහාරස්ථානයේ වැඩසිටි අපවත් වී වදාල මැටිවල සංඝරක්ඛිත මාහිමියන් වහණ්සේලාගෙන් කොටසක් මේ ධාතූන්වහණ්සේ ලබා ගත් යතිවරයන් වහණ්සේ නමකි. එම ධාතූන් වහණ්සේලා දැනට ජේතවනාරාම පන්සලේ වැඩ සිටිනවා නිසැකය. නමුත් වන්දනා කරුවන්ට මේ බැව් ප්‍රකාශ කරන්නේ නැත.

        බුදුන් වහන්සේ ගේ පාද ස්පර්ශය ලත් බොහෝ ස්ථාන ඉන්දියාව පුරාවටම මෙන්ම නේපාලයේ ද ඇත. නේපාල් රජය ඉන්දියාවට වඩා සැලකිල්ලෙන් තමන්ගේ පුරා ස්ථාන වන්දනා කරුවන්ට විවෘත කරන්නට උත්සාහ කරයි. ලුම්බිණිය එයින් එක් ස්ථානයකි. එහි බුදුන් වහණ්සේගේ උප්පත්තිය සිදු වූ ස්ථානය මැනවින් සකස් කරවා ඒ සිද්දිය නිරූපණ කළ මූර්තිය එහි තබවා වන්දනා කරුවන්ට මෙන්ම පුරාවිද්‍යාව ඔස්සේ යන අයට ද මග පෙන්වන ආකාරයට පිහිටවා තිබීම අතිශයින්ම වටනේය. එහෙත් වන්දනා නඩ කරවන අයගේ න්‍යාය පත්‍රයේ වැදගත්ම ස්ථානයක් හිමි වී තිබෙන්නේ සාරි හෝ ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට පෙළඹවීමයි.ලුම්බිණියට යන්නට පළමු දේශ සීමාවේ දී බසය නතර කර තිබෙන කල්හි බසයට නගින් වෙළෙන්දන් ගැන ද  ඔවුන්ගෙන් රෙදි මිලදී ගන්නා ආකාරයද දැනුවත් කිරීම උදාහරණයකි. ඇතැම් විට නව දිල්ලි වීදියක කාන්තා අත් බෑග් හෝ පර්ස් සාරි සොයමින් සැරි සරන සිංහල භික්ෂුන්වහණ්සේලා දුටුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත. බුදුන් වහණ්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළැයි සැලකෙන ස්ථානය පිහිට තිබෙන්නේ නව දිල්ලි නුවර අසලය. නමුත් එම ස්ථානය ගැන අවධානය යොමු කරන නඩ ඇත්නම් ඒ සීමිත ගණනකි. ඒ වෙනුවට සාරි වන්දනාවට නවදිල්ලි බසාරයට පෝළිමේ රැගෙන යන වන්දනා කරුවන් දුටුවහොත් ඒ වන්දනා කරුවන් ගේ අවශ්‍යතාවයටද නැතහොත් සංචාරක සමාගමේ අවශ්‍යතාවයටදැයි කල්පනා වේ. එහෙත් දම්පල් සිරිත නොදැන දඹදිව මේ අය අතරමංවන බව කල්පනාවට එත්ම මහා සංවේගයක් උපදිනු වළක්වාලිය නොහැකිය. දැන් මෑතක සිට අග්‍රා වල පිහිටා තිබෙන ටජ් මහල නැරඹීමට වන්දනා කරුවන් රැගෙන නොයති. එයට හේතුවක් ඇත. ටජ් මහල් පාලකයින් වන්දනා කරුවන්ගෙන් ඉන්දීය රුපියල් පන්සීය විසිසක් අය කිරීම එකකි. අනෙක මේ ස්ථානය නැරඹීම බුද්ධ වන්දනාවට කිසිසේතම නොගැලපෙන බවට එහි සිටින් භික්ෂූන වහන්සේලා වන්දනා කරුවන් දැනුවත් කර තිබීම තවත් කාරණාවකි. නමුත් සංචාරක සමාගම් වල පත්‍රිකා වල තවමත් ටජ් මහල ගැන සඳහන් ව ඇත. මෝගල් වරුන් ඉන්දියාවේ බෞද්ධ ස්ථාන වලට කරන ලද විනාශය ගැන දැනුම්වත් වීම මීට වඩා වැදගත් කාරණයකි.

        ඉන්දියාවේ බහුතර පිරිසක් අතිශයින්ම දිළිඳුය. ඔවුන්ට සමාජයේ ඉහළ තැනකට පැමිණෙන්නට අවශ්‍ය අධ්‍යාපනයක් ඉන්දීය රජය සපයන්නේ නැත. ඒ වෙනුවට වඩාත් අපිරිසිඳු ස්ථාන වල සාදා ඇති නිවෙස් වල ගාල් කරවා ඔවුන් ගෙන් වැඩ ගන්නා හාම්පුතුන් පැලැන්තියක් ඉන්දියාවේ ඇත. නමුත් මේ අන්ත දිළිඳු පිරිසගෙන්ද අපට ඉගෙනීමට යමක් ඇත. ඒ ඉන්දියාවේ ජීවනාලිය බඳු කිරි නිෂ්පාදනය ඔවුන් දක්වන දායකත්වයයි. ඉතාමත් සරල ලෙස හරක් ගාල් තම නිවෙස අසලම ඉඳි කර ඔවුන්ට ආහාර සකස් දෙන අතරම කෘෂි ආර්ථිකයද නඩත්තු කර ගැනීම බෙහෙවින්ම අගනේය. මා සිත් ගත් ස්ථාන අතර ගිජ්ජකූඨය වෙසෙසින්ම සඳහන් කළ යුතුය. ගිජු ලිහිණියෙකුගේ හැඩය ගත් මේ ගල් කුලු අසල ඉඳිව තිබූ බුදුන් වහන්සේ ගේ කුටිය හා ආනන්ද හිමියන් ගේ කුටිය දකින විට මට සිහිපත් වන්නේ ලංකාවේ රජ වරුන්ගේ අගනා නිර්මාණයන්ය. ඒවාට ලං වෙන්නට ඉන්දියාවේ නිර්මාණ වලට නොහැකිය. 

           දඹදිව වන්දනාව යනු අද ඉන්දීය රජයට අවශ්‍ය සංචාරක ව්‍යපාරයක් පමණි. ධර්මපාල තුමා බේරා ගත් බුද්ධගයාව මෙන්ම ඉසිපතන මිගදායද මූලගන්ධ කුටි විහාරයද තව දුරටත් සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ මූලස්ථාන නොවේ. එයට හේතුව ධර්මපාල තුමාගේ අනාගත වාක්‍ය යේ සඳහන් කලු සුද්දන් මේ වන්දනා ව්‍යාපාරයට ද අත ගසා ඇති බැවිනි. වසා තිබූ ධර්මපාල කෞතුකාගාරය අබිමුව හුදකලාව සිට මම මොහොතක් සිතමි. වන්දනා චාරිකාව ආරම්භ කළ යුතු ස්ථානය මග හැර අපගේ නඩයේ ඇත්තන් බරණැස වීදි දිගේ අතරමංව සිටී. ඔවුන් ලංකාවට පය තැබූ විට ඉන්දීය ස්මරණයෙන් ඉතුරු වන්නේ මුසල්මානයන්ගේ ටජ්මහල පමණක් වනු ඇත. එයටද හේතුව එතැනට ගෙවූ ඉන්දීය රුපියල් පන්සිය විස්ස වියහැකිය.

        මතුගම සෙනෙවිරුවන්

3 Responses to “    දම්පල් සිරිත නොදැන දඹදිව අතරමංකරවන වන්දනාව”

  1. Dr.K Says:

    බුදුන් වහන්සේ පහල වුයේ එකල ජම්බුද්වීපය නමින් හැඳින්වූ ශ්‍රී ලංකාවේම බව දැන් දැන් කතා බහට ලක්වී ඇති ප්‍රදාන පෙලේ මාතෘකාවකි. මෙහිදී පූජ්‍ය මීවනපලානේ සිරිධම්මාලංකාර ස්වාමින් වහන්සේගේ කරුණු දැක්වීම ඉතාමත් තර්කානුකුල හා සත්‍යගෝචරබව උන්වහන්සේගේ දේශනා සහ ප්‍රකාශිත පොතපත ඇසූ සහ කියවූ අය පිළිගෙන ඇත.

    ඉන්දියාවේ දඹදිව වන්දනා නඩ ගෙන යමින් මුදල් උපයන ගිහි පැවිදි පිරිස් එක හෙලා මෙයට විරුද්ධය. එදා අනගාරික දර්මපාල තුමා විශාල පරිශ්‍රමයක් දරා බලහත් කාරයෙන් ඉන්දියාව තුල බුදුන් වහන්සේ පහලවූ බව හා ඊට සරිලන ස්ථාන ගොඩ නගා ලොකු වරදක් කර ඇති බව සමහරුන්ගේ මතය වී ඇත.

    මේ ලියුම් කරු ප්‍රකාශ කරන පරිදි අදත් ඉන්දියාවේ වන්දනාවට යන ශ්‍රී ලාංකීය බැතිමතුන් ඉන්දියානුවන්ගේ කුඩම්මාගේ සැලකිලි වලට ලක්වෙන බව පැහැදිලිය. ඉන්දියාව තුල ඇති සිද්දස්ථානද ඉතා මෑතකදී ගඩොලින් ගොඩනගන ලද ස්ථානයන්ය. ඒ අනගාරික දර්මපාල තුමාගේ මැදිහත් වීමෙන් පසුවය.

    නමුත් ශ්‍රී ලංකාව තුල කාගෙවත් හවුහරණක් නොමැතිව ජරාවාස වෙමින් අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් කියාපාමින් තවමත් නොසැලී පවතින කළු ගලින් නිමවූ සිද්දස්ථාන කොතෙකුත් තිබේද? ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර මේසා විශාල ගාණක සිද්දස්ථාන තිබීමෙන්ම මේරට තුල බුදු දහම ප්‍රචලිතව තිබු බවට හොඳම සාක්ෂියක් වී ඇත. එසේ වුයේ බුදුන් වහන්සේ මේ භූමියේම පහල වූ නිසා නොවේද ? යන්න සාදාරන ප්‍රස්නයක් වී ඇත.

  2. Christie Says:

    There is plenty of evidence to show Buddhism originated from Ceylon and was taken to India By Asoka and traders from Ceylon.

    I have read the book written by a Monk from a village near Padukka in Colombo District. The book was later banned. The monk was a well educated person and had a good general knowledge. I think I was privileged to see him and hear all the problems he had to face.

  3. Dham Says:

    Kithsiri / Dr. K,
    That Monk from a village near Padukka is “පූජ්‍ය මීවනපලානේ සිරිධම්මාලංකාර ස්වාමින් වහන්සේ”.

    I too think it is the duty of the Sri lanka government to do extensive research into it. According to those monks it is the British created a bogus homeland for Buddha too.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress