ගජමෑන් නිර්මාතෘ කැමිලස් පෙරේරා
Posted on April 20th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

හාස්‍ය රසය විශාදයෙන් පෙලෙන රෝගීන් සඳහා ප්‍රතිකාරාත්මක ක්‍රමයක් ලෙස යොදා ගැනීම සුදුසු බව වරක් සායනික මනෝ විද්‍යාඥ පද්මාල් ද සිල්වා මා සමග කීවේය​. මේ නිසා මම හාස්‍ය රසය   ප්‍රතිකාරාත්මක ක්‍රමයක් ලෙස යොදා ගැනීම සඳහා වැඩිදුර අධ්‍යනය කිරීමට කැමිලස් පෙරේරා මහතා ඇමතුවෙමි. කැමිලස් පෙරේරා මහතා අවශ්‍ය සහයෝගය දුන් අතර වෛද්‍යවරුන් ඇමතීම සඳහා අපගේ වැඩ සටහනකටද ආවේය​.

අප කැමිලස් හඳුනා ගත්තේ ගජමෑන් හරහාය​. එහෙත් කැමිලස් ගේ විහිළු 1970 දශකය මුල් භාගයේ සිට තිබූ බව මට මතකය​. මතක් කර ගත හැකි පැරණිම විහිළුව වන්නේ  මැගිලින් අක්කා පිලිබඳවයි.  මැගිලින් අක්කා පොඩි දේවල් විශාල කර පෙන්වන  කණ්නාඩියකින් බිම බලයි. යමෙකු මැගිලින් අක්කා ගෙන් මොනාද බලන්නේ කියා අසයි. කූපන් එකට ගත්ත සීනි ඇට දෙක තුනක් බිම වැටුණා කියා ඇය කියන්නීය​. මෙය   සමගි පෙරමුණු රජය යටතේ කූපන් වලට බඩු ගත් යුගයේ විහිළුවකි.

camilusperera

සිත්තර පත්තරය ආරම්භ වීමෙන් පසුව ගජමෑන් චරිතය සමාජගත විය​. ගජමෑන් බොහෝ විට දුප්පතෙකු වූවත් එක චිත්‍ර කතාවක ගජමෑන් පොහොසතෙකි. ඔහු තම මෝටර් රථය නවතා සාදයකට යයි. සාදයේදී මධුවිත ගන්නා ඔහු වෙරිමරගාතේ මෝටර් රථයට නැග සුක්කානම හොරු අරගෙන ගිහින් කියා බෙරිහන් දෙයි. එහෙත් බලන විට ගජමෑන් නැග තිබෙන්නේ මෝටර් රථයේ පසුපස ආසනයටය​.

තවත් කථාවක ගජමෑන් මිය ගොසිනි. වත්තේ පොල් මිලදී ගැනීමට එන මුදලාලි පොල් ගස් කණාටු වෙලා කියයි. නමුත් එක් ස්ථානයක පොල් ගසක ගෙඩි සරුවට තිබේ. එම ස්ථානය ගජමෑන් වලදැමූ ස්ථානයයි. මොකද ගජමෑන් වලදැමූ ස්ථානයේ පොල්  ගෙඩි සරු කියා මුදලාලි අසන විට ගජමෑන් ගේ කොල්ලා කියන්නේ තත්තා ජීවත්ව හිටපු කාලයේ  බිව්වේ යූරියා වලින් පෙරාපු කසිප්පු නිසා කියයි.

ගජමෑන් නිර්මාතෘ කැමිලස් පෙරේරා මාදම්පේ නියාජ්‍ය පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට පැමිණි විට වෛද්‍යවරු ඔහුව වට කරගෙන බොහෝ ප්‍රශ්න ඇසුවෝය​. මම ඉපැරණි ගජමෑන් කතා කැමිලස් පෙරේරා මහතාගෙන් ඇසුවෙමි. සමහර හාස්‍යජනක කතා ඔහුට අමතකවද තිබුනේය​. අවසානයේදී වෛද්‍ය ජගත් පද්මසිරිගේ ඉල්ලීම පරිදි  කැමිලස් පෙරේරා මහතා ලොකු කොලයක ගජමෑන්ව ඇඳ පෙන්වීය​.

කැමිලස් පෙරේරා මහතා චාරුමත් මිනිසෙකි. බොහෝ ක්ශිතිමය අත්දැකීම් වලට බඳුන් වූ  ශ්‍රී ලාංකික සමාජය සිනහගැන්වීම ලේසි පාසු කාර්‍යක් නොවේ. එවැනි සමාජයකට කඳුල වෙනුවට සිනහාව ගෙන ආ පරම්පරාවක් සිනහවෙන් කුල්මත් කල  කැමිලස් පෙරේරා මහතා ගජමෑන් මෙන් සදාකල් සිහිවටනයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress