හරවත් සංවාදය කාලීන අවශ්‍යතාවයයි 
Posted on April 22nd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

සෑම දිනකම ප්‍රවෘත්ති විකාශනයන් හෝ විවිධ වැඩසටහන් ඔස්සේ අපට දේශපාලකයින්ගේ කතාවන් අසන්නට ලැබේ. ඒ කතාවල හරය ගත්විට පැහැදිලි වන්නේ එකම එක දෙයකි. එනම් තම කතාවලට සවන් දෙන ජනතාවගේ බුද්ධිය පිලිබඳව කථිකයාගේ අවතක්සේරුවයි. නමුත් මෙය හරියට කැඩපතක් ඉදිරියට ගොස් තම ප්‍රතිබිම්බය දෙස බලනවා වැනි දෙයකි. මන්ද මේ කතා තුලින් පිලිබිඹු වන්නේ කථිකයාගේ දැනුමේ දිග පලල ද වන බැවිනි.

මෑතකදී මෙවැනි කතාවක නිමිත්ත වූයේ ‘පාරක් කාපට් කිරීම උදෙසා මුල්ගල තැබීම’යි. මෙය ඉතාම සාමාන්‍ය සංවර්ධන කටයුත්තකි. මෙය ඇමතිවරයකුගේ කාලය යොදා ගන්නට තරම් විශේෂ කටයුත්තක් නොවේ.

අද වන විට ශ්‍රී ලංකාවේ සෑම දෙයක්ම දේශපාලනීකරණය වී ඇත. දහම් පාසලේ, ළදරු පාසලේ ත්‍යාග ප්‍රධානෝත්සව, විවාහයක සාක්ෂියට අත්සන් කිරීම, ජනතාවට යම් වියලි ආහාර මල්ලක් බෙදා දීම ආදී මෙකී නොකී සෑම සියලු දේටම තම තමන්ගේ මතයට අනුව දේශපාලකයින්ට ආරාධනා කරනු ලැබේ. මෙහිදී එතැනට රැස්වන ජනතාවට තමන් කැමති වුනත් නැතත් ඒ පුද්ගලයාගේ දේශපාලන මති මතාන්තරවලට සවන් දෙන්නට සිදුවේ. මේ කතාවල අන්තර්ගත වන්නේ තැනට අදාල යමක් නොව ඒ කලට කතිකාවට ලක්ව ඇති යම් විෂයයක් තමන්ගේ මතයට අනුකූලව සවන්දෙන්නාගේ මොලයට කැවීමේ වෑයමයි.

මහජනතාව අතර දේශපාලන කතිකාවක් ගොඩ නැගීම ඉතාම අත්‍යවශ්‍යය. නමුත් ඒ මෙවන් අර්ථ ශුන්‍ය බහුභූත වලින් ඔවුන්ගේ හිස පිරවීමෙන් නොවේ. ජනතාව අතර හරවත් දේශපාලන සංවාදයක් ගොඩ නැගිය හැක්කේ දේශපාලනය යන විෂය පුලුල්ව විශ්ලේෂණය කිරීමෙන් මිස මෙවන් පක්ෂ දේශපාලන මතවාද ඔස්සේ නොවන බව පැහැදිලිය.

දේශපාලනයෙන් තොරව කෙනෙකුට ජීවත් විය නොහැක. ඒ තමන් කන බත් පිඬේ, ඇඟේ ගාන සබන් කෑල්ලේ, ඇවිදින විට පයට පෑගෙන තාර පාරේ, ගොඩවන බස්රියට ගෙවන ගාස්තුවේ සිට සියලු දෙයටම ගෙවන බදු මුදල් තුලින් අප රටේ ආර්ථිකය කඩා නොවැටී තබා ගැන්මට වීදියේ ජීවත්වන යාචකයාගේ පටන් සෑම මට්ටමකම පුරවැසියන් සහභාගි වන බැවිනි. එබැවින් මේ සියල්ලන්ටම වෙනත් අයගේ අභිමතයට මොල සේදීමක් නොව ස්වාධීන දේශපාලන අවබෝධයක් ලබා ගැන්මට අයිතියක් තිබේ. නමුත් එය සිදුවිය යුත්තේ දැන් දැන් ගෙදර හදන වැසිකිලිය විවෘත කිරීමටත් නැතිවම බැරි මෝස්තරයක් වී තිබෙන දේශපාලකයින්ට ආරාධනා කිරීමේ ක්‍රමය තුල ඔවුන් තම බුද්ධි පරාසය අනුව පවත්වන හිස් ප්‍රලාප අසා සිටීම මගින් නොවේ.

උදාහරණයක් ලෙස මේ රජයේ නිවාස ඇමති සජිත් ප්‍රේමදාසගේ කතාවන් ගනිමු. ඔහු තම බල ප්‍රදේශයේ නිවසක් කේන්ද්‍ර කරගෙන, මිදුලේ පුටු කිහිපයක් තබාගෙන පවත්වන පුංචි රැස්වීම්වලදී මොන මොන දේ කියනවාද? පසුගිය රජය කෝටි ප්‍රකෝටි ගනන් සොරකම්කල හැටි, තම රජය බටහිර රටවල් සමග ගොඩනගා ගත් අතිශය වටිනා ජාත්‍යන්තර සබඳතා ! සැබෑව නම් ඒ සබඳතාවලින් කුස නොපිරෙන බව වටහාගත් මේ රජයට, පසුගිය රජය නැවතුන තැන සිට පටන්ගන්නට සිදුවූයේ යලි ආධාර පතා චීනය දෙසට හැරීමෙනි. ඊලඟට සජිත් කීවේ පසුගිය රජය වැරදියට කල නිරර්ථක සංවර්ධන කටයුතු නිවැරදි කිරීම සඳහා චීන රජය තමන්ට ආධාර දෙන බවයි. සජිත්ගේ අපේක්ෂාව වනු ඇත්තේ තම ‘තලගොයි – කබරගොයි ‘ දේශපාලන න්‍යාය ජනතාව හිස මුදුනින් පිලිගනී කියාද? ඔවුන් විපක්ෂයේ සිටින විට මේ ආධාර සහ ව්‍යාපෘතීන් හි හානිකර පැත්ත දකින අතර, ඒ ආධාර දෙන රටවල් සමග තමන්ගේ ගණුදෙනු ඇරඹුන විගස ජනතාව සීනිබෝල කතාවලින් රවටමින් තමන් මුලින් ප්‍රකාශකල කරුණු යට ගසන්නට තැත් කරති.

’77 ආණ්ඩු පෙරලියෙන් පසු මේ වන විට ශ්‍රී ලංකාවේ ජනයාගෙන් වැඩි කොටසක් පුරදු පුහුණු කර තිබෙන්නේ ඉතා ආත්මාර්ථකාමී ලෙස තමන්ගේ වාසිය පිනිස පමණක් වැඩ කිරීමටය. මේ තත්වය තුල ඔවුන් තමන්ට යම් වාසියක් ඇති සේ පෙනෙයි නම් මේ කතා වෙත ඇදෙති. නැතිනම් ප්‍රතිවිරුද්ධ දේශපාලන කතාවලට ඇදීයති. මෙම දේශපාලකයින්ගේ කතා සහ පෙනෙන්නට ඇති ක්‍රියාමාර්ග ඔස්සේ මෙහෙයවනු ලැබූ ජනතාවකගෙන් මීට වඩා යමක් අපේක්ෂා කල නොහැක.

1994 දී එජාප ය පරදා බලයට ඒම සඳහා චන්ද්‍රිකා කුමාරතුංග ඇඹිලිපිටියේ, මාතලේ මිනීවලවල් හෑරුවේ භීෂණ සමයේ ඔවුන් කල අපරාධ ලොවට හෙලි කිරීමටය. එදා එජප පාලනයෙන් තැලී පොඩිවී සිටි ජනතාවට ඈව පෙනෙන්නනට ඇත්තේ තම ගැලවුම්කාර දෙවඟන මෙනි. නමුත් අද වන විට චන්ද්‍රිකාට එවන් භීෂණ සමයක් තිබුනාද කියාවත් මතකදැ යි සැක සිතේ. අද ඈ එවන් එජාපය සමග එකට සිටගෙන ජනතාවටද එයම කරන්නට කියයි. අනිකුත් දේශපාලකයන් බහුතරයක්ද අඩු වැඩි වශයෙන් මේ ආකාරයටම හැසිරෙන නිසා බොහෝවිට අප රටේ පොදු ජනතාව අතර ගොඩනැගෙන දේශපාලන කතිකාව මෙයට සමානය.

මැතිවරණයකදී තීරණාත්මක සාධකයක් වන පාවෙන ඡන්ද භාවිතා කරන ජනකොටස් මේ විවිධ කතාබහ ඔස්සේ ඒ මේ අතට දෝලනය වීම තුල ඇතිවන තට්ටු මාරු ක්‍රමය පවතින තුරු අප රටට හරවත් දේශපාලනයක අරුණැල්ලක් වැටීම සැක සහිතය.

පාරක් කාපට් කිරීම වැනි අත්‍යවශ්‍ය මූලික සංවර්ධන කටයුත්තකට ඇමතිවරයෙකුට ආරාධනාකර, උත්සවයක් පැවැත්වීමට මුදල් වැය කිරීම කෙතරම් නිරර්ථක වැඩක්ද? මෙතැනට එන ඇමතිවරයා මේ අවස්ථාවට අදාල කිසිවක් කතා නොකරයි. රටේ දියුණු මාර්ග පද්ධතියක් තිබීමේ වැදගත්කම, මේ මාර්ග රැක ගැනීමේදී ජනතාව සතු වගකීම – ඇයි මේවාට යොදවන මුදල් ජනතාවගේ මුදල්ම නේද? ඔය මැති ඇමතිවරු තම විමධ්‍යගත අරමුදලින් වැය කලායැයි කිව්වත්, ඒ ඔවුන්ගේ පුද්ගලික බැංකු ගිණුමෙන් ලබා ගන්නා මුදල් නොව්. ඊලඟට මේ කොන්ත්‍රාත්කරුවන් කවුද, ඔවුන් ලවා මේ කාර්යය නිසි ප්‍රමිතියකට සිදුකර ගැන්මට, මේ මාර්ගය භාවිතා කරන්නට සිදුවන ජනතාවට යම් ඉඩ ප්‍රස්ථා තිබේද – ජනතාවට මෙතැනදී වැදගත් වන්නේ මේ කරුණුය. එසේ නැතිව තම බල ආරවුල් ගැන පවසමින් දෙකයි පනහේ විහිලු කතා කියමින්, තම කාලය වැයකර එතැනට පැමිනෙන මිනිසුන් නොමග යැවීම නොවේ.අනිත් සියලුම උත්සවවල පාහේ සිදුවන්නේ ද මෙම ක්‍රියාවලියමය. ළදරු පාසැලේ තෑගි බෙදන්නට විත් ජිනීවා යෝජනා ගැන පවසයි. නව වැට් බද්ද මැයි 1 දා සිට ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කර තිබියදීත්, ඒ මත බඩු මිල වැඩි වීමක් සිදු වන බව අදාල ඇමතිවරු පවසද්දීත්, ජනාධිපති මහා සිංහ ඝර්ජනාවක් කරමින්, ජනතාවගේ අමාරුකම් නොතේරෙන, ආණ්ඩුවේ සිටින ආර්ථික විශේෂඥයින්ට ජනතාව මත බදු බර පටවන්නට තමා ඉඩ නොදෙමැයි පාරම්බායි. අසා සිටින ජනතාව ඔහේ අත්පුඩි තලන්නේ මේ කියන දේහි තේරුම දැනගෙනද, සිදුව ඇති දේහි සැබෑ තත්වය දැනගෙනද, තම රාජ්‍ය නායකයා මේ පවසන දෙය ඉටුකර පෙන්වාවි ය සිතාද? එය දන්නේ අත්පොලසන් දෙන අය පමනි.සමහර විට කථිකයාගේ හඬේ උස් පහත් වීම අනුව අචේතනිකවම සිදුවන අත්පොලසන් දීමක්ද විය හැක.

කෙසේ වුවද ශ්‍රී ලාංකික අපට යලි දෙපයින් නැගී සිටීමට නම් ජනතාවට මෙයට වඩා පුලුල් දේශපාලන අවබෝධයක් අවශ්‍යය. මෙම අවබෝධය ඔවුන්ට ලබා දිය යුත්තේ එක එක රාමු වලට කොටු වූ දේශපාලන මතධාරීන් නොව, දේශපාලනය යන විෂය නිවැරදිව දන්නා, අපක්ෂපාතී වූත්, දුර දක්නා නුවණක් ඇත්තා වූත්, විචක්ෂණ බුද්ධියක් ඇත්තා වූත් උගත් පිරිසක් හරහාය. එමෙන්ම මෙය ලොකු ලොකු සම්මන්ත්‍රණ තුලින් නොව ප්‍රජා මූලික වැඩ පිලිවෙලක් ඔස්සේ සිදුවිය යුතුය. ඇත්තෙන්ම සාමකාමී නාගරික හෝ අර්ධ නාගරික පරිසරයකත්, අලි මිනිස් ගැටුම් හෝ වෙනත් විවිධ සමාජ ආර්ථික හා පාරිසරික ප්‍රශ්ණ වලට ලක්ව දුක් විඳින මිනිසුන් සිටින පරිසරයකත් වෙනස ඔබේ මනසට කා වදින්නේ නම් එතැනින් මෙය ඇරඹිය හැකිය. මන්ද මෙවන් ජීවිත දකිනා විට, ශ්‍රී ලංකාවේ සාක්ෂරතා ප්‍රතිශතය, දල ජාතික ආදායම ආදිය ගැන මොනවා කීවත් සමාජය තුල ඇති නැති පරතරය විහිද ගොස් තිබෙන හැටි, ප්‍රජාව අතර සම්පත් බෙදී යන හැටි පිලිබඳව අපට පසක් වෙයි. කවුරු කොයි විදියට අපේ රට දෙස බැලුවත්, අදටත් අපේ මිනිසුන්ට කෙනෙකුගේ දුකකදී උණුවන හදවත් ඇති බව යම් විශේෂිත අවස්ථාවන්හිදී පිහිටට එන අයුරු දුටු විට පැහැදිලි වේ. නමුත් අප ජන සමාජය තුල ඇතිකල යුත්තේ අනුකම්පාව නොව සහානුකම්පාවයි.

මේ යතාර්ථයට ජාති ආගම් භේදයක් නොමැත. නිදහස ලැබූදා පටන් ජනතා විශ්වාසය දිනාගෙන පාර්ලිමේන්තුවට පත්වූ දේශපාලකයන් සියලු දෙනාම තමන්ගෙන් ජනතාව අපේක්ෂා කල දේ ඉටු කිරීමට අවංකව කැපවී නම් මෙවන් ප්‍රශ්ණ ඇති නොවිය යුතුව තිබිනි. එසේ ජනතා අභිවෘද්ධියට කටයුතු කල අවස්ථා ඇත්තේ, එනම් ජනතාවගේ මූලික අවශ්‍යතා පමනක් නොව ක්‍රමෝපායි අවශ්‍යතාවන් ද ඉටු කරන්නට කටයුුතු කල අවස්ථා ඇත්තේ කීයෙන් කීයද?

අවාසනාවකට වත්මන් පරපුරට මේ ගැන නිසි අවබෝධයක් නැත. උදාහරණයන් ලෙස සේවක අර්ථ සාධක අරමුදල හෝ නිදහස් අධ්‍යාපනය ගත හැක. ඒවායේ ඵල භුක්ති වින්දත් ඒවායේ නිර්මාතෘවරුන් ගැන බහුතරයකට වැටහීමක් තිබේද? එවැන්නක් තිබුනි නම් පොදුජන හිතැති සැබෑ දේශපාලකයා කල යුතු කාර්යභාරය පිලිබඳ තක්සේරුවක් මිනිසුන්ගේ සිත් තුල ඇති වනු ඇත.

මේ ඉලක්කය සපුරා ගන්නට නම් අවශ්‍ය වනුයේ, ජනතාව කොල, නිල් හෝ රතු සායම් බාල්දිවල දමා වෙන්කර තමන් කැමති අයට පමනක් සලකන ආකාරයේ පටු, ආත්මාර්ථකාමී දේශපාලන අරමණු පිටු දකින්නට සමත් සැබෑ දේශපාලකයින්ය.

එය එසේ නොවේ නම් ජනතාව තව දුරටත්, එක්තරා පන්තියකට, මිල මුදල්, සුඛෝපභෝගී වාහන ආදිය ඇතිව යෙහෙන් වැජඹීම පිනිස දර දිය අදිමින් තමා අයත් පන්තියේ උන් සමගම කා කොටා ගනු ඇත. ඒ කවදා හෝ තමන්ටද ඔය ඉනිමගේ අඩක්වත් නැග ගත හැකි වේය යන ආත්මාර්ථකාමී අපේක්ෂා සිත් දරාගෙනයි.

අප හමුවේ ඇති අභියෝගය වන්නේ ඔද්දල් වී ඇති මේ සමාජය නිසි මෙහෙයුමකින් සුවපත් කිරීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress