පෙරදිගට ගමනක් – 11 පද්මාසනය කෝ?
Posted on April 25th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

ගල් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පැත්තට වෙන්න නෙළලා තියෙන සිටි ප්‍රතිමාවහන්සේ ගැන විවිධ අදහස් පළකරපු කාලයක් තිබුණා. ඒ, බුදුරජාණන්වහන්සේ ගේ පරිනිර්වාණය ගැන කම්පාවෙන ආනන්ද හාමුදුරුවෝ කියලා සමහරු කිව්වා. ඒත් පරණවිතාන මහත්තයා කිව්වේ ඒ පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන් නිරූපණය කළ බුද්ධ ප්‍රතිමාවක් කියලා. කොහොම වුනත් මේ ගැන දැන් කවුරුවත් වාදකරන්නේ නෑ. ඒකට හේතුව තමයි මේ ප්‍රතිමාවහන්සේ පද්මාසනයක් මත්තේ වැඩ සිටීම. පද්මාසනයක් මත වැඩ සිටින විදිහට ඉදිකරන්නේ බුද්ධ ප්‍රතිමා සහ බෝධිසත්ව ප්‍රතිමා විතරයි. ඉතින් පොළොන්නරුවේ ගල් විහාරයේ වැඩවසන සිටි පිළිමවහන්සේගෙන් නිරූපණය කරන්නේත් අපේ බුදුරජාණන්වහන්සේ. ඒ ගැන තවත් වාද කළ යුතු නෑ.

චීනයේ පෙයි-චිං නුවර බටහිර කෙළවරට වෙන්න තියෙන කඳුවැටියේ තියෙනවා අට මහා ප්‍රදේශ” කියලා නම් කරපු අඩවියක්. මේ අඩවියේ ඉදිකරලා තියෙන පන්සල් අට අතර මුල් තැනැක් ලැබෙන්නේ ලිං-කුවං විහාරයට. අපිට ඒ පන්සල බුද්ධ රශ්මි විහාරය කියලා සිංහලෙන් හඳුන්වන්න පුළුවන්. මේ බුද්ධ රශ්මි විහාරයේ අපේ බුදුහාමුදුරුවන් ගේ දළදාවහන්සේ නමක් වැඩ ඉන්නවා. අපේ ලංකාවේ හැරුණම තවත් දළදාවහන්සේ නමක් වැඩ ඉන්න තැනැක් විදිහට අද ලෝකයේ ශේෂ වෙලා තියෙන්නේ මේ බුද්ධ රශ්මි විහාරය විතරයි. චීනයේ බොහෝ ප්‍රදේශවල ඇවිදලා, ඒ රටේ තියෙන බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව ප්‍රතිමා දැක බලාගෙන තියෙන මේ ලේඛකයා පෙයි-චිං නුවර තියෙන බුද්ධ රශ්මි විහාරයේ දී අමුතු ප්‍රතිමාවක් දැක්කා. ඒ විහාරයේ තියෙනවා පද්මාසනයක් නැතුව වඩවා තැබූ බුද්ධ ප්‍රතිමාවක්. මේ අඩුව ගැන සළකලා, ඒ ප්‍රතිමාවෙන් නිරූපණය කරන්නේ අපේ බුදුරජාණන්වහන්සේ නෙවෙයි කියලා ඕන නම් කෙනකුට කියන්න පුළුවන්. බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව ප්‍රතිමා ඉදිකරන සම්ප්‍රදාය දන්න කෙනෙක් එහෙම හිතන එකේ වැරැද්දක් නෑ. වැදගත් කාරණේ ඒක නෙවෙයි. මේ ප්‍රතිමාව බුද්ධ රශ්මි විහාරයට පූජාකරලා තියෙන්නේ අපේ රටෙන්. මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි” කියලා දැන් දැන් උදේ හවස කියන අපේ මේ ශ්‍රී ලංකාවෙන්. ඒ, චීන – ශ්‍රී ලංකා රාජ තාන්ත්‍රික සබඳතා ආරම්භකරලා අවුරුදු පනහක් ගතවීම සැමරීමට පෙයි-චිං නුවර පවත්වපු උත්සව මාලාව අතරතුරේ දී.

මේ ගැන දොස් කියන්න ඕන කාට ද? එහෙම කාටවත් දොස් කියන්න කලින් ඔබට ම බලන්න පුළුවන් ඔබේ නිවසේ තැන්පත් කරලා තියෙන ප්‍රතිමාව ඉදිකරලා තියෙන්නේ පද්මාසනයක් මත ද කියලා. ඒ වගේ ම බලන්න, මග තොට යද්දී පාර දෙපැත්තේ ඔබ දකින ප්‍රතිමා දිහා. උදාහරණයක් විදිහට කොළඹ තුම්මුල්ල හන්දියේ ලක්සල ආයතනය ඉදිරිපිට වඩා හිඳුවා තිබෙන ප්‍රතිමාව දෙස බලන්න. කොළඹ කොටුවේ මුදල් අමාත්‍යාංශයට යාබද ව, හිල්ටන් හෝටලය පසෙකින් තියෙන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ වඩා හිඳුවා තිබෙන ප්‍රතිමාව දෙස බලන්න. මේ ප්‍රතිමාවහන්සේලා ගේ රූප කාලයක් තිස්සේ වෙසක් සුභ පැතුම්වලට පවා යොදාගන්නවා. ඒත්, පද්මාසනය කෝ?

අවුරුදු හාරසිය පනහක් විතර කාලයක් බටහිර රාජ්‍යයන් තුනක ඍජු බලපෑමට යටත්වුනු අපට බොහෝ දේ අහිමිවුනා. අපි හැමෝ ම දන්නවා උපසම්පදාව පවා අහිමිවෙලා අදාළ සංඝකර්ම කිරීමේ උදව්ව සියමයෙන්, රාමඤ්ඤයෙන් සහ අමරපුරෙන් ලබාගැනීමට සිදු වූ ආකාරය. පද්මාසනයටත් අත්වෙලා තියෙන්නේ ඒ හා සමාන ඉරණමක්. තවමත් ඇතැම් අය මේ සම්ප්‍රදාය අමතක කරන්නේ නැතිව පෙර පරිදි ම බුද්ධ රූප නිර්මාණය කරන බව ඇත්ත. ඒත්, අපි වදවෙන්න ඕන මේ අමතකවීම, අතපසුවීම සිදුවුනේ කොහොම ද කියන එක ගැන. මේ සුළුපටු අමතකවීමක් නෙවෙයි. පද්මාසනය අමතක කළා මදිවට බුද්ධ ප්‍රතිමා, බෝසත් ප්‍රතිමා ඉදිකිරීමේ දී අනුගමනය කළ යුතු අනුපාත, පරිමාණ ගැන පවා තැකීමක් කෙරෙන්නේ නෑ. මෑත කාලයේ දී මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය පසෙකින් ඉදිකළ සිටි පිළිමයේ පහත කොටස බැම්මක් බැඳ වසා දැමීමට පවා සිදු වී තිබෙනවා. ඒ, අදාළ මිනුම් නොතැකීමෙන් සිදු වූ වරදක් සැඟවීමේ අරමුණෙන්. මේ මිනුම් ගැන අපේ සම්ප්‍රදාය තුළ ඉතා හොඳින් සටහන් වෙලා තිබුණා. ඒවා ගැන අදත් දන්නෝ දනිති. අදාළ මිනුම් ගැන පැහැදිළි සටහනක් පෙයි-චිං නුවර තියෙන චීන ජාතික කෞතුකාගාරයේ හතරවැනි මහලේ බිත්තියක ඇඳ සටහන් කර තබා තිබෙන ආකාරය මේ ලේඛකයා දැක තිබෙනවා. මේ අපේ ම මිනුම් නේ ද කියලා ඒවා දකින කෙනකුට වැටහේවී.

යටත්විජිත පාලන කාල තුළ අපට අහිමි වූ දේ අති විශාලයි. මොන පම්පෝරි කිව්වත් අද අපි රෙද්ද පවා අහිමි වෙච්ච ජාතියක්. ජාතික ඇඳුම පිළිබඳ ගැටලුව මෙයට පෙර ලිපියක සාකච්ඡා කරලා තියෙනවා. දැන් ජාතික ඇඳුම කියලා කියන එක අඳින්න අපේ අතිමහත් බහුතරයක් මිනිස්සු කැමැති නෑ. අඳින්න අකැමැති රෙද්දක් ජාතික ඇඳුමක් විදිහට සළකන්න පුළුවන් ද? මෙයට කලින් කියලා තියෙන විදිහට අපි පාට ඇඳුම් අදින්න කැමැති ජාතියක්. අපි සුදු අඳින්නේ ඉලව් ගෙවල්වල යන්න. අනිත් කාරණය, මේ අඳුන්නලා දීලා තියෙන ඇඳුම වගේ එකක් ඉතිහාසයේ කවදාවත් අපි ඇඳලා තියෙනවා කියලා තහවුරු කරගන්න බෑ. විදේශ රටවල පැවැත්වෙන නිල උත්සවවලට ජාතික ඇඳුමෙන් හරි බටහිර විදිහට ටයි-කෝට් ඇඳලා හරි සහභාගීවෙන්න කියලා ඒවා සංවිධානය කරන අය විදේශික ආරාධිතයන්ට කියනවා. එහෙම වෙලාවට ලංකාවෙන් යන අයට ටයි-කෝට් දාගන්නවා හැරෙන්න වෙන විකල්පයක් නෑ. ඒත් අපි හැමෝ ම වගේ දන්නවා අනෙක් රටවල අය බොහෝ ම උජාරුවෙන් තමන් ගේ ජාතික ඇඳුම් ඇඳගෙන ඒ වගේ අවස්ථාවලට සහභාගී වෙන අපූරුව.

අපිට අපේ කෑම පවා අහිමිවෙලා කියලා හිතෙනවා. දැන් අපි ශ්‍රී ලංකන් කියලා සිංහලෙන් කියන්නේ අපේ කෑමවලට ද? උදාහරණයක් විදිහට පරිප්පු ගැන හිතන්න. ලංකාවට පරිප්පු ආවේ මොන කාලේ ද? ඉංග්‍රීසි යටත්විජිත පාලකයෝ තමන් ගේ වැඩවලට ගෙනාපු දෙමළ කම්කරුවන්ට කන්න දෙන්න පාන් පිටි සහ පරිප්පු ගෙනාවා. ඒ දෙමළ කම්කරුවෝ තමන් ගේ වැඩබිම් ආසන්නයේ ගම්මානවල හිටිය සිංහල මිනිස්සුන්ගෙන් පොල් තෙල්, තුන පහ වගේ දේවල් ගත්තේ තමන්ට ලැබුණු පාන් පිටි, පරිප්පු වගේ දේවල්වලින් කොටසක් හුවමාරු කරගෙන. ඉතින් සිංහල අපිත් පරිප්පු කන්න පුරුදුවුනා. අපි මේ ආගන්තුක කෑමට පොල් කිරි එකතු කරලා ඒක සිංහල කරගෙන තියෙන බව ඇත්ත. අපි කොහොමත් ඒ වගේ වැඩවලට දක්‍ෂයි. අපි පාන් වුනත් කන්නේ අඟල් හතරේ පෙතිවලට කපලා හොද්දක් මාළුවක් එක්ක. ඒක තමයි සිංහල ක්‍රමේ. මිලි මීටර් හතරේ පහේ පාන් පෙතිවල ජෑම් බටර් ගාගෙන කන ක්‍රමේ අපිට පුරුදුවෙන්න අමාරුයි. කොහොම හරි අපි දැන් ඕස්ට්‍රෙලියාවෙන් ආනයනය කරන මයිසූර් පරිප්පුත් එක්ක ශ්‍රී ලංකන් කෑම කනවා. අපේ ළමයට පරිප්පු නැතුව ම බෑනේ” කියලා කියන අම්මලා තාත්තලා නැති ගෙදරක් තියෙනවා ද? ඒත් ඇත්තට ම ළමයින්ට පරිප්පු කන්න පුරුදු ක‍රලා තියෙන්නේ කවුද?

වෙලාවකට හිතෙනවා අපි දැන් මේ ශ්‍රී ලංකන් කියලා කන්නේ සාගත කාලයක දී කාපු කෑම ද කියලා. මොකද අපි යටත්විජිත කාලේ නිතර ම යුද්ධ කෝලාහලවලින් පීඩා වින්දා. මූදුකරය මුළුමනින් ම වගේ යටත්විජිත පාලනයට නතුවෙලා තිබුණා. රට ඇතුළේ තිබුණු වැව් අමුණු පවා ආලපාළුවෙලා ගිහිල්ලා තිබුණා. ගහක ගෙඩියක් කඩාගෙන තම්බගෙන කන්න, කරවල කෑල්ලක් තෙල් දාගෙන කනවා ඇරෙන්න වෙන විකල්පයක් අපිට තිබුණේ නෑ. රට වටේ ම මාළු හිටියට අපි ඒවා උයාගෙන කන්න දන්නේ තුන් හතර විදිහකට විතරයි. කැඳක්, බීමක් පවා හරියට හදාගන්න දන්නේ නෑ. මේ ගැන යමක් චීනයේ දී ලබපු අත්දැකීම් ආශ්‍රයෙන් විස්තරකරන්න පුළුවන්.

චීනයේ මාළු උයන ක්‍රම දහස් ගානක් තියෙනවා. කැඳ ජාති කොච්චර නම් තියෙනවා ද? නූඩ්ල්ස් හදන ක්‍රම හයදාස් ගානක් තියෙනවා කියලා කියනවා. හාල්වලින්, තිරිඟු-මෙනේරි වගේ දේවල්වලින්, කොළ-පලා ජාතිවලින්, අලවලින්, බතලවලින්, එළවළුවලින්, බිම්මල්වලින්, උණ ගොබ – මොටෙයියෝ වගේ දේවල්වලින්, මුහුදු පැලෑටිවලින් කොච්චර නම් කෑම ජාති හදනවා ද? බල්ලෝ, ගෙම්බෝ, කැරපොත්තෝ, නයි – පොළොංගු කනවා කියන එක ගැන කියන්නේ නැත්තේ ඇයි කියලා කෙනකුට අහන්න පුළුවන්. එහෙම දේවල් ගැන වදවෙන අයට ම ඒ ගැන හොඳින් හොයලා බලන්න ඉඩ දෙමු. මේ ලිපි පෙළ ලියන්නේ මගේ පෙරදිග ගමනට හේතු පාදක වෙච්ච කරුණු කාරණා විස්තර කරලා ඒ ගමනේ අත්දැකීම් අපේ අයත් එක්ක බෙදාගන්න අරමුණ ඇති ව. ඒ අත්දැකීම්වලින් කිසියම් ආකාරයක හරි වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙන හින්දා තමයි මේ වැඩේ කරන්නේ.

අපි කොහොමත් අනෙක් අයගෙන් යමක් ගන්න පැකිළෙන්නේ නැති ජාතියක්. මෙයට පෙර ලිපියෙන් කියපු විදිහට අපි ලිබරල් අදහස් පවා ඉහළින් පිළි ඇරගෙන තියෙන්නේ ඒ හින්දා. අද කොළඹ නගරයේ විතරක් නෙවෙයි, ඉතා ඈත පිටිසර පවා වෙළෙඳසැල්වල බෝඩ් ලෑලි ලියන්නේ ඉංග්‍රීසියෙන් විතරයි. එහෙම නැති අය ඉන්නේ බොහොම අල්පයයි. අපි ගෙයක් හදන කොට පවා බටහිර ගෘහ නිර්මාණ ක්‍රම අනුගමනය කරනවා. ඒකත් අපේ සිංහලකමේ ම කොටසක් බවට පත්වෙලා. ඉතින් එහෙම ජාතියකට චීන සම්ප්‍රදායෙන් යමක් ගන්න එක අමාරු කටයුත්තක් වෙන්න බෑ. එහෙම ගන්න පුළුවන් කියලා හිතෙන දේවල් ගැන පස්සේ කියන්නම්. මේ කිය කියා හිටියේ යටත්විජිත පාලන කාලය තුළ අපිට අහිමි වුන සහ අපි උරුම කරගත්ත දේවල් ගැනනේ.

අපි උරුම කරගත්ත තව දෙයක් ගැන කියන්න කලින් චීන කතාවක් කියන්න ඕන. ඒ, චීනයේ ඉන්න කාලේ අහපු විහිළු කතාවක්. මේ කතාවට පදනම් වෙලා තියෙන්නෙත් චීනයේ තියෙන ඉවරයක් නැති කෑම වර්ග. මේ ලේඛකයාට හිතෙන විදිහට චීනයේ ආත්ම හතළිහක් විතර ජීවත්වුනොත් නම් ඒ තියෙන කෑම වර්ගවලින් සෑහෙන ප්‍රමාණයක් රස විඳින්න පුළුවන් වෙයි. ඒ ගැන පස්සේ කියන්න පුළුවන්. දැන් අර විහිළු කතාව කියන්නම්. චීන මිනිස්සු ඉතිහාසයේ පුරා ම කර කර ඉඳලා තියෙන්නේ එක එක කෑම ජාති හදන එක. ඒ හින්දා චීන මිනිස්සුන්ට අනුන් ගේ රටවල් අල්ලන්න වෙලාවක් තිබිලා නෑ. ඒත් එංගලන්තේ මිනිස්සු ඉතිහාසයේ පුරා ම කර කර ඉඳලා තියෙන්නේ අනුන් ගේ රටවල් අල්ල අල්ල ඉන්න එක. ඒ හින්දා එංගලන්තයේ මිනිස්සුන්ට කෑම හදන්න වෙලාවක් තිබිලා නෑ. ඒ හින්දා තමයි අද එංගලන්තේ එච්චර කන්න දෙයක් නැත්තේ.”

දැන් මේ කතාව කොහොම ද අපිට අදාළ වෙන්නේ? අපේ රටේ අපි බොහොම ආඩම්බරයෙන් අනෙක් අයට පෙන්නන දෙයක් තියෙනවා. ඒ තමයි, සිලෝන ටී. මේ සිලෝන් ටී වගාකරන විදිහ, හදන විදිහ අපිට කියලා දුන්නේ කවුද? අර අනුන් ගේ රටවල් අල්ල අල්ල හිටපු හින්දා කෑමක් බීමක් හදන්න වෙලාවක් නො තිබුණු බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයෝ. අපිට මේ තේ කර්මාන්තය ගැන කියලා දෙන කාලය වෙන විට එංගලන්තේ මිනිස්සු තේ ගැන දැනගෙන කොපමණ කාලයක් ගතවෙලා තියෙන්න ඇති ද? එංගලන්තය කියන්නේ තේ වැවෙන රටක් නෙවෙයිනේ. ඒ අය තේ වවන්න ඕන කියලා තීරණය කළේ 1833 දී. ඊට පස්සේ ඒ සඳහා සුදුසු ප්‍රදේශ හෙව්වා. මියන්මාරයට යාබදව තියෙන ඇසෑමය තේ වගාවට සුදුසුයි කියලා හඳුනාගත්තා. මේ කාලයේ දී – ඒ කියන්නේ 1835 දී, තමයි අපේ රටට තේ වගාව හඳුන්වලා දීපු ජේම්ස් ටේලර් ඉපැදුනේ. ඔහු වයස 17 දී – ඒ කියන්නේ 1852 දී, ලංකාවට ඇවිල්ලා ගලහ පැත්තේ තියෙන ලූල්කඳුරේ පදිංචි වුනා. ඊට අවුරුදු 15 කට විතර පස්සේ – ඒ කියන්නේ 1867 දී, කොල්කතාවට ගිය ජේම්ස් ටේලර් තේ ගැන ඉගෙනගෙන ඇවිල්ලා ලූල්කඳුරේ කැලෑව එළිකරලා තේ වගාව පටන්ගත්තා. ඒ වෙනකොට බ්‍රිතාන්‍ය ජාතිකයෝ තේ වවන්න පටන් ඇරගෙන අවුරුදු තිහක්වත් ගතවෙලා තිබුණේ නෑ. ජේම්ස් ටේලර් ගේ වික්‍රමයෙන් පස්සේ සුදු ජාතික වැවිලිකරුවෝ විශාල පිරිසක් තේ වගාවට පෙළැඹුනා. වවපු තේ ඔක්කොම රට යැව්වා. 1927 දී තමයි බාල තේ රට යැවීම තහනම් කළේ. ඊට පස්සේ තමයි ඒ වගේ රට යවන්න බැරි තේ අපේ රටේ විකුණන්න පටන්ගත්තේ. ඒ කියන්නේ, අපි තේ බොන්න පුරුදුවෙලා තව අවුරුදු අනූවක්වත් ගතවෙලා නෑ. දැන් අපේ රටේ බහුතරයක් කියන්නේ උදේ නැගිට්ට වෙලාවට තේ එකක් නැතුව ම බෑ” කියලා.

වරුණ චන්ද්‍රකීර්ති෴

One Response to “පෙරදිගට ගමනක් – 11 පද්මාසනය කෝ?”

  1. Senevirath Says:

    වසර 4000 කට පමණ පෙර චීන අධිරාජයෙක් තේ හොයා ගත්තා අහම්බෙන් එහෙත් ඉංග්‍රීසින් එන තුරු අපි චීනුන්ගෙන් තේ අරගෙන නැහැ එයට හේතුත් විග්‍රහකරමින් ඊළඟ ලිපිය ලියන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress