ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය – 148 – මැයි දින ‘ගේම්’
Posted on April 29th, 2016

ධර්මන් වික්‍රමරත්න

මෙවර 2016දී ලොවපුරා සමරනු ලබන්නේ 130වැනි මැයි දින සමරුවයි. ශ්‍රී ලංකාවේද ලබන ඉරිදා එනම් මැයි 1වැනිදා මැයි රැළි සහ පෙළපාලි රැසකි. එකම කොම්පැනියේ ප්‍රොඩක්ට්ස් දෙකක් මෙන් හවුල් ආණ්ඩුවේද මැයි රැළි දෙකකි. එක් රැළියක් හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයවන එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමෙන් බොරැල්ලේ කැම්බල් පිටියේ පැවැත්වේ. හවුල් ආණ්ඩුවේ අනෙක් පාර්ශවය වන ශ්‍රිලනිප(නෛතික පිළ) සිය මැයි දිනය පවත්වන්නේ ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදිය. එජාප ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාකාරකම් වලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මෙහෙයවන මැයි රැළිය පැවැත්වෙන්නේ කිරුළපනදීය. එය මෙවර පැවැත්වෙන දැවැන්තම රැළියවන බව දේශපාලන විචාරකයින් පෙන්වා දේ. ජවිපෙ මැයි රැළිය පැවැත්වෙන්නේ බී.ආර්.සී. පිටියේදීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය කොටුවේදීය. ලංකා බැංකු සේවක සංගමය ඇතුළු ස්වාධීන වෘත්තීය සමිති සංවිධානය මැයි රැළිය හයිඩ් පිටියේදීය. ස්වාධීනයැයි කීවාට ලංකා බැංකු සේවක සංගමයේ සභාපති එස්.පී ජයරත්න එජාපයටය. ජේෂ්ඨ උපසභාපති විමල් චන්ද්‍රසේන ශ්‍රිලනිප නෛතික පිළටය. ප්‍රධාන ලේකම් ඒ.කේ. බණ්ඩාර ඒකාබද්ධ විපක්ෂයේය.

dharman30041601

ගුල්ලොත් චණ්ඩි, බාල ලෑලිවල කීවාසේ තමන් සුපිරිසිදු සමාජවාදින් යැයි හදුන්වා ගන්නා කණ්ඩායම් සහ කල්ලිද ‘වමේ එක්සත් මැයි දින’ සම්ප්‍රදායිකව මෙවරද  සමරනු ඇත. ආචාර්ය වික්‍රමබාහුගේ නසසප මැයි රැළියට නසසපයෙන් කැඩී ගිය සිරිතුංග ජයසූරියගේ එක්සත් සමාජවාදී පක්ෂයද එක්වීමට ඉඩ තිබේ. ඉන් කැඩී ගොස් තිබූ 71 කැරැල්ලේදී රත්ගම පොලිසියට පහර දුන්නායැයි කියන මහින්ද දේවගේගේ සමාජවාදි පක්ෂයද යළි එයට ගොනුවනු ඇත. එමෙන්ම යහපාලන ආණ්ඩුවට ෂොපින් යන වමේ කේන්ද්‍රය, සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂවල විකල්ප කණ්ඩායම්වල මහත්වරුද එයට එක්වනු ඇත. ජනබලය උදෙසා සාමුහිකය, වෙනස, පීපල්ස් මාච්, ලංකා කොමියුනිස්ට් පක්ෂය(මාවේවාදී) ආදී මෙකී නොකී කණ්ඩායම්වල බෝඩ් ලෑලි ඔසවාගෙන පැට්ට්‍රික් ප්‍රනාන්දු, ඒ.ඩී.පී රත්නායක නොහොත් පොඩි රත්නේ, වසන්ත දිසානායක, අජිත් රූපසිංහ වැනි  පුද්ගල චරිත දුසිමක් දෙකක් පමණද එයට එක් නොවූවහොත් පුදුමය. කම්කරු මාවත නොහොත් සමාජවාදී සමානතා පක්ෂය නම් මෙවර මැයි දිනය 4වැනි ජාත්‍යන්තරය සමඟ සමරන්නේ ඔන් ලයින් එකෙන්ය. එයට අමතරව නව නගර ශාලාවේද රැස්වීමකි. ගුණසේන මහානාම ඇතුළු 12 දෙනෙකු සමඟ 1982දී නසසපයෙන් ඉවත්වූ ආචාර්ය සුමනසිරි ලියනගේද, ලීනස් ජයතිලක, නීල් විජේතිලක සහ ධර්මසිරි ලංකාපේලි සමඟ වමේ සටන පුවත්පතද රැගෙන පොත පෙරළමින් මේ සැම වේදිකාවකටම ගොඩවනු ඇත.

Protestors shout slogans calling for better working conditions for garment workers during a May Day rally on Wednesday, May 1, 2013, in Dhaka, Bangladesh. Thousands of workers paraded through central Dhaka on May Day to demand safer working conditions and the death penalty for the owner of a building housing garment factories that collapsed last week in the country's worst industrial disaster, killing at least 402 people and injuring 2,500. (AP Photo/Wong Maye-E)

Protestors shout slogans calling for better working conditions for garment workers during a May Day rally on Wednesday, May 1, 2013, in Dhaka, Bangladesh. Thousands of workers paraded through central Dhaka on May Day to demand safer working conditions and the death penalty for the owner of a building housing garment factories that collapsed last week in the country’s worst industrial disaster, killing at least 402 people and injuring 2,500. (AP Photo/Wong Maye-E)

වැඩ කරන ජනතාවගේ සහභාගිත්වයෙන් පමණක් සිදුකරන කම්කරු පන්තියේ සැබෑ මැයි රැළි ලංකාවේ අවසන් වරට  තිබුණේ 1964 දක්වා පමණි. ඒ සමසමාජ පක්ෂය 1964 ජුනි 11වැනිදා ශ්‍රිලනිප සමඟ සන්ධානගත වීමෙන් පසු මැයි දිනය යොදාගනු ලැබුවේ කම්කරු පන්තියේ ශක්තිය පෙන්වා තම ප්‍රශ්න පිලිබදව බලපෑම් කිරීමට නොව තිබෙන ආණ්ඩුව පෙරළා එවැනිම තවත් ආණ්ඩුවක් ගොඩනැගීමේ අරමුණෙන් සභාගයකට එක්වූ නිසාය. ඒ පිළිබඳව 1964 ජුනි 6 සහ 7 දිනයන්හි කොළඹ නගර ශාලාවේ පැවති සමසමාජ විශේෂ සමුළුවේදී හවුලට පක්ෂ ඡන්ද 507ක්ද විපක්ෂව ඡන්ද 176ක් ද ලැබිණි. කොමියුනිස්ට් පක්ෂයද විපක්ෂයේ සිටිමින් ශ්‍රිලනිප සහ සමසමාජ හවුලට සහාය දක්වන ස්ථාවරයකට පැමිණි අතර  ැවති සමසමාජ විශේෂ සමළුවේදී හවුලට පක්ෂ ඡන්ද 507ක්ද විපවෘත්තීය සමිති ඉල්ලීම් 21 වාෂ්ප විය. පුවත්පත් පනත පිළිබදව රාජාසන කතාවට විපක්ෂව එක් වැඩි ඡන්දයක් ලැබූ හෙයින් 1964 දෙසැම්බර් 3 වැනිදා ශ්‍රිලනිප- සමසමාජ සභාගය ඇද වැටිණි. ආණ්ඩු විසුරුවීමෙන් පසු 1965 මාර්තු 22 මහ මැතිවරණයෙන් එජාපය ජයගත්තේය.

ඉහත කරුණු කාරණා කෙසේ සිදුවුවද මෙවර දැවැන්තම මැයි රැළිය වන කිරුලපනේදී ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් සහ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමට එරෙහිව ශ්‍රිලනිප(නෛතික පාර්ශවය) ඇතැම් නායකයින් සිදුකරන ගෝරනාඩුව සහ අදෝනාව ජුගුප්සාජනකය. වසර 1987 මැයි 1වැනිදා මැයි දිනය තහනම් කරමින් එම තහනමට එරෙහිව අරගලකල කම්කරුවෙකු සහ සරසවි සිසුවෙකු ඝාතනය කල එජාප ආණ්ඩුව මෙවර 2016දී ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලිය ආරම්භ කිරිමට මුදල් ගෙවා ලබාගත් නාරහේන්පිට ශාලිකා ක්‍රිඩාංගනය ලබාදීමද තහනම් කර ඇත. සමෘද්ධි නිලධාරින්ගේ සංගමයේ මැයි රැළිය පැවැත්වීමට මුදල් ගෙවා ලබාගත් බත්තරමුල්ලේ අපේගම පරිශ්‍රය ලබාදීමද එලෙසින්ම තහනම්කර ඇත. යහපාලන ආණ්ඩුවේ තරු ප්‍රජාතන්ත්‍රවාදය එය වේ. මේවාට එරෙහිව පළිගැනීමට කාලය වැයකල යුතු නැත. මන්ද රිදවූ පුද්ගලයින්ටද කර්මය අනුව මුහුණදීමට සිදුවන බැවිනි. ගමේ පුංචි ආණ්ඩුවවන ප්‍රාදේශීය සභා මැතිවරණ පවත්වන දිනයක් හෝ පෙනෙන තෙක් මානයකද නැත.

dharman30041605

මාවෝ සේතූං වරෙක කියා සිටියේ අපි අපේ සාර්ථකත්වය මැනිය හැක්කේ මිතුරන්ගේ ප්‍රශංසාවල මිහිරි වදනින් නොව සතුරන් විසින් නඟන කෝපාවිෂ්ඨ ගර්ජනාවේ රළු හඬිනි. ඒ අනුව ගත් කල මහින්ද රාජපක්ෂ බොක්ස් ඔෆිස් බිඳදමන සාර්ථක නායකයෙකි. හෙළයා කිසිදා යුද්ධයකින් මුළුමනින් පැරදවිය නොහැක. හෙළයා ඉතිහාසයේ පැරදුණේ රැවටීමට ලක්වීමෙනි. රට ආර්ථික පරිහානියට ඇද වැටෙමින් තිබේ. රට තුළ සිදුකරන යෝධ සංවර්ධනය අකාමකා දමා ඇත. මාතෘ භූමිය ලබාගත් විජග්‍රහණයන් යළි රිවස් ගියරයේය.

සියයට 15ක වැට් බදු බරක් අලුතින්ම ජනතාව මත මැයි 2වැනිදා සිට පටවා ඇත.  ඒ අනුව සියළුම භාණ්ඩ සහ සේවා මිල වැඩිවී තිත්ත කසාය ගිල්ලීමෙන් මධ්‍යම පාන්තික පවුලක මාසික වියදම රුපියල් 10,000ක පමණ  මුදලකින් ඉහළ යනු ඇත. රාජ්‍ය සේවය කප්පාදුකොට අලුතින් බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප අහිමිකර ඇත. ඉන්දියානු එක්ටා ගිවිසුම මගින් ඉදිරියේදී කුණු කොල්ලයට සේවක ශ්‍රමය හාම්පුතුන්ට විකිණෙනු ඇත. පාසැල් නිලඇදුමට ජලාහුටංය. පාන් මිල වැඩිවිය. තේ සහ රබර් නිෂ්පාදකයෝ කබලෙන් ලිපටය. වී මිල 20ට බැස්සේය. හාල් මිල නහුතෙට නැග්ගේය. පොහොර සහනාධාරයට කෙලියේය. නව පො‍හොර සහනාධාර මුදල් දීමේ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව අක්කරයක් වගාකර වී බුසල් 90ක අස්වැන්නක් ලැබුණවිට ඒ රුපියල් 20 බැගින් අළෙවි කලහොත් ලැබෙන ආදායම රුපියල් 37,800කි. එවිට ගොවියාට රුපියල් 8,600ක අතින් පාඩුවක් සිදුවේ. එම වී ප්‍රමාණයම රුපියල් 38 බැගින් රජයටම අළෙවි කිරීමට හැකිවූවොත් සාමාන්‍යයෙන් ලැබෙන ලාභය රුපියල් 25,420කි. එහෙත් දැන් සිදුව ඇත්තේ රුපියල් 20ට අළෙවි කිරීමටය. මේවාට එරෙහිව ශිෂ්‍යයෝද, රැකියා විරහිතයෝද, ධීවරයෝ සහ ගොවියෝද පමණක් නොව වෘත්තිකයන්ද සිටිනුයේ අරගලයකය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහිව සටන් කරන සරසවි සිසුනට කොටුවේදී ඊයේද දැඩි මර්ධනයක් එල්ල විය.

මෙවර මැයි දිනය තිබෙන විටද මෙයට 25 වසරකට පෙර සිටි ප්‍රධාන පක්ෂ දෙකේ වෘත්තීය සමිති නායකයෝ තවමත් ඒවා සින්නක්කරවම බදුගෙන සිටිති. එජාප ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාත් ද මෙල් සහ ශ්‍රිලනිප නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර ඒවාට නිදසුන්ය. මින් ඇතමෙකු ජාතික ලැයිස්තුවෙන් දියවන්නාවට යැවුවද දුම්මල ගැසුවත් ඔවුන් මුට්ටි කාසි වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් එලවීම උගහටය. එයට විකල්පයක් ලෙස එජාපය වෘත්තීය සමිතියේ සභාපතිවරයා කළේ තරුණ දේශපාලඥයෙක්වූ අකිල විරාජ්ය. ගල හොඳ නම් අඹරන කහ මක්වේද කිව්වාලු.

ආණ්ඩුවේ අලුත්ම කෙමන ආර්ථිකයට අටවා ඇති බිම්බෝම්බ නිෂ්ක්‍රීය කරමු යන්නය. එය ආලාපාළු ආර්ථිකයේ මෙගා-ඩීල් මුලාවකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ණය දෙන විට ලංකාව කොළණියක් කරගැනීමට තැත් කරන දුෂ්ඨ රාජ්‍යයක් ලෙස හැදින්වූ චීනය යහපාලන ආණ්ඩුව ණය ඉල්ලූ විට එය දෙන විට ලංකාවට අතහිත දෙන දීර්ඝ කාලීන රාජ්‍යතාන්ත්‍රික මිතුරෙකි. අවසානයේ බටහිර ගැත්තන්ටද චීනය ඉදිරියේ කුක්කන් වීමට සිදුවිය.

ආණ්ඩුව ලෝස් නැතුව වියදම් කරයි. එක්දින ගොවි සමුළුවට ලක්ෂ 308කි. කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශයේ කාර්යාලයට නිිලියකට අයත් රාජගිරියේ තට්ටු ගොඩනැගිල්ල වසර 5කට බදු ගැනීම සඳහා වැයකල මුදල රුපියල් ලක්ෂ13,356(කෝටි 134) කි. වරායේ ඇමති නිවස අළුත්වැඩියාවට ලක්ෂ 200කි, ජනතා සේවය හරියට කිරීම සඳහා ඇමති සරත් ෆොන්සේකාකාට අලුත් වාහනයක් මිලදී ගැනීමට ලක්ෂ 350ත් මදිය. යහපාලන ආණ්ඩුව ඇඩොල්ෆ් හිට්ලර්ගේ තියරිය අනුව බොරුව සරලව ලොකුවට නිරන්තරයෙන් පවසනු ලැබීය. එහෙත් තවදුරටත් ඒවාට ආයුෂ නොමැති බව දැන් පැහැදිලිය.මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසන පරිදි මේ සිදුවන දේ දැක දැක දානේ වළඳලා සැතපිලා සිටීමට ජනතා හිතවාදී මහ සඟරුවනට සිටීමට නොහැකිය. දොඩම්පහළ රාහුල හිමියෝ කියන්නේ අප අපවත්කර හතර කොනේ එල්ලුවද ජාතිකවාදී බලවේගයන් සිය ගමන යායුතු බවය.

ලංකාවේ යහපාලන දේශපාලන නායකයෝ ලැජ්ජාවක් ගෑවිලාවත් නැති පිරිසක් බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කුප්‍රකට දේශපාලඥයින් ලෙස එදා විපක්ෂයෙන් චෝදනාලත් සජින් වාස් ගුණවර්ධනලාටද අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුවා සුනිල්ලාටද භික්ෂු ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මොරටු උපසභාපති අජිත් බස්නායකලාටද දැන් අපමණ අගයකි. මේ සියල්ල ඩාර්ලි පාරේ ශ්‍රිලනිප(නෛතික පාර්ශවය) ගාලු මැයිදින රැස්වීම සාර්ථක කරගැනීම සඳහාය. ගාලු රැස්වීමේදී මුළු බරින් වැඩි කොටසක් කරගසා ඇති සජින් වාස් ගාලු රැස්වීමට ගෙනඑන බව කියන බස්රථ සංඛ්‍යාව 150කි. අංගුලිමාලටද තමන්කල වැරදි අතහැර හරිමග ගොසින් රහත්වීමට හැකිනම් බලපිටියේ සජින්ලාට සහ අකුරැස්සේ සුනිල්ලාට යහපාලනය පසුපස ගොස් හෝ හොද මිනිසුන් වෙනවානම් එය සැමගේ සතුටට හේතුවනු ඇත. එහෙත් විපක්ෂයේ සිටින විට අසූචි කන්දක් සේ දකින තැනැත්තන් යහපාලන ආණ්ඩුවට කරණම් ගැසූ පසු සදුන් දැව ගොඩක් සේ දැකිය හැකිද? ඒ අනුව සියළු හොරුන්ට යහපාලන සරණං ගච්ඡාමිය. බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ වර්තමානයේ ජනාධිපති උපදේශක ක්‍රිස් නොනිස්ද ගාලු මැයි රැස්වීමට සහභාගි වනවාදැයි සැකයකි. යහපාලනය දෝරේ ගලන්නේයැයි කියන්නේ මේවාටය. දැන් සෑහෙන තරඟයකි. සට්ටැඹියෝ ගොඩකි. ඔළු සේදීමේ සිට අහවල් එක සේදීම දක්වා ඔවුහු පේවී සිටිති. දැන් ඇත්තේ ගම් පෙරළියක් නොවේ. යුග පෙරළියක්ද නොවේ. කළියුග කාලයකි.

මැයි දින සටන්පාඨ හිඟ අයට අවශ්‍යනම් සටන්පාඨ සකස්කර ගැනීම සඳහා මෑතකදී ජනවහරට එක්වූ උපාමා කිහිපයක්ද මෙසේ දැක්විය හැකිය. ඒවා අතර මෛත්‍රී මාමා හොරු ඇල්ලුවා වගේ, රනිල් මාමා එක්ටා ගිවිසුමින් ලක්ෂ 10ක් රැකියා ගේනවා වගේ, රවි අංකල් සරදියල්ගේ අයවැය වෙනුවට සෝරෝස් අයවැයක් ගෙනාවා වාගේ, රංජන් අයියා ෆයිල් ඇදලා නෝන්ඩි වුණා වගේ, හරින් අයියගේ ගූගල් බැලුම කඩා වැටුනා වගේ, හිරුණිකා දැරවියගේ ඩිෆෙන්ඩරයෙන් රවුමක් ගියා වගේ, මත්තල වී ගබඩා කෙරුවා වගේ, ජෝන් සීයා ඇවිදින මංතීරුව කැඩුවා වගේ වේ.

කිරුළපන මැයි දිනයට යෝධ ජවයක් එක් කරනු ඇත්තේ ගාලු දිස්ත්‍රික්කයේ ජනතාවය. ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 10කට දෙදිනක් තුළ ගිය හිටපු ඇමති බැසිල් රාජපක්ෂ එහි රැස්වීම් 17ක් තබමින් ශ්‍රිලනිප බහුතර ක්‍රියාකාරිකයින් දිනා ගැනිමට සමත් විය. ඒ සඳහා ගාලු දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, නීතිඥ මොහාන්ද සිල්වා සහ ජනප්‍රිය නිලි ගීතා කුමාරසිංහ යෝධ ශක්තියක් වී තිබිණි. බැසිල් රාජපක්ෂ දක්ෂ දේශපාලන නායකයෙකු බව අවිවාදිතය. ඔහුගේ වැඩ පිළිවෙලට එරෙහි වියහැක්කේ හවුල් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින අයෙකුට පමණි. බැසිල් රාජපක්ෂගේ වැරදි දකින ඇතමුන්ට තමන්ගේ ඇසේ ඇති පොල් පරාලය නොපෙනේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප පළාත් සභා මන්ත්‍රීවරුන් 33 දෙනාගෙන් 29ක් මෙවර එක්වන්නේ කිරුළපන රැළියටය. ගාල්ල රැළියේ ප්‍රධාන සංවිධායකවරයාවු මහ ඇමති ශාන් සමඟ ගාල්ලේ රැළියට එක්වනු ඇත්තේ පළාත් සභා මන්ත්‍රීවරුන් 4 දෙනෙක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණද මෙවර මැයි දිනය සමරනුයේ රාජා හෝ මා හෝ ගංගා හෝ කියා ආණ්ඩු බිඳදැමීමේ හා ගොඩනැගීමේ කොන්ත්‍රාත්තු ඉටුකොට බරපතල අවමානයකට සහ අප්‍රසාදයකට පත්වී තිබෙන වකවානුවකය. වර්තමානයේ ඔවුන්ගේ උපාය මාර්ගය වී ඇත්තේ ආණ්ඩුවට එරෙහි ලාබ ප්‍රචාරක කටයුතු මගින් කන්ගැට්ටා තියරියෙන් ආණ්ඩුවටම තල්ලුවක් දීමය.  ජවිපෙ සාම්ප්‍රදායික ආකර්ෂණීය මැයි දිනය සඳහා ජවිපෙ සමස්ථ සාමාජිකත්වය පමණක් නොව ඔවුන්ගේ දරු දැරියන්ද එක්වන බැවින් එය දිස්වන්නේ ගලවා ගැනීමේ හමුදාවක් ලෙසිනි. හඳ ගැන කවි ලිව්වාට හඳේ අයිතිකාරයා විය නොහැක.

හවුල් ආණ්ඩුවේ ශ්‍රිලනිප නෛතික පාර්ශවය මේ සිදුකරනුයේ 1956 නැගී ආ ජනතා බලවේගය මරා දැමීමකි.  සෘජුව සහ වක්‍රවද දැන සහ නොදැනද ඔවුහු ඒ සඳහා අත්වැල් සපයමින් සිටී. අධිරාජ්‍යවාදීන්ගේ සහ ඔවුන්ගේ ඒජන්තවරුන්ගේ උවමනාවන් සැදී පැහැදී ඉටුකරනු ලබමින් සිටී. පනස් හයේ හරය සහ පරමාර්ථ කෙලෙසූවන්ට 1956 අරුමය සැමරිය නොහැක. ඒ වෙනුවෙන් පෙනී සිටින්නටද නොහැකිය. යුතුකම සංවාද කවය කොළඹ මහජන පුස්තකාලයේ ඊයේ පැවැත්වු සම්මන්ත්‍රණයේදි අවධාරණය කළේ එයයි.

මෙවර මැයි දිනය වැඩකරන ජනතා බලයක් හෝ සමාජවාදී සමාජයක් වෙනුවෙන් කැපකරන ජාත්‍යන්තර කම්කරු දිනයක් නොවේ. එය 1965 සිටම සෑම දේශපාලන පක්ෂයක් සහ කණ්ඩායමක්ම තම බලය විදහාපාන මැයි දින ‘ගේමකි’. මෙවර එජාපයට නම් බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේය. ශ්‍රිලනිප නෛතික පාර්ශවය සහ ජනතා පාර්ශවය යන දෙපිලටනම් මෙවර මැයි රැළි රජ දැක්මකි. ශ්‍රිලනිප නෛතික පාර්ශවයටනම් ගාලු මැයි රැළිය ගෙදර ගියොත් අමු නසීය මඟ සිටියෝත් තෝ නසීය වැනි තත්ත්වයකි. ශ්‍රිලනිප ජනතා පාර්ශවය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට නම් කිරුළපන මැයි රැළිය නව උපතකට විදුලන නැකතක් සේය.(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

 

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

 

3 Responses to “ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය – 148 – මැයි දින ‘ගේම්’”

  1. Kumari Says:

    Well said. May day under Sirisena reminds me of the May Days under JR. After JR sacked loads of government employees (I think about 40,000) for staging a strike asking for a Rs10 increase, UNP could not hold any May Days. “Peeditha Panthia” didn’t want the UNP. Then JR started bringing Indian singers to entertain the few people who came to Galle Face. People went to Galle Face not to listen to UNP lies but to watch these Indian artists.

  2. Dham Says:

    සීගිරි අභය භූමිය විකිණිම වහා නවතන්න ගැටඹේ නාහිමියෝ ජනපතිට කියති

    2016 අප්‍රේල් 28 08.25 a.m
    (රන්මලී සෝමසිරි)
    කෝටිපති ව්‍යාපාරිකයින්ට සීගිරිය අභය භූමිය කට්ටිකර විකුණා රුපියල් කෝටි ගණනක මූල්‍ය ගනුදෙනුවක් කර ඇතැයි පළවන වාර්තාව සම්බන්ධයෙන් සොයා බලා දැඩි පියවර ගත යුතුව ඇතැයි පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමියෝ ජනාධිපතිවරයාට පවසති.

    ලොව පුදුම කළ අටවන මහා පුදුමය වන සීගිරිය අපේ සිංහලයන්ගේ තාක්ෂණික අනන්‍යතාවය කියාපාන උරුමයක් හෙයින් මේ සම්බන්ධයෙන් දැඩි පියවර නොගත්තොත් එය රටත් ජනතාවත් සංස්කෘතියත් බරපතළ විපතකට ඇද දැමීමක් යැයි ද සිරිවිමල නාහිමියෝ සඳහන් කරති.
    රක්ෂිත වනාන්තර හෙළිකරන්න කිසිවෙකුටවත් ඉඩ දෙන්නේ නැහැ, මගේ කාලය තුළ රට බෙදන්න කිසිවෙකුටත් ඉඩ තියන්නේ නැහැ, නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා, නීතිය කඩකරන ඇමැතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා ආදී ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභීතව ප්‍රකාශ කළත් වත්මන් රජයේ ක්‍රියාකලාපය මගින් රක්ෂිත වනාන්තර ඇතුළු පරිසර පද්ධතිය පමණක් නොව ඵෙතිහාසික උරුමයන් ගැන නගන හඬ ද පුස්සක් කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කරයි.
    මහජන මුදලින් නඩත්තු වන පුරාවිද්‍යා නිලධාරීන් කිසියම් දේශපාලන හෝ වෙනත් බලවේගයකට යටත්ව මුදලට හදලට ගිජුව ක්‍රියා කරන්නේ ද යන්න මෙවැනි දේ තුළින් සිතීමට සිදුවන බව ද උන්වහන්සේ පෙන්වා දෙයි.
    මෙවැනි විනාශයන් පිළිබඳව මහා සංඝරත්නයත් මහජනතාවත් විමසිල්ලෙන් සිට ජාතික උරුමයන් රැක ගෑනීමට බලධාරීන්ට බලකිරීමේ ව්‍යාපාරයක් ඇරඹිය යුතුව ඇතැයි ද මෙවැනි අපරාධ සම්බන්ධයෙන් රටට තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ලක්බිම පුවත්පතට ජාතියේ ප්‍රණාමය පුදන බව ද සිරිවිමල නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.

  3. Christie Says:

    සින්හලයේ වම නතිනම් සමාජවඩය පටන්ගත්තේ ඉන්දියානු පරපෝසිතයන්ය. 1927දී මොහන්දාස් කරම්චාන්ඩ් තමයි මුලපිරුවෙ.

    ඇන් ඇම් වගේ අයතමයි ඉන්දියානු පරපෝසිතයන්ගෙන් යැපුන අපේ මොල හෝදපු උන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress