නන්දි ගව රූපය මගින් හෙළිවන උතුරේ පාලනය
Posted on April 30th, 2016

මතුගම සෙනෙවිරුවන්

සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ විසිවන මහානායක ධූරය හෙබවූ අපවත්වී වදාල  අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නා හිමියන් ඉදිරියේ මීට කලකට ඉහතදී දෙමළ පූජකවරුන් පිරිසක් නන්දි ගව රූපය ඇතුලත් කොඩියක් පෙන්වා සිටියහ.යාපන අර්ධද්වීපයේ දෙමළ උරුමය එහිදී  පෙන්වා දෙනු ලැබූ ප්‍රධාන කාරණයයි.ඔවුන් කළ ප්‍රකාශය මහ නායක හිමියන් විශ්වාස කලාදැයි  නොදනිමි. කෙසේ වෙතත් මෙම නන්දි රූපය  දකුණු ඉන්දියාවේ මෙන්ම ලංකාවේ උතුරේද බෙහෙවින් ජනප්‍රිය සංකේතයකි. එයට හේතුව නන්දිකේශ්වර දෙවියන්ගේ වාහනය වූ ගවයා අනාදිමත් කාලයක සිට ඉන්දියාවේ මෙන්ම ලංකාවේ රජවරුන් අතරද වන්දනාමානයට ලක්ව තිබීමයි.විශේෂයෙන්ම ශිව දේවාලයන්හි වන්දනාමාන කරන ප්‍රධාන සංකේතයක් ලෙසට මෙම නන්දි රූපය නොහොත් වෘෂභ රූපය සැලකේ. ඉන්දියාවේ මයිසූර් වල විශාලතම වෘෂභ රූපයක් හින්දු භක්තිකයන් අතර වන්දනා මානයට පත් වී ඇත.

අතීතයේ දී ශිව දෙවියා විසින් උත්පාදනය කරනු ලැබූ නන්දිකේශ්වර නම් රිසිවරයා මෙම නන්දි රූපයට හා ඇදහිල්ලට මුල් වේ. පුත්‍රයන් නොමැතිව සිටි සලන්කායන් නම් රිසි වරයාට දුන් වරයක් අනුව මෙම නන්දිකේශවර උපත ලබා තිබෙන බව ශිව මහ පුරාණය දක්වා ඇත.සාල ග්‍රාමයේ සල් ගසක් යට ඔහු උපත ලබා ඇත.මේ ඔහු ගේ 49 වන උපතයි.නන්දිකේශ්වර නාමය දී ඇත්තේ විෂ්ණු දෙවියන් විසිනි.නන්දිකේශ්වර නොහොත් අධිකාරි නන්දි ගේ උපත පිළිබඳව කතා ප්‍රවෘත්ති තුනක් ප්‍රචලිතව පවතින බව පුරාණකතාවල දැක්වෙයි. කෙසේ වෙතත් අර්ධ මිනිස් අර්ධ සත්ව දෙවියෙකු ලෙසට නන්දි හැඳින්වෙන අතර ඇතැම් විට නන්දිකේශ්වර ගේ වාහනය වන වෘෂභ රූපය පසු කාලයේදී  වන්දනාමානයට ලක්ව ඉදිරියට පැමිණෙන්ට ඇතැයිද සිතිය හැකිය.ඉන්දියාවේ තන්ජෝර් දිස්ත්‍රික්කය පංච නන්දි කුලම් ග්‍රාමය ආදී තැන් වලින් නන්දිකේශ්වර ප්‍රතිමා හමු වී තිබේ.

වර්තමානයේ භාවිතා වන නන්දි රූපයේ ප්‍රභේද තුනක් ඇත. ඉන් ප්‍රධාන  වශයෙන් ඉදිරි පස පාද දෙක තම ශරීරය වෙත නවා ගෙන සිටින රූපය වඩාත් ප්‍රචලිතව ඇත. අනෙක් රූප දෙකෙන් එකක ඉදිරි දකුණ පාදය පෙරට එල්ල කර ගෙන සිටින අතර අනෙක් රූපයේ ඉදිරි වම්පස පාදය පෙරට එල්ල කර ගෙන තිබේ.මෙයින් දකුණු පසට නෙරාගෙන තිබෙන පාදය සහිත රූපය ආර්ය රජවරුන් ගේ වන්දනාමානයට පත්ව තිබුණකි. වම්ඇළයට පාදය නෙරා තිබෙන රූපය ද්‍රවිඩයන්ගේ වන්දනාමානයට ලක්ව තිබුණකි.සේතු මුද්‍රාවන්හිද කාසිවලද මෙම ගව රූපය දක්නට ලැබේ. සේතුව යනු පාළමයි. රාම රාවණ යුද්ධය පැවති අවස්ථාවේදී ධනුස්කොඩියත් මන්නාරමත් අතර ඇති කෙටි නොගැඹුරු මුහුදු තීරය ට ලී කොටන් ආදිය දමා එල්ලෙන පාළමක් නොහොත් සංගිලි පාළමක් නීර්මාණය කරන ලද බව පුරාණ කතාවල පැවසේ. යුද්ධය අවසානයේදී රාවනා ගේ මරණයෙන් පසුව රාම විසින් ලංකාව පාලනය විභීෂණට  භාරදී තිබේ. අනතුරුව රාමේශ්වරම සිට මෙම සංගිලි පාළම නොහොත් සේතුව පාලනය කිරීමට රාම විසින් පාලකයන් පත් කොට තිබේ.ආරිය බ්‍රාහ්මණ කුලයට අයත් පරම්පරා පන්සිය දොළහක් මේ ස්ථානයේ පදිංචි කළ බව ඉතිහාසයේ සඳහන්ය.මේ පරම්පරා අතර ප්‍රධාන කුලයක නායකයෙකු වූ අට්ටි කුලකේතු රජු එහි ප්‍රථම සේතුපතිවරයා විය.ඒ අතර විභීෂණ කුමරා මන්නාරම අසළ මුහුදු තීරය පාලනය කලේය. නමුත් රාම ගේ පාලනය යටතේ උතුර පැවැති හෙයින් දසරථ රජුගේ මස්සිනා වන වික්‍රභ කුලකේතිවන් හට එම පාලනය පැවරීමට අදහස් කොට  ඔහුගේ සොහොයුරිය  ගේ පුත්‍ර සේතුව පාලනය කළ අට්ටි කුලකේතු රජුට යාලප්පති නමින් තනතුරක් දී යාල්පාලම ඇතුළු පෙදෙස්ද පවරා දීම කරන ලද බව සඳහන්ය. එම යාලප්පති පාලනයට යටත්ව විභීෂණ විසින් රටේ පාලනය ගෙනයන ලදී. යාපනයේ මලලගම අසල ආනකෝට්ටෙ ගමෙන් හමු වූ බ්‍රාහ්මී සහ යක්ෂ ගෝත්‍රික අක්ෂර මිශ්‍ර මුද්‍රාව මගින් කියැවෙන්නේ මේ යුගයේ පැවති අශ්ව වෙළෙදාමයි.

රාම යුගයෙන් පසු මෙම සංගිලි පාළම විවිධ ආර්ය රජවරු විසින් පාලනය කළහ. සත්වන සියවසේ දී අනුරාධපුරයේ අගරජු වූ  මානවම්ම පරපුර විසින් බලවත් වෙළෙඳ නාවික බලයක් නිර්මාණය කොට සේතු පාලනයෙන් එපිට ජාත්‍යන්තර වෙළෙදාමක් ස්ථාපිත කරන ලදී.ඉන්දුනීසියාව දක්වා වූ පෙරදිග තොටමුණු කරාද මැදපෙරදිග දක්වාද මෙම වෙළෙඳ බලය ව්‍යාප්ත වී තිබුණි. මාන නොහොත් මානවම්ම කුමරු අනුරාධපුරයේ අගරජ වූ පසු පල්ලව රටේ සිටි ඔහුගේ දරුවන් කීප දෙනෙකු මෙම වෙළෙඳ බලය තව දුරටත් ව්‍යාප්ත කොට තිබේ. එහෙයින් ඔවුහු අලකඊශ්වර නොහොත් අලකේශ්වර(ධන කුවේරයා ) නාමයෙන් හඳුන්වන ලදහ. ටිකායි අන්නුරුවාර් ( ටිකායි අයිරාවර් ඇන්නුරුවල් ) නමින් පොළොන්නරු ශිව දේවාලයේ ඇති ලිපියෙන් ගම්‍ය වනුයේ මේ වෙළෙඳ සමාගම් වල මුල් ප්‍රභවයේ  නාමයයි. පසු කාලයේද සිය ආධිපත්‍ය සඳහා ගිරිවංශික තෙවනි අලකේශ්වර රජුගේ තෙවැනි පුත් ටික්කම උග්‍රසිංහ නම් කුමාරයෙකු යාපනයට පැමිණ ඇත.( ක්‍රි.ව.825 -862 ) උතුරේ වඩමරච්චියේ සිංහ නගරය  බිහිකරන ලද්දේ මොහු විසිනි.ඔහුගෙන් පසු සොහොයුරිය ගේ පුත් පාණ්ඩව දෙවන වරගුණ උතුරේ පාලකයා විය.නමුත් උතුර ස්වාධීන රාජ්‍යයක් නොවීය. එය ලක්දිව අගරජු ගේ අණසට යටත් විය.

සත් වන සියවසෙන් ඇරඹි අනුරාධපුර ස්වර්ණමය යුගය අවසන් වූ යේ චෝල ආක්‍රමණ නිසාවෙනි.ඒ වන විට අපරාජිතවර්මන්  රජුගේ පල්ලව පාලනයද අවසන් ව තිබුණි. ගිරිවංශික අලකේශ්වර පරපුරද නැවත ලක්දිවට පැමිණි සිටියහ.චෝල පාලනය නිසා ලංකාවේ දේශපාලන ආධිපත්‍ය ද්‍රවිඩයන් අතට පත් විය. නමුත් චෝල පාලනය බිඳි වැටීමෙන් පසු නැවතත් පාණඩව බලය ඉස්මතු විය. නල්ලූර් නගරය ඇතුළු මන්නාරම පාලනය කරන ලද්දේ පෙර සඳහන් කළ පරිදි පාණ්ඩව කුමාරයෙකු විසිනි.සේතු කාවිලන් රාජසේකර කාසි නිකුත් කරන ලද්දේ මේ යුගයේදීය.පාණ්ඩව සේතු කාසි වලද  විවිධ ස්වරුපයේ නන්දි රූප ඇතුලත් කර තිබේ.නමුත් පාණ්ඩව මූලික සංකේතය වන මත්ස්‍ය ලකුණද කාසියේ පිට පැත්තේ හමු වේ. බ්‍රිතාන්‍ය පාලන සමයේදී පවා මෙම සේතුව පාලනය කිරීම සඳහා සේතුපති කුමාරවරුන් සිටියහ. 1903 වර්ෂයෙ දක්වා මරවර් කුලයට අයත් කුමාරවරු සේතුපති තනතුරු දැරූ බව සඳහන්ය. කෙසේ වෙතත් දහවන සියවස තුළ ආරම්භ කරන ලද සේතු කාසි නිකුත් කිරීම දහතුන් වන සියවසේ දී ආර්ය චක්‍රවර්තී පාලකයන් විසින් විධිමත් කරන ලදී. ( 1284 -1410 ) පසුව අවසාන වශයෙන් (1462-1597 ) යන කාලවකවානුව දක්වා මෙම සේතු කාසි නිකුත් කර තිබේ. මෙම සේතු කාසියේ මූහුණත තුළ දකුණු පාදය ඉදිරියට නෙරා පවතින නන්දි ගව රූපය බහුලව දක්නට හැකිය. එනම් සේතුව පාලනය කළ එමෙන්ම එකළ වෙළෙඳ කණ්ඩායම් මෙහෙයවූ ආර්ය චක්‍රවර්තී පාලනයයි.

පොලොන්නරුවේ ලංකාතිලක පිළිම ගෙය අංක දෙක ශිව දේවාලය පදවියේ වැව අසලින් හමු වූ මුද්‍රාව එසේම හෙරොව් පතානේ වැව අසල ඇති ශිව කොවිල ආදී තැන්වල අපට හමු වන්නේ ප්‍රධාන වශයෙන් සඳහන් කළ පාද දෙකම ඇතුලට නවා ගෙන සිටින නන්දි රූපයයි.පදවිය වැව අසලින් හමුවුණු මුද්‍රාව තුළද පැහැදිලිව පාද දෙකම ඇතුලට නවා ගත් නන්දි ගව රූපය දක්නට ඇත. නානාදේශී නම් වෙළෙඳ කණ්ඩායම විසින් මෙම මුද්‍රාව නිකුත් කරන්නට ඇතැයි සැලකේ.ඔවුහු වලදුකයි නොහොත් වලන්දියාර් නමින් හඳුන්වන නාවික සහ වෙළෙඳ කණ්ඩායමක් වූහ.හින්දු දේවාලයන්හි පමණක් නොව ලංකාතිලකය වැනි බෞද්ධ පිළිම ගෙවල්හි මුරගලට ආසන්නයේ මෙම රූපය හමු වන්නට ප්‍රධාන හේතුවක් තබේ. එනම් ලංකාව සහ ඉන්දියාව අතර මෙන්ම ඉන්දුනීසියාව අතරත් මැදපෙරදිග ප්‍රදේශ දක්වාත් පැතිර තිබූ මෙම වෙළෙඳ කණ්ඩායම් වල බලපෑමයි.. මේ වෙළෙන්දන් සිය ධන බලය මත ලංකාවේ ආගමික ස්ථානයන්ට ආධාර උපකාර කළහ. සිය මුදල් ආයෝජනයෙන් ලංකා දේශපාලනයේ ආර්ථික සම්බන්ධතා තුලනය කරන අතර වාරයේ ආගමික ස්ථාන දියුණු කිරිමට උපකාර කිරීම තේරුම් ගත හැක්කකි.

නවවන සියවසෙන් පසු ඉන්දියාවේ චෝල බලයේ පැතිර යෑමත් සමගම ටිකායි නාමය රැගත් අලකේශ්වර පරපුර විසින් වැඩි දියුණු කළ මේ වෙළෙඳ සමාගම් ක්‍රමයෙන් ද්‍රවිඩයන් අතට පත් විය. ඉන් එක් කොටසක් ද්‍රවිඩීකරණයට ලක් වූ අසුරයන් සහ නාගයන් විසින් පාලනය කොට ඇත..ඉලදකයි යනුවෙන් හැඳුන්වූ ඔවුහු වම් පාදය පෙරට තබා ගත් ගව රූපය භාවිතා කළහ.මෙවුන් ගේ නාවික හා වෙළෙඳ කණ්ඩායම් නගරත්තාර් යනුවෙන් සිය සන්නමය යොදා ගෙන තිබුණි. දකුණු පස පාදය පෙරට දමා ගත් නන්දි ගව රූපය භාවිතා කළ පිරිස පිළිබඳව පොළොන්නරුවේ පළමුවන විජයබාහු රජුගේ වේලෙයිකාර පුවරු ලිපියේ ද විස්තර සඳහන් කොට තිබේ. බොහෝ විට රාමේශ්වරමත් මන්නාරමත් අතර සේතුව පානලය කල මොවුන් ගේ බලය පසුව ආර්ය චක්‍රවර්තී වරු අතට පත්වූහ.මොවුහු ඇතැම් විට   වෘෂභ රූපය සහිතව  සේතු කොඩිය ද යොදා ගත්හ.නානාදේශීන් නම් වෙළෙඳ සමාගමේ බොහෝ ජාතීන් සිටි බැවින් ශිව දෙවියා ඇදහීමේදී ප්‍රධාන නන්දි රූපය ඉතාමත් පැරණි ආකාරයට සකස් කර ගෙන තිබෙන්නට අතැයි සිතිය හැකිය.

ආයාත සහ නිර්යාත සහිත විදේශ වෙළෙදාම  එයින් රැස්කර ගත් ධන බලය විශාල වශයෙන් ආගමික ස්ථාන වල දියුණුවට යොදා ගත් අතර චෝලයන්ද එම මග අනුගමනය කළහ. පෙළොන්නරු අංක දෙක ශිව දේවාලයේ මාණවන් මාදේවී ඊශ්වරන් නමින් චෝල දේවියකගේ ලිපියක් හමුවන්නේ එහෙයිනි.  මෙම වෙළෙඳ බලයේ මුල් උරුමක්කරුවන් වූයේ ඉන්දියාවේ ආර්ය රජවරුන්ය.එයට අමතරව ලංකාවේ නාග ගෝත්‍රිකයන් සතුවද විශාල නාවික බලයක් තිබූ බව පැහැදිලිය. නමුත් චෝල ආක්‍රමණ සහ දේශපාලන ආධිපත්‍ය නිසා දකුණු ඉන්දියාවේ බොහෝ ස්වදේශිකයන් ද්‍රවිඩීකරණයට ලක් වූ බව පෙනේ. ඒ ප්‍රධාන කොටම භාෂා භාවිතයෙනි.නමුත් දාහත්වන සියවස වන තෙක්ම උතුරේ නොහොත් යාපනයේ ප්‍රධාන ජනගහනය සිංහලයන් වූ බව ක්වේරොස් ගේ සටහන් වලින් පැහැදිලි වේ. නාගයන් යක්ෂයන් මෙන්ම ආර්ය සෙබළුන් ද මීට අයත් වූහ.නමුත් ලන්දේසීන් විසින් කේරළයෙන් මලබාර් ද්‍රවිඩයන් ගෙන්වා යාපනයේ දුම්කළ වගාවන්ට යෙදවීම නිසා මේ ප්‍රදේශය ඉතා සීඝ්‍රයෙන් ද්‍රවීඩීකරණය විය. මෙලෙස පැමිණි ද්‍රවිඩයන් විසින් භාවිතා කළ නන්දිගවරූපය සහිත කොඩිය ( වම් පාදය ඉදිරියට නෙරා ඇති වෘෂභ රූපය ) පැහැදිලිවම අසුරයන්ට සහ නාගයන්ට අයිතිය. එම සංකේතය ද්‍රවිඩ උරුමයක් නොවේ. යාපනයට ද්‍රවිඩ උරුමයක් ඇතැයි ප්‍රකාශ කරන්නට ඔවුන් පෙළඹී සිටින්නේ ද්‍රවිඩ වෙල්ලාල්ස් ඉතිහාසඥයන් විසින් ගොඩනැගූ ව්‍යාජ ඉතිහාසය තුළිනි. එය කරුණු නොදත් සමස්ත සිංහල ජනතාව මෙන්ම දේශපාලකයන්ද මුළා වී සිටිති. නැතහොත් මුදලට ව්‍යජා ඉතිහාසය පිළිගනිති.

 

මතුගම සෙනෙවිරුවන්

2 Responses to “නන්දි ගව රූපය මගින් හෙළිවන උතුරේ පාලනය”

  1. Dham Says:

    බහු ජාතික බහු ආගමික කෝළම අද් ඊයේ නොවන එකක් ලෙස මෙයින් පැහැදිලිවේ.
    සිංහලයා විනාශ කිරීමේ අඩිතාලම සිංහලයාට දෙමළ ඉගැන්වීම වී ඇත​.
    මලබාරයින් එනවිට සිටිය සිංහලයෝ දෙමලුන් බවට භාෂා භාවිතයෙන් පත්වී ඇත​.
    දකුණේ හෙලයින්ට දෙමල ඉගැන්වීමෙ මහා ද්‍රෝහි කම හෙලා දැකයුතු නැද්ද ?
    නිවන = දෙව්ලොව = මහාබ්‍රහ්මයා සමග එකතුවයි ඉගැන්වීම ද හෙලා දැකයුතු නැද්ද ?

  2. AnuD Says:

    Christians have written the “danno Budun ge” sone for Christians.

    All reconciliation among communities in Sri lanka.

    Destroy buddhism.

    So, the final battle is between Christianity and Islam.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress