කවුද බොලේ මේ බෝපගේ?
Posted on April 30th, 2016

ධර්මන් වික්රමරත්න

කොවුලාට මිහිරි කටහඩක් ඇත. නමුත් උගේ පෙනුම සුන්දර නැත. මොණරාගේ පෙනුම සුන්දර වුවද උගේ කටහඩ මිහිරි නැත. උඩක පිපෙන්නට පින්කර තිබුණද නාමලට පැහැයක් නැත. පැහැය තිබුණාට පෙති ගොඩක් තිබුණද නෙළුමකට උඩට පිපෙන්නට බැරිය. මේ අනුව පෙනී යන්නේ කෙනෙකුගේ කුමන දක්ෂතා තිබුණද ඔහු එයට අනුගතව ක්‍රියානොකරන කල්හි එය මැකෙන්නට කුමන හෝ අඩුවක් ඇති බවය.

මේ සියළු අටුවාටීකා කිවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිමල් බෝපගේ විසින් ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක ලේකම් ලෙස ඔහුගේ අත්සනම යොදමින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක් හේතු කොටගෙන ඇතිවූ අර්බුදකාරි තත්ත්වයක් හේතුවෙනි. එයට තෙදිනකට පෙර එම තනතුරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කල ලේකම්වරයාවූ බෝපගේ, පැය 72ක් තුළ ජනමාධ්‍ය තුළින් ලැබූ ප්‍රචාරය 1948 නිදහසින් පසු කිසිම අමාත්‍යාංශයක ලේකම්වරයෙක් නොලැබූ ප්‍රතිචාරයකි. ඒ හොදට නොව නරක වෙනුවෙනි.

Dharman300416R02නිමල් වීර බෝපගේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් අප්‍රේල් 25වැනිදා වැඩ භාරගත් අවස්ථාව. ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද මෙහි වේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන්  බෝපගේ නිකුත් කල නිල ප්‍රවෘත්ති නිවේදනයේ සදහන් වූයේ ඒකාබද්ධ විපක්ෂය නමින් දේශපාලන පක්ෂයක් නැති බැවින් එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීමෙන් මාධ්‍යවේදීන් නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමට ඉඩ ඇති බවය. එම නිවේදනය මාධ්‍ය නිදහස අගයන්නන් සහ මාධ්‍යවේදීන් අතර තදබල විවේචනයකට සහ තිගැස්මකට ලක්වූ අතර රටපුරා එක් රැයක් ඇතුලත ආන්දෝලාත්මක මාතෘකාවක් බවටද පත්විය. අදාල අමාත්‍යාංශයේ අමාත්‍යවරයාවූ ගයන්ත කරුණාතිලක වහ වහා අවධාරණය කළේ අදාල නිවේදනය අමාතාංශ ලේකම් බෝපගේ ගේ පෞද්ගලික මතයක් මිස රජයේ මතය නොවන බවය. ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක අප්‍රේල් 28වැනිදා අස්ගිරි පාර්ශවයේ වරකාගොඩ ඤාණරත්න මහානාහිමියන් හමුවූ විට උන්වහන්සේ කියාසිටියේ මාධ්‍යයට නිදහස  නොදුන්නහොත් සත්‍ය තොරතුරු හෙළිනොවන බවය.

උද්ගතවූ තත්වය අනුව එය තමන්ගේ පෞද්ගලික මතය ප්‍රකාශ කිරීමක් බවද නියෝගයක් නොව ආයාචනයක් බව පසුව අප්‍රේල් 29 සිකුරාදා මාධ්‍ය හමුවකදී  පිළිගැනීමට බෝපගේට අවසානයේදී සිදුවිය. ‘යහපාලන’ ආණ්ඩුවේ එක් පොරොන්දුවක් වූයේ සිවිල් සංවිධානවලට නිදහසේ කටයුතු කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය පිළිගැනීමය. කිසිවෙකුට හෝ අගතියක් සිදුවේනම් ඒ සඳහා පවතින නෛතික රාමුවේ හෝ ඉන් බාහිරව පුවත්පත් කොමිසම හමුවේ පිළිසරණක් පැතිය හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 53 ක් පමණ නියෝජනය කරන බහුතර පාර්ශවයකට ඒකාබද්ධ විපක්ෂය කියා පාවිච්චි කිරීමේ හිමිකම අහිමි කිරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත. එසේම බෝඩ්ලෑලි සංවිධාන බඳු පුරවැසි බලය, අලුත් පරපුර, වීදියේ විරෝධය, සාධාරණ සමාජයක් සදහාවූ ව්‍යාපාරය වැනි සිවිල් සංවිධානවලටද එම නමින් පෙනී සිටීමේ ඇති අයිතියටද කිසිවෙකුට එරෙහි විය නොහැක.

Dharman300416R03ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන සහ ජනමාධ්‍ය අමාතාංශයේ හිටපු ලේකම් වජිර නාරම්පනාව.

ජනමාධ්‍ය අමාත්‍යාංශයක ලේකම් තනතුර යනු දැලි පිහියෙන් කිරි කන වැඩකි. මෙයට පෙර එහි ලේකම්වරුන් වශයෙන් ලයනල් ප්‍රනාන්දු, කුමාර් අබේසිංහ, ඩබ්ලිව්.පී එස් ජයවර්ධන, තිලක් රණවිරාජා, ඒ. දිසානායක, ඩබ්ලිව්. පී ගනේගල, වජිර නාරම්පනාව වැනි කීර්තිමත් සිවිල් පරිපාලන නිලධාරින්ද ජනදාස පීරිස්, චරිත හේරත්, කරුණාරත්න පරණවිතාන වැනි පරිපාලන සේවයෙන් බාහිර අයද වසර ගණනාවක් අදාල තනතුරේ කටයුතු කලද කිසිදා මෙවැනි හිතුවක්කාරි නිවේදන නිකුත්කර නැත. කලින් සිටි ලේක්ම්වරුන් සියළුදෙනාම වාගේ පොදු මාධ්‍යවේදීන් සමඟ පමණක් නොව ඇත්තේ බී.ඒ. සිරිවර්ධන, ජනදින සරත් නාවාන, රාවය ප්‍රවෘත්ති කර්තෘ නිව්ටන් සෙනෙවිරත්න වැනි අය සමඟ පවා 70 දශකයේ සිට සිටියේ යහළුවන් මෙනි. රජයේ ක්‍රියාපිලිවෙත කෙසේ වෙතද බලපෑම්වලින් තොරව මාධ්‍ය නිදහස තහවුරු කරන පරිසරයක් උදාකරදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් සිටි හැම ලේකම්වරයෙකු හැකි සෑම පරිශ්‍රයක්ම දැරූ බව 1984 ජනවාරි සිට ඔවුන් සමඟ වෘත්තීය ලෙස කටයුතු කල ලියුම්කරු දනී.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්වූ නිමල් බෝපගේ නීතිඥයෙකි. ගණකාධිකාරිවරයෙකි. කවුද බොලේ මේ බෝපගේ? එය සැමට කුතුහලයකි.  නිමල් බෝපගේ ඉපදුනේ මාතර කඹුරුපිටියේදීය. වර්තමානයේ දෙදරු පියෙකි. අවාහ වූයේ ගාල්ල දිසාපතිව සිටි දැන් අමාත්‍යාංශ ලේකම්වරයෙකුවූ රවීන්ද්‍ර හේවාවිතාරණගේ සොහොයුරියක් සමඟය. කොළඹ සරසවියේ නීති පීඨයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස ඔහු එක්වූයේ 1981/82 කණ්ඩායමටය. නීති උපාධියෙන් 1994 වන විට සමත් විය.

කොළඹ සරසවියේදී  1980 පෙබරවාරි 2වැනිදා ආරම්භවූ  ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙක් බවට බෝපගේ පත්විය. එහි තෙවන සභාපතිවරයා වශයෙන් 1984/85 කාලයේ පත්වූ විද්‍යා පීඨයේ දයා පතිරණගේ නායකත්වය යටතේ ස්වාධීන ශිෂ්‍ය සංගමය රැඩිකල්වාදී වාමාංශික නැඹුරුවක් ගත් අතර සරසවිය පාලනය කළේ තග් බලයෙනි. කොළඹ සරසවිය තුළ ජවිපෙ කටයුුතු තහනම්කර ජවිපෙ ගිහි පැවිදි සරසවි සිසුන්ට 1986 ඔක්තෝබර් 2වැනිදා අමානුෂික ලෙස පහරදී පලවා හැරීය. එම ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ජවිපෙ දෙවැනි කැරැල්ලේදි 1986 දෙසැම්බර් 15වැනිදා දයා පතිරණ ජවිපෙ අතින් ඝාතනයට පත්විය. පතිරණගේ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිධූරයට 1986 දෙසැම්බර් 17වැනිදා පත්වූයේ එහි ලේකම්වරයා වශයෙන් කටයුතු කල කේ.එල්. ධර්මසිරිය. එහිදී ප්‍රධාන ලේකම් බවට පත්වූයේ නිමල් බෝපගේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය ලබා ගැනීම සදහා ස්වාධීන ශිෂ්‍ය සංගමය නාමික අන්තරයක්ද 1987 ජනවාරි 2 ගොඩනැගීමට කටයුතු කරන ලදී. එම රැස්වීම කැඳවුයේද ලේකම් නිමල් බෝපගේය. මොරටු සරසවියේ ඇඩම්ස් අන්තරේ කැඳවුම්කරු වූවද එය සිසු පදනමක් නොමැති නිසා ලත් තැනම සතියකින් ලොප් විය. අවසානයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර බලයට එරෙහිව කොළඹ සරසවියේ පොදු සිසුන් එක්වී 1987 මාර්තු 24වැනිදා ප්‍රහාරයක් එල්ලකර ස්වාධීන සිසුන් පරාජය කර බලය ලබා ගත්හ. අවසානයේ ලේකම් බෝපගේ ඇතුළු පිරිසක් ඉවත්වූ අතර ධර්මසිරිගේ නායකත්වයෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමය පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙමින් ප්‍රා සංවිධානය සමඟ එක්වී සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් ඝාතනය කළේය. අනතුරුව ජවිපෙ මගින් ධර්මසිරිද මරා දැමූ අතර ස්වාධීන ශිෂ්‍ය සංගමය 1989 දෙසැම්බර් 15 වැනිදා විසුරුවා හැරි බව එම සංගමය ප්‍රකාශයට පත්කළේය.

කොළඹ සරසවියේ නීති උපාධිධාරියෙකුවූ බෝපගේ පසුව පරිපාලන සේවයට ඇතුළත්වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයෙකු වශයෙන් කෙටි කලක් කටයුතු කළේය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට මාරු කිරීමෙන් පසු අර්බුදයක් හේතුවෙන් රාජ්‍ය සේවයට ආයුබෝවන් කීවේය. පසුව 1994දී පත්වූ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව යටතේ අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු වශයෙන් සුදු නෙළුම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස ඇමති මංගල සමරවීර සමඟ සමිපතවම කටයුතු කළේය. පසුව එම තනතුරින් වසර එකහමාරකට පසු ඉවත්වන බෝපගේ එජාපය සමඟ සමීප සබදතා ගොඩනගා ගත්තේය. කලක් දේශපාලනයෙන් නිහඬවී වෘත්තීය වශයෙන් නීතිය සහ ගණකාධිකාරි දේශකයෙකු වශයෙන්ද වෘත්තිකයෙකු වශයෙන්ද කටයුතු කළේය. වසර 2000 මහා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක රවින්ද්‍ර රන්දෙණියගේ ජයග්‍රහණය සඳහා වෙහෙසුන්ය.

යළි දේශපාලනයෙන් බැහැරවූ බෝපගේ 2005 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ කටයුතු කළේය. එවකට එහි සභාපතිවරයා වූයේ පසුකළෙක රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ සභාපතිවරයාවූ ජගත් වැල්ලවත්තය. දෙදෙනාම සරසවි සමකාලීන්ය. වරෙක බෝපගේ ව්‍යාපාරකයෙකු වශයෙන්ද කටයුතු කළේය. රජයේ ජාතික මිනිස් පවුර සංවිධානයේ සභාපතිවරයා වශයෙන් 2008දී පත්විය.

ඇමති ඩලස් අලහප්පෙරුම යටතේ සේවයට එක්වන බෝපගේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකාරකවරයෙක් වශයෙන් කලක් කටයුතු කළේය. නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ඇමතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම පත්වීමෙන් පසුව ඔහු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් විය. ජාතික ආධුනිකත්ව හ කාර්මික පුහුණු අධිකාරියේ උප සභාපතිවරයෙක් වශයෙන් 2009 අගෝස්තු 18වැනිදා පත්වූ ඔහු වසරකට ආසන්න කාලයක් එහි කටයුතු කළේය.  එහිදී ඇතිවූ ගැටුම් සමථය කිරීම සඳහා එම තනතුර වෙනුවට බෝපගේට මානව සම්පත් සංවර්ධන සභාවේ සභාපතිවරයා ලෙස 2010 අගොස්තු 19 සිට මාස 22ක් කටයුතු කළේය. රජයේ තරුණ ප්‍රවර්ධන ව්‍යාපෘතියක්වූ 9එෆ් බලකාය භාරවද කටයතු කළේය. එහිදි අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සමඟ ඇතිවූ හබයකින් පසු ඉන්ද ඔහු ඉවත් විය.

එක්සත් ජනතා නිදහස් සංධානයෙන් 2009දී බස්නාහිර පළාත් සභාවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟකර පරාජයට පත්විය. එසේවීමට එක් හේතුවක් වූයේ නියේජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න සහ ඔහුගේ කණ්ඩායම සමඟ ඇතිකරගත් මතභේදකාරි හේතූන්ය. ජනමාධ්‍ය ලේකම් චරිත හේරත්ගේ සහාය මත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් 2014 ජනවාරි මස පත්වූ බෝපගේට එම සේවය කල හැකිවූයේ මසකට ආසන්න කාලයක් පමණි. රූපවාහිනියේ ගාමිණී රාසපුත්‍ර සහ රාසපුත්‍රගේ හිතවත් සේවකයින් සමඟ ඇතිවූ ආරවුලක් එයට මුල්විය.

ඇමති ඩලස් අලහප්පෙරුමගේ මැතිවරණ කමිටුවට ක්‍රියාකාරීව එක්වන බෝපගේ මලික් ජයතිලක සහ ශිරාල් ලක්තිලක සමඟ ඔහුන්ගේ දේශපාලනයේ සමීපතමයෙකු වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2015 ජනවාරි ජනාධිපතිවරණය වෙනුවෙන් අරඹන ලද එක් මාධ්‍ය මෙහෙයුම් කාර්යාලයක කලමණාකරු වන්නේ නිමල් බෝපගේය. ඒ වෙනුවෙන් ඔහුට වාහනයක් සමඟ සියළු දීමනා හිමිවිය. එම කාර්යාලය 2014 ඔක්තෝබර් 11වැනිදා සිට 2015 ජනවාරි 10 දක්වා පවත්වාගෙන ගියේ කොළඹ 7 හෝර්ටන් උද්‍යානයේ නිවසකදීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ජයගත් පසු ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වූයේ ශිලාල් ලක්තිලකය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වූයේ කරුණාරත්න පරණවිතානය.  පසුව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා බවට 2015 මාර්තු මස පත්වූ ඔහු සේවය කළේ සති කිහිපයකි. පාර්ලිමේන්තු මහ මැතිවරණය 2015 අගෝස්තු පවත්වන විට එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් හෙළ උරුමය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කල කරුණාරත්න පරණවිතානගේ මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙක් බවට ඔහු පත්විය. ඉනික්බිති 2016 පෙබරවාරි සිට රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා බවට පත්වූ අතර අප්‍රේල් දක්වා කටයුතු කළේය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්වූයේ 2016 අප්‍රේල් 25වැනිදාය. එදින බෝපගේ අමාත්‍යාංශයේ සේවකයින්ට තම දැක්ම ඇතුලත් මුද්‍රිත පත්‍රිකාවක්ද බෙදාහැර තිබිණි. අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ දැක්ම වියයුත්තේ අදාල ඇමතිවරයාගේ මඟ පෙන්වීම යටතේ ආණ්ඩුවේ දැක්මය.

නිමල් බෝපගේ කැපවීමෙන් වැඩ කරන්නෙකි. සංවිධායකවරයෙකි. එහෙත් කණ්ඩායම් හැගීමෙන් වැඩකිරීමට දුර්වලය. ඔහුගේ බොහෝ සේවා ඉවත්වීම් හෝ ඉවත්කිරීම් සිදුවන්නේ ප්‍රශ්ණගත ආකාරයෙනි. ගෞරවාන්විතව නොවේ. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය සම්බන්ධයෙන් උපදේශන න්‍යාමයන් සකස්කිරීමට ගොස් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ රටට පෙන්නුම් කළේ තමන්ගේ නොහැකියාවද? එසේත් නොමැතිනම් ‘යහපාලන’ ආණ්ඩුවේ වත්මන් මාධ්‍ය ප්‍රතිපත්තියේ සැබෑ ස්වරූපයද? කෙසේ වෙතත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ඔහු නිකුත්කල ආන්දෝලාත්මක ප්‍රවෘත්ති නිවේදනය  ඉල්ලාගෙන කෑමකි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකුගේ වගකීම පමාවී හෝ දැන්වත් ඔහු අවබෝධ කරගත යුතුමය.(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

 

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

 

ඡායාරූප සටහන්

  1. ධර්මන් වික්‍රමරත්න විසිනි.
  2. නිමල් වීර බෝපගේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් අප්‍රේල් 25වැනිදා වැඩ භාරගත් අවස්ථාව. ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද මෙහි වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress