මහා පාන් දන්සැල – යාල වනෝද්‍යානයේදී !
Posted on May 5th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

බක් පුර පසලොස්වක පොහොය ගෙවී ගියේය. ඊලඟට එලැඹෙන්නේ වෙසක් පුර පසලොස්වකයි. වසරේ පෝය 12 න්, වෙසක් පොහොය, ලොව පුරා වෙසෙන බෞද්ධයන්ට වැදගත් වනුයේ ඇයිදැ යි යන්න බෞද්ධ වන කිසිවෙකුට අමුතුවෙන් පැහැදිලි කර දියයුතු නොවේ. එබැවින් මේ කතාව වෙසක් පොහොය ගැන නොවේ.

වෙසක් යන වචනයත් සමගම සැම විටම මතකයට නැගෙන වචනය වන්නේ ‘ දන්සැල් ‘ය. විවිධාකාරයෙන් වෙසක් පොහොය සමරන පිරිස් සඳහා දන්සැල් පැවැත්වීම අප සමාජයේ ඉතා ජනප්‍රිය සහ ප්‍රචලිත ක්‍රියාවකි.

මේ කතා කරන්නේ ඒ දන්සැල් ගැන ද නොවේ.

මීට දින කිහිපයකට ප්‍රථම අප රටේ දේශපාලකයෙකු විසින් පැවැත්වූ අපූරු දන්සැලක් පිලිබඳ පුවතක්, ඡායාරූප ද සමග සමාජ වෙබ් අඩවියක පලවී තිබිනි.

දේශපාලකයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ය. ඔහු මේ දන්සල මගින් බෙදා දුන්නේ පාන් ය. දන්සැල පැවැත්වූයේ යාල ජාතික වනෝද්‍යානයේදීය. ඒ දන්සැල වන සතුන් වෙනුවෙනි !!

යාල ජාතික වනෝද්‍යානය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර එකසේ ජනප්‍රිය ය. වෙසක් පොහොය පිලිබඳ වැදගත් කම ගැන අමුතුවෙන් කිව යුතු නැතිවාක් මෙන්ම, යාල ජාතික වනෝද්‍යානය ගැනද අමුතුවෙන් විස්තර කල යුතු නැත.

ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ජාතික වනෝද්‍යාන 22ක් තිබේ. එදිනෙදා ජීවිතයේ කර්කෂ හා කාර්ය බහුලත්වයෙන් මිදී සැබෑම නිර්මල වූ පරිසරයක රස විඳීම සඳහා මෙම වනෝද්‍යානයන්හි සංචාරය කිරීමට ඇදී එන සංචාරකයින් බොහෝය.

මේ වනෝද්‍යානයකට ඇතුලු වීමේදී  අවසර පතක් ලබා ගන්නවා මෙන්ම, ඔබ විසින් පිලිපැදිය යුතු නීති රීති පද්ධතියක් වේ. එම නීති රීති පිලිබඳ කාරුණික ඉල්ලීම් රැගත් දැන්වීම් පුවරු, පිවිසුම් දොරටු අසලම සවිකර ඇති අයුරු ඕනෑම අයෙකුට දැකගත හැක. ඔබට මේ පුවරු කියවීමට හැකි අන්දමේ සාක්ෂරතාවයක් ද, කියවන දේ වටහා ගත හැකි බුද්ධියක් ද, වටහා ගන්නා දේ පිලිපැදිය හැකි සංවේදීභාවයක් ද වේ යැයි අපි සිතමු.

මේ සාක්ෂරතාව, බුද්ධිය සහ සංවේදීබව අපේක්ෂා කරනුයේ වනජීවී දෙපාර්තමේන්තුව කියන නිසාම නොවේ. මේ අපේ මහ පොලවේ උරුමයයි. අපේ අමිල සම්පතයි. දිනෙන් දින අවදානමට වැටෙන මේ පරිසර පද්ධතීන් රැක ගැනීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම මේ වනජීවීන් ද අප මෙන්ම මහ පොලවේ උරුමක්කාරයෝය. ඔවුන්ට ද තම පැවැත්ම සඳහා ඇති අයිතිය මිනිසාට මෙන්ම එක හා සමානය.

මේ දැන්වීම් පුවරුවල තිබෙන්නේ මොනවාද? ඉතා සරලව කීවොත්, ‘පිය සටහන් පමණක් තබා යන්න. සේයා රූ පමනක් රැගෙන යන්න.’

වන සතුන්ට බාධාවන ලෙස හැසිරීම, වන සතුන්ට කෑම දීම, මාර්ගෝපදේශකවරයා ගේ අවසරයෙන් තොරව ගමන් කරන වාහනයෙන් බිමට බැස ඇවිදීම තහනම්ය.

නමුත් අවාසනාවකට පාලිත තෙවරප්පෙරුමට මේ කාරණා එකක්වත් වැටහී නැත. නොඑසේ නම් ඔහු ඒවා ගණනකට ගෙන නැත. ඔහු වන සතුන්ට පාන් බෙදන්නේ ඇයි? පාන් යනු වන සතුන්ගේ ස්වභාවික ආහාරයක් නොවේ. ඡායාරූපවල පෙනෙන්නට ඇති පරිදි වන සතුන් කලබල වී සිටිනු පෙනේ. ඔහු හරියට තම ගෙමිදුලේ ඇවිදින්නාක් මෙන් ඇවිදිමින් සතුන්ට පාන් බෙදයි !

කරුණු කිහිපයක් මතක් කල යුතුය. පසුගිය දිනවල ගොවි ජනතාවගේ උද්ඝෝෂණ අපි ඕනෑ තරම් දුටුවෙමු. වගා කරන ඉඩම් ප්‍රමාණය අක්කර ලක්ෂයකින් කපා හරින බව කෘෂිකර්ම ඇමති පැවසුවේ, ඒ සෑම කන්නයකටම ගොඩ ගැසෙන වී හාල් කන්නට ඕනෑ නිසා බවයි. ඒ එක හේතු දැක්වීමකි. තිරිඟු පිටිවල මිල වැඩිවී ඒ අනුව පාන් මිල ද වැඩිිවීය. ඒ ගැන රජයේ දේශපාලකයින් කීවේ ජනතාව බත් කෑමට උනන්දු කල යුතු නිසා පිටි මිල සහ බේකරි නිශ්පාදන වල මිල ඉහල දැමූ බවයි. ඉතින් කරුණු මෙසේ තිබියදී, මහජනතාවට ‘පාන්’ කියා ගැනීමට බැරිව සිටිද්දී, පාලිත තෙවරප්පෙරුම වන සතුන්ට පාන් කවයි.

මේ පාන් අලුත් ඒවාද? එසේ නම් වියදම? කනවාද නැත්ද නොදැන වන සතුන්ට අලුත් පාන් දෙන වේලේ මේ පාන් එදා වේල කන්නට නැති දිලිඳු ජනතාවකට බෙදා දෙන්නට තිබුනි. සමහර විට එවන් අසීරුතාවලින් පෙලෙන ජනතාවක් අද ශ්‍රී ලංකාවේ නැතැයි රජයේ අනිත් දේශපාලකයන් සේම ඔහු ද සිතනවා විය හැකිය. මන්ද ඔවුන්ට අනුව මේ වන විට රට සුඛිත මුදිත වෙමින් පවතින නිසාය.

නැතිනම් මේ පාන් පරණ ඒවාද? එසේ නම් කල් ඉකුත් වූ ආහාර මෙසේ වන සතුන්ට දීමෙන් ඔවුන්ට හානි සිදුවිය හැක. ඊලඟ කාරණය මෙසේ ආහාර ලබාදී වන සතුන් ඊට පුරුදු කල විට ඔවුන්ද ඔය දේශපාලකයින්ගේ ගණනට වැටෙනු ඇත. එනම් තමන්ට අවශ්‍ය දේවල් බලහත්කාරයෙන් ලබා ගැනීමේ පියවරයි. ඔබ සමාජ වෙබ් අඩවිවල වීඩියෝ පට නරඹයි නම්, යාල වනෝද්‍යානයේදී ආහාර ඉල්ලමින් සෑම වාහනයකටම හොඬය දමන ඇතා පිලිබඳ වීඩියෝ පටය හුරු පුරුදු දසුනක් වනු නොඅනුමානය. මේ මෙසේ අවිධිමත්ව ආහාර ලබා දීමේ ප්‍රතිඵලයකි. කවර මොහොතක හෝ මේ සත්වයා අතින් සංචාරකයෙකුට අනතුරක් වීමේ අවදානම තිබේ. මන්ද තමා බලාපොරොත්තු වන ආහාර නැති විට මේ සතා කෝප වීමටද ඉඩ ඇත. මේ තත්වය උඩවලව ජාතික වනෝද්‍යානයේ මායිමේද දක්නට පිලිවන. සෑම මීටර් 50 ක දුරකටම ‘වන සතුන්ට ආහාර දීමෙන් වලකින්න ‘ යන දැන්වීම් පුවරු තිබියදී, මිනිසුන් ඒ නොදුටු, නොඇසු ලෙසින් එම වරදම සිදුකරති. මුලින් සිටි එක අලියා වෙනුවට දැන් දැන් කිහිප දෙනෙකුම, සොයාගෙන කනවාට වඩා පහසු වූ මේ ක්‍රමයට ඇබ්බැහි වී ඇත. එනම් මෙවන් ක්‍රියා තුලින් වන සතුන්ගේ ස්වභාවික චර්යාවන් පවා වෙනස් වීමද සිදුවිය හැක. එය මේ සතුන්ගේ නොව අදූරදර්ශී මිනිසුන්ගේම වරදයි.

rulesofthejungle

වැදගත්ම කරුණ වන්නේ වනෝද්‍යාන තුල සංචාරය කරන්නන්ගේ හැසිරීම සම්බන්ධයෙන් මෙතරම් නීති රීති තිබියදී, පාලිත තෙවරප්පෙරුම නම් දේශපාලකයාට මෙම නීති බල නොපෑවේ කෙසේද? ඒ ඔහුගේ දේශපාලන බලයේ අනුහස විය හැක. රාජ්‍ය බලය අත තිබෙන විට ඔවුන් සිතන්නේ මේ රට තුල තමන් රිසි තැනක තමන් රිසි දෙයක් කල හැකිය කියායි. ඔවුන්ගේ බුද්ධි පරාසයේ දිග පලල අනුව මේ ක්‍රියාවන්හි ප්‍රතිඵල වඩාත් හානිදායක වෙයි. මේ පාන් දන්සැලට උද්‍යාන භාරකරුගේ අනුමැතිය ලැබුනේ කෙසේද? වනජීවී නියාමන නිළධාරීන්ගේ අනුග්‍රහය ලැබුනේ කෙසේද? හරි නම් වනජීවී සංරක්ෂණ කටයුතු භාර ඇමතිවරයා මේ ගැන නිසි පියවරක් ගත යුතුය. 

දේශපාලකයින් තම බලය පාවිච්චි කරමින් වනෝද්‍යාන සංචාරක බංගලාවන් අරක්ගෙන තිබූ යුගයක් 90 දශකයේ මුල් භාගයේදී තිබිනි. එකල ඔවුන්ටත්, ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ටත් හැර වන සංචාරක බංගලාවක ඉඩක් ලබා ගැන්ම සාමාන්‍ය ජනතාවට අසීරු වීය. දැන් දැන් වෙනස් මුහුණුවරකින් පැමිනෙන මෙවන් බලය අවභාවිතාවන් ඔස්සේ, මේ ආකාරයට අනිත් අයත් වන සතුන්ට දන්සැල් දමන්නට සැරසුණහොත්, තව ටික කලක් ගතවන විට ජනතාවට වන සංචාරයක් අතරතුර වනෝද්‍යානවල ඇති සොබා සුන්දරත්වය විඳිනු වෙනුවට, ආහාර උදුරා ගන්නට හොඬය හෝ අතපය පොවන වන සතුන්ට බයේ මිරිකී වාහන තුල ගුලිවී ඉන්නට සිදුවනු ඇත.

වෙසක් සමය ලඟ එන නිසාත්, දන්සැල් බහුල කාලයක් එලැඹෙන නිසාත්, ඔවුන්ගේ අනුගාමිකයන්ටත් ඔය අදහස පහල වීමට පෙර වන සතුන්ට මෙවැනි දන්සල් දීම වැලැක්වීම සම්බන්ධව යම් පියවරක් ගන්නේ නම් යහපත්ය.

නැවත සිහිපත් කරමි. වී අයි පී ලේබලය අලවාගෙන සිටියත් දේශපාලකයින් ද, අන් හැමෝම මෙන් හිස, අතපය හතර සහිත සාමාන්‍ය මිනිසුන්ය. ඔවුන් ලඟද පෙර සඳහන් කල සාක්ෂරතාවය, සංවේදීභාවය සහ බුද්ධිය තිබිය යුතුය. විශේෂයෙන් වී අයි පී නිසාම ! එබැවින් දේශපාලන බලයෙන් මත්ව තමන්ට රිසි පරිදි කටයුතු කිරීම, වනෝද්‍යාන තුලදීවත් වලකා ගන්නේ නම් මැනවි. මන්ද මිනිසුන්ට සිදුවන බලපෑම් නම් සාධාරණීකරනය කල හැක්කේ ඔය පිරිසගේ හැටි දැන දැනම චන්දය ලබා දී ඔවුන්ව ඔය තැනට ගෙනාවේ මිනිසුන්ම වන බැවිනි. නමුත් වන සතුන්? උන් සම්පූර්ණයෙන්ම නිර්දෝශය. මේ, උන් කිසිවකුගේත් තේරීම නොවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress