මලයනාඩුවට මුල්ගල් තැබෙයි
Posted on May 6th, 2016

මතුගම සෙනෙවිරුවන්

යහපාලන රජයේ කැබිනට්ටුවේ තිබෙන විශේෂිත අමාත්‍යංශයක් ලෙසට උඩරට නව  ගම්මාන සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය හඳුන්වා දිය හැකිය.එහි අරමුණ නම් උඩරට කඳුකරයේ වතු ආශ්‍රිතව ජීවත්වන දෙමල වතු කම්කරුවන් උදෙසා නිවාස යෝජනා ක්‍රම ඇතුලත් ගම්මාන පිහිටුවීමයි. ඉඩම් ලබාදීමත් නිවාස සකස් කිරීමත් යහපත්ය. නමුත් 1951 උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම් වාර්තාව ප්‍රකාරව ඉංග්‍රීසීන් ගේ වතු වගාව නිසා ඉඩම් අහිමි කරවනු ලැබූ සිංහල ජනතාව වෙනුවෙන්  මීට කලින් නිසි පියවර ගත යුතුව තිබුණි.නිදහසින් පසුව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් වූ අදහස් මත පිහිටුවනු ලැබූ මේ කොමිසම මගින් ඉදිරිපත් කරන ලද වාර්තාව පරිපූර්ණ වාර්තාවක් ලෙස විද්වතුන් සලකයි. එහි සභාපතිවරයා වූයේ එන්.ඒ. වීරසූරිය මහතාය. ලේකම් වරයා වී.තෙන්නකෝන් මහතාය. ටී.බී.පානබොක්කේ එච්.ආර්.යූ. ප්‍රේමචන්ද්‍ර සහ සී.ඊ.ආටිගල මන්ත්‍රීවරය එහි සෙසු සමාජිකයන් වූහ. 1951 පෙබරවාරි 28 දින නිකුත් වූ මෙම වාර්තාව තුළින් උඩරට ජනතාව මුහුණ දෙන ගැටළු රාශියක්ම හඳුනාගෙන තිබුණි. එයින් ප්‍රධානතම ගැටළුව ලෙසට මෙම කොමිසම නිර්දේශ කොට  ඉදිරිපත් කර තිබුණේ  ඉඩම් නොමැතිකමයි. මධ්‍යම පළාතේ සහ ඌව පළාතේ වතුවලට ආන්තිකව පවතින පැරණි සිංහල ගම්මානයන් තුළ මෙම ප්‍රශ්ණය වඩාත් උග්‍රව පවතින බව ප්‍රකාශ විය.එහිදී ඔවුන්ගේ පළමුවන නිර්දේශය වූයේ රජය සතු ඉඩම් ලබාදීමය. දෙවැන්න පවත්නා වතු ඉඩම්වලින් කොටසක් ලබා දීමය. එසේම අළුතින් නිර්මාණය කරන ජනපද ඉඩම් ලබාදීම සේම ඉඩම් භුක්ති ක්‍රමයේ සංශෝධනයක් ඇතිකිරීමය.

1951 සිට වත්මන් 2106 වසර දක්වා ගෙවී ගිය කාලය සලකා බලන කල්හි මේ මූලික නිර්දේශයන් ඉටුව ඇත්නම් ඒ අල්ප වශයෙනි.වසර හැටපහක් තිස්සේ විශාල වශයෙන් සමාජ දේශපාලන මෙන්ම සංස්කෘතික පරිවර්තනයන් සිදුව තිබේ. එහිදී කොමිසම නිර්දේශ කළ සෙසු කාරණා වන යටිතල පහසුකම් ඇති කිරීම යම් තරමකින් සිදුවී තිබේ. නිදහස් අධ්‍යාපනයේ අරුණළු වැටීම නිසා මේ කඳුකරයෙන් බිහිකරන ලද උපාධිධාරීන් බොහෝය.ගාමිණී දිසානායක මහතා මහවැලි සංවර්ධන අධිකාරිය පිහිටුවාලීමෙන් පසු උඩරට පසු පරම්පරා රාශියක් එම ප්‍රදේශ වලින් බැහැර කොට යෝජිත මහවැලි පෙදෙස් වලට යැවූහ. නමුත් මධ්‍යම ඌව මෙන්ම සපරගමුව පළාත් වල ආදී උඩරැටියන්ගේ දරුමුණුපුරන් හට තමන්ගේ භූමිපුත්‍ර අයිතිය ලබාදීමට කටයුතු නොකළහ. චන්ද්‍රිකා රජය මගින් උඩරට සංවර්ධන අධිකාරිය පිහිටුවා ලීමෙන් පසුව මේ සම්බන්ධයෙන් යම් යෝජනා ඉදිරිපත් වුවද බිම් තලයේ ක්‍රියාත්මක නොවූයේ එය දේශපාලන ග්‍රහණයට අසුවීම නිසාය. ඉංග්‍රීසින් විසින් ලංකාවට ආනයනය කරන ලද මෙම වතු කම්කරුවන් වර්තමානය වන විට සිංහල හා දෙමළ දෙශපාලඥයන්ගේ ඉත්තන් බවට පත්ව තිබේ. සිය චන්ද පදනම රැක ගැනීම සඳහා මේ පිරිස භාවිතා කිරීම සිදු වෙයි.ගාමිණී දිසානායක මහතා උඩරටින් ඉවත් කරන ලද සිංහලයන් වෙනුවට එම හිස්තැන පිරවීමට සමත්වූයේ මෙම වතු කම්කරුවන්ය. උඩරට නව ගම්මාන අමාත්‍යංශයක් පිහිටුවීමට වත්මන් රජය කටයුතු සිදු කලේ මේ වතු කම්කරුවන්ට සලකා චන්දය ලබා ගැනීමටයි.මෙය ආරම්භ කරන ලද්දේ 2015 අගෝස්තු මසදීය. නාවලපිටිය බණ්ඩාරවෙල රත්නපුරය වැනි පෙදෙස් වල  වතු කම්කරුවන්ට සින්නක්කර ඔප්පු ලබාදීම නිසා එක්සත් ජාතික පක්ෂයේ චන්ද පදනම පුළුල් විය.

හදබිම අධිකාරියේ අධ්‍යක්ෂකවරයාව සිටි හිටපු සිවිල් නිළධාරියෙකු වූ උඩරට ජ්‍යෙෂ්ට පුරවැසි සංගමයේ සභාපති සුදත් ගුණසේකර මහතා කාලයක් තිස්සේ මේ ප්‍රශ්ණය උදෙසා දේශපාලන තලයේ කටයුතු කළ කෘතහස්ත සිවිල් නිළධාරියෙකි. මේ සම්බන්ධව ඔහුගේ අදහස මෙසේය.    1848 සිංහලේ විමුක්ති අරගලයෙන් පසුව එවකට යටත් විජිත භාර ලේකම් වරයාව සිටි එමර්සන් ටෙනන්ට් මහතා 1848 අගෝස්තු මස 14 දින ටොරින්ටන් ආණ්ඩුකාරතුමාට ලියා යවා ඇත්තේ උඩරට ජනතාව එම කැරලි ඇතිවූ ප්‍රදේශ වලින් ඉවත්කර ඔවුන්ගේ ඉඩම්වල ඉන්දීය කම්කරුවන් පදිංචිකරවිය යුතුය කියාය. මෙම ලිපිය 1850 ලංකාව පිළිබඳ තෙවනි වාර්තාවේ පිටු අංක 258 හි  අඩංගුව තිබේ.සැබවින්ම 1949 දී උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම පිහිටවූයේ අසාධාරණයට ලක්වූ උඩරට සිංහල ජනතාවට සහන සැලසීමේ අරමුණිනි. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම් වාර්තාව පිට වුනේ 1951 දී. 1815 ඉදන් උඩරට ජනතාව මුහුණ දුන් නොයෙකුත් ජීවන කම්කටොලු වලට විසඳුම් යෝජනා ඇතුලත් මේ වාර්තාව මගින් කියැවුනේ අගමැතිවරයා යටතේ විශේෂ දෙපාර්තමේන්තුවක් පිහිටුවා උඩරට ජනතාවට සහන සලසා දිය යුතු බවයි. නමුත් 1951 සිට 1957 දක්වාම එය ඉටු වූයේ නෑ.1954 නේරු කොතලාවල ගිවිසුම අනුව වතු කම්කරුවන් සිංහල ඉගෙන ගෙන සිංහල අයටඑක් විය යතු යයි කොන්දේසියක් දැම්මා.එහෙත් එයද ඉටු වූයේ නැහැ.

සිරිමාවෝ මැතිනිය 1962 දී පමණ උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව පිහිටුවා එයට කොමසාරිස්වරයෙකු පත් කලා . නමුත් අරමුණු කරා ළගා වන්ට බැරි වුණා. පසුව1970 දශකයෙන් පසුව වරින්වර මෙම දෙපාර්තමේන්තුව ඇමතිවරු යටතේ පාලන වුණා. නිළධාරීන් පත් වුණා. ගාමිණි දිසානායක මහතාගේ කලයේදී එම දෙපාර්තමේන්තුව පවරා ගෙන පාරවල් සෙල්ලම් පිට්ටනි මෙන්ම විදුලි බලය ලබා දීමත් කලා මිසක් උඩරට ජනතාවට ඉඩම් ලබා දුන්නේ නැහැ. වික්ටෝරියා රන්දෙණිගල ආදී ජලාශ වලට යටවුණු පාරම්පරික සිංහල ගම්මාන වෙනුවට මහවැලියෙන් ඉඩම් ලබා දුන්න පමණයි.  තොන්ඩමන් මහතාගේ බලය උපරිම අන්දමින් තිබුණු බැවින් දෙමළ චන්ද වලට කෑදර කමින් සිංහලයන්ට නොසැලකූ බව කිව යුතුයි.1987 දී ජේ.ආර්.ජයවර්ධන මහතා මුද්දරයක් උඩ අත්සන් ගෙන දිව්රුම් පෙත්සමක්  ලබාගෙන මේ වතු කම්කරුවන්ට පුරවැසි කම දුන්නා. චන්ද්‍රිකා මැතිණිය බලයට පත්වූ පසු එවකට මා කටයුතු කළ අග්‍රාමාත්‍ය ලේකම් වරයා ලෙස ඉල්ලීමක් කළා ඉතා ඉක්මනින් උඩරට සංවර්ධන අධිකාරියක් පිහිටුවන ලෙසට. පසුව කැබිනට් පත්‍රිකාවක් මගින් එය පිහිටවනු ලැබුවා.එහෙත් මෙකී අරමුණු ඉටු කරන්නට බැරිවුණා. මා හදබිම අධිකාරියේ අධ්‍යක්ෂකවරයා ලෙසට පත්වූ කාල වකාවානුවේදී මේ අරමුණ වලින් කීපයක්ම ඉෂ්ට සිද්ධ කර දෙන්නට හැකියාව ලැබුණා.2014 දී හිටපු රජය උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව විසිරුවා හැරියා. දැන් උඩරට නව කඳුකර ගම්මාන අමාත්‍යංශයක් පිහිටුවන්නේ මේවා කිසිත් නොදැන අහසින් වැටුණ වගේ නේද.පසුගිය දිනක ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ.සිං. උඩරට වතුකරයට ගොස් මේ මලයනාඩුවට මුල් ගල් තැබුවා. ඒකට බෙරපදය ගහන්නේ උතුරේ මහ ඇමති විග්නේශ්වරන්.පාර්ලිමේන්තුවේ සිංහල මන්ත්‍රී වරුන් කී දෙනෙක් සිටිනවාද.ඔවුන් ගෙන් කී දෙනෙකුට මේ ගැටළුව තේරෙනවාද යන්න ප්‍රශ්ණයක්.

1960 මැතිවරණයේදී නුවරඑළිය චන්ද කොට්ඨාසයෙන් පත්වූ ටී.විලියම් ප්‍රනාන්දු මහතා  උඩරට ජනතාව මුහුණ දුන් මෙම ප්‍රශ්ණයට සාර්ථකව පිළියම් යෙදූ පුද්ගලයෙකි. නුවර එළිය ආශ්‍රිතව ශාන්තිපුර ගාමිණි පුර ඇතුළු ගම්මාන රාශියක් ඇති කිරීමට අත්තිවාරම් දැමූ ඔහු සිංහල දෙමළ සමගිය වෙනුවෙන් දූරදර්ශී ලෙසට කටයුතු කල තැනැත්තෙකු ලෙසින්ද ප්‍රකටය. අද ඔහු ජීවතුන් අතර නැතද ඔහුගේ පුත් රංජිත් ප්‍රනාන්දු මහතා සිය පියාගේ විශිෂ්ට කාර්යභාරය පිළිබඳ දක්වා සිටියේ මෙසේය.මගේ පියා වතු වල කාර්මික වැඩට පැමිණි බාස් කෙනෙක්. ඔහු පහතරටින් පැමිණියත් උඩරට පවතින ඉඩම් හිඟය දුටුවා. ඒ අනුව ඔහු සේවය කළ ඔලිපන්ට් වත්තට යාබද ව තිබූ කිකිළියාමාන කඳුකරයෙන් ඉඩම් ලබාගෙන ගම්මානයක් සෑදීමේ අභිප්‍රායෙන් කටයුතුකළද වතු සුද්දන් සහ එවකට සිටි ඉඩම් ඇමතිවරුන් නිළධාරීන් එයට කැමති වූනේ නැහැ. නමුත් දැඩි කැපවීමෙන් කටයුතු කිරීමෙන් පසු බණ්ඩාරනායක මහතාගේ ආශිර්වාද ඇතිව පළමු ගම්මානය ලෙස ශාන්ති පුරය 1959 වසරේදී ආරම්භ කරනු ලැබුවා. උඩරට කඳුකරයේ උසම ස්ථානයේ පිහිටා තිබෙන බැවින් සියළුම රට වැසියන්ට ශාන්තිය පිණිස මෙම ගම්මානය ආරම්භ කිරීම ඔහුගේ ප්‍රාර්ථනාව විය.මෙම නාමය බිහිකලේ එවකට අශෝකාරාමයේ වැඩසිටි පූජ්‍ය ඌරුගමුවේ සේනානන්ද නායක හිමියන්. අනතුරුව සිරිමා බණ්ඩාරනායක රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඔහු ගාමිණි පුර අභයපුර වැනි ගම්මාන දහතුනක් නිර්මාණය කලේ මහත් කැපවීමෙන්. මේ ගම්මාන වල සිංහල දෙමළ භේදයක් තිබුණේ නැහැ.සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ළමුන් එකතු කර පස්වග ළමුන් නමින් ළමා සමාජයක් ආරම්භ කොට අනාගතයේදී එක්ව විසීමේ ගුණාංග පෙන්වා දුන්නා. නමුත් ඔහු රටේ ජන අනුපාතය අනුව පමණයි අන්‍ය ජාතිකයන් පදිංචි කලේ. පසු කාලයේදී එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වූ පසු සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවට යන්නට සිටි දෙමළ වතු කම්කරුවන්ද මෙහි නවතා ගෙන මගේ පියාගේ වැඩ සටහන් කඩාකප්පල් කර දැමූ බව කිව යුතුයි.වර්තමානයේ පිහිටුවා තිබෙන උඩරට නව කඳුකර ගම්මාන අමාත්‍යංශයේ වැඩ පිළිවෙල මගින් යළිත් දෙමල ජාතිවාදය ඇති වීමට මග පාදනවා.උඩරට ඉඩම් අහිමිව සිටින සිංහල ජනතාවට මෙයින් සෙතක් නම් වන්නේ නැහැ.

මතුගම සෙනෙවිරුවන්

2 Responses to “මලයනාඩුවට මුල්ගල් තැබෙයි”

  1. Christie Says:

    මතුගම සෙනරුවන්; 1951දී ඉන්දියානු අදිරදය බන්ඩට සල්ලි දීල 1956දී සින්හලයට වැඩේ දුන්නෙ උඩරට ගැමි කොමිසම හා උතුර නැගෙනහිර සින්හලයන් නිසාය. ඉලන්ගරත්නගේ සිත්තර පටි වලට වියදම් කලේ මහවීදියේ ඉන්දියානු සිටුවරයෙකි.
    2015දී සිරිසේන පත්කලේද ඉන්දියාවය.

  2. Christie Says:

    මට මටහ්ක විදියට ඩී ඇස් ලගෙ කාලෙ සීතා පුර වගෙ නුවර එලියෙ ජනපද ඇතිකෙරුව.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress