මැයි දිනේ ‘ටිකිරි මොළේ’
Posted on May 6th, 2016

ධර්මන් වික්‍රමරත්න

තවත් මැයි දිනයක් නිමාවී අදට පස් දිනකි. කසකාරයෝද, පන්දම්කාරයෝද, වෙස් නැට්ටුවෝද, නිලමේලාද, කොටියා සහ වළහා ලෙස රඟපෑ නිරූපන ශිල්පියෝද, දෝලාවන් ඔසවාගෙන ගිය මිනිසුන්ද, වන්දි භට්ටයෝ ඇතුළු මෙකී නොකී සියලු දෙනා මෙවර ප්‍රධාන පෙළේ සෑම මැයි දින පෙළපාලියකම ගමන් ගත්හ. කම්කරු පන්තියේ ඉල්ලීම් 21 අතහැර 1964 ජුනි 11වැනිදා සමසමාජ පක්ෂයද ශ්‍රිලනිප ආණ්ඩුව සමඟ සන්ධාන ගතවීමෙන් පසු  1965 සිට සෑම මැයි රැළියක්ම පැවතුනේ කම්කරුවන්ගේ ශක්තිය පෙන්වීමට නොව ආණ්ඩු බලය පෙන්වීමට හෝ ආණ්ඩු බලය ලබාගැනීම සඳහාය.

හවුල් ආණ්ඩුවේ මැයි රැළි දෙක වෙන් වෙන්ව පැවතියේ එජාප රැළිය කැම්බල් පිටියේද ශ්‍රිලනිප නෛතික පාර්ශවය රැළිය ගාල්ලේ සමනල පිටියේද වශයෙනි. ශ්‍රිලනිප ජනතා පාර්ශවය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය කිරුළපන පිටියේද ජවිපෙ මැයි රැළිය බී.ආර්.සී පිටියේද, පෙරටුගාමී පක්ෂයේ මැයි දිනය කොටුවේද පැවැත්විණි. මෙම මැයිදින රැස්වීම් සඳහා සහභාගිවූ සෙනඟ ප්‍රමාණය ඇතැමෙකුට වාද පිටියකි. තවකෙකුට රතු ඉරකි. තවත් අයෙකුට 360කින් කැරකීමකි. පොදු සමාජයට බලය පෙන්වීමකි. එදා මෙන් නොව වර්තමානයේ පැවැත්වෙන රැස්වීම්වලදී කුඩා ගුවන් යානයක් සේ ගුවනේ සැරිසරන කොඩ්කොප්ටර් හෙවත් ඒරියල් වීඩියෝ කැමරා(කේලමා කැමරාව) මගින් ලබා ගන්නා විඩියෝ දර්ශන මගින් කිසිවෙකුට පැමිණි සෙනඟ පිළිබඳව බොරු කිරීම අසීරුය.

dharman0605161

මෙවර දැවැන්තම මැයි දින රැළිය පැවතියේ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කිරුළපනදීය. එම පිටියේ පමණක් නොව හයිලෙවල් පාරේ දකුණු පසින් රේල්වේ ඇවනිව් දක්වාද වම්පසින් කිරුළපන පාලම දක්වාද මහා මාර්ගය දෙපසම රැස්වීමට පැමිණි සෙනඟ එකම හිස් ගොඩක් විය. දෙවන තැන ගත්තේ එජාපයේ කැම්බල් පිටියේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පැවති මැයි දින රැස්වීමය. තෙවන තැන ගත්තේ ගාල්ල සමනල ක්‍රීඩාංනයේ පැවති ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ මැයි රැළියයි. එහි වේදිකාව ගසා තිබුණේ බස් නැවතුම්පොල අසළය. සිව්වන තැන ජවිපෙ රැළියටය. වඩාත් ආකර්ශනීය මැයි පෙළපාලිය වෙනදා මෙන්ම මෙවරද ජවිපෙනි. පස්වැනි තැනගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය මෙන්ම පෙළපාලියද වෙනදාට වඩා සිත් ඇද ගන්නා සුළුය. ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලිය එක් ස්ථානයක් පසුකරයෑමට පැය 4කට අධික කාලයක් ගත් අතර එය මංතීරු දෙකේම යන දැවැත්තම පෙළපාලියක් බවට පත්විය. නාරහේන්පිටින් පස්වරු 1ට ආරම්භවූ එම පෙළපාලියේ අවසාන කොටස කිරුළපන පිටිය දෙසට එනවිට රෑ බෝවී තිබිණි.

dharman0605162

මැයි දිනයට පෙර ඒකාබද්ධ විපක්ෂයට හවුල් ආණ්ඩුවේ දෙපාර්ශවයෙන්ම අරියාදු සහ තර්ජන රැසක් විය. නාරහේන්පිට ශාලිකා පිටිය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය රැස්වීම්වලට වෙන්කර ගත්තත් ඒවා තහනම් විය.  ලංගම බස්රථ 3,500ක් මැයි දින රැස්විම් සඳහා සෙනඟ ගෙන ආවද ඒකාබද්ධ විපක්ෂයේ පිරිස්වලට එම බස්රථද තහනම් විය. ඔවුන්ට සිදුවූයේ පෞද්ගලික බස්රථ පරිහරණය කිරීමටය. ශ්‍රිලනිප සංවිධායක තනතුරු වලින් ගිතා කුමාරසිංහ බෙන්තර ඇල්පිටියෙන්ද සාලින්ද දිසානායක හිරියාලෙන්ද ඉවත්කර තිබිණි. මෙවැනි මොන්ටිසෝරි වැඩ කෙරුවද කිරුළපනට පැමිණි ලක්ෂ ගණන් ජනයා නතරකල නොහැකි විය. ගාලු රැස්වීම පැවැත්විම නිසා අධිවේගි මාර්ගයේ නොමිලේ යෑමටද එදින සැමට වාසනාව උදාවිය. ජීවිතයේ ප්‍රථමවරට අධිවේගී මාර්ගයක ගිය ගමේ ඇත්තන්ටද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සංවර්ධනය සියසින්ම දැකගැනීමට හැකිවිය. ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන ශ්‍රිලනිප වෘත්තීය සමිති ක්‍රියාකාරින්ටද දැඩි මර්ධනයක් දියත් විය. මැයි දින රැස්වීම් සහ පෙළපාලි නිමවීමෙන් පසු හවුල් ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ලෝකෙට පරකාසේය. ගෙදරට මරගාතේය. කොටි ත්‍රස්තවාදීන්ගේ 30 වසරක යුද්ධය මුළුමනින්ම පරාජය කල 5වැනි ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කළේය.  ඒකාබද්ධ විපක්ෂයේ කිරුළපන රැස්වීමේ කථාවක් පැවැත්වීමේ ‘වරදට’ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන්කුමාරගේ වැඩ තහනම් කර ඇත. කාර්යාලයට සීල් තබා ඇත. ගීතා කුමාරසිංහගේ ගාළු දිසා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති කම අහිමිකර ඇත. දියවන්නාවට ගිය බෙන්තර ගඟෙන් එපිට යකඩ ගැහැණිය ලෙස ඇය පත්ව ඇත. කිරුළපනට කැකිරාවේ සිට ආ සියළු පෞද්ගලික බස්රථවල මගී ප්‍රවාහනය සතියක් යනතුරු තහනම්ය. සංහිදියාව රට තුළ තබා ශ්‍රිලනිප තුළවත් නැත. ‘යහපාලන’ හෝ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේවාටද?

dharman0605163

ශ්‍රිලනිප නියම උරුමක්කාරයන් සහ කරුමක්කාරයන් කවුද යැයි දැන් රටම දනී. ඉකුත් 2015 අගෝස්තු මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානය මහින්ද රාජපක්ෂගේ මෙහෙයුම් නායකත්වයෙන් ආසන 83ක් ඡන්දදායකයින්ගේ කැමැත්තෙන් දිනා ගත්තේය. ජනතා ඡන්දයෙන් පත්වූ සංධානයේ මන්ත්‍රීවරුන් 83 දෙනාගෙන් 51 දෙනෙකු සිටියේ කිරුළපන රැළියේය. ඉතිරි මන්ත්‍රීවරුන් 32ම හවුල් ආණ්ඩුවේ ශ්‍රිලනිප නෛතික පාර්ශවයට එක්වී ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් වරදාන භුක්ති විදිති. සන්ධානයේ මන්ත්‍රීවරුන් 83 දෙනෙකු ජනතා ඡන්දයෙන් පත්වීම නිසා ජාතික ලැයිස්තුවෙන් හිමිවූ බෝනස් ආසන සංඛ්‍යාව 12කි. සදාචාර විරෝධී ලෙස ඒ සඳහා පත්වූයේ මහ ඡන්දයෙන් ජනතාව පරාජයකල සන්ධානය නියෝජනය කල ශ්‍රිලනිප නෛතික පාර්ශවයට පසුව එක්වූ අපේක්ෂකයින්ය. ඔවුන්ද දැන් හවුල් ආණ්ඩුවේ වරදාන භුක්ති විදින ඇමතිවරුන්ය. සන්ධානයේ ජනතා මතය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 51 කිරුළපන රැළියට එක්වූ අතර හවුල් ආණ්ඩුවේ වරදාන භුක්ති විදින මන්ත්‍රීවරුන් 32ක් බෝනස් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සමඟ එක්ව ඇමතිකම් වරදාන ගෙන ගාලු මැයි රැළියට එක්ව සිටියහ. වෙනස මාරය. ශ්‍රිලනිප හමාරය.

dharman0605164

ගාල්ලේ මැයි දින පෙළපාලිය සහ රැළිය සාර්ථක කරගැනීම සඳහා ශ්‍රිලනිප නෛතික පාර්ශවය හැකි සෑම ගැටයක්ම ගැසුවේය. ‘යහපාලන’ සංකල්පය සුනුවිසුණුකර විවිධ බරපතල චෝදනාවලට ලක්ව සිටි බලපිටියේ සජින් වාස් ගුණවර්ධන, අකුරැස්සේ ‘ශතකයේ පාටියක්’ දැමූ සාරුවා සුනිල්, කලාකරුවන්ට පහර දුන් හිරියාලේ කමල් ඉන්දික, මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපාකොටා මරාදැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මොරටුව නියෝජ්‍ය නගරාධිපති සුජිත් පුෂ්පකුමාර වැනි අයගේ පූර්ණ දායකත්වයද ලබා ගත්තේය. දැන් නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය. මේවට හිනාවෙන්නේ කොහෙන්දැයි හිතාගන්නවත් අමාරුය. අලි මදිවට හරක් කිවා සේ කම්කරු රැළියට කම්කරු පක්ෂයක නායකයායැයි කියන ඒ.එස්.පී ලියනගේද මා එනවා මා එනවා කියමින් ටයි කෝට් ගසාගෙන පැමිණියේය. ඒ.එස්.පී දේපල සමාගම කඩුවෙල ප්‍රදේශයෙන් මාධ්‍යවේදීන්ට දෙනවා කියූ ඉඩම් වසර 25ක් ගොසිනුත් තවමත් නැත.  මෙවැනි ඉඹලා පිළිගැනීමේ ක්‍රියා අහුමුළුවල තිබෙන කුණු ඇදගෙන කන පළාතම ගඳ ගස්සවන ගං කබරයාගේ තියරියේ වැඩය.

ප්‍රධාන පක්ෂ ධාරාවන්ගේ මැයි පෙළපාලි සහ රැළිවල තත්ත්වය එසේ වූවද වැඩකරන ජනතාව සතුරා සහ මිතුරා හොදාකාරව හඳුනාගෙන සිටී. එපමණක් නොව මිතුරු වෙසින් සිටින හතුරන්ද හඳුනාගැනීමට මෙවර අවස්ථාව ලැබිණි. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කීවා සේ බොරැල්ලේ සහ ගාල්ලේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වු හවුල් ආණ්ඩුවේ පාර්ශවයන් වන එජාපය සහ ශ්‍රිලනිප නෛතික පාර්ශවය ඊට පසුදා වැඩකරන ජනතාවට අපූරු තෑග්ගක් දෙනු ලැබිය. එය එකගෙයි කන හවුල් ආණ්ඩුවේ ‘ටිකිරි මොළවල’ වැඩය. එම තෑග්ග අනුව සියළු භාණ්ඩවල එකතුකල අගය මත බද්ද(වැට්) සියයට 15 දක්වා වැඩිකිරීමය.  මේ අනුව සාමාන්‍ය පවුලක මාසික වියදම රුපියල් 10,000ක ආසන්න මුදලකින් මැයි 2දා සිට වැඩිවනු ඇත. පොළොන්නරුවේ උත්සවයකදි අප්‍රේල් 18වැනිදා ජනතාවට බරක් වන අන්දමේ කිසිදු බද්දක් නොපටවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල ප්‍රකාශයේ වෙනසක් සිදුවී නැති බව මුදල් ඇමතිවරයා පවසා තිබේ. ඒ අනුව අගමැතිවරයා විසින් මැයි 2 සිට වැට් බදු වැඩිකිරීමේ යෝජනාව පෙර පරිදිම ක්‍රියාත්මක විය. එහෙත් ශ්‍රිලනිප මහලේකම්වරයා වන කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශයට රාජගිරියේ ගොඩනැගිල්ලක් වසර 5ක බද්දට රුපියල් කෝටි 134 යටතේ ගිවිසුමක් අත්සන් කර ඉන් අත්තිකාරමක් වශයෙන් රුපියල් කෝටි 57 ලබාගත් සිනමා නිළියනම් දිනුම්ය. ඒ ඇය ලබාගත් මුදල වැඩිවූ වැට් බද්දට අසු නොවූ නිසාය.

වැටි බද්ද මෙතෙක් බදු නොගැසූ භාණ්ඩ සහ සේවා රැසකටම සියයට 15ක් වශයෙන් අලුතින්ම බදු ගෙවිය යුුතුය. වැටි බදු වශයෙන් සියයට 11ක් කලින් ගෙව්වේනම් ඒ සෑම එකක්ම සියයට 15 දක්වා වැඩිවනු ඇත. එයට අමතරව දැනට ගෙවන ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2ක් එළෙසින්ම ගෙවිය යුතුය. දිනකට වෙළෙඳාම රුපියල් 34,000ක් නම් සෑම වෙළෙන්දෙක්ම වැට් බදු වශයෙන් සියයට 15ක් ගෙවීමට සිදුවන හෙයින් සියළු සිල්ලර බඩුවල මිල ඉහළ යනු ඇත. මේ සියළු වියහියදම් යන්නේ පාරිභෝගිකයන්ගේ කර මතින්ය. මෙය දරාගත හැකිද? සුළු වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යාහැකිද?

ජංගම සහ ස්ථාවර දුරකථන ග්‍රාහකයින්ට සිය මුදලින් අලුතින්ම සියයට 15ක් වැට් වශයෙන් ගෙවිය යුතුය. ෆ්‍රී වයිෆයි ගන්න ගිහින් ටෙලිෆෝන් බිලටත් කෙලව ගත්තා වගේ කියන්නේ මේවාටය. දැනටමත් දුරකථන ග්‍රාහකයෝ විවිධාකාර බදු සිය බිල්පත් මගින් ගෙවනු ලබයි. මේවා ඒවාට අමතරවය. විදුලි සහ ජල බිලටද දැන් සියයට 2ක ජාතිය ගොඩනැගීමේ බද්දකි. එය මින් පෙර තිබුණේ නැත. මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ විදුලි බිල වැඩිවන විට අපි ගෙවන්නේ නෑ කියා කැම්පේන් කල අය දැන් සිටිනුයේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙසය.  අලුත් බදු නිසා මාළුපාන් ගෙඩියක් රුපියල් 5කින් ඉහළටය. පොල්තෙල් ලීටරය රුපියල් 50කින් වැඩිය. මාගරීන් කිලෝ 20 රුපියල් 500කින් වැඩිය. ඉදිආප්ප, ආප්ප, බත් පැකට්, තේ කෝප්පේ ඇතුළු මෙකී නොකී සෑම දෙයකටම එක්වන වැට් බදු අගය යන්නේ පාරිභෝගිකයාගේ කර පිටිනි.

රටතුළ විරැකියාව යළි හිස ඔසවමින් පවති. එය ඉකුත් වසරේ සියයට 4.3 සිට 4.6 දක්වා වැඩිවී ඇත. උතුරු මැද පළාත් සභාවේ කාර්යාල සහායක තනතුරු 40ක් සඳහා ලැබුණු ඉල්ලුම්පත් සංඛ්‍යාව 9,460කි. ඉන් 250ක් උපාධිධාරින්ය. පියන් තනතුර සඳහා තෝරාගත් 40 දෙනා අතර ආර්ථික විද්‍යා විශේෂ උපාධිධාරියෙක්ද සිටි. මේ රටකට යන කල දසාවක හැටිය. ඒ අල්ල පනල්ලේ දියවන්නාවේ පට්ට සීන් එකකි. හිටපු ජනාධිපති රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබදව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රශ්ණයක් ඇසුවාට පසු පිළිතුර අගමැති ගෙනි. එයට හූමිටි තබන්නේ ඇමති සරත් ෆොන්සේකාය. කථානායකද විරෝධය නොතකා එයට ඉඩදෙනු ලබයි. අන්දරේ සිනි කෑවාක් මෙන් උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා උඩු පිනුම්ය. යටි පිනුම්ය. පනික්කියා නැති නිසා ගාල ගෝට්ටියකි. මැති සබේ ගැටුමක් ලේ පෙරාගෙන මන්ත්‍රී රෝහලේ කීවාට රෝහලට මන්ත්‍රී ඇතුල් වෙන්නේ ජංගම දුරකථනයෙන් කථා කරමින් සිනා සෙමිනි. එය එදා කුරුණෑගල කුඹුකේ ගැටුමෙන් පසු අලුත් පරපුරේ සමන්මලී ෆොන්සේකා එදා රෝහලේදී කල රඟපෑමද පරාදය. කෙසේ හෝ එවැනි එජාප මන්ත්‍රීවරයෙක් සිටින බව රට දැනගැනිමනම් හොදය.

අවසානයේ සිදුවූයේ හවුල් ආණ්ඩුවේ දෙපාර්ශයම එක්වී මැයි දිනයේදී ‘ටිකිරි මොළෙන්’ ජනයාගේ බඩවියතට ගැසීමය. හවුල් ආණ්ඩුවේ මැයි දිනයේ රස දැනෙන්නේ වැට් බද්ද සමඟ දැන්ය. තිත්ත කසායක් කිව්වේ මේවාටය. රසකර තැබුවත් මීපැනි කාඩි වෙන්නාක් මෙන් හවුල් ආණ්ඩුවද පල්වී දැන් නීරස බවට පත්වෙමින් තිබේ. වරදානගත් අය මොන රස වින්දද ඉදිරි  මැතිවරණවලදී ජනතාව රස දිවෙන් ඔවුන්ගේ තරම කිරා මනිනු ඇත. එක පිට එක වැදෙනකොට මිරිස් ගලත් දුවනවාලු.

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress