පලාලි වෙත ගුවනින්
Posted on May 11th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

උතුරේ යුද කඳවුරු වල සේවය කරන සොල්දාදුවන් ගේ මානසික සෞඛ්‍යය වර්ධනය කරනු පිණිස වැඩසටහනක් සම්පාදනය කරන ලෙස බ්‍රිගේඩියර් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෛද්‍ය නීල් ප්‍රනාන්දු ගෙන් සහ මගෙන් ඉල්ලීමක් කලේය​. ඒ අනුව උතුරේ යුද කඳවුරු වෙත ගොස් තත්වය සමාලෝචනය කිරීමට අප ඉටා ගතිමු. මේ සමයේ දීර්ඝ කාලයක් උතුරේ සේවය කල සොල්දාදුවන් අතර යුද ආතතිය රාජකාරී වෙහෙස හටගෙන තිබුණි.  මේ නිසා සොල්දාදුවන් කිහිප දෙනෙකු බංකර වලදී දිවි නසාගෙන තිබුණි.

අප දෙදෙනා රත්මලාන ගුවන් තොටුපළින් පරණ ඇන්ටනෝව් යානාවක නැගී පලාලි වෙත පියාසර කලෙමු. අප සමග නිවාඩු  ඉවරවී යළි කඳවුරු කරා යන සොල්දාදුවන් සහ නිලධාරීන් පිරිසක් ද වූහ​. මේ මගේ ප්‍රථම උතුරු චාරිකාව නොවේ. මීට ඉහතදී කිහිප වතාවක් මම ගුවනින් උතුරට ගියෙමි. එසේම වරක් කපිතාන් වෛද්‍ය උපාලි විජේරත්න සමග වාසවිලාන්හි  හමුදාව විසින් අත්පත් කරගත් නිවසක නැවතී ඉඳිමින් පලාලි රෝහලේ සෙබළුන් ගේ  මානසික ප්‍රතිකාර වලට  සහාය වීමටත් සෙබළුන්ට යුද ආතතිය පිළිබඳ දැණුවත් කිරීමේ දේශන පැවැත්වීමත් කලෙමි.

at palali

In Palali Hospital with Dr  Major S.L.S Kumarage

උතුරට ගුවනින් යන සෑම අවස්ථාවකම ගුවන් මගීන් තුල යම් බියක් චකිතයක් තිබේ. ඒ වන විට එල්.ටී.ටී.ඊ සංවිධානය ගුවන් නාශක මිසයිල ගසා ගුවන් යානා කීපයක් විනාශ කොට තිබුණි. 1995 දී පමණ මෙලෙස විනාශ කල ගුවන් යානයක ගමන් ගත් යුද හමුදා නිලධාරියෙකුගේ අවමංගල උත්සවයකට මම සහභාගී වූයෙමි. ඒ වන විට ඔහු ගමන් ගත් ගුවන් යානාවා කොටින් විසින් විනාශ කොට තිබෙන බව තහවුරු කොට තිබුණු නමුදු ඔහුගේ මිනිය ඥාතීන්ට භාර දී තිබුනේ නැත​. එය මෘතදේහයක් , මිනී පෙට්ටියක් නොතිබූ මළගමකි. මියගිය නිලධාරියාගේ මව සහ පියා ශෝකය , විමතිය , ආකූලතාව හිස දරාගෙන මරණ ගෙදර පැමිණි අමුත්තෝ පිළිගත්හ. ඉන් සුමානයකට පමණ පසු ඔවුන්ට මිය ගිය පුතාගේ අළු යැයි මුට්ටියක් ලැබුන අතර එය කාගේ අළුදැයි නොදත් නමුත් අවශ්‍ය ආගමික වතාවත් කොට  මළගම නිම කලහ​.

මේ ලංකාවේ එක්තරා භීම යුගයක කතාවකි. මේ නිසා ගුවනින් ගිය සොල්දාදුවන් නිලධාරීන් අවිනිශ්චිතතාව හිස දරාගෙන රත්මලානේ සිට පලාලි වෙත ගියහ​. කිසිවෙකු මේ ගුවන් ගමන් වලදී කතා කලේ නොමැති තරම් ය​. එසේම ඔවුනොවුන් එකිනෙකාගේ දෙනෙත් මග හැරිය අයුරු මම නිරීක්ශනය කලෙමි. සමහර නිලධාරීන් ගමන ආරම්භයේදීම පිරිටන් පෙති දෙක තුනක් බී නිදාගෙන ගමන් කලහ​. එහෙත් කිසිවෙකු ශාන්තව නිදාගත්තේ නැත​. වන්නි ප්‍රදේශය ඉහලින් පියාසර කරන විට ගුවන් නියමුවා ගිනියම් වූ යකඩ වලලු තුවක්කුවකින් මෙන් ගුවන් යානාවේ තිබෙන බටයකින් පහතට විදී. එය හීට් සීකිං ගුවන් යානා නාශක මිසයිල වල්මත් කිරීම සඳහාය​.

මෙම ගුවන් යානා බොහොමයක්ම පරණ අබලන් වූ ඒවාය​. සිමෙන්ති කොට්ටයෙන් ද කොමිස් ගැසූවන් ගුවන් යානා මිලදී ගැනීමේදී හතරවරම් ගැසූහ​. මේ නිසා කාර්මික දෝෂ මේ ගුවන් යානා වල නිතරම හට ගත්තේය​. කාර්මික දෝෂ නිසාද සෙබළුන් සහිත ගුවන් යානා ඇද වැටුනහ​. කොමිස් ගසා යූක්‍රයීනයේ කියෙව් නගරයේ සිට ගෙන එන පරණ ඇන්ටනෝව් යානා වල මලකඩ හූරා අලුතින් තීන්ත ආලේප කොට නව ඒවා මෙන්  පෙන්වූවද මේවා රීකන්ඩිෂන් බව සොල්දාදුවෝ දැන සිටියේ නැත​. වරක් රත්මලාන ගුවන් තොටුපලෙන් උතුර බලා යන ගුවන් යානාවකට නැගීමේදී මම එම ගුවන් යානය  දොරටුව අසල සිටි රුසියානු උප නියමුවාගෙන් මේ ගුවන්‍ යානය නද්යෝෂ්නය (බලාපොරොත්තු තැබිය හැකි) ගුවන් යානාවක් ද කියා රුසියන් බසින් ඇසුවෙමි. එම ප්‍රශ්නයට ඔහුට කේන්ති ගොස් ඔව් මේ ගුවන් යානය බලාපොරොත්තු තැබිය හැකි එකක් කියා තදින් කීවේය​.

කෙසේ නමුත් රුසියානු නියමුවන් කෑලි හැලෙන ගුවන් යානා  වූවද පියාසර කිරීමට දක්‍ෂයන් වෙති. රුසියානු නියමුවන්  ගැන බොහෝ කතා මා මිතුරු ගුවන් නියමු මෙල්වින් කුරුකුලසූරිය මා සමග කියා තිබේ. යුද්දයේ දී ඔවුන් ද දිවි පරදුවට තබා පියාසර කලහ​.

අපගේ ගුවන් යානය පලාලි ගුවන් තොටුපළ වෙත ආවේය​. අප අනෙකුත් සොල්දාදුවන් සමග මගී පර්‍යන්තය වෙත ගියෙමු. ඒ අතරවාරයේදී ගුවන් යානය මගින් ගෙන එන ලද එලවලු සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා කොලඹින් ගොස් සිටි නාට්ටාමිලා ගුවන් යානය වෙත දිව ආහ​.

විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු සහ මා  පිලිගැනීමට කපිතන් වෛද්‍ය මනෝජ් වීරසේකර පැමිණ සිටියේය​. ඔහු ජෙනරාල් ආනන්ද වීරසේකරගේ පුත්‍රයාය​. වෛද්‍ය මනෝජ් අප දෙදෙනාව ඔහුගේ නිල නිවාසයට ගෙන ගොස් දහවල් ආහාරයෙන් සංග්‍රහ කලේය​.

කෙටි විවේකයකින් පසු අප වැඩ ඇරඹුවෙමු. ගජබා ඒකකයේ කර්නල් උදය පෙරේරා ගේ (වර්තමානයේ ජෙනරාල්වරයෙකි) සංවිධානයෙන් අප සොල්දාදුවන්ට දේශන මාලවක් පැවැත්වූයෙමු. යුද ආතතිය හඳුනා ගැනීමටත් ඒ සඳහා ගතයුතු ක්‍රියා මාර්ග ගැනත් අප ඒකක වල නිලධාරීන් දැණුවත් කලෙමු. එසේම විශේෂ කාර්‍ය බලකායේ සෙබළුන් සඳහාද වැඩ සටහනක් කලෙමු.

මෙසේ දින කීපයක් පුරා අප දෙදෙනා පලාලි, වාසවිලාන් , නාගර්කෝවිල් , එළුතුමඩුවාල් යන ප්‍රදේශ වල  කඳවුරු වෙත ගියෙමු. මෙම දැණුවත් කිරීම් වලින් පසු තම තම ඛණ්ඩ වල යුද ආතතියේ ලක්‍ෂණ පෙන්වන සොල්දාදුවන් හඳුනා ගැනීමටත් ඔවුන්ව උපදේශන ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් නිලධාරීන්ට හැකි විය​. මේ නිසා බොහෝ විනාශ වැලැක්වීම සඳහා දායක්ත්වයක් දීමට මටත් විශේෂඥ මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු  මහතාටත් හැකි විය​.

මෙම වැඩසටහන සියයට සියයක් ක්‍රියාකාරී නොවූ බව සැබෑය​. සමහර ඒකක වල නිලධාරීන් සොල්දාදුවන් ගේ ප්‍රශ්න උපදේශනයෙන් නොව පරණ ක්‍රමයට කැත්තෙන් පොල්ලෙන් විසඳීමට ගොස් කඳවුරු වල වෙඩි තබා ගැනීම් , දිවි නසා ගැනීම් , හමුදාවෙන් ආයුද සහිතව පලා යාම් සිදු වූහ​. නමුත් බහුතරයක් නිලධාරීන් තුල ආකල්පමය වෙනසක් ඇති කිරීමට අපගේ වැඩසටහන් උපකාරී විය​. මෑතකදී මා සමග මුහුණු පොතෙන් කතා කල පාබල හමුදාවේ විශ්‍රාමික කර්නල් එස්. ටී.ඩී.පී රණසිංහ යුද සමය තුල සොල්දාදුවන් ගේ මානසිකත්වය ප්‍රශස්ථ මට්ටමකට තබා ගැනීමට ඔහුට අපගේ දේශන සහ පොත් උපකාරී වූ බව කීවේය​. ඒ පිළිබඳව මම අද සතුටු වෙමි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

2 Responses to “පලාලි වෙත ගුවනින්”

  1. Christie Says:

    Thanks Dr.

  2. Dham Says:

    Sri Lankans value your service to humanity and especially appreciate your struggle to educate higher officers about PTSD.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress