බෝගල පතලේ කම්කරු උපවාසය ජයග්‍රාහීව නිමවන ලකුණු :
Posted on May 11th, 2016

ධර්මන් වික්‍රමරත්න විසිනි –

ලොව හොදම මිනිරන් ඉල්ලම් ඇති පතලක් වන කොටියාකුඹුර බෝගල පතලේ සේවකයින් 192න් කම්කරුවන් 133න් දෙනෙකු 2016 මැයි 10වැනිදා උදේ 9ට වැඩවර්ජනය කරමින් ඇරඹූ උපවාසය තවමත් ක්‍රියාත්මකය. මෙම උපවාසය පොළව මට්ටමේ සිට අඩි 1650ක් යට සිට කරන අතර එයට පතල් සේවකයෝ 47ක් එක්වී සිටිති.

උපවාසකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් 60දෙනෙකු පමණ සමාගමේ ගේට්ටුව ඉදිරිපිට රැස්වී සිටිනු ලක්නට ලැබේ. වැටුප් වැඩිකිරීම, සේවක අයිතීන් කප්පාදු නොකිරීම, පැය 9 වැඩ මුරය වහා අහෝසි කිරීම අසනීප නිවාඩු 21 වහා ලබාදෙන ලෙස වර්ජකයෝ ඉල්ලා සිටිති. අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් වසන්ත සමරසිංහ මැයි 11වැනිදා උදෑසන එම ස්ථානයට පැමිණ පතලට බැස වර්ජකයින් සමඟ සාකච්ඡා පැවැත්විය.

dharman11051601

අනතුරුව සේවක සංගමය, කම්කරු දෙපාර්තමේන්තුව සහ සමාගමේ නිලධාරින් සමඟ සාකච්ඡාවක්ද පවත්වනු දක්නට ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ජනයට විසදුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. බෝගල සමාගම ලියුම්කරුට එහිදී පැවසූ පරිදි සාමාන්‍යයෙන් දැනට සේවකයෙකු වෙනුවෙන් මාසිකව රුපියල් 60,000ක මුදලක් වෙන්වත අතර ඉන් රුපියල් 40,000කට ආසන්න ගණනක් මුදල් වශයෙන් අතට ලැබේ.

dharman11051602

ජවිපෙට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය වර්ජනය මෙහෙයවූවද ඒ තුළ  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 6දෙනෙකු වඩාත් ක්‍රියාකාරීන් වශයෙන් කටයුතු කරති. මෙයට පෙර සේවකයෝ කෑම පැය විරෝධයක්ද පවත්වනු ලැබීය. බෝගල මිනිරන් පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ කියා සිටියේ ඉකුත් වසරට වඩා මේ වසරේ මුල් කාර්තුවේදී වඩා හොද ප්‍රගතියක් ලබා ඇති බැවින් එය සාර්ථකව පවත්වාගෙන යාමට හැකිවුවහොත් සේවක ඉල්ලීම් ලබාදීමට හැකිවන බවය.

dharman11051603

කොළඹ සිට කිලෝ මීටර් 130ක් දුරින් තිබෙන රුවන්වැල්ල ආසනටය අයත් බෝගල පතල ඕලන්ද පාලකයින් විසින් මතුකරගත් අතර එය 1847දී බ්‍රිතාන්‍ය යුගයේදී වැඩිදියුණු කරන ලදී. පසුකාලීනව  බෝගල පතලේ අයිතිය හිමිවූයේ දකුණු ඉන්දියාවේ චෙට්ටිනාත් සමාගමට වන අතර එය පසුව ජොයිස් ප්‍රනාන්දු පවුල විසින් මිලදී ගන්නා ලදී.

dharman11051605

පතක් කර්මාන්තයේදී 1971දී ජනසතු කර ඇති අතර ඒ යටතේ 1972දී මිනිරන් පතල් සංස්ථාව පිහිටුවූ අතර බෝගල, කහටගහ සහ කොලොන්ගහ පතල් ක්‍රියාත්මක විය. එජාප රජය 1991දී බෝගල පතල යළි පෞද්ගලික අංශයට විකුණූ අතර වර්තමානයේ එහි හිමිකම ඇත්තේ වසර 150ක ඉතිහාසයක් ඇති ජර්මනියේ ජී.කේ සමාගමටය.(The writer Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress