මම රෝගියාගේ ජීවිතය බේරුවෙමි; රෝගියා මගේ ජීවිතය බේරුවේය​.
Posted on May 13th, 2016

වෛද් රුවන් එම් ජයතුංග

මීගමුව රෝහලේ සේවයේ යෙදි සිටි කාලයේදී ලේ වහනය වන තදබල කැපුම් තුවාලයක් සහිතව වයස අවුරුදු 32 පමණ වූ පුද්ගලයෙකු ඇතුලත් කරන ලදි. මම වහාම ලේ ගැල්ම නවතා රෝගියාට අවශ්‍ය නිසි ප්‍රතිකාරය ලබා දුන්නෙමි. ඉන් පසු සති දෙකක් පමණ නේවාසිකව සිටි රෝගියා සුවවී යන්නට ගියේය​.

මේ සිදුවීමෙන් මාස අටකට නවයකට පසු මම වෛද්‍ය මෙරිල් සමග දිවා ආහාරය ගැනීමට මීගමුව නගරයට යමින් සිටියෙමි. මෙරිල් ඔහුගේ අළුත්ම නිසාන් මෝටර් රථය පදවමින් මා සමග සංවාදයේ යෙදෙමින් සිටියේය​. මේ අතර එක වරම පාරේ එක් පැත්තක සිට මහ පාරට ගැටවරයෙක් බයිසිකලයක් දැමුවේය​. මෙරිල් බයිසිකල් කරුවා බේරීම සඳහා වමට කැපුවද බයිසිකල්කරුද වම් පාර්ශවයට කැපූ හෙයින් දඩස් ගා ඔහුව මෝටර් රථයේ හැපුණි. බොනට්ටුව දිගේ ඉහලට ඇදී ආ කොල්ලා මෙරිල්ගේ රථයේ වින්ඩ්ස්ක්‍රීනයේ වැදී බිමට ඇද වැටුනේය​. එම ඝට්ටනය නිසා වින්ඩ්ස්ක්‍රීනය කැඩුනි.

rogiya

මෙය සිදු වූයේ පූජ්‍ය අබා කොස්තා පියතුමාගේ පල්ලිය ආසන්නයේ බව මට මතකය​. අණතුරත් සමගම පොලවෙන් එන මෙරු මෙන් මිනිසුන් පොදියක් වාහනය වට කර ගත්තෝය​. ඒ අතර වාහනයේ හැපුණු කොල්ලා අසීරුවෙන් නැගිටිනු මම දුටිමි. පිරිස අතර සිටි මොබ් මානසිකත්වය ඉහට ගැසූ සමහරක් වාහනය කුඩු කල යුතු බව සහ වාහනයේ ඉන්න එවුන්ට පහර දී පාඩමක් ඉගැන්විය යුතු බව කියමින් කෑගැසූහ​. මම සහ මෙරිල් අද දිනයේ හොඳ කෑමක් කන බව මට තේරුනි. කෙසේ නමුත් වාහනය ඇතුලේ සිට පණ පිටින් කරවී යනවාට වඩා එලියට විත් පිහි පාරක් හෝ කෑම වේදනාවෙන් අඩු විය හැකි මරණයක් බැවින්  මම වාහනයේ දොර ඇර එලියට ආවෙමි. මේ අතර තව තවත් පිරිස වාහනය වට කර ගත්හ.

එකෙහින්ම ” අඩෝ උඹලා පැත්තකට වෙයල්ලා ”  කියා යම් අයෙකු උස් හඞින් කීවෙන් මම ඒ පුද්ගලයා දෙස බැලුවෙමි. ” මොකද ඩොක්ටර් ප්‍රශ්නය ? කියා එම පුද්ගලයා මගෙන් විමසීය​. මම මොහොතක් කල්පනා කෙරුවෙමි. මේ හදිසි අවස්ථාවේ එතැනට ආවේ එදා මම ප්‍රතිකාර කල රෝගියාය​. මම සිදුවූ සිද්ධිය ඔහුට කීවෙමි. වරද ඇත්තේ බයිසිකල් කරුවාගේ බවත් ඔහු පාර දෙස නොබලා එකවරම බයිසිකලය පාරට දැමූ බව කීවෙමි.

බයිසිකල්කරුවා කෙඳිරිගාමින් මා දෙස බලා සිටියා මිසක් ඔහු අත වරද බව දැන සිටි නිසා කිසිවක් නොකීවේය​. ” අඩෝ මේ මීගමුව හොස්පිට්ල් එකේ ඩොක්ට කෙනෙක් උඹලා පල් පාට් දාන්ඩ එපා අරිද “ඔහු මෙසේ කියමින් වටවී සිටි පිරිස තල්ලුකර දැමුවේය​. පිරිස ඔහුට කීකරු වූ හෙයින් මේ පුද්ගලයා මේ පාරේ අයියා කෙනෙකු බව මම තේරුම් ගතිමි.

අපට අනපේක්ශිත ආරක්‍ෂාව ඔහුගෙන් ලැබුණු නිසා ගැලවී යාමට හැකි වූවද සයිකල්කරු මෙහි දමා යාම නුසුදුසු නිසා අප ඔහුව වාහනයේ නග්වා ගතිමු. ඉන්පසු අපගේ ගැලවුම්කරුවාට තුති පුදා රෝහලට ගියෙමු. බාහිර රෝගී අංශයේ සිටියේ මා හිතවත් වෛද්‍ය කුමාරදාසය​. ඔහු බයිසිකල්කරුවා ඇතුලත් කෙරුවේය​. ඉන් පසු වෛද්‍ය ලිලිත් ලියනගේ අමතා රෝගියාට අවශ්‍ය සියළු ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලීය​. ලිලිත් රෝගියා පරික්‍ෂා කල අතර ඔහුට බරපතල තත්වයක් තිබුනේ නැත​. කෙසේ නමුත් ඔහුව දින දෙකක් පමණ නවතා තබා ගන්නා ලදි.

ඇත්ත වශයෙන්ම වැඩිපුරම හානිය සිදුවී තිබුනේ මෙරිල් ගේ මෝටර් රථයටය​. මෙරිල් ගේ මෝටර් රථයේ වින්ඩ්ස්ක්‍රීනය කුඩුවී තිබූ නිසා ඒ කාලයේ මුදල් අගයෙන් රුපියල් තිස්පන් දහසක් පමණ වැය කොට ඔහු අළුත් වින්ඩ්ස්ක්‍රීනයක් දැමුවේය​. (මෙරිල්ට තිබුනේ තුන්වන පාර්ශවයේ රක්‍ෂණයක් නිසා පාඩුව දරා ගැනීමට සිදු විය​) කොල්ලා දෙදවසකට පසු ගෙදර ගියේය​. මේ සිදුවීම ගැන මතක් වන විට මට සිතෙන්නේ මම රෝගියාගේ ජීවිතය බේරුවෙමි; රෝගියා මගේ ජීවිතය බේරුවේය යන සහ සබඳතාවයි.

වෛද් රුවන් එම් ජයතුංග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress