පෙරදිගට ගමනක් – 14 -රාවණා ගේ ඒ භවයෙන් පසු …
Posted on May 15th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

තමන් කුඩා කාලයේ – ඒ කියන්නේ වයස අවුරුදු 12 ක් 13 ක් විතර කාලයේ, නිකවැරටිය පැත්තේ තිබුණු දේවාලයකට කිහිප වතාවක් ම යන්න මේ ලේඛකයාට අවස්ථාව ලැබුණා. ඒ, ඒ තරම් අඩු වයසක දී දෙවියන්ට කියලා විසඳගන්න මොකුත් ප්‍රශ්නයක් තිබුණු හින්දා නෙවෙයි. අපි කාටත් ඒ වගේ වයස්වල දී දෙමව්පියන්, නෑදෑයන් පස්සෙන් යන්න අවස්ථා, අනුග්‍රහයන් ලැබෙනවානේ. සෙනසුරාදා ඒ දේවාලය තුබුණු රන්දෙනිගම රකුස්සාවට” ගිහිල්ලා, එ දා රෑ එළියේ එළාගත්ත පැදුරුවල නිදාගෙන, පහුවදා – ඒ කියන්නේ ඉරිදා උදේ, තියෙන බෝධි පූජාවටත් සම්බන්ධවෙලා, දෙවියන් ආරූඪ වෙච්ච කපුමහත්තයා පැයක් විතර කරන දේශනාවකුත් අහලා, දවල් වෙන්න කලින් එහෙන් පිටත්වෙන එක තමයි ඒ ගමනට අදාළ ව මේ ලේඛකයාට දැන් මතක් කරගන්න පුළුවන් සිද්ධි මාලාව. දෙයියන්ට කියලා විසඳගන්න ප්‍රශ්නයක් තිබුණේ නැති වුනාට මේ ගමන යන්න ලොකු කැමැත්තක් මේ ලේඛකයා තුළ තිබුණා. ඒ, අර කලින් කියපු විදිහට ඉරිදා උදේට කපුමහත්තයා කරන දේශනාව අහන්න ලැබෙන හින්දා. ඒක හරි ම අර්ථාන්විත, ඒ වගේ ම රසවත් දේශනා මාලාවක් කියලා තමයි මේ ලේඛකයාට අදත් හිතෙන්නේ. එහෙම අහපු දෙයක් ගැන කියන්න කලින් මේ රකුස්සාව ගැන යමක් කියන්නම්.

රන්දෙනිගම කියන්නේ නිකවැරටිය පැත්තේ තියෙන කුඩා ගම්මානයක්. මේ කතාවට අදාළ කාලයේ රත්නකම්බිලි දේවාලයක් ඒ ගමේ තිබුණා. දේවාලේ කපු මහත්තයා විදිහට හිටියේ හෙට්ටිපොල මහජන බැංකුවේ නිලධාරියෙක් කියලා තමයි කිව්වේ. මේ කපු වැඩේ හින්දා ඒ මහත්තයාට සිකුරාදාට නිවාඩුවකුත් ලැබිලා තිබුණා. බැංකුවේ මහත්තයා දේවකාරි කළේ සිකුරාදා හවස් වරුවේ ඉඳලා ඉරිදා දවල් වෙනකල්. රත්නකම්බිලි, කළුකම්බිලි, කළු දේවතාවා, හූනියම් දේවතාවා වගේ හුඟක් යක්කු, ඒ වගේ ම දෙවිවරු මේ කපු මහත්තයාට ආවේස වෙනවා. වැඩියෙන් ම එන්නේ රත්නකම්බිලි තමයි.

සර්ව බලධාරි දෙවි කෙනෙක් ගැන විශ්වාසයක් නැති වුනාට අපිටත් දෙවිවරු ඉන්නවානේ. අපි ඒ දෙවිවරුන් ව වර්ග කරලාත් දක්වනවා. අල්පේශාක්‍ය, මහේශාක්‍ය කියලා. එහෙම නැතිනම් බූමාටු, ආකාසට්ඨ කියලා. ඔය ආකාසට්ඨ, මහේශාක්‍ය දෙවිවරුත් එක්ක අපේ වැඩි භජනයක් නෑ. ඒ අය ඉතින් ලොකු ලොකු කට්ටියනේ. අපි ඒ අය ගේ ආශීර්වාදය බලාපොරොත්තු වෙනවා. අපි ඒ අයට පිං අනුමෝදන් කරනවා. හැබැයි බූමාටු දෙවි දේවතාවුන් සම්බන්ධ අපේ පිළිවෙත එහෙම නෙවෙයි. අපි ඒ අයත් එක්ක ගොඩක් ගනුදෙනු කරනවා. අපි පාර කපන තැනටත්, පොළොව කොටන තැනටත් ඒ අය එනවා. ඒ අය ව ඒ තැන්වලට ගෙන්වගන්න එක ඒ තරම් අමාරු වැඩකුත් නෙවෙයි. මල් පැලක් හදලා, පානක් පත්තු කරලා කන්නලව්වක් කළා ම ඇති.

ඉතින් රත්නකම්බිලි කියන්නෙත් ඒ වගේ බූමාටු දෙවිකෙනෙක්. ඇත්තෙන් ම මුල් කාලයේ හඳුන්වලා තියෙන්නේ යක්‍ෂයෙක් විදිහට. ඒ ගැන වැඩි විස්තර මෙතැනට අදාළ නෑ. දැන් අපි කෙළින් ම අර ඉරිදා දවස්වල අහගත්ත කතාව කියමු. ඇත්තෙන් ම එක කතාවක් නෙවෙයි. කතා දෙකක් ම තියෙනවා. පළමුවැනි කතාව රත්නකම්බිලි ගේ උප්පත්තිය සම්බන්ධයෙන්. දෙවැනි කතාව ඔහු මේ බැංකු මහත්තයාට කැඹිරීම සම්බන්ධයෙන්. මුලින් ම දෙවැනි කතාව කියන්නම්. අනෙක් කතාව ඊට පස්සේ කියන්නම්.

පෙර ආත්ම භාවයක දී රත්නකම්බිලියි බැංකු මහත්තයායි ජීවත්වෙලා තියෙන්නේ තාත්තායි, පුතයි විදිහට. මේ තාත්තාට තව දරුවෝ ඉඳලා තියෙනවා. ඒත්, මේ පුතා (අපේ බැංකු මහත්තයා) තමයි තාත්තා ව බලාගෙන ඉඳලා තියෙන්නේ. අනෙක් අයට බලන්න වෙනත් දේවල් තියෙන්න ඇති. ඉතින් අවසාන කාලේ දී, තාත්තා බොහෝ ම අසනීපෙන්, එක්තැන්වෙලා ඉඳලා තියෙන්නේ. තමන්ට කරන්න පුළුවන් හැම ආවතේවයක් ම පුතා කරලා තියෙනවා. මේ සාත්තු සප්පායම් වෙනුවෙන් යමක් කෙළින් ම අපේක්‍ෂා නො කළත් අනේ, තාත්තා මට ම කියලා කිසි ම දෙයක් දුන්නේ නෑනේ” කියලා පුතාට අන්තිම කාලේ හිතිලා. ඔහු අතින් ඒක ඇඟවෙන්නත් ඇති. ඉතින් තාත්තාට මේ කාරණේ තේරිලා. ඔහුට ඒ ගැන දුකකුත් කණගාටුවකුත් ඇති වෙලා. දුක්වෙලා තියෙන්නේ පුතාට යමක් කමක් දෙන්න බැරිවෙච්ච එක ගැන. කණගාටුවෙලා තියෙන්නේ පුතා එහෙම දෙයක් ගැන හිතන එක ගැන. ඉතින් මේ හිතුවිල්ල හිතේ තියාගෙන තමයි තාත්තා මිය ගිහිල්ලා තියෙන්නේ.

මේ තාත්තා රත්නකම්බිලි වුනේ ඒ මරණයට අදාළ චුති-උත්පාදයෙන් නෙවෙයි. ඔහු තව තවත් දිගින් දිගට ම තමන් ගේ සංසාර ගමනේ යෙදිලා තියෙනවා. අනෙක් කතාව ඒ පස්සේ කාලෙට සම්බන්ධයි. මෙහෙම භවයෙන් භවයට යන අතරේ ඔහු කාලෙක ජීවත්වෙලා තියෙන්නේ වෙළෙන්දෙක් විදිහට. ඔහු වෙළෙඳාම් කරලා තියෙන්නේ කම්බිලි. අද කාටත් තේරෙන භාෂාවෙන් කිව්වොත් රෙදි. එහෙම තේරුම්ගත්තම ඇති. දවසක් තමන් ගේ වෙළෙඳාම් ඉවර කරලා ආපහු ගම්බිම් බලා යද්දි ඔහුට පාලු ප්‍රදේශයක් හරහා ගමන්කරන්න සිද්ධවෙලා තියෙනවා. එහෙම යද්දී හොරු කණ්ඩායමක් ඔහුට පහරදීලා ඔහු ගේ සියලු ම වස්තුව කොල්ලකාලා. හොරුන් ගේ පහරකෑමෙන් වෙළෙන්දා මියගියා. ඔහු මැරුණේ මිනිස් වර්ගයා ගැන ම මහා වෛරයකින්. මහා කෝපයකින්. පලිගැනීමේ චේතනාවෙන්. ප්‍රතිඵලය තමයි රත්නකම්බිලි කියන යක්‍ෂයා ගේ බිහිවීම.

ඉතින් මිනිසුන් මරාගෙන කන, ලේ බොන මහ භයානක යකෙක් උපන්නා. පස්සේ කාලෙක කඩවර කියන යකාත් එක්ක හවුලේ මේ වැඩේ කරගෙන ගියා. දෙන්නා ම අපේ රටට ආවා. මේ රටේ දී පවා ඒ දෙන්නා මිනීමැරිල්ල නැවැත්තුවේ නෑ. ඒත් අපේ රට රැක බලාගන්න පැවරිලා ඉන්න දෙවිවරු මේ වැඩේට ඉඩදෙන්න සූදානම් වෙලා නෑ. ඒ මිනීමරුවෝ දෙන්නා ව මට්ටු කරන වැඩේ කතරගම දෙවියන්ට පැවරුනා. උන්නාන්සේ යක්කු දෙන්න මේච්චල් කරගත්තා. කඩවර සහ රත්නකම්බිලි දෙදෙනා කතරගම දෙවියන් ගේ සේවයට එකතුවුනා.

ඉතින් මිනිස්සුන් ගේ උවමනා එපාකම් ඉෂ්ටකරලා දෙන්නාත් මේ දෙන්නාට සිද්දවුනා. අපි දන්නවා මේ වගේ වැඩ කරලා දෙන විදිහ. තමන් විසින් ගෙවිය යුතු ණයක් ගෙවලා ඉවරකරන්න කඹුරන්න ඕන කාට ද කියලා මේ අය හොයලා බලනවා. ඉතින් මේ විදිහට හොයලා බලන කම්බිලි දෙවියන්ට (මිනී මරන්නා යකෙක්. මිනිසුන්ට යහපත සලසන්නා දෙවියෙක්. කම්බිලි යකා දෙවියකු බවට පත්වෙලා.) ඒ වැඩේට කෙනෙක් හම්බවුනා. ඒ තමයි අර කලින් ආත්ම භවයක දී තමන්ට සාත්තු සප්පායම් කරපු පුතා. ඒ කියන්නේ මේ භවයේ දී අපේ බැංකු මහත්තයා. තාත්තා භූමාටු දෙවියෙක් වෙලා පුතාට ණය ගෙවනවා. ඒ, තමන් ගේ පුතාට කඹුරලා. ඒ වැඩේට තාත්තා පුතාට ආවේස වෙනවා. මේක පුතාට වදයක්. ඒ කියන්නේ, තාත්තා එක විදිහකින් තමන් ගේ පුතාට වදදෙනවා. ඒ, පුතා ගේ හිතේ ඇතිවෙච්ච නොමනා සිතුවිල්ල ගැන තියෙන තරහට. පුතා තමන්ට සාත්තු සප්පායම් කරලා තියෙන්නේ යමක් කමක් බලාපොරොත්තුවෙන්. ඉතින්, ඒකට දඬුවමකුත් දෙන්න ඕන.

කම්බිලි දෙවියන් ගේ පිහිට පතාගෙන එන මිනිස්සු ඒ වෙනුවෙන් පඬුරු පාක්කුඩම් දෙනවා. දෙවියන්ට අයිති පංගුව අතහැරලා කපු මහත්තයාට පුළුවන් ඉතිරි හරිය තමන් ගේ ප්‍රයෝජනයට ගන්න. සාමාන්‍යයෙන් අය කළේ රුපියල් 10 යි සත 10 යි. සත 10 දෙවියන්ට. රුපියල් 10 කපු මහත්තයාට!

මේ කතාවේ – ඇත්තෙන් ම කතා දෙකේ, වැදගත්කම මොකක් ද? ඒක මුළුමනින් ම ගොඩනැගිලා තියෙන්නේ බෞද්ධ සංදර්භයක් ඇතුළේ. කර්මය හා පුනර්භවය ගැන තියෙන අපේ විශ්වාසය ඇතුළේ. ඒත් දැන් කාලේ අපේ අය සමහර කතා කියන්නේ ඒ මූලික සංස්කෘතික කාරණා සළකලා නෙවෙයි. මේ වෙනස සම්බන්ධයෙන් පෙන්නලා දෙන්න පුළුවන් හොඳ ම උදාහරණය තමයි රාවණා ගැන තියෙන කතාව. රාමා – සීතා, රාවණා ගැන කතා අහන්න අපේ සමාජය පුරුදුවෙලා තියෙන්නේ ගම්පොළ යුගයෙන් පස්සේ, විශේෂයෙන් ම ජයවර්ධනපුර යුගයේ දී. ඊට කලින් ලියැවුණු කිසිම සාහිත්‍යය කෘතියක මේ ගැන සඳහනක් හොයාගන්න අමාරුයි.

සැළලිහිණි සංදේශයේ විභීෂණ දෙවියන් ගැන කරන වර්ණනාවේ අවසාන පද්‍යයෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියනවා රාම – රාවණා – විභීෂණ සම්බන්ධය ගැන. උන්වහන්සේ ගේ ශිෂ්‍ය භික්‍ෂුන්වහන්සේ නමක විසින් රචනා කළා කියලා කියන ගිරා සංදේශයේ වැලිතොට අම්බලම වර්ණනා කරන තැනත් රාම-සීතා කතා ගැන යමක් කියනවා. ඒ, ඒ අම්බලමට වෙලා විඩා නිවන්නෝ අතර හිටිය මිසදිටු අදහස් දරපු අය තමන් ඉගෙන ගත්ත රාම-සීතා කතා තෙපළනවා කියලා. ඒත් එතැනට එන තවත් අය කතාකරලා තියෙන්නේ බුදු බණ ගැන. ඇත්තෙන් ම අපි ධර්මය ගැන නම් නිතර ම කතාකරනවා. සමහරු යමක් සප්පායම් වුනාට පස්සෙ පවා මේ වැඩේ පටන්ගන්නවා. ඒත් අපි අහපු කතන්දරයක් ගැන වෙනත් අයත් එක්ක කියන්නේ ඒක අලුත් කතාවක් නම් විතරයි. දැන් කාලේ නම් චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් බැලුවා ම අපි ඒ කතා යාළු මිත්‍රයොත් එක්ක බෙදාගන්නවා. එහෙම නැතිව අපි යාළුවොත් එක්ක සාලිය – අශෝකමාලා ගැන කතාකරන්නේ නෑ. ඉතින් අම්බලමට වෙලා රාම-සීතා ගැන කතා යාළුවොත් එක්ක කියන්න ඇත්තේ ඒ කතාව ඒ කාලේ හිටපු අයට දී අලුත් දෙයක් වෙච්ච හින්දා බවට සැකයක් නෑ.

ඊටත් කාලෙකට පස්සේ – ඇත්තෙන් ම ලන්දේසී පාලන කාලයේ දී, ලියැවුණා කියලා සැළකෙන රාජාවලියත් රාවණා ගැන කියනවා. ජයවර්ධනපුර යුගයේ දී අහන්න ලැබුණු රාම – සීතා කතාව සම්බන්ධ කරලා හදාගත්ත මල රටේ මල රජු ඇතුළු තුන් රජවරු ගැන කතාව කොහොඹා කංකාරියට ඇතුළත්වෙලා, ඊට පස්සේ ඒ අදහස රාජාවලියට ඇතුළත්වෙලා තියෙන බව පැහැදිළියි. රාජාවලිය කියන විදිහට රාවණා ගේ රාජධානිය තිබිලා තියෙන්නේ මන්නාරමත් තූත්තුකුඩියත් අතර මුහුදේ. රාවණාගේ අධර්මයෙන් රාවණාගේ කෝට්ටයත් මාලිගා පස්විස්සත් වීදි සාරලක්ෂයත් මූදට ගිලී” ගියා කියලා ඒකෙන් කියනවා. එතැන ඉඳලා අපේ බුදුන් බුදු වෙනකල් අපේ රට යක්කුන්ට ඇරිලා අවුරුදු එක්දහස් අටසිය හතළිස් හතරක් ගතවුනාලු. ඒ කියන්නේ මේ වෙනකොට දැන් රාවණා ගේ යුද්ධය ඉවරවෙලා අවුරුදු 4450 ක් විතර ගෙවිලා ගිහිල්ලා.

මේ රාවණා කතාවට හෙළ හවුලේ ඇතැම් අය පණදුන්නා. අරිසෙන් අහුබුදු වගේ අය ඒ සම්බන්ධයෙන් සෑහෙන්න මහන්සිවුනා. මෑතක ඉඳලා මේ ඝෝෂාව ආයෙත් ඉස්මතුවෙලා. රාමා ගේ ඊතල පහර කාලා සිහි නැතිවෙච්ච” රාවණා ඇහැරවන්නත් සමහරු මැදිහත්වෙලා. රාවණා ගැන හොයන සමහරු කියන විදිහට ඔහු මනුස්සයෙක්. තවත් සමහරු කියන විදිහට ඔහු රකුසෙක්. දැන් දැන් පන්සල් ඇතුළේ පවා රාවණා දේවාල හැදෙනවා. ඉස්සරහට රාවණා පන්සලුත් හැදේවි. මේ තමයි අපේ සංස්කෘතියේ ඇතිවෙමින් තියෙන අලුත් ම වෙනස.

ඉස්සර නම් අපි පිටින් යමක් කමක් ගන්න කොට ඒක අපේ විශ්වාසවලින් පෝෂණයකරනවා. අපි අගය කරන දේට ගැලපෙන්න ඒක හදාගන්නවා. ඒත් දැන් අපි කරලා තියෙන්නේ රාමායනයේ තියෙන රාවණා චරිතය වීරත්වයෙන් ඉහළට උස්සන එක විතරයි. ඒ එක්කම අපිට රාමාත්, සීතාත් පිළිගන්න සිද්ධවෙලා. රාමා – සීතා කතාවේ මියගිය රාවණා අපේ සංස්කෘතිය ඇතුළේ ඉපැදිළා. ඒ එක්ක ම අපේ සමාජය තවත් විදිහකටත් බෙදෙන්න පටන් ඇරන්. ඒ, මේ රාවණා කතාවට පක්‍ෂ හා විපක්‍ෂ විදිහට. ඉතින් මේ විදිහට එක එක මතවාදවලට බෙදිලා, අධිපති මතවාදයක් නැති සංස්කෘතියක් අපේ රටේ ඇතිවෙලා ඉවරයි.

මී ළඟ ලිපියෙන් ඒ ගැන යමක් කියන්නම්.

වරුණ චන්ද්‍රකීර්ති෴

3 Responses to “පෙරදිගට ගමනක් – 14 -රාවණා ගේ ඒ භවයෙන් පසු …”

  1. Christie Says:

    “කම්බිලි දෙවියන් ගේ පිහිට පතාගෙන එන මිනිස්සු ඒ වෙනුවෙන් පඬුරු පාක්කුඩම් දෙනවා. දෙවියන්ට අයිති පංගුව අතහැරලා කපු මහත්තයාට පුළුවන් ඉතිරි හරිය තමන් ගේ ප්‍රයෝජනයට ගන්න. සාමාන්‍යයෙන් අය කළේ රුපියල් 10 යි සත 10 යි. සත 10 දෙවියන්ට. රුපියල් 10 කපු මහත්තයාට!”

    Another bank. No wonder he is a bank man.

  2. Christie Says:

    There is a lot about in Rawana in Ramayana an Indian epic most probably the oldest.

    Rawana was a young man who went hunting all the way to north of the Indian continent. He came back with the woman of the day or the woman eloped with the good looking man of the day, Rawana.

    The owner gang of the woman Rama came back looking for the woman and took her away while the Rawana gang was sleeping after a good session and a feast.

    They still believe she was faithful to Rama. What a lot of sacred bull shit.

  3. Senevirath Says:

    දැන් ඔන්න ඉන්දියාවේ ආධ්‍යාත්මික නායකයෙක් සීතා දේවාලේ මහා හරසරින් පිළිගන්නා කටය්තුකරනවලු . රාවනා පැත්තකට දාල හෙළයන් ගැන කතා කලානම් කාටත් හොඳයනේ රජවරු ඉන්නත් ඇති නොඉන්නත් ඇති හැබය් මහින්දාගමනයට පෙර මිනිස්සු හිටියනේ හෙලයෝය් සින්හලයෝය් එකතුවෙලා අඩු තරමෙන් පන්දුකාභයාගේ කාලයේදී වත් සින්හලජාතිය හදුනනේ අපි එතන ඉදන් යමු එතකොට බෙදුම් නැහැ අවුල් නැහැ . ඉන්දියාවෙන් ප්‍රවේසම් වෙන්න නං සියලු සිංහල බෞද්ධයෝ එකම සම්මුත්යකට එන්න ඕන ඒ අතර වෙන වෙනම හෙමින් හෙමින් වෙන පර්යේෂණ කල හැකිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress