සැබෑ මිනිසෙකුගේ කතාවක්
Posted on May 16th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

මට ජීවිතයේ සැබෑ මිනිසුන් හමුවී තිබෙන්නේ අතේ ඇඟිලි ගනනටය​. මේ සැබෑ මිනිසුන් අතර එයා චීෆ්මාෂල් හැරී ගුණතිලක මුලින්ම සිටියි.  චීෆ් මාෂල් හැරී ගුණතිලක සැබෑ මිනිසෙකු බව මම කියන්නේ අවංකකම , නිරහංකාර බව , චාම් බව , මානව දයාව මා ඔහු කෙරෙන් දුටු බැවිනි.

හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා සමග වැඩ කිරීමේ භාග්‍ය මට ලැබුනි. ඒ කාලයේ එතුමා රණවිරු වැන්දඹුවන් පුනරුථාපන වැඩසටහන භාරව සිටි අතර උපදේශන කටයුතු සඳහා මට ආරාධනා කලේය​. එතුමා සමග මම කොලඹ , කුරුණෑගල , මාතර , නුවර , අනුරාධපුරය යන ප්‍රදේශ වලට යමින් රණවිරු වැන්දඹුවන් සහ දරුවන් හමු වෙමින් ඔවුන් සඳහා මානසික උපදේශනය ලබා දුනිමි. එසේම එතුමාගේ මූලිකත්වයෙන් මේ රණවිරු වැන්දඹුවන් වෙත ආදායම් උපයා ගැනීමේ වැඩසටහන්, වෘත්තීය පුහුණුව , අධ්‍යාපනය​, ළමුන්ට ශිෂ්‍යත්ව යනාදියද ලබා දෙන ලදි.

minisek

මේ වැඩසටහන් වලදී මම එතුමා සමග දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වල සංචාරය කලෙමි. එසේම අදහස් හුවමාරු කර ගතිමි. එමගින් වඩ වඩාත් එතුමාට සමීප වීමට මට හැකි විය​.

එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා ගුවන් හමුදාපතිව සිටියදී සතයක්වත් අයථා ලෙස උපයා නොගත්තේය​. එතුමාට පෙර සහ පසු කාලයක සිටි ගුවන් ගුවන් හමුදාපතිවරුන් සමහරක් කොමිස් වලින් මුදල් උපයා මන්දිර තනා ගත්හ ​. එසේම ගුවන් හමුදාවේ සෙබලියන් අන්තහ්පුර ළළනාවන් මෙන් රිසිසේ භාවිතා කලහ​. එහෙත් එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා නොකැලැල් සේවයකින් විශ්‍රාම ගියේය​

විශ්‍රාමව සිටියදී එතුමා ජීවත් වූයේ කුඩා නිවසකය​. වරක් විදුලි බිල ගෙවීම ප්‍රමාද වීම නිසා විදුලිබල මණ්ඩලයෙන් එවන ලද රතු බිලක් ගෙවීමට එතුමා මා සමග ගිය අයුරු මතක් වේ. විදුලිබල මණ්ඩලයෙන් රතු බිලක් ලද එකම ගුවන් හමුදාපතිවරයා එතුමා විය යුතුය​.

හැරී ගුණතිලක මහතා රණවිරු වැන්දඹුවන් ගේ දුක තේරුම් ගෙන සිටි අයෙකි. ගුවන් නියමුවෙකුව සිටි එතුමාගේ පුත් බලඝන නායක ශිරන්ත ගුණතිලක 1995 අප්‍රේල්   29 යන දින ක්‍රියාන්විතයේ මිය යන ලදි. ඔහු පැදවූ ගුවන් යානයට කොටි විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදි. එතුමාගේ ලේලියද යුද වැන්දඹුවක් වූයෙන් රණවිරු වැන්දඹුවන් ගේ ලෝකය ගැන එතුමාට අවබෝධයක් තිබුණි. එම නිසා ආරක්‍ෂක අමාත්‍යංශය සමග ගැටෙමින් රණවිරු වැන්දඹු සුභසාදනය වෙත වඩාත් එලදායී සේවයක් ලබා ගැනීමට එතුමා සමත් විය​.

තම පුතාගේ මරණයෙන් වසර ගනනාවකට පසු (2004 වසරේදී පමණ) මම එතුමා සමග මහනුවර පොදුරාජ්‍ය මණ්ඩල සුසානභූමි නරඹමින් සිටියෙමි. ඒ අවස්ථාවේදී හැරී ගුණතිලක මහතා පියෙකු ලෙස තම දරුවා අහිමිවීමේ ශෝකය මා සමග කථා කලේය​. ක්‍රිස්‍තු භක්තිකයෙකු වූවද ඒ වන විට හැරී ගුණතිලක මහතා බුදු දහම සහ අනිත්‍ය පිලිබඳ කියවා තිබූ හෙයින් පුතුගේ මරණය කෙරෙහි ඒ අවස්ථාවේදී එතුමා තුල තිබුනේ පෘථුල අදහසකි. එහෙත් තම බිරිඳ තවමත් මේ ක්‍ෂිතිමය සිද්ධියෙන් මුලුමනින්ම ප්‍රකෘති ස්වභාවයට පත් නොවී ඇති බව එතුමා මට වැඩිදුරටත් කීවේය​.

තවද වරක් අප කොග්ගල ගුවන් හමුදා කඳවුරට ගියෙමු. එහිදී අදහස් දැක්වූ ගුණතිලක මහතා යම් ලෙසකින් තම දෙවන පුතු රොෂාන් ගුණතිලක ගුවන් හමුදාපති ධූරයට පත් වුවහොත් එය ලෝක වාර්තාවක් (පියා සහ පුතා ගුවන් හමුදාපති ධූරයට පත්වීම ) වන බව කීය​. වසර කීපයකට පසුව එය එතුමාගේ දෑස් ඉදිරියේම සැබෑවක් විය. ​එසේම එදින සවස එතුමාට තවත් ගුවන් හමුදා නිලධාරියෙකු හමුවූ අතර ඔහු ශිරන්ත ගුණතිලකගේ සමකාලීන නිලධාරියෙකු විය​. තමා ශිරන්ත සමහ හදිසියේ කොලඹ ඇවිත් රගර් තරඟයක් නැරඹූ අවස්ථාවක් ගැන එම නිලධාරියා හෙළි කල අතර ගුණතිලක මහතා එයට ඉතා ආශාවෙන් සවන් දුන්නේය​.

ඊලාම් යුද්ධයේ අවසන් අදියර ඇරඹූ විට යුද්ධය පිළිබඳව ඔහු දැරුවේ මිශ්‍ර අදහස්‍ ය​. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කල නොහැකි බව වරක් ගාල්ලට ගිය ගමනකදී එතුමා මට කීවේය​. මම එම අදහස අභියෝගයට ලක් කල හෙයින් කොලඹට එන තෙක් අප වාද කර ගත්තෙමු. එතුමාගේ අනාවැකිය සාවද්‍ය කරමින් එතුමාගේ පුත් රොෂාන් ගුණතිලක ඇතුළු ත්‍රිවිධ හමුදාව කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කලහ​. ඒ වන විට එතුමා ජීවතුන් අතර නොවීය​. නමුත් අද දිනයේ එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා ගේ වැරදුන අනාවැකිය මම තව දුරටත් විශ්ලේෂණය කරමින් සිටින්නෙමි. මට තේරුම් යන අන්දමට  තම පුතා අහිමි වීමෙන් සහ හමුදා සහ සිවිල් වැසියන් රැසකගේ ජීවිත විනාශය දැකීමෙන් යුද්ධයේ නිරර්ථක භාවය එතුමා අපටත් වඩා ගැඹුරින් අවබෝධ කරගෙන සිටියේය​. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම යනු මුල්ලෙවෛක්කාල්හිදී ප්‍රභාකරන් මරා දැමීම කියා අප බහුතරයක් සිතුවාට බෙදුම්වාදී වෛරසය සහ සිංහල සහ දෙමල ජාතීන්වල ස්වෝත්තමවාදයන් බොහෝ කාලයක් විනාශ නොවී පවතින බව එතුමා දැන සිටියේය​. එම නිසා එතුමාගේ එදා අණාවැකිය සාවද්‍ය නොමැත​.

අප අවසන් වරට හමු වන්නේ එතුමාගේ මරණයට දින හතරකට පමණ පෙරය​. එදින අප අනුරාධපුරයේ පැවති වැඩසටහනකට ගියෙමු. එම වැඩසටහන නිම කිරීමෙන් පසුව ජය ශ්‍රී මහා බෝධියට භාරයක් වීමට එතුමාට අවශ්‍ය විය​. එම නිසා අප ජය ශ්‍රී මහා බෝධියට ගියෙමු. පසු දින මම කොලඹ ආවෙමි. එතුමා තව දිනක් අනුරාධපුරයේ සිටියේය​. ඉන් දින කීපයකට පසුව රණවිරු  වැන්දඹුවන් පුනරුථාපන වැඩසටහනේ සේවය කල නිලධාරිනියක් මට දුරකථනයෙන් කතා කලාය​. ” සර් ඉතාම කණගාටුදායක ආරංචියක් දෙන්න කතා කලේ හැරී ගුණතිලක සර් නැතිවෙලා ” මම මොහොතක් ගල් ගැසුනෙමි.

බොරැල්ලේ ජයරත්න අවමංගල මධ්‍යස්ථානයේදී මම අවසාන වශයෙන් එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතාට සමු දුන්නෙමි. එදින සවස “සැබෑ මිනිසෙකුගේ නික්ම යාම ” යනුවෙන් ලිපියක් ලියා රාවය පුවත්පතට යැවුවෙමි.

එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා සැබෑ මිනිසෙකි. ක්‍රිස්තියානිය ආගම මගින් ඔහුගේ චරිතය නිර්මානය කරනු ලැබීය​. අවංකකම, චාම් බව, නිරහංකාර බව , අන්‍යන් කෙරෙහි කැපවීම වැනි ගුණාංග ඔහු ජීවිතයට අවශෝශනය කර ගන්නේ  ක්‍රිස්තියානි සභ්‍යත්වය හරහාය​. එසේම බුද්ධ දර්ශනය පුද පූජා පවත්වන ආමිස දහමක් ලෙස නොව දර්ශනයක් ලෙස අධ්‍යනය කිරීමෙන් ඔහුගේ විශ්වය තව දුරටත් පුලුල් විය​. එසේම යුද්ධය විසින් තම පුද්ගලික ජීවිතයට ඇති කල ක්‍ෂිතිමය සිද්ධීන් නිශේදනය කර ගැනීමට බුද්ධ දර්ශනය ඔහුට උපකාරී වූ බව මම සිතමි.

2 Responses to “සැබෑ මිනිසෙකුගේ කතාවක්”

  1. cwije Says:

    Ruwan,

    The war was won because, the tiger side was unreasonable. The war and the history behind the war from the 1920s was a case of mismanagement of the country by selfish Colombo black-white agents.

    The war victory was lost because MahindaR mismanaged and acted unreasonably (again) and abused the victory.

    You need to re-think your position ot on this. One Air Marshal’s opinion should not be your authority.

  2. Dham Says:

    ” එසේම ගුවන් හමුදාවේ සෙබලියන් අන්තහ්පුර ළළනාවන් මෙන් රිසිසේ භාවිතා කලහ​.” – DISGUSTING ANIMALS.
    We started calling everyone a “ranaviruwa” after the war. We should use that word with caution.
    Or is that PTSD too ? Ruwan may have the answer.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress