නවක වදය ; වධකයන් සහ වින්දිතයෝ මනෝ විද්‍යාත්මක උද්දේශයක්
Posted on May 19th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයන් හී බොහෝ විට කනිෂ්ඨ සිසුන් වෙත වාචිකව, ලිඛිතව සිදුකරනු ලබන සරදමක්, ශාරීරිකව සිදු කරනු ලබන පරුෂ සැලකීමක් හෝ ඔවුන් තුල මානසික අස්ථාවරත්වය, බිය හා චකිතය ඇතිකරවන සුලු, සාමාන්‍ය අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් සිදුනොකරන්නාවූ ක්‍රියාවන් කිරීමටයැයි සිදු කරනු ලබන බලකිරීමක් නවක වදය අර්ථ දැක්වෙයි. අනෙකුත් රටවල් සමග සැළකීමේදී, ශ්‍රී ලංකාවද ලෝකයේ නවක වදය දරුණු ලෙස මුල් බැසගත් රටක් ලෙස සැළකෙයි.  (රැගිං: හිස්ට්‍රි ඇන්ඩි ඉවොලූෂන්).

ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල වල  නවකයන් නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, සිසු සිසුවියන් තනි තනිවම ගෙන ඉතා අසභ්‍ය වචන වලින් බැන තර්ජනය කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම , කුණු වතුර බකට් කිරීම , පහර දීම , බලහත්කාරයෙන් (සිසුන්ට) සාමූහික ස්වයංවින්දනය  කරවීම , ලිංගික අපයෝජනය , පිළුණු වූ බත් වැලි සහ පරවූ මල් සමග අනුභව කිරීමට බල කිරීම , වැසිකිලි වතුර පෙවීම​, හිස අසූචි පිරවූ කොමොඩයක එබ්බවීම  වැනි හිංසක ක්‍රියා වාර්තාවී තිබේ.

navakawadaya

ලාංකික විශ්වවිද්‍යාල වල සෑම වසරකම නවක වදය ලෙසින් ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම බරපතල ප්‍රශ්නයක් වෙමින් පවතියි. මේ හැර ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල  අප්‍රිකාවේ  අසාර්ථක රාජ්‍යන් ලෙස සැලකෙන උගන්ඩාවේ,  , සුඩානයේ සහ ඉතියෝපියාවේ ජාතික විශ්වවිද්‍යාල වලට වඩා පහත් දර්ශකයක් දරණ අතර අධ්‍යාපන ගුණාත්මක භාවය අවම වීමට නවක වදය ද එක් හේතු කාරනාවක් වේ.   නවක වදය ලාංකික විශ්වවිද්‍යාල වල කළු පැල්ලමකි.

2011 වර්‍ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහිදී අති අමානුෂික ලෙස නවක වදයට බඳුන් වූ ශිෂ්‍යයකු වෙනුවෙන් ගොනු කරන ලද නඩු වාර්තාවක කොටසක මෙසේ දැක්වේ : “මෙම අපරාධය සිදුකර ඇත්තේ නූගත්, බුද්ධි මට්‌ටමින් පහත් තලයක සිටින අය නොවේ. පළමු ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ දක්‌වාම මහජනයාගේ මුදලින් අධ්‍යාපනය ලබා තව දුරටත් මහජන මුදලින් අධ්‍යාපනය ලබන උගත් බුද්ධිමත් යෑයි සලකනු ලබන, ඉහළ සමාජ ස්‌ථරයකට ඔසවා තබන ලද පුද්ගලයන් පිරිසක්‌ බව අනාවරණය වෙයි.”

රූපා රත්නසීලී, වරප්‍රකාශ් , දික්‌ඕවිට කංකානම්ගේ නිශාන්ත , එස්.එස්. අමාලි චතුරිකා  නවක වදය විසින් මරා දමන ලද ප්‍රක​ට සිසු සිසුවියන් වෙති. උසස්  අධ්‍යාපන  අමාත්යාංශය පෙන්වා දෙන පරිදි මේ වන විට නවක වධය නිසා නවකයන් 20 ක් මරු  දැක   27000 ක් සරසවි හැර ගොසිනි.

නවක වදය විශ්වවිද්‍යාල උපසංස්කෘතියට හෝ සාමූහික බව වෙනුවෙන් පවත්නා දෙයක් ලෙස සමහරක් විසින් පැවසූවද එහි පරපීඩක කාමුකත්වය , ගෝත්‍රිකවාදී මානසිකත්වය, කාන්තා හිංසනය , ග්‍රාමීය පසුගාමීත්වය වැනි අගතීන් දක්නට තිබේ. තවද නවක වදය යනු සාපරාධි අපරාධයක් බව ලංකාවේ  විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පවා විශ්වාස නොකරති. එවැනි පසුබිමක නවක වදය විශ්ව විද්‍යාලයෙන් තුරන් කිරීම අපහසු කරුණකි.

සිසුන් නවක වදයට යොමු වන්නේ මන්ද ? මේ සඳහා බහුවිධ කාරනා තිබේ. මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්‍ෂණ කීපයක් තිබේ.  මේ හේතූන් නිසා නිරායාසයෙන්ම ඔවුන් අන්‍යන්ට වධ දීමෙත් තෘප්තියක් ලබා ගැනීමට පෙලඹෙති.

1) හීනමානය (හීනමානය මතුවන්නේ  කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ  අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic  conditions)

2) පෞරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)

3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. ​ මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation)  ,  අපයෝජනයන්ට ලක්වී තිබීම

4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්‍ෂතා අඩු බව, අව  ආත්ම සම්මානය ( poor self-esteem)

5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීම​ට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම.  කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව

6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය

7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්‍රයත්නය

8) අන්තවාදීබව සහ ධ්‍රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම​) (polarized thinking)

9) අඩු සහනුභූතිය (lack of empathy)

10) පරපීඩා  කාමුකත්වය (sadism)

නවක වදය සංකීර්ණ ක්‍රියාවලියකි. වින්දිතයා නවක වදයට පත් කිරීමෙන් බලය සහ ආධ්‍යපත්‍ය පැතිරවීම​, වින් දිතයාගේ පූර්ණ එකඟතාව අපේක්‍ෂාව , වින්දිතයාඅවමන් සහගත පත් කිරීම  සිදු කෙරෙන අතර මෙයින් වධකයා තම හීනමානතා සංකීර්ණය සන්තර්පන කර ගැනීමත් බිඳී තිබෙන තමන් ගේ අහංභාවය (Ego ) ප්‍රතිසමාධානය කර ගැනීමටත් උත්සුක වෙයි. මේ හැර මූලික වශයෙන් වින්දිතයා නවක වදයට පත් කිරීමෙන් වධකයෝ  අවිඥානික මෙන්ම බොහෝ විට සවිඥානිකව ලිංගික තෘප්තිය ලබති. නවක වදයට ලක් වීමෙන් පසු වින් දිතයා තුල කෝපය , අපේක්‍ෂා භංගත්වය ,  ආකූලතාව , බිය , ආත්ම ගෞරවය කෙලසීගිය ස්වභාවය , යටත් වීමේ මානසිකත්වය , වධකයා සමග ක්‍රෝධය මෙන්ම අවනත බවද පහළ විය හැක​.

සමහර විට නවක වදයට ලක්වූ වින්දිතයන්  නවක වදය කෙරෙහි මෙන් ම තමන්ව වධයට පත් කල වධකයන් කෙරෙහි ආශක්තවීම මෙන්ම නවක වදය සොඳුරු අත්දැකීමක් ලෙසට අර්ථ කතනය කිරීමත් දක්නට ලැබේ. මෙම සංසිද්ධිය ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය  ලෙස හැඳින් වේ.  (Stockholm syndrome (also known as “terror bonding” and “traumatic bonding”) is a psychological tendency of a hostage to bond with, identify with, or sympathize with his or her captor. This syndrome can be seen as a form of traumatic bonding).  සංක්‍ෂිප්තව දැක්වීමේදී  ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය  යනු පීඩිතයා විසින් පීඩකයා කෙරෙහි ඇති කර ගන්නා අසාමාන්‍ය බැඳීමයි. ස්වයං වධ බන්ධන ලැදියාව මෙන්ම තම වධකයන් කෙරෙහි ඇතිවන  අවිඥානික  ලිංගිකව ඇල්මද මේ සඳහා හේතු කාරක වේ.

නවක වදය නීරෝගී චරියාවක් නොවේ. නවක වදය කායික මානසික රෝග ඇති කරවයි. නවක වදය නිසා විශාදය (Depression)  , භීතිකාවන් (phobias)  , පශ්චාත් ක්ලමථ  ව්‍යසන අක්‍රමතාව (PTSD) , සමායෝගී ආබාධ (Adjustment Disorder) වැනි මානසික ආබාධ ඇති විය හැකිය​. එසේම අතුරු ආබාධ බොහෝ කාලයක් පවතියි. මේ හැර භංගුර (vulnerable) පුද්ගලයන් අතර මනෝ ව්‍යාධික (psychotic)  තත්ව එනම් භින්නෝන්මාදය (Schizophrenia) , අධි තීව්‍ර මනෝ ව්‍යාධි (Acute Transient Psychotic Disorders)  වැනි මානසික රෝග වලට ලක්වීමේ ප්‍රවනතාවන් ද නිරීක්‍ෂණය කොට තිබේ.

නවක වදය ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධ වරදක් වන අතර නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වන්නකුට වසර 10ක් දක්වා සිර දඩුවමක් වුවද නියම කළ හැක. නමුත් නීතිය මගින් පමණක් නවක වදයට තිත තැබීම අසීරු කරුණකි. ඒ සඳහා සිසුන් මෙන්ම සරසවි ආචාර්‍යවරුන් තුල ආකල්පමය වෙනසක් ඇති කල යුතුය​.  නවක වදයව්‍යාධිජනක සංසිද්ධියක් බව   සහ වින් දිතයන්ට මෙන්ම වධකයන්ටද මනෝ ප්‍රතිකාර අවශ්‍ය බව සමාජය විසින් තේරුම් ගත යුතුය​.

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress