‘සොරි ඩොට් කොම්’
Posted on May 20th, 2016

ධර්මන් වික්‍රමරත්න

මේ දිග හැරෙන්නේ රිවිර සිකුරාදා පුවත්පතේ මුරගල දේශපාලන විග්‍රහයේ 150වන ලිපියයි. මුරගල ලිපිය ඇරඹුණේ 2013 මාර්තු 22වැනිදාය. පිටදෙනවා වෙන්නේ යමකට උරදීමය. ගෙවී ගිය වසර 3තුළ මුරගල පෙනී සිටියේ මෙරට ප්‍රගතිශීලි ව්‍යාපාරය වෙනුවෙන්ය. මව්බිමට අදරැති අය වෙනුවෙනි. මුරගල, සර්පයාට පොල්ලෙන්ය. අලියාට හෙණ්ඩුවෙන්ය. පෙරේතයාට ගොටුවෙන්ය. යකාට මන්ත්‍රරයෙන්ය. ඇතැමුන් ඇතිදේ කියවා සිනාසෙති. මුණ බෙරි කරගන්නෝද සිටිති. තක්කඩිකම් කලවුන් දත්මිටි කන සැටිද සිතිය හැකිය.

හරියට මෙයට වසර 7කට පෙර එනම් 2009 මැයි 18වැනිදා ජාතියේ විජයග්‍රහණයද සිදුවිය. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 30 වසරක දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කරමින් ජාතියේ දුක් අඳෝනාව අවසන් කල දිනය විය. පරාජය කළේ දෙමළ බෙදුම්වාදයයි. විනාශකළේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තයින්ය. නිදහස ලැබුණේ මුළු රටටමය.  එම ජයග්‍රහණය යළි යළිත් සිහිපත් කල යුතුය. ඒ කුරිරු මේලේච්ඡත්වය මතු පරපුරට කියාදීමටය. දිනූ දේශය රැකගැනීමටය. එදා අලිමංකඩ පාමංකඩය. තොප්පිගල කැලයකි. කීවේ ඕන ගොනෙකුට යුද්ධ කලහැකි බවකි. වර්තමානයේ යාපනය සරසවියේ පමණක් නොව උතුරේ ස්ථාන කිහිපයක කොටි නායක සැමරුම පවා නතරකිරීමට නොහැකිවීම දෛවයේ සරදමකි.

dharman20051605

රටපුරාම ගංවතුරය. කැගල්ල – අරණායක- එළඟපිටිය ගම්මානයන් සාමසර කන්ද නායයෑමෙන් බරපතල හානියකි. මිනිසුන් පණපිටින්ම මිහිදන් විය. ගම්මාන 3ක පවුල් ආගිය අතක් නැත. රටපුරාම ගංවතුරෙන් සිදුවූ ජීවිත හානි 50කට අධිකය. ලක්ෂ ගණනක් අවතැන්ය. ගංවතුරෙන් අවතැන්වූ ජනයාට සහන සැලසීමට රජය මගින් දැනට වෙන්කර ඇති මුළු මුදල රුපියල් මිලියන 150කි. එය එක පාරිසරික අනාථයින් ලක්ෂ 3කටකෑම වේල් කිහිපයක් බැගින් දුන්නාම මුදල් ඉවරය. එයට කැපවන නිලධාරින්ගේ අතිකාල දීමනා සහ ඉන්ධන වියදම් වැනිදෑද කපාහැරිය විට තවත් මුදලත් අහවරය. කොළඹ ඇතුළු බස්නාහිර පළාත් කිරියෙන් පැණියෙන් උතුරුවන මෙගා පොලිස් වැඩසටහන් මෙගා වරුසාවෙන් දැන් වැනීසිය මෙන්ය. සන්ධාන ආණ්ඩුව කාලේ කොළඹ සංවර්ධනය යටතේ ගංවතුර අවම විය. කාණු සුද්ධ පවිත්‍ර විය. ඇළ වේලි ප්‍රතිසංස්කරණය විය. ඇවිදින මංතීරු සකස්වූයේ ගංවතුර උවදුර පාලනය කිරීමේ ක්‍රමෝපායන්ද එයට එක්කරමිනි.

dharman20051601

අරයාගේ වෙඩි නොවදින බෙන්ස් කාර් දෙකට වෙන්කලබව කියන මුදල රුපියල් මිලියන 600කි. ශ්‍රිලනිප මහලේකම් ඇමති දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශය සිනමා නිලියගෙන් අවුරුදු 5කට කුලියට ගත් බිල්ඩිමේ බදු මුදල රුපියල් මිලියන 1,370කි. දැනටමත් ඉන් අත්තිකාරමක් වශයෙන් රුපියල් මිලියන 570ක් එයට ලබාදී ඇත. ඇමති ෆොන්සේකාගේ කන්තෝරුවට මාසික කුලිය රුපියල් කෝටියකි. ඩිජිටල් තාක්ෂණ ඇමති හරේන් ප්‍රනාන්දුගේ නිවස අලුත්වැඩියාවට ලක්ෂ 43කි. ඇමති හරීන් ‘යහපාලන’ ආණ්ඩුව යටතේ අම්මාට කරන අලුත් වැඩක්ද දියවන්නාවේ පාඩමක් වශයෙන් කියා දුන්නේ ගූගල් ඇප් එකෙන්ය. මහ ජල කඳ ඇවිත් ලක්ෂ 3ක ජනතාව වටකරන්ය. ගංවතුර අනාථයෝ ඉන්නේ හිරවෙලාය. පොඩි එවුන් ගුලිකරගෙනය. බඩගින්නේ නිදිමරන්ය. තනිවෙලා දැන් දින ගණන්ය. ගංවතුර සමඟ එක දෙයක් පැහැදිලි විය. සහනාධාර මල්ලක්වත් හරියට බෙදාදෙන්නට බැරි බවය. රටකට ඕනෑ අපමණ අගයක්ය.

ගංවතුර අනාථයෝ දැන් 1919 දුරකථනය අමතා කිව යුතුය. ගංවතුර පැතිවල විදුලිය විසන්ධිය. ස්ථාවර දුරකථන රැහැන් ඇද වැටී ඇත. ඇම්ඩා ගෙන් ටීචර් මෙසේ ප්‍රශ්ණයක් ඇසුවාලු. ඒ ‘පාළු ලිඳකට වැටුනොත් ඇම්ඩා ඔයා මොකද කරන්නේ කියාය’. ඇම්ඩා කීවේ ‘නිවසට දුවගොස් ඉනිමග ගෙනවිත් ලිඳට තියා ගොඩවන බවය’. ගංවතුර හොට් ලයින් එකත් ඇම්ඩාගේ ටිකිරි මොළේ වැඩක් වාගේය. ආපදාවකදී සිදුවිය යුත්තේ රජය සහ ස්වෙච්ඡා සේවකයෝ එම ස්ථානයට ගොස් ඔවුන්ට පිහිටුවීමය. ‘අපි වෙනුවෙන් අපි’ කිවේ එදාය. දැන් කිව හැක්කේ අපි වෙනුවෙන් 1919 කියාය.

dharman20051603

ගංවතුරේ ප්‍රතිඵලයෙන් වැට් බදු විරෝධය යට ගියේය. හොරකම්, දූෂණ, ටොන් පච සියල්ල අමතකය. හෙට සිට වෙසක්ය. හුරේ.. ආණ්ඩුව ගොඩේ ගොඩය. ගංවතුරෙන් අනාථවූ ජනයාටත් වඩා ‘යහපාලන’ ආණ්ඩුව පරිපාලනයෙන් අනාථය. වසර 7කට පෙර ධාරනීපාත වැසි නොතකමින් උතුරේ එදා අවසාන සටන කළේ සාමාන්‍ය වැසියන් මුදා ගැනීමටය. ඒ එදාය. මෙදා වසර 7කට පසු ධාරානිපාත වැසි නොතකමින් ගංවතුරෙන් පාර්ලිමේන්තුව යටවෙන එක නවත්වා ගැනීමට වැලි කොට්ට ගොඩ ගසනු ලැබුවේය.

ජාතික ඖෂධ නියාමන පනතක් සම්මතකර අධිකාරියක් පිහිටුවා වසරක් ගෙවී ගියද ඖෂධ ප්‍රතිපත්තියේ ප්‍රතිඵල රෝගීන්ට තවමත් නැත. එපමණක් නොව උපදේශන කමිටුව තවමත් වැඩ නැත. ඖෂධ මිල සියයට 40කින් ඉහළය. ඇන්දුනු ඇන්දිල්ලට ඇඬෙනවාය. බඩුමිල වැඩිය. පතාලය වැඩය. රාජ්‍ය සේවය දුර්වල කරමින් පවති. ප්‍රතිව්‍යුහකරණයට මුවාවී රාජ්‍ය ආයතන විකිණීමට පිඹුරුපත් සැකසේ. ගොවියා කපෝතිය. විරුවා දංගෙඩියටය.

ආණ්ඩුවට සල්ලි නැත. කොළඹ මහජන පුස්තකාලයට පාඩම් කරන්නට ගියද, රැස්වීමක් බලන්නට එහි ශ්‍රවණාගාරයට ගියද හදිසියකට සුළුදිය පහකිරීමට වැසිකිලියට ගියහොත් එක්වරකට චූ බද්ද රුපියල් 10කි. මසකට මහජන පුස්තකාල වැසිකිලියෙන්ද ලක්ෂ 3ක් පමණ එක්කෝ ආණ්ඩුවටය. නැතහොත් කාගේ හෝ අතටය. බලු බද්ද ලබාගැනීම සඳහා බල්ලන් ලයිසන් කිරීම අකුරටමය. සුනඛයින් වාර්ෂිකව ලියාපදිංචිය පැහැර හැරියොත් දඩය රුපියල් 10,000කි. මළ සිරුරක් මිහිදන් කිරීමට පවා කළුතර නගර සභාව අයකර රුපියල් 300ක මුදල රුපියල් 2,000 දක්වා ඉහළ දමා ඇත. චූ බද්ද, බලු බද්ද, මළ සිරුරු බද්ද මෙකී නොකී තවත් අමතර බදු රැසකි. ඇති හැකි අය හුරතලේය. පොදු ජනතාව මරු තුරුලේය. ‘යහපාලන’ ආණ්ඩුව පවසන පරිදි බදු ගසන්නේ රාජපක්ෂ සමයේ කල වියදම් පියවා ගැනීමටය. එහෙත් දියවන්නාවේ මෙම්බර්ලාගේ ඩොලර් 62,500 සැප වාහන පර්මිට් එකට අයකරන්නේ රේගු ගාස්තුව පමණක් වන අතර එය රුපියල් 1,050කි. පිනට කෑම, හිඟාකෑම, ණයට කෑම, සැපට කෑම, බදාගෙන කෑම, ජරාව කෑම ඇතුළු එකී නොකී සියලුම කෑම වර්තමානයේ උරුමක්කාරයන් වන්නේ දේශපාලුවන්ය. ජනතාවට සදා උරුම ලෙවකෑම පමණක්ය. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය.

dharman20051604

වැට් එකෙන්ද ගැසූ බද්ද දැන් බඩටම වැදී ඇත. වෙනස රටටමය. රටේ අනාගතයටම කියා මුදල් අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මාධ්‍ය මගින් ගොබෙල්ස් තියරිය ක්‍රියාවට නැගුවාට වැඩක් නැත. අද පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 117ක් වන විට ලෝක වෙළෙඳ පොළෙන් ශ්‍රි ලංකාව පෙට්ට්‍රල් බැරලයක් මිලදී ගන්නේ ඇමරිකන් ඩොලර් 48කටය. එදා 2014 ඔක්තෝබර් ආණ්ඩුව පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 162කට අළෙවි කරන විට ලෝක වෙළෙඳ පොළේ ප්‍රෙට්ටර් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 120කි. වර්තමානයේ ප්‍රෙට්ට්‍රල් ලීටරයක මිල 117ක් වන අතර ඉන් රුපියල් 65ක්ම ආණ්ඩුවේ බදුය. නිසි ලෙසට බැලුවොත් රුපියල් 3ක පරිපාලන ලාභයක් තබාගෙන වර්තමානයේදී ප්‍රෙට්ටල් ලීටරයක් රුපියල් 55ට ලබාදිය හැකිය. බදු බරද මහින්දගේ ඇඟේ ගසා ආණ්ඩුව තමන්ගේ නොහැකියාව හංගාගැනීමට විකල්ප සොයයි. ‘යහපාලන’ ආණ්ඩුවේ උපන්ගෙයි ගතිය බලි ඇරියත් නොයති.

දඹුල්ල තොග වෙළඳ පොළේ එළවළු තොග මිල ඊයේ වනවිට සියයට 25කින් ඉහළටය. අයහපත් කාලගුණය එයට හේතුව බව කීවද අතරමැදියාගෙන් පාරිභෝගිකයා බේරාගැනිමට වැඩපිළිවෙලක් ආණ්ඩුවෙන් අවැසිය. රුපියල් 360 නූඩ්ලස් එකට වැට් බද්ද රුපියල් 54කි. සුපිරි වෙ‍ෙළඳ සැලකින් රෝස්පාන් ගෙඩි දෙකක් ගත්විට වියදම 101කි. එයට අමතරව රුපියල් 15.66ක වැඩ එකක්ද ගෙවිය යුතුය. පාන් ගෙඩියේ බද්දත් එහෙමය. වැඩිකල බදුවලින් දුරකථන ගාස්තු බදු සියයට 50කින් ඉහළ ගියේය. දැන් විදුලි සංදේශ බද්ධ සියයට 26.04කි. එයට ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළුව රජයේ බදු සියයට 4.16 මෙන්ම වැඩ් බද්දද ඇතුළත් වේ. තරුණ පරපුරටනම් ෆී වයිෆයි නම් තවත් එපාය. පරණ විදිහටම ඉන්න දුන්නොත් හොදටම ඇතිය. හොරා හොරා කියා තුන් වේලම මතුර මතුර සිටියාට ගොඩ එන්නේ නැත. ඉකුත් මැතිවරණයන්හිදී ජනයාට පාර වැරදුනේය. දැන් වංගු වැඩිය. පල්ලම් ගොඩකි. බ්‍රේක් නැත.  

dharman20051602

අවසානයේදී නටපු නැටුමකුත් නැත. බෙරේ පළුවකුත් නැත. හොරා ලෙස චෝදනා ලැබූ අය වීරයා විය. අවංකයා වංකයා විය. මොළයක් යැයි කීවද එය අලයක් විය. සියල්ල මව්බිමට අදරැති ජනයාට දැන් ප්‍රත්‍යක්ෂ වී හමාරය. ඒකාබද්ධ විපක්ෂයේ ගමන අසීරු බව ඇත්තය. දැන් එය ස්වාධීනව දේශපාලන ගමන සැලසුම් කළයුතු මාර්ගයකට පිවිස තිබේ. එය සජීව ක්‍රියාවලියකි. හැම දෙයකම පටන්ගැනීම අමාරුය. ද්‍රෝහීහු පාවා දෙති. දුර්වලයෝ යටත් වෙති. වීරයෝ අරගල කරති. කිතුල් ගහේ උවද මුලින් එන්නේ කොට ගොබයක්ය. කොට ගොබය හෙවත් පොඩි අත්ත ආවාට පසු මුදුන් මල එන බව ගැමියෝ දනී.

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

2 Responses to “‘සොරි ඩොට් කොම්’”

  1. Christie Says:

    Namaste; Jai Hind Jai Bharat Samraj!

  2. Kumari Says:

    Thanks Dharman. What to expect from a man who can’t sweep a road. Big talk only. I saw Derana aid distribution. Also Mahinda attending a funeral ceremony.

    Ravi is still trying to sort out how much money is allocated for flood relief. We are asking too much from a FM who couldn’t add up the income and expenditure columns of the country’s budget.

    Sri Lanka definitely is a SORRY.COM.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress