71 කැරළිකරුවෙකුට මරුසිරා ලබාදුන් සිය අත්අකුරෙන් ලියූ ජීවිත කථාව මෙන්න!
Posted on May 21st, 2016

ධර්මන් වික්‍රමරත්න

මෙය මරුසිරාගේ කථාවකි. මෙය මරුසිරාගේ පමණක් නොව 1971 අප්‍රේල් කැරැල්ලට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික පවුලකගේද කථාවකි. ඒ දෙකටමත් වඩා විෂමවූ සියළු වාදභේද සහ සීමාබන්ධන ඉක්මවා යන ආත්ම පරිත්‍යාගයේ සහ උදාරතර මනුෂ්‍යත්වයේද කථාවකි. දශක 4කට එපිට මෙම කථාවට මුල පිරුණේ අදින් මසකට පමණ පෙර එක්තරා දිනයකදීය.

මරුසිරාගේ ජීවන කථාව ඇතුළත් ලිපිය 71 අප්‍රේල් සිරකරුවෙකුවූ ඊ.ජී කරුණාදාස, බෝගම්බර සිටියදී සිය සොහොයුරාවූ නීතිඥ ඊ.ඩී. ප්‍රේමදාස(තැපැල් ප්‍රේමදාස)ට භාර දුන්නේය. එවකට පන්නිපිටියේ සිටි තැපැල් ප්‍රේමදාස පසුව පානදුරේ පදිංචියට ගියේය. ඊ.ජී කරුණාදාස බන්ධනාගාරයෙන් නිදහස්ව 1977 නොවැම්බර් මස පැමිණියද ලිපිය ප්‍රේමදාසගේ නිවසේ අස්ථානගතව තිබිණි. එය යළි හමුවූයේ ප්‍රේමදාසගේ දූ දරුවන් ඔස්ට්‍රේලියාවට පදිංචියට යෑමෙන් පසු නිවසේ පුස්තකාලය අස්පස් කරද්දී 2016 මුල් භාගයේදීය. එම ලිපියේ මුල් පිටපතම ඔහු ලියුම්කරුට ලබාදුන්නේ මරුසිරාගේ අවසාන ලිපිය රටට විවර කරන්නටය. තැපැල් සහ විදුලි සංදේශ ලිපිකරු සේවා සංගමයේ ලේකම්ව සිටි තැපැල් ප්‍රේමදාස 1986දී ලියුම්කරු විසින් හඳුනාගෙන තිබුණේ ලිපිකරු කාර්මික පළාත් පාලන සහ සමාන්තර සේවා සමුළුවකදීය.

Dharman Wickremaratneධර්මන් වික්‍රමරත්න

තැපැල් ප්‍රේමදාසගේ පියාවූ එගොඩ ගමගේ පියදාස සිව්දරු පියෙකුවූ අතර වෘත්තියෙන් ගොවියෙකි. අකුරැස්ස ගොඩපිටිය ගම්කාරක සභාවේ කොමියුනිට්ස් පක්ෂයේ ගම්සභා නියෝජිතයෙකු වශයෙන් කලක් හෙතෙම කටයුතු කර තිබිණි. පදිංචිය හක්මන කරගොඩ උයන්ගොඩය. බිරිඳ ගනීගොඩවල ගමගේ සීලවතීය. හැටේ දශකයේ අවසාන භාගයේ රෝහණ විජේවීර නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) දේශපාලනය පියදාසගේ පුතුන් තිදෙනෙකුටම කාවැදී තිබිණි. විජේවීරගේ නායකත්වයෙන් විප්ලවීය චරිත බවට පත්වු එම පුතුන් ලොකු අතුල, සනත්, පියතිලකලා සමඟ හරි හරියට එක්ව වැඩ කළහ.

වැඩිමහල් දරුවාවූ එගොඩ ගමගේ ප්‍රේමදාස උපන්නේ 1937 මාර්තු 28දාය. තැපැල් දෙපාර්තමේන්තුවේ  සේවය කල ඔහු 1971 අප්‍රේල් කැරැල්ලේදී හැඳින්වූයේ තැපැල් ප්‍රේමදාස නමිනි. වර්තමානයේ නීතිඥවරයෙකු වන ප්‍රේමදාස විවාහ වූයේ 1968 නොවැම්බර් 1වැනිදා නන්දා මස්සලගේ සමඟය. තැපැල් ප්‍රේමදාස, වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංගෙන් වාමාංශික දේශපාලනයට නැඹුරුවු අතර ගොවි නායකයෙකුවූ ආරියවංශ ගුණසේකර සමඟ සමීපව කටයුතු කළේය. පසුව ඔහු ජවිපෙට එක්වි තිබිණි. 71 අප්‍රේල් කැරැල්ලට පොලිසියට හසු නොවූ කැලෑවලටද පසුනොබැසූ නගරයේ රහසිගතව සැගවෙමින් ජීවත්වූ තරුණ නායකයෝ ඊළඟට ගතයුතු පියවර සම්බන්ධයෙන් බම්බලපිටියේ ෆේවරිට් ගොඩනැගිල්ලේ ලංකා ගුරු සංගම් කාර්යාලයට ප්‍රථම වරට රැස්වූහ. එයට එච්.එන් ප්‍රනාන්දු මෙන්ම ප්‍රේමපාල හේවාබටගේ, ප්‍රේමදාස ගමගේ නොහොත් තැපැල් පියදාස, මෙරිල් ජයසිරි, ජයදේව උයන්ගොඩ, සිවඥානම්, පාලිත සොලමන්ස් නොහොත් ෂාම්දාස් , නන්දන මාරසිංහ, විජේවර්ධන ඇතුළු පිරිසක් විය. ජවිපෙ නැවත සංවිධානය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමදාස ගමගේද සිර අංක 2007 යටතේ කොළඹ ‍07 ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ විමර්ශන අංශය මගින් මැගසින් බන්ධනාගාරයේ රඳවාගෙන පසුව 1975 ජනවාරි 03වැනිදා නිදහස් කරන ලදී.

dharman21051602.දකුණේ හක්මන කරගොඩ විප්ලවිය වාමාංශික පවුලක්වූ එගොඩ ගමගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක්.(වමේ සිට) පියාවූ ගොඩපිටිය ගම්කාරක සභාවේ කොමියුනිට්ස් පක්ෂ නියෝජිත පියදාස, වැඩිමහල් දරුවාවු නිතිඥ ප්‍රේමදාස නොහොත් තැපැල් ප්‍රේමදාස, දෙවැනි පුත්‍රයාවූ 71 කැරැල්ලේ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිරගතව මරුසිරාගේ අත්අකුරෙන්ම ජීවිත කථාව ලබාගත් කරුණාදාස නොහොත් පොඩි මහත්තයා සහ තෙවැනි පුත්‍රයාවූ 71 ජවිපෙ කැරැල්ලේදී විල්පත්තුවේදී හමුදා වෙඩි පහරකින් කැරළිකරුවෙකු ඝාතනයට ලක්වූ වෛද්‍ය පර්යේෂණ නිලධාරි ආනන්ද ගමගේ.

තෙවැනි පුත්‍රයා වුයේ ඊ.ජී. ආනන්ද නොහොත් ආනන්ද ගමගේය. තෙලිජ්ජවල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ආනන්ද, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරියෙකු වශයෙන් සේවය කරමින් සිටියදී ජවිපෙට 1968දී එක්වූයේ මිද්දෙණිය කටුවන කඳවුරට සහභාගි වීමෙනි. බදුල්ලේ ඔහු ජවිපෙ පුර්ණකාලීනකයෙකු වූයේ අබේ දිසානායක නොහොත් මොණරාගල ආනන්ද, අම්බලන්ගොඩ ජයන්ත ද එස් ජයමුනි නොහොත් බදුල්ලේ සරත් වැනි අය සමඟය. ඔහු මියගියේ ජවිපෙ 1971 අප්‍රේල් කැරැල්ල පරාජයට පත්විමෙන් පසු විල්පත්තු කැලයට පසුබැස ගොස් කඳවුරුලාගෙන සිටියදී කුඩා හමුදා කණ්ඩායමක් පුත්තලම පහරිය විල්පත්තු මායිමේදී සැඟවසිට එල්ලකල ප්‍රහාරයෙන් 1971 දෙසැම්බර් 5වැනිදාය. මිය යන විට 24හැවිරිදිය. අප්‍රේල් කැරැල්ලේ කැරළිකරුවන්වූ පේරාදෙණියේ සරසවි ශිෂ්‍යාවක්වූ ධර්මා සහ 13 හැවිරිදි අනුරාධපුර චූටි නංගීද ආනන්ද සමඟ විල්පත්තුවේදී ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර විය. කෑගල්ලේ නායකයාව සිටි සරත් විජේසිංහගේ බාල නැඟනියවූ හේමමාලි විජේසිංහ නොහොත් ජුලියට් එහිදී බරපතල තුවාල ලබා ජීවිතය රැකගැනීමට සමත් විය. ඝාතනයට ලක්වූ ආනන්ද, ධර්මා සහ චූටි නංගිගේ සිරුරු හමුදාව මගින් පුත්තලම පාරේ 7 කණුවේදී පුළුස්සා දමන ලදී.

dharman210516041971 අප්‍රේල් කැරැල්ලේදී ආනන්ද ගමගේ සමඟ අරගලයට එක්ව සිටි කිහිපදෙනෙක්.(වමේ සිට) කෑගල්ල නායකයාව සිටි සරත් විජේසිංහ, බදුල්ල ප්‍රබල ක්‍රියාකාරිකයෙකුව සිටි අම්බලන්ගොඩ ජයමුණි නොහොත් බදුල්ලේ සරත් සහ විල්පත්තුවේදී ආනන්ද වෙඩි වැදී මිය යන විට එම වෙඩි පහරවලින් තුවාලලබා ජීවත්වීමට වාසනාව ලත් කෑගල්ලේ හේමමාලි විජේසිංහ නොහොත් ජුලියට්.

දෙවැන්නා වූයේ ඊ.ජී. කරුණාදාස නොහොත් පොඩි මහත්තයා නොහොත් ඊ.ජීය. කරගොඩ උයන්ගොඩ මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ සමත්වූ ප්‍රථම ශිෂ්‍යාද ඔහුය.  ඔහුගේ සොහොයුරන් මෙන්ම ඊ.ජිද ජවිපෙට එක්වුනේ 1969දීය. එයට පෙර සිටියේ චින ලයින් එකේය. අප්‍රේල් කැරැල්ලෙන් ඇද වැටුණු ජවිපෙ කටයුතු ප්‍රතිසංවිධානය කිරීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයින්ගේ පවුල්වලට සහන සැලසීම සඳහාත් ජවිපෙට අරමුදල් හිඟව තිබිණි. එම අරමුදල් සොයා ගැනීම සදහා 71 කැරැල්ලට හසු නොවූ ජවිපෙ ක්‍රියාකාරිකයෝ පක්ෂයේ උපදෙස් පරිදි විවිධ ක්‍රියාමාර්ගවල යෙදුණේය. වැලිගම බැංකුවෙන් 1971 ජුනි 24වැනිදා රුපියල් ලක්ෂ ගණනක මුදල් ලබා ගත්තේ එවැනි සැලසුමක් අනුවය.  එහි ප්‍රතිඵලයක් ලෙස පසුව අත්අඩංගුවට ගත් අතර අපරාධ යුක්ති කොමිසන් සභාව මගින් ඔහු හා ඔහුගේ සඟයින් වසර 8කට සිරගත කරන ලදී. කොමිසම අහෝසි වීමෙන් පසු 1977 නොවැම්බර් 12 ඔහු නිදහස් විය.

මාතර රජගොඩැල්ලෙන් විවාහ වු ඔහු 1988 දෙසැම්බර් 12වැනිදා ජවිපෙ දෙවැනි කැරැල්ලේ කැරළිකරුවන් විසින් 17 පලකට පිහියෙන් ඇන කෘර ලෙස ඝාතනය කර තිබිණි. මරණයට ආසන්න හේතුව වූයේ කරගොඩ උයන්ගොඩ සුජන කන්තාරාමය විහාරස්ථානයට අයත් පුවක්කොරටුව නැමති ඉඩම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකදී එම විහාරස්ථානයට අයත් එම ඉඩම විහාරස්ථානයටම ලබාදීමට නායකත්වය ලබාදීම නිසාය.  මියයන විට පුතුන් තිදෙනෙකුගේ සහ දියණියකගේ පියෙකුවු ඊ.ජී. ජවිපෙ දෙවැනි කැරැල්ලේ පුද්ගල ඝාතන දේශපාලනය ප්‍රතික්ෂේප කල අයෙකි. ඊ.ජීගේ බාලම සොහොයුරා සෝමවීර ගමගේ නම්වූ අතර එම බාප්පාගේ උදව් උපකාර ඊ.ජීගේ දරු දැරියන්ට නොඅඩුව හිමිවිය. ඊ.ජී.ගේ වැන්දඹු බිරිඳ කුසුමා උඩුවගේද දූපුතුන් වෙනුවෙන් අසීමිතව කැපකර 2015 වසරේදී ජීවිතයෙන් සමුගත්තාය.

ඊ.ජී කරුණාදාස 1971 අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් බෝගම්බර සිරගතවි 1975දී ඔහුට මරුසිරා හමුවිය. මරුසිරා විසින් සිය අත්අකුරෙන්ම තම ජීවිත කථාව ඊ.ජීට ලියාදුන් අතර එය තරුණ පරපුර සුමගට යොමු කිරීමේ අරමුණින් කවදාහෝ පුවත්පතක පල කරන මෙන් ඉල්ලීමක්ද කර තිබිණි. ජීවිත කථාව මරුසිරා සමඟ සාකච්ඡාකර ලියාදීමට ඊ.ජී. එකඟවූවද ඊට සතියකට පසු ඊ.ජී. කොළඹ මැගසින් බන්ධනාගාරයට මාරුකරන ලදී. එයට පෙර ඔහු හතරවැනි තට්ටුව, යාපනය හැමන්හිල්, නුවර බෝගම්බර, වැලිකඩ බන්ධනාගාරවල ගතකර තිබිණි. එමෙන්ම මරුසිරාද 1975 අගෝස්තු 5වැනිදා උදෑසන 8.05ට බෝගම්බර සිරගෙදරදී එල්ලා මරාදමන ලදී.

ජවිපෙ 71 කැරැල්ලට හසුවී සිටි අය බේරාගැනීම සඳහා නන්දන මාරසිංහ ඇතුළු ජවිපෙ කණ්ඩායමක් අනුරාධපුර බන්ධනාගාරයට 1972 ජුනි 13වැනිදා ප්‍රහාරයක් එල්ලකර එහි සිටි පියදාස රණසිංහ, හීන්බණ්ඩා වනසිංහ ඇතුළු ජවිපෙ ක්‍රියාකාරිකයින් 31 දෙනෙකු මුදවා ගන්නා ලදී. එම ප්‍රහාරයට මුවාවී මරුසිරා සමඟ නමගිය අපරාධකරුවන් 4 දෙනෙකු ඇතුළු සිරකරුවන් 7ක්ද පළාගියහ. තවත් වරක් මරුසිරා නඩුවකට ගෙන යන අතරේ බන්ධනාගාර නිලධාරින්ගෙන් පැනගියේ තවත් භයානක සිරකරුවන් වූ කළුතර ඩී.බී. සුමතිපාල හෙවත් හිතුමතේ ජීවිතේ ඇතුළු තිදෙනෙකු  සමඟය.

මරුසිරා යනු දෙද්දුව ජයතුංගලාගේ සිරිපාලය. උපන්නේ අනුරාධපුරයේය. පදිංචිය සාලියපුරය. ඔහු ලස්සන උස හීන්දෑරි කොල්ලෙකි. මරුවා සමඟ වාසේ කියා පච්චයක්ද පපුවේ කොටා තිබේ. දුක්ගන්නා රාළලාගේ රන්මැණිකා නොහොත් ඩී.ආර්. රන්මැණිකා සමඟ සිරිපාල අවාහවන විටද රන්මැණිකා 8 දරු මවකි. විවාහයෙන් පසු සිරිපාලට දාව දියණියක්ද බිහි කළාය. සිරිපාලගේ මරණයෙන් පසු ඔහුගේ ඉල්ලීම අනුව මිතුරාවූ අයි.ජී. ධර්මදාස සමඟ විවාහවූ ඇය වර්තමානයේ දරුවන් 10 දෙනෙකුගේ සහ මුණුබුරු මිනිබිරියන් 31කගේ අත්තම්මා කෙනෙකි. ධර්මදාසද 2011 මැයි 14 දිවියෙන් සමුගත්තේය. මිනිමැරුම් දෙකකට අනුරාධපුර මහාධිකරණයෙන් මරණිය දණ්ඩනය ලැබූ සිරිපාල සිරකර තැබුවේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ අංක 32 දරණ සිරකුටියේය.

dharman21051603මෙයට දශක 4කට පමණ පෙර රටේ ප්‍රකට දාමරිකයින්වූ පොළොන්නරුවේ පොඩි විජේ, අනුරාධපුරයේ ඩී. ජේ. සිරිපාල නොහොත් මරුසිරා, මරඳන්කඩවල යකඩයා, අග්ගොන චන්දරේ, මරදානේ චොප්පේ සහ ඩී.බී. සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ(වමේ සිට)

පෝරකයට ඇදගෙන යනවිටත් සිරිපාල නොහොත් මරුසිරා මරණයට පත්නොවූ අයෙකු වුවද කාය ශක්තිය හීනවී නිදිබර ස්වභාවයක් පළ කළේය. එල්ලුම් ගස ක්‍රියාත්මක කළේ වැලිකඩ බන්ධනාගාරයේ සිට බෝගම්බරට පැමිණි ලුවිස් සිඤ්ඤෝ සහ පබ්ලිස් අප්පුහාමි යන අළුගෝසුවන් දෙදෙනාය. මරුසිරා මරා එල්ලූ බවට ආන්දෝලනයක් සිදුවූ නිසා ඒ පිළිබඳව සොයා බැලීමට ඇල්ලේපොල කොමිසම නමින් කොමිසමක්ද පත්කරන ලදී. සිරිපාලගේ මෘත ශරීරය යළි ගොඩගත් අතර එසේ සිරකරුවෙකුගේ මෘත ශරිරයක් නැවත ගොඩගත්තේ ප්‍රථම වතාවටය. පේරාදෙණිය සරසවියේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි චන්ද්‍රා අමරසේකර විසින් සිදුකල පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළිවූයේ එල්ලා මරණ විට සිරිපාල මියනොගියද අධික ලෙස නිදිපෙති ගිලදැමිමෙන් නිද්‍රා ස්වරුපයෙන් පසුවූ බවය. එම මරණ පරික්ෂණයට සහභාගිවූ මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ල විසින් මරුසිරාගේ හිස්කබල පේරාදෙණිය සරසවියෙන් පසුකලෙක කරාපිටිය රෝහලේ වෛද්‍ය පීඨයේ තැන්පත් කරන ලදී.

පසුකලෙක අමරනාත් ජයතිලක විසින් සිරිපාල සහ රන්මැණිකාද ටයිටස් තොටවත්ත විසින් මරුවා සමඟ වාසේ යන චිත්‍රපටි දෙකම නිර්මාණය කළේ මරුසිරාගේ චරිතය ඇසුරෙනි. මරුසිරාට කවි ලිවීමේ හැකියාවක් නොතිබූ අතර ඔහු ලියූ කවි ලෙස ලෙස ප්‍රචලිත වූයේ මරණ දඩුවම නියමවූ බාන්ස් විමලරත්න සහ හේරත් යන දෙදෙනාට මරුසිරා විසින් දෙන ලද එක්සයිස් පොතක ලියන ලද කවිය. එහෙත් මරුසිරා චිත්‍ර ඇදීමේ දක්ෂයෙකි. එල්ලුම්ගස මගින් අවසාන වරට ශ්‍රී ලංකාවේදී වරදකරුවෙකු මරණයට පත්කර ඇත්තේ 1976 ජුලි 23 වැනිදා වැලිකඩදී මරාදමන ලද හොද පපුවා නොහොත් ජේ.ඒ චන්ද්‍රදාසය. එදා සිට මේ දක්වා වසර 40ක් තුළම මරණීය දණ්ඩනය සඳහා එල්ලුම්ගස ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැගී නැත.

dharman21051605සිරිපාල නොහොත් මරුසිරා පොලිස් අත්අඩංගුවේදී(වමේ) සහ රෝගාතුරව රෝහලේ සිටි සිරිපාල බැලීමට බිරිඳ රන්මැණිකා ඔහුගේ සිගිති දියණිය සමඟ ගිය අවස්ථාවක්(දකුණේ).

හැත්තෑ එකේ කැරළිකරුවෙකුවූ ඊ.ජී. කරුණාදාසට බෝගම්බරදී 1975 ආරම්භයේදී භාරදුන්, මරුසිරා නොහොත් ජේ.ඩී. සිරිපාල සිය අත්අකුරෙන් කෙටියෙන් ලියනලද මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිම මාධ්‍යයක පළනොවූ ඔහුගේම වචන වලින් ලියා ඇති මරුසිරාගේ ජීවන කථාව ඇතුළත් ලිපිය මෙසේය. ‘’ගමෙහි 1949දී සහෝදරයින් 7, දෙමව්පියන් 2, ඇතුළු පවුලේ 9 දෙනෙක්ය. පියාගේ රැකියාව අනුරාධපුර මහලු නිවාසයේ සාත්තු සේවකය. ඔහු සුළු මුදලක් එවයි. එයින් සියල්ල බැරි නිසා මා පාසැල් ගියද 8 වැන්නෙන් අවසන් විය. මෙසේ දඩාවතේ සිටි මා පියා සොයා අනුරාධපුරයට පැන ආවෙමි. ටිකදිනක් පියාගේ සැලකිල්ල ලැබුනත් පසුව නැතිවිය. මා මෙතෙක් පටන් රස්තියාදුවට වැටී එක එක අය සමඟ සොරකම් ද ගංජා, අරක්කු ආදියටද පුරුදුවිය. 1968/69 වැනි අවුරුදුවල හොරකම් නඩුවලටද අසුවූයෙමි. මේ ආකාරයට කාලය ගෙවන මාහට පොලිසියෙන්ද සැමවිටම වධ දුන්නේය.

dharman21051606Aමරුසිරා සිය අත්අකුරෙන් ලියා 71 අප්‍රේල් කැරළිකරුවෙකුවූ කරුණාදාසට බෝගම්බරදී 1975 මුලදී ලබාදුන් ජීවිත කථාවේ පිටු කිහිපයක්.

මෙසේ කාලය යන විට 71 අප්‍රේල් කැරැල්ල ඇරඹිය. මින් පොලිසිය මාද මා වැනි අන් අයද සොයා මරන්න, ගසන්න, බාවනවාය නිසා මා සැඟවුනෙමි. මේසේ සැගවී සිටීම නිසා පොලිසිය මා සෙවීම වැඩිවිය. මා කැලයට වී හේනකින් තුවක්කුවක් සොයාගෙන සිටිනවිට කෑම සඳහා පොඩි පොඩි අතුපැලවල් වලට එන්නෙමි. මෙසේ දින කිහිපයක් එක තැනකට ගියෙමි. එක් දිනක් මා පැල ඇතුලේ සිටියදී මා ඇල්ලීම සදහා මිනිසුන් හෝ පොලිසිය හෝ ගේ වටා සිටින බව දැක්කා. ගෙදර මිනිසා කිව් හැටියට 13 දෙනෙක් පමණ තුවක්කු කඩු ඇතිව සිටින බව දැනගතිමි. මා පැනයාමට අතක් බලමින් සිටින විට ඔවුන් ගෙට ඇතුල් විය. ඉදිරි දොරකඩ පොඩි පැලලී දොරක්ය. පැන ගෙහිමියාටද ගැසුවෙමි. මා පිටුපසින් පැන්නෙමි. පනිනගමන් කරුවලට වෙඩිල්ලක් තබා පැනගියෙමි. මේ වෙලාව 8 පමණ ඇත. පසුව දැනගත් පරිදි මිනිසෙකු මැරී ඇති බව දැනගත්තමි. තවත් බියට පත්වූ මා කැලයේ දින ගණනක් නිරහරව ඉද සිමන් නැමති මා හිතවතෙකුගේ ගෙදරට පැමිණියේමි. ඔහු මා හට කැමද කසිප්පුද දී නැවත එන ලෙස කීවෙමි. හැකි සෑම උදව්වක් කරන්නමි කීය. මා ඊට පසු දෙවතාවක් පමණ ගියෙමි. මා හට කෑමද පතොරම් දෙක තුනක්ද අරක්කුද මා සෙවීම ගැන තතුද ඔහු දන්වන්නේය.

මෙසේ එක් දිනක් පැමිනිය විට තවත් මිනිසුන් දෙදෙනෙක් මෙහි සිටියහ. මා අදුරන්නේ නැති අය නිසා මා සැක ඇතිවී මා ආපසු යාමට සැදුවෙමි. එහෙත් සිමන් අයියා මා හට බියවීමට කරුනක් නැති බවත් ඒ අය හේනේ වැඩට ගෙන්නා ගත් අය බවත් අද අරක්කු පෙරීමට ඇති නිසා ඒ අයත් දැන්ම කෑම කා යන නිසා මටත් කෑම කා දැන්ම යන්ට හැකි නිසා පොඩියක් ඉන්න මෙන් කියා කසිප්පු බීමට දුන්නෙමි. සියලු දෙනාම බීවෙමි. ඉන් පසු එක් මිනිසෙක් පිටවී ගියේය. මා සැක නිසා ඒ ගැන විමසූවිට ඔහු අරක්කු පෙරීමට උපකරණ ගෙන ඒමට ගියා බව කීවෙමි. එහෙත් මගේ සැකය වැඩිවිය. මා තුවක්කුව බිම නොතියා ඔවුන් ඉල්ලුමුන් නොදිද අතේම තබගෙන සොදිස්සියෙන් සිටියෙමි. වේලාව 7.30 පමන ඇත. ඔහුගේ බිරිඳ අප 3 දෙනාටම බත් බෙදාගෙන ආවාය. සිමන් අයියා මා ඉදිරිපිට ඇති පුටුවේය. මැද ටීපෝ එකේ තබාගෙත මාත් සීමන් අයියා බත් කන අතර මා පිටුපස ඇදේ නාඳුනන මිනිසාද බත් කැවේය. මෙසේ සුළු වේලාවක් කමින් සිටි අතර මා හට පහර පිට පහර දෙන්න විය. මා සෝදිසියෙන් සිටි නිසා ඔලුව යන්තම් බේරුණි. පිටිපස ඇදේසිටි අය පොල්ලකින් මා හට ගැසුවේය. ඔලුව බේරි උරයට පහර වැදිණි. එ්සමගම තවත් පහරවල් සමඟ මා පුටුවෙන් පහලට වැටිනේ මා අත තිබූ තුවක්කුවද සමඟය මා තුවක්කුව පත්තු කලාද ඉබේ පත්තු වුනාද කියන්න බැරි තරම්ය. එය පත්තුවිය. ඉදිරියෙන් සිටි සිමන්ට එය වැදෙන්නට ඇත. ඔහු එතෙන වැටුනේය. ඔහුත් මා හට ගැසීමට හැදුවත් වෙඩිපහර ඉස්සර විය. වෙඩි හඬ සමඟම මට ගැසු මිනිසා පසුබටවිය.

dharman21051607මරුසිරාට මරණීය දණ්ඩනයට පෙරදින ආගමික වතාවත් කල අලුත්ගම ධම්මානන්ද හිමි, මරුසිරාගේ බිරිඳ ඩී. ආර්. රන්මැණිකා, සිරිපාල සහ රන්මැණිකා චිත්‍රපටියේ රන්මැණිකා චරිතයට පණපෙවු මාලනී ෆොන්සේකා එහි රඟපාන අවස්ථාවක්(ඉහළ වමේ සිට), මරුසිරා සිරගෙදර සිටි කුටිය, මරුසිරා එල්ලා මැරූ බෝගම්බර එල්ලුම්ගහ රන්මැණිකා පසුකලෙක බැලීමට ගිය අවස්ථාව සහ මරුසිරාගේ යළි ගොඩගත් දේහයේ හිස්කබල කරාපිටිය වෛද්‍ය පීඨයේ තැන්පත්කර ඇති අන්දම(පහළ වමේ සිට)

මා නැගිට ගෙයින් එලියට පැන තවත් වෙඩි පහරක් ගේ පැත්තට තබා පැන ගියෙමි. යන විට මා සිදුවූ සියල්ල සිහිවිය. කෑමත් නැතිව නිසි නින්දක් නැතිව වැස්සට තෙමි තෙමී මදුරුවෝ කමින් කාගේවත් පිහිටක් නැතිව මා හට හතුරුකම් කරන නිසා එයින් පලිගැනීම සඳහා මානසික බලපෑමක් හෝ නිසා මා දිගින් දිගටම එම වෙලාවමි. ගෙවල් දෙකක් සහ කඩයක්ද ගිනි තැබුවෙමි. කැලයට යන විට අරක්කු පෙරමින් සිටි තැනක් කැලේ දුටුවෙමි එතැනට ගොස් අරක්කු බිබී උදේ වෙනතෙක් එතැන සිටියෙමි. උදේ බඩගිනි නිසා මා කෑම සොයා නැවත මහ පාරට ආවෙමි. දින ගණනාවකින් අහර නැතිවීම අරක්කු බීව, නිදි මැරීම ආදී නොයෙකුත් කරදර වලින් මා පිස්සෙක් බවට පත්ව සිටියෙමි. මෙසේ කෑමට යමක් ගැනීමට මහළු නිවාසය ඉදිරිපිට කඩයකට ගිය විට ඔහුන්ව පොලිසියට අල්ලාදීමට ටැලිපොන් කිරීමට මඩමට ගියෙමි. මා හට කිසිත් නොදී මෙසේ කරන්න සැදු නිසා මා එම කඩයට ගිනි තැබුවෙමි. ගිනිතබා ගෙන විට ටැෆික් පොලිස් කාරයින් දෙදෙනෙක් පැමින මා හට ඩෙිතැබුවෙමි. මා දුවගෙියත් පසු පසින් පන්නා  පන්නා වෙඩි තැබුවෙමි මා ද ආපු හැරී වෙඩි දෙකක් තබා පැන ගියෙමි. පැය භාගයක් යන්න ප්‍රථම පොලිස් 20/30 පමන මා පසුපස වෙඩිතැබුවෙමි.

මා කැලයට පැන ගොස් පසුව අනුරාධපුරින් පිටත්වී හලාවතට ගියෙමි. මා උසාවියට ඉදිරිපත්වීම ගැන උත්සාහ කලත් හදිසි නිතිය නිසා පොලිසියෙන් ගන්නා බව දැනගන්න ලැබුනෙමි. පසුව ඉදිරිපත්වීමට පුලුවන් නිසා වහලාපිටියේ ගෙදරක සිටියෙමි. 1971 ඔක්තෝබර් 22 එහිදී මා පොලිසියෙන් ඇල්ලුවෙමි. නොයෙකුත් හිරිහැර විදපු මා අල්ලන්න ප්‍රථම මාගේ මව ඇතුලු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණි. මාගේ මව සමඟ සංවාසයේ යෙදෙන්න කියා මා ඇතුලු අනෙකුත් අයටද මටද නොයෙකුත් වද දුන්නෙමි. මව පෙලිසියෙන් මුදාහැර අන් අය සමඟ මා 71 ඔක්තෝබර් 26 අනුරාධපුර බන්ධනාගාරයට ගෙන ගියහ.

ඉතිරි හරිය ඔබලග ඇති නේද අඩුපාඩු අසා එවන්න. තෝරාගැනීමට ටිකක් අමාරුයි වෙයි. පුළුවන් හැටියටයි ලියා තිබෙන්නේ. අමනාප නොවන්න. ඉතා රසවත් වන හැටියට ලියන්න. නොමග යන්නෙකුට හැදෙන්නට ලියන්න. කොල ලැබූහැටියේ ඉතිරිටික එවන්නම්. මාගේ ජීවිතය මුල්කාලය මෙන්ම දැනුත් ඉතා දුක්ඛිතයි. ඉතා දුක් තත්ත්වයෙන් සිටිමි. ලිපිය ගලපා ගන්න. මාගේ ජීවිතය පූජාවක් වේවා!’’

(The writer is a senior journalist who could be reached at [email protected] OR 011-5234384)

 

ධර්මන් වික්‍රමරත්න

[email protected]

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress