ජවිපෙ විප්ලවීය ඉතිහාසයේ දයාගේ ලකුණ
Posted on May 28th, 2016

ධර්මන් වික්‍රමරත්න

වසර 51ක ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) ගමන්මඟ වැටී තිබුණේ මල් ඇතිරූ මාවතක නොවේ. දුෂ්කර අභියෝග, දෝහිකම්, කල්ලි සහ කණ්ඩායම්වාදයන්, අර්බුද සහ කුමන්ත්‍රණ, පාවාදීම්, අවලාද නැගීම්, මර්ධනයන් සහ ඝාතනයන් මැදආ එම ගමන අතිශය දුෂ්කර බව අවිවාදිතය. එම ගමන් මාවතේදී සාධනීය මෙන්ම නිශේධනීය ලක්ෂණද විය. හොදදේ මෙන්ම බොහෝ අඩුලුහුඬුකම්ද විය. ජයග්‍රහණය මෙන්ම පරාජයන්ද විය.

හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලේදී මෙන්ම ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 – 1990දීද දිවි පිදූ අරගලකරුවන් දහස් ගණනකි. එම කැරළි දෙකේ අරගල විසින් වීරයන්ද බිහිකල අතර සටන්වැදී දිවිපිදූ බොහෝ දෙනා විශ්වාස කලනොහැකි සටන්කාමීත්වයක්, නිර්භීතබවක් සහ වීරත්වයක් විදහා පෑය. ඒ සඳහා ඔවුනට උපකාරි වූයේ එම කැරළිකරුවන්ගේ අධ්‍යත්මය තුළ තිබූ අචල විශ්වාසය වේ. එසේ 1971 අප්‍රේල් කැරැල්ලේ අරගල සම්ප්‍රදාය යළි ජීවමාන කිරීමේ වගකීම සිය උරමත  තබාගෙන කටයුතු කල නියමුවෙකුවූ දයා වන්නිආරච්චි ඉකුත් මැයි 21වැනිදා ජීවන මගෙන් සමුගත්තේය. ඔහුගේ අවසන් කටයුතු මැයි 25වැනිදා වීරකැටියේ හීන්බුන්නේ පවුලේ සුසානභූමියේදී සිදුකෙරිණි.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි.

ජවිපෙ වැඩබලන ලේකම් වශයෙන් 1976 මාර්තු 18වැනිදා පත්වූ උපතිස්ස ගමනායකට පසුව සාමාජික අනුමැතියෙන් පත්වූ ප්‍රථම ප්‍රධාන ලේකම් වශයෙන් 1978 සිට 1982 දක්වා කටයුතු කළේ දයා වන්නිආරච්චිය. ඔහුට පසුව 1983 පක්ෂ තහනම දක්වා ජවිපෙ ලේකම් වූයේ ලයනල් බෝපගේය. ජවිපෙට අනුව දයා වන්නිආරච්චි සොදුරුතම මිනිස්කම දෝතට ගත් අයෙකි. උදාවන හිරුගේ අරුණ දුටු අයෙකි. එමෙන්ම ඝනදුරු රැයක මඟ කියූ තරුවකි.

dharman280516A02

ජවිපෙ 71 කැරැල්ලේ ක්‍රියාකාරිකයෙකු, සාමාජික අනුමැතියෙන් පත්වූ ප්‍රථම ප්‍රධාන ලේකම් සහ ජවිපෙ 2වැනි කැරැල්ලේ සන්නද්ධ නායක සමන් පියසිරි ප්‍රනාන්දුගේ න්‍යායචාරවරයෙකුව සිටි දයා වන්නිආරච්චිගේ විවිධ අවස්ථාවන් කිහිපයක්.

වීරකැටියේ 1948 පෙබරවාරි 22 උපන් දයා වන්නිආරච්චි 11 දෙනෙකු යුත් පවුලක වැඩිමලාය. වෘත්තියෙන් ගොවියෙකුවූ පියා වන්නිආරච්චිගේ නිකලස් 1924 උපන් අතර දයාගේ මව වූයේ 1932 උපන් වන්නිආරච්චිලාගේ ලොකුහාමි බස්නායකය. එම දෙපලට ගැහැණු දරුවන් 5ක් සහ පිරිමි දරුවන් 6ක් විය. වැඩිමලා දයාවූ අතර දෙවැන්නා ඩේවිඩ්ය. තෙවැන්නා ගැහැණු දරුවෙකුවූ අතර කුඩා කාලේදීම ඇය මිය ගියාය. සෙසු අය වූයේ පිළිවෙලින් ප්‍රේමදාස, සුමනා, සිරිපාල, කරුණාශීලි, කරුණා, හසන්ත, ඉන්ද්‍රාණි සහ සමන් බන්දුලය. ඉන් 5 දෙනෙකු ජවිපෙට සම්බන්ධය. දයාගේ ලොකු මල්ලීවූ 1949 උපන් ඩේවිඩ් 1971 අප්‍රේල් කැරළි සමයේදී නිවසට පැමිණි පොලිසිය පැහැරගෙන ගිය අතර විවිධ වධබන්ධන වලට ලක්විය. පසුව නිදහස් කළද ඉන් ඇතිවූ රෝග තත්ත්වයන් මත වසර ගණනාවක් වෙද හෙදකම් කලද සුවපත් නොවීමෙන් 1976දී ජීවිතයෙන් සමුගත්තේය. පවුලේ බාලයාවූ 1971 උපන් සමන් බන්දුල(18) දෙවැනි කැරැල්ලේදී ආරක්ෂක අංශ මගින් 1989 දෙසැම්බර් 27වැනිදා නුගේගොඩ නිවසක සිටියදී ආරක්ෂක හමුදා මගින් අත්අඩංගුවට ගැනිීමෙන් පසුව ඝාතනයට ලක්විය.

උඩයාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලත් දයා, පහේ ශිෂ්‍යත්වයෙන් දකුණු පළාතේ ප්‍රථමයා බවට පත්විය. පසුව වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුල්වූ ඔහු අපොස උසස් පෙළට විද්‍යා අංශයෙන් පෙනීසිට සමත් විය. පාසැලේදී ඉගෙනිමේ දක්ෂතාවය නිසා ගුරුවරු විසින් දයා හදුන්වනු ලැබූවේ මාස්ටර් කියාය. උසස් පෙළ විභාගයෙන් පසු මැලේරියා මර්දන ව්‍යාපාරයේ ස්වෙච්ඡා නිලධාරියෙකු වශයෙන් තෙමසක් කටයුතු කරමින් සිටියදී පුර්ණකාලීනව ජවිපෙට එක්විය. දයාගේ සමකාලීනයින් අතර නීතිඥ විජේදාස ලියනාරච්චි, විජේදාසගේ වැඩිමහල් සොහොයුරිය වූ සෝමා, පියදාස රණසිංහ, දහනායක, ඇතුළු පිරිසක් විය. 71 අප්‍රේල් කැරැල්ලේදි අත්අඩංගුවට ගත් සෝමා පසුව අප්‍රේල් කැරැල්ලටද සම්බන්ධවූ හුංගම සැම්සන් රණවීර සමඟ විවාහ වූ අතර පසුව සැම්සන් ජවිපෙන් ඉවත්වි ජවිපෙ නව ප්‍රවණතාවය සමඟ සම්බන්ධවූ පසු ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඔහු ඝාතනය කරන ලදී. ජවිපෙ 71 දෙවැනි කැරල්ලේ ක්‍රියාකාරිකයෙකු සහ 2වැනි කැරැල්ලේ දේශපාලන මණ්ඩල සභිකයෙකුවූ වරාපිටියේ උපන් පියදාස රණසිංහ 1989 නොවැම්බර් 12 ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව 1989 නොවැම්බර් 15 ඝාතනය විය. විජේදාස ලියනාරච්චිද ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව 1988 සැපැතැම්බර් 3වැනිදා ඝාතනයට පත්විය.

dharman280516A03

දයා වන්නිආරච්චිගේ පියා නිකලස් සහ මවවූ බී. ඩබ්ලිව් ලොකුහාමි.

දයා ජවිපෙට යොමුවූයේ 1968දීය. එයට පෙර ඔහු කොමියුනිස්ට් පක්ෂයේ හම්බන්තොට දිසාවේ තරුණ සමිතියේ උප ලේකම්වරයෙකු විය. එම වකවානුවේ මන්දෝත්සාහීව අනාගත බලාපොරොත්තුවක් නොමැතිව සිටි ඇතැම් තරුණයන්ට දැවැන්ත පිබිදීමක් ඇතිකරමින් අක්‍රීයව සිටි ගැමි තරුණ පරපුර එකල විජේවීරගේ චේගුවෙරා ව්‍යාපාරයට එක්වෙමින් සිටි කාලයකි. දයා ජවිපෙ සොයාගෙන ගියේය. එහිදී දයාට කොක්ක ගැසුවේ ෆැන්සිස් නොහොත් පැන්ටිස් අබේවර්ධනය. විජේවීර විසින් බෙනට් විරසිංහගේද සහාය ඇතිව 1965දී කිරින්දේ අරඹන ලද ගොවිපොල කලක් භාරව සිටියේ මේ පැන්ටිස්ය. පසුව පැන්ටිස් 71 කැරළි සමයේදී මධ්‍යම කාරක සභිකයෙකු වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික් සංවිධානය නියෝජනය කළේය. ජවිපෙ ක්‍රියාකාරිකයෙකුවු කතරගම ගාමිණී බාස් වීරකැටියේදී හමුවීමෙන් පසු  දයා ව්‍යාපාරයේ සෙසු තරුණයින් සමඟ කඩියන් මෙන් ක්‍රියාශීලි විය. හම්බන්තොට පියසේන රාමනායක, විජිත රණවීර සමගද පසුකාලයේ ඔහු සමීපව කටයුුතු කළේය. ජවිපෙ දේශපාලන පන්තිවලට මුල්වරට දයා දෙටගමුව කොලණියේදී සහභාගිවූ අතර මිද්දෙණිය, ගෝනදෙණිය, වලස්මුල්ල ප්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරකම්වලටද එක්විය. දිස්ත්‍රික්කයේ ජනයාට දැනුමදීම සහ එම දැනුම හරහා ජනයා සංවිධානගත කිරීම සිදුකරන ලදී.

හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලේදී දයා අත්අඩංගුවට ගනු ලැබුවේ 1971 අප්‍රේල් 6වැනිදාය. කැරැල්ලේ චෝදනාවලට වැරදිකරුවෙකුවූ ඔහු යළි නිදහස්වූයේ 1977 නොවැම්බර් මස අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාව අහෝසි කිරීමත් සමඟ රෝහණ විජේවීර ඇතුළු සෙසු සැකකරුවන් සමඟය. දක්ෂ සංවිධායකයෙකුවූ දයා පොතපත ගැඹුරින් හැදෑරු අයෙකි. පළල් දාර්ශනික සහ න්‍යායාත්මක අවබෝධයකින් හෙබිය. විශ්වාසවත්තය. ආරක්ෂණවාදියෙකි. එහෙත් පරිපාලනයේදී යම් දුර්වලතා ඉස්මතු විය. සාහිත්‍ය සහ මාක්ස්වාදය ගැඹුරින් කියවු කෙනෙකුවූ ඔහු ජවිපෙ අධ්‍යාපන පන්තිවල දර්ශනය පිළිබඳව මුල් පෙළේ දේශකයෙකි.

dharman280516A04ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර, දයාට 1968දී ජවිපෙ කොක්ක ගැසූ ෆැන්සිස් නොහොත් පැන්ටිස් අබේවර්ධන, 71 කැරැල්ලේදී දයා සමීපව වැඩකල කතරගම ගාමිණී බාස්, පාසැල් මිතුරෙකුවු නීතිඥ විජේදාස ලියනාරච්චි, දයාගේ සමීපතමයෙකුවූ ජවිපෙ 2වැනි කැරැල්ලේ සන්නද්ධ නායක සමන් පියසිරි ප්‍රනාන්දු, හම්බන්තොටදී සමිපව වැඩකල පියසේන රාමනායක සහ විජිත රණවීර, විජේවීරට එරෙහි කණ්ඩායම්වාදයේ තවත් පුරුකක්ව සිට 1978 දයා ඇතුළු පිරිස විසින් පරාජයට පත්කිරීමෙන් පසු ඉවතට විසිවූ කපිතාන් එම්.ජී. කුලරත්න, 2වැනි කැරැල්ල පරාජයට පත්වීමෙන් පසු දයාගේ රැකවරණය 1990 මැයි සිට මාස 7ක් භාරව සිටි 2වැනි කැරැල්ලේ ක්‍රියාකාරිකයෙකුවූ සිසිර යාපා සහ ජවිපෙ යළි 1994දී ගොඩනැගීමේදී සෝමවංශගේ උපදෙස් පරිදි දයාව ‘වාෂ්ප’කල ජිනදාස කිතුලේගොඩ(ඉහළ වමේ සිට)

ජවිපෙ පක්ෂ තහනම 1983 ජුලි මස සිදුවිමෙන් අනතුරුව පක්ෂය මගින් යම් වගකීම් පැවරුවද ඒවා අතපසුවීම් සිදුවු හෙයින් පූර්ණකාලීන දේශපාලනයෙන් දුරස් විය. හෙතෙම අත්අඩංගුවට ගැනීමෙන් වැලකීම සඳහා විවිධ ස්ථානයන්හි විවිධ නම්වලින් හිතවතුන්ගේ ආධාර මත සැඟවී සිටි අතර යළිත් 1984 අවසානයේ පානදුරේ පැවැත්වූ ජවිපෙ අධ්‍යාපන පන්තිවලට සිය දායකත්වය දක්වනු ලැබූ අතර ජවිපෙ ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධකම්ද අරබනු ලැබීය. ජවිපෙ 1983 තහනමට පෙර සහ පසු, ජවිපෙන් ඉවත්වූ සහ ඉවත්කල දේශපාලන මණ්ඩල සභිකයින් පක්ෂයේ ද්‍රෝහීන් බවට පත්වී එජාප ආණ්ඩුවේ සහ විදේශ ආධාර මත යැපෙන එන්.ජී.ඕ ක්‍රියාකාරිකයින් බවට පත්වූවද දයා වන්නිආරච්චි මියයන තෙක්ම ජවිපෙට එරෙහි නොවී සිය විප්ලවීය දර්ශනය මත සිය පෞද්ගලික ජීවිතය පවත්වාගෙන ගියේය.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ නිපුනත්වයක් ඇති ඔහුට ස්පාඤ්ඤ සහ ජර්මන් භාෂාව පිළිබඳ අවබෝධයක් තිබිණි. පසුව 1984 සිට දයා මියයන තෙක්ම අර්ධකාලීනව සහ පූර්ණකාලීනව ඔහු ඉතා දක්ෂ සහ ජනප්‍රිය පෞද්ගලික ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙකු වශයෙන් කටයුතු කළේය. මෙම ඉංග්‍රීසි පන්ති, රාජගිරිය, මහරගම, කුරුණෑගල, නාරම්මල ඇතුළු ප්‍රදේශ කිහිපයකම පැවැත්විණි. එකල ඔහු බණ්ඩාර, තිලකරත්න, ගුණපාල, මනතුංග ඇතුළු නම් කිහිපයකින්ම හැදින්විණි. ආරක්ෂක හමුදා වරෙක ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්කිස්සේ ඇනෙක්සියකදීය. ගාලුපාර අසළ සිල්වාගේ මහගෙදර එකල ඉංග්‍රීසි පන්තියක්ද විය. ඉංග්‍රීසි උච්ඡාරනය පැහැදිලි කිරීම සහ ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන්වීමේලා ඔහු වඩාත් ජනප්‍රියය. රාජගිරියේදී ඔහු නීති ප්‍රවේශය සිදුකරන අයට විශේෂ ඉංග්‍රීසි පන්තියක්ද පැවැත්වීය.

dharman280516A05විජේවීර 1977 නොවැම්බර් නිදහස් වී‍මෙන් පසු පැවැත්වූ රැස්වීමකදී ජනතාව අමතන අයුරු. ඒ අසළින් සිටින්නේ දයාය(ඉහළ වම), නායක විජේවීර සමඟ ජවිපෙ පෙළපාලියක ගමන් කරන දයා(ඉහළ දකුණ), 1981 මැයි දිනයේදී දේශපාලන මණ්ඩල සභිකයන් සමඟ දයා ගමන්ගන්නා අයුරු. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින්වන උපතිස්ස ගමනායක, බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ විජේවීර, සෝමරත්න කළුආරච්චි, වාස් තිලකරත්න, ලයනල් බෝපගේ සහ දයා වන්නිආරච්චි මෙහි වේ. රවුම්කර ඇත්තේ දයාය. 

ඔහුගේ බිරිඳ වූයේ කලක් ජවිපෙ ක්‍රියාකාරිනියක්ව සිටි කඹුරුපිටියේ ඉන්ද්‍රා සෙනෙවිරත්නය. මියයන විට දයා තිදරු පියෙකුවු අතර ඔහුගේ දියණියන් දෙදෙනෙකු පේරාදෙණි සරසවියේ කෘෂි පීඨයේ සහ කොළඹ සරසවියේ වානිජ පීඨයේ උපාධිධාරිනියන් විය. තෙවැන්නාවූ කණිටු දියණියද වර්තමානයේ මොරටු සරසවියේ උපාධි අපේක්ෂිකාවකි. දයා සිටින තැන පිළිබඳව තොරතුරක් ලබා ගැනීමට බිරිඳ ඉන්ද්‍රා 89/90 අවස්ථා ගණනකදී පොලිස් ප්‍රශ්නකිරීම් වලටද ලක්වූවාය.

ජවිපෙ 2වැනි කැරැල්ලේ සන්නද්ධ නායකයාවූ දේශපාලන මණ්ඩල සභික සමන් පියසිරි ප්‍රනාන්දු විවාහ වූයේ දයාගේ ලාබලතම සොහොයුරියවන ඉන්ද්‍රාණි සමඟය. පොලිස් පරික්ෂණවල හෙළිවුයේ සමන් සහ ඉන්ද්‍රාණි එකල ඔවුන් භාවිතාකල ව්‍යාජ නම් උපයෝගිකරගෙන විවාහවී ඇති බවය. එහෙත් දයාගේ පවුලේ අය ප්‍රකාශ කරන්නේ උපක්‍රමයක් වශයෙන් පොලිස් පරික්ෂණ හමුවේ එසේ කීවද නීත්‍යානුකූලව එවැනි දෙයක් සිදුනොවු බවය. සමන් පියසිරිගේ සන්නද්ධ කටයුතු පිළිබදව න්‍යායාචාර්යවරයෙකු වූයේ දයාය. යුධ කටයුතු පිළිබඳව සහ ගරිල්ලා කටයුතු පිළිබඳව පොත්පත් පරිශීලනය කිරීමෙන් සහ සෙසු දැනුම සමාජයෙන් උකහාගෙන සමන් පියසිරි වෙත ලබාදුන් බව ආරක්ෂක හමුදා විසින් සොයාගනු ලැබීය. විජේවීර සහ ගමනායක 1989 නොවැම්බර් 13 ඝාතනයෙන් පසු ජවිපෙ නායකයා වශයෙන් 1989 නොවැම්බර් 28වැනිදා පත්වූ සමන් පියසිරි ප්‍රනාන්දු විසින් ජවිපෙ තාවකාලික අභ්‍යන්තර ලේකම්වරයා වශයෙන් පත්කර ගනුයේද දයා වන්නිආරච්චිය.

ජවිපෙ දෙවන නායක සහ 2වැනි කැරැල්ලේ සන්නද්ධ නායක සමන් පියසිරි ජේෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් 1989 දෙසැම්බර් 27 රාත්‍රියේ නුගේගොඩ නාවල කොස්වත්තේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබීය. එම නිවස ගුවන්විදුලියේ මාර්ක් ඇන්තනි ප්‍රනාන්දුගෙන් කුලියට ගත් නිවසක් වන අතර එම නිවස සොයාදීමට මුල්වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාය. අත්අඩංගුවට ගත් සමන් පියසිරිගේ රියදුරෙකුවූ රාගම බන්දුගේ   තොරතුරක් මත සමන් පියසිරිගේ අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර එම නිවසේ නේවාසිකව සිටි සමන් පියසිරිගේ මව සහ නැගණියවන රංජිනී(සුදු නංගී)ද, දයා වන්නිආරච්චිගේ නැගණියවු ඉන්ද්‍රානි සහ දයාගේ ලාබාලතම සොහොයුරාවු සමන් බන්දුල(18) අත්අඩංගුවට ගනු ලැබීය. සමන් බන්දුල දෙදිනකට පසු ආරක්ෂක හමුදා මගින් ඝාතනයට ලක්වූ අතර සමන්ගේ මව, නැගණිය සහ දයාගේ නැගණිය අපරාධ විමර්ශන මූලස්ථානයේ 6වැනි තට්ටුව ඇතුළු ස්ථාන ගණනාවක විවිධ ප්‍රශ්න කිරීම් වලට ලක්ව අවසානයේ රන්මුතුගල  නිවාසයේ වසර 2ක් පුනුරුත්ථාපනයට ලක්විය. මව මාස කිහිපයකින් නිදහස් කළේය. පසුව නිදහස්වු රංජිනි හැටන් ලක්ෂපානයේද  වර්තමානයේ කොළඹ පාසැලකද ගුරුවරියක වශයෙන් සේවය කරන්නීය. ඉන්ද්‍රාණි වර්තමානයේ දෙදරු මවක් වන අතර වීරකැටියේ සිය මහගෙදර ජිවත්වන්නීය.

dharman280516A06

දයාගේ නිසල දේහයට අවසන් ගෞරවය දක්වන සොයුරු සොයුරියන් වන සුමනා, ප්‍රේමදාස සහ කරුණාශීලි(ඉහළ), වීරකැටියේ හීන්බුන්නේ දයා ජීවත්වු නිවස(පහළ)

අත්අඩංගුවට ගත් සමන් පියසිරි කිසිදු තොරතුරක් හෙළි නොකල අතර පසුව 1989 දෙසැම්බර් 29වැනිදා ඝාතනයට ලක්විය. ජවිපෙ මධ්‍යම කාරක සභික රාගම උපන් සමරප්පුලිගේ සෝමසිරි සහ කොළඹ සන්නද්ධ නායකයෙකුව සිටි වැලිසර යූස්ටස් දිලිප් චන්ද්‍රපුනාන්දු නොහොත් පතීද ඒ සමඟම එකට ඝාතනය විය. සමන් පියසිරිගේ සමීපතමයන් වශයෙන් විවිධ කටයුතුවලද දායකවූ කිහිප දෙනා අතර දයා වන්නිආරච්චිගේ 4වැනි සොහොයුරාවූ හසන්තද විය. හසන්තද 1989 නොවැම්බර් 30 වැනිදා නුගේගොඩදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්විය. සමන් පියසිරි ඝාතනයෙන් පසුවද 1990 කොළඹ දිස්ත්‍රික් සන්නද්ධ නායකයෙකුවූ දිවුලපිටියේ උපන් කිර්ති ගුණතිලක නොහොත් රොෂාන් සමඟ දයා වන්නිආරච්චි දිගටම සබදතා පවත්වාගෙන ගියේය. රොෂාන් අත්අඩංගුවට පත්වී ඝාතනයට පත්වීමෙන් පසු එම සබඳතාද ඇණහිටිනි.

පසුව 1990 දෙසැම්බර් 10වැනිදා අපරාධ විමර්ශන ඒකකය මගින් දයා වන්නිආරච්චි අත්අඩංගුවට ගනු ලැබු අතර ඒ සඳහා ආරක්ෂක නිලධාරින් සමඟ මඟපෙන්වීමට පැමිණියේ ජවිපෙ යළි 1977 ගොඩනැගීමෙන් පසු පක්ෂයෙන් ඉවත්කල හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකි. නොයෙකුත් වධබන්ධනවලට ලක්වුවද දයා කිසිවක් හෙළි නොකල අතර මාස 11ක් කොළඹ 7 රේස්කෝස් කඳවුර, බූස්ස ඇතුළු ස්ථාන කිහිපයක රදවාගන්නා ලදි. එහෙත් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනුකිරීමට නොහැකි වූයෙන් නිදහස් කෙරිණි. ඝාතනයෙන් ඔහු බේරුණේ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ දේශපාලන සිරකරුවන් පිළිබඳව මැදිහත්වීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙනි. අත්අඩංගුවට ගැනීමට පෙර 1990 මැයි සිට නොවැම්බර් දක්වා දයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කැලණිය, හලාවත, පුත්තලම, රාජගිරිය සහ රත්නපුර විවිධ ස්ථාන හදුන්වාදීම සහ රැකබලාගැනීම සිදුකළේ ජවිපෙ ක්‍රියාකාරිකයෙකුවන සිසිර යාපාය. ඔහුද 1990 නොවැම්බර් 13වැනිදා අත්අඩංගුවට පත්වූවද කිසිදු තොරතුරක් හෙළිනොකර තිබිණි.

සමන් පියසිරිගේ ඝාතනයෙන් පසුව ජවිපෙ තෙවැනි නායකයා වශයෙන් පත්වූ ලලිත් විජේරත්නද ඝාතනය විය. ජවිපෙ යළි ගොඩනැගීමට මුල්වූ ජිනදාස කිතුලේගොඩ සමඟද දයා සම්බන්ධකම් පැවැත්වීමට උත්සාහ කලද යහපත් ප්‍රතිචාරයක් නොවීය. කිතුලේගොඩද 1990 නොවැම්බර් මස අත්අඩංගුවට පත්විය. දයා 1990 දෙසැම්බර් අත්අඩංගුවට පත්ව නිදහස් වීමෙන් අනතරුව 1992දී ජවිපෙ යළි ගොඩනැගීමේදී එයට මැදිහත්වීමට අපේක්ෂා කලද එතෙර සිටි පක්ෂ නායක සෝමවංශ අමරසිංහගේ උපදෙස් මත එම ක්‍රියාව සිදුකල පිරිස විසින් එම මැදිහත්විම සඳහා දැක්වූ ප්‍රතිචාරය යහපත් නොවීය. පසුකාලීනව දයා කැපකලේ ඉංග්‍රීසි සහ පරිගණක දැනුම තංගල්ල, වීරකැටිය සහ ඒ අවට ප්‍රදේශවාසීන්ට බෙදා දෙමිණි. අසූව දශකයේ මුල්භාගයේ සිට යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කල දයා ඒ වෙනුවෙන් ප්‍රතිකාරද ගනු ලැබීය. අවසාන කාලයේ තංගල්ල රෝහලේදී සතියක පමණ නේවාසික ප්‍රතිකාර ලැබීය.

වර්තමාන විප්ලවවාදී දේශපාලනයේ අලුත් පරම්පරාවේ බොහෝ දෙනා පැරැන්නන්ගේ අදහස් උකහා ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැති තරම්ය. පැරන්නන් කරදරයක් සේ සිතන අතර සිදුකරනුයේ ඔවුන් වැඩ සදහා පරිහරණය කිරීමකි. ඇතැම් නායකයින්ගේ අදහස් වනුයේ පැරැන්නෝ වැඩ කිරීමේදී විවිධ දේ විමසීමෙන් ඇණයක් වන බැවින් නවකයින් බඳවා ගැනීමෙන් වැඩකිරීම වේගවත් බවය. එහෙත් ඉතිහාසයක් එසේ අවසන් වන්නේ නැත. එය අතීතයට අත්දැකීම් එකතු කරමින් නොනැවතී ගමන් කරයි. ඒ නිසාම ඉතිහාසය ලියා අවසන් කිරීමටද නොහැකිය. ජවිපෙ ඉතිහාසය සම්බන්ධයෙන්ද සත්‍ය එය වේ.

(ඡායාරූප : හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ගෙනි. )

ධර්මන් වික්‍රමරත්න

[email protected]

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress