පැලවත්ත කඳවුරේ උමඟකින් ‘බිංකුණ්ඩෝ’ 141ක් පැනගිය හැටි
Posted on May 28th, 2016

ධර්මන් වික්‍රමරත්න විසිනි.

ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 99 කොටස

මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 වේ. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන ධර්මන් වික්‍රමරත්න එම බොහෝ සිද්ධීන් සියසින් දුටු,  අදාළ කථා නායකයින් සමීපව ඇසුරුකල සහ වාර්තාකල කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. මෙම ලිපි මාලාව ඉදිරිපත් කරනුයේ ඉතිහාසය කිසිවෙකුට වැලලිය නොහැකි බවට පසක් කරමින් පමණක් නොව දත්ත සහ  ඓතිහාසික කරුණු රැසකින්ද එය පොහොසත් බැවිනි. එමෙන්ම වර්තමානයේ වයස 40 අඩු සියළු පුරවැසියන්ට කිසිදා නොදුටු එහෙත් අසන්නට ලැබුණු අසම්පුර්ණ ඒ අතීත සිදුවීම් මාලාව පිළිබදව පැහැදිලි චිත්‍රයක් මවාගැනීම සඳහාය.

රජ කාලයේ සහ යටත් විජිත සමයේද දඬුවම් පැමිණවුවද බන්ධනාගාර ඉතිහාසය නිල වශයෙන් ඇරඹෙන්නේ 1802 සිටය. බ්‍රිතාන්‍ය ආණ්ඩුව මගින් 1818 කැරැල්ලෙන් අනතුරුව ඇහැලේපොල අධිකාරම් ඇතුළු 53දෙනෙකු ඔහුගේ නිවසේ රඳවා තැබුණු ලැබීමෙන් අනතුරුව මහනුවර රක්ෂිත බන්ධනාගාරයේ ආරම්භය සිදුවිය. මැගසින් බන්ධනාගාරයේ ආරම්භය සිදුවූයේ 1841දීය. මහර බන්ධනාගාරය 1875දීද, බෝගම්බර බන්ධනාගාරය 1876දීද පිහිටුවන ලදී(බෝගම්බර බන්ධනාගාරය 2014 ජුනි 05 පල්ලේකැලේ දුම්බර ප්‍රදේශයට ගෙන යන ලදී). ආසියාවේ පළමු එළිමහන් සිර කඳවුර වූයේ 1950 පිහිටවූ පල්ලේකැලේ සිරකඳවුරය.

බන්ධනාගාර කටයුතු අනපේක්ෂිත ලෙස පුළුල්වූයේ 1971 අප්‍රේල් ජවිපෙ පළමු කැරැල්ලට සම්බන්ධව අත්අඩංගුවට ගත් සහ භාරවූ 17,000කට අධික පිරිස හේතුකොටගෙනය. ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණි විශ්ව විද්‍යාලයන් රැඳවුම් කඳවුරු බවට පත්විය. වීරවිල එළිමහන් කඳවුර 1978දී පිහිටවූ අතර කෑගල්ල සහ ත්‍රිකුණාමලයේ සිරමැදිරි 1982 ජනවාරි 22වැනිදා සිට රක්ෂිත බන්ධනාගාර තත්ත්වයට උසස් කෙරිණි. වසර 1983 ජුලි කලබල හේතුවෙන් ජුලි 25වැනිදා බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලෙන් දෙමළ රැඳවුම්කරුවන් 53 දෙනෙකු මරුමුවට පත්විය. එයට පිළිතුරක් ලෙසින් දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය විසින් රජය නිදහස් කරන ලද සිරකරුවන් උදෙසා ස්ථාපිත කරන ලද පදවියේ පිහිටි නව ජීවනගමට 1984 නොවැම්බර් 30වැනිදා පහරදී පුනරුත්ථාපනය වූ සිංහල සිරකරුවන් 56 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මරාදමන ලදී.

කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි පැලවත්ත රැඳවුම් කඳවුර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් 1985දී ආරම්භ කරන ලද්දේ සංක්‍රමණ කඳවුරක් වශයෙනි. ඒ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ඇතැම් සැකකරුවන් රඳවා තබා ගැනීම සඳහාය. ජවිපෙ 2වැනි කැරැල්ල ආරම්භ කිරීමත් සමඟම සාමාන්‍ය සිරකරුවන් සඳහා වූ මැගසින් රක්ෂිත බන්ධනාගාරය 1987 මැයි 7 පටන් ත්‍රස්තවාදය වැලැක්වීම් පනත සහ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත් රැඳවුම්කරුවන් සඳහා වෙන් කෙරිණි. පැලවත්ත කඳවුරට ගෙනආ දෙමළ බෙදුම්වාදී සංවිධානවල සාමාජිකයින්ට වෘත්තීය පුහුණවක්ද එකල ලබාදෙන ලදී. එහි කොටසක් 1989 අවසාන භාගයේදි වධ කඳවුරක් ලෙසද ක්‍රියාත්මක විය. පසුව පැලවත්ත කඳවුර 1988 සිට 1994 අගෝස්තු දක්වා  ජවිපෙ රැඳවුම් කඳවුරක් විය. එහි මාරාන්තික උපවාසයක යෙදුණු අවසාන රැඳවින් 54දෙනා බුස්ස කඳවුරට 1994 අගෝස්තු 16 යොමුකරන ලදී. එදා පැලවත්ත සංක්‍රමික රැඳවුම් කඳවුර තිබූ ස්ථානයේ වර්තමානයේ පිහිටා ඇත්තේ හමුදා බුද්ධි අංශ පුහුණු කරන පුරෝගාමි බලකායේ කඳවුරකි. එමෙන්ම එහි ඇති ගොඩනැගිලි කිහිපයක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යාලයක්ද, පොහොර ගබඩාවක්ද ඇති අතර ඉඩම් ප්‍රමාණයක් අනවසරයෙන් දේශපාලන ආශිර්වාද මත කිහිප දෙනෙක් අත්පත් කරගෙන ඇත.

dharman28051602Aජවිපෙ කැරළිකරුවන් උමගකින් පලාගිය පැලවත්ත රැඳවුම් කඳවුර පිහිටා තිබු ස්ථානය මෙහි රතු පාටින් දැක්වේ. පලාගිය ජවිපෙ කැරළිකරුවන් ගෙන් බොහෝ දෙනෙක් මුලින්ම සැඟවුනේ දකුණු පස පිහිටි සිංහරාජ රක්ෂිතයේ සහ වම් පස ඇති පැතියාවල වැසි වනාන්තරයේය

පැලවත්ත රැඳවුම් කඳවුර තිබූ භූමිභාගය අක්කර 400කින් පමණ අතීතයේ සමන්විතවූ අතර එහි මානසික රෝගීන් සදහා රෝහලක් විය. පසුව එය අභාවයට යන ලදී. අගලවත්ත මන්ත්‍රීවරයා වශයෙන් 1970දී පත්වූ ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා විසින් සමගි පෙරමුණ ආණ්ඩුවේ මෙහෙයවීමෙන් එම ස්ථානයේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ මල්බරෙි ව්‍යාපාරයක් සහිත අත්කම් පේෂකර්ම ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

dharman28051602B

පැලවත්ත රැඳවුම් කඳවුර පිහිටිි ස්ථානයේ වර්තමානයේ ඇති යුධ හමුදා කඳවුර ගුවනට දිස්වන අයුරු

පැලවත්තේ පිහිටි එම අක්කර 400 අඩක් පමණ ඉඩම් නොමැති ජනතාව අතර බෙදා දුන් අතර රජයේ කාර්යාල කිහිපයක්ද ඉදිකරන ලදී. එමෙන්ම එළකිරි බලා ගැනිම සඳහා කිරිහරක් ඇතිකල අතර තෘණ වගාවක්ද ස්ථාපිත කරන ලදී. විවාත ආර්ථිකය 1977 ජුලි සිට ක්‍රියාත්මක වීමත් සමඟම සියල්ල අභාවයට ගොස් ගොඩනැගිලි පාළුවි ගියහ. පැලවත්ත සංක්‍රමණික කඳවුර 1985 ආරම්භ කරන ලද්දේ ඉතිරි භූමිභාගයේය.

රාජ්‍ය නැමති උපකරණය බිහිවූයේ කෙදිනකද එහි අතවශ්‍ය අංගයක් ලෙස සිරගෙවල් පැතිරී තිබේ. අන් සිරකරුවන් මෙන් නොව දේශපාලන හේතුමත සිරගතවූවන් හැදින්වෙන්නේ දේශපාලන සිරකරුවන් නමිනි.  ඔවුන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් වැරදිකරුවන් වන තෙක් රිමාන්ඩ් බන්ධනාගාරවල රඳවනු ලබයි. එහෙත් පවතින් ආණ්ඩුවට එරෙහිව අරගල ඇතිවන අවස්ථාවන්හි අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් රඳවා තබාගැනීමට ඉඩ මදි හෙයින් විශේෂ කඳවුරු පිහිටුවනු ලැබේ. ඒවා රැඳවුම් කඳවුරු ලෙස හදුන්වනු ලබයි. රැඳවුම් කඳවුරු සිටින චෝදනා සහිත අය අධිකරණය මගින් සිරගෙටද සුළු චෝදනා ඇති අය පුනුරුත්තාපනය සඳහා යොමුකරන අතර චෝදනා ගොනු කිරිමට ප්‍රමානවත් සාක්ෂි නොමැති අය නිදහස් කරනු ලබයි. රැඳවුම් කඳවුරු වල ජවිපෙ දේශපාලන සිරකරුවෝ තමන් බැඳ ඇති යදම් දුටූහ. ඒ සක්‍රීය දේශපාලනයේ තවදුරටත් චලනයවීමට ඔවුන් තුළවූ කැමැත්ත හේතුවෙනි.

dharman28051603ජවිපෙ කැරළිකරුවන් පිරිසක් 1988 අවසානයේදී ඝාතනය වී තිබූ අන්දම.

වසර 1988 අගභාගය වන විට ජවිපෙ 2වැනි කැරැල්ල උත්සන්නව පැවති හෙයින් එය සහභාගි වූයේයැයි සැකකල පුද්ගලයින් වැලිකඩ, බෝගම්බර, මැගසින් රක්ෂිත බන්ධනාගාරවලද කළුතර පැලවත්ත සංක්‍රමණික කඳවුරේද පෙර නොවූ විරූ තදබදයක් සහ වාතාවරණයක් උද්ගත විය. මෙම කාලයේ සියළුම බන්ධනාගාරවලට ආරක්ෂාව සැපයීම සිදුකලේ ආරක්ෂක හමුදාව මගිනි.  වැලිකඩ බන්ධනාගාරයේ සිටි ජවිපෙ රැඳවුම් කරුවන් 1988 නොවැම්බර් මස එහි මාරාන්තික උපවාසයක් සහ උද්ඝෝෂණයක් ආරම්භ කල අතර කැරැල්ලක්ද දියත් කලහ. ඉන් වැලිකඩ බන්ධනාගාරයේ කාර්යාල ගොඩනැගිලි ඇතුළු බඩු භාහිරාදියට හානියක්ද සිදුවිය. පසුව 1988 දෙසැම්බර් 13 රාත්‍රී 7ට මැගසින් බන්ධනාගාරයේ පිටත සහ ඇතුළත එකවර මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කරමින් බන්ධනාගාරයේ එක් කොටසක් කඩා බිඳ දමමින් ප්‍රහාරයක් එල්ල කල ජවිපෙ සිය සාමාජිකයින් 221 දෙනෙකු නිදහස් කර ගැනීමට සමත් විය. කළුතර පැලවත්ත රැඳවුම් කඳවුරෙන් පලාගිය පිරිස 141කි. එයට අමතරව ජවිපෙ 2වැනි කැරැලි සමයේදී රටපුරා පොලිසි සහ බන්ධනාගාර 15කට කඩා වැදී ජවිපෙ සැකකරුවන් 155ක්ද නිදහස් කරගෙන තිබිණි.

dharman28051604රැඳවුම් කඳවුවල රඳවා සිටි ජවිපෙ කැරළිකරුවන් මුදාගැනීමේ මෙහෙයුම්වල නායකයාවූ ජවිපෙ සන්නද්ධ අංශයේ නායක සහ දේශපාලන මණ්ඩල සභික සමන් පියසිරි ප්‍රනාන්දු(ඉහළ වම), පැලවත්ත කඳවුරේ සිට රෝහලට ගෙන යෑමෙන් පසු රෝහලින් පැනගිය බලංගොඩ ජවිපෙ ක්‍රියාකාරිකයෙකුවු වීරවත්ත අළුත්වත්ත නොහොත් සමන්(ඉහළ දකුණ), පැලවත්ත කඳවුරේ රඳවාගෙන සිටි පතාල නායකයෙකුවූ නාවල නිහාල්(පහළ වම), පැලවත්ත කඳවුරද පිහිටි කළුතර දිස්ත්‍රික්කයේ ජවිපෙ භීෂණයට එරෙහිව අවි අමෝරාගෙන සටන්කල එජාප කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් රණවක(පහළ දකුණ) ඔහු 2009 ජුලි 25වැනිදා අසනීපව සිට මියයන විට 62 හැවිරිදිය.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට වැලිකඩ, මහර සහ වෙනත් බන්ධනාගාරවල නිලධාරිහු ඉහළ වැටුප් පරිමාණ, වැඩපුර නිල ඇදුම් කට්ටල සහ සුභසාධන පහසුකම් ඉල්ලා රාජකාරි කටයුතු වලින් බැහැරව වැඩ වර්ජනයක් 1989 දියත් කළහ. මෙම වර්ජනයද පසුපසින් සිට මෙහෙයවූයේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය මගිනි. ඒ සඳහා මඟ පෙන්වුයේ ජවිපෙ මගින් 1989 ජුනි 12 වැනිදා සිට ජුලි 13 දක්වා බදුල්ලෙන් ආරම්භ වී රටපුරාම බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරවූ ජයග්‍රාහි බස් වැඩ වර්ජනය වේ. බන්ධනාගාර නිලධාරින්ගේ වර්ජනය නිමාවූයේ පැය 24 තුළ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ලබාදීමට රජය එකඟවීම මගිනි.

මෙහිදී බන්ධනාගාර ඉතිහාසය විශ්මයට සහ තැති ගැනීමට ලක් කරමින් කළුතර පැලවත්ත රැඳවුම් කඳවුරෙන් ජවිපෙ සැකකරුවන් 131 දෙනෙකු 1988 නොවැම්බර් 28 පොළොව යටින් මීටර් 37 උමඟක් කපමින් නිරුපද්‍රිතව පළායෑමට සමත් විය. මෙය වෙල ප්‍රදේශයට ආසන්නයේ පිහිටි නිසා දුර ප්‍රමාණය අඩුවිය. මෙම උමඟ කැපීමට දින 41ක් ගතවිය. මෙය ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයකින් හෝ රැඳවුම් කඳවුරකින් උමඟක් තුළින් දේශපාලන සිරකරුවන් පළාගිය ප්‍රථම අවස්ථාව වේ. ඈත ඉතිහාසයේ විදිය බණ්ඩාර බේරා ගැනීම සදහා උමඟවල් කපා තිබුණේ එලියේ සිට ඇතුළතටය. ජවිපෙ රැඳවුම්කරුවන් යළිත් දෙවනවරටත් 1992 සැප්තැම්බර් 19වැනිදා කළුතර පැලවත්ත කඳවුරෙන් උමඟක් තුළින් පලාගියේය. එවර 64 දෙනෙකු මීටර් 59 උමඟින් පලා යෑමට සූදානම්ව සිටියද 11 වැනිදා හසුවීම නිසා පැන යාමට හැකිවූයේ 10 දෙනෙකුට පමණි. දේශපාලන සිරකරුවන් බන්ධනාගාරවලින් පලායෑම මෙයට පෙර සිදුවී ඇත්තේ ඔවුන් රෝහලට ඇතුළත් කල විට පලායෑම, විවිධ වැඩකටයුතු සඳහා එළිමහනට රැගෙන ගියවිට පලායෑම, තාප්පයෙන් හෝ කානුවලින් පළායෑම වැනිදෑය. පැලවත්ත කඳවුරේද සමන් ඇතුළු රැඳවියන් කිහිප දෙනෙක් නාගොඩ සහ මීගහතැන්න රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවෙන් මිදී පලා ගියහ.

dharman28051605ජවිපෙ 2වැනි කැරැල්ලේදී අත්අඩංගුවට ගත් තරුණයින් පිරිසක් සිර මැදිරියකදී.

ජවිපෙ 1971 අප්‍රේල් කැරැල්ලෙන් අත්අඩංගුවට පත්ව අනුරාධපුර බන්ධනාගාර ගතව සිටියදී නන්දසිංහ විජේනායක නොහොත් සුමිත් අතුකෝරාල(ජවිපෙ 2වැනි කැරළි සමයේදී දේශපාලන මණ්ඩල සභිකයෙකි) ඇතුළු පිරිසක් 1974දී බංගෙයක් කපා පළායෑමට සැලසුම් කලද එය මුළුමනින් සාර්ථක නොවීය. තවත් වරෙක නන්දන මාරසිංහ ඇතුළු ජවිපෙ කණ්ඩායමක් විසින් අනුරාධපුර සිරගෙදරට 1972 ජුනි 13වැනිදා ප්‍රහාරයක් එල්ල කර පියදාස රණසිංහ(ජවිපෙ 2වැනි කැරළි සමයේදී දේශපාලන මණ්ඩල සභිකයෙකි), හීන් බණ්ඩා වනසිංහ ඇතුළු ජවිපෙ සාමාජිකයන් 34ක් මුදවා ගන්නා ලදී. එම ප්‍රහාරවලට මුවාවී මරුසිරා ඇතුළු නමගිය අපරාධකරුවන් 4දෙනෙකුද පලා ගියහ.

dharman28051606බොරැල්ලේ මැගසින් බන්ධනාගාරය 1988 දෙසැම්බර් 13වැනිදා බිඳදමා ජවිපෙ සාමාජිකයින් 227 පැනගිය පසු දෙසැම්බර් 14 උදෑසන බන්ධනාගාරය දිස්වූයේ මෙසේය.

වසර 1988 ආරම්භය වන විට කළුතර දිස්ත්‍රික්කයද ගිණියම්වි තිබිණි. තැන තැන ටයර් මත පිලිස්සි තිබූ මළසිරුරු කළුතර, මතුගම, අගලවත්ත, බදුරළිය, පැලවත්ත ඇතුළු ස්ථාන ගණනාවක එම දිනයන්හි සුලභ දසුනක් විය. ප්‍රචණ්ඩ ක්‍රියා සහ අත්අඩංගුවට ගැනිමේ සිදුවීම් බහුල වශයෙන් සිදුවූයේ කළුතර දිස්ත්‍රික්කය කඳු ආශ්‍රිත ප්‍රදේශයක් නිසා කැරළිකරුවන්ගේ තෝතැන්නක් වූ බැවිනි. ජවිපෙට එරෙහිව කළුතර දිස්ත්‍රික්කයේ එජාපය වෙනුවෙන් අවි අමෝරාගෙන සටන් කළේ බුලත්සිංහල එජාප සංවිධායක සහ කළුතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් රණවකය. කළුතර දිස්ත්‍රික්කයෙන් 1983 පාර්ලිමේන්තුවට පත්වූ ඔහු කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ පොලිස් සහ හමුදා කඳවුරුවල නිල නොවන මෙහෙයුම් සම්බන්ධීකාරකවරයාද විය. අගලවත්ත එජාප මන්ත්‍රී මෙරිල් කාරියවසම්ද  කැරළිකරුවන් විසින් 1989 සැප්තැම්බර් වෙඩිතබා මරාදමන ලදී.

dharman28051607අත්අඩංගුවට ගත් ජවිපෙ 2වැනි කැරැල්ලේ කැරළිකරුවන් පිරිසක් 1989 ආරක්ෂක හමුදා රැඳවුම් කඳවුරකදී. මෙම රැදවියන්ගේ අත් සහ පා බිත්තියකට සවිකර ඇති දම්වැලකින් ගැටගසා ඇති අයුරු දැක්වේ.

පැලවත්ත කඳවුරට බොහෝ විට යොමුකළේ නවගමුව, අතුරුගිරිය, ඉංගිරිය, මිරිහාන, පෑලියගොඩ,  තිනායාවල, වැලිපැන්න, මීගහතැන්න ඇතුළු පොලිසි සහ කළුතර, රත්නපුර, ගම්පහ, කොළඹ ඇතුළු දිස්ත්‍රික්කවල ආරක්ෂක අංශ සහ අධිකරණ මගිනි. භික්ෂූන් වහන්සේලා 40කට ආසන්න ප්‍රමාණයක්ද එම කාලයේ වරින් වර පැලවත්ත කඳවුරේ රඳවාගෙන සිටියහ. එම භික්ෂූන් අතර හබරකඩ සුමණරත්න හිමි, නාගොඩ සීලරත්න හිමි, උඩුගොඩ සෝරත හිමි, යුදගනාවේ ආරියරත්න හිමි, තලල්ලේ නාගිත හිමි, ධම්මානන්ද හිමි, සාගර හිමි, හඳපාන්ගොඩ විජිත හිමි ඇතුළු කිහිප දෙනෙක්ම විය. පැලවත්ත රැඳවුම් කඳවුරේ සිටි භික්ෂූන්ට සංවෝදය සංවිධානය මගින් මාසිකව නෙස්ටමෝල්, සීනි, ප්‍රථමාධාර බෙහෙත් මාසික සලාකයක් වශයෙන් පූජා කරන ලදී.

පැලවත්ත කඳවුරේ සිටි රැඳවියන් ප්‍රවාහයන් තුනකට අයත් විය. ප්‍රධානතම බලවේගයවු සියයට 70ක් පමණ වූ අතිබහුතරය ජවිපෙ 2වැනි කැරැල්ලට කොන්දේසි විරහිතව එක්ව සිටියහ. තවත් සියයට 20ක් පමණ ජවිපෙට සම්බන්ධවීමේ හේතුමත හෝ සැකපිට රැඳවියන් බවට පත්වී සිටි අතර ඔවුන් බන්ධනාගාර ජීවිතය තිත්ත වී හෝ ජවිපෙ කටයුතු සම්බන්ධයෙන් කලකිරී ඉන් ඉවත්ව නිහඬව සිටියහ. එහෙත් කඳවුරේ බලය ගත් අති බහුතරයවූ ජවිපෙට පක්ෂ පිරිසට එරෙහිව කටයුතු නොකලේ එසේ වුවහොත් විවිධ තාඩන පීඩනවලට ගොදුරුවන හෙයිනි. තෙවැනි ප්‍රවාහය වූ සුළුතරය සියයට 10 සැදී තිබුනේ සමාජයේ ලුම්පන් කොටස්වලිනි. ඔවුන්ට නිශ්චිත දර්ශනයක් නොවූ අතර විවිධ හොරකම්, මැරකම් සහ නීති විරෝධී ක්‍රියාවන් නිසා එසේ එක්වී තිබිණි. ඉන්ද බහුතරයක සහාය ජවිපෙ රැඳවියන්ට හිමිවුයේ රිමාන්ඩ් ජීවිතයේ සාමුහික අත්දැකීම් ඔවුන් දන්නා බැවිනි.

dharman28051608ඝාතනයට ලක්වූ කැරළිකරුවෙකුට විප්ලවීය ආචාරය පුද කරමින්.

ශ්‍රී ලංකාවේ රිමාන්ඩ් බන්ධනාගාර යනු අරුම පුදුම තැනකි. පොකට් ගසා ඇතුලට යන අය නිදහස් වී එන්නේ බැංකුවක් කොල්ලකන්න තරම් දැනුමක් හා සබදතා ඇති කරගෙනය. රිමාන්ඩ් බන්ධනාගාර යනු අපරාධකරුවන් බිහිකරන සරසවියකි. පතාල නායකයෙකුවු නාවල නිහාල්ද කලක් පැලවත්ත කඳවුරේ රඳවා සිටි අතර බොහෝ දිනවල බාහිර පිරිස්වලට සංතෝසම් දී විවිධ සම්බන්ධකම් හරහා නිරතුරව අරක්කු පානය කිරීම ඔහුගේ සිරිතක් විය. ජවිපෙ එය තහනම් කල අතර එයට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නාවල නිහාල්ට එක් රාත්‍රියකදි ඇද ඇතිරිල්ලකින් ඔහුගේ මුහුණ වසා තුවාල ලබන තෙක්  පහරදී තිබිණි. නාවල නිහාල් වෙනත් වාට්ටුවකට මාරුකල අතර පසුව ඔහුගේ නිතිඥයා කල ඉල්ලීමක් අනුව වෙනත් බන්ධනාගාරයකටද යොමුවිය.

මෙම ජවිපෙ සැකකරුවන්ගෙන් ඇතැමෙකුට පැලවත්ත රැඳවුම් කඳවුරට ගෙනඒමට පෙර  විවිධ අමානුෂික වධ බන්ධනවලට ලක්වී තිබිණි. ජවිපෙ විසින් තල්ගස්වල හමුදා කඳවුරට 1987 සැප්තැම්බර් 28වැනිදා කඩාවැදී අවි ලබාගැනීමේ ප්‍රහාරයක් මෙහෙයවු අතර ඒ සම්බන්ධව අත්අඩංගුවට ගත් අය මේ අතර ප්‍රධාන විය. එම වධහිංසන අතර සැකකරුවන්ගේ යටිපතුල්වලට පොලුවලින් හා වයර්වලින් පහර දීම, භූමිතෙල් දැමූ සිලි සිලි බෑග් මුහුණට දමා හුස්ම හිර කිරීම, මාංචු දමා පැය ගණන් දෙපයින් එල්ලා තැබීම,  ඇතැම් අවස්ථාවල දී ඔවුන්ගේ ඇස්වලට හා මුහුණට මිරිස්කුඩු ගැසීම, ලිංගික අපහරණය සිදුවී ඇති බවත්, ජනනේද්‍රය ඡේදනය කිරීම හා ලූණු ඇතිල්ලීමද විය.

dharman28051609වසර 1989දී ප්‍රධාන නගරයක කැරළිකරුවන් සෙවීමේ මෙහෙයුමක්.

රැඳවියන්ගේ ඉල්ලීම් සහ බලපෑම් මත ඔවුනට නිසි ප්‍රමාණයක් ජලය ලබාගැනීම, එළිමහනේ සිටීම, මුළුතැන්ගෙය සහ ආහාර බෙදා දීමේ පාලනය භාරදීම, රාත්‍රී කාලයේදී කිකරුවේ මැදිරිවලට පරිපාලන හමුදා භටයින් නොපැමිණවීම වැනි දෑ සිදුවිය. නිවෙස් වලින් ලැබුණු ඇදුම් සහ ආහාරපාන එක ස්ථානයක ගබඩා කොට ක්‍රමානුකූලව බෙදා හැරි අතර නිවෙස්වල අය සමඟ විනාඩි 10ක පමණ කාලයක්  සතියකට වරක් පමණ කථා කිරීමට අවස්ථාව ලැබිණි. කඳවුරට යාබද නිවසක ජීවත්වූ නිවෙස් හිමියෙකුවූ ජයසිංහ විසින් රැඳවියන්ගේ ඥාතීන්ට බීමට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ස්වෙච්ඡාවෙන් ලබාදී තිබිණි. නිවෙස්වලින් රැඳවියන් මසකට වරක් පමණ බැලීමට පැමිණි පිරිස සියයට 60ක් පමණ වූ අතර සතියකට වරක් බලන පිරිස සියයට 20ක් පමණ විය. රැඳවියන්ගෙන් සියයට 5ක් පමණ බැලීමට කිසිවෙකු කිසිම දිනක නොපැමිණි. බොහෝ රැඳවියන්ගේ ජීවත්වූ ප්‍රදේශ අනුරාධපුර, අම්පාර වැනි දුෂ්කර ස්ථානවල තිබීමද අත්අඩංගුවට ගැනීම නිසා එම ජීවන මංපෙත් ඇහිරීමද එයට හේතුවේ. පාලකයෝ සිය යුතුකම් හා ජනතා අයිතිවාසිකම් ඉබිලා යතුරු දැමූ සමයක එයට එරෙහිව සටන් වැදුනු කැරළිකරුවන් මෙම රැඳවුම් කඳවුරේ ගාල්කර සිටියහ. පරාජයකදී මිනිසුන් පරිභව, අපහස, උපහාස කලද ජයග්‍රහනයක් නම් එහිදී එම මිනිසුන්ම ලැබූ දේ භුක්ති විදින බව රැඳවියන්ගේ ආකල්පය විය.

පැලවත්ත කඳවුරේ බොහෝ දෙනෙකු සිටියේ ජීවිතය පිළිබඳව අවිනිශ්චිත හැගීමකිනි. ඔවුන් නිදහස් කරගැනීමට නෛතික ක්‍රියාමාර්ගද නොගත් අතර කඳවුරෙන් නිදහස් කලද අතරමඟදි පැහැරගෙන ඝාතනය කර තිබිණි.  එසේත් නොමැතිනම් ප්‍රශ්ණ කිරිමේ මුවාවෙන් පිටතට ගෙනගොස් කුමන හෝ හේතුවක් දමා ඝාතනය කිරීමට අවස්ථාව තිබිණි. එබැවින් කඳවුරෙන් උමඟක් හාරා පළායෑමට නිශ්චිත වැඩසටහනක් ජවිපෙ මගින් සකස් කර තිබිණි. කඳවුර ඒ. බී. සී යනුවෙන් වාට්ටු 3කට වෙන්කර තිබූ අතර විරු සමරුවට ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා රැඳවියන් කඳවුර භාර සුභසාධක නිලධාරිවරයා ගෙන් අවසර ගෙන තිබිණි. එයට ප්‍රථම එක් වාට්ටුවක් ජවිපෙ ක්‍රියාකාරිකම පිරිස රඳවා තබා ගන්නා ලද්දේ එහි සිටි ‘අපතයන්’ වෙනත් වාට්ටුවකට මාරු කරමිනි. අත්කම් භාණ්ඩ නිමාකිරිම සඳහා දක්ෂයින් අවශ්‍යබව කියමින් පරිපාලනයේ අවසරය මත ක්‍රියාකාරිකයින් එක් වාට්ටුවකට දමාගන්නා ලදී.  ප්‍රදර්ශනය වෙනුවෙන් භාණ්ඩ සකස් කිරීමට අවශ්‍ය කටයතු කරන අතරතුර උමඟේ කටයුතු ඉදිරියට නොකඩවා සිදුකරන ලදී.

පැලවත්ත කඳවුරේ උමඟ හැරීමේදී එහි නායකත්වය ගත් පිරිස 7කි. ඔවුනට ක්‍රියාශ්‍රීලීව එක්ව පිරිස 25කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ලේදී කුලභේදය ඉස්මතු නොවූවද උමඟ සැදීමට පෙරමුණ ගත් අය අතර දේව හෙවත් වහුම්පුර කුලයට අයත්  අය නිර්භීත කමින් ඉහළින්ම සිටියහ. කුඹල් සහ නවන්දන්න කුලයට අයත් අය සිය පාරම්පරික දක්ෂතා තුළින් මෙහිදී අනගි සහායක් ලබාදී තිබිණි. ඓතිහාසික සාධක අනුව ලංකාවේ උමඟවල් කැපීමට පාරම්පරික දක්ෂ අය සිටින්නේ කෑගල්ලේ පල්වරු ආශ්‍රිත ප්‍රදේශයේ වන අතර එහි උපන් රැඳවියෙකු මෙහිදී උමඟ කැපීමට සක්‍රීයව දායකවී තිබේ.

ලෝකය වඩාත් යහපත් තැනක් වී ඇත්තේ සියල්ල සිදුවෙමින් තිබියදී නිහඬව බලා සිටියවුන් නිසා නොවන යහපත් සමාජයක් උදෙසා අරගල කලවුන්ගේ ධෛර්යයෙන් බව උමඟ හැරූ නායකයින් එහි ආරම්භයේදී වාට්ටුවේ සියල්ලෝටම කියා සිටියහ. පැලවත්ත කඳවුරින් පළායෑමේ නායකත්වය ගත්තේ කළුතර දිස්ත්‍රික් ජවිපෙ 1987/88 සන්නද්ධ නායකයාවූ කරුණාරත්න නොහොත් බණ්ඩාරය. කලක් හමුදාවේ සේවයකර ඉන් පලාආ සිටි බණ්ඩාර කළුතර දෙදියවල පදිංචිකරුවෙකි. ඔහු අවිවාහකයෙකි. පියා මියගොස්ය. දක්ෂ කැරළිකරුවෙකුවූ ඔහු 1987 අප්‍රේල් 12වැනිදා හොරණ පොලිසිය මගින් වරෙක අත්අඩංගුවට ගන්නා ලදී. කටුනායක ගුවන් කඳවුරෙන් අවි ආයුධ ලබාගැනීම, තල්ගස්වල හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම ඇතුළු ප්‍රමුඛ වැඩ ගණනාවක් කල ඔහු 1989 පයාගලදී අත්වැරදීමකින් සිදුවූ වෙඩි වැදීමකින් මිය ගියේය. ඔහුට ගෞරවයක් වශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ මෙහෙයුම් කරුණාරත්න බලකාය ලෙසින් ජවිපෙ විසින් නම්කල අතර ඒ පිළිබඳව ජවිපෙ දේශප්‍රේමි ජනතා සන්නද්ධ බලකායන්ගේ ඒකාබද්ධ අණදෙන මූලස්ථානය මගින් නිවේදනයක්ද නිකුත් කර තිබිණි.

කළුතර දිස්ත්‍රික්කයේ ජවිපෙ දේශපාලන නායකයා ලෙස කලක් කටයුතු කළේ කැළණි සරසවියේ උපාධිධාරියෙකුවූ පැලවත්තේ චන්ද්‍රසිරි නොහොත් අසේලය. කළු උස මහත ප්‍රියමනාප පුද්ගලයෙකුවූ ඔහු බෙහෙවින් ජනප්‍රියය. පැලවත්ත කඳවුරේ ජවිපෙ න්‍යායචාර්ය වරයා වශයෙන් කටයුතු කළේ නුවර රංජිත් වටවලය. පැලවත්ත කඳවුර අවට ප්‍රදේශයේ ජවිපෙ සන්නද්ධ නායකයා වූයේ පහළ හේවැස්සේ කරුණාදාසය. මතුගම ප්‍රදේශයේ සන්නද්ධ නායකයා වූයේ කොළඹ කාර්මික විද්‍යාලයේ ආදි සිසුවෙකුවූ තොටගම ලියනගේ ප්‍රියන්ත කුමාරය.

පැලවත්ත උමඟින් පලායෑමේ ප්‍රථම සැලසුම 1988දී දියත් වූයේ බාහිරව පිටතින් ජවිපෙ මැදිහත්වීමෙනි. එහෙත් දෙවැනි පලායෑමේ සැලසුම 1992 සැප්තැම්බර් ක්‍රියාත්මක වූයේ පිටත කිසිදු ජවිපෙ බාහිර සහායක් ලබාගැනීමකින් තොරවය. ඒ වන විට ජවිපෙ කැරැල්ල පැරදී පක්ෂ යාන්ත්‍රණය මුළුමනින්ම වාගේ බිඳවැටී තිබූ බැවිණි. ප්‍රථම පළායෑමේදී රැඳවියන් හමුවීමට එන අමුත්තන් මගින්ද ලිපි සහ පණිවිඩ පිටතට රහසිගතව යැවූ අතර කඳවුරේ සිටි එක් ඇසක් අහිමිවූ පරවියෙකුගේ සහාය පණිවිඩ හුවමාරුවට යොදා ගෙන තිබේ. රැඳවුම්කරුවෝ පරිප්පු දී පරවියා හීලෑකරගත් අතර පසුව එය අසුවිමෙන් පසු ආරක්ෂක අංශ විසින් පරවියා විනාශ කරන ලදී. රහසිගතව රැඳවියන් විසින් වෝකිටෝකි යන්ත්‍රයක්ද රේඩියෝ උපකරණ යොදාගෙන බැටරි බලයෙන් ක්‍රියාත්මක කල අතර එයට ආරක්ෂක අංශ මගින් අවට සිදුකරන රේඩියෝ පණිවිඩද ඇතැම් අවස්ථාවේ ශ්‍රවණයට හැකිවිය.

කඳවුරේ රැඳවියන් 912 දෙනෙකු  1988 මුල්භාගයේදී සිටි අතර වසර අවසානයේ සිටි රැඳවියන් සංඛ්‍යාව 1,218කි. පැලවත්ත කඳවුරේ පරිපාලනය සිදුකළේ යුධ හමුදාවේ පළමුවැනි ගජබා රෙජිමේන්තුව සහ පළමුවැනි සිංහ රෙජිමේන්තුව මගිනි. කඳවුරෙන් පිටත ආරක්ෂාව භාරව සිටියේ පොලිසියයි. මෙම පලායෑම් සිද්ධීන් පිළිබඳව  කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්නගේ උපදෙස් පරිදි පරික්ෂණ පවත්වන ලද්දේ කළුතර පොලිස් අධිකාරි ජගත් ජයවර්ධන, මතුගම පොලිස් අධිකාරි ආර්.එම්.ජී කැමිලස් සහ ජයශ්‍රී උඩවත්ත, මීගස්තැන්න පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව් උමගලිය ඇතුළු කණ්ඩායමක් විසිනි. එයට පැලවත්ත හමුදා කඳවුරේ ස්ථානාධිපති රද්දොළුවගම පදිංචි එන් වීරසිංහ ඇතුළු යුධ හමුදා ජේෂ්ඨ නිලධාරින් පිරිසක් එයට සහාය විය.

කඳවුරේ සියල්ලෝම උමඟ හාරන අතරතුර හොදම දේ බලාපොරොත්තු විය. ඒ එළියට පැන ගැනීමය. එමෙන්ම නරකම දේ ගැන සූදානම්ව සිටියහ. ඒ පළායන විට හසුවුවහොත් ප්‍රතිඵලය මරණය බවය.  මෙහි එකක් හෝ අනෙක ක්‍රියාත්මකව පවතින බවද සියල්ලෝම පසක් කරගෙන සිටියහ. රැඳවියන්ගේ ඉරණම තවමත් ලියවී නැත. දැන් එය ලියමින් සිටින බව උමඟ හැරීමේදී ඔවුනට නිරතුරුව සිහිපත් විය. කඳවුරෙන් 131 දෙනා පලාගියේ කණ්ඩායම් 4ක් වශයෙන් වෙන් වෙන්මය. උමඟකින් පළායෑම යනු මරණය අතේ අරන් යෑමකි. උමඟේ මදදුරක් යන විට හුස්ම ගැනිමේ අපහසුවක් මතුවේ. කඳවුරේ ගොඩනැගිලිවලට කොන්ක්‍රීට් තුළ තිබූ බට කොන්ක්‍රීට්  කඩා ඉවත්කර  එම බට යොදා මයිනහම් ක්‍රමයට වාතය ලබාගැනීමේ ක්‍රමයක් නිර්මාණයකර තිබිණි. මයිනහම ලෙස සකස්කර තිබුණේ කඳවුරේ රැඳවියන්ට රතුකුරුසයෙන් පරිත්‍යාග කර තිබු රූපවාහිනීයක් බහා තිබූ පෙට්ටියකට ගම් බෝතලයක හිස් බටයක් ආධාරයෙනි. උමගේ සමහර තැන්වල ජලයද කාන්දු වන බැවින් ගමනට බධා රැසකි. කඳවුරේ ප්‍රධාන හමුදා නිලධාරියාගේ කාර්යාලය යටින්ද උමඟ ගොස් තිබිණි. දෙවන වරට පැනගිය උමඟ වෙනත් අන්තයකින් කඳවුරට වතුර බවුසර් ගෙන එන පාරට අඩි 8ක් පවා යටින්ද ගොස් තිබිණි.

උමඟ අඩි 2යි දෙකේ ප්‍රමාණයෙන් පළල් වූ අතර එය මැද මිදුලෙන් ඇරඹිණි. පොළව යටට අඩි 4ක් බැසීමෙන් පසු මිදුල යටින් උමඟ ගමන් කරයි. කලින් තට්ටු බිල්ඩිමක් අසළින් සැලසුම් කලද එය අත්හැර දමන ලදී. උමඟ හෑරිමේදී 25ක පමණ පිරිසක් එළියේ සිට සහාය දුන් අතර උමඟ තුළ ඉවත් කරන පස් බෑගයක ගැට ගසා ලනුවකින් ඇද ඉවතට ගන්නා ලදී. රාත්‍රී 8ට උමඟ හෑරිම සිදුවන අතර එය උදෑසන 4ට අවසන් වේ. රාත්‍රී 6ට ආහාර ලබාදීමෙන් පසුව රැඳවියන් පමණක් සිටින බැවින් කිසිම නිලධාරියෙකු නොපැමිණෙන අතර උමඟ හෑරීමට අදාල ශබ්ද පිටතට නොඇසීම සඳහා රැඳවියන් පස්වරු 7 සිට පැය කිහිපයක් විමුක්ති ගී සහ පැදුරු සාජ්ජ කුටි තුල පැවැත්වීය. උමඟ හාරනු ලබන්නේ පනිට්ටුවලින් ගලවාගත් කම්බි කොකු මගිනි. ඉවත් කරන පස්වලින් කොටසක් විරු සමරුව ප්‍රදර්ශනය සඳහා සකස් කරන නිර්මාණ සෑදිමට කඳවුරු පාලකයින් විසින් ගෙනත් දුන් මැටි ගොඩට එක්කර තිබේ. ඉන් විශාල ප්‍රමාණයේ ලංකාවේ රූපයක් සහ විජේවීර පලකයක් ඇතුළු බොහෝ නිර්මාණාත්මක මැටි ප්‍රදර්ශන භාණ්ඩ දිවාකාලයේ ප්‍රදර්ශනය සඳහා සකස්කර මවාපෑම් සිදුකරන ලදී. ඉතිරි පස් වැසිකිලි වලට දමා යැවූ අතර දින කිහිපයකට වරක් එසේ අවහිර වන ගලි කටවල් ගලවා චොපින් බෑග් අතට දමාගෙන අසූචි සමඟ එකතුවූ පස්, බාල්දි මගින් ඉවත්කර වලවල්වලට දමා තිබේ.

ඉවත්කරන ලද බොරළු සහිත වැලි පස් උදෑසන 4ට පමණ වාට්ටුව ඉදිරිපිට මුදුලේ අතුරන අතර රැඳවියන් 50ක් පමණ උදෑසන 5ට ඒ උඩින් පැයක පමණ කාලයක් ව්‍යායාම කිරීම තුලින් කිසිවෙකුට අමුත්තක් නොපෙනේ. උමඟ ඇතුළුවන කටද විශාල කැරම් ලෑල්ලකින් වැනි දෙයකින් වසා දමා එයට උඩින් පස් දමා කුණුබක්කි තබනු ලබයි. ගොඩනැගිල්ලේ වඩිම්බු ලී ගලවා ඒවා අවශ්‍ය ප්‍රමාණයට කපා උමඟේ උඩට පස් කඩා වැටීම වැලැක්වීම සඳහා ගසනු ලැබේ. ලී මුක්කුද ලෑලිවලට යටින් ගසා එය ශක්තිමත් කර තිබිණි. ලී මුක්කු මුළුතැන්ගෙයි සේවයේ නිරතවන රැඳවියන් අදාළ ප්‍රමාණයට ලිපට දමන දරලී කපා ඒවා බත් ලිප තබන කල්දේරම්වල යටට දමා එහි උඩින් බත් දමාගෙන වාට්ටුවට ගෙනවිත් ඒවා වෙන්කර ගනිති. අවශ්‍ය ප්‍රමාණය දක්වා එසේ ලී මුක්කු ගෙන එන ලදී. වාට්ටුවේ 435ක්වූ රැඳවියෝම උමඟ කැපීම දන්නා නමුදු කිසිදු තොරතුරක් කිසිවෙකුට කියාපෑමට ගියේ නැත. එකක් එය සාමූහික වැඩක් බැවිනි. අනෙක පාවාදීමක් සිදුකරන අයට රැඳවියන්ගෙන් එල්ල විය හැකි මාරාන්තික ප්‍රහාරයන්ය.

උමඟ තුළින් රැඳවියන් පළායෑමට ප්‍රථම ඔවුනට ප්‍රථමයෙන් කණ්ඩායම් වශයෙන් වෙන්ව යන අන්දම පිළිබඳව නායකයින් විසින් සිතියම් ඇසුරින් විස්තර කරන ලදී. සෑම අයෙකුම එළියට උමඟින් පලායෑමේදී ඇදගෙන යන ඇදුමට අමතරව සිලි සිලි බෑගයක ඔතා ගත් කමිසයක් සහ සරමක්ද රතුකුරුස හැදුනුම්පතක්ද රුපියල් 500ක පමණ මුදලක්ද සූදානම් කර ගන්නා ලදී. උමඟින් පළාගිය රැඳවියන් ප්‍රථමයෙන් එක්වූයේ තුඩුගල්ල යකුපිටිය කැලෑවටය. පසුව සිංහරාජ රක්ෂිතය, රෑන කන්ද, මෝල්කාවේ කහඹිලියා කන්ද, තපස්වල කන්ද, පාහියන්ගල කන්ද, කළුකන්දාව කඳු ආශ්‍රිත ප්‍රදේශවලට ගොස් විසිර තිබිණි. පසුව ඔවුහු තමනට මඟ පෙන්වූ එළියේ සිටි ජවිපෙ ක්‍රියාකාරිකයින් සමඟ යළි පක්ෂයට එක්වී විවිධ දිස්ත්‍රික්ක වලට යොමුවිය.

ඥාතීන් රැඳවියන් බැලීමට පැමිණීමේදී 131 දෙනෙකු 1988 නොවැම්බර් පැනගොස් තිබියදී ඉතිරි රැඳවියන් එම ඥාතීන් පැමිණ විට කියා සිටියේ ඔවුන් රෝහලට හෝ උසාවි වලට ගෙන ගොස් සිටි බවය. නිලධාරින් රැඳවියන් ගණන් කරනා විට බොරු ගණන් හිලව් හදා ඒවා ආවරණය කිරීමට සෙසු අය සමත් විය. පළාගිය 131කගේ ආහාර විශාල ප්‍රමාණයක් දිනපතා ඉතිරිවූ බැවින් වැඩිපුර ආහාර පරිපාලනයට හසු නොවන සේ විනාශ කරන ලදී. රැඳවියන් 131ක් පළාගොස් ඇති බව පරිපාලනය ප්‍රථම වරට දැන ගත්තේ මසකට පමණ පසුවය. ඒ ගාල්ල පාතාලයේ නමගිය අපරාධකරුවෙකුවු දඩැල්ලේ සමනලයා නොහොත් ඌරගහ චන්ද්‍රසිරි මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති ජගත් ගුණවර්ධනට හදිසියේ හමුවීමෙනි. තමාට ඇපදුන් බව එහිදි සමනලයා කියා සිටියේය. එහෙත් පොලිස් ස්ථානාධිපතිවරයා ගාල්ල මුලස්ථාන පොලිසියෙන් සොයා බැලු විට ඔහුට ඇප දී නොතිබුණි. පොලිස් තාඩන පීඩන හමුවේ සමනලයා කියාසිටියේ ජවිපෙ සිරකරුවන් සමඟ පැලවත්ත කඳවුරින් උමඟකින් පලාආ බවය. රහස හෙළිවූයේ එහිදීය. පසුව ආරක්ෂක අංශ විසින් උමඟ නැවත පරිහරණයට ගත නොහැකි වන සේ වසා දමන ලදී. පසු කලෙක බලපිටියේ සංගීත සංදර්ශනයකදී පිහි ඇනුමකින් මිය යන විට සමනලයා 42හැවිරිදිය. ඔහුගේ ජීවිතයේ වසර 30ක්ම ගතකළේ සිරගෙදර වූ අතර දුම්පානයෙන් හෝ මත්පැනෙන් වැලකී සිටි ඔහුද ජවිපෙ රැඳවියන් සමඟ ඉතා ලෙන්ගතුව පැලවත්තේ ගතකළ අයෙකි.

දෙවනවර උමඟින් පලාගියේ 1992 සැත්තැම්බර් 19වැනිදාය. 64 දෙනෙකු පලායෑමට එක්වි සිටි අතර ඔවුනට මහාධිකරණයේ පමණක් නඩු 19ක් විය. එහෙත් 64 දෙනාගෙන් පළායෑමට හැකිවූයේ 10 දෙනෙකුට පමණි. දසවැන්නා වූයේ පොළොන්නරුවේ පියසේන වූ අතර 11වැන්නාවූ උපුල් උමඟින් එළියට පැමිණ එක්වරම පහතට පෙරළී නොයා පැන්න බැවින් විශාල ශබ්දයක් ඇතිවිය. එවිට රාත්‍රී 12 පමණ වු අතර රැකවලේ සිටි ආරක්ෂක නිලධාරියෙක් විදුලි පන්දම් එළියෙන් ඔහුව දැකගන්නට ලැබි මුරකාවල් තරවි උපුල් අත්අඩංගුවට පත්විය. ඉතිිරි අයට පළායෑමට නොහැකි විය. එම උමඟ මීටර් 59ක් දිගය. මෙම උමඟ කැපීමට දින 47ක් ගතවිය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකුවු පිටිගල පියල්ද පැලවත්ත කඳවුරෙන් දෙවරක් පලායෑමට සමත්වූවෙකි. ‘හොද වැඩකාරයෙකු’ වූ පියල් පැලවත්ත උමගින් 131 පළායෑමට දෙදිනකට ප්‍රථම තවත් 5 දෙනෙකු සමඟ රාත්‍රී 2කට කඳවුරේ වහලෙන් පැන එළියට යෑමට සමත් විය. පිටත සිට පළායෑම සංවිධානය කරන්නන්ට ඔවුහු සහාය වූහ. පිටිගල පියල් සමඟ එසේ පැන ගිය අය වූයේ කුරුණෑගල සංජීව, වාරියපොල නිමල්, මෙන්ඩිස් සහ කම්පියුටර් නමින් හැදින්වූ අයෙකු වේ. ඔවුන්ගේ පලායෑමද බැරවූයේ උමඟින් පලාගිය පිරිසටය. පසුව පිටිගල පියල් ඇතුළු කිහිප දෙනෙක් 1991දී යළි අත්අඩංගුවට ගත්විට පැලවත්තෙන් පලායෑම පිළිබඳව මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු පැවරූ අතර එම නඩුවෙන් 1995 මාර්තු 2වැනිදා ඔහු නිදහස් විය. එයට හේතුව වූයේ පොලිසිය නඩුව පවරා තිබුණේ පැලවත්ත බන්ධනාගාරයෙන් පලායෑමේ සිද්ධියකට වන අතර චූදිතයාගේ නීතිඥයාගේ තර්කය වූයේ පැලවත්ත යනු සංක්‍රමණික රැඳවුම් කඳවුරක් මිස බන්ධනාගාරයක් නොවන බවය. එහෙත් පැලවත්තේ සිටි පොළොන්නරුවේ ජයසේන ඇතුළු රැඳවියන් 7 දෙනෙක්ද පලායෑමට තැත්කිරීමේදී හසුවී 1988 සිට 1992 කාලයේදී වෙඩිතැබීමෙන් මියගොස් තිබුණි. කඳවුරෙන් නිදහස් කල බව කියමින් එළියට දැමූ අකුරැස්සේ ජයරත්න ඇතුළු 15 දෙනෙකු පමණ නිදහස ලබා යන විට මහමඟදී පැහැරගෙන ඝාතනය කර තිබිණි. ජයරත්නගේ සිරුර යක්කලමුල්ල මාගෙදර ලයිට් කණුවක එල්ලා තිබිණි.

උමඟ දෙකක් කැපීමෙන් 1988 නොවැම්බර් සහ 1992 සැප්තැම්බර් මස රැඳවියන් 141ක් පැලවත්ත කඳවුරෙන් පළා ගියද එම පලායෑම් වලට සක්‍රීය උදව් දී පළායෑමට හැකියාව තිබියදී පලානොගිය පිරිසක්ද ඒ අතර විය. ඒ අතර පසුකළෙක තිස්සමහාරාම ජවිපෙ ආසන සංවිධායකවරයාවූ විජේසිරි වේහැල්ල ඇතුළු පිරිසක් විය. එයට හේතුව වූයේ ඔවුනට නඩු නිමිති නොමැතිවීම සහ නිදහස් වීමට දින ආසන්නව තිබු හෙයිනි.

අයුක්තිය, අසාධාරණය, සමාජ විෂමතාවය උදෙසා උපදින උද්වේගතර හැඟීම්වලින් පැලවත්ත ජවිපෙ රැඳවියන්  උද්දීපනයවී තිබිණි. මෙසේ පළමු සහ දෙවැනිවර උමඟින් පලාගිය 141දෙනා අතර සරත්, සුනිල් රණසිංහ, සමන්, බණ්ඩාර, උපුල්, නීල් ජයසේකර, ඒ.කේ සිල්වා, වන්නිආරච්චි, ගම්පහ ආර්.ජී. උපාලි වීරසිංහ, ජාඇල ඩග්ලස් ඇන්තනි, නානායක්කාර, මතුගම රංජිත්, කෙනෙත් සිල්වා, මාතලේ ආර්.ඒ. සංජය චමින්ද(ඔහුගේ සොහොයුරාවූ රංජිත්ද බම්බලපිටිය පොලිස් බලකා මූලස්ථානයට කඩාවැදීමේ සිද්ධියටද සම්බන්ධ අයෙකි. පසුව ප්‍රහාරයකදී ඝාතනයට ලක්විය), යූ.කේ කොස්වත්තගොඩ, නෙළුවේ සුනිල්, උපාලි අරුණශාන්ත, දයානන්ද, නේවි රාජු, පාදුක්කේ ඩබ්ලිව්. ඩබ්ලිව් වීරසිරි ජයමාන්න, හොරණ අරුණ, කේ.සී විජේමාන්න( අවිස්සාවේල්ලේ එජාප පළාත් සභා මන්ත්‍රී  වික්‍රමරත්න රැස්වීමක් අමතමින් සිටියදී පැහැරගත් ලොරියකින් ගොස් වෙඩි තබා ඝාතනය කළේ ඔහු විසිනි. පසුකලෙක පාදුක්කේ වතු ගැටුමකදී මරුමුවට පත්විය), වීරසිරි ජයරත්න, බස්නායක, ඇඹිලිපිටියේ ජයතිස්ස, අලුත්ගම රොෂාන්, කුරුණෑගල ප්‍රීති, බදුල්ලේ සුගුණ කහවිට, ඒ ලක්ෂ්මන් ගම්පහ චානක වීරකොඩි, පොලොන්නරුවේ ඩබ්ලිව්. පියසේන සහ ජයන්ත මහානාම ඇතුළු කිහිප දෙනෙක් ඉදිරියෙන්ම විය.

අවස්ථා දෙකේදී මෙසේ පලාගිය 141දෙනාගෙන් 50කට ආසන්න පිරිසක් ජවිපෙ සන්නද්ධ අංශයේ මුල්පෙළේ කේඩර්වරුන් වුහ. ප්‍රථමයෙන් පලාගිය 131 සියයට 90ක් පමණ යළි ජවිපෙට සම්බන්ධ වී ජවිපෙට එක්වූ අතර සියයට 10ක් පමණ කැරැල්ල අතහැර සැඟවුණු ජීවිතයක් ගත කලහ. එසේ යළි කැරැල්ලට එක්වූ සියයට 90න් සියයට 75ක් පමණ ජීවිත් වීමට වාසනාව ලැබීය. ඉන් 20ක් පමණ විදේශ රටවලට සංක්‍රමණය වු අතර අන් අය රැකියා සහ ස්වයංරැකියා කේෂේත්‍රයේ නිරත වේ. පක්ෂයක් ලෙස සාමූහිකව කැරැල්ලේදී මුහුණ දුන්නද අත්අඩංගුවට ගැනීම පසු නිදහස්වීම, නිතිය ඉදිරියට යෑම, දඬුවම් විදීම සහ නිදහසින් පසු ඉදිරි ජීවන ගමනට  ඉහත කැරළිකරුවන්ට මුහුණදීමට සිදුවූයේ තනි තනිවය.

වසර 1971 අප්‍රේල් ඇතිවූ කැරැල්ල සමඟ සසඳන කල  ජවිපෙ 2වැනි කැරැල්ල 71 කැරැල්ලට වඩා සියදහස් ගුණයකින් යෝධ කැපකිරීමකි. කැරළිකරුවන් අරගලයේ නොපසුබස්නා වීර්යය 1989 මැදභාගය දක්වාම තබාගෙන තිබිණි. එදා 1971 පරම්පරාවට වඩා බොහෝ ආදර්ශයන් ජවිපෙ 2වැනි කැරැල්ලේ පරම්පරාව අත්පත් කරගෙන සිටියද පොදුවේ ජනතාව සංවිධානය කිරීමට සහ අරගලය ජනතාව අතරින් මතුකර ගැනීමට අදාළ වැදගත්ම කොන්දේසිය සම්පූර්ණ කරගත හැකිවූයේ නැත. එහිදී සියල්ල සිදුකිරීමට තැත් කළේ නායකත්වයේ උපදෙස් පරිදි තුවක්කු කටිනි. එම නිසා 2වැනි කැරැල්ල අවසානයේදී සමාජයේ පුළුල් සහයකින් තොරව හුදකලා කැරළිගැසීමක් බවට පත්විය. එය ජාතික විමුක්ති අරගලයක් නොව ආශ්වාදනීය හැඟීම් සහ අනුරාගය ඇතිකරගත් අරගලයක් බවට අවසානයේදී පත්විය.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress