ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමට ‘පෙතියෝ’ 41ක් මරාදැමූ ජවිපෙ කැරලිකරු මෙන්න!
Posted on June 4th, 2016

ධර්මන් වික්‍රමරත්න         

මෙය ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික ගමන්මඟ අනුව ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදුකල අයෙකුගේ කථාවකි. කොන්දේසි විරහිතව අසීමිත ප්‍රේමයකින් ජවිපෙට සහ ජවිපෙ අරමුණවලට ආදරයකල ඒ ප්‍රේමය නිසාම පොදු මිනිස් සංහතියේ සතුරන්ට එරෙහිව උතුරායන වෛරයකින් පිරීගිය මිනිසෙකුගේ කථාවකි. ඒ ආදරය මෙන්ම වෛරයද ජවිපෙ ඉහළ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ප්‍රායෝගිකත්වය ක්‍රියාවටද නැගූ මිනිසෙකුගේ කථාවකි. එපමණක් නොව ද්‍රරිද්‍රතාවය සහ සමාජ පීඩනය නිසා රැඩිකල් දේශපාලනයට එක්වන තරුණ පරපුරේ ඇතමෙකුගේද කථාවද මෙයට බොහෝ දුරට සමානවිය හැකිය.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි.

පහලමුල්ලගේ ලයනල් රණසිංහ උපන්නේ 1962දීය. හොරණ මූණගම ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඔහු ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක ලෙසද හැදින්විණි. රත්නපුරේ කුරුවිට උපන් ඔහු පවුලේ වැඩිමලාය. පියා දෛනික කුලීවැඩ කරන කම්කරුවෙකි. මව ගෘහනියකි. ඔහුගේ මල්ලී වන සුනිල් ඔහුට වඩා වසරකින් බාලය. දෙදරු පියෙකුවූ ලයනල්ගේ පියා ලයනල් කුඩා කාලයේදීම මිය ගියේය.

වැන්දඹුවක්වු ලයනල්ගේ මව යළි විවාහවී හොරණ මූණගමට සංක්‍රමණය වූවාය. ලයනල් සහ මල්ලී සුනිල් රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවසේ තවදුරටත් වාසය කළෝය. ලයනල් සහ සුනිල් පාසැල් ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයන් 7 ක් සම්මාන සමාර්ථ හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි. අහිංසකයෙකි. එහෙත් නිර්භීතය. කිසිවෙකුට භය නැත. සිය සොහොයුරාට තග් බලය දැමූ තවත් සිසුවෙකුට ලයනල් පහර දුන්නේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී අත්වැඩ කරන කතුරකිනි. ලයනල් සතුන්ට ආදරේය. ඔහු කෑමකන විට කුරුවිට ගෙදර අවට සිටින ලේනුන් දෙතුන් දෙනෙකුම ඔහු ලඟට පැමිණීම සුලඹ දසුනකි. ලයනල් කරාතේ ඉගෙන ගත්තේ නන්ද සිරිවර්ධනගෙනි. කුංෆු ඉගෙන ගත්තේ සීවලී ගුරුතුමා ගෙනි. මෙම පන්ති හොරණ සහ බොරැල්ලේ පැවැත්විණි.

dharman04061602සමාජවාදය ගොඩනැගිම සඳහා දේශප්‍රේමී අරගලය මූලික කරගත් ජවිපෙ 2වැනි කැරැල්ලේ අරමුණු වෙනුවෙන් එයට එරෙහිවු 41 දෙනෙකු පක්ෂයේ උපදෙස් අනුව ඝාතනයකල මුල් පෙළේ කැරළිකරුවෙකුවන ලයනල් රණසිංහ නොහොත් ගාමිණී නොහොත් මහින්ද.

මේ වනවිට ලයනල්ගේ මව දෙවැනි විවාහයෙන් දියණියන් තිදෙනෙකු බිහිකල අතර දැන් ලයනල්ගේ පවුලේ සොයුර සොයුරියන් සංඛ්‍යාව ලයනල් සමඟ පහකි. අපොස සාමාන්‍ය පෙළ හොදින් සමත්විමෙන් පසු ලයනල් සහ සුනිල් යන පුතුන් දෙදෙනා මව විසින් හොරණ නිවසට කැදවාගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාදෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළුවූ ලයනල් වාණිජ විෂය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනෙකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ සුනිල් මල්ලී හොරණ නගරයේ මත්පැන් අළෙවිසැලක් අසළ කඩල විකිණීමට ගියේ ජීවනබරට තල්ලුවක් දෙමිනි. ඉදහිට කුලීවැඩටද ගියේය. කේටරින් වැඩවල නිරතවූ මවද පොළේදී එළවළු අළෙවි කිරීමට සහ කඩල විකිණිමටද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක්වූවාය.

හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී 1978දී ජවිපෙ දේශපාලන පන්තිවලට සහභාගිවු අතර ඒ වන විට ඔහුට අවුරුදු 16කි. ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශිලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයාවූ යටියන්තොට චන්ද්‍රසිරි එහි විද්‍යාපීඨ සිසුවෙකුවූ අතර 1982දී උපාධිධාරියෙකු වශයෙන් පිටවිය. ජවිපෙ ජනාධිපතිවරණයට තරඟකර 1982 පරාජයට පත්වීමෙන් පසු ජවිපෙන් ඉවත්වූ චන්ද්‍රසිරි වර්තමානයේ ව්‍යාපාරිකයෙකි.

dharman04061603(002)ජවිපෙ නායක රෝහණ විජේවිර, ලේකම් උපතිස්ස ගමනායක, දේශපාලන මණ්ඩල සභිකයින්වන සන්නද්ධ නායක සමන් පියසිරි ප්‍රනාන්දු සහ ලයනල්ට කලක් උපදෙස් දුන් කොළඹ දිස්ත්‍රික් හිටපු නායක ලලිත් විජේරත්න නොහොත් ජයන්ත, සන්නද්ධ අංශයේ කටයුුතුවලදී ලයනල්ට පුහුණුව සහ මඟපෙන්වීම ලබාදුන් මධ්‍යම කාරක සභික ඊශ්වරගේ ආරියසේන, ගුවන් හමුදා හිටපු කාර්මික නිලධාරි කඩුවෙල පිට්ටුගල කහන්තොට උපන් කෙහෙල්වත්ත ගමරාලලාගේ සිරිපාල, කොළඹ සහ ගම්පහ කලක් සන්නද්ධ ලේකම්ව සිටි යූස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු නොහොත් පතී, ගම්පහ පහළගම ෂෙල්ටන් රාජපක්ෂ නොහොත් සමන් වීරසිංහ, ලයනල්ද එක්වූ වාද්දුව හමුදා කඳවුරින් ආයුධ පැහැරගැනීමේ සැලසුමේ නායක ශාන්ත බණ්ඩාර, ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට පත්වූ එම්. ටිල්වින් සිල්වා නොහොත් කළුතර සුසිල්, ප්‍රහාරයේ ආරක්ෂක ඇදුම් සිය නිවසේදී මැසීමේ භාරකරු පානදුරේ අම්බලන්දූව මුස්ලීම් විදුහලේ ගණිත ගුරු අබ්දුල් ජබ්බාර් සහ ලයනල් රණසිංහ ජවිපෙට එක්කිරීමට 1978දී හවුල්වූ අය අතර ප්‍රමුඛයෙකුවූ කොළඹ වෛද්‍ය පීඨයේ එකල සිසු සහ වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයෙකු වශයෙන් සේවය කරන එවකට හොරණ මූණගම පදිංචි නිහාල් අබේසිංහ ඉහළ වමේ සිට මෙහි වේ.

ලයනල් රණසිංහ ජවිපෙට එක්කිරීමට හවුල්වූ අය අතර තවත් ප්‍රමුඛයින් දෙදෙනෙකු වන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු හොරණ මූණගම පදිංචි නිහාල් අබේසිංහ සහ පොකුණුවිට පදිංචි තිලක්ය. වෛද්‍ය නිහාල් අබේසිංහ වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය  විශේෂඥයෙකු වශයෙන් විදේශයක සේවය කරනු ලබයි. එකල කොළඹ සරසවියේ ශිෂ්‍ය සභාවේ 1982 සභාපතිවරයාවූ ගම්පහ පදිංචි මහින්ද ආරියතිලක රත්නායකද 82 ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු ජවිපෙන් ඉවත්වූ පිරිස අතර විය. ජවිපෙ පක්ෂ තහනමට සමකල හැකි බිඳ වැටීමට පමණක් දෙවැනිවූ පසුබෑමක් 82 ජනාධිපතිවරණයෙන් පසුව සිදුවිය.

ජවිපෙට පූර්ණකාලීනයෙකු ලෙස ලයනල් සම්බන්ධවන්නේ 1981දීය. අප්‍රේල් 5 විරු සමරුවක් 1983 කළුතර නගර ශාලාවේදී ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි රතු භටයෙක් ලෙස රාජකාරි කළේද ලයනල් රණසිංහය. එහි පසක යෝධ පුවරුවක සටහන්වූයේ ‘’බැඳ දැම්මත් අප අත් යදම් වලින් නැගිටිනවා සිකුරුයි…. ගිගුම් දෙමින් මව්බිම සුරකින රතු බල සේනා මැදින් අපි එනවා…’ යන්නය. විරු සමරුවේ තමා සිටින ඡායාරූප නිවසට ගෙනවිත් පවුලේ අයටද බලන්නට දුන්නේය. ලයනල්ගේ මව පුතාගේ දේශපාලන කටයුතු පිළිබඳව බියපත්ව සිය සොහොයුරාට අයත් කැකිරාවේ හේනකට ලයනල් යැවූවද ඔහු ගොවියෙකු වශයෙන් ජීවිකාව ගෙන ගියේ වසරකට අසන්න කාලයක් පමණි. පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස පසුව සේවය කළේය.

dharman04061604Aසිය වැඩිමහල් සොහොයුරාවන ලයනල් පිළිබඳව ළමා කාලයේ සිට අවසානය දක්වා ආවර්ජනය කරන එකම සොහොයුරු සුනිල් රණසිංහ.

යළිත් හොරණට පැමිණ 1984දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළුද සෙසු දිනයන්හිදී රටකජුද විකුණූ ලයනල් ජවිපෙ සන්නද්ධ අංශයට 1986දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන මගිනි. යුධහමුදා ස්වෙච්ඡා බලකායට බැදීම සඳහා ලයනල් වරෙක සම්මුඛ පරික්ෂණයට ගිය අතර ඒ සඳහා තෝරාගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක්ද 1987 මැයි 6වැනිදා ලැබිණි. එහෙත් එම දිනයේ ඔහු ජවිපෙට අරමුදල් රැස්කිරීම සඳහා කල මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවිය.

වරක් ලයනල් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්වූ අවස්ථාවක පොලිස් නිලධාරින්ට පහරදුන් ඔවුහු පළා ගියහ. පොලිසිය ලයනල් අත්අඩංගුවට ගැනිමට නිවසට පැමිණි අතර ඒ වන විටද ඔහු නිවසින් පැන ගොස් තිබිණි. ඉන් පසු ලයනල් නිවසට මව බැලීමට ආවේ ඉදහිටය. ලයනල් හමුවීමට  නිවසට එන ජවිපෙ කළුතර දිස්ත්‍රික් සාමාජිකයෝද ඉන් පසු නිවසට පැමිණියේ නැත. ලයනල් රණසිංහ ඇතුළු 5 දෙනෙකු ජවිපෙට අරමුදල් සපයා ගැනීම සඳහා කල මංකොල්ලයකදී 1987 අප්‍රේල් 12 හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා බන්ධනාගාරයේ සිට ඔවුන් ගෙනයන විට බොල්ගොඩ පාලම අසළදී ජේලර්ලාට පහරදී පළාගියේ පිටතින් ලැබුණ ජවිපෙ සහායද සමඟිනි.

dharman04061605ජනකාන්ත සිනමා නළුවෙකුවන මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග(ඉහළ වම), ලයනල් විසින් 1988 පෙබරවාරි 16 වැනිදා පස්වරු 12.20ට නාරහේන්පිටදී විජයට වෙඩි තැබීමෙන් පසු(ඉහළ දකුණ) සහ විජයට වෙඩි තබා මොහොතකින් පසු ප්‍රදේශවාසින් සහ හිතවතුන් සිය ගණනක් විජයගේ නිවස ඉදිරිපිට රැස්ව සිටි අන්දම(පහළ)

අවි පුහුණව සඳහා ජවිපෙ අවි පුහණු කඳවුරු කිහිපයකින්ම ලයනල් පුරුදු පුහුණු වී සිටියේය. ප්‍රථමයෙන් 1986 දෙසැම්බර් 13වැනිදා බදුල්ලේ බඹරකන්දේදී සතියක පුහුණුවක්ද, 1987 අප්‍රේල් 12 වැනිදා ශ්‍රීපාද අඩවියේදී සතියක අවි පුහුණුවක්ද 1988 මාර්තු 17වැනිදා රත්නපුර කුරුවිට ශ්‍රීපාද අඩවියේදී නැවත වරක් අවි පුහුණුවක්ද ලබා ගන්නා ලදී. මෙහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ආකෘතියක් තනා එයට පහරදී යටත් කරගෙන අවි පැහැර ගැනිමේදී පෙරහුරුවක්ද පවත්වන ලදී. මෙහිදී හමුදාවෙන් පළා ආ ජවිපෙ සාමාජිකයින් විසින් යුධ පුහුණුව ලබාදුන් අතර ඔත්තු බලන ආකාරය, වෙඩිතැබීම ඇතුළු බොහෝ දෑ උගන්වනු ලැබීය. මෙම පුහුණුව අවසානයේදී ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ වෙනුවෙන් ලාංකීය නිර්ධන පන්තියේ විප්ලවය සඳහා ඕනෑම කැපවීමක් හා පරිත්‍යාගයක් කර ජනතාව වෙනුවෙන් සටන්කරන බව පුහුණුව අවසානයේදී සියල්ලෝම ප්‍රතිඥා දුන්හ. ජවිපෙ 1983 ජුනි 30 රජය මගින් තහනම් කලද ඒ සඳහා නිවැරදි දර්ශනයක් සහ නිවැරදි නායකත්වයක් ඇති බැවින් ඕනැම පරිත්‍යාංගයක් සහ කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බැවින් පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට එකඟ වන බවද ඔවුහු එහිදී සපථ කළහ.

ජවිපෙ විසින් මෙවැනි වනගත පුහුණු කඳවුරු රැසක් 1986 සිට ලංකාව පුරා පවත්වාගෙන ගියේය. වනගත පුහුණු කඳවුරු සඳහා සුදුසුම තැන ජවිපෙට සොයාබලා තෝරාදෙන ලද්දේ ආතර් සහ බලංගොඩ වැලිපොතයායේ උපන් පියතිලක නොහොත් වනරාජා විසිනි. ආතර් 1990 මුල් භාගයේදී කල්තොට දියමින්නේදී ජවිපෙම වනගත පිරිසක් විසින් ක්‍රමන්ත්‍රණකාරීව ඝාතනය කල අතර පියතිලක වර්තමානයේ ලුණුගම්වෙහෙරේ ජීවත්වේ.

dharman04061606ලයනල් විසින් කොළඹ සරසවි කොලේජ් හවුස්හි කාර්යාලය තුළදී 1989 මාර්තු 8වැනිදා පෙරවරු 10.10ට වෙඩිතබා ඝාතනය කරන ලද කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරගේ දේහය අවසන් කටයුතු සඳහා පුත් ශාලිත විජේසුන්දර ඇතුළු පිරිස විසින් රැගෙනයන අයුරු(වමේ) සහ මහාචාර්ය විජේසුන්දර(දකුණේ)

ලයනල්ගේ මිතුරන් වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත් හෙවත් තිස්ස, තේ දළු අළෙවි සුළු වෙළෙන්දෙකුවූ නෙළුව මතුගම පදිංචි අබේසිංහ ආරච්චිගේ සුනිල් නොහොත් හේමන්ත,  ජයවර්ධන නොහොත් ඩගි, ගුණතිලක, කැස්බෑවේ ගාමිණී, ආරියදාස, චන්ද්‍රරේ, ඩේවිඩ් ජයලත්, මතුගම රංජිත්, අශෝක, හිඟුරක්ගොඩ රවුම් පාරේ කුමාරගේ විජිත කරුණාරත්න, දේවා, විනී, කොට්ටාවේ මහීපාල(කලක් විජේවීරගේ ආරක්ෂකයෙකු විය. අවසානයේදී ඉසුරුපාය වධකඳවුරේ වධකයෙකු ලෙස බලහත්කාරයෙන් සේවයට යොදවා ගන්නා ලදී), රාගම හලන්දාරුවේ සෝමසිරි(රාගම සෝමේ), දිවුලපිටියේ ධම්මික ඇතුළු කිහිප දෙනෙකි. ලයනල් 1986 සිට 1989 දක්වා කාල සීමාවේ නැවතී සිටියේ කළුතර දෙදිවල, පිලියන්දල එස්.ඕ.එස් ගම්මානය, හොරණ, පිලියන්දල දම්පෙ, නාරහේන්පිට පොල්හේන්ගොඩ, නුගේගොඩ දෙල්කඳ ඇතුළු ස්ථාන කිහිපයකි.

ජවිපෙ විසින් හමුදා සහ පොලිස් ගණනාවකට පහරදී අවි ලබාගැනීමේ ප්‍රහාර ගණනාවකටම ලයනල් ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සහභාගි විය. එවැනි මෙහෙයුම් අතර නාගොඩ තල්ගස්වල හමුදා මුරපොලට 1987 සැප්තැම්බර් 28, කහවත්ත පොලිසියට 1987 දෙසැම්බර් 30, බම්බලපිටිය පොලිසියට 1989 ජනවාරි 25, පන්නල යුධ අභ්‍යාස හමුදා කඳවුරට 1988 නොවැම්බර් 1, කටුනායක ගුවන් හමුදා කඳවුරට 1987 ජුනි 4වැනිදා සහ දෙවන ප්‍රහාරය 1988 අප්‍රේල් 22, හොරණ කුඹුකේ ග්‍රාමාරක්ෂක කඳවුරට 1988 ජනවාරි 8වැනිදාද, පාදුක්ක පොලිසියට 1988 ඔක්තෝබර් 28 ප්‍රහාරයද ඒ අතර විය. මෙම ප්‍රහාරයන්හිදී ලයනල් ඇතුළු ජවිපෙ කැරළිකරුවන් විසින් එම කඳවුරුවල නවීනතම අවි පැහැරගැනීමට සමත් විය. වාද්දුව හමුදා කඳවුරට කඩාවැදී අවි ලබාගැනීම සඳහා ප්‍රහාරයක් ලයනල්ගේද සහභාගිත්වයෙන් 1987 අගෝස්තු සිදුවූවද එය සාර්ථක නොවීය. ජවිපෙ දේශපාලන සිරකරුවන් මුදා ගැනීම සඳහා 1988 දෙසැම්බර්13 වැනිදා මැගසින් බන්ධනාගාරයට පිටතින් සහ ඇතුළතින් ප්‍රහාරය එල්ලකර ජවිපෙ රැඳවියන් 221ක් මුදවා ගැනීමේදී ලයනල් වැදගත් මෙහෙයක් ඉටු කළේය.

dharman04061607Aකොළඹ එජාප නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලිමාරච්චි 1989 පෙබරවාරි 15 මැතිවරණයදා මට්ටක්කුලියේදී ඝාතනය කරන ලද්දේද ලයනල් විසිනි. මෙහි කොළ පාටින් රවුම්කර ඇත්තේ ජයන්තය. වම්පස ජයන්තගේ සොහොයුරු ප්‍රවීණ රූපවාහිනී නිෂ්පාදක ජනකද, දකුණු පස මව ප්‍රේමාද වේ. වාඩිවී සිටින්නේ පියාවන අමාත්‍ය වීරසිංහ මල්ලිමාරච්චිය. මෙය 1981 සංවර්ධන සභා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ගනු ලැබූ ඡායාරූපයකි.

පක්ෂයට අරමුදල් රැස්කිරීම සඳහා මොරටුව කටුබැද්දේ මහජන බැංකුව 1989 ජනවාරි 16වැනිදාද, වැල්ලවත්ත මහජන බැංකුවෙන් රුපියල් දශලක්ෂ 22ක් 1989 පෙබරවාරි 8වැනිදා කොල්ලකැමට ගිය කැරළිකරුවන් කිහිප දෙනා අතර ලයනල්ද ඉදිරියෙන්ම සිටියේය. මොරටුව බැසිල් ට්‍රේඩ් සෙන්ටර්, රටබීම හළ, අතුරුගිරිය ඇතුළු සිගරට් වෑන් වලින් මුදල් කොල්ලකෑම ඇතුළු ගණනාවක් සුළු ප්‍රමාණයේ මංකොල්ලකෑම් ගණනාවක්ද ඒ අතර විය.

ජනකාන්ත සිනමා නළුවෙකුවන මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග 1988 පෙබරවාරි 16 වැනිදා පස්වරු 12.20ට නාරහේන්පිටදී ඝාතනය කළේද ලයනල් රණසිංහ විසිනි. එසේ විජය කුමාරතුංග ඇතුළු 41දෙනෙකු ලයනල් අවසානයේදී ඝාතනයකර තිබිණි. ඉන් කිහිප දෙනෙකු මෙසේය. එජාප මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු 1988 මැයි 20 දහවල් 11.30ට ඝාතනය කළේ ටී.56 තුවක්කුවකින් අමුතුම ආකාරයකිනි. ලෑලි පෙට්ටියක තුවක්කුව සඟවා එය උඩින් ලි කුඩු දමාගෙන පාපැදියක බැදගෙන පැමිණියේය. වැල්ලවත්ත අනුලා මාවත අසළ කඩයක් ඉදිරිපිට පාපැදියේ රෝදයක හුලං බැස ඇතැයි එහි නතරකල ලයනල් සංඥාව ලැබෙන විට පෙට්ටියෙන් ස්වයංක්‍රීය ගිණි අවිය රැගෙන නන්දලාල් ප්‍රනාන්දු නිවසින් පිටත්ව අනුලා මාවතින් වැල්ලවත්ත මාර්ගයට වාහනය දමනවාත් සමඟම වෙඩිතබා එහි සිටි තවත් කැරළිකරුවෙකු පදවාගෙන පැමිණි යතුරුපැදියෙන් තුවක්කුවද රැගෙන පළා ගියේය. කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 1989 මාර්තු 9වැනිදාද, ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් කොළඹ නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලමාරච්චි 1989 පෙබරවාරි 15 මැතිවරණයදා මට්ටක්කුලියේදීද, එජාප නාගරික මන්ත්‍රීවරුන් වූ ලෙස්ලී රණගල බොරැල්ලේදීද, කිරිවත්තුඩුවේ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති, ජේෂ්ඨ සහ කණිෂ්ඨ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු, එජාප ජාතික සේවක සංගමයේ වරාය ඇතුළු ස්ථාන කිහිපයක ඉහළ පෙළේ නිලධාරින් තිදෙනෙකු, ඉන්දියාවේ මුල්පෙලේ ව්‍යාපාරිකයන් 2ක් ඇතුළු පිරිසක් එයට අයත්වූහ.

dharman04061608Aඑජාප මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු 1988 මැයි 20 දහවල් 11.30ට වැල්ලවත්ත අනුලා මාවතේදී වෙඩිතබා ඝාතනය කරන ලද්දේද ලයනල් විසිනි. තුවක්කුව ගෙනආ ලෑලි පෙට්ටියේ ලීකුඩු දමා ඒ යට තුවක්තුව සඟවා එජාප මහලේකම් වාහනයෙන් පාරට පිවිසෙද්දී තුවක්කුව ගෙන වෙඩි තැබිම සිදුකර තිබිණි. නන්දලාල් ප්‍රනාන්දු(වමේ ජායාරූපය) සහ මොහොතකට පසු පොලිසිය පැමිණි අවස්ථාව දකුණේ වේ.

ආරක්ෂක අංශ මගින් කියා සිටියේ ලයනල් ඝාතන 43ක් සිදුකල බව වූවද එජාප සභාපති හර්ෂ අබේවර්ධනගේ සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරාගේ ඝාතන සිදුකළේ ඔහු විසින් නොවේ. එජාප සභාපති හර්ෂ අබේවර්ධන 1987 දෙසැම්බර් 23වැනිදා ඝාතනය කළේ බෙලිඅත්තේ ගුණසේන වර්ණපටබැඳි නොහොත් බෙටාය. පොලිසිය ඒ සම්බන්ධයෙන් චෝදනා කලේ ලයනල් රණසිංහ සහ පිළියන්දල ලසන්ත විජේවර්ධන නොහොත් ඩොනල්ඩ්ටය. ටෙරන්ස් පෙරේරා 1987 දෙසැම්බර් 12වැනිදා තලංගමදී ඝාතනය කළේ මුලටියන සීනිපැල්ලේ දහනායකය. දෙයියන්දර උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු වශයෙන් සිටියදී ජවිපෙට 1979දී එක්වූ දහනායක පසුව පූර්ණකාලීනයෙකු විය. ඔහුගේ පියා ගම්බාරේ කෙනෙකි. දහනායක පනාගොඩ යුධ හමුදා කඳවුරෙන් අවි පැහැරගැනීමට යාමේදී 1989 මැයි 2 වෙඩිවැදී ඝාතනයට පත්විය.

ලයනල්ලාගේ පවුලේ සැමට ජවිපෙ දෙවැනි කැරළි සමය වූ 1986 සිට 1989 දක්වා විවිධ තාඩන පීඩනවලට ලක්විය. අයියා ලයනල් ඉල්ලා මල්ලීවන සුනිල් ආරක්ෂක හමුදා මගින් අත්අඩංගුවට ගෙන වසර 2කට ආසන්න කාලයක් මිරිහාන පොලිසියේ කඳවුර, පැලවත්තේ රැඳවුම් කඳවුර, මැගසින් බන්ධනාගාරය ඇතුළු ස්ථාන කිහිපයක රඳවා තබාගන්නා ලදී. ලයනල් රණසිංහ අවසාන වරට පවුලේ අයෙකු හමුවූයේ මරදානේ සුමනදාස පෙරේරාගේ නිවසේදීය.

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිළිබඳ ප්‍රකට වෛද්‍ය මනෝ චිකිස්සකයෙකුවූ වෛද්‍ය රුවන් එම් ජයතුංග ප්‍රකාශකරන අන්දම ලයනල් රණසිංහ කුඩා කාලයේ පීතෘ වියෝග කාන්සාවට(Paternal Deprivation Syndrome) බෙහෙවින් ලක්ව සිටියේය. පසුකාලීනව ද්‍රරිද්‍රතාවය සහ සමාජ පීඩනය යන කරුණු නිසා පහසුවෙන්ම රැඩිකල් දේශපාලනයේ විශෝධනය මගින් ඝාතකයෙකු බවට පත්කර ගැනීමට හැකි විය. පෙනීයන පරිදි ඝාතන කිහිපයක් කිරීමෙන් අණතුරුව ඔහු ආසක්ත ඝාතකයෙකු (Addictive Killer)  බවට රූපාන්තරණය විය.

dharman04061609ජවිපෙ විසින් 1987 දෙසැම්බර් 23 ඝාතනයට කල එජාප සභාපති හර්ෂ අබේවර්ධනගේ දේහයට ජනාධිපති ජයවර්ධන අවසාන ගෞරව දක්වන අවස්ථාව. හර්ෂගේ වර්ණ ඡායාරූපයක් පහත කොටුවේ වම්පස දැක්වේ. පහත කොටුවේ දකුණුපස සිටින්නේ හර්ෂ ඝාතනය සිදුකල ජවිපෙ ක්‍රියාකාරිකයෙකුවූ බෙලිඅත්තේ ගුණසේන වර්ණපටබැඳි නොහොත් බෙටාය. එහෙත් හර්ෂ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය චෝදනා කලේ ලයනල් රණසිංහ සහ පිළියන්දල ලසන්ත විජේවර්ධන නොහොත් ඩොනල්ඩ්ටය.

ලයනල් රණසිංහ 1989 මාර්තු 13වැනිදා බිල්ලෙකු බවට පත්වූ කැරළිකරුවෙකුගේ මඟපෙන්වීම අනුව ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්වූ අතර පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලදී. එහිදී එහි අධ්‍යක්ෂක චන්ද්‍රා ජයවර්ධනගේ ප්‍රශ්න කිරිම් වලින් පසු දීර්ඝ කටඋත්තරයක්ද ඔහු ලබාදුන්නේය. විවිධ ප්‍රශ්න කිරීම් වලට ලක්වූ ලයනල් රණසිංහ 1989 ඔක්තෝබර් 4වැනිදා පාදුක්ක වනගත පෙදෙසෙකදී ඝාතනය කරන ලදී. ඒ පිළිබඳව චෝදනා එල්ල වූයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධනටය. විජය කුමාරතුංග ඝාතනයට ලයනල් සමඟ සම්බන්ධවූ ඉදිරිපෙල කැරළිකරුවෙකුවූ කළුතර ලංගම ඩිපෝවේ රියදුරු කළුතර පයාගල පදිංචි ටාසන් වීරසිංහ නොහොත් හේරත්ද 1990 දෙසැම්බර් 21වැනිදා මොරටුව අගුලානේ නිමල්ගේ නිවස ආසන්නයේදී අත්අඩංගුවට ගත් අතර පසුව 1991 මුල්භාගයේදී ආරක්ෂක හමුදා අතින් ඝාතනයට පත්විය. කලක් කළුතර සිට යටදොල දක්වා ධාවනයවු ලංගම බස්රථයේ රියදුරුවු ටාසන් වීරසිංහගේ බිරිඳ පද්මිණිය.

ඝාතනයට ලක්වන විට ලයනල් අවිවාහකයෙකු විය. ඔහුගේ මව 2007 වසරේදී ජීවිතයෙන් සමු ගත්තාය. වසර 2ක කාලයක් අනේකවිධ වධ බන්ධන වලට ලක්ව ජීවත්වීමට වාසනාව ලැබූ මල්ලී වන සුනිල් රණසිංහ වර්තමානයේ ත්‍රීරෝද රථයක රැකියාව කරන අතර  කේටරින් සේවයේද නිරත වේ. නැගණියක් වන මාලනී අනෝමා මූණගම පදිංචිය. ලයනල් රණසිංහ යනු කුලී මිනීමරුවෙක් නොවේ. ඔහු ජවිපෙ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි 2වැනි කැරැල්ලේදී කටයුතු කල ‘විප්ලවවාදියෙකු’ බව පවුලේ අයගේ මතය වේ.

ජවිපෙ 2වැනි කැරැල්ලේදී විජය කුමාරතුංග ඇතුළු 41 දෙනෙකු ලයනල් විසින් ඝාතනය කලේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ අරමුණින් බව ලයනල් රණසිංහගේ ජීවිත කථාවෙන් පැහැදිලිය. ජවිපෙ 2වැනි කැරැල්ලේදී  දුබලතා සහ සීමාවන් බොහෝ තිබුණද එම බරපතල වැරදි පවා කැරළිකරුවන් අතින් සිදුවූයේ තමා ඇදහූ පක්ෂය වෙනුවෙන් එහි කාර්යයක නියුතු වීමෙනි. අගතිගාමී නොවී ඒ දෙස බලන පිටස්තර අයට පවා එය ප්‍රතික්ෂේප කල නොහැකි කරුණකි. එහෙත් ඒ කිසිවක් ඔවුන් ඇදහූ දේශපාලන ව්‍යාපාරයන්  පිළිනොගැනීම කැරළිකරුවන්ගේම ඛේදවාචකයක් විය.(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected]The writer is a senior journalist who could be reached at [email protected] OR 011-5234384

2 Responses to “ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමට ‘පෙතියෝ’ 41ක් මරාදැමූ ජවිපෙ කැරලිකරු මෙන්න!”

  1. Christie Says:

    JVP the Sinhala terrorist arm of the Indian Empire financed by India and Indian merchant colonial parasites of the island.

  2. sarathk Says:

    “ලයනල් රණසිංහ යනු කුලී මිනීමරුවෙක් නොවේ. ඔහු ජවිපෙ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි 2වැනි කැරැල්ලේදී කටයුතු කල ‘විප්ලවවාදියෙකු’ බව පවුලේ අයගේ මතය වේ.”- එය සැබෑවකි. ලයනල් රණසිංහ නිර්භීත ලෙසත් ඉතා දක්ෂ ලෙසත් තම කාර්යය ඉටු කල ජවිපෙ සාමාජිකයෙකු බව මෙම ලිපියෙන් හෙළිවේ. ඝාතන ක්‍රියා අනුමත කල හැකි නොවේ එහෙත් එකල සහ මෙකල වාර්තමානයේ සිටින තුප්පහි පාදඩ ජරාජීර්ණ දේශපාලකයන්ගෙන් සහ දුෂිත නිලධාරින්ගන් රට පිරිසිදු කිරීම සදහා ජවිපෙ විසින් සකසන ලද ලැයිස්තුවට අනුව ලයනල් අවංකව කටයුතු කල අයෙකු බවපෙනේ. එම කාරිය සිය පුද්ගලික සැප විහරණය සදහා නොවිය; යහපත් රටක් සදහා කසල සෝදා හැරීමට කල උත්සාහයකි. එක් එක් පුද්ගලයට අනුව සිදුවීම් සහ ක්‍රියාවන් සාධාරනියකරණයේ සාපේක්ෂ බවක් තිබේ. ලයනල් රණසිංහගේ චේතනාවන්ට අනුව ඔහු අපාගත නොවනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress