පෙරදිගට ගමනක් – 18 සිංහලදේශයේ වැපුරූ බෙංගාල ඔළිඳ …
Posted on June 9th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

සමහර විට මේ ලිපි පෙළ කියවන අයට හිතෙනවා ඇති තමන් කියවන්නේ අගක් මුලක් නැති අදහස් සමුදායක් කියලා. මේ ගමන පටන්ගත්තේ ඉන්දියාව කියන්නේ අලුත් රටක් කියලා. ඇත්තෙන් ම ඒ කතාව කියන්න සිද්දවුනේ ඉන්දියාව කියන රටේ” අපේ නෑදෑයින් හොයන්න බැරිවීමේ අත්දැකීම බෙදාගන්න ගිහිල්ලා. ඊට පස්සේ ලිපි කිහිපයකින් ම පෙන්නලා දුන්නා ගස්නියේ මොහොමඩ්, දිල්ලි සුල්තාන්, මූගල් බලපෑම් හින්දා ඒ බිමේ – ඒ කියන්නේ ඉන්දියානු උප මහාද්වීපයේ, සිටින ජනයා ගේ සංස්කෘතීන් වෙනස්වෙලා තියෙන විදිහ. ඊ ළඟට කිව්වේ අපේ සංස්කෘතික නෑදෑයන් හඳුනාගන්න නම් මුලින් ම අපි කරන්න ඕන තමන් ව තේරුම්ගන්න එක කියලා. ඒ හදුනාගැනීම මූලික ව අපේ තියෙන බෞද්ධ සංස්කෘතිය මත පිහිටලා බොහොම කෙටියෙන් විස්තර කළා. දැනට ලෝකයේ තියෙන අනෙකුත් බෞද්ධ සමාජ ගැනත් ඒ එක්ක ම සඳහන්කළා. ඒ සමාජ – සංස්කෘතීන් එක්ක අපේ කිසියම් නෑදෑකමක් තියෙන්න පුළුවන් කියන උපකල්පනය ඉදිරිපත් කළේ ඊට පස්සේ.

ඒත් මේ ලේඛකයා ගේ නිරීක්‍ෂණවල හැටියට, අවබෝධයේ හැටියට අපේ සංස්කෘතියේ වර්තමාන හැඩරුව බෞද්ධ උරුමයන් උඩ විතරක් තේරුම්ගන්න අමාරුයි. මොකද අනුරාධපුර යුගයේ හිටිය අපි නෙවෙයි අද ඉන්නේ. අපි විවිධාකාර බලපෑම්වලට ලක්වෙලා. ඒ හේතුවෙන් සිංහල අපේ හැඩරුවත් පුදුමාකාර විදිහට වෙනස්වෙලා. අනුරාධපුර යුගය අවසන් වුනේ චෝල ආක්‍රමණයේ ප්‍රතිඵලයක් විදිහට. චෝල ආක්‍රමණය කියන්නේ ඊට පෙර ඇතිවෙච්ච ආක්‍රමණවලට වඩා විශාල, දැවැන්ත සුනාමියක් වගේ එකක්. ඉතින් ඒ ආක්‍රමණයෙන් පස්සේ අපි සෑහෙන්න වෙනස්වුනා. අනුරාධපුර යුගයේ හිටිය අපේ මුතුන්මිත්තෝ කරපු හපන්කම් ආයෙත් කරන්න අපිට බැරිවුනා. ඊට පස්සේ අපේ භාෂාව, දේව ඇදහීම් වගේ බොහෝ දේවල් වෙනස්වුනා. ඊට පස්සේ අපි මුහුණදුන්නේ බටහිර යුරෝපීය ආක්‍රමණවලට. ඒ බලපෑමේ තරම අපි කාටත් කෙරෙනවා. ඒ බලපෑම අපේ සංස්කෘතික මනස පවා වෙනස්කරන්න හේතුවුන බව මේ ලේඛකයා විස්තර කළා. අද අපේ තියෙන හයිබ්‍රිඩ් මානසිකත්වය ගැනත් කරුණු කිව්වා. අන්තිමට අපේ සංස්කෘතික දේහයේ හැඩරුව වෙනස්කරන්න බලපාලා තියෙන ඉන්දියානු සංස්කෘතික ප්‍රවාහ” ගැනත් විස්තර කළා.

අද අපේ තියෙන මේ විසිරුණු බව තවදුරටත් පැහැදිළිකරන්න ඕන නිසා අපි අධිපති සංස්කෘතියක් නැති, අධිපති මතවාදයක් නැති ජාතියක් බවට පත්වෙමින් සිටින බවත් පෙන්නලා දුන්නා. ඉතින් මේ විදිහට විසිරිච්ච, බෙදිලා වෙන්වෙලා තියෙන ජාතියක සංස්කෘතික නෑදෑකම් හොයාගෙන යන එක පහසු කාරණයක් නෙවෙයි. අඩු ගණනේ අපිට අපි ගැන කියන අධිපති මතවාදයක්වත් තිබුණා නම් ඒක අමාරුවක් නැතිව කරන්න තිබුණා. ඒත් අපි කවුද කියලා විස්තර කරපු මහාවිහාර මතවාදයත් දැන් අභියෝගයට ලක්වෙලා. ඒ ගැන මහාවංශ අටුව කඩලා …” ලිපියෙන් පෙන්නලා දුන්නා. ඉතින් මේ විදිහට අතරමංවෙච්ච මානසිකත්වයකින් අපේ නෑදෑයෝ හොයාගෙන යන්නේ කොහොම ද? මේ වගේ වාතාවරණයක් තියෙද්දී අපි අපි ව හඳුනගන්නේ කොහොම ද? ඒත් එහෙම කියලා දුර්මුඛවෙන්න බෑ. පටන්ගත්ත ගමන යන්න ඕන.

මොන තරම් අභියෝගයට ලක්වෙලා තිබුණත් සිංහල අපිට තමන් ගැන කියලා දෙන ප්‍රධාන ම අදහස් ගොන්න මහාවිහාර මතවාදය බවට සැකයක් නෑ. ඒ මතවාදය පැත්තකට දාලා, ඒක අමතක කරලා ඒ තරම් සවිමත් විදිහට තවත් අලුත් මතවාදයක් ඇතිකරන්න පුළුවන් කියලා හිතන්න බෑ. අලුතින් ඉස්මතුකරන්න හදන රාවණා මතවාදයත්, ජන්බුද්වීප මතවාදයත් ඒ තරම් කරුණුවලින් පිරුණු, සංගත අදහස් කියලා පිළිගන්නත් බෑ. ඒ මතවාද දෙක පිළිගත්තොත් අනුරාධපුර යුගය කියන්නේ පුදුමාකාර විදිහට අපිට වැරැදීම් සිදුවෙච්ච, පුදුමාකාර විදිහට අපි ව රවට්ටපු කාලවකවානුවක් කියලා අපිට පිළිගන්න වෙනවා. ඒත් ආපහු හැරිලා බැලුවා ම අපිට පේන්නේ ඊට පටහැනි දෙයක්. අදත් අපිට ආඩම්බර වෙන්න පුළුවන් යමක් අපි කරලා තියෙන්නේ ඒ කාලයේ. අනිත් බරපතල ම ගැටලුව මතුවෙන්නේ අපේ ආගම සම්බන්ධයෙන්. අශෝක ගේ හංවඩුව ගහලා අපි ථෙරවාදය අතහරිනවා නම් අපි පිළිගන්නේ මොන බුද්ධාගමක් ද? මේ කියන්නේ කරන්න පුළුවන් වැඩක් ද? හැම දෙයක් ම මුල ඉඳලා ම පටන්ගන්න පොඩි ළමයකුටවත් බෑ. ඉතින් ජාතියකට එහෙම දෙයක් කරන්න කොහොමවත් බෑ.

විප්ලවවලින් සමාජ ක්‍රමය ටික කාලයකට වෙනස්කරන්න පුළුවන් බව ඇත්ත. ඒ වුනත් කල් යද්දි ඒ විදිහට වෙනස්කරන්න හදපු සමාජ ආපහු මුල පැත්තට ම හැරෙන බව අපි දැකලා තියෙනවා. මහ විශාල ගහක මුල් සිඳලා, අතු කපලා දානවා වගේ ඕන නම් ජාතියක් වනසලා දාන්න පුළුවන්. ඒත් සාධනීය වෙනසක් කරන්න පුළුවන්වෙන්නේ තියෙන සංස්කෘතික අඩුපාඩු හඳුනාගෙන, ඒවාට පිළියම් සොයමින් කියලයි මේ ලේඛකයා විශ්වාසකරන්නේ. ඒ හින්දා, මේ අලුතින් හදුන්වලා දීලා තියෙන රාවණා මතවාදය, ජනබුද්දීප මතවාදය ගැන තවදුරටත් වදවෙන එකේ තේරුමක් නෑ කියලා මේ ලේඛකයා හිතනවා. හැබැයි එහෙම කියලා මහාවිහාර මතවාදයේ තියෙන අඩුපාඩු ඒ විදිහට ම පිළිගත යුතුයි කියලා මේ ලේඛකයා හිතන්නේ නෑ. එහෙම අඩුපාඩු තියෙනවා නම්, ඒවා හොයලා බලලා ඒ වෙනුවෙන් සුදුසු පිළියම් යොදන්න ඕන. ඒ මතවාදයේ තියෙන අපැහැදිළි තැන් නිරාකරණය කරගන්න ඕන. මහාවිහාර මතවාදයේ යක්‍ෂයන් ගැන කියන කතාව පැහැදිළිකරන්න කටයුතු කළේ මේ අරමුණ වෙනුවෙන්. තියෙන අනෙක් ප්‍රශ්නත් ඒ විදිහට විසඳගන්න බැරිකමක් නෑ කියලා මේ ලේඛකයා විශ්වාසකරනවා.

කොහොම හරි අපි දැන් එක්තරා සන්ධිස්ථානයකට ඇවිල්ලා. මේ දක්වා කළ සාකච්ඡාව ඔස්සේ අපි කවුද කියන ප්‍රශ්නයට යම් ආකාරයක පිළිතුරක් හොයාගන්න පුළුවන් වුනා කියලා කියන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් එකඟ නොවන අය ඉන්නත් පුළුවන්. මේ විදිහට බෙදිලා වෙන්වෙලා කා කොටාගන්න සමාජයක ඒ විදිහේ එකඟ නොවීම් ඇතිවීම පුදුමයක් නෙවෙයි. ඒත් එකඟවෙන්න හරි නොවෙන්න හරි ඒ හඳුනාගැනීම ගැන කියන්න ඕන. බොහෝ දුරට වෙනස්වෙලා හිටියත් තවමත් අපේ සංස්කෘතික හැඩ රුව, අපේ අනන්‍යතාව රැඳිලා තියෙන්නේ අනුරාධපුර යුගයේ දී අපි ගොඩනගාගත්ත දේ වටා. ඒ දේවල්වලින් හැදිලා තියෙන්නේ අපේ පොදු හැඩය. අපේ සමාජයට ගලාගෙන ආපු අනෙකුත් සංස්කෘතික ප්‍රවාහවලින් උකහාගත්ත දේ, කොපිකරගත්ත දේ රොක්වෙලා තියෙන්නේ ඒ වටා. කලින් ලිපියකින් කියපු විදිහට සිංහල අපෙන් අති බහුතරයක් තවමත් බෞද්ධ. අපි එකිනෙකා ගේ බෞද්ධකම් එක විදිහකට නැති බව ඇත්ත. ඒ වෙනස්කම් මැද්දේ වුනත් මේ රැකගෙන ඉන්න බෞද්ධකම අපේ පොදු ලක්‍ෂණයක්.

මුහුදු සේද මාවත මැද්දේ නැගෙනහිරින්, බටහිරින්, උතුරින් එන මිනිස් ප්‍රවාහවලට මැදිවෙලා නිර්මල, පිරිසිදු සංස්කෘතියක් ගොඩනගාගන්න බෑ. අපේ ඇඟේ දුවන්නේ පිරිසිදු සිංහල ලේ කියලා කියන්නත් බෑ. අපි හොඳට කලවම්වෙච්ච ජාතියක්. ඒත් සිංහ සංකේතය වටේ එකතුවෙන්න අපිට පුළුවන්වෙලා තියෙනවා. සිංහයා කියන්නේ අපේ ශක්තිය, එඩිතර බව පෙන්වන සංකේතයක් විදිහට යොදාගන්න අපි කටයුතුකරලා තියෙනවා. කොහොම හරි මොන මොන නස්පැත්තිවලට මුහුණදුන්නත් තවමත් අපිට සිංහල කියලාත් කියනවා. මෙයට පෙර ලිපියෙන් පෙන්නලා දුන්න විදිහට මේ සිංහලකම මූලික ව ම විජය ගේ පිරිස (බොහෝ දුරට බෙංගාල සහ කාලිංග), ශාක්‍ය, නාග එකතුවකින් ගොඩනැගුණා කියලා හිතන්න පුළුවන්. ගැමුණු මහ රජතුමා විසින් අවසන් කරපු පර්සියානු සංක්‍රමණ රැල්ලෙන් ඉතිරිවුනු යක්‍ෂයොත් කල් යද්දි අපේ සංස්කෘතියට එකතුවුනු බව පැහැදිළියි. ඒ වගේ ම පාණ්ඩ්‍යදේශයෙන් සංක්‍රමණය වුනු පිරිසකුත් අපේ සංස්කෘතියට එකතුවෙන්න ඇති. ඉතින් අනුරාධපුර යුගයේ ගොඩනැගුණු අපේ සිංහලකම පුළුල් විදිහට සැළකුවා ම බෙංගාල (කාලිංග)-නාග-ශාක්‍ය-පර්සියන්-පාණ්ඩ්‍යය එකතුවක්. මේ එකතුවේ පර්සියන්, පාණ්ඩ්‍යය සාධක ඒ තරම් ම ප්‍රබලයි කියලා හිතන්න අමාරුයි. ඒ හින්දා අපේ සිංහලකම මූලික වශයෙන් ම බෙංගාල (කාලිංග)-නාග-ශාක්‍ය එකතුවක ප්‍රතිඵලයක් කියලා හිතන්න පුළුවන්.

මෑතක දී සිංහලයන් ගේ ජාන සම්බන්ධකම් සම්බන්ධයෙන් කළ අධ්‍යයනවලින් පවා මේ කාරණය යම් ප්‍රමාණයකට සනාථවෙලා තියෙනවා. එක අධ්‍යයනයකින් හඳුනාගෙන තියෙන විදිහට සිංහල අපේ ජාන සම්මිශ්‍රණයෙන් සියයට 72  ක් බෙංගාල ජාතිකයන් ගේ ජානත් එක්ක සම්බන්ධකම් කියනවා. දෙමළ ජනතාව ගේ ජානත් එක්ක සියයට 16 කුත්, ගුජරාටි ජනතාව ගේ ජාන එක්ක සියයට 12 කුත් සම්බන්ධකම් කියනවා. මේ වගේ අධ්‍යයන කෙරෙන්නේ යම් යම් න්‍යාය උඩ පදනම් වෙලා කියන එක ඇත්ත. සිංහබාහු ගේ සිංහපුරය කාලිංගයේ තිබුණා කියන අදහසත්, ඒක එහෙම නෙවෙයි, සිංහපුරය තිබුණේ ගුජරාටයේ කියන අදහසත් මේ පර්යේෂණයට බලපාලා තියෙන බව පැහැදිළියි. ඒ කාරණය මොකක් වුනත් සියයට 72 ක බෙංගාල ජාන සම්මිශ්‍රණය ගැන තියෙන මේ නිරීක්‍ෂණය ඒ ගැන තව තව පරීක්‍ෂණකරන්න පොළඹවන්නක්. ඉදිරියේ දී ඒ ගැන තව තවත් හොයලා බලයි කියලා හිතෙනවා.

සංස්කෘතියක් හැදෙන්නේ ලේ සම්බන්ධකම්, ජාන සම්බන්ධකම් උඩ නෙවෙයි. ඒක අපේ ගනුදෙනු, ඇයි හොඳයිකම් උඩ තීරණය වෙන දෙයක්. ඒත් මේ ප්‍රබල ජාන සම්බන්ධය තහවුරුකරන්නේ අපේ මුල්. මූලික ව ම අපි කවුද කියන එක. ඒ වගේ ම අපි ගනුදෙනු කරන්න ඇත්තේ කා එක්ක ද කියන එක. අපේ මුල් තියෙන්නේ ඉන්දියානු උප මහාද්වීපයේ ඊසාන පැත්තේ. බෙංගාල – කාලිංග උරුමය ඒ අතරින් ප්‍රධානයි. බංගලිදේශයේ තිබුණු ඔළිඳ සිංහලදේශයේ හදලා තියෙන බවක් පැහැදිළියි. ශාක්‍ය-නාග සම්බන්ධයෙන් ඒ උරුමය තව තවත් පෝෂණය වෙලා. මේ දක්වා කරපු සංස්කෘතික, ඓතිහාසික විග්‍රහයෙන් පැහැදිළි කළෙත් ඒ කාරණය. පර්සියානු දායාද අපිට දිරවගන්න පුළුවන් වුනා කියලා හිතන්න බෑ. දිරවාගන්න බැරි දේවල් අපේ ශරීරවලින් බැහැරකරන විදිහට ම සංස්කෘතියකටත් පුළුවන් ආගන්තුක, නුහුරු නුපුරුදු දේ ඉවත දාන්න. ඒක ස්වභාවික කාරණයක්.

නාග, පර්සියානු, බෙංගාල, ශාක්‍ය, කාලිංග සංක්‍රමණ වෙන්න කලින් මේ රටේ මිනිස්සු හිටියේ නැති ද කියන ප්‍රශ්නය කෙනෙක්ට අහන්න පුළුවන්. එහෙම ඉන්න ඇති. ඒත් එහෙම හිටිය අය ගේ අනන්‍යතාව මොකක්ද? ඒ අය සම්බන්ධකම් කියපු තවත් කවුරු හරි මේ ලෝකයේ හිටියා ද? එහෙම නැතිනම් ඒ අය වෙනත් කිසිම කෙනෙක් එක්ක සම්බන්ධකම් කිව්වේ නැති ද? අපේ රටේ පිහිටීම සැළකුවා ම මේ රටේ ජීවත් වූ අය ඉතිහාසයේ ඈත යුගවල දී පවා වෙනත් අයත් එක්ක සම්බන්ධකම් පැවැත්තුවේ නෑ කියලා හිතන්න බෑ. එහෙම නම් ඒ විදිහට සම්බන්ධකම් පවත්වන්න ඇත්තේ කවුරුත් එක්ක ද? අපිට තවත් නාග, පර්සියන්, බෙංගාල සංක්‍රමණයක පෙර වටයක් ගැන හිතන්න බැරි ද? ඇත්තෙන් ම මේක උත්තර දීලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ හින්දා අපි ඒ ගැන වදවෙන්න ඕන නෑ කියලා මේ ලේඛකයා හිතනවා. බුද්ධ කාලයට පෙර මේ රටේ හිටියේ කවුරු වුනත් ඒ අය දැන් ඉතිහාසයට එකතුවෙලා ඉවරයි.

අපි දැන් හිතන්න ඕන මේ ශේෂ වෙලා තියෙන දේවල් ගැන. අපේ නෑදෑකම් හොයන්න ඕන ඒවා මත පදනම්වෙලා. එහෙම නම් අපි නෑදෑකම් හොයන්න ඕන බෙංගාල ජාතිකයන් එක්ක ද කියලා කාට හරි අහන්න පුළුවන්. ඒත් අපි හොයන්නේ සංස්කෘතික නෑදෑකමක්නේ. එහෙම නැතුව ලේ නෑකමක් හරි, ජාන නෑකමක් හරි නෙවෙයිනේ. මූගල් බලපෑමෙන්, බ්‍රාහ්මණ බලපෑමෙන් බෙංගාල සංස්කෘතිය මුළුමනින් ම උඩු යටිකුරු වෙලා. දැන් බංග්ලාදේශය මුළුමනින් ම වගේ මුස්ලිම් වෙලා ඉවරයි. ඉන්දියාව කියන රටට” අයිතියි කියන බටහිර බෙංගාලය බ්‍රාහ්මණ සංස්කෘතියට යටවෙලා. ඉතින් අපිට නෑදෑකම් කියන්න පුළුවන් යම් යම් දේ බෙංගාල මිනිස්සු අතර ශේෂ වෙලා තිබුණත් සමස්තයක් විදිහට ඒ අය අපෙන් ඈතට ගිහිල්ලා. මේ කාරණය සළකමින් අපි අපේ සංස්කෘතික නෑදෑකම් ගැන සොයා බැලිය යුතුයි.

වරුණ චන්ද්‍රකීර්ති෴

2 Responses to “පෙරදිගට ගමනක් – 18 සිංහලදේශයේ වැපුරූ බෙංගාල ඔළිඳ …”

  1. aloy Says:

    Good article Varuna.
    Looking at ruins of Anuradhapura and Polonnaruwa we can see that Sinhalese at that time did things methodically. I believe these belong to 3rd BC to 12th AD. Ancient irrigation systems have no parallels anywhere in the world. The important thing to remember is that these systems have existed long before Vijayas and Persians arrived in SL according to the carbon dating of wooden hydraulic structures found during the development of Mahaveli scheme. They were supposed to be over 4000 years old.
    Can we not believe that we are a unique race which has some enrichment from elsewhere due to the geographical location of our country?. The seafarers would have passed through from time immemorial. Vijaya supposed to have come in a vessel carrying 700 persons and kuweni was supposed to have been weaving clothes. These were not primitive technologies.

  2. Christie Says:

    සුද්දාගේ කරපිටින් බිරිතානු-ඉන්දීය යටත් විජිතයනට ගිය ඉන්දියානු පරපෝසිතයෝ වරප්‍රසාද ලත් ජඩයන්ය.

    උන් මුරුසියේ, ගුයාන, ෆීජී, මැලයා, බුරුමය, සින්හලය, අප්‍රිකානු යටත් විජිත වෙන්න පුලුවන්.

    මුන් අපිට කෙලින්න හැමවිටකම එකතුවෙනවා. දනගන්න ඕනිනම් පොලිස් කොමිසමේ ආචාර්ය ලොක්කගෙන් අහල බලන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress