සතුරාගේ දඩයම් සෙල්ලම හමුවේ විපක්‍ෂයේ කෝම්පිට්‌ටු සෙල්ලම 
Posted on June 10th, 2016

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර උපුටා ගැන්ම දිවයින

10/06/2016
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට මුල් වූ ඉන්දියානු සහ ඇමෙරිකානු ඔත්තු සේවා ඒකාබද්ධව සකස්‌ කළ ඉදිරි මාර්ග සිතියම ඔස්‌සේ වර්තමාන යහපාලන ආණ්‌ඩුව කිසිදු ඇද කුදයකින් තොරව ඉදිරියට ගමන් කරමින් සිටින බව දැන් ඉතා පැහැදිලිව පෙනේ. එක්‌සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව විසින් අත් ඔසවා පිළිගත් යෝජනාවට අදාළ භයානක පොරොන්දු දැන් එකින් එක ඉටුකිරීමට පටන්ගෙන ඇත. එහෙත් රටේ පොදු මහජනතාව මෙන්ම විපක්‍ෂ කණ්‌ඩායම්ද ඒ පිළිබඳව සංවේදී බවක්‌ පෙන්වන්නේ නැත. 

යුද්ධය අවසන්වී දින තුනක්‌ ඇතුළත මානව හිමිකම් කෙවිට රැගෙන එක්‌සත් ජාතින්ගේ මහ ලේකම් බැන්කි මූන් ශ්‍රී ලංකාවට කඩා වදින්නේ යුද ජයග්‍රහණයෙන් පසුව අනිවාර්යයෙන්ම ආරම්භ විය යුතුව තිබූ නව දේශපාලන ක්‍රියාදාමය අත්හිටුවා සමස්‌ථය කනපිට හැරවීම සඳහාය. වෙනත් වචනවලින් කියන්නේනම් ඔවුන්ගේ කුලී හමුදාව දිවිපුදා උඩට ඔසවා තැබූ බෙදුම්වාදී න්‍යාය පත්‍රය කඩා වැටීමට ඉඩ නොදී අඛණ්‌ඩව ඉදිරියට ගෙනයාම සඳහාය. එකම වෙනස ආයුධ වෙනුවට මානව හිමිකම් කෙවිට භාවිතා කිරීම සහ ත්‍රස්‌තවාදීන් වෙනුවට ජාත්‍යන්තර රාජතාන්ත්‍රික නිලධාරීන් ඒ සඳහා යොදාගැනීමය. යුද ජයග්‍රහණයෙන් පසුව ඉටුවිය යුතුව තිබූ පළමු කොන්දේසිය ම්ලේච්ඡ අපරාධවලට Rජුව දායක වූ සහ දේශපාලන වශයෙන් ඊට අනුග්‍රහය දැක්‌වූ නායකයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන්ම බල්ලන් බළලුන්සේ ඇදගෙන ගොස්‌ ප්‍රාණ ඇපයට ගෙන දස වද බන්ධනයට ලක්‌කළ ලක්‍ෂ 3 කට ආසන්න අහිංසක ජනතාවට සාධාරණය ඉටුවන්නේ ඊට දායක වූ සියල්ලන් නීතිය ඉදිරියට ගෙන ආවානම් පමණි. 

කෙසේවෙතත් ත්‍රස්‌තවාදීන්ගේ සහ බෙදුම්වාදී දේශපාලන නායකයින්ගේ නියෝග මත එම ම්ලේච්ඡ ක්‍රියාවලට සහය දැක්‌වූ හෝ සහභාගී වූ පහළ සාමාජිකයන්ට පොදු සමාවක්‌ දීම සහ ඔවුන් පුනරුත්ථාපනය කිරීම ද්විතීක කොන්දේසියකි. ඉන්පසුව ඉටුකළ යුතුව තිබූ තුන්වන කොන්දේසිය වන්නේ මහා ජාතික ව්‍යාපාරයක්‌ ලෙස සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු ජනතාවගේ සහභාගීත්වයෙන් යුද්ධයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමය. සැබෑ ප්‍රතිසන්ධානයට ම`ග විවෘතවන්නේ එම තුන්වන ක්‍රියාවලිය තුලින් ජනතාව අතර ගොඩනැගෙන මානසික පාලම මතිනි. නමුත් එය වැළැක්‌වීම ඉදිරි බෙඳුම්වාදී න්‍යායාපත්‍රයට අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක්‌ විය. ඒ වෙනුවට ප්‍රතිසන්ධානයේ නාමයෙන් සියල්ල කණපිට හැරවීමට අධිරාජ්‍යවාදී බෙදුම්වාදී බලවේග සමත්විය. ඒ අනුව ප්‍රාණ ඇපකරුවන් ලක්‍ෂ 3 ක්‌ ඇපකරුවන් බේරාගත්, සිවිල් ජනතාවගේ හිසට එල්ල කළ තුවක්‌කු නිහ`ඩ කළ සහ ළමා සොල්දාදුවන් බදවා ගැනීම නැවැත් වූ ආරක්‌ෂක හමුදා සාමාජිකයින් යුද අපරාධකරුවන් බවට නම් කෙරිණි. ඉන්පසුව හිරගෙවල් යායුතුවූ බෙදුම්වාදී යුද අපරාධකරුවන් ජාත්‍යන්තර ඔත්තු සේවා සම`ග එක්‌ව දියත් කළ මොහෙයුමක්‌ මගින් යුද්ධය අවසන් කළ නායකයා පරාජයට පත් කළේය. දැන් ඔවුන් තමා විසින් පත්කරගත් ආණ්‌ඩුව යොදාගනිමින් වසර 5 ක්‌ තිස්‌සේ ඉටුකරගත නොහැකි වූ ක්‍රියාවලිය නැවත ආරම්භකොට ඇත. 

බෙදුම්වාදී අධිරාජ්‍යවාදී බලවේග මානව හිමිකම් කෙවිට වනා යහපාලන ආණ්‌ඩුව දක්‌කාගෙන යන්නේ හමුදාවට දඬුවම් කිරීමේ අරමුණ හෙවත් පළිගැනීමේ අරමුණ ඉටුකර ගැනීමට පමණක්‌ නොවේ. එය හුදු අතුරු අරමුණක්‌ පමණි. හමුදාව දුර්වල කොට දුර්මුඛ කිරීම මෙන්ම දේශප්‍රේමී නිලධාරීන් හමුදාවෙන් ඉවත්කොට සහ ඉවත්වී යන තැනට පසුබිම සකස්‌ කොට අධිරාජ්‍ය ගැති නිලධාරී පන්තියක්‌ හමුදාව තුළ ගොඩනගා ගැනීම ඔවුන්ගේ දීර්ඝකාලීන අරමුණ බවට කිසිදු සැකයක්‌ නැත. පසුගිය කාලයේදී නාවික හමුදාවෙන් ඉවත්ව ගොස්‌ ඇමෙරිකානු තානාපති කාර්යලයේදී ආරක්‍ෂක වගකීමක්‌ දැරූ නිලධාරියෙක්‌ උසස්‌වීම් සහිතව නැවත බඳවා ගන්නේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඔහුට අනාගතයේදී නාවික හමුදාපති වීමේ ඉඩ තිබෙන නිසාය. එසේ ඉවත් වූ අය නැවත බඳවා ගන්නා අතර යුද්ධයට නායකත්වය දුන් විශිෂ්ඨයන් හැකි ඉක්‌මනින් ගෙදර යෑවීම දැන් ප්‍රතිපත්තිය බවට පත්වී ඇත.

කෙසේ වෙතත් ඊනියා මානව හිමිකම් ක්‍රියාවලියේ ප්‍රධාන සහ මූලික අරමුණ බෙදුම්වාදී න්‍යායපත්‍රයේ මූලික කොන්දේසි ඉටුවන ආකාරයට බලය බෙදීමේ ක්‍රියාවලිය කඩිනමින් ඉදිරියට තල්ලු කිරීම බවට විවාදයක්‌ නැත. අනාගතයේදී ගැටුම් ඇතිවීම වැළැක්‌වීමේ අවශ්‍යතාවය මතුකරමින් බලය බෙදීමෙ කොන්දේසි මානව හිමිකම් කවුන්සිලයේ ඇමෙරිකානු යෝජනාවට ඇතුල්වන්නේ ඒ අනුවය, එසේ වුවත් ඒ ආකාරයට මානව හිමිකම් කෙවිට වනන්නේ බලය බෙදීමේ ක්‍රියාවලිය ඉදිරියට ගැනීම සඳහා බලපෑම් කිරීමේ උපක්‍රමයක්‌ ලෙස බව පිළිගැනීමට අප රටේ විපක්‍ෂ දේශපාලන බලවේග පවා මැලිකමක්‌ දක්‌වති. දැන් යුද අපරාධ අධිකරණය පත්කිරීමේ කොන්දේසි යම් පමණකට ලිහිල් කරන බවක්‌ මතුපිටින් පෙන්වන්නේ ආණ්‌ඩුව විසින් බෙඳුම්වාදී ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලියට අඩියක්‌ පෙරට තබා පහසුකම් සැලසීමට ඉදිරිපත්වීම තුළය. විග්නේෂ්වරන් සහ සම්බන්ධන් යුගලය විසින් ඉදිරිපත් කරන ෙµඩරල් නාඩගම සඳහා ආණ්‌ඩුව විසින් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය නැමති වේදිකාව සකස්‌කර දීම යනු එම නාඩගමේ පිටපත රචනා කර අධ්‍යක්‍ෂණය කරන ජාත්‍යන්තර බෙඳුම්වාදී බලවේග වලට ලබාදුන් ප්‍රබල ධනාත්මක සංඥාවකි. 

ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළිවලින් ආවරණය කොට ඉදිරිපත් කරන්නට නියමිත බෙඳුම්වාදී හිතවාදී ව්‍යවස්‌ථාවට ඒකාබද්ධ විපක්‍ෂයේ දායකත්වය ලබාදීම මගින් එම කූඨ ක්‍රියාවලියට සුජාත භාවයක්‌ අරෝපණය වේ. එය බරපතළ උපයාමාර්ගික වරදක්‌ බව මේ වන තුරු විපක්‍ෂයේ බලවේග තේරුම්ගෙන නොමැත. දැන් එම තත්වය තුළ බලය බෙදීමේ න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන්ම තම පාලනයට යටත්ව මෙහෙයවීමේ හැකියාව බෙඳුම්වාදී බලවේග විසින් අත්පත්කොට ගෙන ඇත. ඒ අනුව බෙඳුම්වාදී ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත වුවත්, එසේ නොවුවත්, ජනමත විචාරණයකට ඉදිරිපත් කළත්. එසේ නැතත් බෙඳුම්වාදී මාර්ග සිතියම බාධාවකින් තොරව ඉදිරියට දිගහැරීමට ඉඩ විවර වී ඇත. ආණ්‌ඩුව විසින් තුනෙන් දෙකේ බලයෙන් සම්මත කළ හැකි බලතල පමණක්‌ හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බලතලද ඇතුළත් සියල්ල බන්දේසියක තබා බෙඳුම්වාදීන්ට ලබාදුනහොත් ඔවුන් ඒවා ඉතා සතුටින් බාරගනු ඇත. 

එසේ නොමැතිව දැනටමත් රහසිගතව සකස්‌කොට ඇති බවට කිසිදු සැකයක්‌ නැති එම බෙඳුම්වාදී ව්‍යවස්‌ථාව ව්‍යාජ වාද විවාදවලට ලක්‌කොට ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කොට එය පාර්ලිමේන=ව ඉදිරිපත් නොකර සිටියද බෙඳුම්වාදීන්ට ජාත්‍යන්තරව බරපතළ සුජාත භාවයක්‌ ලැබේ. ඊට අමතරව පාර්ලිමේන්තුවේ තුනේන් දෙකේ අනුමැතිය ලැබී එය ජනමත විචාරනයකදී පරාජය වුවත් උතුරු නැගෙනහිර ප්‍රතිඵලය වෙන්කොට පෙන්වා ඒ සුජාත භාවයට තවදුරටත් දේශපාලන වටිනාකමක්‌ ද ලබාදිය හැක. ජාත්‍යන්තර බෙදුම්වාදී සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ ඉතිහාසය දෙස බැලීමේදී උතුරු නැගෙනහිර ජනමතය වෙන්කොට ඉදිරිපත් කිරීම මගින් ඊට ජාත්‍යන්තරව පිළිගැනීමක්‌ ලබාගැනීමේ ඉඩක්‌ ඇත. ඒ සියල්ලටම වඩා ආණ්‌ඩුව දකුණේ ජනමතය තුට්‌ටුවකට නොසලකා ක්‍රියාකරන ස්‌ථාවරයකට තල්ලු කිරීමට ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග සමත් වුවහොත් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේදී සාමාන්‍ය බහුතරයෙන් සම්මත වූ ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර Rජුව ක්‍රියාත්මක කිරීමේ අනතුරක්‌ද ඇත. ඒ සියල්ල සලකා බැලීමේදී විපක්‍ෂ බලවේග මෙම කූට සහ භයානක බෙඳුම්වාදී හිතවාදී ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියට දායකවීම යනු බරපතල පාවාදීමක්‌ ලෙස ඉතිහාසය විසින් සටහන් තැබීමේ වැඩි ඉඩක්‌ ඇති බව පෙනේ. එම බෙදුම්වාදී ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලිය පරාජය කිරීමට ජනතාව සමත් වුවත් ඊට මුවාවී 13 වැනි සංශෝධනයේ පොලිස්‌, ඉඩම් සහ මහ ඇමති බලතල ලබාගැනීම සාධාරණිකරණය කිරීමේ බරපතළ ඉඩක්‌ ද ඇත. ඒ අවම කොන්දේසිය ඉටු වුවද බෙදුම්වාදී න්‍යායාපත්‍රයට ගැටලුවකින් තොරව ඉදිරියට යා හැක. 

දැන් ආණ්‌ඩුව සහ විපක්‍ෂයේ බලවේග එක්‌ව බෙදුම්වාදී බලය බෙදීමේ ක්‍රියාවලිය ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය නැමති පීල්ල මතට ඔසවා තබා ඇත. දැන් වැඩි ප්‍රතිරෝධයකින් තොරව එම ක්‍රියාවලිය ඉදිරියට ගමන් කරනු ඇත. ඊට සැලකීමක්‌ ලෙස සහ එය අගය කිරීම සඳහා ආණ්‌ඩුවට යම් සහනයක්‌ ලබාදීමට මානව හිමිකම් කෙවිට වනන බටහිර බලවේග තීන්දු කොට ඇත. ඒ අනුව ආණ්‌ඩුව බරපතළ දේශපාලන අර්බුදයකට තල්ලු කරන ඊනියා යුද අපරාධ අධිකරණය තුළ විදේශ විනිසුරන්ගේ සහභාගීත්වය දැන් මහජන ඇසට වැලි ගැසීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට පමණක්‌ ලිහිල්කොට ඇති බව පෙනේ. එනම්, විදේශිය විනිසුරුවරුන් දේශීය විනිසුරු මඩුල්ල සම`ග එකට වාඩිවෙනවා වෙනුවට ඔවුන් විනිසුරු මඬුල්ලට උඩින් උපදේශකයින් ලෙසත් ඊට පහළින් නිරීක්‍ෂකයින් ලෙසත් සහභාගී කිරීමට ආණ්‌ඩුවට දැන් ඊනියා සහනයක්‌ ලැබී ඇත. එය හුදු රූපලාවන්‍ය ප්‍රතිකාරයක්‌ පමණක්‌ බවට කිසිදු සැකයක්‌ නැත. ඊට අමතරව විදේශිකයින් විසින් අභිචෝදක කාර්ය මෙහෙයවීම මගින් තාක්‌ෂණිකව විදේශ විනිසුරන්ගේ අඩුව පිරවීමේ ඉඩ කඩක්‌ ඇත. ඒ අනුව බොහෝ විට විදේශීය විනිසුරුවරුන් විනිසුරු මඬුල්ලේ වාඩි නොවීම මගින් එම ක්‍රියාවලියේ මූලික අරමුණට තිබුණු තත්වයටත් වඩා යහපතක්‌ විය හැකි බව පෙනේ. 

කෙසේ වෙතත් ආණ්‌ඩුව දැන් ඊනියා අන්තර්කාලීන යුක්‌තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට අදාළව ඇමෙරිකානු යෝජනාවේ අඩංගු වූ තවත් ප්‍රබල පියවරක්‌ කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරමින් ඇත. ඒ අනුව මානව හිමිකම් සැසිය පටන්ගන්නා ජුනි 14 වැනිදාට පෙර අතුරුදහන් වුවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටුවීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස්‌ කෙරෙනු ඇත. ඒ මගින් මානව හිමිකම් සැසියේදී ඇමෙරිකානු යෝජනාව මගින් පැනවූ කොන්දේසි මැනවින් ඉටුකිරීම පිළිබඳව ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළවනු ඇත. එම අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට විමර්ශන කොමිසමක බලය ලැබෙන අතර අතුරුදහන් වුවන් පිළිබඳ සෙයා බැලීමේ ජනාධිපති කොමිසමට ලැබුණු 20,000 කට ආසන්න පැමිණිලි සියල්ල එම කාර්යාලයට යොමුවනු ඇත. මහේස්‌ත්‍රාත්වරයකුගෙන් අවසර ලබාගෙන හමුදා කඳවුරු පරීක්‍ෂා කිරීමේ සහ මිනී වලවල් ගොඩ දැමීමේ බලය පවා එම ආයතනයට හිමිවේ. එම ආයතනය විසින් Rජුව නඩු පැවරීමක්‌ සිදු නොකලද අදාළ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට සහ හමුදා අංශ වලට ඉදිරිපත් කෙරනු ඇත. ඊට අනුව ඇමෙරිකානු යෝජනාවේ 8 වැනි වගන්තිය ප්‍රකාරව නඩු ඇසීමෙන් තොරව හමුදා නිලධාරීන්ට පරිපාලන වශයෙන් දඬුවම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භවනු ඇත. එම තත්වය තුළ මෙම කාර්යාලය හමුදාවට විරුද්ධව චෝදනා නිෂ්පාදනය කරන චෝදනා කර්මාන්ත ශාලාවක්‌ බවට පත්වනු ඇත. 

ඒ සියල්ල අනුව දැන් ඉතා පැහැදිලිව පෙනෙන ආකාරයට බලය බෙදීමේ ක්‍රියාවලියට අමතරව ආරක්‍ෂක හමුදා දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ ක්‍රියාවලිය ඊට බද්ධ කරමින් බෙදුම්වාදී න්‍යාය පත්‍රය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට අවශ්‍ය තත්වයන් කඩිනමින් නිර්මාණය කෙරෙමින් ඇත. මෙම සමස්‌ත ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැක්‌කේ ජනතාව සහ විපක්‍ෂය පමණක්‌ නොව ආණ්‌ඩුව ද බිත්තියට හේත්තු කොට අතකරකැවීම මගින් පමණි. ආණ්‌ඩුව කැමැත්තෙන් යම් කොන්දේසි ප්‍රමාණයක්‌ ඉටු කළත් ඔවුන්ට අකමැත්තෙන් ඉටු කිරීමට සිදුවන කොටසක්‌ද ඉතිරිවනු ඇත. ඒ තුළ බොහෝ පිරිස්‌ විශ්වාස කරන ආකාරයට මෛත්‍රී – රනිල් ආණ්‌ඩුවට ජනතාව සතුටු කරමින් ඉතා පහසුවෙන් ආණ්‌ඩු කිරීමේ ඉඩක්‌ බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබෙන්නේ නැත. ඔවුන්ගෙන් ලැබෙන්නේ ආණ්‌ඩුවේ පණනල ගැටගසා තබා ගැනීම සඳහා අවශ්‍ය ඔක්‌සිජන් ප්‍රමාණය පමණි. 

රට බරපතළ අනතුරකට ලක්‌කෙරෙන තීරණාත්මක අවස්‌ථාවක මහජනයා සිහි බුද්ධියෙන් කටයුතු කිරීම වැලැක්‌විය හැක්‌කේ රට තුළ අතුරු ප්‍රශ්න රාශියක්‌ වර්ධනය වීමට ඉඩ සැලසීම මගිනි. එවිට ජනතා විමුක්‌ති පෙරමුණ වැනි බලවේග පවා පළාත්සභාවලට පොලිස්‌, ඉඩම් සහ මහ ඇමති අරමුදල් බලය ලබාගන්නා අවස්‌ථාවක ඊට එරෙහිව බෙදුම්වාදී විරෝධී සටනට පණ පොවනවා වෙනුවට වැට්‌ බදු ප්‍රශ්නයට එරෙහිව විථි බැසීම සාධාරණිකරණය කෙරෙනු ඇත. එසේම ආර්ථික වශයෙන් හෙම්බත්වන ජනතාව රට වෙනුවෙන් මරාගෙන මැරෙන්නට ඉදිරිපත් වන්නේ නැත. ඔවුන් බඩ වෙනුවෙන් හ`ඩ නගන විට රට බෙදීමේ සහ හමුදාව පාවිදීමේ ඝෝෂාව යටපත්වනු ඇත. එම න්‍යායාත්මක පදනමේ ඉතා භයානක යොදාගැනීමක්‌ විය හැක්‌කේ 1915 සහ 1983 දී සිදුකළ ආකාරයට ඉන්දියානු සහ බටහිර ඔත්තු සේවා මැදිහත්වීමෙන් ජාතිවාදී ගිනිදැල් නැවත ඇවිලවීමය. සිංහල බෞද්ධ අන්තවාදයක්‌ අප රටේ නැතත් විදේශීය ඔත්තු සේවා විසින් මෙහෙයවනු ලබන අන්තවාදීන් පිරිසක්‌ එක්‌ පැත්තකින් සහ රහසිගතව ක්‍රියාත්මක වන ඉතා සුළු පිරිසක්‌ වූ මුස්‌ලිම් අන්තවාදීන් පිරිසක්‌ අනෙක්‌ පැත්තෙන් රටපුරා පෙට්‍රල් විසිකරමින් ඇත. ඔත්තු සේවාවලට ඇත්තේ ගිනිකූර ගැසීම පමණි. රට බෙදීමේ න්‍යාය පත්‍රයේ අවසන් අධියර ජයග්‍රහණයෙන් අවසන් කිරීම සඳහා නැවත යුද්ධය අවශ්‍ය නොවුවත් සමාජය හිරිවට්‌ටන ආකාරයේ බරපතල කම්පනයක්‌ අවශ්‍ය වනු ඇත. රටට සතුරු ජාත්‍යන්තර බලවේග ඉතා සූක්‍ෂමව රට ඉතා අනතුරු දායක ඉසව්වකට තල්ලු කරමින් දඩයම් ක්‍රීඩාවක නියෑළී සිටියත් ඊට ප්‍රතිචාර ලෙස විපක්‍ෂය කෝම්පිට්‌ටු සෙල්ලම් කරමින් සිටින තත්වයකට පත්වීම නූතන ඉතිහාසයේ බරපතළ ෙ€දවාචකයකි.

One Response to “සතුරාගේ දඩයම් සෙල්ලම හමුවේ විපක්‍ෂයේ කෝම්පිට්‌ටු සෙල්ලම ”

  1. Dr.K Says:

    මස් වැද්දා සහ වටු කුරුල්ලෝ
    Posted on August 9th, 2015 – Lankaweb
    ආචාර්ය . කොඩිසිංහ හේරත්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress