ගින්නෙන් දවා, අළු නොවූ අරගලයක ලිපි මාලාවේ ශතකයක මතකය
Posted on June 11th, 2016

ධර්මන් වික්‍රමරත්න         

ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යාපාරය පිළිබදව සිදුකරන ඕනෑම සංවාදයකදී ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) මඟහැර යා නොහැක. රෝහණ විජේවීර විසින්ම පොළොව කොටා, පස පෙරළා, බිජු වපුරා අරඹනු ලැබූ ජවිපෙ ගමන් කළේ වීජේවීරගේ දෘෂ්ටිය සහ දේශපාලනය තුළය. ජවිපෙ දේශපාලනය වන්නේ සමාජවාදී සමාජයක් ගොඩනැගීමය. ඒ වෙනුවෙන් ජවිපෙ කැරළි දෙකක් ගැසුවේය. විජේවීරගේ නායකත්වයෙන් බලය ලබාගැනීමට යෙදූ උපක්‍රම සහ එල්බගත් උපායන්ගේ ප්‍රශස්තභාවය පිළිබදව විවිධාකාර මතභේද තිබුණද විප්ලවීය ජීව ගුණයෙන් සහ ජවිපෙ දර්ශනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල සහ සූදානම්ව සිටි සාමාජිකයින් දස දහස් ගණනක් ජවිපෙ වටා එදා සිටි බව පිළිගත යුතුය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986 ආරම්භවී 1990දී නිමාවට පත්විය. 2වැනි කැරැල්ලේදී ඝාතනයට ලක්වූ හෝ අතුරුදහන් වූ පිරිස 41,813කි. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය.

Dharman Wickremaratne2ධර්මන් වික්‍රමරත්න විසිනි.

අසූව දශකය යනු සමස්ථ සමාජයටම අතිශය පීඩාකාරි යුගයක් විය. පාලකයෝ සිය යුතුකම් හා ජනතා අයිතිවාසිකම් ඉබිලා යතුරු දමාගත් විට අතලොස්සක් ඊට එරෙහිව සටන් වැදුනහ. ඉන්පසු උදාවූ ධවල භීෂණයෙන් සමාජය ත්‍රාසයෙන් ඇලී ගියේය. එකා පිට එකා නොව සිය දහස් ගණනක් ඝාතනය විය. මිනිසුන් දහස් ගණනක් මරා මහමඟ අළුකර දැමීය. ලක්ෂ ගණනක් හදවත් කම්පාවෙන් මුසපත් විය. පරාජයක්නම් මිනිසුන් එකතුව පරිභව කරති. අපහාස උපහාස කරති. ජයග්‍රහණයක් නම් මිනිසුන් රොත්තම ලැබූ දේ භුක්ති විදිති. එබැවින් ඉතිහාසය ලියා තබන්නේ පරාජිතයා නොව ජයග්‍රාහකයා විසිනි.  ජයග්‍රහණයට පියවරුන් සීයකි. පරාජය අවජාතක දරුවෙක් බවට කියමනක් ඇත. එහෙත් මෙම ලිපි මාලාව පරාජිත කැරැල්ලක අපරාජිත කැරළිකරුවන් පිළිබද ලියවුණු කථා මාලාවකි.  මෙය උඩුගම් බලා පිහිනු වෙනස් ආරක ලිපි පෙලකි.

මෙම ලිපි මාලාවේ 100වන කොටස එනම් ශතකය පසුකලේ ඉකුත් සතියේය. ඉරිදා රිවිර පුවත්පතේ පිටුවක විශේෂාංගයක් වශයෙන් එය ආරම්භ කළේ 2014 ජුනි 29වැනිදාය. මෙතෙක් පළවූ කොටස් 100 වෙන් වෙන්ව ගත්කල ජවිපෙ 2වැනි කැරැල්ලට අදාළ වෙන් වෙන් කථාමාලාවන් 100කි. එම පළමු කථාවේ සිට 100වැනි කථාව දක්වා පළවූ මුළු වචන සංඛ්‍යාව 266,952කි. පළවූ ඡායාරුප සංඛ්‍යාව 1,822කි. එම ඡායාරූප සඳහා යෙදූ සටහන්වල වචන සංඛ්‍යාව 23,366කි. වසර 2ක් තුළ රිවිර පාඨකයින් ගෙන් ලැබුණු  ප්‍රතිචාරද දිරිගන්වන සුළුය. විද්‍යුත් තැපැල් ලිපි 627කි. තැපෑලෙන් ලැබුණ ලිපි ගණන 181කි. දුරකථන ඇමතුම් සංඛ්‍යාව 1,000කට අධිකය. මුහුණු පොතේ පළකල එම කථාමාලාවට දැක්වූ අදහස් සංඛ්‍යාව 1,342කි. එය මුහුණු පොතෙන් ෂෙයාර් කරගත් සංඛ්‍යාව 20,000කට ආසන්නය. රිවිර පුවත්පතේ පළවීමෙන් පසු වෙඩ් අඩවි ගණනාවක්ද මෙම කථා මාලාව පළකර තිබිණි.

ජවිපෙ 71 කැරැල්ල ගැන ලියවුණු පොත්පත් දුසිම් තුනකට වඩා වැඩි වුවද ජවිපෙ 2වැනි කැරැල්ල ගැන සිංහලෙන් ලියවුණු ශ්‍රාස්තීය විචාරයන් ඉකුත් වසර 30 තුළ නැති තරම්ය. ලියවී ඇත්නම් ඒ පුවත්පත්වල පලවූ මෝස්තර ස්වරූපයෙන් ලියා තිබූ  ලිපි වේ. මෙම ලිපි මාලාව ප්‍රබන්ධයක් නොවේ. ඉතිහාස ග්‍රන්ථයක්ද නොවේ. විප්ලවවාදී සටන්පාඨ ග්‍රන්ථයක්ද නොවේ. එමෙන්ම වීර කාව්‍යයක්ද නොවේ. මව්බිම නැත්නම් මරණය කියා ඉදිරියේදී තිරයට නැගෙන චිත්‍රපටියක තිර රචනයක්ද නොවේ. කිසිවෙකුට අවලාද නැගීමක්ද නොවේ. කථා මාලාවේ ලියුම්කරු බොහෝ සිද්ධීන් සියසින් දුටු, අනතුරුව පැනනැගුණු සිද්ධි මාලාවන් ආවරණය කල 2වැනි කැරැල්ලේ දේශපාලන මණ්ඩල සභිකයින් කිහිප දෙනෙක් සහ මධ්‍යම කාරක සභිකයින් ගණනාවක් මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉහළ නායකයින් සියළුදෙනාම වාගේ වෘත්තීය වශයෙන් ඇසුරුකල පුවත්පත් කලාවේදියෙකි. එබැවින් අතිශෝක්තියෙන් වර්ණනා කිරීමක්ද නැත. මවාපෑම් නැත. එකම කථාවක් දිගට ඇදගෙන යන ‘රබර් කිරීම්ද’ නැත. මෙය එදා සිදුවූ ක්‍රියාදාමය තවදුරටත් ගවේෂණාත්මකව වාර්තාකිරීමක් පමණි. බස හරවත්ය. සරලය. අනුගත රීතියද වෙනස්ය.

මෙම කථා මාලාවේ ආරම්භයේ ඉතිහාසයද වැදගත්ය. බරින් කිලෝ ගණනාවක්වූ දත්ත, පුද්ගලික සටහන්, ප්‍රකාශිත සහ අත්ප්‍රකාශිත අත් පිටපත්, දිනපොත්, ඡායාරූප සහ තොරතුරු එකතුවක් 1986 සිට 1991 දක්වා ලේඛකයා සතුව සුරක්ෂිතව තිබිණි. අවදානමද නොතකා ඒ්වා සුරක්ෂිතව තබාගැනීමට දෙදෙනෙකු එකඟ විය. වසන්තය වැළදගත් බැවින් හේමන්තයද එකල නිහඬව විඳදරා ගත්තෙමි. වසර කිහිපයකින් ලේඛන යළිත් මවෙත යොමුවිය. එම ඉතිහාසය වියැකෙන්නට නොදී ලිවීම ලේඛකයා දුටු සිහිනයක් විය. හූයෙන් හූය ගෙත්තමක් මෙන් එය කථා මාලාවක් සේ ගොඩනැගීමට හැකිවූයේ ඉරිදා රිවිර පුවත්පතේ මැදිහත්වීමෙනි.  ජවිපෙ 2වැනි කැරැල්ලේ ආරම්භයේ සිට අවසානය දක්වා කථා මාලාවේ ඔබ මෙතෙක් කියවූ කොටස් 100 එහි ප්‍රතිඵලයකි.

dharman11061602ලිපි මාලාව පිළිබඳ අදහස් දැක්වූ දහස් ගණනක් අතරින් කිහිප දෙනෙක්. වමේ සිට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, කැලණි සරසවියේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, පේරාදෙණිය සරසවියේ ඝාතනයට ලක්වූ සිසු නායක එස්.එම්. නිස්මිගේ පියාවූ සෙයින් සිරාජුඩීන්, 71 අප්‍රේල් මහ නඩුවේ 15වන සැකකරු යෝගි පියසිරි කුලරත්න, ජපානයේ ව්‍යාපාරික සමන් ප්‍රියංකර, මැදපෙරදිග කටාර් රාජ්‍යයේ ඉදිකිරීම් කළමණාකරු සහ ව්‍යාපෘති ඉංජිනේරු නිහාල් කිත්සිරි, දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති සහ ජාතික එක්සත් වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ සම කැඳවුම්කරු වෛද්‍ය නිමල් කරුණාසිරි, ඕස්ට්‍රේලියාවේ සේවය කරන ආචාර්ය ලලිත් සීලනාථ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු සහ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු නජිත් ඉන්දික, ප්‍රවීණ රූපවාහිනී නිෂ්පාදක ජනක මල්ලිමාරච්චි, ජනතා සංගමයේ සමාරම්භකයෙකුව සිටි පාලිත සොලමන්ස්, ත්‍රිකුණාමලය මාධ්‍යවේදී මංගලනාත් ලියනාරච්චි, වරලත් ගුවන්යානා ඉංජිනේරු ප්‍රියන්ත හේරත්, මහනුවර සමාජ ක්‍රියාකාරි ලලිත් අබේසිංහ, ගෘහ නිර්මාණ සහ සැලසුම් ශිල්පී මාතර රංජිත් ප්‍රියලාල් වේ.

වසර 30කට ආසන්න කාලයක් තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව ජවිපෙ 2වැනි කැරැල්ලේ ඉතිහාසය විකෘතිවී ඇත. බොහෝ දෙනෙකුට සත්‍ය නීරසය. කර්කෂය. එහෙත් එය කිසිදා කිසිවෙකුට වැලලිය නොහැකි බව මෙම ලිපි මාලාවෙන් විද්‍යාමාන වේ. බරපතල සංවිධාන අඩුපාඩු තිබුණද ජවිපෙ 2වැනි කැරැල්ල ශ්‍රේෂ්ඨ පරාජිත අරගලයකි. එය අවතක්සේරු නොකරන හෙයින් වාර්ෂිකව ඉල් මහ සමරුද පවත්වනු ලැබේ. අතීතයේ ජවිපෙ වෙනුවෙන් පෙනීසිටි අයගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් වර්තමාන නායකයින් සමාජයෙන් සමාවගන්නා යුගයක ඒ අතීතය මෙලෙසින් අකුරු කිරීම ඉතිහාසයේම සරදමකි. කැරළිකරුවන්  විදි දුක්ගැහැට, වධවේදනා, ජනතාව වෙනුවෙන් කල අපරිමිත පරිත්‍යාග වැනි අත්දැකීම් අනාගත අරගලවලදී ජනතාව අත රැදි බර ආයුධ බවට පත්වනු ඇත

මේ පිළිබඳව විවිධ විද්වතුන් සහ රිවිර පාඨකයින් දක්වා තිබූ සිය ගණනක් අදහස් අතරින් කිහිපයක් සැකවින් මෙසේය. මේ පිළිබඳව කැලණි සරසවියේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසන්නේ,‘’ලාංකීය පුවත්පත් කලාවේ සමකාලීන යුගය ගෙවීයන්නේ වාණිජත්වය,  හැගීම්බර වාර්තාකරණය සහ ත්‍රාසය මුසුකරගත් විශේෂාංග සහ විචිත්‍රවත් සරළ ප්‍රකාශනයක් යැයි කිවහොත් වඩාත් යථාර්තවත්ය. ලාංකීය සමාජයේ ගෙවීගිය දශක කිහිපය තුළ මුහුණදුන් ව්‍යාධීන්, දුක, දොම්නසින්, මිනිසුනගේ, ගැහැණුන්ගේ සහ දරුවන්ගේ ජීවිතය සහ අනාගත පැවැත්ම තීරණයකල විවිධ සංසිද්ධීන් ජාලයක් ඔවුන් අමතක කලායැයි නැතහොත් අමතක කරනවායැයි විචාරකයෙකුට කිව හැකිය. නිදහසින් පසු ගෙවීගිය දශක 6ක කාලය තුළ ඉගෙන ගතයුතු සහ ඉගෙන ගතහැකි පාඩම් පාඨකයාට විවරණය කොට විශ්ලේෂණය කරදීම සමාජ වගකීම් දරාගත් ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ සහ විශේෂාංග රචකයින්ගේ වගකීම වූවද එය ලාංකීය පුවත්පත් කලාව තුළ ඉටුවූවාදැයි ප්‍රශ්නයකි.

dharman11061603 ලිපි මාලාව සඳහා ලියුම්කරු මුහුණට මුහුණලා සාකච්ඡා 318ක් මේ වන විට පවත්වා ඇති අතර මේ ඉන් අවස්ථා කිහිපයකි. වසර 25කට පෙර පේරාදෙණිය සරසවියේ අතීතය ආවර්ජනය කරන එහි සිටි උපකුලපති මහාචාර්ය අර්ජුන අලුවිහාරේ සමඟින් නුවරදී (ඉහළ වම), ජවිපෙ ආනන්ද ඉඩමේගම ජීවත්වූ බදුල්ලේ කන්දේගෙදර මහගෙදරදී ඔහුගේ මව එච්.එම්. පුංචිකුමාරිහාමි සමඟ(ඉහළ දකුණ), ජවිපෙ උපාලි ජයවීර ජීවත්වූ මොණරාගල දඹගල්ලේ පිහිටි මහගෙදරදී ඔහුගේ කණිටු සොහොයුරන්වන නිහාල් සහ ලාල් සමඟින්(පහළ වම), ජවිපෙ නායකයෙකුවූ ට්‍රින්කෝ විමල් හෙවත් පී.ආර්.බී විමලරත්න ජීවත්වූ ත්‍රිකුණාමලය අභයපුර පිහිටි මහගෙදර ඉදිරිපිට මාර්ගයේදී ට්‍රින්කෝ විමල්ගේ සොහොයුරු විදුහල්පති කිත්සිරි සහ සමකාලීනව ට්‍රින්කෝ විමල් සමඟ ගුරු විද්‍යාලයේ සිටි විශ්‍රාමික පළාත් අධ්‍යාපන ලේකම් දයානන්ද ජයවීර හමුවූ අවස්ථාව(පහළ දකුණ) මෙහි වේ.

මෙම සන්දර්භය මත සිට මා අවදිකල ලිපිපෙළක් වශයෙන් ධර්මන් වික්‍රමරත්නයන් විසින් ලියනු ලබන ජවිපෙ 2වැනි කැරැල්ල ලිපි මාලාව දැක්විය හැකිය. අසූවේ දශකය වෙලාගත් භීෂණ යුගයයැයි සරල යෙදුමෙන් හදුන්වන වකවානුවේ සිද්ධීන්, අවස්ථා සහ චරිත එකිනෙකට විවරණය කොට ඉදිරිපත් කරන මෙම ලිපි මාලාව පසුකාලීනව දේශපාලන, සමාජ, ආර්ථික සහ සන්නිවේදන විද්‍යාවන් සහ ලාංකික සමාජයේ විකාශය ඇතුළතින් ගවේශනය කරන්නන්ට අතිමහත් දැනුම් සම්භාරයක් ඉදිරිපත් කිරීමකි. ලාංකීය සමාජයේ ඛේදවාචකයන්, ව්‍යයසනයන්, හඬාවැටීම් සහ කම්පාවන් ඇතිකිරීමට පමණක් පුරුදු කරන පුවත්පත් විශේෂාංග අතරින් මෙම ලිපිපෙල අපගේ මනස අවදි කරවයි. මෙම ලිපිපෙල මත තබා අපට විවිධ තල මත සිට අප සමාජය, මිනිසුන් සහ දේශපාලනය ගැන සිතන්නට පොළඹවන්නේය.’’ යන්නයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර තිබුණේ,‘’ගෞරවය හිමිවිය යුතු මහන්සියකි. ඉතිහාසයේ වැළලීයාමට තිබූ දත්ත ගබඩාවක් නොබියව හෙළිකරන විට එම ඉතිහාසයට සම්බන්ධවූවන් තමන්ගේ පාඩුවේ සිටීම අපූර්ව සංසිද්ධියකි. එයට මා හිතන හේතුව ඉතිහාසය තමන්ගේ වුවද එය කියවීමෙන් වර්තමානයේදී අනෙකුන් වෙලාගැනිම් වලට ඇති හැකියාව ක්ෂය වෙතැයි ඔවුන් සිතනවා විය හැකිය. ඉතිහාසය බොහෝ දේ අනාවරණය කිරීමෙන් ජනතාව ඔවුන්ට ලංවනු නොව ඈත්වනු ඇතැයිද ඔවුන් සිතනවා විය හැකිය. මෙම ලිපි මාලාව අවස්ථාවාදීන්ගේ නිෂ්ශබ්දතාවයද බිඳ දැමීමක් වන්නේය. අරගලයකදී වැදගත් වන්නේ වේගය නොව දිශාවය. ඉතිහාසය තමන්ගේ වුවද එය කියවීමෙන් වර්තමානයේ තමනට අයෙකු වසඟ කිරීමට ඇති හැකියාව වාෂ්ප විය හැකියැයි යමෙකු සිතනවා විය හැකිය. තමන්ගේ ක්‍රියාවන් ගැන වුවද ඔවුහු කැමති වන්නේ යම් යම් තෝරාගත් නියදීන් කිහිපයක් පමණක් මිනිස් මතකයේ රැදී පවතිනවාටය’’ බවකි.

dharman11061604මෙයට වසර 27කට පෙර පැවති ජවිපෙ 2වැනි කැරළි සමයේ රටේ තිබුණේ මෙවැනි අතිශය භීෂණකාරි වටපිටාවකි. දකුණේදී ඝාතනයට ලක්වූ ජවිපෙ කැරළිකරුවන් පිරිසක්(ඉහළ වම), මැදිරිගිරිය ප්‍රාලේ කොට්ඨාශයට අයත් මීගස්වැව ගම ආශ්‍රිතව පවත්වාගෙන ගිය ඒකනායක වධකාගාරයේදී අත් පා වෙන්කරන ලද ජවිපෙ කැරලිකරුවෙකු මෙහි වේ. පල්ලියගොඩැල්ල, මැදිරිගිරිය, අඹගස්වැව, ගොඩපොත්ත, වඩිගවැව ආශ්‍රිතව ක්‍රියාත්මකවූ කඳවුරු වලට ගෙන එන ලද තරුණයින් දහස් ගණනක් අවසානයේදී විනාශකර දමන ලද්දේ කපිතාන් ඩයස් භාරකරුවූ මෙම ඒකනායක වලේ වධකාගාරයේදීය(ඉහළ දකුණ), ජවිපෙ විසින් ඝාතනය කරන ලද එජාප ක්‍රියාකාරිකයෙකුවූ මාතර ඌරුගමුවේ මුරුතගස්පිටියේ පදිංචි ස්කාගාර සංස්ථාවේ සේවයකල තිදරු පියෙකුවූ සුගත් සමරසේකර(45) දෙවිනුවර වලස්ගල හීන්දෑලිය වැව අසළදී 1988 දෙසැම්බර් 9වැනිදා ගසක ගැටගසා ඝාතනය කර තිබූ අන්දම(පහළ වම) සහ හක්මන බෙංගමුවේ වැවිලිකරු බී.ආර්. ජයසේකර 1988 අප්‍රේල් 26 ජවිපෙ විසින් ඝාතනයකර ගසක බැඳ පුළුස්සා දමා තිබූ අන්දම ඔහුගේ ඡායාරූපයක් කොටුව තුළ දිස්වේ(පහළ දකුණ).

පේරාදෙණිය සරසවියේ ඝාතනයට ලක්වූ සිසු නායක එස්.එම්. නිස්මිගේ පියාවූ සෙයින් සිරාජුඩීන් කියා සිටියේ තමාගේ පුතා වන නිස්මි පිළිබඳව පළවූ ලිපිය කෙටි චරිතාපදානයක් දිස්වු අතර එය මෙතෙක් නිස්මි පිළිබඳව පළවූ අංග සම්පූර්ණ ලිපියදවූ බවකි. ඉතා සරළ පැහැදිලි භාෂාවකින් ලියා තිබූ එය ඉතිහාසයේ සැගවී සිටි වීරයින් වර්තමාන පරපුර තුළ ජීවත් කිරීමකි.

71 අප්‍රේල් මහ නඩුවේ 15වන සැකකරුවූ යෝගි පියසිරි කුලරත්න ෆෙස්බුක් සටහනක් යොදමින් කියා සිටියේ මෙවැන්නකි. ‘’බලවත් උද්යෝගයකින් හා ගවේශනාත්මක දැක්මකින් යුක්තව ලිපිපෙළ ලියා ඇත. ජවිපෙ ඉතිහාසයට සම්බන්ධ අයෙකු ලෙස මම දිගු කලෙක සිට එම ඉතිහාසය නිදහස්ව සහ විචාරශිලිව විමසා ලියන අදීන ලේඛකයෙක් ගැන යටිසිතින් අපේක්ෂා කල අයෙකි. එම අපේක්ෂිත සිතුවිල්ල මෙම ලිිපි තුළින් ඉටුවන බවක් පෙනේ. මෙය ඉතිහාසීය වගකීමක් ඉටුකිරීමකි. මෙම ලිපි විශ්වාසි සංයුක්තතාවයකින් යුතුය. පක්ෂග්‍රාහිත්වයෙන් තොරය. අඩංගුවිය යුතු වැදගත් තොරතුරු තවත් බොහෝ ඇත. මෙහිදී ලේඛකයාගේ ගවේශනාත්මක පුවත්පත් කලාව සමඟ මම එකඟ වෙමි. දිරිදෙමි.’’

ජපානයේ ප්‍රකට ව්‍යාපාරික සමන් ප්‍රියංකර  සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් කියා තිබුණේ මාර්තු 6 පලවූ පසුබසින ජවිපෙ කැරලිකරුවෝ තායිලන්තයේ කඳවුරු බඳිති මැයින් ඡායාරූපද සහිතව පළකල ලිපියේ ඔහු ඇතුළු පිරිස ගැන පලකල කරුණු මුළුමනින්ම වාගේ සත්‍යවන අතර ඒ කරුණු සහ ඡායාරූප සොයා ගත්තේ කෙසේදැයි ප්‍රශ්ණාථයක් බවය. විද්වත්භාවයෙන් එය විශිෂ්ඨ පර්යේෂණයක් ලෙස සකස් කල ලිපියක් සේ දිස්වන බව පවසන ඔහු වැඩිදුරටත් මෙසේද කියා තිබිණි. ‘’කැරැල්ලක් වැනි සාමූහික මානව ඝට්ටනයකදි ක්‍රියාකාරිත්වය අධ්‍යයන කිරීමට මෙම ලිපි මාලාව වනු නොඅනුමානය. පරාර්ථයේ සිට ආත්මාර්ථය දක්වාද ආත්ම පූජාවේ සිට ජීවිත බිලිගැනීම දක්වාද විශාල වපසරියක් තුළ කැරළිකරුවන්ගේ ජීවිතය දෝලනයවීම මෙම ලිපි පෙළේ සඳහන්ව ඇත. ලිපි මගින් සිදුවූ දෑ මතුපිටින් නොව ගැඹුරින් ඇස් පනාපිට ප්‍රතිදර්ශනය කර ඇත. නිදහසින් පසු ශ්‍රී ලාංකිකයින්ට මුහුණ පෑමට සිදුවූ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක්ද ලබාදී ඇත. උත්සාහය අගය කරන අතර පසුබිමේ සැඟවුණ කථාද සොයා බැලීම වටින්නේය.’’

dharman11061605නව ලොවක් දැකුමට ඇරඹූ 2වැනි කැරැල්ල(වම), ඝාතනයට ලක්වූ කැරළිකරුවන් අනුස්මරණය කරන අවස්ථාවක්(දකුණ)

මැදපෙරදිග කටාර් රාජ්‍යයේ ඉදිකිරීම් කළමණාකරු සහ ව්‍යාපෘති ඉංජිනේරු නිහාල් කිත්සිරි විද්‍යුත් ලිපියක් යොමුකරමින් මෙසේ පවසා ඇත. ‘’අල් සභා ආයතනයේ වසර 16ක් සේවය කරන මා ජවිපෙ 2වැනි කැරැල්ලේ ලිපි කියවන්නේ මහත් රුචියකිනි. මෙහි 800ක් පමණවූ සේවකයින් අතරින් ශ්‍රී ලාංකිකයින් සියගණනක් අතරද මෙම ලිපිපෙළ ජනප්‍රියය. භීෂණ යුගය පිළිබඳ ලිපි ගණනාවක් ඉකුත් කාලය තුළදී කියවනු ලැබූවද ඒවාට වඩා මෙම ලිපිපෙළ ඉතා විශිෂ්ඨ ලෙස සත්‍ය කරුණු ගැඹුරින් සොයාබලා ලියනු ලබන ලිපි පෙලක් බවට පැහැදිලිය. කිසිදා දැනගත නොහැකි ඉතා වටිනා ඉතිහාසගත දත්ත සහ කරුණු මත පදනම්ව ලිපි ලියා ඇති බව පසක් වේ. පළවන දුර්ලභ ඡායාරූපවල වටිනාකම මිලකල නොහැකිය. ශ්‍රී ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසය පිළිබඳ කොතරම් පොතපත පලවූවද අසූව දශකය අවසාන භාගයේ ඇතිවූ කැරැල්ල පිළිබඳව ලියවූ හොදම කියවීම මෙය බව එම වකවානුව තුළ සිට වර්තමානය දක්වා ජීවත්වන බුද්ධිමත් පාඨකයාය සහතික වනු නොඅනුමානය. දුෂ්කර ගවේශනයක යෙදීමෙන් මෙසේ ඉටුකරන්නේ භාරදුර යුග මෙහෙවරකි.’’

දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති සහ ජාතික එක්සත් වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ සම කැඳවුම්කරු වෛද්‍ය නිමල් කරුණාසිරි දැක්වූ අදහස මෙසේය. ‘’අසූව දශකයේ අන්තරේ නායකයෙකු වශයෙන් වසර 9ක් ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු කල මා දන්නා පරිදි එයට අදාලව මෙහි පළවන ඉතිහාසය නිවැරදිය. මෙම ලිපිපෙල මගින් වසර 25කට පසුව හෝ සරසවි සිසුන් 396ක් ඝාතනය වූ බවද 227ක් අතුරුදහන්වූ බවද ප්‍රථම වරට අනාවරණය විය. එහිදී සිදුවූ සිද්ධීන් සාධනීය මෙන්ම නිශේධනීය විය හැකි නමුත් ඔවුන්ගේ කැපවීම සහ අධිෂ්ඨානය අගයකල යුත්තකි. මෙම ඉතිහාසය නිවැරදිව සටහන් කිරීම තුළින් සමාජයේ ඉදිරි දැක්ම කෙරෙහි ප්‍රතිපත්ති සම්පාදකයින්ට එය ප්‍රයෝජනයට ගත හැකිය. නව ශිෂ්‍ය ව්‍යාපාරයට වුවද තම ක්‍රියාකාරකම් සහ අයිතීන් දිනාගැනීමට මින් ආදර්ශ ගතහැකිය.’’

ඕස්ට්‍රේලියාවේ සේවය කරන ආචාර්ය ලලිත් සීලනාථ වෙබ් අඩවියක සටහනක් තබමින් කියා තිබුණේ විදේශයක සිටියත් මෙම අනගි ලිපි මාලාව නොකඩවා කියවන බව සිය ජයවර්ධනපුර සරසවියේ විද්‍යාර්ථයින්ට පවසා තිබිණි. එහි මෙසේද ආචාර්ය සීලනාථ වැඩිදුරටත් සඳහන් කර තිබිණි. ‘’1984 ජනවාරි මාසයේ පටන්ගත් අපේ සරසවි ජිවිතය භීෂණ යුගය නිසා 1990 මාර්තු දක්වා දිගුකල් ඇදී ගියා.  අසූවේ දශකය මුල් භාගයේ සිට ධර්මන්ගේ ලිපි කියවුයේ ජයවර්ධනපුර සරසවි සිසුවෙක් විදිහටයි. හඩක් නොමැති අයගේ හඬ ඉස්මතු කරන්නෙක් ලෙස හදුනාගත්තා. සරසවි සිසුන්ගේ ප්‍රශ්න බාහිර ලෝකයට ගෙන යැමට ඔහු විශාල වැඩකොටසක් සිදුකලා. ජවිපෙ 2වැනි කැරැල්ලට අදාළ සැබෑ තොරතුරු මෙසේ ගෙන ඒම අපූරුයි. භීෂණයේදී මියගිය ජයවර්ධනපුර සරසවියේ සිසුන් 107ක් නම්, ගම් සහිතව ප්‍රකාශයට පත්වීම සිදුවුනේ වසර 25කට පසුව මෙම ලිපි පෙලින්ය. වියෝවූ සිසු සොහොයුරන් ලිඛිත ඉතිහාසයට එක්කිරීම ඔවුනට කල ගෞරවයක්. කලක් අපේ නිවසක් බඳුවූ ජ’පුර සරසවියේ ලිපියෙන් අප දන්නා කරුණු බොහෝ දුරට නිවැරදියි. එමෙන්ම නොදන්නා දේශපාලන කරුණු කාරණාද බොහෝමයක් දැනගත්තා.’’

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ(අන්තරේ) හිටපු කැඳවුම්කරු සහ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු නජිත් ඉන්දික ෆේස්බුක් පණිවිඩයක් තබමින් මෙසේ සිය අදහස් එළි දක්වා තිබිණි. ‘’ඉතිහාසයේ මෙවැනි අවිචාරවත් අවධීන් අභිබවා මිනිසුන් විවිධාකාරයෙන් සටනට අවතීරණ විය. මෙය සැඟවුණු අතීතයක් සංගමයකින් කියා දෙන පාඩමකි.  දේශපාලනයේ ඝාතනවලට වඩා ඔබ්බට ගිය ඝාතන දේශපාලනය සිදුවූ ඛේදවාචකයකි. දෝහීන්ට මරණය, ඒක යුද්දයක් එහෙම තමයි කියලා පිළිගත හැකිද? මාක්වාදීන්ට වැරදිලාවත්, දෝහීන්ට මරණය වගේ ප්‍රාථමික, පිලිකුල් දෙයක් හිතන්නවත් පුලුවන්ද? අඩුම තරමේ තමන් විශ්වාස කරන ක්‍රමේකට යහපත් සමාජයක් වෙනුවෙන් අරගලයක් කරපු කැපකිරීමක් කරපු මිනිස්සු ගැනවත්? නිසි ඉතිහාසීය දැක්මක් ඇතිවන ලිපිපෙළ ගලපා ඇති ආකාරයද අපූරුය.’’

ප්‍රවීණ රූපවාහිනී නිෂ්පාදක ජනක මල්ලිමාරච්චි සිය ෆේස්බුක්හි සටහනක් තබමින් කියා තිබුණේ අපේ කාලයේ සාර්ථකම ගවේශනාත්මක ලිපි පෙළ මෙය බවට විවාදයක් නොමැති බවය. එම සටහනේ වැඩිදුරටත් මෙසේද විය. ‘’මගේ පියා ඇමති වීරසිංහ මල්ලිමාරච්චි ඝාතනය කළේ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන්ය. සොහොයුරාවූ ජයන්තගේ ඝාතනය ජවිපෙ වැඩකි. අපි මේ දෙපිරිසෙන්ම බැටකෑ මිනිසුන් වෙමු. ඇතමුන් මෙම අතීතය වර්තමානයේ හිතාමතාම අකාමකා දමා ඇති නිසා එය මෙනෙහි කිරීමට ධර්මන්ගේ මෙම ලිපි පෙළ කදිම කියවීමකි. ‘’

මේ පිළිබඳව ජනතා සංගමයේ සමාරම්භකයෙකුව සිටි පාලිත සොලමන්ස් දැක්වූ අදහස මෙසේය. ‘’මියගිය සහ අතුරුදහන්වූ 60,000ක අරගලය වෙනුවෙන් සියළු තොරතුරු එක්රැස්කර කියවන්නට සලස්සවන්නට කෙනෙකු වසර 25කට පසු සමාජය තුළින් මතුවීම අප දුටු සිහිනය සැබෑ කිරීමකි. ලේඛකයා මෙය ඉතා විශිෂ්ඨ ලෙස අපක්ෂපාතීව කියවිමට සලසා ඇත. මෙයට පෙර අහිමි විප්ලවය ඉංග්‍රීසි ග්‍රන්ථය 1990දී යම් සීමිත තොරතුරු ප්‍රමාණයක් පාඨකයින්ට ලබාදුන් අතර මෙය එයට වඩා පියවර දස දහසක් ඉදිරියට ගෙනගිය ප්‍රයත්නයකි. කලාව යනු ප්‍රකෘතිය මිනිස් මනසේ ප්‍රතිනිර්මාණය කර සුන්දරව ඉදිරිපත් කිරීමය. ඕනෑම කලා නිර්මාණයක ඔහු හෝ ඇය නියෝජනය කරන දේශපාලන දැක්මද ගැබ්ව ඇත.’’

ත්‍රිකුණාමලය මාධ්‍යවේදී මංගලනාත් ලියනාරච්චි සටහනක් යොදමින් මෙසේ අදහස් පළකර තිබිණි. ‘’දැනුම ගබඩාවක්වූ මෙම ලිපිපෙල පළකිරීම රිවිර කල පිනකි. ඉතිහාසය ලිවීමේදී ලියන්නාගේ උවමනාව මත මවාපෑම සහ විකෘතිය මෙහි නැත. මෙම ඉතිහාසයේ අයිතිකරුවන් ගෙන් ඇතමුන් තවමත් ජීවතුන් අතරය. එමෙන්ම ඔවුනට අවමානයක් නොවන පරිදි ඇත්ත පවසා සිටීම පැසසිය යුතුය. වෛද්‍යවරයෙකුට වැරදුනහොත් වරද මිහිදන් කරනු ඇත. නීතිඥයෙකුට වැරදුනහොත් වරද සිරගත කරනු ඇත. මාධ්‍යවේදියෙකුට වැරදුනහොත් වරද සමාජගත වනු ඇත. එබැවින් එවැනි වරදක් සිදුනොවන්නට ලේඛකයා සමත්වී ඇත.’’

මෙම ලිපිපෙල පිළිබඳව සමාජජාලා වෙඩ් අඩවිවල නිරතුරුව සටහන් තැබු වරලත් ගුවන්යානා ඉංජිනේරු ප්‍රියන්ත හේරත් කියා ඇත්තේ මෙම ලිපිපෙළ 1985ට පසු ඉපදුණු සෑම පුරවැසියෙකුම කියවිය යුතු අත්පොතක් බදුය. ඉංජිනේරු හේරත් තවදුරටත් මෙසේද සිය අදහස් දක්වා තිබිණි. ‘’රාජ්‍ය සහ දේශපාලන ත්‍රස්තවාදයට ගොදුරුව අරාජිකත්වයට පත්වුණු කාල වකවානුවක්වූ අසූව දශකයේ අවසාන භාගය පිළිබඳව සත්‍ය ගවේශනය කිරීමෙන් පසු ලියන ලද ලිපි මාලාවකි. ලේඛකයා විසින් ලියවුණු ලිපි සමාජ වෙබ් ජාලාවලද පළකිරීමට කටයුතු යෙදීමෙන් යම් ගැටලුවක් ඇත්නම් ඒවා නිරාකරණය කර ගැනීමටද අවස්ථාව ලබාදී තිබීම අගය කල යුතුය. කටුක සහ නීරස අතීතයක සත්‍ය ප්‍රකාශ කිරීමේදී ජවිපෙ 2වැනි කැරැල්ලට සම්බන්ධ බොහෝ දෙනා තවමත් ජීවමානව සිටින නිසා එය ලිවීම දුෂ්කර අභියෝගයක් වුවද වර්තමානයේ ජීවත්වන සහ මියගිය අයටද අවමානයක් නොවන පරිදි ලේඛකයා පෑන හසුරවනු පෙනේ.  මෙවැනි ලිපි පළකිරීම මගින් රිවිර පුවත්පතද අකාමකා දමා තිබූ ඉතිහාසයක් පාඨකයින්ට විවරකරදීම මිලකල නොහැක.’’

ලංකාවේ ඉතිහාසයේ එක් අඳුරු පරිච්ඡේදයක් පිළිබඳව ඉතා දුෂ්කර ඓතිහාසික තොරතුරු සහිතව පලකර ඇති මෙම ලිපිමාලාව වමේ දේශපාලනය පිළිබඳවද කියවීමක් බව මහනුවර සමාජ ක්‍රියාකාරි ලලිත් අබේසිංහගේ මතය විය. අන්තර්ජාලයේ සටහනක් තබමින් මෙසේ ඔහු කියා තිබිණි. මෙය ග්‍රන්ථයක් වන තෙක් බලා සිටිමු. කැරැල්ලේ ගොදුරු බවට පත්වූ වාම ක්‍රියාකාරකයින් පිළිබඳව එක් ලිපියක පලවු සටහන කිසිදා මතකයෙන් බැහැර නොවේ. එනම් ‘’ ඝාතනයට ලක්වූ වමේ ක්‍රියාකාරිකයින් සිය මුළු ජීවිතයම වාගේ මානව වර්ගයා වෙනුවෙන් කැපකල බවට ඇතිකරගත් තෘප්තිදායක හැගීමකින් ජීවත්වූවෝ බවට සැක නැත. සිය මරණ මංචකයේදී වුවද ඔවුන්ගේ ජීවිතයට එය පරම සංතෘෂ්ටියක්වූ බව ඉතිහාසය කියනු ඇත.’’ යන්නය.

ගෘහ නිර්මාණ සහ සැලසුම් ශිල්පී මාතර රංජිත් ප්‍රියලාල් අවධාරණය කර තිබුණේ පාඨකයින් ඉල්ලා සිටින්නේ සත්‍යය මිස සත්‍ය වශයෙන් අදහස් වන දෙය නොවන බවය. එසේම ඔවුන් ඉල්ලා සිටින්නේ මුළුමහත් මිනිස් වර්ගයාටම සත්‍ය දේ මිස පිරිසකට පමණක් සත්‍ය දේ නොවන බව වැඩිදුරටත් කියා තිබූ රංජිත් ප්‍රියලාල් වැඩිදුරටත් මෙසේද ප්‍රකාශකර තිබිණි. ‘’සත්‍ය ලිවීමේදී එරෙහි වන්නේ බොරුව තුළ ජීවත්වී බොරුව ප්‍රකාශ කරන්නවුන් පමණි. පර්යේෂකයෙකුට සිය මංපෙත් හෙළි පෙහෙළි කරගැනීමට දායකවූ මෙම ලිපිපෙළ නීති, කලාව, විද්වතුන් වැනි සෑම ක්ෂේත්‍රයකම පමණක් නොව සියලුම දේශපාලන පක්ෂවලද ඝාතනයට ලක්වූ මිනිසුනට උපහාරයක් විය. මාඕ සේතුං වරක ප්‍රකාශකල පරිදි ලෝක ඉතිහාසය නිර්මාණය කිරීමෙහිලා ක්‍රියාකාරක බලවේගය වන්නේ ජනතාවමය. ජනතාවම පමණක්ය.’’

ලිපි මාලාව සකස් කිරීමේදී එකල රැස්කර තිබූ තොරතුරුවලට අමතරව සම්මුඛ සාකච්ඡාවට ලක්කල පිරිස 318කි. සත්‍යපාල වන්නිගම නිවසට තංගල්ල දබරැල්ලට ගියවිට පිළිගත්තේ ඔහුගේ ඥාති පුතා නිරෝෂණය. වෙනුර එදිරිසිංහගේ දෙමාපියන් වන තිලකරත්න සහ ඥානවතී මාරවිල සිය නිවසේදී ආවර්ජනය කළේ වෙනුර සිටි කාලයේදී පවා හමුවී ඇති බවකි. එච්.බී. හේරත්ගේ පියාවූ පුංචිරාලළාගේ හේරත් බණ්ඩා සහ මව කදිරාතේගේ අමරාවතී සිය මැදවච්චියේ කඩවත්ගම නිවසේදී පිළිගනිමින් කියාසිටියේ එච්.බී හේරත් මියගියාට පසු වසර 27ක් ඇතුළත පැමිණි එකම මාධ්‍යවේදියා ලියුම්කරු බවකි. පේරාදෙණිය සරසවියේ නොමල මිනිසාවූ එහි වෛද්‍ය පීඨ සිසු හේරත් මුදියන්සෙලාගේ පොඩිබණ්ඩාගේ නිවස පිහිටි ඉසව්ව එකල ඔහුගේ සමකාලීනයන්ගේ මතකයෙන්ද බැහැරවී තිබිණි. දඹුල්ල තිත්තවැල්ගොල්ලේ පිහිටි පොඩිබණ්ඩාගේ නිවස සොයාගනු ලැබුවේ පොඩිබණ්ඩා ඉගෙනුම ලැබූ රංගිරි දඹුල්ල මහා විද්‍යාලයේ 1977 ඇතුළත් වීමේ ලේඛනය පිරික්සීමෙනි. මෙවැනි මතක සටහන් රැසක් කිසිදා මතකයෙන් බැහැර නොහේ.

සංරක්ෂිත ඡායාරූප හැර මෑතකදී ගත් සියළු ඡායාරූප ගනුලැබුවේද ලේඛකයාගේ ස්මාට් ෆෝන් දුරකථනයෙනි. තොරතුරු ගවේෂණයේදී රට වටේ ගිය ගමන්වලදී උදව්කල පිරිසද බොහෝය. ප්‍රදේශීය ජනමාධ්‍යවේදීන්ගේ නිවහන් බොහෝවිට නවාතැන් විය. සෑම ගමනක ආරම්භයේදීම අදාල නගරයේදී හිතවෙතෙකු මඟ පෙන්වන්නෙකු බවට පත්විය. සියළු දෙනාම වාගේ සහාය දැක්වූයේ ස්වෙච්ඡාවෙනි. එබැවින් ශතකයක ලිපි පෙළක් ලිවීමට සහාය දුන් සැමට යළි යළිත් තුති පුදකල යුතුය.  පොහොර පසක ඇටයක් සිටවූ විට පැලවී වැඩෙන ඇටය ඒ පසේ සොයා ගන්නට නැත. පොහොර පසද සොයා ගන්නට නැත. වැඩෙන දෙයවූ කලී සිටවූ ඇටයෙහිත්, පොහොර පසෙහිත්, තෙතමනයෙහිත්, හිරු කිරණේත් සංකලනයකි.

එහෙත් ඉතිහාසයක් එසේ අවසන් වන්නේ නැත. එය අතීතයට අත්දැකීම් එකතු කරමින් නොනැවතී ගමන් කරයි. ඒ නිසාම ඉතිහාසය ලියා අවසන් කිරීමද අසීරුය. ජවිපෙ 2වැනි කැරැල්ලේ ඉතිහාසය සම්බන්ධයෙන්ද සත්‍ය එයයි. එබැවින් මෙම ලිපි මාලාව 150 දක්වා නොකඩවා දිවයන්නේ 1986 සිට 1990 දක්වා ජවිපෙ 2වැනි කැරළිසමය පිළිබඳව කිසිදා ඔබ නොඇසූ මෙන්ම ඉදිරියේදී කිසිදා අසන්නට නොලැබෙන කථා පුවත් රැසක්ද සමගිනි. –    ධර්මන් වික්‍රමරත්න (ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])

 

One Response to “ගින්නෙන් දවා, අළු නොවූ අරගලයක ලිපි මාලාවේ ශතකයක මතකය”

  1. Christie Says:

    දර්මන් ඔබට ගොඩක් තුති. ජේ වී පියත් ඉන්දියානු අදිරද්යත් ඉන්දියානු පරපෝසිතයනුත් විසින් මුදල් යටකර සින්හලයම් ලවා සින්හලයන් මරා දැමීමටත් ඇටවූ උගුලකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress