අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු මුරකරුවන්ගේ ශෝකාන්තය
Posted on June 15th, 2016

ධර්මන් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ග 1,083ක් ඇති අතර ආරක්ෂක පද්ධති සවිකර ඇත්තේ ඉන් 337ක පමණි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව 746ක් වන අතර ඉන් 168ක්ම මුහුදුබඩ දුම්රිය මාර්ගයට අයත්ය. මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයන් 746න් 687ක සේවය කරන දුම්රිය හරස් මාර්ග මුරකරුවන් 2,061 දෙනෙකු සේවය කරනුයේ දුෂ්කරතා රැසක් මැද සොච්චම් වැටුපකට බව ඒ පිළිබඳව ලිපියක් සකස් කිරීමට දකුණේ සහ වයඹ පළාතේ කල ගමනකදී පසක් විය. ඔවුන්ගේ වැටුප අවසාන වශයෙන් 2013 ජුනි 4වැනිදා ඉහළ දැමූ අතර එයද මාසිකව රුපියල් 7,500ක දීමනාවකි. ඒ අනුව දෛනික වැටුප රුපියල් 250කි.

dharman15061601එක ගමට එක වැඩක් වැඩසටහන යටතේ නවීකරණයට ලක්වූ උණ බම්බු ගේට්ටුවක්.

මෙම දුම්රිය හරස් මාර්ග උණ බම්බු ගේට්ටුකරුවන්ගේ උප්පත්තියද අපූරුය. බලපිටියේ උපන් බව කියන අගමැති රණසිංහ ප්‍රේමදාස ජනාධිපති පදවියට පත්වූයේ 1989 දෙසැම්බර් 19වැනිදාය. ඉන් මසක් ගිය තැන එනම් 1989 ජනවාරි 17වැනිදා බලපිටිය අහුංගල්ලේ ඌරගහ පාර මංසන්දියේදී පස්වරු 2.15ට පාසැල් සිසුන් ප්‍රවාහනය කල බස් රථයක් අනාරක්ෂිත දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටී 36ක් එම ස්ථානයේදීම මිය ගියේය. තුවාල ලැබූ 51දෙනෙකු බලපිටිය සහ කරාපිටිය රෝහල්වලට ඇතුළත් කෙරිණි.

dharman15061602දුම්රිය හරස් මාර්ගයක මුරකරුවෙක්

අදටද ඉන් සදාකාලික අබ්බගාතයන්වූ තිදෙනෙකු ඇත. ඉන් අයෙකු සමඟ වසර 27කට පසු මා සමඟ බලපිටියේදී ඉකුත් සදුදා සාකච්ඡාවකට එක්වූයේ  ඇයගේ නිවසේදීය. බලපිටියේදී සිදුවූ මෙම දුම්රිය අනතුරින් දැඩි කම්පනයට සහ ශෝකයට පත් ජනාධිපති ප්‍රේමදාස රටපුරාම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සියල්ලටම උණ බම්බු ගේට්ටු සවිකරමින් සතියක් තුළ එයට විසදුමක් දුන්නේය. ඉන් රැකියා විරහිත ග්‍රාමීය තරුණයින් 1,250කට මසකට රුපියල් 2,500ක දීමනාවක් හිමිවිය. උණ බම්බු තාක්ෂණය නිසා දේශීය සම්පත්වලට නව පණක් ලැබිණි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග හරහා සිදුවන ජීවිත සිය දහස් ගණනක් සුරක්ෂිත විය.

dharman15061603අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක ගේට්ටු මුරකරුවෙක්

ගේට්ටුවක් නැති දුම්රිය හරස් මඟක වසර 18ක් කිසිදු දීමනාවක් නොලබා මුරකරුවෙකු ලෙස ගල්ඔය පොලොන්නරුව දුම්රිය මාර්ගයේ පුවක්පිටිය හරස් පාරේ සේවය කල සිරියාවතී නොහොත් ඉසි අක්කා කදිම ආදර්ශයක් පෙන්වූ සමාජ සේවිකාවකි. එය ඇගයීමක් වශයෙන් 2013 ඔක්තෝබර් 13වැනිදා ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම ඇයගේ පුතුට රැකියාවක් පමණක් නොව ඇය ජීවත්ව සිටින තාක් මුළු පවුලටම නිදහස් දුම්රිය ගමන් බලපත්‍රයක්ද පිරිනමන ලදී. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග මුරකරුවන්ගේ සේවය අගය කලයුතු බව අවිවාදිතය. ඒ සඳහා ඔවුන්ට සරිලන දීමනාවක් හෝ වැටුපක්ද ලැබිය යුතුය.

dharman15061604අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක් සමඟ ගැටුණු වෑන් රථයක්.

.(The writer is a senior journalist who could be reached at  ejournalists@gmail.com OR 011-5234384)

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress