පෙරදිගට ගමනක් – 19 අතීතයට නෙවෙයි, පෙරදිගට …
Posted on June 17th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

සිංහල අපේ මුල් බොහෝ දුරට ඉන්දියානු උප මහාද්වීපයේ ඊසානදිග බිම්වලට සම්බන්ධ බවක් මේ දක්වා කෙරුණු සාකච්ඡාවෙන් පැහැදිළි වුනා. බෙංගාල – කාලිංග – ශාක්‍ය – නාග සම්මිශ්‍රණයකින් අපේ සිංහලකමට පදනම වැටෙන්න ඇති. ඊට අමතර ව, පාණ්ඩ්‍යයෝ එක්කත් අපි කිට්ටු සම්බන්ධකම් පවත්වලා තියෙනවා. ඒ පදනම උඩ අපිට ම ආවේනික අනන්‍යතාවක් ගොඩනගාගන්න අපි සමත්වෙලා තියෙනවා. සිංහයාගෙන් අපි ඒ අනන්‍යතාව පෙන්නනවා. අපි සිංහල,” අපි සිංහයා ගේ මිනිස්සු” කියලා අපි ආඩම්බර වෙනවා. සිංහලේ, සිංහලේ කියලා අපි කිව්වේ සිංහ-ලේ කියන අර්ථයෙන් නෙවෙයි. අපි එහෙම කිව්වේ සිංහලයන් ගේ දේශය කියන අර්ථයෙන්. සිංහලේ කිව්වේ භූමියට. මේ රටට සිංහලද්වීපය කියලාත් කිව්වා. මේක අපි විතරක් කියපු කතාවක් නෙවෙයි. ඉස්සර කාලේ චීන මිනිස්සු පවා මේ රටට කිව්වේ ශී-ත්ස කු-ඕ කියලා. ශී-ත්ස කියන්නේ සිංහයාට. කු-ඕ කියන්නේ රටට. ඉතින් මේ සිංහදේශය” කියන සඳහන ෆා-ෂියැන්, ෂුවාන්-ත්සාං හිමිවරුන් ගේ දේශාටන වාර්තාවලත් දකින්න පුළුවන්. අද පෙයි-චිං නුවර තියෙන ජාතික කෞතුකාගාරයට යන කෙනකුට, එහෙම නැතිනම් ෂි-ආන් නුවර තියෙන ශාන්-ෂි ඉතිහාස කෞතුකාගාරයට යන කෙනකුට සිංහදේශය” කියලා අපේ රට නම් කරපු සිතියම් ප්‍රදර්ශනය කරලා තියෙනවා දකින්න පුළුවන්.

සිංහයා කියන්නේ අපේ ජාතික සංකේතය. සිංහබාහු කතාවෙන් අපේ ජාතියට ආරම්භයක් දීලා තියෙනවා. බෙංගාල (වංග) රාජ වංශය අපේ ජාතියේ ආරම්භයට එක් පර්ශ්වයක් විදිහට දායක වෙච්ච බව ඒ කතාවෙන් කියැවෙනවා. අනෙක් පාර්ශ්වය සංකේතවත් කරන්නේ සිංහයෙක්ගෙන්. අපේ සමහරුන්ට මේ විදිහට කියන්නේ කා ගැන ද කියලා හිතාගන්න බෑ. සමහරු කියනවා ඉන්දියානු උප මහාද්වීපයේ ඊසාණ පැත්තේ – ඒ කියන්නේ බෙංගාලය පැත්තේ, සිංහයෝ නෑ කියලා. ඒක ඇත්ත. බෙංගාලයේ ඉන්නේ ව්‍යාඝ්‍රයෝ. ඉන්දියානු උප මහාද්වීපයේ සිංහයෝ ඉන්නේ ගුජරාටයේ. ඒ හින්දා ඒ ගැන වදවෙන සමහරු ගුජරාටයේත් අපේ මුල් හොයනවා. ඒ පැත්තටත් අපේ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන් හින්දා එහෙම හොයන එකේ වැරැද්දක් නෑ. ඒත් සිංහයා කියන්නේ අපිට සංකේතයක්. ඒක හරියට හිම සිංහයා ටිබෙට් මිනිස්සුන් ගේ ජාතික සංකේතය වෙනවා වගේ දෙයක්. එහෙම නැතිනම් මකරා චීන මිනිස්සුන් ගේ ජාතික සංකේතය වෙනවා වගේ දෙයක්. මේවායින් සංකේතවත් වෙන්නේ මොනවා ද කියන එක හොයලා බලන එක වැදගත් තමයි. කොහොම වුනත් ඒ වැඩේ මේ යන්න යන ගමනට ඒ තරම් ම අදාළ නෑ. ඒ හින්දා ඒ කාර්යය පසෙකින් තියන්න සිද්දවෙනවා.

1846 අවුරුද්දේ ඉඳලා 1980 වෙන කල් ඉරානයේ භාවිතාකරපු ජාතික කොඩියෙත් කඩුවක් අතින් ගත්ත සිංහයෙක් හිටියා. ඒක ඇත්තෙන් ම සිංහ කොඩියකට වඩා සූර්යය කොඩියක්. දොළොස්වැනි සියවසේ විතර ඉඳලා පර්සියාවේ භාවිතා වුනු සිංහ – සූර්යය සංකේතය තමයි ඒකට මුල් කරගෙන තියෙන්නේ. සිංහ රාශියේ දී සූර්යයා බලවත් කියන අදහස තමයි ඒකට මුල්වෙලා තියෙන්නේ. ඒත් මේ සිංහයා කඩුවක් අතට ගත්තේ අපේ ආභාෂයෙන් ද කියන එක ගැන නම් හොයලා බලන්න වටිනවා. මොකද අපි ඒ වැඩේ කරලා තියෙන්නේ ඊට සෑහෙන කාලයකට කලින්නේ. කොහොම වුනත් ඒ ගැන හොයන අදහසකුත් මේ ලේඛකයාට නෑ.

විවිධාකාරයෙන් සම්මිශ්‍රණය වුනත් අපි සිංහලකමක්” ගොඩනගාගෙන, රැකගෙන ඉන්නවා. මේ සිංහලකම අපේ බෞද්ධකමත් එක්ක අත්වැල් බැඳගත්ත එකක්. සිංහල-බෞද්ධ” කියන යෙදුම හදාගෙන තියෙන්නෙත් ඒ හින්දා. අපේ බෞද්ධකම සිංහලකම ඇතුළේ ම තියෙන එකක් කියලා මේ ලේඛකයා විශ්වාසකරනවා. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් එක දිගට ම එකට හැදී වැඩිච්ච දේ එකිනෙකින් වෙන්කරන්න බෑ. ඒ හින්දා අපේ සිංහලකම පිටස්තර ව තියෙන බුද්ධාගමකින් පෝෂණය වෙච්ච එකක් කියලා හරි, අපේ බුද්ධාගම ඒකට සම්බන්ධයක් නැති සිංහලකමකින් අපවිත්‍ර වෙච්ච එකක් කියලා හරි හිතන එක සාධාරණ නෑ. මේවා එකිනෙකින් වෙන්කරන්න උත්සාහ කළ යුතුත් නෑ. අපේ සංස්කෘතියේ හැඩරුව තීරණය කරලා තියෙන ප්‍රධාන ම දෙයක් තමයි අපි අදහන බුද්ධාගම.

තියෙන්න ඕන බුද්ධාගමක් නෙවෙයි, බුදුදහමක් කියලා කියන අය ඉන්නවා. ඒ වගේ ම මේක ආගමක් නෙවෙයි, දර්ශනයක් කියලා කියන අයත් ඉන්නවා. විද්‍යාව, ආගම සහ බුදුදහම” කියලා මේ ලේඛකයා ලියපු ලිපියක් මීට අවුරුදු 27 කට විතර කලින් විදුසර” පත්තරේ පළවුනා. තරුණ කාලේ අපි කොච්චර නම් සුන්දර දේවල් ගැන හිතනවා ද? බුද්ධාගමේ තියෙන යම් යම් දේ අයින්කරලා ගත්තා ම එහෙම හිතෙන එක ඇත්ත. ඒත් ඉතින් එහෙම හිතෙන්න ඒ යම් යම් දේ අයින්කරන්න ඕනනේ. ඒත් එහෙම වෙන්කරලා බුද්ධාගම (බුදුදහම) පොත්වලට විතරක් සීමාකරන්න පුළුවන් කියලාවත්, එහෙම සීමාකරලා ඒ විදිහට වෙන්කරගත්ත බුදුදහම තවත් කාලයකට රැකගන්න පුළුවන් කියලාවත් දැන් මේ ලේඛකයා විශ්වාසකරන්නේ නෑ. බුදුදහම රැකගෙන තියෙන්නේ මේ රටේ හිටිය සිව්වනක් පිරිස විසින්. අද භික්‍ෂුණී ශාසනය නෑ. ඉතින් භික්‍ෂුන්වහන්සේලාත්, උපාසක උපාසිකාවනුත් අද අපේ බුද්ධාගම රැකගන්න කටයුතුකරනවා. ඒ වෙනුවෙන් තමන් ගේ බුද්ධිය, කාලය, ශ්‍රමය හා ධනය වැයකරනවා. මේ දේවල් වෙන්නේ, වෙලා තියෙන්නේ ශ්‍රද්ධාව මූලික කරගෙන. අපි ඒ කැපකිරීම් අගයකරන්න ඕන. එහෙම නැතුව ඒ කැපකිරීම්වලට ගරහන එක බෞද්ධකමට ගැලපෙන්නේ නෑ.

මේ ලිපි පෙළේ මුල් භාගයේ දී ම කියපු දෙයක් තමයි සංස්කෘතික නෑදෑකම් අපේ බෞද්ධකම හරහා හඳුනාගන්න පුළුවන් කියන කාරණය. එහෙම නැතුව පර්සියානු සංස්කෘතියේ හරි, දිල්ලි සුල්තාන් – මූගල් ආභාෂයෙන් පෝෂණය වුනු ඉන්දියානු සංස්කෘතික උරුමයන්” තුළ හරි අපේ නෑදෑකම් හඳුනාගන්න පුළුවන්කමක් නෑ කියන එක. ඉතින් දැන් අපි මේ ගමනේ එක්තරා සන්ධිස්ථානයකට ඇවිල්ලා. සිංහල අපේ ඉතිහාසය, සංස්කෘතිය හරහා කරුණු විමසමින් ගිය ගමනින් අපේ ස්වරූපය ගැන අවබෝධයක් අපි යම් පමණකට ලබාගත්තා. අපේ අතීතය ගැනත්, වර්තමානය ගැනත් කරුණු කිව්වා. සිංහල අපි අනුරාධපුර යුගයෙන් බොහෝ ඈතට ගමන්කරලා. තව තවත් නෑදෑකම් සෑහෙන ප්‍රමාණයකුත් ඇති කරගෙන. ඒත් අපේ මූලික ස්වරූපය – අනන්‍යතාව, රැකගන්න අපිට පුළුවන්වෙලා තියෙනවා. අපි තවමත් සිංහල. අපෙන් අති බහුතරයක් තවමත් බෞද්ධ. ඒ විතරක් නෙවෙයි. කලින් කියපු විදිහට අපේ බෞද්ධකම සිංහලකමෙනුත් ප්‍රකාශවෙනවා. ඒ හින්දා මේ ලෝකයේ දැනට ඉතිරිවෙලා තියෙන අනෙකුත් බෞද්ධ සංස්කෘතීන් තුළ අපේ නෑදෑකම් තියෙනවා ද කියලා හොයලා බලන්න අපිට පුළුවන්.

මීට අවුරුදු 13 කට විතර කලින් ඉන්දියාව කියන රටට” ගිහිල්ලා ඒ රටේ” ඉන්නවා කියලා කියන අපේ නෑදෑයෝ දැකගන්න බැරි ව මේ ලේඛකයා ආපහු ආවේ මේ සිතුවිල්ල – ඒ කියන්නේ අපේ බෞද්ධකම හරහා සංස්කෘතික නෑදෑකම් හොයාගන්න පුළුවන් කියන සිතුවිල්ල හිතේ දරාගෙන. ඒ මුල් කාලයේ තිබුණේ මේ ගැන මූලික අදහසක් විතරයි. මෙයට පෙර ලිපිවලින් සාකච්ඡා කරපු අදහස් ඒ තරමට ම වර්ධනය කරගෙන තිබුණේ නෑ. ඕනෑ ම අදහසක් වර්ධනය වෙන්නේ ඒ විදිහට ඇති කරගන්න මූලික සිතුවිල්ලක් වටේනේ. කොහොම වුනත්, ඒ විදිහට ඇතිවිච්ච සිතුවිල්ල ගැන තව තවත් හොඳින් හොයලා බලන්න ඕන කියන අධිෂ්ඨානය මේ ලේඛකයා ගේ හිතේ තිබුණා.

මේ හොයාබැලිල්ල කරන්න ඕන කොහෙද, කොහොමද කියන කාරණේ තමයි ඊ ළඟට මතුවුනේ. අපි පිළිගන්නේ, අදහන්නේ ථෙරවාදය. අපි වගේ ම මේ දේ කරන තවත් ජාතීන් ගණනාවක් ඉන්නවා. මියන්මාරයේ, තායිලන්තයේ, කාම්බෝජයේ, ලාඕසයේ, දකුණු වියට්නාමයේ සහ දකුණු චීනයේ යුන්නාන් පළාතට අයිති ෂි-ශු-අන්-පන්-නා ප්‍රදේශයේ ඉන්න මිනිස්සු අපි වගේ ම ථෙරවාදය පිළිගන්නවා, අදහනවා. පාලියට පෙරලා තියෙන අටුවාවලින් කියැවෙන විදිහට ථෙරවාදය කියන්නේ විනිශ්චයෙහි මැනැවින් නිපුණ වූ මහා විහාරවාසී තෙරවරුන් ගේ” අර්ථදැක්වීම්වලින් සංග්‍රහකරපු දහමට. ඒ විදිහට ධර්මය අර්ථදක්වලා තියෙන්නේ සුදනන් ගේ සතුට පිණිස” සහ ධර්මයේ චිරස්ථිතිය පිණිස” කියලා අපේ අටුවා පොත්වල කියලා තියෙනවා. ථෙරවාදී රටවල පෙළ සහ අටුවා මොන මොන භාෂාවෙන් පළ කරලා තිබුණත් මේ මූලික කාරණය ඒ හැම කෙනෙක් ම ඒ විදිහට ම පිළිගන්නවා. මහා විහාරීය තෙරවරුන් ගේ මේ අර්ථදැක්වීම් ගැන යම් යම් අයවලුන් විසින් යම් යම් ආකාරයට ප්‍රශ්න කරලා තියෙන බව ඇත්ත. ඒ ගැන පසු ව විමසා බලන්න පුළුවන්.

අපි නෑදෑකම් හොයන්න ඕන මේ ථෙරවාදී රටවල්වල සහ ප්‍රදේශවල නේ ද? ඒත් අපි දැන් මේ රටවල් එක්ක ඒ තරම් සම්බන්ධකම් පවත්වන්නේ නෑ. නමට හරි තානාපති සම්බන්ධකම් ඇති කරගෙන තියෙන්නේ මියන්මාරය එක්කයි, තායිලන්තය එක්කයි විතරයි. මැදපෙරදිග තියෙන හැම මුස්ලිම් රටක් එක්ක ම වගේ අපිට තානාපති සම්බන්ධකම් තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ ඒ රටවල වැඩට යන ශ්‍රමිකයෝ ඉන්න හින්දානේ කියලා කාට හරි කියන්න පුළුවන්. ඒක ඇත්ත. ඒත් ථෙරවාදී බෞද්ධ රටකට තවත් ථෙරවාදී බෞද්ධ රටක් එක්ක ශක්තිමත් විදිහට තානාපති සම්බන්ධකම් ඇති කරගන්න තියෙන බාධාව මොකක්ද? රජය මැදිහත්වෙනවා නම් අපේ භික්‍ෂූන්වහන්සේලා වුනත් ඒ වැඩේට කැපවෙයි. ඒත් අපේ ඔළුව හරවලා තියෙන්නේ වෙන පැත්තකට. එහෙම දේවල් ගැන අපිට හිතන්නේ නෑ. විදේශ අමාත්‍යාංශයේ ඉන්න අයට වුනත් එහෙම හිතෙන්නේ නෑ. ඒ වගේ ආයතනවල වැඩකරන සමහර අයට බෞද්ධකම කියන්නේ විහිළුවක්. මේ ලේඛකයා දෙවතාවක් ම විදේශ සේවා විභාගය සමත්වෙලා සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගීවෙලා තියෙනවා. බෞද්ධ අධ්‍යයනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් මේ ලේඛකයාට තියෙනවා කියලා දැනගත්ත සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ හිටපු නිලධාරියෙක්, ඒ එක සම්මුඛ පරීක්‍ෂණයක දී ඇහුවා සිද්ධාර්ථ කුමාරයා ගේ තාත්තා කවුද” කියලා!

2003 අවුරුද්ද වෙද්දී පෙරදිග භාෂා විදිහට වැඩිහිටියකුට මේ රටේ දී ඉගෙනගන්න තිබුණේ ජපන් සහ චීන භාෂා විතරයි. තායි, බුරුම, කමර්, ලාඕස වගේ භාෂා ඉගෙනගන්න අවස්ථාවක් අදටත් නෑ. අද නම් චීන, ජපන්වලට අමතර ව කොරියන් ඉගෙනගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ ලේඛකයාට සිද්දවුනා වෙනත් ආකාරයක තීරණයක් ගන්න. ඒ, චීන භාෂාව ඉගෙනගන්නත් ඉංග්‍රීසියෙන් පොත පත කියවලා ථෙරවාදී රටවල් ගැන ඉගෙනගන්නත්. ඒ තමයි පෙරදිගට යන මේ ගමනේ ආරම්භය. තව දෙයක් ගැන කියන්න ඕන. ඒ, මේ ගමන යන්නේ අනෙක් සියලු වැඩ පැත්තකින් තියලා නෙවෙයි කියන එක. මේ තමන් ගේ එදිනෙදා රාජකාරි කරමින් බොහොම හෙමින් යන ගමනක්. මේ වෙනුවෙන් කරපු කැපකිරීම් ගැන කියන්න ඕනකමක් මේ ලේඛකයාට නෑ. කාට වුනත් වැඩක් වෙන්නේ මේ ගමනේ අත්දැකීම්.

ඉතින් මේක පෙරදිගට යන ගමනක්. අපේ බෞද්ධ නෑයන් හොයාගෙන යන ගමනක්. අනෙක් බෞද්ධ සමාජවල ජීවත්වෙන මිනිස්සුන් ගේ චර්යාවන් ගැන දැනගන්න යන ගමනක්. ඒ අය ගේ ඇදහීම්, වැඳුම් පිදුම් ගැන හොයා යන ගමනක්. ඒ අය ගේ සාහිත්‍යය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය වගේ දේවල් ගැන දැනගන්න යන ගමනක්. අපේ ඉපැරැණි බෞද්ධ ගොඩනැගිලිවල කැටයම් කර ඇති මකරුන්, ලියවැල් ආදී බොහෝ එ බඳු දේ සම්බන්ධකම් කියන්නේ කාටදැයි සොයා බැලීමට යන ගමනක්. ඒ විතරක් නෙවෙයි. උපසම්පදාව පෙරදිගින් – සියමෙන්, රාමඤ්ඤයෙන්, අමරපුරෙන් ලබාගත්ත ආකාරයට අපට නැති වූ අනෙක් දේ, අපට ගැලපෙන දේ පෙරදිගින් ලබාගන්න පුළුවන් ද කියලා හොයලා බලන්න යන ගමනක්. මොකද යටත්විජිත බලපෑම නිසා අපිට නැතිවුනේ උපසම්පදාව විතරක් නෙවෙයි. කලින් කියපු විදිහට අපි මේ වෙනකොට රෙද්ද පවා අහිමිවෙච්ච ජාතියක්නේ. අද අපි කන්නේ බොන්නේ මොනවා ද කියලාවත් දන්නේ නැති ජාතියක්නේ.

කොහොම වුනත් මේ අතීතයට යන ගමනක් නෙවෙයි. මේ, පෙරදිගට ගමනක්. මේ ගමනේ අත්දැකීම් කියන වැඩේ මී ළඟ ලිපියෙන් පටන්ගන්නම්.

වරුණ චන්ද්‍රකීර්ති෴

2 Responses to “පෙරදිගට ගමනක් – 19 අතීතයට නෙවෙයි, පෙරදිගට …”

  1. Senevirath Says:

    අල්ලපු රටේඅ යය් නාගයෝය් විතරද සින්හලවුනේ චිත්තරාජ කාලවේල වලවා මුඛී කුවේණී වැනි යක්ෂ පරපුර නිකම්ම හලලා මානාවේ විමලරතන හිමිගේ පොත බොරුද .කුරගල සෙල්ලිපියේ ”’යගෂ ” කුමක්ද

  2. Wetta Says:

    වරුණ මහතාණෙනි, දකුණු කොරියානුවන් මවට “අම්මා” කියාත් පියාට “අප්පච්චි” කියාත් අමතන බව මම දනිමි. මේවා කොරියානු භාෂා සම්භවයක් ඇති වදන් ලෙස බැලූ බැල්මට නොපෙනේ. මගේ අනුමානය නම් මේ භාෂා/වචන ආගමනය/විගමනයට පාහියන් හිමියන්ගේ සම්බන්ධයක් සමහර විට ඇති කියායි. මේ දකුණු කොරියාවේ භාවිතයට ගියේ කෙසේද, කුමන කාලයකද යන්න විමසා බැලිය හැකිනම් එයද ඔබේ “ගමනට” උපකාරයක් ගැම්මක් වනු ඇතැයි අනුමාන කරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress